ප්‍රධාන සම්මන්ත්‍රණය
සැලැස්ම වැඩ කරනවාද?
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


සැලැස්ම වැඩ කරනවාද?

ප්‍රීතියේ සැලැස්ම ක්‍රියාත්මක වන බවට මම සාක්ෂි දරනවා. එය නිර්මාණය කරන ලද්දේ ඔබට ආදරය කරන ඔබගේ ස්වර්ගික පියාණන්වහන්සේ විසින්.

මේ සැලැස්ම වැඩ කරනවාද?

මීට වසර කිහිපයකට පෙර ධර්මදූත සේවයේ නිරත වූ සහ දැන් ඔහුගේ වෘත්තීය කටයුතු වල නියැලී සිටින තරුණ වැඩිහිටියෙකු සමඟ මෑතකදී මම කතාබහක යෙදුණා. යම් පැති වලින්, ඔහුගේ ජීවිතය යහපත් ආකාරයකින් ගෙවෙමින් තිබුණා. නමුත් ඔහුගේ ඇදහිල්ලත් පිරිහෙමින් තිබුණා. ඔහු ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ සභාව ගැන සැක සහිත මුහුදක ගිලෙමින් සිටියා. නැවත පිහිටුවන ලද ශුභාරංචියෙන් තමා බලාපොරොත්තු වූ ආශිර්වාද නොලැබෙන බව ඔහු පැහැදිලි කළා. ප්‍රීතියේ සැලැස්ම ඔහුගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වන බව ඔහුට දැනුණේ නෑ.

අද මගේ පණිවිඩය ඒ හා සමාන හැඟීම් ඇති සියලුදෙනා සඳහායි. එක කාලෙක “මුදවාගැනීමේ ප්‍රේම ගීතය ගායනා කරන්න හිතුණ” නමුත් “දැන් එසේ නොදැනෙන” අයට මම කතා කිරීමට බලාපොරොත්තු වෙනවා.1

අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ අපගේ සදාකාලික සතුට සඳහා අපූරු සැලැස්මක් සූදානම් කර තිබෙනවා. නමුත් අප බලාපොරොත්තු වූ ආකාරයට ජීවිතය දිග හැරෙන්නේ නැති විට, එම සැලැස්ම ක්‍රියාත්මක නොවන බවක් පෙනෙන්නට පුළුවන්.

යේසුස්වහන්සේගේ ගෝලයන් බෝට්ටුවක සිටියදී, සුළඟ ප්‍රතිවිරුද්ධව හැමූ බැවින් “මුහුද මැද, රළ පහරින් ගසාගෙන ගිය” අවස්ථාවන් වල ඔවුන්ට හැඟුණ ආකාරයට අපටත් සමහර වෙලාවලට හැඟෙනවා වෙන්න පුළුවන්.2

එවිට, ඉතා උදෑසන:

“යේසුස් මුහුද මත ඇවිදිමින් ඔවුන් වෙතට ගියේය.

“ගෝලයන් උන්වහන්සේ මුහුද පිට පයින් එනවා දැක, කැළඹී, … භයින් මොරගැසුවෝය.

“එහෙත් යේසුස්වහන්සේ එකෙනෙහිම ඔවුන්ට කථාකොට, ධෛර්යවන්ත වෙයල්ලා; මේ මමය; භය නොවෙල්ලායි කී සේක.

“පේත්‍රැස් උන්වහන්සේට උත්තර දෙමින්, ස්වාමිනී, ඒ ඔබවහන්සේ නම්, වතුර පිට ඔබ වෙතට එන්ට මට අණකළ මැනවයි කිවේය.

“වරෙන්නැයි, උන්වහන්සේ කී සේක. එවිට පේත්‍රැස් ඔරුවෙන් බැස, යේසුස්වහන්සේ වෙතට යන පිණිස, වතුර පිට පයින් ගියේය.

“නමුත් ඔහු සුළඟ දැක භය වී; ගිලෙන්නට පටන්ගෙන, ස්වාමිනී මා ගැළවුව, … මැනවයි මොරගැසුවේය.

“එකෙනෙහිම යේසුස්වහන්සේ අත දිගුකොට ඔහු අල්ලාගෙන ඇදහිලි මද තැනැත්ත කුමක් නිසා සැකවුයෙහි දැයි? කීසේක.”3

මම පේත්‍රැස්ගෙන් ඉගෙනගත් ප්‍රතිපත්ති තුනක් ඔබ සමඟ බෙදාගන්නද? ප්‍රීතියේ සැලැස්ම තම ජීවිත තුළ ක්‍රියාත්මක නොවන බව හැඟෙන ඕනෑම කෙනෙකුට මෙම මූලධර්ම උපකාර වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

පළමුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ක්‍රියා කරන්න.

මම පේත්‍රැස්ගේ ඇදහිල්ල ගැන පුදුම වෙනවා. “එන්න,” කියා යේසුස්වහන්සේ කළ සරල ආරාධනය මත ඔහු කුණාටුවෙන් ගසාගෙන ගිය නැවෙන් පිටතට ආවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යමක් කිරීමට ඔහුට ආරාධනා කළහොත්, එය කළ හැකි බව ඔහු දැන සිටි බවක් පෙනෙන්නට තිබුණා.4 පේත්‍රැස් තම බෝට්ටුව විශ්වාස කරනවාට වඩා ගැලවුම්කරුවාණන්ව විශ්වාස කළා. ඒ වගේම ඒ ඇදහිල්ල නිසා පීඩාකාරී, බිය උපදවන අවස්ථාවක ධෛර්යවන්තව ක්‍රියා කිරීමට ඔහුට ශක්තිය ලැබුණා.

පේත්‍රැස්ගේ ඇදහිල්ල වැඩිහිටි ජෝස් එල්. ඇලොන්සෝගෙන් මා අසා ඇති අත්දැකීමක් ගැන මට මතක්කරදෙනවා. තම කුඩා දරුවන් සිටින පවුල තනිකර වැඩිහිටි ඇලොන්සෝගේ පුතා අභාවප්‍රාප්ත වී ටික වේලාවකට පසු, වැඩිහිටි ඇලොන්සෝට ළමයින් කතා කරන අයුරු ඇසුණා.

“අපි මොකක්ද කරන්නෙ?” ඔවුන් ඇසුවා.

නව හැවිරිදි දියණියක් මෙහෙම පිළිතුරු දුන්නා, “තාත්තා හොඳින්. ඔහු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය දේශනා කරනවා.

පේත්‍රැස් මෙන්, මේ කුඩා දැරිය ඇගේ අභියෝග වලින් ඔබ්බට දුටු අතර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම කෙරෙහි විශ්වාසය තැබුවා. ගැලවුම්කරුවාණන් කෙරෙහි ඇදහිල්ල මගින් සාමය සහ ඉදිරියට යාමට ශක්තිය ගෙන එනවා.

ඔබ ඔබේ ජීවිතය දෙස ආපසු හැරී බැලුවහොත්, ඔබ බොහෝ වාරයක් ඇදහිල්ල ක්‍රියාත්මක කර ඇති බව ඔබට පෙනෙනු ඇතැයි මම විශ්වාස කරනවා. සභාවට සම්බන්ධ වීම ඇදහිල්ලේ ක්‍රියාවක්. ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ යාච්ඤාවෙන් කතා කිරීම ඇදහිල්ලේ ක්‍රියාවක්. ශුද්ධලියවිලි කියවීම ඇදහිල්ලේ ක්‍රියාවක්. මෙම ප්‍රධාන සම්මන්ත්‍රණයේ මගේ පණිවිඩයට සවන්දීම ඇදහිල්ලේ ක්‍රියාවක්. සභාපති රසල් එම්. නෙල්සන් පවසා ඇති පරිදි, “ඔබට දැනටමත් ඇති ඇදහිල්ල අඩු කරගන්න එපා.”5

මෙය පේත්‍රැස්ගෙන් මා ඉගෙනගත් තවත් පාඩමක්.

කරදර කාල වලදී, වහාම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත හැරෙන්න.

ඔහු ගැලවුම්කරුවාණන් දෙසට ඇවිද යන විට, පේත්‍රැස් සුළඟට බිය වූ අතර ගිලෙන්නට පටන් ගත්තා. නමුත් පේත්‍රැස්ට සිදුවෙමින් පවතින දේ වැටහුණු විට, ඔහු තනිවම වතුර පාගන්නට හෝ නැව වෙත පිහිනීමට උත්සාහ කළේ නෑ. ඔහු ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල අත්හරිනවා වෙනුවට, “ස්වාමීනි, මාව ගලවන්න” කියා හඬමින් වඩාත් තදින් අල්ලාගෙන සිටියා.

“එකෙණෙහිම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ අත දිගු කොට ඔහුව අල්ලාගත්තා.”6

අපගේ ඇදහිල්ල කම්පා කර අපව ගිලී යාමට හේතු විය හැකි ඝෝෂාකාරී සුළං වලට අප සියලුදෙනාම මුහුණදෙනවා. මෙය සිදුවූ විට, ස්වර්ගීය පියාණන්ගේ සතුට පිළිබඳ සැලැස්මට තවත් නමක් ඇති බව කරුණාකර මතකතබාගන්න—ඒ තමයි මිදීමේ සැලැස්ම. කිසිදා පැකිළෙන්නේ නැති, කිසිවිටෙකත් ගිලෙන්නේ නැති, අපගේ මුහුණේ සෑමවිටම සිනහවක් තබාගත හැකි ලෙස ජීවිතය පහසුවෙන් ගලා යාම මේ සැලැස්මේ කොටසක් නොවේ. අපව මුදවා ගත යුතු බව ස්වර්ගික පියාණන්වහන්සේ දැන සිටියා. උන්වහන්සේ මිදීමේ සැලැස්ම සකස් කළේ ඒ නිසයි.7 උන්වහන්සේ මිදුම්කරුවෙකු එව්වේ මේ නිසයි. ඕනෑම හේතුවක් නිසා—අපි අරගල කරන විට—මේ සැලැස්ම ක්‍රියාත්මක නොවන බව එයින් අදහස් වෙන්නේ නෑ. අපිට සැලැස්ම වැඩිපුරම අවශ්‍ය වෙන්නේ එවිටයි!

එම අවස්ථාවන්හිදී, පේත්‍රැස්ගේ ආදර්ශය අනුගමනය කරන්න. වහාම ගැලවුම්කරුවාණන් වෙත හැරෙන්න.

“දැන් ඔබේ ගැලවීමේ කාලය සහ දවසයි. … ඔබේ පසුතැවිලි වීමේ දිනය කල් දමන්න එපා.”8

අප කොතැනක සිටියත්, කලින් කොතැනක සිටියා වුවත්, පසුතැවීම යනු ඉදිරි මාවතයි. සභාපති නෙල්සන් මෙසේ ඉගැන්වූවා:

“පසුතැවීම සඳහා නිතිපතා, දිනපතා අවධානය තරම් කිසිඳු දෙයක් අපගේ පෞද්ගලික වර්ධනය සඳහා වඩාත්ම මුදු මොළොක්, වඩාත් ප්‍රශංසනීය, හෝ වඩාත් තීරණාත්මක නැත. …

“ඔබ උනන්දුවෙන් ගිවිසුම් මාවතේ ඇවිද යනවා වුවත්, මාවතෙන් ලිස්සා හෝ ඉවතට ගොස් ඇත්නම්, හෝ ඔබ දැන් සිටිනා තැන සිට ගිවිසුම් මාවත දකින්නටවත් නොහැකිනම්, මම ඔබෙන් අයැද සිටිනවා, පසුතැවෙන්න. සෑම දිනකම ටිකක් හෝ හොඳ කිරීමෙන් හා වීමෙන්—දිනපතා පසුතැවීමේ බලයේ ශක්තිය අත්විඳින්න.”9

ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීම යනු උන්වහන්සේ ගැන සිතීම හෝ උන්වහන්සේ ගැන කතා කිරීම හෝ උන්වහන්සේට ප්‍රේම කිරීම පමණක් නොවේ. එහි තේරුම උන්වහන්සේව අනුගමනය කිරීමයි. එයින් අදහස් කරන්නේ උන්වහන්සේ අපට ජීවත් වීමට උගන්වන ආකාරයට ජීවත් වීමයි. ඒ වගේම අපි හැමෝටම, එයින් අදහස් කරන්නේ පමා නොවී පසුතැවිලි වීමයි.

මගේ දියණියක් ධර්මදූත පුහුණු මධ්‍යස්ථානයක වැඩ කළා. මොර්මොන්ගේ පොත සත්‍ය දැයි තමාට විශ්වාස නැති බව කියූ ඇය ඉගැන්වූ ධර්මදූතයෙකු ගැන ඇය මට පැවසුවා. ඔහු ආත්මික සාක්ෂියක් ඉල්ලා බොහෝ යාච්ඤා කර ඇති නමුත් ඔහුට පිළිතුරක් ලැබී තිබුණේ නෑ.

මෙම ධර්මදූතවරයාට උපකාර කිරීමට ඇය කළ යුත්තේ කුමක්දැයි දැනගැනීමට මගේ දුව යාච්ඤා කළා. ශුද්ධලියවිලි අපට ලබාදී ඇත්තේ ඒවා කියවා සාක්ශියක් ලබාගැනීමට පමණක් නොවන බවත්; දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමට අපට ඉගැන්වීම සඳහා ඒවා අපට ලබා දී ඇති බවත්, ඇයට ලැබුණු හැඟීමයි. මගේ දුව මේ අදහස ඒ ධර්මදූතවරයා සමඟ බෙදාගත්තා.

පසුව, ඇය නැවතත් මෙම ධර්මදූතවරයාව දකිද්දී, ඔහු වඩාත් සතුටින් සිටියා. ඔහු ඇයට පැවසුවේ අවසානයේ මොර්මොන්ගේ පොත සත්‍ය බවට සාක්ෂියක් තමාට ලැබුණු බවයි. මෙම සාක්ෂිය ඔහුට ලැබුනේ මෝර්මොන්ගේ පොතේ උගන්වන දේ කිරීමට ඔහු වැඩි උත්සාහයක් දැරූ නිසා බව ඔහු දැනගෙන සිටියා.

විපත්ති කාල වලදී ගැලවුම්කරුවාණන් වෙත හැරීමේ පේත්‍රැස්ගේ ආදර්ශය අපි අනුගමනය කරමු. ඔබේම ප්‍රඥාව සහ ශක්තිය මත විශ්වාසය තැබීම වෙනුවට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන්න. ඔබ උන්වහන්සේ නොමැතිව ජලය මතින් ගමන් කිරීමට කොපමණ කාලයක් උත්සාහ කළත්, උන්වහන්සේ වෙත ලඟා වීමට කිසිවිටෙකත් ප්‍රමාද නෑ. සැලැස්ම වැඩ කරනවා!

පේත්‍රැස්ගෙන් සහ ඔහුගේ අත්දැකීමෙන් මම ඉගෙනගත් තුන්වන මූලධර්මය මෙයයි:

ස්වාමින්වහන්සේ ඉදිරියෙහි නිහතමානී වන්න, එවිට උන්වහන්සේ ඔබව උතුම් දේවල් වෙත ඔසවනවා.

පේත්‍රැස් ජලය මත ඇවිදීමේදී සහ ඔහුට උපකාර අවශ්‍ය වූ විට ගැලවුම්කරුවාණන් වෙත ලඟාවීම යන දෙආකාරයෙන්ම ඇදහිල්ල පෙන්වූවා. එසේ වුවද, ගැලවුම්කරුවාණන් පේත්‍රැස් තුළ තවත් බොහෝ දේ සඳහා ඇති හැකියාව දුටුවා. “ඇදහිලි මද තැනැත්ත, කුමක් නිසා සැකවුයෙහි දැයි” උන්වහන්සේ ඇසුවා.10

පේත්‍රැස්ට මෙම තරවටු කිරීම නිසා අමනාපයක් පෙන්විය හැකිව තිබුණා. නමුත් ඔහු එය නිහතමානීව පිළිගත්තා. ඔහු දිගටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි වැඩි ඇදහිල්ලක් සෙව්වා. ඉතාමත්ම දුෂ්කර සමහර අත්තැකීම් අතුළුව—ඇදහිල්ල ගොඩනැගීමේ බොහෝ අමතර අත්දැකීම් හරහා—පේත්‍රැස් අවසානයේදී ස්වාමින්වහන්සේට අවශ්‍ය පර්වතයේ ශක්තිමත් නායකයා බවට පත්වුණා. ඔහු ස්වාමින්වහන්සේගේ සේවය තුළ විශාල දේවල් ඉටුකළා.

ස්වාමින්වහන්සේ ඔබ ඉටුකරගනු ලබනවාට කැමති උතුම් දේවල් මොනවාද? උන්වහන්සේගේ සභාවේ සහ රාජ්‍යයේ, ගැලවුම්කරුවාණන් මෙන් අන් අයට සේවය කිරීමට සහ ඉගැන්වීමට බොහෝ අවස්ථාවන් තිබෙනවා. ඔබ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ කාර්යයේ කොටස්කරුවෙකු වීම උන්වහන්සේට අවශ්‍යයි. ප්‍රීතියේ සැලැස්ම තුළ අන් අයට ජීවත් වීමට උපකාර කරන විට වඩා වෙන කිසිම ආකාරයකින් එම සැලැස්ම කිසිවිටෙකත් ඔබට සැබෑ වෙන්නේ නෑ.

මගේම ඇදහිල්ල ගොඩනගා ගැනීමේදී, ඇල්මාගේ මෙම වචන ජීවිතය වෙනස් කළා: “යටහත් වීමට බලකිරීමක් නොමැතිව තමන්වම යටහත් කරගන්නා ආශිර්වාද ලද්දේය.”11 යේසුස්වහන්සේට අපව ඔසවා තැබීමට, අපව මෙහෙයවීමට සහ අපගේ හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි ස්ථානයක නිහතමානීව අපවම තබාගමු.12

ප්‍රීතියේ සැලැස්ම ක්‍රියාත්මක වන බවට මම සාක්ෂි දරනවා. එය නිර්මාණය කරන ලද්දේ ඔබට ආදරය කරන ඔබගේ ස්වර්ගික පියාණන්වහන්සේ විසින්. එය ක්‍රියාත්මක වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් පාපය සහ මරණය ජයගත් නිසයි. උන්වහන්සේ වෙතට එන්න, උන්වහන්සේව අනුගමනය කරන්න, “මිදීමේ මහා සැලැස්ම වහාම ඔබ වෙත ගෙන එනු ලැබෙයි.”13 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.