ප්‍රධාන සම්මන්ත්‍රණය
කුණාටු තුළ ස්ථාවරව
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


කුණාටු තුළ ස්ථාවරව

ජීවිතයේ කුණාටු පැමිණෙන විට, ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ලේ පර්වතය මත සිටගෙන සිටින නිසා ඔබට ස්ථාවර විය හැකියි.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, දෙවියන්වහන්සේගේ ආනුභාවය ලත් සේවකයන් විසින් ලබාදෙන උපදෙස් සහ දිරිගැන්වීම් ඇසීමට අද අපි ආශිර්වාද ලැබුවා. අප සෑම කෙනෙකුම, අප කොතැනක සිටියත්, අප ජීවත් වන්නේ එන්න එන්නම අනතුරුදායක වන කාලයක බව අපි දන්නවා. අප මුහුණදෙන කුණාටු වලදී, සාමකාමී හදවතකින් ස්ථාවරව සිටීමට මට ඔබට උපකාර කිරීමට හැකිවීම තමයි මගේ යාච්ඤාව.1

ආරම්භ කළ යුතු ස්ථානය තමයි, අප සෑම කෙනෙකුම දෙවියන්වහන්සේගේ ආදරණීය දරුවන් බවත්, උන්වහන්සේගේ දේවානුභාවයෙන් යුත් සේවකයන් සිටින බවත් මතක තබාගැනීම. දෙවියන්වහන්සේගේ එම සේවකයන් අපි ජීවත් වන කාලය ගැන කලින්ම දැකලා තියෙනවා. ප්‍රේරිත පාවුල් තිමෝතිට මෙහෙම ලිව්වා, “නුමුත් අන්තිම දවස් වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙන බව දැනගනින්න.”2

කාලවල ලකුණු දැකීමට ඇස් ඇති ඕනෑම කෙනෙකු සහ අනාගතවක්තෘවරුන්ගේ වචන ඇසීමට කන් ඇති ඕනෑම කෙනෙකු එය සත්‍ය බව දන්නවා. විශාලම අන්තරායන්ගේ උවදුරු අප වෙත පැමිණෙන්නේ අධර්මිෂ්ඨ බලවේගයන්ගෙන්. ඒ බලවේග වැඩිවෙමින් පවතිනවා. එබැවින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීමට අප විසින් කළ යුතු සහ තබාගත යුතු ගිවිසුම් වලට ගරු කිරීම පහසු වෙනවා නොවේ, වඩාත් අපහසු වෙනවා.

අප ගැන සහ අප ආදරය කරන අය ගැන සැලකිලිමත් වන අයට, ඉදිරි කුණාටු වලදී ආරක්ෂිත ස්ථානයක් ගැන දෙවියන්වහන්සේ ලබාදී ඇති පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තුවක් තබාගන්න පුළුවන්.

මෙන්න එම ස්ථානයේ වචන පින්තූරයක්. එය ජීවමාන අනාගතවක්තෘවරුන් විසින් නැවත නැවතත් විස්තර කර තිබෙනවා. නිදසුනක් වශයෙන්, මොර්මොන්ගේ පොතේ වාර්තා කර ඇති පරිදි, දේවානුභාවයෙන් යුත් හා ආදරණීය පියෙක් තම පුතුන්ට ඉදිරි කුණාටු තුළ ස්ථාවරව සිටීමට තමන්ව ශක්තිමත් කරන්නේ කෙසේදැයි කියාදුන්නා: “තවද දැන් මාගේ පුත්‍රයෙනි සිහිකරන්න, සිහිකරන්න, එනම් නුඹලා නුඹලාගේ අත්තිවාරම ගොඩනැගිය යුත්තේ, දෙවියන්වහන්සේගේ පුත්‍රයා වූ ක්‍රිස්තුස්වහන්සේ වූ අපගේ මිදුම්කරුවාණන්ගේ පර්වතය මතය; එනම් යක්ෂයා ඔහුගේ බලවත් කුණාටු, එසේය, සුළි සුළඟින් ඊතලයන් පමුණුවන විට, එසේය, දුක්ඛිතකමේ ආගාධයට සහ අනන්ත වේදනාවට පහතට ඇදගෙන යාමට එයට නුඹලා මත බලයක් නොවන්නේය, මක්නිසාද නුඹලා ගොඩනගා තිබෙන්නාවූ එම පර්වතය හෙයිනි, … එම අත්තිවාරම මත මනුෂ්‍යයා ගොඩනගන්නේ නම් ඔහු නොවැටෙන්නේය.”3

අප පාප සඳහා සම්පූර්ණයෙන් පසුතැවිලි නොවන්නේ නම්, ඔහු කතා කළ දුක්ඛිත හා නිමක් නැති දුක්ඛිත තත්ත්වයන් වන්නේ පාපයේ භයානක ප්‍රතිඵලයි. වර්ධනය වන කුණාටු යනු පරීක්ෂාවන් සහ සාතන්ගේ වැඩිවන ප්‍රහාරයි. එම ස්ථිර පදනම මත ගොඩනැගෙන්නේ කෙසේද යන්න තේරුම්ගැනීම දැනට වඩා වෙන කවරදාකවත් වැදගත් වී නෑ. මට නම්, මොර්මොන්ගේ පොතේ සඳහන් කර ඇති බෙන්යමින් රජුගේ අවසාන දේශනයට වඩා ඒ සඳහා සෙවීමට වෙන හොඳ තැනක් නෑ.

බෙන්යමින් රජුගේ අනාවැකිමය වදන් අපේ කාලයේත් අපට අදාළ වෙනවා. ඔහු තම අත්දැකීමෙන් යුද භීෂණය ගැන දැන සිටියා. ඔහු තම සෙනඟව සටනේදී ආරක්ෂා කළේ දෙවියන්වහන්සේගේ බලය මත විශ්වාසය තබමිනුයි. දෙවියන්වහන්සේගේ දරුවන්ව පරික්ෂා කිරීමට, ජයගැනීමට, සහ අධෛර්යමත් කිරීමට ලුසිෆර්ට ඇති බිහිසුණු බලයන් ඔහු පැහැදිලිව දුටුවා.

ගැලවුම්කරුවාණන් වන එම එකම ස්ථිර ආරක්ෂිත පර්වතය මත ගොඩනැගෙන ලෙස ඔහු තම සෙනඟටත් අපටත් ආරාධනා කළා. හරි වැරැද්ද තෝරාගැනීමට අපට නිදහස ඇති බවත්, අපගේ තේරීම්වල ප්‍රතිවිපාක අපට වළක්වා ගත නොහැකි බවත් ඔහු පැහැදිලි කළා. ඔහුගේ අනතුරු ඇඟවීම් නොඅසන සහ පිළිපැදින්නේ නැති අයට පැමිණෙන දුක කුමක්දැයි ඔහු දන්නා බැවින්, ඔහු කෙළින්ම හා තියුණු ලෙස කතා කළා.

ආත්මයාණන්වහන්සේගේ පෙළඹවීම අනුගමනය කිරීම හෝ අපව පරීක්ෂාවට ලක්කර විනාශ කිරීම අරමුණු කරගත් සාතන්ගෙන් එන නපුරු පණිවිඩ අනුගමනය කිරීම සඳහා, අපගේ තේරීම් අනුගමනය කරන ප්‍රතිවිපාක ඔහු විස්තර කළ ආකාරය මෙන්න:

“මක්නිසාද බලන්න, එම [නපුරු] ආත්මයට ඇහුම්කන් දී කීකරු වීමට කැමති වන්නාට එහි දුක ප්‍රකාශ කොට ඇත; මක්නිසාද ඔහු කැමති වන්නේ ඔහුට කීකරුවීමට නම්, තවද ඔහුගේ පාපයේ පවතිමින් නසින්නේ නම්, ඔහු ස්වකීය ප්‍රාණය විනාශයට ලක්කරන්නේය; මක්නිසාද දෙවියන්වහන්සේගේ නීතියට විරුද්ධව ඔහුගේ දැනුමට අනුව ආඥාවන් කඩකරන නිසා, ඔහුගේ වේතනය ලෙස ඔහු සදාකාලික දඬුවම ලබන්නේය. …

“එසේහෙයින්, එම මනුෂ්‍යයා පසුතැවිලි නොවන්නේ නම්, තවද දෙවියන්වහන්සේට සතුරෙකුව පවතිමින් මියයන්නේ නම්, දිව්‍යමය සාධාරණත්වයේ ඉල්ලීම ඔහුගේ අමරණීය ප්‍රාණය ඔහුගේ ස්වකීය වරද තියුණු සිහියට අවදි කරවන්නේය, එය ස්වාමින්වහන්සේගේ අභිමුඛය වෙතින් ඔහුට ඇකිලීමට සලස්වන්නේය, තවද එහි ගිනිදලු සදාකාලයෙන් සදාකාලයට ඉහළට නගින්නාවූ නොනිවිය හැකි ගින්දර මෙන්, ඔහුගේ පපුව ලැජ්ජාවෙන්, වේදනාවෙන්, සහ සංවේගයෙන් පුරවන්නේය.”

බෙන්යමින් රජු තවදුරටත් මෙසේ පැවසුවා: “අහෝ, මහලු මනුෂ්‍යයන් වූ නුඹලා සියල්ලෙනි, තවද එසේම තරුණ මනුෂ්‍යයෙනි, තවද මාගේ වචන තේරුම්ගත හැකි කුඩා දරුවනි, මක්නිසාද මම නුඹලාට තේරුම්ගත හැකිවන පිණිස පැහැදිලිව කතා කර ඇත්තෙමි, එනම් පාපය තුළට වැටී සිටින්නන්ගේ භයානක අවස්ථාව සිහියේ තබාගැනීමට නුඹලා අවදිවන පිණිස, මම යාච්ඤා කරන්නෙමි.”4

මට නම්, පසුතැවිලි වීමට එම අනතුරු ඇඟවීමේ බලය මගේ මනසෙහි මැවෙන්නේ ඔබ සහ මම මේ ජීවිතයෙන් පසු ගැලවුම්කරුවාණන් ඉදිරියෙහි සිටින ස්ථිර කාලය පිළිබඳ පින්තූරයක්. අපට අපගේ මුළු හදවතින්ම අවශ්‍ය වන්නේ හැකිලීමට නොව, උන්වහන්සේ දෙස හිස ඔසවා බලා, උන්වහන්සේ සිනාසෙනු දැක, “ඒ යහපත, යහපත් සහ ඇදහිලිවන්ත සේවකයා: … නුඹ ඇතුල්වෙයන්න” යනුවෙන් උන්වහන්සේ කියනු ඇසීමයි.5

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් අපගේ ස්වභාවයන් වෙනස් කරගැනීමට අපි මේ ජීවිතයේ මාර්ගය සොයාගන්නේ නම්, එම වචන ඇසීමේ බලාපොරොත්තුව අපට ලබාගත හැකි ආකාරය බෙන්යමින් රජු පැහැදිලි කරනවා. අපට ස්ථිර පදනමක් මත ගොඩනැගිය හැකි එකම මාර්ගය එයයි, එබැවින් ඉදිරි පරික්ෂා සහ අභියෝග යන කුණාටු තුළ අපට ස්ථිරව සිටින්න පුළුවන්. අපේ ස්වභාවයේ ඒ වෙනස්වීම සැමවිටම මගේ හිතට දැණුනු ලස්සන රූපකයකින් බෙන්යමින් රජතුමා විස්තර කළා. එය වසර දහස් ගණනක් අනාගතවක්තෘවරුන් විසින් භාවිතා කරන ලද අතර ස්වාමින්වහන්සේ විසින්මත් භාවිතා කළා. එය මෙයයි: අපි කුඩා දරුවෙකු ලෙස—කුඩා දරුවෙකු බවට පත්විය යුතුයි.

සමහරුන්ට, එය පිළිගැනීමට පහසු නෑ. අපෙන් බොහෝ දෙනෙක්ට අවශ්‍ය ශක්තිමත් වීමටයි. දරුවෙකු මෙන් සිටීම දුර්වලකමක් ලෙස අපට පෙනෙන්නට පුළුවන්. බොහෝ දෙමව්පියන් බලා සිටින්නේ ඔවුන්ගේ දරුවන් ළමයෙකු ලෙස හැසිරීම අවම වෙන දිනය පැමිණෙන තුරුයි. එහෙත් ශක්තිය හා ධෛර්ය සම්පන්න මිනිසකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඕනෑම ලෞකික පුද්ගලයෙකු මෙන් හොඳින් වටහාගත් බෙන්යමින් රජු, කුඩා දරුවෙකු මෙන් වීම යන්නෙන් අදහස් කරන්නේ ළමයෙකු ලෙස හැසිරීම නොවන බව පැහැදිලි කළා. එයින් අදහස් කරන්නේ, තම පියාණන්ගේ කැමැත්ත ඉටුකරමින් සහ උන්වහන්සේගේ පියාණන්ගේ සියලු දරුවන්ගේ පව් වලට වන්දිගෙවන්නට ශක්තිය ඉල්ලා, ඉන්පසු එය ඉටුකළ, ගැලවුම්කරුවාණන් හා සමාන වීමයි. අවදානම් කාල වලදී නොසැලී සාමයෙන් සිටීමට අවශ්‍ය ශක්තිය ලබාගැනීම සඳහා අපගේ ස්වභාවයන් කුඩා දරුවෙකු ලෙස වීමට වෙනස් විය යුතුයි.

එම වෙනස සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ බෙන්යමින් රජුගේ සිත් ඇදගන්නා සුළු විස්තරය මෙන්න: “මක්නිසාද ස්වභාවික මිනිසා දෙවියන්වහන්සේට සතුරෙකි, තවද ආදම්ගේ වැටීමේ සිට එය එසේ විය, ඔහු ශුද්ධාත්මයාණන්ගේ පෙළඹවීම් වලට අවනත වෙමින්, තවද ස්වභාවික මිනිසාව පසෙක දමා ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් ශුද්ධවන්තයෙකු වී, තවද අවනත, නිහතමානී, යටහත්, ඉවසිලිවන්ත, ප්‍රේමයෙන් පුර්ණ, දරුවෙකු ඔහුගේ පියාට කීකරු වන්නාක් මෙන්, ස්වාමින්වහන්සේ ඔහු මත පැමිණවීමට සුදුසු යයි සිතන සියලු දේ කෙරෙහි අවනත වීමට කැමති වී, දරුවෙකු මෙන් නොවන්නේ නම්, ඉදිරියටත්, සදාකාලයෙන් සදාකාලයටත්, එය එසේම වන්නේය.”6

අපි දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇතිකරගෙන අලුත් කරන විට එම වෙනස අපට ලැබෙනවා. එය අපගේ හදවත් තුළ පරිවර්තනයකට ඉඩදීම සඳහා ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ බලය ගෙන එනවා. අප සක්‍රමේන්තුවට සහභාගී වන සෑම අවස්ථාවකම, පිටත්ව ගිය මුතුන් මිත්තෙකු සඳහා දේවමාළිගාවේ නියෝග ඉටුකරන විට, ගැලවුම්කරුවාණන්ගේ සාක්ෂිකරුවෙකු ලෙස සාක්ෂි දරන විට, හෝ ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු ලෙස අවශ්‍යතා ඇති අයෙකුව රැකබලා ගන්නා සෑම අවස්ථාවකම අපට එය දැනෙන්න පුළුවන්.

එම අත්දැකීම් තුළ, අපි කාලයත් සමඟ ආදරය කිරීමට හා කීකරු වීමට අපට ඇති හැකියාවෙන් දරුවෙකු මෙන් වෙනවා. අපි ස්ථිර පදනමක් මත නැගී සිටින්නට පැමිණෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල අපව පසුතැවිලි වීමට සහ උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට ගෙන එනවා. අපි කීකරු වන අතර, පරීක්ෂාවට එරෙහි වීමට අපි බලය ලබාගන්නවා, එමෙන්ම ශුද්ධාත්මයාණන්ගේ පොරොන්දු වූ මිත්‍රත්වයද අපි ලබාගන්නවා.

අපගේ ස්වභාවයන් දෙවියන්වහන්සේට කීකරු හා වඩා ප්‍රේමනීය කුඩා දරුවෙකු ලෙස වෙනස් වෙනවා. එම වෙනස ශුද්ධාත්මයාණන් තුළින් ලැබෙන දීමනා භුක්ති විඳීමට අපව සුදුස්සන් කරනවා. ආත්මයාණන්ගේ මිත්‍රත්වය තිබීම අපට සැනසීමක්, මගපෙන්වීමක්, සහ ශක්තිමත් කිරීමක් වෙයි.

දෙවියන්වහන්සේ ඉදිරියෙහි අපට කුඩා දරුවෙකු මෙන් විය හැකි බව බෙන්යමින් රජු පැවසූ විට ඔහු අදහස් කළ දේවල් සමහරක් මම දැනගත්තා. ශුද්ධාත්මයාණන්වහන්සේ බොහෝ විට කතා කරන්නේ, කෙනෙකුගේ හදවත දරුවෙකුගේ මෙන් නිහතමානී සහ යටහත් පහත් වූ විට ඉතා පහසුවෙන් ඇසෙන, නිහඬ කටහඬකින් බව මම බොහෝ අත්දැකීම් වලින් ඉගෙනගත්තා. ඇත්තවශයෙන්ම, හොඳම යාච්ඤාව තමයි “මට අවශ්‍ය ඔබවහන්සේට අවශ්‍ය දේයි. ඒ මොකක්ද කියලා විතරක් මට කියන්න. මම ඒක කරන්නම්.”

ජීවිතයේ කුණාටු පැමිණෙන විට, ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ලේ පර්වතය මත සිටගෙන සිටින නිසා ඔබට ස්ථාවර විය හැකියි. එම ඇදහිල්ල ඔබව දිනපතා පසුතැවිලි වීමට සහ ස්ථාවරව ගිවිසුම් පවත්වා ගැනීමට ඔබව ගෙන යයි. එවිට ඔබ සැමදා උන්වහන්සේව සිහිකරයි. වෛරයේ සහ දුෂ්ටකමේ කුණාටු හරහා, ඔබට ස්ථාවරත්වයක් සහ බලාපොරොත්තුවක් දැනෙයි.

ඊටත් වඩා, ඔබ සමඟ ඒ පර්වතය මත ආරක්ෂාව සඳහා අන් අයව ඔසවා තැබීමට ඔබ අත දිගු කරන බව ඔබට දැනෙයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල සැමවිටම වැඩි බලාපොරොත්තුවක් සහ අන්‍යයන් කෙරෙහි සැබෑ ප්‍රේමයක හැඟීමක් ඇති කරනවා, ඒ තමයි ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍ය ප්‍රේමය.

ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට “මා වෙතට එන්න”7 යන ආරාධනය කර ඇති බවට මම මාගේ ඒකායන සාක්ෂිය දරනවා. ඔබටත් ඔබ ආදරය කරන අයටත් ඇති ආදරය නිසා, මේ ජීවිතයේ සාමය සහ මතු ලෝකයේ සදාකාල ජීවනය සඳහා උන්වහන්සේ වෙත පැමිණෙන ලෙස උන්වහන්සේ ඔබට ආරාධනා කරනවා. ප්‍රීතියේ සැලැස්මේ කොටසක් ලෙස ඔබේ පරීක්ෂණයේදී ඔබ මුහුණදෙන කුණාටු උන්වහන්සේ හොඳින්ම දන්නවා.

ගැලවුම්කරුවාණන්ගේ ආරාධනය පිළිගන්නා ලෙස මම ඔබෙන් අයදිනවා. මෘදු හා ආදරණීය දරුවෙකු මෙන්, උන්වහන්සේගේ උපකාරය පිළිගන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ උන්වහන්සේ පිරිනමන ගිවිසුම් තබාගෙන ඒවා පිළිපදින්න. ඒවා ඔබව ශක්තිමත් කරයි. ගැලවුම්කරුවාණන් වෙතට සහ අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ වෙතට යන මාර්ගයේ ඇති කුණාටු සහ ආරක්ෂිත ස්ථාන උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ මාර්ගය දන්නවා. මාර්ගය උන්වහන්සේයි. මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.