ප්‍රධාන සම්මන්ත්‍රණය
ළිඳ අසල ඉගෙනගත් පාඩම්
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ළිඳ අසල ඉගෙනගත් පාඩම්

අපව මෙහි එවා ඇති සියල්ල කිරීමට අපට හැකි වන ශක්තිය සහ සුවය සඳහා අපට ගැලවුම්කරුවාණන් වෙත හැරෙන්න පුළුවන්.

ප්‍රධාන සම්මන්ත්‍රණයේ මෙම කාන්තා සැසිවාරයේදී ඔබ සැම සමඟ එක්වීමට ලැබීම මොනතරම් ප්‍රීතියක්ද!

මම බටහිර නිව් යෝර්ක්හි හැදී වැඩුණු අතර අපේ නිවසේ සිට සැතපුම් 20 ක් (32 km) පමණ දුරින් පිහිටි සභාවේ කුඩා ශාඛාවකට සහභාගී වුණා. මම මගේ එකම මිතුරා වුණු පැටි ජෝ සමඟ අපගේ පැරණි, කුලියට ගත් දේවස්ථානයේ පහළම මාලයේ ඉරිදා පාසල් පන්තියේ වාඩි වී සිටින විට, මිලියන සංඛ්‍යාත කාන්තාවන්ගේ ගෝලීය සහෝදරත්වයක කොටසක් වීම ගැන මම කිසිවිටෙකත් හිතුවේ නෑ.

වසර පහකට පෙර යුරෝපයේ නැගෙනහිර ප්‍රදේශයේ කැපවූ ශුද්ධවන්තයන් සමඟ අප සේවය කරමින් සිටින විට, මගේ සැමියා බෲස් බරපතළ ලෙස රෝගාතුර වුණා. අපි ආපසු ගෙදර ගිය අතර, සති කිහිපයකට පසුව ඔහු මියගියා. මගේ ජීවිතය එක රැයකින් වෙනස් වුණා. මම ශෝකයෙන් සිටි අතර දුර්වල හා අවදානම් සහගත වුණා. මම ස්වාමින්වහන්සේගෙන් මගේ මාර්ගය මෙහෙයවන ලෙස මෙලෙස ඉල්ලා සිටියා: “ඔබවහන්සේ කැමති මා කුමක් කරනවාටද?”

සති කිහිපයකට පසු, මම මගේ තැපැල් පත් පරික්ෂා කරමින් ඉද්දි නාමාවලියක තිබුණු කුඩා පින්තූරයක් මගේ ඇසට හසුවුණා. මම සමීපව බැලූ විට, එය යේසුස්වහන්සේ සමඟ ළිඳ ළඟ සිටින සමරිතානු කාන්තාව ගැන කලාකරුවෙකු විසින් කළ නිරූපණයක් බව මට වැටහුණා. ඒ මොහොතේ ආත්මයාණන්වහන්සේ මට පැහැදිලිව කතා කළා: “ඔබ කළ යුත්තේ එයයි.” ප්‍රේමණීය ස්වර්ගික පියෙක් ගැලවුම්කරුවාණන් වෙත පැමිණ ඉගෙනගන්නා ලෙස මට ආරාධනා කරමින් සිටියා.

උන්වහන්සේගේ “ජීවන ජලය” නමැති ළිඳෙන් දිගටම පානය කරන විට මා ඉගෙනගනිමින් සිටින පාඩම් තුනක් ඔබ සමඟ බෙදාගැනීමට මම කැමතියි.1

පළමුවැන්න: අපගේ අතීත සහ වර්තමාන තත්වයන් අපගේ අනාගතය තීරණය කරන්නේ නෑ

සහෝදරියනි, දුෂ්කර අභියෝග සහ අහිමිවීම් වලට මුහුණදීමේ අවිනිශ්චිත බව—එමෙන්ම ඔබේ ජීවිතය ඔබ බලාපොරොත්තු වූ, යාච්ඤා කළ, සහ සැලසුම් කළ ආකාරයෙන් දිග හැරෙන්නේ නැති විට, ඔබ බොහෝ දෙනෙකුට මට මෙන්ම දැනෙනවා කියා මම දන්නවා.

අපේ තත්වයන් කුමක් වුවත්, අපගේ ජීවිත පරිශුද්ධ වන අතර එයට අර්ථයක් හා අරමුණක් තිබෙනවා. අපි සෑම කෙනෙකුම අපගේ ප්‍රාණය තුළ දේවත්වය සමඟ උපත ලැබූ, දෙවියන්වහන්සේගේ ආදරණීය දියණියක්.

අපගේ ගැලවුම්කරුවාණන් වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය තුළින්, පවිත්‍ර වී සුවපත් වීමට අපට හැකියාව ලබාදුන් අතර, පවුලේ සාමාජිකයන්ගේ තීරණ, අපගේ විවාහක තත්ත්වය, කායික හෝ මානසික සෞඛ්‍ය හෝ වෙනත් ඕනෑම තත්වයක් නොතකා පොළොවේ අපගේ අරමුණ ඉටුකිරීමට අපට හැකියාව ලබාදී තිබෙනවා.

ළිඳ ළඟ සිටි කාන්තාව ගැන සලකා බලන්න. ඇගේ ජීවිතය මොනවගේද? ඇයට ස්වාමිපුරුෂයන් පස්දෙනෙක් සිටි බවත් දැනට ඇය සමඟ ජීවත් වන පුරුෂයා සමඟ විවාහ වී නැති බවත් යේසුස්වහන්සේට වැටහුණා. එහෙත්, ඇගේ ජීවිතයේ දුෂ්කරතා නොතකා, ගැලවුම්කරුවාණන්ගේ පළමු ප්‍රසිද්ධ ප්‍රකාශ වලින් එකක් වූයේ උන්වහන්සේ මෙසියස් බවයි. “නුඹට කතා කරන මම උන්වහන්සේ වෙමි”2 කියා උන්වහන්සේ පැවසුවා.

ඇය ප්‍රබල සාක්ෂිකාරියක් වූ අතර, තම නගරයේ සිටි අයට යේසුස් යනු ක්‍රිස්තුස්වහන්සේ බව ප්‍රකාශ කළා. “තවද එම ස්ත්‍රියගේ වචන නිසා ඒ නුවර සමාරියයන්ගෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහාගත්තා.”3

ඇගේ අතීත සහ වර්තමාන තත්වයන් ඇගේ අනාගතය තීරණය කළේ නෑ. ඇය මෙන්, අපව මෙහි එවා ඇති සියල්ල ඉටුකිරීමට අපට හැකිවන ශක්තිය සහ සුවය සඳහා අද ගැලවුම්කරුවාණන් වෙත හැරීමට අපට තෝරාගන්න පුළුවන්.

දෙවනුව: එම බලය අප තුළ ඇත

දහම සහ ගිවිසුම් හි හුරුපුරුදු පදයක, ස්වාමින්වහන්සේ මෙසේ දිරිගන්වනවා ස්ත්‍රීන් හා පුරුෂයන් “යහපත් කාරණා වල උද්‍යෝගයෙන් යෙදිය යුතුවේ, තවද ඔවුන්ගේ ස්වකීය නිදහස් කැමැත්තෙන් බොහෝ දේවල් කළ යුතුවේ, තවද බොහෝ ධර්මිෂ්ඨ කාරණා සිද්ධ කළ යුතුවේ; මක්නිසාද එසේ කිරීමට බලය ඔවුන් සතුව ඇත්තේය.”4

සහෝදරියනි, බොහෝ ධර්මිෂ්ඨකම් සිදුකිරීමට බලය අප තුළ තිබෙනවා!

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ සාක්ෂි දරුවා: “දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇතිකරගෙන එම ගිවිසුම් පවත්වාගෙන යන සහ පූජක නියෝග වලට සුදුසු ලෙස සහභාගී වන සෑම කාන්තාවකටම සහ පුරුෂයෙකුටම දෙවියන්වහන්සේගේ බලයට සෘජු ප්‍රවේශයක් ඇත.”5

බව්තීස්මයේදී සහ ශුද්ධ වූ දේවමාළිගා වලදී ඇතිකරගත් පූජනීය ගිවිසුම් වලට ගරු කිරීමට අප උත්සාහ කරන විට, ස්වාමින්වහන්සේ අපට “උන්වහන්සේගේ සුවකිරීමේ, ශක්තිමත් කිරීමේ බලය” සහ “මීට පෙර කිසිදා නොතිබූ අධ්‍යාත්මික අවබෝධයක් සහ පිබිදීමකින්”6 ආශිර්වාද කරන බව මම දැනගත්තා.

තෙවනුව: “තවද එනම් කුඩා දේවල් වලින් එම ශ්‍රේෂ්ඨ වූ දේ ඉදිරියට යන්නේය”7

කන්ද උඩ දේශනාවේදී යේසුස්වහන්සේ තම ගෝලයන්ට ඉගැන්නුවේ “නුඹලා පොළොවේ ලුණුය8 සහ “නුඹලා ලෝකයේ ආලෝකයය9 ලෙසයි. පසුව උන්වහන්සේ ස්වර්ග රාජ්‍යයේ වර්ධනය මුහුන් වලට සමාන කළා, “ස්ත්‍රියෙකු විසින් පිටි නැළි තුනක් සහමුලින්ම පිපෙන තුරු එහි දමා තිබූ මුහුන් වලට ස්වර්ගරාජ්‍යය සමානයි [කිව්වා].”10

  • ලුණු

  • මුහුන්

  • ආලෝකය

ඉතා කුඩා ප්‍රමාණ වලින් වුවද, එය අවට ඇති සියල්ලට ඒ හැම එකක්ම බලපානවා. ලුණු, මුහුන්, සහ ආලෝකය ආකාරයට උන්වහන්සේගේ බලය භාවිතා කිරීමට ගැලවුම්කරුවාණන් අපට ආරාධනා කරනවා.

ලුණු

ලුණු ස්වල්ප ප්‍රමාණයකින් අපි කන දේවල් වල රසයෙහි කෙතරම් වෙනසක් සිදුවේද යන්න පුදුම සහගතයි. එහෙත් ලුණු කියන්නේ මිල අධික බැවින් අවම හා සරලම අමුද්‍රව්‍ය වලින් එකක්.

2 රාජාවලිය පොතේ, සිරියානුවන් විසින් අල්ලාගෙන සිරියානු හමුදාවේ නායකයා වූ නාමන්ගේ භාර්යාවගේ සේවිකාවක් වූ “කුඩා කෙල්ලක්”11 ගැන අපි කියවනවා. ඇය ලුණු වගේ; ඇය තරුණයි, ලෞකික වැදගත්කමක් නැති, විදේශ රටක වහලියක් ලෙස වුණු ඇයගේ ජීවිතය පැහැදිලිවම ඇය බලාපොරොත්තු වූ දෙයක් නොවේ.

කෙසේවෙතත්, ඇය නාමන්ගේ භාර්යාවට සාක්ෂි දෙමින්, දෙවියන්වහන්සේගේ බලය සමඟ වාක්‍ය දෙකක් කතා කළා: “මාගේ ස්වාමියා සමාරියේ අනාගතවක්තෘ ඉදිරියෙහි පෙනීසිටියොත් හොඳය, එවිට ඔහු ඔහුගේ කුෂ්ඨය සුවකරනවා ඇත.”12

ඇයගේ ඇදහිල්ලේ වචන නාමන්ට ප්‍රකාශ කිරීමෙන් පසු, ඇගේ වචන වලට අනුව ඔහු ක්‍රියා කළ අතර, ඔහුට ශාරීරිකව හා අධ්‍යාත්මිකව සුවය ලැබීමට ඉඩ ලැබුණා.

අනාගතවක්තෘ එලිෂා නියම කළ පරිදි, යොර්දාන් ගඟේ ස්නානය කිරීමට නාමන්ට ඒත්තු ගැන්වූ සේවකයන් කෙරෙහි අපි බොහෝ විට අවධානය යොමුකරනවා, නමුත් නාමන් එම “කුඩා කෙල්ල” නොමැතිව එලිෂාගේ දොරකඩට යන්නේ නෑ.

ඔබ ලාබාල හෝ වැදගත්කමක් නැති බව හැඟෙන්නට පුළුවන්, නමුත් ඔබට ඔබේ පවුල තුළ, පාසලේ, සහ ඔබේ ප්‍රජාව තුළ ලුණු මෙන් වෙන්න පුළුවන්.

මුහුන්

ඔබ කවදා හෝ මුහුන් නොමැතිව පාන් අනුභව කර තිබෙනවාද? ඔබ එය විස්තර කරන්නේ කොහොමද? ඝන? බර? දැඩි? මුහුන් කුඩා ප්‍රමාණයකින් පමණක් පාන් පිපී සැහැල්ලු හා මෘදු බවට ප්‍රසාරණය වෙනවා.

අපි දෙවියන්වහන්සේගේ බලයට අපගේ ජීවිතයට ආරාධනා කරන විට, “බරවුණු ආත්මය”13 වෙනුවට අපට අන් අයව ඔසවා තබන දේවානුභාවයෙන් යුත් ඉදිරිදර්ශන ලබාදී හදවත් සුවපත් කිරීමට ඉඩදෙන්න පුළුවන්.

මෑතකදී මගේ මිතුරියක් නත්තල් උදෑසන ඉතා දුකින් ඇඳේ වැතිර සිටියා. ඇගේ දරුවන් ඇයට නැඟිටින්නැයි කන්නලව් කළා; කෙසේවෙතත්, ඇය දික්කසාද වීමට නියමිතව සිටි නිසා ඒ වේදනාවෙන් පිරී සිටියා. ඇඳේ වැතිර හඬා වැලපෙමින්, ඇය තම ස්වර්ගීය පියාණන්වහන්සේට යාච්ඤා කරමින් තම ආත්මය වත්කළේ, ඇගේ බලාපොරොත්තු සුන්වීම ගැන උන්වහන්සේට පවසමිනුයි.

ඇය ඇගේ යාච්ඤාව අවසන් කරන විට, ආත්මයාණන් වහන්සේ ඇයට රහසින් මිමිණුවේ දෙවියන්වහන්සේ ඇගේ වේදනාව දන්නා බවයි. ඇය කෙරෙහි වූ උන්වහන්සේගේ දයානුකම්පාවෙන් ඇය පිරී ගියා. මෙම ශුද්ධ වූ අත්දැකීම නිසා ඇගේ හැඟීම් සනාථ වූ අතර ඇය තනිවම දුක් වෙමින් නොසිටින බවට බලාපොරොත්තුවක් ඇති කළා. ඇය නැගිට, පිටතට ගොස් ඇගේ දරුවන් සමඟ හිම මිනිසෙකු ගොඩනඟා, උදෑසන තිබූ ඇයගේ සිතේ බර වෙනුවට සිනහව හා ප්‍රීතිය ආදේශ කළා.

ආලෝකය

කාමරයක අඳුර විනිවිද යන්නට කොපමණ ආලෝකයක් අවශ්‍යද? එක් කුඩා කිරණක්. අඳුරු තැනක ඇති එම ආලෝක කිරණයට ඔබ තුළ ඇති දෙවියන්වහන්සේගේ බලය නිකුත් කරන්න පුළුවන්.

ජීවිතයේ කුණාටු ඇතිවන විට ඔබට තනිකමක් දැනිය හැකි වුවද, වරදවා වටහාගැනීමේ, ව්‍යාකූලත්වයේ, සහ අවිශ්වාසයේ අන්ධකාරයේදී ආලෝකයක් බැබළවීමට ඔබට පුළුවන්. ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ලේ ආලෝකය ස්ථාවර සහ ස්ථිර විය හැකි අතර, එය ඔබ වටා සිටින අයව ආරක්ෂාව සහ සාමය කරා ගෙන යනවා.

සහෝදරියනි, අපිට ලුණු ස්වල්පයක්, මුහුන් හැන්දක්, සහ ආලෝක කිරණක් පිරිනැමීමෙන් හදවත් වෙනස් කර ජීවිත වලට ආශිර්වාද කරන්න පුළුවන්.

ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ ප්‍රීතිය හා ප්‍රේමය රස විඳීමට අපට ආරාධනා කරන, අපගේ ජීවිතයේ ලුණු බව මම සාක්ෂි දරනවා.14 අපගේ ජීවිත දුෂ්කර වූ විට, අපට බලාපොරොත්තුව15 ගෙන දෙන්නේත්, උන්වහන්සේගේ අසමසම බලයෙන් සහ මුදවාගැනීමේ ප්‍රේමයෙන් අපගේ බර උසුලන්නෙත්16 මුහුන් වන උන්වහන්සේයි.17 අපගේ නිවසට ආපසු යන මාර්ගය ආලෝකමත් කරන ආලෝකය18 උන්වහන්සේයි.

ළිඳ ළඟ සිටි කාන්තාව මෙන් අපට ගැලවුම්කරුවාණන් වෙත පැමිණ උන්වහන්සේගේ ජීවමාන ජලය පානය කළ හැකි වේවායි මම යාච්ඤා කරනවා. සමාරියේ ජනයා සමඟ, අපට මෙසේ ප්‍රකාශ කරන්න පුළුවන්, “අප දැන් විශ්වාස කරන්නෙමු, … මක්නිසාද ඒ අපිම අසා, සැබෑවටම උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ බවත්, ලෝකයාගේ ගැලවුම්කරුවාණන් බවත් දන්නා නිසාය.”19 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.