ප්‍රධාන සම්මන්ත්‍රණය
හැරීම අපගේ ඉලක්කයයි
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


හැරීම අපගේ ඉලක්කයයි

ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට සෘජුවම කථා කිරීම අසමින්, ඔබ ශුද්ධලියවිලි වල ගතකරන කාලය සඳහා ආදේශකයක් නෑ.

දැන් අවුරුදු තුනකට වැඩි කාලයක්, අපි ස්වාමින්වහන්සේගේ සභාවේ සාමාජිකයන් ලෙස එකට ගමනක් යමින් සිටිනවා. එන්න මා අනුගමනය කරන්න යන සම්පත මාර්ගෝපදේශයක් ලෙස භාවිතා කරමින් නව සහ ප්‍රබෝධමත් ආකාරයකින් ශුද්ධලියවිලි අධ්‍යනය කර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙනගැනීමට පළමු සභාපතිත්වය සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණය අපට ආරාධනා කළේ 2018 ඔක්තෝම්බර් මාසයේදීයි.

ඕනෑම ගමනකදී, අපගේ ප්‍රගතිය තක්සේරු කිරීමට සහ අප තවමත් අපගේ ඉලක්කය කරා ගමන් කරන බවට වගබලාගැනීමට ඉඳහිට විරාමයක් ගැනීම හොඳයි.

හැරීම අපගේ ඉලක්කයයි

එන්න, මා අනුගමනය කරන්න පොතෙහි හැඳින්වීමේ ඇති මෙම ගැඹුරු ප්‍රකාශය සලකා බලන්න:

සියලු ශුභාරංචි ඉගෙනීමේ හා ඉගැන්වීමේ පරමාර්ථය වන්නේ දෙවියන්වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ හැරීම ගැඹුරු කිරීමයි. …

“… අපගේ ඇදහිල්ල ශක්තිමත් කරන සහ හැරීමේ ආශ්චර්යට තුඩුදෙන ආකාරයේ ශුභාරංචි ඉගෙනීම එකවරම සිදුවන්නේ නෑ. එය පන්ති කාමරයකින් ඔබ්බට අපගේ හදවත් සහ නිවෙස් දක්වා විහිදෙනවා. ශුභාරංචිය අවබෝධ කරගැනීමට හා ජීවත්වීමට, නොනවතින දිනපතා උත්සාහයන් අවශ්‍යයි. සැබෑ පරිවර්තනයකට තුඩුදෙන ශුභාරංචි ඉගෙනීමට ශුද්ධාත්මයාණන්ගේ බලපෑම අවශ්‍යයි.”1

අප සොයන ආශ්චර්යය එයයි—එක් පුද්ගලයෙකුට ශුද්ධලියවිලි වල අත්දැකීමක් ඇති විට,2 එම අත්දැකීම ශුද්ධාත්මයාණන්ගේ බලපෑමෙන් ආශිර්වාද කරනු ලැබෙනවා. එවැනි අත්දැකීම් ගැලවුම්කරුවාණන් වෙතට අපගේ හැරීම සඳහා වටිනා මුල් ගල් වෙනවා. සභාපති රසල් එම්. නෙල්සන් මෑතකදී අපට මතක්කළ පරිදි, අධ්‍යාත්මික පදනම් නිරන්තරයෙන් ශක්තිමත් කළ යුතුයි.3 දිගුකාලීන හැරීම කියන්නේ ජීවිත කාලය පුරාම සිදුවන ක්‍රියාවලියක්.4 හැරීම අපගේ ඉලක්කයයි.

වඩාත් ඵලදායී වීමට නම්, ශුද්ධලියවිලි සමඟ ඔබේ අත්දැකීම් ඔබේම විය යුතුයි.6 වෙනත් පුද්ගලයෙකුගේ අත්දැකීම් සහ අදහස් ගැන කියවීම හෝ ඇසීම ප්‍රයෝජනවත් විය හැකි නමුත්, එය ඒ හා සමානම හැරීමේ බලයක් ගෙන එන්නේ නෑ. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට කෙලින්ම කථා කිරීම අසමින්, ඔබ ශුද්ධලියවිලි වල ගතකරන කාලය සඳහා ආදේශකයක් නෑ.

ශුද්ධාත්මයාණන් මට උගන්වන්නේ කුමක්ද?

සෑම සතියකම මම මගේ එන්න, මා අනුගමනය කරන්න පොත විවෘත කරන විට, මම මෙම ප්‍රශ්නය පිටුවේ ඉහළින්ම ලියනවා: “මම මෙම පරිච්ඡේද කියවන විට මේ සතියේ ශුද්ධාත්මයාණන් මට උගන්වන්නේ කුමක්ද?”

මම ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට, මම එම ප්‍රශ්නය නැවත නැවතත් මෙනෙහි කරනවා. ඒවගේම නොවරදවාම, ආත්මික හැඟීම් පැමිණෙන අතර, මම ඒවා මගේ පොතේ සටහන් කරනවා.

දැන්, ශුද්ධාත්මයාණන් මට උගන්වන විට මම දැනගන්නේ කොහොමද? හොඳයි, එය සාමාන්‍යයෙන් සිදුවන්නේ කුඩා හා සරල ක්‍රම වලින්. සමහර වෙලාවට ශුද්ධලියවිල්ලේ ඡේදයක් මගේ අවධානයට එකවරම හසුවෙන බවක් පේනවා. තවත් වෙලාවට, ශුභාරංචි මූලධර්මයක් පිළිබඳ පුළුල් අවබෝධයකින් මගේ මනස ආලෝකමත් වී ඇති බවක් මට හැඟෙනවා. මමත් මගේ බිරිඳ ඈන් මරීත් අපි කියවන දේ ගැන කතා කරන විටත් ශුද්ධාත්මයාණන්ගේ බලපෑම මට දැනෙනවා. ඇයගේ ඉදිරිදර්ශන සෑමවිටම ආත්මයාණන්ට ආරාධනා කරනවා.

අනාගතවක්තෘවරයා සහ පාස්කු උත්සවය

මේ අවුරුද්දේ අපි අධ්‍යයනය කරන්නේ අපගේ ප්‍රාණයන් ආලෝකයෙන් පුරවන ශුද්ධලියවිල්ල වන—පරණ ගිවිසුමයි. පරණ ගිවිසුම කියවන විට, ආදම්, ඒව, ඊනොක්, නෝවා, ආබ්‍රහම් සහ තවත් බොහෝ අය ඇතුළු: විශ්වාසවන්ත මාර්ගෝපදේශකයන් සමඟ මම කාලය ගතකරන බවක් මට දැනෙනවා.

මෙම සතියේ, නික්මයාම 7–13 පරිච්ඡේද අධ්‍යයනය කරන අතරතුර, ස්වාමින්වහන්සේ ඊශ්‍රායෙල් දරුවන්ව සියවස් ගණනාවක ඊජිප්තු වහල්භාවයෙන් නිදහස් කළ ආකාරය අපි ඉගෙනගන්නවා. පාරාවෝ තම සිත මෘදු කර නොගෙන සාක්ෂි දැරූ වසංගත නවයක් ගැන—දෙවියන්වහන්සේගේ බලයේ ආකර්ෂණීය ප්‍රකාශන වන වසංගත නවයක් ගැන අපි කියවනවා.

එවිට ස්වාමින්වහන්සේ තම අනාගතවක්තෘ මෝසෙස්ට දසවන වසංගතය ගැනත්—ඊශ්‍රායෙලයෙහි සෑම පවුලකටම එයට සූදානම් විය හැකි ආකාරය ගැනත් පැවසුවා. පාස්කු උත්සවය ලෙස ඔවුන් හඳුන්වනු ලබන චාරිත්‍රයක කොටසක් ලෙස, ඊශ්‍රායෙල්වරුන් කැළලක් නැති පිරිමි බැටළු පැටවෙකුව පූජා කළ යුතු වුණා. ඉන්පසු ඔවුන් තම නිවෙස්වල දොර රාමු බැටළු පැටවාගේ ලේ වලින් සලකුණු කළ යුතුයි. ලෙයින් සලකුණු කර ඇති සියලුම නිවාස පැමිණෙන්නට යන දරුණු වසංගතයෙන් ආරක්ෂා වන බව ස්වාමින්වහන්සේ පොරොන්දු වුණා.

ශුද්ධලියවිලි වල මෙසේ කියනවා, “ඊශ්‍රායෙල් පුත්‍රයෝ … ස්වාමින්වහන්සේ … මෝසෙස්ට අණ කළ පරිදි කළහ” (නික්මයාම 12:28). ඒ සරල කීකරු ප්‍රකාශය තුළ ඉතා ප්‍රබල දෙයක් තිබෙනවා.

ඊශ්‍රායෙල් පුත්‍රයෝ මෝසෙස්ගේ උපදෙස් පිළිපදිමින් ඇදහිල්ලෙන් ක්‍රියා කළ නිසා, ඔවුන් වසංගතයෙන් ගැලවී, කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ වහල්භාවයෙන් නිදහස් වුණා.

එසේනම් මේ සතියේ මෙම පරිච්ඡේද වල ශුද්ධාත්මයාණන් මට උගන්වන්නේ කුමක්ද?

මෙන්න මගේ මනසේ රැඳුණු සිතුවිලි කිහිපයක්:

  • ස්වාමින්වහන්සේ තම සෙනඟව ආරක්ෂා කිරීමට සහ ගලවාගැනීමට තම අනාගතවක්තෘවරයා හරහා ක්‍රියා කරනවා.

  • අනාගතවක්තෘවරයාව අනුගමනය කිරීමට ඇති ඇදහිල්ල සහ නිහතමානිකම මගින් ආරක්ෂාව සහ මිදීමේ ආශ්චර්යය පැමිණෙනවා.

  • දොර රාමුවේ ඇති ලේ, දෙවියන්වහන්සේගේ බැටළු පැටවා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අභ්‍යන්තර ඇදහිල්ලේ බාහිර ලකුණක්.

අනාගතවක්තෘවරයා සහ ස්වාමින්වහන්සේගේ පොරොන්දු

මෙම පරණ ගිවිසුමේ වාර්තාවේ ස්වාමින්වහන්සේ තම සෙනඟට ආශිර්වාද කළ ආකාරය සහ අද දින උන්වහන්සේගේ සෙනඟට ආශිර්වාද කරන ආකාරය අතර ඇති සමාන්තරය ගැන මම සිටින්නේ පැහැදීමකින්.

ස්වාමින්වහන්සේගේ ජීවමාන අනාගතවක්තෘ, සභාපති නෙල්සන්, ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමේ මාධ්‍යයක් ලෙස එන්න, මා අනුගමනය කරන්න අපට හඳුන්වා දුන් විට, අපගේ නිවෙස් ඇදහිල්ලේ ශුද්ධස්ථාන සහ ශුභාරංචිය ඉගෙනීමේ මධ්‍යස්ථාන බවට පරිවර්තනය කරන ලෙස ඔහු අපට ආරාධනා කළා.

ඉන්පසු ඔහු නිශ්චිත ආශිර්වාද හතරක් පොරොන්දු වුණා:

  1. ඔබේ සබත් දින ප්‍රීතිමත් වෙයි,

  2. ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් ඉගෙනගැනීමට සහ ජීවත් වීමට ඔබේ දරුවන් උනන්දු වෙයි,

  3. ඔබේ ජීවිතයේ සහ ඔබේ නිවසේ විරුද්ධවාදියාගේ බලපෑම අඩු වෙයි, ඒවගේම

  4. ඔබේ පවුලේ මේ වෙනස්කම් නාටකාකාර හා තිරසාර වෙයි.6

දැන්, ඊජිප්තුවේ මෝසෙස් සමඟ පාස්කුව අත්විඳි අයගේ දිනපොත් සටහන් කිසිවක් අපට නෑ. කෙසේවෙතත්, ඒ හා සමාන විශ්වාසයකින් යුතුව, අද සභාපති නෙල්සන්ගේ උපදෙස් පිළිපදින සහ පොරොන්දු වූ ආශිර්වාද ලබන ශුද්ධවන්තයන්ගේ සාක්ශි බොහොමයක් අපට තිබෙනවා.

මෙන්න එවැනි සාක්ෂි කිහිපයක්:

තරුණ පවුලක මවක් මෙසේ පැවසුවා: “අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන කතා කරන අතර අපේ නිවසේ ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීති වෙනවා. මට ඇති ලොකුම ආශිර්වාදය එයයි—මගේ දරුවන්ව ගැලවුම්කරුවාණන් වෙත සමීප කරන මෙම ශුභාරංචි සංවාද සමඟ නිවසේ ඔවුන්ට වර්ධනය වෙන්න පුළුවන්.”7

ජ්‍යෙෂ්ඨ සහෝදරයෙක් එන්න, මා අනුගමනය කරන්න හරහා ඔහුගේ ශුද්ධලියවිලි අධ්‍යයනය හැඳින්වූයේ “අපගේ අධ්‍යාත්මික යහපැවැත්මට අවශ්‍ය ශුභාරංචි දහම දැකීමට අපට උපකාර කරන දිව්‍යමය ආලෝකයෙන් පිරුණු මාර්ගයක්” ලෙසයි.8

තරුණ බිරිඳක් තම විවාහයේ ආශිර්වාද විස්තර කළේ මෙසේයි: “මගේ සැමියාගේ හදවත වඩාත් ගැඹුරින් දැනගැනීමට මට හැකි වී තිබෙනවා, අපි එකට අධ්‍යනය කරන විට මගේ හදවත ඔහුට තව තවත් විවෘත කිරීමට මට හැකි වී තිබෙනවා.”9

විශාල පවුලක මවක් තම පවුලට ඉගැන්වීමට දරන තම උත්සාහයන් වෙනස් වූ ආකාරය දුටුවා. ඇය මෙසේ සඳහන් කළා: “ආපසු හැරී බලන විට, මම හිම අත්වැසුම් පැළඳ පියානෝව වාදනය කළා වගෙයි. මම චලනයන් හරහා ගමන් කරමින් සිටියා, නමුත් සංගීතය එතරම් නිවැරදි වුණේ නෑ. දැන් අත්වැසුම් ගලවලා තියෙන්නේ, මගේ සංගීතය තවමත් පරිපූර්ණ නැති වුණත්, මට වෙනස ඇහෙනවා. එන්න, මා අනුගමනය කරන්න මට දැක්මක්, හැකියාවක්, අවධානයක්, සහ අරමුණක් ලබාදී තිබෙනවා.10

තරුණ ස්වාමිපුරුෂයෙක් මෙහෙම කිව්වා: “මම එන්න, මා අනුගමනය කරන්න මගේ උදෑසන නිතිපතා කොටසක් බවට පත්කරගෙන ඇති නිසා නිවසේ මගේ වැදගත්ම ප්‍රමුඛතා වඩාත් පැහැදිලි වී තිබෙනවා. දේවමාළිගාව ගැන, මගේ බිරිඳ සමඟ මගේ සම්බන්ධය ගැන, සහ මගේ කැඳවීම ගැන වැනි මට වඩාත්ම වැදගත් දේ ගැන වැඩිපුර සිතීමට මේ අධ්‍යයනය මාව යොමුකරනවා. මගේ නිවස දෙවියන්වහන්සේට මුල්තැන දෙන ශුද්ධස්ථානයක් වීම ගැන මම ස්තූතිවන්ත වෙනවා.”11

සහෝදරියක් මෙසේ බෙදාගත්තා: “එන්න, මා අනුගමනය කරන්න සමඟ මගේ දෛනික අත්දැකීම් සැලකිය යුතු තරම් දෙයක් වුණේ කලාතුරකින්, නමුත් කාලයත් සමඟම ශුද්ධලියවිලි පිළිබඳ නිරන්තර අවධානය සමඟ අධ්‍යයනය කිරීමෙන් මා වෙනස් වන ආකාරය මට පේනවා. ඒ වගේ අධ්‍යයනයක් මගින් මාව නිහතමානී කරනවා, මට උගන්වනවා, ඒ වගේම මාව ටිකෙන් ටික වෙනස් කරනවා.”12

ධර්මදූත සේවයක් අවසන් කළ අයෙක් මෙසේ වාර්තා කළා: “එන්න, මා අනුගමනය කරන්න වැඩසටහන මම මගේ ධර්මදූතයෙදී කළ ශුද්ධලියවිලි අධ්‍යයනයේ මට්ටමට මාව ළං කර තිබෙනබා, ඒවගේම ශුද්ධලියවිලි අධ්‍යයනයේ පිරික්සුම් ලැයිස්තු මානසිකත්වයේ සිට සැබවින්ම දෙවියන්වහන්සේව දැනගැනීමේ සාරවත් අධ්‍යනයක් වෙත යාමට මට හැකි වී තිබෙනවා.”13

එක් සහෝදරයෙක් මෙසේ පැවසුවා: “ශුද්ධාත්මයාණන් මගේ ජීවිතයේ වැඩි වැඩියෙන් සිටින ආකාරයත්, තීරණ ගැනීමේදී දෙවියන්වහන්සේගේ එළිදරව් කිරීමේ මගපෙන්වීමත් මට දැනෙනවා. ක්‍රිස්තුස්වහන්සේගේ සරල දහමේ ඇති අලංකාරය සහ උන්වහන්සේගේ වන්දිගෙවීම සම්බන්ධයෙන් මට දැන් වඩාත් ගැඹුරු සංවාද තිබෙනවා.”14

අවුරුදු හතක දරුවෙකු මෙසේ බෙදාගත්තා: “මම ඉක්මනින්ම බව්තීස්ම වෙනවා, එන්න, මා අනුගමනය කරන්න මාව සූදානම් කරනවා. මගේ පවුලේ අයයි මමයි බව්තීස්ම වීම ගැන කතා කරනවා, බව්තීස්ම වීම ගැන මට දැන් චකිතයක් දැනෙන්නේ නෑ. එන්න, මා අනුගමනය කරන්න, ශුද්ධාත්මයාණන්ට මගේ හදවතට පැමිණීමට උපකාර කරනවා, මම ශුද්ධලියවිලි කියවන විට මට හොඳ හැඟීමක් දැනෙනවා.15

අවසාන වශයෙන්, දරුවන් කිහිප දෙනෙකුගේ මවක් මෙසේ කිව්වා: “අපි දෙවියන්වහන්සේගේ වචනය අධ්‍යයනය කරන විට, අපගේ පවුලට කනස්සල්ලේ සිට බලය දක්වාත්; පරීක්ෂාවන් සහ අභියෝග වල සිට ගැලවීම දක්වාත්; ආරවුල් සහ විවේචන වල සිට ආදරය සහ සාමය දක්වාත්; සහ විරුද්ධවාදියාගේ බලපෑමේ සිට දෙවියන්වහන්සේගේ බලපෑම දක්වාත් යාමට උන්වහන්සේ උපකාර කළා.”16

මොවුන් සහ තවත් බොහෝ ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිලිවන්ත අනුගාමිකයින් සංකේතාත්මකව දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණන්ගේ රුධිරය ඔවුන්ගේ නිවෙස් වලට ඇතුල් වන දොරටුව මත ආලේප කර තිබෙනවා. ඔවුන් ගැලවුම්කරුවාණන්ව අනුගමනය කිරීමට ඔවුන්ගේ අභ්‍යන්තර කැපවීම පෙන්නුම් කරනවා. ඔවුන්ගේ ඇදහිල්ල නිසා ප්‍රාතිහාර්ය සිදුවෙනවා. එක් පුද්ගලයෙකුට ශුද්ධලියවිලි වල අත්දැකීමක් ඇති විට එම අත්දැකීම ශුද්ධාත්මයාණන්ගේ බලපෑමෙන් ආශිර්වාද කරනු ලැබෙන ආශිර්වාදය එයයි.

අපි ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට, දේශයේ අධ්‍යාත්මික සාගතයක් ඇතිවන්නේ නෑ. නෙපි පැවසූ පරිදි, “තවද දෙවියන්වහන්සේගේ වචනයට ඇහුම්කන්දෙන්නෝ කවුරුන්ද, තවද එය තදින් අල්ලාගන්නේද, ඔවුන් කිසිකලෙක නොනැසෙන්නෝය; ඔවුන්ව විනාශයට ගෙන යාමට, ඔවුන්ව අන්ධභාවයෙන් යටපත් කිරීමට, විරුද්ධකාරයාගේ පරීක්ෂාවන්ට සහ ගිනිමය හෙළි වලට නොහැකි වනු ඇත.” (1 නෙපි 15:24).

පුරාණ කාල වලදී, ඊශ්‍රායෙල් දරුවන් අනාගතවක්තෘ මෝසෙස් මගින් ස්වාමින්වහන්සේගේ ලබාදුන් මගපෙන්වීම අනුගමනය කළ නිසා, ඔවුන් ආරක්ෂාව සහ නිදහස සමඟ ආශිර්වාද ලැබුවා. අද, අපි අපගේ ජීවමාන අනාගතවක්තෘවරයා වන සභාපති නෙල්සන් හරහා ලබාදී ඇති ස්වාමින්වහන්සේගේ මගපෙන්වීම අනුගමනය කරන විට, අපගේ හදවත් තුළ හැරීම සහ අපගේ නිවෙස් තුළ ආරක්ෂාව සමඟ අපිත් එලෙසම ආශිර්වාද ලබනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවත්වන බවට මම සාක්ෂි දරනවා. මෙය අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් හරහා පොළොවේ නැවත පිහිටුවන ලද උන්වහන්සේගේ සභාවයි. සභාපති රසල් එම්. නෙල්සන් යනු වර්තමානයේ ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයායි. මම ඔහුට ප්‍රේම කරමින් ස්ථිර කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. Come, Follow Me—For Individuals and Families: Old Testament 2022, vii.

  2. “අපගේ පුද්ගලික අධ්‍යාත්මික වර්ධනය සඳහා අප එකිනෙකා වගකිව යුතුය” (රසල් එම්. නෙල්සන්, “ආරම්භක කතාව,” ලියහෝනා, නොවැ. 2018, 8).

  3. රසල් එම්. නෙල්සන්, “දේවමාළිගාව සහ ඔබේ අධ්‍යාත්මික පදනම,” ලියහෝනා, නොවැ. 2021, 93–96.

  4. සභාපති නෙල්සන් අපෙන් මෙසේ ආයාචනා කිරීමට මෙය වැදගත් හේතුවකි “ස්වාමින්වහන්සේ වෙනුවෙන් කාලය වෙන් කරන්න! ශුද්ධාත්මයාණන්ට සැමවිටම ඔබ සමඟ සිටීමට ඉඩ සලසන එම දේවල් කිරීමෙන් ඔබේම අධ්‍යාත්මික පදනම ස්ථිර කර කාලයාගේ පරීක්ශාවන්ට විරුද්ධව සිටගැනීමට හැකිවෙන ලෙස සැකසෙන්න” (“ස්වාමින්වහන්සේ උදෙසා කාලය වෙන් කරන්න,” ලියහෝනා, නොවැ. 2021, 120).

  5. අන් අය පවසන හෝ කරන දේ කුමක් වුවත්, සත්‍යය පිළිබඳව ඔබේ හදවතට සහ මනසට ගෙන එන සාක්ෂියක් කිසිවෙකුට රැගෙන යා නොහැකිය” (රසල් එම්. නෙල්සන් “සභාව සඳහා එළිදරව්, අපගේ ජීවිත සඳහා එළිදරව්,” ලියහෝනා, මැයි 2018, 95).

  6. බලන්න රසල් එම්. නෙල්සන්, “උදාහරණාත්මක පසුදවස් වල ශුද්ධවන්තයින් බවට පත්වීම,” ලියහෝනා, නොවැ. 2018, 113–14. සභාපති නෙල්සන් පසුගිය අප්‍රියෙල් මාසයේදී මෙම ආරාධනය නැවතත් කළේය: “කෙසේවෙතත්, ඔබේ නිවස ඔබේ ඇදහිල්ලේ මූලික අභයභූමිය බවට පත්කිරීමට ඔබ දක්වන කැපවීම කිසිවිටෙකත් අවසන් නොවිය යුතුයි. ඇද වැටුණු මේ ලෝකය තුළ ඇදහිල්ල හා ශුද්ධකම අඩුවන විට, ශුද්ධ වූ ස්ථාන සඳහා ඔබේ අවශ්‍යතාවය වැඩි වෙනවා. එම අත්‍යවශ්‍ය ඉලක්කයෙන් ‘නොසැලී’ [දහම සහ ගිවිසුම් 87:8; අවධාරණය කිරීම් සහිතයි] ඔබේ නිවස සැබවින්ම ශුද්ධ ස්ථානයක් බවට පත්කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා” (“අප ඉගෙනගන්නා සහ කිසිදා අමතක නොවන දේවල්,” ලියහෝනා, මැයි 2021, 79).

  7. පුද්ගලික ලිපි හුවමාරු කිරීමකි; තවත් බලන්න 2 නෙපි 25:26.

  8. පුද්ගලික ලිපි හුවමාරු කිරීමකි.

  9. පුද්ගලික ලිපි හුවමාරු කිරීමකි.

  10. පුද්ගලික ලිපි හුවමාරු කිරීමකි.

  11. පුද්ගලික ලිපි හුවමාරු කිරීමකි.

  12. පුද්ගලික ලිපි හුවමාරු කිරීමකි.

  13. පුද්ගලික ලිපි හුවමාරු කිරීමකි.

  14. පුද්ගලික ලිපි හුවමාරු කිරීමකි.

  15. පුද්ගලික ලිපි හුවමාරු කිරීමකි.

  16. පුද්ගලික ලිපි හුවමාරු කිරීමකි.