ප්‍රධාන සම්මන්ත්‍රණය
දැන් ඒ වෙලාවයි
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


දැන් ඒ වෙලාවයි

අපට ඉගෙනගත හැකි කාලය වන්නේ දැන්. අපට පසුතැවිලි විය හැකි කාලය වන්නේ දැන්. අපට අනෙක් අයට ආශිර්වාද කළ හැකි කාලය වන්නේ දැන්.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මෙම සම්මන්ත්‍රණය බොහෝ ආකාර වලින් ඓතිහාසික එකක් බවට පත්වුණා. යාච්ඤා, පණිවිඩ, සහ සංගීතයෙන් අපි ආශිර්වාද ලැබුවා. අපි ස්වාමින්වහන්සේගේ සේවකයන්ගෙන් අනුභාවය ලැබුවා.

අනාගතය සඳහා වැදගත් මගපෙන්වීමක් අපට ලැබී තිබෙනවා. මාගේ යාච්ඤාව තමයි, ඔබ කරනවාට ස්වාමින්වහන්සේට අවශ්‍ය දේවල් ආත්මයාණන් ඔබට කෙළින්ම කතා කර තිබීම.

අනාගතය හැමවිටම අවිනිශ්චිතයි. කාලගුණ වෙනස්කම්. ආර්ථික චක්‍ර අනපේක්ෂිතයි. විපත්, හදිසි අනතුරු, සහ රෝග වලට ජීවිතය ඉක්මනින් වෙනස් කළ හැකියි. මෙම සිදුවීම් බොහෝ දුරට ඇත්තේ අපගේ පාලනයෙන් ඔබ්බටයි. නමුත් අපි දිනපතා කාලය ගතකරන ආකාරය ඇතුළුව, අපට පාලනය කළ හැකි සමහර දේවල් තිබෙනවා.

හෙන්රි වැන් ඩයික් විසින් නිව්යෝර්ක්හි වෙල්ස් විද්‍යාලයේ හෝරා තැටියක පළකරන ලද මෙම කවියට මම කැමතියි. එහි මෙසේ සඳහන් වෙනවා:

මගේ අතෙන් වැටෙන සෙවනැල්ල

අනාගතය අතීතයෙන් වෙන් කරයි:

ඊට පෙර, නූපන් පැය නිදාගනී

අන්ධකාරයේ, සහ ඔබේ බලයෙන් ඔබ්බට:

එහි ආපසු නොඑන රේඛාව පිටුපස,

අතුරුදහන් වූ පැය, තවදුරටත් ඔබේ නොවේ:

එක පැයක් ඇත්තේ ඔබ අතෙයි,—

වර්තමානය පවතින්නේ මේ සෙවනැල්ල මතයි.1

ඔව්, අප අතීතයෙන් ඉගෙනගත යුතුයි, ඒවගේම ඔව්, අප අනාගතය සඳහා සූදානම් විය යුතුයි. නමුත් අපට ඒවා කළ හැක්කේ දැන් පමණයි. අපට ඉගෙනගත හැකි කාලය වන්නේ දැන්. අපට පසුතැවිලි විය හැකි කාලය වන්නේ දැන්. අපට අන් අයට ආශිර්වාද කිරීමටත්, “පහළට එල්ලා වැටෙන දෑත් ඔසවන්නට”2 හැකි කාලය වන්නේ දැන්. මොර්මොන් ඔහුගේ පුත් මොරෝනිට උපදෙස් දුන් ලෙස, “අපි උද්යෝගයෙන් වෙහෙස වෙමු; … මක්නිසාද අපි මෙම මැටි කූඩාරමේ සිටින තුරු වෙහෙසවීම් සිදුකළ යුතු වන්නෙමු, ඒ කරණකොටගෙන අප සියලු ධර්මිෂ්ඨකමේ සතුරා පරාජය කරමින් අපගේ ප්‍රාණයන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ විශ්‍රාම ගැනීමටය.”3

විරුද්ධවාදියා කවදාවත් නිදාගන්නේ නෑ. සෑමවිටම සත්‍යයට විරුද්ධත්වයක් තිබෙනවා. වැඩිහිටි ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ් කතා කළ, ඔබගේ ධනාත්මක ආධ්‍යාත්මික ගම්‍යතාවය වැඩි කරන, කුමන අභියෝග සහ අවස්ථාවන් පැමිණියද ඒවා හරහා ඔබව ඉදිරියට ගෙන යාමට හැකි වන පරිදි එම දේවල් කිරීමට, මම අද උදෑසන සිට කළ මගේ ඉල්ලීම නැවත නැවතත් ඉදිරිපත් කරනවා.

අප දේවමාළිගාවේ නමස්කාර කරන විට ධනාත්මක අධ්‍යාත්මික ගම්‍යතාව වැඩි වන අතර, එහිදී අපට ලැබෙන ආශිර්වාද වල විශිෂ්ට පළල සහ ගැඹුර පිළිබඳ අවබෝධය වර්ධනය වෙනවා. දේවමාළිගාවේ සදාකාලික ආශිර්වාද කෙරෙහි අවධානය යොමුකරමින් ලෞකික මාර්ග වලට එරෙහි වන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔබ එහි ගතකරන කාලය සදාකාලයටම ආශිර්වාද ගෙන එනවා.

සභාව වර්ධනය වන විට, අපි තවත් දේවමාළිගා ගොඩනගමින් වේගයෙන් ඉදිරියට යාමට උත්සාහ කරනවා. නව දේවමාළිගා හතළිස්-හතරක් වර්තමානයේ ඉදිවෙමින් පවතිනවා. තවත් ඒවා අලුත්වැඩියා වෙමින් පවතිනවා. ලොව පුරා මෙම ව්‍යාපෘති වල වැඩ කරන ඒ දක්ෂ පුද්ගලයින් වෙනුවෙන් මම යාච්ඤා කරනවා.

යාච්ඤාපූර්වක කෘතඥතාවයේ ආත්මය තුළ, පහත සඳහන් සෑම ස්ථානයකම නව දේවමාළිගාවක් ඉදිකිරීමට අපගේ සැලසුම් නිවේදනය කිරීමට මම සතුටු වෙනවා: වෙලින්ටන්, නවසීලන්තය; බ්‍රසාවිල්, කොංගෝ ජනරජය; බාර්සිලෝනා, ස්පාඤ්ඤය; බර්මින්හැම්, එක්සත් රාජධානිය; කුස්කෝ, පේරු; මැසියෝ, බ්‍රසීලය; සැන්ටොස්, බ්‍රසීලය; සැන් ලුයිස් පොටෝසි, මෙක්සිකෝව; මෙක්සිකෝ නගර බෙනේමෙරිතෝ, මෙක්සිකෝව; ටැම්පා, ෆ්ලොරිඩා; නොක්ස්විල්, ටෙනසි; ක්ලීව්ලන්ඩ්, ඔහයෝ; විචිතා, කන්සාස්; ඔස්ටින්, ටෙක්සාස්; මිසූලා, මොන්ටානා; මොන්ට්පෙලියර්, අයිඩහෝ; සහ මොඩෙස්ටෝ, කැලිෆෝනියාව.

මෙම දේවමාළිගා 17 තිරය දෙපස අසංඛ්‍යාත ජීවිත වලට ආශිර්වාද කරයි. මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මම ඔබට ආදරෙයි. විශේෂයෙන්ම, ස්වාමින්වහන්සේ ඔබට ප්‍රේම කරනවා. උන්වහන්සේ ඔබේ ගැලවුම්කරුවාණන් සහ ඔබේ මිදුම්කරුවාණන්. උන්වහන්සේ තම සභාවට නායකත්වය දෙනවා එමෙන්ම මගපෙන්වනවා. “නුඹලා මාගේ සෙනඟ වන්නහුය, මමද නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමියි”4 කී ස්වාමින්වහන්සේට සුදුසු ජනතාවක් වෙමු.

මේ සඳහා මම යාච්ඤා කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.