ප්‍රධාන සම්මන්ත්‍රණය
පියාණන්ගේ සැලැස්ම තුළ ඇති දිව්‍යමය ප්‍රේමය
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


පියාණන්ගේ සැලැස්ම තුළ ඇති දිව්‍යමය ප්‍රේමය

මෙම නැවත පිහිටුවන ලද සභාවේ දහම සහ ප්‍රතිපත්ති වල පරමාර්ථය වන්නේ සෙලෙස්ටියල් රාජධානියේ දෙවියන්වහන්සේගේ දරුවන්ගේ ගැලවීම සහ ඉහළම මට්ටමින් උත්කර්ෂය සඳහා ඔවුන්ව සූදානම් කිරීමයි.

ශුභාරංචි සැලැස්ම පෙන්වන්නේ අපේ ස්වර්ගික පියාණන්වහන්සේගේ සියලුම දරුවන්ට උන්වහන්සේගේ ඇති ප්‍රේමය පිළිබඳ පණිවිඩයක්. මෙය තේරුම්ගන්න නම්, අපි උන්වහන්සේගේ සැලැස්ම සහ උන්වහන්සේගේ ආඥාවන් තේරුම්ගැනීමට උත්සාහ කළ යුතුයි. උන්වහන්සේ තම දරුවන්ට කොතරම් ප්‍රේම කරනවාද කියනවනම්, අපේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් වී, අපි වෙනුවෙන් දුක් විඳීමට සහ මිය යාමට, උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව ලබාදුන්නා. නැවත පිහිටුවන ලද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව තුළ, අපේ ස්වර්ගික පියාණන්ගේ සැලැස්ම පිළිබඳව අපට අද්විතීය අවබෝධයක් තිබෙනවා. මෙය අපට ලෞකික ජීවිතයේ අරමුණ, එය අනුගමනය කරන දිව්‍යමය විනිශ්චය, සහ දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ගේ අවසාන තේජාන්විත ඉරණම දෙස බලන්නට වෙනස් ආකාරයක් ලබාදෙනවා.

මගේ සහෝදර සහෝදරියනි, මම ඔබට ආදරෙයි. මම දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට ආදරෙයි. “නීතියේ ශ්‍රේෂ්ටතම ආඥාව කුමක්ද?” කියා යේසුස් වහන්සේගෙන් ඇහුවහම, දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම සහ අසල්වැසියන්ට ප්‍රේම කිරීම දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ආඥා වලින් පළමුවැන්න බව උන්වහන්සේ ඉගැන්වුවා.1 එම ආඥාවන් පළමුවැනි ස්ථානය ගන්න හේතුව තමයි ඒවා අපිට දෙවියන්වහන්සේ අපිට දක්වන ප්‍රේමය අනුකරණය කිරීමට උත්සාහ කිරීම මගින් ආත්මිකව වර්ධනය වෙන්න ආරාධනා කරනවා. අපේ ස්වර්ගීය පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව තුළ පිහිටුවා ඇති ප්‍රේමණීය දහම සහ ප්‍රතිපත්ති පිළිබඳව අපි හැමෝටම වඩාත් හොඳ අවබෝධයක් තිබුනානම් කියා මම ප්‍රාර්ථනා කරනවා. මම දැන් කියන දෙයින් මම පැහැදිලි කරන්න උත්සහ කරන්නේ, දෙවියන්වහන්සේගේ ප්‍රේමය මගින් එම දහම සහ සභාවේ එම දේවානුභාවය ලත් ප්‍රතිපත්ති පැහැදිලි කරන්නේ කොහොමද කියලයි.

I.

අවසානයේදී ලෞකික ජිවිතයෙන් පස්සෙ එන විනිශ්චය ගැන තියන එක පොදු වරදවා වටහාගැනීමක් තමයි, හොඳ මිනිසුන් ස්වර්ගය නම් ස්ථානයකටත් නරක මිනිසුන් නිරය නම් සදාකාලික ස්ථානයකටත් යන බව. ගමනාන්ත දෙකක් පමණක් පිළිබඳ කියන මෙම වැරදි උපකල්පනයෙන් ගම්‍ය වන්නේ, ස්වර්ගයට අවශ්‍ය සියලුම ආඥා පිළිපැදිය නොහැකි අය අනිවාර්යයෙන්ම සදහටම අපායට යන බවයි.

ආදරණීය ස්වර්ගික පියෙකුට තම දරුවන් සඳහා ඊටත් වඩා හොඳ සැලැස්මක් තියෙනවා. නැවත පිහිටුවන ලද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ එළිදරව් කරන ලද දහම උගන්වන්නේ දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්—මෙහි සලකා බැලීමට ඉතා සීමිත වූ ව්‍යතිරේක සහිතව—අවසානයේ මහිමාන්විත රාජ්‍යයක් තුළ අවසන් වන බවයි.2 “මගේ පියාණන්ගේ ගෘහයේ බොහෝ වාසස්ථාන ඇත්තේය,”3 ලෙස යේසුස්වහන්සේ ඉගැන්නුවා. එම වාසස්ථාන විවිධ මහිමාන්විත රාජධානි තුනක පවතින බව, නූතන එළිදරව් මගින් අපි දන්නවා. අවසාන විනිශ්චයේදී අප සෑම කෙනෙකුවම අපේ ක්‍රියාවන් සහ අපේ හදවතේ ආශාවන් අනුව විනිශ්චය කරනු ලැබෙනවා.4 ඊට පෙර, අපේ පසුතැවිලි නොවුණු පව් වලට අපිට දුක්විඳින්නට සිදුවෙයි. ශුද්ධලියවිලි වල ඒ ගැන පැහැදිලිව සඳහන් වෙනවා.5 ඊටපස්සේ අපේ ධර්මිෂ්ඨ විනිශ්චයකරු ඒ මහිමාන්විත රාජ්‍ය වලින් එකක අපට පදිංචිය ලබාදෙයි. මේ අනුව, නූතන එළිදරව්වෙන් අපි දන්නා ලෙස, සියල්ලන්වම “… විනිෂ්චය කරනු ලබන්නේය, තවද සෑම මනුෂ්‍යයෙකුම සකස් කර ඇති එම මන්දිර වල, ඔහුගේම ස්වකීය ක්‍රියාවන්ට අනුව, ඔහුගේම ස්වකීය ආධිපත්‍යය ලබන්නේය.”6

මේ මහිමාන්විත රාජ්‍යයන් වලින් දෙකක් ගැන සන්සන්දනාත්මකව සුළුවෙන් හෙළි කිරීමට ස්වාමින්වහන්සේ තෝරාගෙන තිබෙනවා. ඊට වෙනස්ව, “හිරුගේ මහිමය” ලෙස බයිබලය විස්තර කරන, මහිමයේ ඉහළම රාජ්‍යය ගැන ස්වාමින්වහන්සේ බොහෝ දේ හෙළිකර තිබෙනවා.7

“සෙලෙස්ටියල්” මහිමය8 ඇතුළේ තත්ත්ව, හෝ මට්ටම් තුනක් තියෙනවා.9 මේවායින් ඉහළම දෙය තමයි සෙලෙස්ටියල් රාජ්‍යයේ උත්කර්ෂය ලබාගැනීම, එහිදී අපිට අපේ පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයා වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වගේ වෙන්න පුළුවන්. අපේ දිව්‍යමය හැකියාවන් සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය දිව්‍යමය ගුණාංග සහ ස්වභාවයේ වෙනස්වීම වර්ධනය කිරීමට අපිට උදව් කිරීමට, ස්වාමින්වහන්සේ විසින් සදාකාලික නීතිය මත පදනම් වූ දහම සහ ආඥා ස්ථාපිත කර තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව තුළ අපි උගන්වන්නේ මෙයයි, මොකද මෙම නැවත පිහිටවූ සභාවේ දහම සහ ප්‍රතිපත්ති වල පරමාර්ථය තමයි, සෙලෙස්ටියල් මහිමය තුළ, විශේෂයෙන්ම, එහි උසස්ම තත්ත්වයේ උත්කර්ෂය වෙනුවෙන් ගැලවීම ලබාගන්න දෙවියන්වහන්සේගේ දරුවන්ව සූදානම් කිරීම.

දෙවියන්වහන්සේගේ දේවමාළිගා වල ඇතිකරගත් ගිවිසුම් සහ ඇදහිලිවන්තයන්ට පොරොන්දු වූ ආශිර්වාද ඒ සඳහා මූලික වෙනවා. අපගේ ලෝක ව්‍යාප්ත දේවමාළිගා ගොඩනැගීම මෙයින් පැහැදිලි වෙනවා, ඒ ගැන ගායනා කණ්ඩායම ඉතා අලංකාර ලෙස ගායනා කළා. දේවමාළිගාවේ ගිවිසුම් සහ නියෝග උත්කර්ෂය ලඟා කරගැනීම සඳහා අපිව මෙහෙයවන බව තේරුම් නොගැනීමෙන්, සමහරු මෙම අවධාරණයෙන් ව්‍යාකූල වෙනවා. මෙය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ මේ තත්ත්ව තුනේ මහිමය පිළිබඳ අනාවරණය වෙලා තිබෙන සත්‍යයේ සන්දර්භය තුළ පමණයි. අපේ ස්වර්ගික පියාණන්වහන්සේ තම සියලුම දරුවන් කෙරෙහි දක්වන ඉමහත් ප්‍රේමය නිසා, උන්වහන්සේ විසින් වෙනත් මහිමාන්විත රාජ්‍යයන්ද ලබාදී තිබෙනවා—වැඩිහිටි ක්වින්ටින් එල්. කුක් ඊයේ පැහැදිලි කළ පරිදි—ඒ සියල්ල අපට තේරුම්ගත නොහැකි තරම් පුදුම සහගතයි.10

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම මේ සියල්ල යථාර්ථයක් කළා. උන්වහන්සේ “පියාණන්වහන්සේව මහිමවත් කරන [බවත්], තවද උන්වහන්සේගේ හස්තයෙහි සියලු මැවීම් රකින [බවත්]” උන්වහන්සේ එළිදරව් කර තිබෙනවා.11 එම ගැලවීම විවිධ මහිමාන්විත රාජ්‍යයන් තුළ ලබාදී තිබෙනවා. “සියලුම රාජ්‍යයන්ට නීතියක් දී [ඇති බව]”12 නූතන එළිදරව් මගින් අපි දන්නවා. සැලකිය යුතු ලෙස:

“මක්නිසාද යමෙකුට සෙලෙස්ටියල් රාජ්‍යයේ නීතිය අනුව පැවතිය නොහැකි නම්, ඔහුට සෙලෙස්ටියල් මහිමයේ පැවතිය නොහැකිය.

“තවද යමෙකුට ටෙ‍රෙස්ට්‍රියල් රාජ්‍යයේ නීතිය අනුව පැවතිය නොහැකි නම්, ඔහුට ටෙ‍රෙස්ට්‍රියල් මහිමයේ පැවතිය නොහැකිය.

“තවද යමෙකුට ටෙලෙස්ටියල් රාජ්‍යයේ නීතිය අනුව පැවතිය නොහැකි නම්, ඔහුට ටෙලෙස්ටියල් මහිමයේද පැවතිය නොහැකිය.”13

වෙනත් වචන වලින් කිවහොත්, අවසාන විනිශ්චයේදී අපට ලැබෙන මහිමයේ රාජ්‍යය තීරණය වන්නේ අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ ප්‍රේමණීය සැලැස්ම තුළ රැඳී සිටීමට අප තෝරාගන්නා නීති මගින්. එම සැලැස්ම යටතේ රාජධානි කිහිපයක් තිබෙන්න හේතුව තමයි, එවිට උන්වහන්සේගේ සියලුම දරුවන්ව ඔවුන්ට “පවතින්නට” හැකි රාජ්‍යයකට වෙන්කෙරෙන්න පුළුවන්.

II.

ස්වාමින්වහන්සේගේ නැවත පිහිටවූ සභාවේ ඉගැන්වීම් සහ ප්‍රතිපත්ති මෙම සදාකාලික සත්‍යයන් අදාළ කරන්නේ, අපේ ස්වර්ගික පියාණන්ගේ සියලු දරුවන් සඳහා වන ප්‍රේමනීය සැලැස්මේ සන්දර්භය තුළ පමණක් සම්පූර්ණයෙන් තේරුම් ගතහැකි ආකාරයටයි.

මේ අනුව, අපි පුද්ගලික තෝරාගැනීමේ නිදහසට ගරු කරනවා. ආගමික නිදහස ප්‍රවර්ධනය කිරීම සඳහා මේ සභාවේ විශාල උත්සාහයන් ගැන බොහෝ දෙනෙක් දන්නවා. මේ උත්සාහයන් අපේ ස්වර්ගික පියාණන්ගේ සැලැස්ම ඉදිරියට ගෙන යාමට උදව් වෙනවා. අපේ සාමාජිකයන්ට පමණක් නොවේ—උන්වහන්සේගේ සියලුම දරුවන්ට තෝරාගැනීමේ අනර්ඝ නිදහස භුක්ති විඳීමට—උදව් කරන්න අපි උත්සාහ කරනවා.

ඒ හා සමානවම, ක්‍රිස්තියානි ජනගහනය අතර පවා බොහෝ ජාතීන්ට අපි ධර්මදූතයින්ව යවන්නේ ඇයි කියා අපෙන් සමහරවිට අහනවා. අපේ ධර්මදූත ප්‍රයත්නයන්ට සම්බන්ධ කර නොගනිමින් අපේ සභාවේ සාමාජිකයන් නොවන පුද්ගලයින්ට දැවැන්ත මානුෂීය ආධාර ලබාදෙන්නේ ඇයි කියාත් අපෙන් අහනවා. අපි මෙය කරන්නේ උන්වහන්සේගේ සියලු දරුවන්ව අපගේ සහෝදර සහෝදරියන් ලෙස සැලකීමට ස්වාමින්වහන්සේ අපට උගන්වා ඇති නිසා, සහ අපේ අධ්‍යාත්මික හා ලෞකික බහුලත්වය සියලුදෙනා සමඟ බෙදාගැනීමට අපට අවශ්‍ය නිසයි.

සදාකාලික දහම දරුවන් පිළිබඳ සුවිශේෂී ඉදිරිදර්ශනයක්ද සපයනවා. මෙම ඉදිරිදර්ශනය තුළින් දරුවන් බිහි කිරීම සහ පෝෂණය කිරීම දිව්‍ය සැලැස්මේ කොටසක් ලෙස අපි දකිනවා. එය ඒ සඳහා එයට සහභාගී වීමට බලය ලබාදී ඇති අය සඳහා ප්‍රීතිමත් සහ පරිශුද්ධ යුතුකමක්. එමනිසා, දෙවියන්වහන්සේගේ සැලැස්ම යටතේ දරුවන්ගේ සංවර්ධනය හා සන්තෝෂය සඳහා හොඳම කොන්දේසි සපයන මූලධර්ම සහ භාවිතයන් ඉගැන්වීමට හා ඒ වෙනුවෙන් පෙනී සිටින්නට අපිට ආඥා කර තිබෙනවා.

III.

අවසාන වශයෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව නිසි ලෙස ප්‍රසිද්ධ වී තිබෙන්නේ පවුල කේන්ද්‍ර කරගත් සභාවක් ලෙසයි. නමුත් අපේ පවුල් කේන්ද්‍රගතකම ලෞකික සබඳතා වලට පමණක් සීමා නොවන යථාර්ථය නම් හොඳින් වටහාගෙන නෑ. සදාකාලික සබඳතාත් අපේ දේවදහමට මූලික වෙනවා. නැවත පිහිටුවන ලද සභාවේ මෙහෙවර වන්නේ දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට ඔවුන්ගේ අවසාන ඉරණම ලෙස දෙවියන්වහන්සේ කැමති දේ සඳහා සුදුසුකම් ලැබීමට උපකාර කිරීමයි. ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් සපයන ලද මිදීමෙන්, “දෙවියන්වහන්සේ සියලු කීකරුවූවන්ට දෙන”14 බවට ඒව අම්මා ප්‍රකාශ කළ, සදාකාල ජීවනය (සෙලෙස්ටියල් රාජ්‍යයේ උත්කර්ෂය) හැමෝටම ලබාගන්න පුළුවන්. මෙය ගැලවීමට වඩා වැඩි දෙයක්. සභාපති රසල් එම්. නෙල්සන් අපිට මෙසේ මතක්කර දී තිබෙනවා, “දෙවියන්වහන්සේගේ සදාකාලික සැලැස්ම තුළ, ගැලවීම යනු තනි පුද්ගල කාරණයකි; [නමුත්] උත්කර්ෂය යනු පවුලේ කාරණයකි.”15

උත්කර්ෂය ලබාගත හැකිවන්නේ පිරිමියෙකු සහ ගැහැණියක අතර සදාකාලික විවාහයක ගිවිසුම් වලට ඇදහිලිවන්තකමින් පමණක් බවට වූ දෙවියන්වහන්සේගේ එළිදරව් අපට මූලික වෙනවා.16 “ස්ත්‍රී පුරුෂ භාවය යනු පුද්ගලයෙකුගේ පෙර ආත්මික, ලෞකික, සහ සදාකාලික අනන්‍යතාවයේ සහ අරමුණෙහි අත්‍යවශ්‍ය ලක්ෂණයක්” බව අපි උගන්වන්නේ එම දිව්‍ය දහම නිසයි.17

පිරිමියෙකු සහ ගැහැණියක අතර විවාහය යන උන්වහන්සේගේ දහම වෙනස් කිරීමට ඇති සමාජීය සහ නීතිමය බලපෑම් වලට විරුද්ධ වීමටත්, එමෙන්ම ස්ත්‍රී පුරුෂ භාවය අතර වෙනස්කම් සමජාතීය කරන හෝ ලිංගභේදය අවුල් කරන හෝ වෙනස් කරන වෙනස්කම් වලට විරුද්ධ වීමට, ස්වාමින්වහන්සේ තම නැවත පිහිටවූ සභාවෙන් බලාපොරොත්තු වන්නේ ඒ හේතුව නිසයි.

මෙම මූලික කරුණු සම්බන්ධයෙන් නැවත පිහිටුවන ලද සභාවේ ආකල්ප නිතරම විරුද්ධත්වය පෙන්වනවා. අපිට එය තේරෙනවා. අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්ම “සියල්ලෙහි විරුද්ධත්වයට”18 ඉඩ සලසන අතර, සාතන්ගේ දැඩි විරුද්ධත්වය එම සැලැස්මට වඩාත්ම වැදගත් දේවල් කෙරෙහි යොමුවෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔහු විවාහය විකෘති කිරීම, දරුවන් බිහිකිරීම අධෛර්යමත් කිරීම, හෝ ස්ත්‍රී පුරුෂ භාවය ව්‍යාකූල කිරීම මගින් උත්කර්ෂය කරා යන ප්‍රගතියට විරුද්ධ වීමට උත්සාහ කරනවා. කෙසේවෙතත්, දිගු කාලීනව, අපේ ආදරණීය ස්වර්ගික පියාණන්වහන්සේගේ දිව්‍යමය අරමුණ සහ සැලැස්ම වෙනස් නොවන බව අපි දන්නවා. පුද්ගලික තත්වයන් වෙනස් විය හැකි අතර, දිගුකාලීනව, ඔවුන්ගේ ගිවිසුම් රකින ඇදහිලිවන්තයින්ට පොරොන්දු වූ සෑම ආශිර්වාදයක් සඳහාම සුදුසුකම් ලැබීමට අවස්ථාව ලැබෙන බව දෙවියන්වහන්සේගේ සැලැස්ම සහතික කරනවා.19

“දෙවියන්වහන්සේගේ සියලු දීමනා අතරින් ශ්‍රේෂ්ඨතම දෙය,”20 වන සදාකාල ජීවනය සඳහා සූදානම් වීමට අපිට උපකාර කිරීම සඳහා අද්විතීය වටිනා ඉගැන්වීමක් තමයි, පවුල පිළිබඳ 1995 දී ලබාදුන් ප්‍රකාශනය.21 එහි ප්‍රකාශන, ඇත්තවශයෙන්ම, සහවාසය සහ සමලිංගික විවාහ වැනි, සමහර වර්තමාන නීති, භාවිතයන්, සහ උපදේශන වලට වඩා වෙනස්. තම දරුවන් සඳහා පියාණන්වහන්සේගේ ආදරණීය සැලැස්ම සම්පූර්ණයෙන් වටහා නොගන්නා අය, මෙම පවුල් ප්‍රකාශනය වෙනස් කළ හැකි ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලෙස සලකනවා. ඊට හාත්පසින්ම වෙනස්ව, අපි තහවුරු කරන්නේ, ආපසු හැරවිය නොහැකි දහම මත පදනම් වූ මෙම පවුල් ප්‍රකාශනය, අපගේ සදාකාලික සංවර්ධනයේ වැදගත්ම කොටස සිදුවිය හැකි පවුල් සබඳතාවන් නිර්වචනය කරන බවයි.

නැවත පිහිටුවන ලද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ අද්විතීය දහම සහ ප්‍රතිපත්ති සඳහා සන්දර්භය එයයි.

IV.

ලෞකික ජීවිතයේ බොහෝ සබඳතා සහ තත්වයන් තුළ, අපි සෑම කෙනෙකුම වෙනස්කම් සමඟ ජීවත් විය යුතුයි. අපගේ සෙසු මිනිසුන්ට ප්‍රේම කළ යුතු ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයින් ලෙස, අපි මෙන් විශ්වාස නොකරන අය සමඟ අපි සාමකාමීව ජීවත් විය යුතුයි. අපි හැමෝම ආදරණීය ස්වර්ගික පියාණන් කෙනෙකුගේ දරුවන්. අපි සියල්ලන්ටම, උන්වහන්සේ විසින් මරණයෙන් පසු ජීවිතයක් සහ, අවසානයේදී, මහිමයේ රාජ්‍යයක් නියම කර තිබෙනවා. ලොවපුරා ඉදිවන උන්වහන්සේගේ ශුද්ධ වූ දේවමාළිගා වල ඉටුකෙරෙන උන්වහන්සේගේ උසස්ම ආඥා, ගිවිසුම්, සහ නියෝග පිළිපැදීම මගින්, උන්වහන්සේගෙන් ලැබිය හැකි ඉහළම ආශිර්වාදයන් සඳහා උත්සහ කිරීම දෙවියන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. මෙම සදාකාලික සත්‍යයන් අන් අය සමඟ බෙදාගැනීමට අපි උත්සාහ කළ යුතුයි. නමුත් අපි අපේ අසල්වැසියන් සියලුදෙනාටම ණයගැති ප්‍රේමය සමඟින්, අපි ඔවුන්ගේ තීරණ සෑමවිටම පිළිගන්නවා. මොර්මොන්ගේ පොතේ අනාගතවක්තෘවරයෙකු ඉගැන්වූ පරිදි, අපි “දෙවියන්වහන්සේට සහ සියලු මනුෂ්‍යයන්ට ප්‍රේමය ඇතිව”22 ඉදිරියට යා යුතුයි.

අපේ අවසන් සම්මන්ත්‍රණය අතරතුරදී සභාපති රසල් එම්. නෙල්සන් ප්‍රකාශ කළ පරිදි: “අපේ ගැලවුම්කරුවාණන් පිළිබඳ දැනුම සෑම පුද්ගල ප්‍රාණයකටම පුද්ගලිකව අත්‍යවශ්‍ය හා අදාළ වන මෙවැනි කාලයක් ලෝක ඉතිහාසයේ තිබුණේ නෑ. ක්‍රිස්තුස්වහන්සේගේ පිවිතුරු දහම බලවත්. එය තේරුම්ගත් සහ එය ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන සෑම කෙනෙකුගේම ජීවිතය වෙනස් කරනවා.”23

අපි සියලුදෙනාටම එම පූජනීය දහම අපගේ ජීවිත තුළ ක්‍රියාවට නංවනු ලැබේවායි මම යාච්ඤා කරන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.