ප්‍රධාන සම්මන්ත්‍රණය
නුඹගේ හදවත ඔසවා ප්‍රීති ප්‍රමුදිත වන්න
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


නුඹගේ හදවත ඔසවා ප්‍රීති ප්‍රමුදිත වන්න

අපි මේ කාලයේ ඉපදුණේ දිව්‍යමය අරමුණක් සඳහායි, ඒ ඊශ්‍රායෙලය එක්රැස් කිරීම සඳහායි.

අලුතින් හැරී ආ අයෙකු වූ තෝමස් බී. මාර්ශ් හට කතාකර ඔහුව දිරිගන්වන්නට ස්වාමින්වහන්සේ මෙසේ පැවසුවා, “නුඹගේ හදවත ඔසවා ප්‍රීති ප්‍රමුදිත වන්න, මක්නිසාද නුඹගේ ධර්මදූතයේ පැය පැමිණ ඇත්තේය” (දහම සහ ගිවිසුම් 31:3).

මෙම ආරාධනය සභාවේ සියලුම සාමාජිකයින්ට පෙළඹවීමක් විය හැකි බව මම විශ්වාස කරනවා. සියල්ලට පසු, අපි සෑම කෙනෙකුටම අපගේ ස්වර්ගික පියාණන්ගෙන් තිරය දෙපස ඊශ්‍රායෙලය එක්රැස්කිරීමේ මෙහෙවර ලැබී තිබෙනවා.

“එම එක්රැස් කිරීම” පිළිබඳව සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ පැවසුවා, “ඒ තමයි, අද මිහිමත සිදුවන වැදගත්ම දෙය. අන් කිසිවක් එහි විශාලත්වයෙන් සැසඳිය නොහැකිය, අන් කිසිවක් එහි වැදගත්කමින් සැසඳිය නොහැකිය, අන් කිසිවක් එම තේජාන්විත බවට සමාන නොවේ.”1

නිසැකවම, ලෝකයේ බොහෝ වටිනා කාරණා රාශියක් තිබෙනවා. ඒවා සියල්ලම නම් කිරීම කළ නොහැක්කක්. නමුත් ඔබගේ දායකත්වයට වැදගත් වෙනසක් කළ හැකි සහ ඔබට ළඟා විය හැකි විශාල කාර්යයකට සහභාගී වීමට ඔබ කැමති නැද්ද? එක්රැස්වීම සැමටම සදාකාලික වෙනසක් ඇතිකරයි. සියලුම වයස්වල පුද්ගලයින්ට ඔවුන්ගේ තත්වයන් සහ ඔවුන් ජීවත් වන ස්ථානය නොසලකා මෙම කාර්යයට සහභාගී විය හැකියි. සියලුදෙනාට ඇතුළත් විය හැකි වෙනත් කාර්යයක් ලෝකයේ නෑ.

විශේෂයෙන්ම යෞවනයින් අමතමින් සභාපති නෙල්සන් මෙසේ පැවසුවා: “අපගේ ස්වර්ගික පියාණන් උන්වහන්සේගේ උතුම් ආත්මයන් බොහෝමයක්—සමහරවිට, උන්වහන්සේගේ හොඳම කණ්ඩායම—මෙම අවසාන අදියර සඳහා වෙන්කර තිබෙනවා. ඒ උතුම් ආත්මයන්—ඒ හොඳම ක්‍රීඩකයන්, ඒ වීරයන්—ඔබයි!”2

ඔව්, ඔබ මේ ජීවිතයේ පෙර සිටම සූදානම් වී දැන් ඉපදී සිටින්නේ මේ අවසාන දිනවල තිරය දෙපස ඊශ්‍රායෙල්වරුන් එක්රැස් කිරීමේ මහා කාර්යයට සහභාගී වීමටයි (බලන්න දහම සහ ගිවිසුම් 138:53–56).

මෙම කාර්යය එතරම් වැදගත් වන්නේ ඇයි? මොකද සෑම මනුෂ්‍යයෙකුගේම “ප්‍රාණයන්ගේ වටිනාකම දෙවියන්වහන්සේ ඉදිරියෙහි ශ්‍රේෂ්ඨ” වන නිසායි (දහම සහ ගිවිසුම් 18:10). එමෙන්ම “[යේසුස් ක්‍රිස්තුස්වහන්සේව] විශ්වාස කරන කවරෙකු වුවත්, තවද බව්තිස්ම වන්නේද, එවැන්නෙක්ම ගලවනු ලබන්නේය; තවද … දෙවියන්වහන්සේගේ රාජධානිය උරුම කරගන්නේ ඔවුන්ය” (3 නෙපි 11:33). තවදුරටත්, උන්වහන්සේගේ ආඥා පිළිගන්නා සහ උන්වහන්සේගේ ගිවිසුම් රකින අය හට “පියාණන්වහන්සේට අයත් සියල්ලම දෙනු [ලැබෙනවා]” (දහම සහ ගිවිසුම් 84:38). ඊට අමතරව, “මෙහෙකරුවෝ ස්වල්ප දෙනෙක්ය” (ලූක් 10:2).

ජීවත්ව සිටින හෝ මිය ගිය අයට එවැනි ආශිර්වාදයක් පිරිනැමීමට බලය, අධිකාරිය, සහ මාර්ගය අපට සොයාගත හැක්කේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව තුළ පමණයි.

සභාපති නෙල්සන් මෙසේ පැවසුවා: “දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇතිකරගැනීමට සහ ඒවායේ අත්‍යවශ්‍ය බව්තීස්ම සහ දේවමාළිගා නියෝග ලබාගැනීමට පියවරක් ගැනීමට—තිරයේ ඕනෑම පැත්තක—ඕනෑම කෙනෙකුට උපකාර වන ඕනෑම දෙයක් ඔබ ඕනෑම අවස්ථාවකකරන විට, ඔබ ඊශ්‍රායලය එක්රැස් කිරීමට උදව් වනවා. එය ඒ තරම්ම සරලයි.”3

එක්රැස් කිරීමට උදව් කිරීමට බොහෝ ක්‍රම තිබුණද, මම විශේෂයෙන් එක් ක්‍රමයක් ගැන කතා කිරීමට කැමතියි: ඒ පූර්ණ කාලීන ධර්මදූතයෙකු ලෙස සේවය කිරීම. ඔබගෙන් බොහෝ දෙනෙකුට මෙය ඉගැන්වීමේ ධර්මදූතයෙකු වීම ගැන අදහස් කරයි. තවත් බොහෝ දෙනෙකුට, එය සේවා ධර්මදූතයෙකු වීම ගැන අදහස් කරයි. නමුත් ලෝකය බිය සහ අනාරක්ෂිත බව භාවිතා කරමින් මෙම පරම පූජනීය වගකීමෙන් යෞවනයන්ගේ අවධානය වෙනතකට යොමුකිරීමට උත්සාහ කරනවා.

වසංගතයකට මුහුණදීම, හොඳ රැකියාවක් අත්හැරීම, අධ්‍යාපනය කල්දැමීම, හෝ ප්‍රේමණීය ලෙස යමෙකු කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්වීම තවත් සමහර අවධානය වෙනතකට යොමුකිරීම් විය හැකියි. සෑම කෙනෙකුටම ඔහුගේම හෝ ඇයගේම අභියෝග මාලාවක් තිබෙනවා. එවැනි බාධා කිරීම් නිශ්චිතවම ස්වාමින්වහන්සේගේ සේවය ආරම්භ කරන අවස්ථාවේ ඇතිවිය හැකි අතරම, පසුකාලීනව තෝරගත යුතු දේ පහැදිලි ලෙස පෙනුනත් එම මොහොතේදී සෑමවිටම එය පහසු වෙන්නේ නෑ.

එවන් තරුණයකුගේ කැළඹිලි සිත කෙසේද යන්න මම අත්දැකීමෙන් දන්නවා. මම මගේ ධර්මදූත මෙහෙයුමට යාමට සූදානම් වන විට, සමහර පුදුම සහගත බලවේග මාව අධෛර්යමත් කිරීමට උත්සාහ කළා. ඒ එක්කෙනෙක් මගේ දන්ත වෛද්‍යවරයා. මගේ පත්වීම ධර්මදූතයෙකු ලෙස සේවය කිරීම බව ඔහුට වැටහුණු විට, ඔහු මාව සේවයෙන් වළක්වන්න උත්සාහ කළා. මගේ දන්ත වෛද්‍යවරයා සභාවට විරුද්ධයි කියා මට පුංචි අදහසක් වත් තිබුණේ නැහැ.

මගේ අධ්‍යාපනයට බාධා වීමත් සංකීර්ණ වුණා. මම මගේ විශ්වවිද්‍යාල වැඩසටහනෙන් අවුරුදු දෙකක නිවාඩුවක් ඉල්ලූ විට එය කළ නොහැකි බව මට දැනුම් දුන්නා. අවුරුද්දකට පසු නැවත නොපැමිණියේ නම් මට විශ්ව විද්‍යාලයේ මගේ ස්ථානය අහිමි වෙනවා. බ්‍රසීලයේ, විශ්ව විද්‍යාල වැඩසටහනකට ඇතුළත් වීමේ එකම නිර්ණායකය ඉතා දුෂ්කර හා තරඟකාරී විභාගයක් වූ බැවින් මෙය බරපතල වුණා.

නැවත නැවතත් අවධාරණය කිරීමෙන් පසු, වසරක් නොපැමිණීමෙන් පසු, අසාමාන්‍ය හේතූන් මත ව්‍යතිරේකයක් සඳහා ඉල්ලුම් කළ හැකි බව මට අකමැත්තෙන් දැනුම් දෙනු ලැබුවා. එය අනුමත කළ හැකි හෝ නොකළ හැකියි. මගේ අධ්‍යාපනයෙන් වසර දෙකකට පසු එම දුෂ්කර ඇතුළත් වීමේ පරීක්ෂණයට නැවත මුහුණදීමේ අදහස ගැන මම බියට පත්වුණා.

මම තරුණ ගැහැණු ළමයෙකු ගැනත් විශේෂයෙන් උනන්දුවෙන් සිටියා. මගේ යාළුවෝ කීපදෙනෙක්ම ඇය ගැන උනන්දුවක් දැක්වුවා. “මම ධර්මදූත සේවයකට ගියහොත්, මට අවදානමක් ගැනීමට සිදුවන බව” මටම හිතුනා.

නමුත් මම මුළු හදවතින්ම උන්වහන්සේට සේවය කිරීමට වෙරදරන විට අනාගතය ගැන බිය නොවී සිටීමට ස්වාමින් වූ යේසුස්වහන්සේ මට මහත් දිව්‍ය ඥානයක් වුණා.

උන්වහන්සේටද ඉටුකිරීමට ධර්මදූතයක් තිබුණා. උන්වහන්සේගේම වචන වලින් උන්වහන්සේ මෙලෙස පැහැදිලි කළා, “මා ස්වර්ගයෙන් බැස ආවේ මාගේ කැමැත්ත නොව මා එවූ තැනැන්වහන්සේගේ කැමැත්ත කරණ පිණිසය” (යොහාන් 6:38). උන්වහන්සේගේ මෙහෙය පහසුද? සත්තකින්ම නැහැ. උන්වහන්සේගේ ධර්මදූතයේ අත්‍යවශ්‍ය අංගයක් වූ උන්වහන්සේගේ දුක් වේදනා, උන්වහන්සේ “සියල්ලන්ගෙන්ම ශ්‍රේෂ්ඨ වූ දෙවියන් වුවත්, වේදනාව නිසා වෙව්ලීමට, සෑම රෝම කූපයකින්ම ලේ ගැලීමට, ශාරීරිකව සහ ආත්මික දෙයාකාරයෙන්ම, වේදනා විඳීමට සැලැස්වූ එම වේදනාව—තවද එනම් [උන්වහන්සේ] තිත්ත කුසලානෙන් බී, පසුබට නොවන පිණිසයි—

“එසේවුවද, මහිමය පියාණන්වහන්සේට වේවායි පවසමින් [උන්වහන්සේ] සහභාගි වී මනුෂ්‍ය දරුවන් සඳහා [උන්වහන්සේගේ] සූදානම අවසන් [කළා]” (දහම සහ ගිවිසුම් 19:18–19).

පූර්ණ කාලීන ධර්මදූතයක සේවය කිරීම අපට අපහසු විය හැකියි. සමහරවිට අපිට වැදගත් දේවල් මොහොතකට අත්හැරීමට සිදුවීම එහි කොටසක් විය හැකියි. ස්වාමින්වහන්සේ මෙය නිසැකවම දන්නා අතර උන්වහන්සේ සැමවිටම අපේ පැත්තේ සිටිනවා.

ඇත්තවශයෙන්ම, Preach My Gospel හි ධර්මදූතයන් සඳහා ඔවුන්ගේ පණිවිඩයේ, පළමු සභාපතිත්වය මෙලෙස පොරොන්දු වෙනවා, “ඔබ නිහතමානීව හා යාච්ඤාවෙන් උන්වහන්සේට සේවය කරන විට ස්වාමින්වහන්සේ ඔබට බහුල ලෙස ආශිර්වාද කරන සේක.”4 දෙවියන්වහන්සේගේ සියලුම දරුවන් එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් ආශිර්වාද ලබන බව සත්‍යයක්, නමුත් උන්වහන්සේගේ සේවයේදී ආශිර්වාද ලැබීම සහ බහුල ලෙස ආශිර්වාද ලැබීම අතර වෙනසක් තිබෙනවා.

මගේ ධර්මදූතයට පෙර මා මුහුණදුන්නා කියා සිතූ අභියෝග මතකද? මගේ දන්ත වෛද්‍යවරයා? මම තව කෙනෙකු සොයාගත්තා. මගේ විශ්වවිද්‍යාලය? ඔවුන් මට විකල්පයක් ලබාදුන්නා. මතකද එම තරුණ ගැහැණු ළමයාව? ඇය මගේ හොඳ මිතුරෙකු සමඟ විවාහ වුණා.

නමුත් දෙවියන්වහන්සේ මට සැබවින්ම බහුල ලෙස ආශිර්වාද කළා. අපි බලාපොරොත්තු වෙන විදිහට වඩා වෙනස් විදිහට ස්වාමින්වහන්සේගේ ආශිර්වාද පැමිණිය හැකි බව මම ඉගෙනගත්තා. අවසානයේ, උන්වහන්සේගේ සිතුවිලි අපගේ සිතුවිලි නොවේ (බලන්න යෙසායා 55:8–9).

පූර්ණ කාලීන ධර්මදූතයෙකු ලෙස උන්වහන්සේට සේවය කළ නිසා උන්වහන්සේ මට ලබාදී ඇති බහුල ආශිර්වාද අතර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම කෙරෙහි වැඩි ඇදහිල්ලක් සහ උන්වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ ප්‍රබල දැනුමක් සහ සාක්ෂියක් තිබෙනවා, එබැවින් මා පහසුවෙන් “සියලු ආකාර ඉගැන්වීම් නැමැති සුළඟට” (එපීස 4:14) හසුවන්නේ නෑ. මට ඉගැන්වීමට ඇති බිය නැතිවුණා. අභියෝග වලට සුබවාදීව මුහුණදීමේ හැකියාව වැඩිවුණා. දෙවියන්වහන්සේ පවසන ලෙස පාපය සැබෑ සතුට ගෙන නොදෙන බවත් උන්වහන්සේගේ ආඥා වලට කීකරු වීම අපට ලෞකික හා අධ්‍යාත්මික වශයෙන් සමෘද්ධිමත් වීමට උපකාරී වන බවත්, ධර්මදූතයෙකු ලෙස මට හමු වූ හෝ ඉගැන්වූ පුද්ගලයන් සහ පවුල් නිරීක්ෂණය කිරීමෙන් දෙවියන්වහන්සේගේ එම ඉගැන්වීම් සත්‍ය බවත් මට ඉගෙනගත හැකිවුණා (බලන්න මොසායා 2:41; ඇල්මා 41:10). දෙවියන්වහන්සේ ප්‍රාතිහාර්යයේ දෙවිකෙනෙකු බව මට ඉගෙනගත හැකිවුණා (බලන්න මොර්මොන් 9).

විවාහය සහ මාපියත්වය, සභාවේ සේවය ඇතුළු මාගේ වැඩිහිටි ජීවිතයට මෙන්ම වෘත්තීය සහ ප්‍රජා ජීවිතයට සූදානම් වීමට මේ සියල්ල ඉවහල් වුණා.

මගේ ධර්මදූත සේවයෙන් පසු, සෑම අවස්ථාවකදීම සහ සියලු මිනිසුන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහ උන්වහන්සේගේ සභාවේ ඇදහිලිවන්ත අනුගාමිකයෙකු ලෙස පෙනීසිටීමට මගේ වර්ධනය වූ ධෛර්යයෙන් මම ප්‍රයෝජන ගත් අතර, මගේ ජීවිතයේ හිරු එළිය වන මගේ ගුණවත්, ප්‍රඥාවන්ත, විනෝදකාමී, සහ ආදරණීය සදාකාලික සහකාරිය බවට පත්වූ රූමත් කාන්තාවක් සමඟ ශුභාරංචිය බෙදාගැනීමට පවා මට හැකිවුණා.

ඔව්, දෙවියන්වහන්සේ “නිහතමානීව හා යාච්ඤාවෙන් උන්වහන්සේට සේවය කරන” සියල්ලන්ටම කරන ලෙසම, මා සිතුවාට වඩා බොහෝ සෙයින් මට බහුල ලෙස ආශිර්වාද කර තිබෙනවා. දෙවියන්වහන්සේගේ යහපත්කම ගැන මම සදාකාලිකවම උන්වහන්සේට ස්තූතිවන්ත වෙනවා.

මගේ ධර්මදූතය මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම හැඩගැස්වූවා. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම, උන්වහන්සේගේ ප්‍රඥාව සහ දයාව මෙන්ම උන්වහන්සේගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තැබීම වටින බව මම ඉගෙනගත්තා. කෙසේවුවත්, උන්වහන්සේ අපගේ පියාණන් වන අතර, කිසිඳු සැකයකින් තොරව, උන්වහන්සේ අපට හොඳම දේ අපේක්ෂා කරනවා.

ලොව පුරා සිටින ආදරණීය තරුණ තරුණියනි, අපගේ අනාගතවක්තෘවරයා වන, සභාපති නෙල්සන් ඔබ සැමට “ඊශ්‍රායෙලය රැස්කිරීමට උපකාර කිරීම සඳහා ස්වාමින්වහන්සේගේ තරුණ බලඇණියට බැඳෙන ලෙස” කර ඇති ආරාධනයම මමත් ඔබට කරනවා. සභාපති නෙල්සන් මෙසේ පැවසුවා:

“මීට වඩා විශාල ප්‍රතිවිපාක කිසිවක් නැත. ඇත්තටම කිසිවක් නැත.

“මෙම එක්රැස්කිරීම ඔබේ සෑමදෙයම විය යුතුය. ඔබව පොළොවට එවන ලද මෙහෙවර මෙයයි.”5

අපි මේ කාලයේ ඉපදුණේ දිව්‍යමය අරමුණක් සඳහායි, ඒ ඊශ්‍රායෙලය එක්රැස් කිරීම සඳහායි. අපි පූර්ණ කාලීන ධර්මදූතයින් ලෙස සේවය කරන විට, සමහර අවස්ථා වලදී අපට අභියෝග වලට මුහුණදීමට සිදුවෙනවා, නමුත් එවැනි තත්වයන් තුළ අපගේ ශ්‍රේෂ්ඨ ආදර්ශය සහ මගපෙන්වන්නා ස්වාමින්වහන්සේම වෙනවා. දුෂ්කර ධර්මදූතයක් යනු කුමක්දැයි උන්වහන්සේ තේරුම්ගන්නවා. උන්වහන්සේගේ උදව්වෙන් අපට අමාරු දේවල් කරන්න පුළුවන්. උන්වහන්සේ අපේ පැත්තෙන් සිටියි (බලන්න දහම සහ ගිවිසුම් 84:88), සහ අපි නිහතමානීව උන්වහන්සේට සේවය කරන විට උන්වහන්සේ අපට බොහෝ සෙයින් ආශිර්වාද කරයි.

මේ සියලු හේතූන් නිසා, ස්වාමින්වහන්සේ තෝමස් බී. මාෂ්ට සහ අප සැමට, “ඔබේ හදවත ඔසවා ප්‍රීති ප්‍රමුදිත වන්න, මක්නිසාද ඔබේ ධර්මදූතයේ පැය පැමිණ ඇත්තේය” යැයි පැවසීම ගැන මම පුදුම වන්නේ නෑ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. Russell M. Nelson, “Hope of Israel” (worldwide youth devotional, June 3, 2018), HopeofIsrael.ChurchofJesusChrist.org.

  2. Russell M. Nelson, “Hope of Israel.”

  3. Russell M. Nelson, “Hope of Israel.”

  4. Preach My Gospel: A Guide to Missionary Service (2019), v.

  5. Russell M. Nelson, “Hope of Israel.”