ප්‍රධාන සම්මන්ත්‍රණය
දෙවියන්වහන්සේ අපට එතරම් ප්‍රේම කළ නිසා
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


දෙවියන්වහන්සේ අපට එතරම් ප්‍රේම කළ නිසා

දෙවියන්වහන්සේ අපට කොතරම් ප්‍රේම කළාද යත්, උන්වහන්සේ තම ඒකජාතක පුත්‍රයා එව්වේ—අපව හෙළාදැකීමට නොව අපව ගලවා ගැනීමටයි.

“මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑමකෙනෙකුම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය” (යොහාන් 3:16). මම මුලින්ම මේ පදය දකිද්දී මම හිටියේ, සභාවේවත් පවුල් නිවාස සන්ධ්‍යාවකවත් නෙවේ. මම හිටියේ රූපවාහිනියේ ක්‍රීඩා ඉසව්වක් නරඹමින්. මම නැරඹූ නාලිකාව කුමක් වුවත්, එය කුමන ක්‍රීඩාවක් වුවත්, අඩුම තරමින් එක් අයෙක් හෝ “යොහාන් 3:16” යනුවෙන් සඳහන් පුවරුවක් තබාගෙන සිටියා.

මම 17 වැනි පදයටත් ඒ හා සමානව ආදරය කරනවා: “මක්නිසාද දෙවියන්වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එව්වේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව, ලෝකයා උන්වහන්සේ කරණකොටගෙන ගලවනු ලබන පිණිසයි.”

දෙවියන්වහන්සේ අප සෑම කෙනෙකු වෙනුවෙන්ම තම ජීවිතය පරිත්‍යාග කිරීමට මාංශයෙන් උන්වහන්සේගේ එකම පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එව්වා. උන්වහන්සේ එසේ කළේ උන්වහන්සේ අපට ප්‍රේම කරන නිසයි, ඒවගේම අප සෑම කෙනෙකුටම නැවත උන්වහන්සේ ලඟට යන්න සැලැස්මක් සකස් කළා.

නමුත් මෙය සෑම කෙනෙකුටම ඉඩ ප්‍රස්ථාව ලැබෙන, සාමාන්‍ය, ලඟා කරගැනීමට බොහෝ අවකාශය ඇති ආකාරයේ සැලැස්මක් නොවේ. එය අපගේ හදවත්, අපගේ නම්, සහ අප විසින් කළ යුතු දේ දන්නා ප්‍රේමණීය ස්වර්ගික පියෙකු විසින් ඉදිරිපත් කරන ලද පුද්ගලික සැලැස්මක්. අපි එය විශ්වාස කරන්නේ ඇයි? ශුද්ධලියවිලි වල අපට එය උගන්වා ඇති නිසා.

“මෝසෙස්, මාගේ පුත්‍රයා” යන වචන ස්වර්ගීය පියාණන්වහන්සේ විසින් නැවත නැවතත් කතා කරනු මෝසෙස්ට ඇසුණා (බලන්න මෝසෙස් 1:7; තවත් බලන්න 7, 40 පද). ආබ්‍රහම්, ඉපදීමට පෙර සිටම ඔහු ඔහුගේ ධර්මදූතය සඳහා තෝරාගත් දෙවියන්වහන්සේගේ දරුවෙකු බව ඉගෙනගත්තා (බලන්න ආබ්‍රහම් 3:12, 23). දෙවියන්වහන්සේගේ හස්තයෙන්, එස්තර්ව ඇගේ සෙනඟව බේරාගැනීමට බලපෑම් කළ හැකි ස්ථානයක තැබුවා (බලන්න එස්තර් 4). නාමන්ව සුවකළ හැකි වන පරිදි ජීවමාන අනාගතවක්තෘවරයෙකු ගැන සාක්ෂි දීමට දෙවියන්වහන්සේ තරුණ කාන්තාවක්ව, සේවිකාවක්ව විශ්වාස කළා (බලන්න 2 රාජාවලිය 5:1–15).

යේසුස්වහන්සේව දැකීමට ගසකට නැග්ග, උසින් අඩු ඒ යහපත් මිනිසාට මම විශේෂයෙන් ආදරෙයි. ඔහු එහි සිටින බව දැනගත් ගැලවුම්කරුවාණන් නැවතී, අතු දෙස බලා මේ වචන කිව්වා: “සකෙවුස්, … පහලට එන්න” (ලූක් 19:5). ඒවගේම 14 හැවිරිදි අයෙක් කැළයට ගොස් මේ සැලැස්ම ඇත්තවශයෙන්ම කෙතරම් පෞද්ගලිකද යන්න ඉගෙනගත් ආකාරය අපට අමතක කරන්න බැහැ: “[ජෝසෆ්,] මේ මගේ ආදරණීය පුත්‍රයා. ඔහුට සවන්දෙන්න!” (ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:17).

සහෝදර සහෝදරියනි, අපගේ ස්වර්ගික පියාණන්ගේ සැලැස්මේ අවධානය සහ අපගේ ගැලවුම්කරුවාණන්ගේ ධර්මදූත සේවයට හේතුව අපියි. තනි තනිව, අප සෑම කෙනෙකුම, උන්වහන්සේලාගේ කාර්යය සහ උන්වහන්සේලාගේ මහිමයයි.

මට නම්, පරණ ගිවිසුම පිළිබඳ මගේ අධ්‍යයනයට වඩා කිසිම ශුද්ධලියවිලි පොතක මෙය වඩා පැහැදිලිව විදහා දක්වන්නේ නෑ. ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යොහෝවාවහන්සේ අපගේ ජීවිත වලට සමීපව සම්බන්ධ වන ආකාරය පිළිබඳ උදාහරණ පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට අපිට සොයාගන්න පුළුවන්.

අපි මෑතකදී යාකොබ්ගේ ආදරණීය පුත් යෝසෙප් ගැන අධ්‍යයනය කරමින් සිටිනවා. ඔහුගේ තරුණ කාලයේ සිටම, යෝසෙප් ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ලැබූ නමුත්, ඔහු තම සහෝදරයන් අතින් මහත් පීඩා වලට මුහුණදුන්නා. සති දෙකකට පෙර, යෝසෙප් තම සහෝදරයන්ට සමාව දුන් ආකාරය අපගෙන් බොහෝ දෙනෙකුගේ සිත්ගත්තා. එන්න, මා අනුගමනය කරන්න හි මෙලෙස කියවෙනවා: “බොහෝ ආකාර වලින්, යෝසෙප්ගේ ජීවිතය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතයට සමානයි. අපගේ පාපයන් උන්වහන්සේට මහත් පීඩාවක් ගෙන දුන්නද, ගැලවුම්කරුවාණන් සමාව ලබාදෙන අතර, සාගතයට වඩා දරුණු ඉරණමකින් අප සියල්ලන්ම ගලවා ගන්නවා. අපට සමාව ලැබීමට හෝ එය ලබාදීමට අවශ්‍ය වුවද—යම් අවස්ථාවකදී අප සියල්ලන්ම ඒ දෙකම කළ යුතුයි—යෝසෙප්ගේ ආදර්ශය අපව සුවකිරීමේ සහ සංහිඳියාවේ සැබෑ මූලාශ්‍රය වන ගැලවුම්කරුවාණන් වෙතට යොමුකරනවා.”1

එම වාර්තාවේ මා ප්‍රිය කරන පාඩමක් පැමිණෙන්නේ යෝසෙප් සඳහා වූ දෙවියන්වහන්සේගේ පුද්ගලික සැලැස්මෙහි කොටසක් ඉටුකළ යෝසෙප්ගේ සහෝදරයා වූ යූදාගෙන්. යෝසෙප්ව ඔහුගේ සහෝදරයන් විසින් පාවා දුන් විට, යෝසෙප්ගේ ජීවිතය නැති නොකර ඔහුව වහල්කමට විකුණන ලෙසට යූදා ඔවුන්ට ඒත්තු ගැන්වුවා (බලන්න උත්පත්ති 37:26–27).

වසර ගණනාවකට පසු, යූදාට සහ ඔහුගේ සහෝදරයන්ට ඔවුන්ගේ බාල සොහොයුරා වන බෙන්ජමින්ව ඊජිප්තුවට රැගෙන යාමට අවශ්ය වුණා. මුලදී ඔවුන්ගේ පියා විරුද්ධ වුණා. නමුත් යූදා බෙන්ජමින්ව ගෙදරට ගෙන එන බවට—යාකොබ්ට පොරොන්දුවක් දුන්නා.

ඊජිප්තුවේදී, යූදාගේ පොරොන්දුව පරීක්ෂාවට ලක්වුණා. තරුණ බෙන්ජමින්ට අපරාධයක් සම්බන්ධයෙන් වැරදි ලෙස චෝදනා එල්ල වී තිබුණා. තම පොරොන්දුව ඉටුකළ යූදා බෙන්ජමින් වෙනුවට සිරගත වීමට ඉදිරිපත් වුණා. “මක්නිසාද, ළමයා මා සමඟ නොසිටින විට, මම මගේ පියා වෙතට යන්නේ කෙසේද?” ඔහු කිව්වා (බලන්න උත්පත්ති 44:33–34). යූදා තම පොරොන්දුව ඉටුකර බෙන්ජමින්ව ආරක්ෂිතව ආපසු ගෙන ඒමට අදිටන් කරගෙන සිටියා. බෙන්ජමින් ගැන යූදාට හැඟුණු ආකාරයට ඔබට කවදා හෝ අන් අය ගැන හැඟෙනවාද?

දෙමාපියන්ට තම දරුවන් ගැන හැඟෙන්නේ මෙසේ නොවේද? තමන් සේවය කරන මිනිසුන් ගැන ධර්මදූතයින්ට හැඟෙන්නේ මෙසේ නොවේද? ප්‍රාථමික සහ තරුණ නායකයින්ට තමන් උගන්වන සහ ආදරය කරන අය ගැන හැඟෙන්නේ මෙසේ නොවේද?

ඔබ කවුරුන් වුවත්, ඔබගේ වර්තමාන තත්වයන් කුමක් වුවත්, යමෙකුට ඔබ ගැන හරියටම එලෙසම දැනෙනවා. යමෙකුට ඔබ සමඟ ස්වර්ගික පියාණන්වහන්සේ වෙත ආපසු යාමට අවශ්‍යයි.

අපව කිසිදා අත් නොහරින, අප වෙනුවෙන් යාච්ඤාවෙන් තම ආත්මය වගුරුවන, සහ අපගේ ස්වර්ගයේ සිටින අපගේ පියාණන් වෙත ආපසු යාමට අපට සුදුසුකම් ලබාදීමට දිගටම උගන්වන සහ උපකාර කරන අයට මම කෘතඥ වෙනවා.

මෑතකදී ආදරණීය මිතුරෙකුට COVID-19 සමඟ රෝහලේ දින 233 ක් ගතකිරීමට සිදුවුණා. එම කාලය තුළ ඔහුගේ මියගිය පියා, ඔහු බැලීමට පැමිණ ඔහුගේ මුණුබුරන්ට පණිවිඩයක් ලබාදෙන ලෙස ඉල්ලා තිබුණා. තිරය ඉක්මවා ගොස් සිටියත්, මේ යහපත් සීයා තම මුණුබුරන්ට ඔවුන්ගේ ස්වර්ගීය නිවසට ආපසු යාමට උපකාර කිරීමට ආශාවෙන් සිටියා.

ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වැඩි වැඩියෙන් ඔවුන්ගේ ජීවිත තුළ “බෙන්ජමින්ලව” සිහිපත් කරයි. ලොව පුරා ඔවුන් දෙවියන්වහන්සේගේ ජීවමාන අනාගතවක්තෘ, සභාපති රසල් එම්. නෙල්සන්ගේ පැහැදිලි පණිවිඩය අසා තිබෙනවා. තරුණ පිරිමින් සහ තරුණ කාන්තාවන් ස්වාමින්වහන්සේගේ තාරුණ්‍යයේ බලඇණියේ යෙදී සිටිනවා. ආදරය කරමින්, බෙදාගනිමින්, සහ මිතුරන්ට සහ අසල්වාසීන්ට ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන ලෙස ආරාධනා කරමින්—පුද්ගලයන් සහ පවුල් විසින් දේවසේවයේ ආත්මයෙන් යුතුව අන් අයට ලඟා වෙමින් සිටිනවා. දෙවියන්වහන්සේගේ දේවමාළිගා පුරවමින්, මියගිය පවුලේ සාමාජිකයින්ගේ නම් සොයා ඔවුන් වෙනුවෙන් නියෝග ලබාගනිමින්—යෞවනයන් සහ වැඩිහිටියන් ඔවුන්ගේ ගිවිසුම් මතක තබාගෙන, ඒවා පැවැත්වීමට උත්සාහ කරනවා.

අප සඳහා වූ ස්වර්ගික පියාණන්ගේ පුද්ගලාරෝපිත සැලැස්මට අනුව උන්වහන්සේ වෙත ආපසු යාමට අන් අයට උපකාර කිරීම ඇතුළත් වන්නේ ඇයි? අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වගේ වන්නේ මෙහෙමයි. අවසාන වශයෙන්, යූදා සහ බෙන්ජමින්ගේ වාර්තාව අපට අප වෙනුවෙන් වූ ගැලවුම්කරුවාණන්ගේ පරිත්‍යාගය ගැන උගන්වනවා. උන්වහන්සේගේ වන්දිගෙවීම තුළින් අපව ගෙදර ගෙන ඒම සඳහා උන්වහන්සේ තම ජීවිතය පිදුවා. යූදාගේ වචන ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය ප්‍රකාශ කරනවා: “[ඔබ] මා සමඟ නොසිටින්නේ නම්, මම මගේ පියා වෙතට යන්නේ කෙසේද?” ඊශ්‍රායෙලයේ රැස් කරන්නන් වශයෙන්, එය අපගේ වචනද වෙන්න පුළුවන්.

පරණ ගිවිසුම ස්වර්ගික පියාණන්ගේ සැලැස්මේ ලක්ෂණ වන ආශ්චර්යයන් සහ මුදු මොළොක් දයාවන්ගෙන් පිරී තිබෙනවා. මට නම්, 2 රාජාවලිය 4 හි, “එක් දවසක්” යන වාක්‍ය ඛණ්ඩය තෙවරක් භාවිතා කර ඇත්තේ වැදගත් සිදුවීම් දෙවියන්වහන්සේගේ වේලාවට අනුව සිදුවන බවත්, කිසිම විස්තරයක් උන්වහන්සේට ඉතා කුඩා නොවන බවත් අවධාරණය කිරීමටයි.

මගේ අලුත් මිතුරා පෝල් මේ සත්‍යයට සාක්ෂි දරයි. පෝල් හැදී වැඩුණේ සමහරවිට අපවාදාත්මක සහ සෑමවිටම ආගම නොඉවසන නිවසකයි. ජර්මනියේ හමුදා කඳවුරක පාසැලට යන අතරතුර, ආත්මික ආලෝකයක් ඇති සහෝදරියන් දෙදෙනෙකුව ඔහු දුටුවා. ඔවුන් වෙනස් වන්නේ මන්දැයි විමසූ විට, ඔවුන් අයත් වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගේ සභාවට බවට පිළිතුරු ලැබුණා .

වැඩිකල් නොගොස් පෝල් ධර්මදූතයින් හමුවීමට පටන්ගත් අතර ඔහුට සභාවට ආරාධනා ලැබුණා. ඊළඟ ඉරිදා, ඔහු බසයෙන් බැස යන විට, ඔහු දුටුවේ සුදු කමිසයකින් සහ ටයි පටියකින් සැරසී සිටි මිනිසුන් දෙදෙනෙක්. ඔවුන් සභාවේ ධර්මදූත වැඩිහිටියන්දැයි ඔහු ඔවුන්ගෙන් ඇසුවා. ඔව් යනුවෙන් පිළිතුරු දුන් නිසා, පෝල් ඔවුන් පසුපස ගියා.

රැස්වීම අතරතුර, දේශකයෙක් සභාවේ සිටි අයව පෙන්වා සාක්ෂි දීමට ඔවුන්ට ආරාධනා කළා. සෑම සාක්ෂියක් අවසානයේම බෙර වාදකයෙක් බෙර ආචාරයක් දුන් අතර සභාව “ආමෙන්” කියා පැවසුවා.

දේශකයා පෝල්ව පෙන්වූ විට, ඔහු නැඟිට, “ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයෙක් බවත් මොර්මොන්ගේ පොත සත්‍ය බවත් මම දන්නවා” කියා පැවසුවා. බෙර ආචාරයක් හෝ “ආමෙන්” කියා පැවසීමක්ද එහි තිබුණේ නැහැ. තමා වැරදි සභාවකට ගොස් ඇති බව පෝල්ට අවසානයේදී වැටහුණා. වැඩිකල් නොගොස්, පෝල් නිවැරදි ස්ථානයට ගොස් බව්තීස්ම වුණා.

පෝල් බව්තීස්ම වූ දිනයේ, ඔහු අඳුරගෙන නොසිටි එක් සාමාජිකයෙකු ඔහුට මෙසේ පැවසුවා, “ඔබ මගේ ජීවිතය බේරුවා.” සති කිහිපයකට පෙර, මෙම පුද්ගලයා වෙනත් සභාවක් සෙවීමට තීරණය කර බෙර සහ ආමෙන් යන ආමන්ත්‍රණය සමඟ දේව මෙහෙයකට සහභාගී වී සිටියා. ජෝසෆ් ස්මිත් සහ මොර්මොන්ගේ පොත පිළිබඳ පෝල්ගේ සාක්ෂිය ඇසුණු විට, දෙවියන්වහන්සේ ඔහුව හඳුනන බවත්, ඔහුගේ අරගල හඳුනාගෙන ඇති බවත් ඔහු වෙනුවෙන් සැලැස්මක් ඇති බවත් මෙම පුද්ගලයාට වැටහී තිබුණා. පෝල්ට මෙන්ම එම පුද්ගලයාටද, එය ඇත්තෙන්ම “එය එක් දවසක යෙදී තිබුණා!”

ස්වර්ගික පියාණන්ට අප සෑම කෙනෙකු වෙනුවෙන්ම සතුට පිළිබඳ පුද්ගලික සැලැස්මක් ඇති බව අපි දන්නවා. දෙවියන්වහන්සේ තම ආදරණීය පුත්‍රයා අප වෙනුවෙන් එවූ නිසා, උන්වහන්සේගේ සැලැස්ම ඉටුවීම සඳහා අපට අවශ්‍ය ප්‍රාතිහාර්යයන් “[අවශ්‍ය] දවසේම [සිදුවෙනවා].”

පරණ ගිවිසුමෙන් දෙවියන්වහන්සේගේ සැලැස්ම ගැන මේ වසරේ අපට තවත් ඉගෙනගත හැකි බව මම සාක්ෂි දරනවා. අවිනිශ්චිත කාල වලදී අනාගතවක්තෘවරුන්ගේ කාර්යභාරය සහ ව්‍යාකූල හා බොහෝ විට විවාදාත්මක ලෝකයක දෙවියන්වහන්සේගේ හස්තය පිළිබඳ එම පරිශුද්ධ වෙළුම උගන්වනවා. එය උන්වහන්සේගේ දිගු අනාවැකි පළකළ, තේජාන්විත නැවත පැමිණීම වන—උන්වහන්සේගේ දෙවන පැමිණීම අපේක්ෂාවෙන් අප එයට සූදානම් වන්නා සේම, අපගේ ගැලවුම්කරුවාණන්ගේ පැමිණීම ගැන ඇදහිලිවන්තව බලා සිටි නිහතමානී ඇදහිලිවන්තයන් ගැන එහි කියනවා.

ඒ දවස වන තුරු, අපගේ ජීවිතයේ සෑම අංගයකම දෙවියන්වහන්සේගේ නිර්මාණය අපගේ ස්වාභාවික ඇස් වලින් අපට පෙනෙන එකක් නැහැ (බලන්න දහම සහ ගිවිසුම් 58:3). නමුත් නොතේරෙන දෙයකට මුහුණදුන් විට නෙපිගේ ප්‍රතිචාරය අපට මතකතබා ගන්න පුළුවන්: ඔහු සෑම දෙයකම අර්ථය නොදැන සිටියද, දෙවියන්වහන්සේ තම දරුවන්ට ප්‍රේම කරන බව ඔහු දැන සිටියා (බලන්න 1 නෙපි 11:17).

මේ සුන්දර සබත් උදෑසන මගේ සාක්ෂිය මෙයයි. අපි එය අපගේ හදවත් මත ලියා අපගේ ආත්මය සාමය, බලාපොරොත්තුව, සහ සදාකාලික ප්‍රීතියෙන් පිරවීමට එයට ඉඩදෙමු: දෙවියන්වහන්සේ අපට කොතරම් ප්‍රේම කළාද යත්, උන්වහන්සේ තම ඒකජාතක පුත්‍රයා එව්වේ—අපව හෙළාදැකීමට නොව අපව ගලවා ගැනීමටයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. Come, Follow Me—For Individuals and Families: Old Testament 2022, 51.