ප්‍රධාන සම්මන්ත්‍රණය
පසුදවස් වල නිර්භීත අනුගාමිකත්වය
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


පසුදවස් වල නිර්භීත අනුගාමිකත්වය

අපි මෙම පසුදවස් වල ස්වාමින්වහන්සේගේ ආලෝකය ඔසවාගෙන සිටින විට, අපි නිදහසට කරුණු නොකියමින් ආත්ම-විශ්වාසයෙන්, කුලෑටි නොවී නිර්භීතව, බියනොවී ඇදහිලිවන්තව සිටිමු.

සදාචාරාත්මක තෝරාගැනීමට ඇති නිදහස දෙවියන්වහන්සේ තම සෑම දරුවෙකුටම ලබාදෙන වටිනා තෑග්ගක්.1 “නිදහස සහ සදාතන ජීවිතය තෝරාගැනීමට හෝ යක්ෂයාගේ සිරගත කරනු ලැබීම සහ බලය අනුව සිරගතවීම හා මරණය තෝරාගැනීමට නිදහස”2 අපට තිබෙනවා. දෙවියන්වහන්සේ අපට යහපත කිරීමට බල කරන්නේ නෑ, ඒ වගේම අපට නපුර කිරීමට යක්ෂයාට බල කළ කරන්නට බැහැ.3 ලෞකිකත්වය යනු දෙවියන්වහන්සේ සහ විරුද්ධවාදියා අතර තරඟයක් යැයි ඇතැමුන් සිතිය හැකි නමුත්, ගැලවුම්කරුවාණන්ගේ වචනයකට “සාතන්ව නිශ්ශබ්ද කර පිටුවහල් කළ හැකියි. … එයින් පරීක්ෂා කරනු ලබන්නේ [අපගේ] ශක්තිය මිස—දෙවියන්වහන්සේගේ ශක්තිය නොවේ.”4

අවසානයේදී අපි අපේ ජීවිත කාලය පුරාවටම වපුරා ඇති දේ නෙළාගන්නවා.5 එසේනම් අපගේ සිතුවිලි, ආශාවන්, වචන, සහ ක්‍රියාවල එකතුව ගැලවුම්කරුවාණන් ගැන, උන්වහන්සේගේ තෝරාගත් සේවකයන් ගැන, සහ උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද සභාවට ඇති අපගේ ප්‍රේමය ගැන පවසන්නේ කුමක්ද? අපගේ බව්තීස්ම, පූජකවරය, සහ දේවමාළිගා ගිවිසුම්, අපට ලෝකයේ ප්‍රශංසාව හෝ සමාජ මාධ්‍යවල “කැමති” ගණනට වඩා වැඩි යමක් අදහස් කරනවාද? මේ ජීවිතයේ ඕනෑම දෙයකට හෝ ඕනෑම කෙනෙකුට ඇති අපගේ ප්‍රේමයට වඩා ස්වාමින්වහන්සේට සහ උන්වහන්සේගේ ආඥාවන්ට ඇති අපගේ ප්‍රේමය ශක්තිමත්ද?

විරුද්ධවාදියා සහ ඔහුගේ අනුගාමිකයන් සැමවිටම උත්සාහ කළේ ක්‍රිස්තුස්වහන්සේගේ සහ උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ගේ කාර්යයන් විනාශ කිරීමටයි. ගැලවුම්කරුවාණන්ගේ ආඥා, සම්පූර්ණයෙන්ම නොසලකා හරිනු නොලැබේ නම්, අද ලෝකයේ බොහෝ දෙනා විසින් එය අර්ථ විරහිත බව තර්ක කරනවා. “නොසුදුසු” සත්‍යයන් උගන්වන දෙවියන්වහන්සේගේ පණිවිඩකරුවන් බොහෝ විට නෙරපා හරිනු ලැබෙනවා. ගැලවුම්කරුවාණන්ව පවා “කෑදර මනුශ්‍යයෙක්ය, මුද්‍රික පානය බොන්නෙක්ය”6 ලෙස හැඳින්වූයේ, මහජන හැඟීම් වලට බාධා කිරීම සහ බෙදීම් ඇතිකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලකරමිනුයි. දුර්වල සහ කවට ආත්මයන් “කථාවෙන් කෙසේ උන්වහන්සේ අසුකරගනිමු දැයි මන්ත්‍රණය කළා,”7 මෙන්ම උන්වහන්සේගේ “නිකායේ” මුල් ක්‍රිස්තියානුවන් පිළිබඳව “සියලු තැන්හි … විරුද්ධව කථා කළා.”8

ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ මුල් අනුගාමිකයින් බරපතල අභ්‍යන්තර හා බාහිර විරුද්ධත්වයන් සමඟ කටයුතු කළ අතර, අපද එය එලෙසම අත්දකිනවා. ඉඳහිට ලෞකිකත්වයේ සැබවින්ම නින්දා කරන ඇඟිලි කිහිපයක් ආකර්ෂණය කර නොගෙන අපගේ ඇදහිල්ල තුළ නිර්භීතව ජීවත් වීම අද කළ නොහැකි දෙයක්. ගැලවුම්කරුවාණන්ව ආත්ම විශ්වාසයෙන් යුතුව අනුගමනය කිරීම යහපත් ප්‍රතිඵල ගෙන ආවත්, සමහර අවස්ථා වලදී අපි “කන්න, බොන්න, සහ ප්‍රීති වන්න”9 යන දර්ශනය වෙනුවෙන් පෙනී සිටින අයගේ ආක්‍රමණ වල ඉලක්කයක් විය හැකියි, එහිදී ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල, කීකරුකම, සහ පසුතැවිල්ල ආදේශ කරනු ලබන්නේ දෙවියන්වහන්සේ අපට බොහෝ ප්‍රේම කරන බැවින් කුඩා පාපයක් සාධාරණීකරණය කරනු ඇතැයි යන මිත්‍යාවයි.

“[උන්වහන්සේගේ] හඬින් හෝ [උන්වහන්සේගේ] සේවකයන්ගේ හඬින්”10 කතා කරමින් අපගේ දවස් පිළිබඳව ගැලවුම්කරුවාණන් මෙසේ පැවසුවේ නැතිද? “මක්නිසාද ඔවුන් සාරවත් ඉගැන්වීම නොඉවසා, අසන කන් ඇතුව, තමුන්ගේ ආශාවල් ලෙස තමුන්ටම ගුරුවරුන් රැස්කරගෙන, සත්‍යට කන්නොදී ප්‍රබන්ධ වලට හැරී යන කාලය පැමිණෙන්නේය”11 එවිට බොහෝ අය “මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම් කොට උගන්වමින්, ඔවුන් මට නමස්කාර කරන්නේ නිරර්ථකයේ”12 යැයි කියා උන්වහන්සේ වැළපුනේ නැතිද? “නුඹලා අතරෙන් මනුෂ්‍යයන් නැගිට, තමුන් පස්සේ යන්ට ගෝලයන් ඇදගන්නා පිණිස කාරණා පෙරලා කථාකරනවා ඇත”13 කියා උන්වහන්සේ අනතුරු ඇඟෙව්වේ නැතිද? “නපුරට යහපත කියාද යහපතට නපුර කියාද කියන්නාවූත්,”14 “මනුෂ්‍යයෙකුගේ සතුරෝ නම් ඔහුගෙම ගෙයි වැසියෝය”15 කියා උන්වහන්සේ කලින්ම දුටුවේ නැතිද?

ඉතින් අපි ගැන කුමක් කිව හැකිද? අපි තැතිගත යුතු හෝ බිය විය යුතුද? අපි අපේ ආගම තුළ අන් අයට නොදැනෙන සේ ජීවත් විය යුතුද? සැබවින්ම නැහැ! ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතිව, අපි මිනිසුන්ගේ නින්දා අපහාස වලට බිය විය යුතු හෝ ඔවුන්ගේ ගැරහීම් වලට බිය විය යුතු නෑ.16 ගැලවුම්කරුවාණන්ගේ පාලනයෙන් සහ අපට නායකත්වය දීමට සහ මගපෙන්වීමට ජීවමාන අනාගතවක්තෘවරුන් සිටින විට “අපට විරුද්ධ විය හැක්කේ කාටද?”17 අපි මෙම පසුදවස් වල ස්වාමින්වහන්සේගේ ආලෝකය ඔසවාගෙන සිටින විට, අපි නිදහසට කරුණු නොකියමින් ආත්ම විශ්වාසයෙන්, කුලෑටි නොවී නිර්භීතව, බියනොවී ඇදහිලිවන්තව සිටිමු.18

ගැලවුම්කරුවාණන් ඉතා පැහැදිලි ලෙස මෙලෙස ප්‍රකාශ කර තිබෙනවා “ඔහු අඳුනමියි මා ගැන කියන යමෙක් ඇත්ද, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේ ඉදිරියෙහිදී මමත්: ඔහු අඳුනමියි කියන්නෙමි. … නුමුත් යමෙක් මනුෂ්‍යයන් ඉදිරියෙහි මා ප්‍රතික්ෂේප කරන්නේද, මමද මාගේ පියාණන්වහන්සේ ඉදිරියෙහි ඔහුව ප්‍රතික්ෂේප කරන්නෙමි.”19

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඇතැමුන් ආඥා නොමැතිව පැමිණෙන දෙවිකෙනෙකුට කැමති වුවද, වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන්ගේ වචන වලින් අපි නිර්භීතව මෙලෙස සාක්ෂි දරමු, “කිසිම ඉල්ලීමක් නොකරන දෙවියන් යනු නොපවතින දෙවියන්ගේ ක්‍රියාකාරී සමානකමකි.”20

ඇතැමුන් තමන් අනුගමනය කරන ආඥා වලදී තෝරා බේරා ගැනීමට කැමති වුවත්, “දෙවියන්වහන්සේගේ මුවින් නික්මෙන සෑම වචනයකින්ම ජීවත් වන්න” යන ගැලවුම්කරුවාණන්ගේ ආරාධනය අපි සතුටින් පිළිගනිමු.21

ස්වාමින්වහන්සේ සහ උන්වහන්සේගේ සභාව “[අපගේ] සිත කැමති ඕනෑම දෙයක්” කිරීම අනුමත කරන බව බොහෝ දෙනා විශ්වාස කරන අතර,22 “නපුර කිරීම සඳහා සමූහයක් අනුගමනය කිරීම” වැරදි බව අපි නිර්භීතව ප්‍රකාශ කරමු,23 මන්ද, “දෙවියන්වහන්සේ වැරදියි කියා ප්‍රකාශ කර ඇති දේ නිවැරදි කිරීමට සමූහයන්ට නොහැකිය.”24

“අහෝ මතකතබාගන්න, මතකතබාගන්න දෙවියන්වහන්සේගේ ආඥා කොතරම් දැඩිද [එලෙසම විමුක්තිදායකය].”25 ඔවුන්ට පැහැදිලිව ඉගැන්වීම සමහරවිට නොඉවසීමේ ක්‍රියාවක් ලෙස දැකිය හැකිය. එබැවින් අපගේ විශ්වාසයන්ට වඩා වෙනස් වූ විශ්වාසයන් වැළඳගන්නා දෙවියන්වහන්සේගේ දරුවෙකුට ප්‍රේම කිරීම කළ හැකි පමණක් නොව අත්‍යවශ්‍ය බව ගෞරවාන්විතව පෙන්වා දෙමු.

ස්වාමින්වහන්සේගේ කැමැත්තට අනුකූල නොවන ඔවුන්ගේ විශ්වාසයන් හෝ ක්‍රියාවන් අනුමත නොකර අපට අන්‍යයන් පිළිගෙන ගරු කළ හැකියි. එකඟතාවයේ සහ සමාජ ආශාවන්ගේ පූජාසනය මත සත්‍යය පූජා කිරීමට අවශ්‍ය නෑ.

සයොනය සහ බැබිලෝනිය ගැලපෙන්නේ නෑ. “කිසිම මිනිසෙකුට ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කළ නොහැක.”26 “ඔබ මට ස්වාමීනි, ස්වාමීනි, කියා කථාකර මා පවසන දේ නොකරන්නේ මන්ද?”27 යන ගැලවුම්කරුවාණන්ගේ විනිවිද පෙනෙන ප්‍රශ්නය අපි සියල්ලෝම සිහිපත් කරමු.

අපි මුළු හදවතින්ම, ස්වේච්ඡා කීකරුකම තුළින් ස්වාමින්වහන්සේට අපගේ ප්‍රේමය ප්‍රදර්ශනය කරමු.

ඔබ ඔබේ අනුගාමිකත්වය සහ ලෝකය අතර සිරවී සිටින බවක් ඔබට හැඟේ නම්, ඔබේ ආදරණීය ගැලවුම්කරුවාණන් දයාවේ හස්තය [ඔබට] දිගුකර “පසුතැවිලි වන්න, මම ඔබව පිළිගන්නෙමි”28 යන ආරාධනය කරන බව කරුණාකර මතකතබාගන්න.

සභාපති රසල් එම්. නෙල්සන් මෙලෙස ඉගැන්වූවා: යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “දැන් සහ නැවත පැමිණෙන කාලය අතරතුර උන්වහන්සේගේ බලවත්ම ක්‍රියා කිහිපයක් ඉටුකරයි”.29 නමුත් ඔහු තවදුරටත් උගන්වමින් කියා සිටියේ “ස්වාමින්වහන්සේගේ මාර්ගය තෝරාගන්නා අය බොහෝවිට පීඩා විඳදරාගනු ඇති,”30 බවයි. “උන්වහන්සේගේ නාමය නිසා ලැජ්ජාවට පත්වීමට සුදුස්සෙකු ලෙස සැලකීම”31 සමහර අවස්ථා වලදී අපගේ කොටස විය හැක්කේ අප “උන්වහන්සේගේ හඬට අන් කිසිවකට වඩා ප්‍රමුඛත්වය දීමට” ඉඩදෙන බැවිනුයි.32

“යමෙක් මා තුළ අමනාප නොවන්නේ නම්, ඔහු භාග්‍යවන්තයෙකි,”33 කියා ගැලවුම්කරුවාණන් පැවසුවා. “ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරන්නන්ට මහත් සමාදානයක් ඇත; කිසිවකින් ඔවුන් අමනාප නොවන්නේය”34 කියා තවත් තැනක අපි ඉගෙනගන්නවා. කිසිවකින් නෑ! ඒ නිසා අපි අපෙන්ම මෙසේ අසමු, “මම ටික වේලාවක් විඳදරාගන්නවාද, නමුත් වචනය නිසා පීඩාවක් හෝ වධහිංසාවක් ඇති වූ විට, මම අමනාප වෙනවාද?35 මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහ උන්වහන්සේගේ සේවකයන්ගේ පර්වතය මත ස්ථිරව ගොඩනැගී සිටිනවාද?”

සදාචාරාත්මක සාපේක්ෂතාවාදීන් විසින් සත්‍යය හුදු සමාජ නිර්මිතයක් බවත්, සදාචාරාත්මක නිරපේක්ෂ කිසිවක් නොමැති බවත් අනුබල දෙනවා. ඔවුන් ඇත්තවශයෙන්ම පවසන්නේ පාපයක් නොමැති බවයි,36 “මිනිසෙකු කරන ඕනෑම දෙයක් අපරාධයක් නොවන,” බවයි,37මෙය විරුද්ධවාදියා විසින් ආඩම්බරයෙන් කර්තෘත්වය ඉල්ලා සිටින දර්ශනයක්! සෑමවිටම බඳවාගන්නා සහ “බොහෝ විට [තමන්ගේම] හැසිරීම් අඩුපාඩු වසාගැනීමට ඔවුන්ගේ බුද්ධිමය වෙන්කිරීම් [බොහෝ විට] භාවිතා කරන” බැටළු ඇඳුමින් සැරසී සිටින වෘකයන්ගෙන් පරිස්සම් වෙමු.38

අපට සැබවින්ම ක්‍රිස්තුස්වහන්සේගේ නිර්භීත අනුගාමිකයන් වීමට අවශ්‍ය නම්, අපට මාර්ගයක් සොයාගත හැකියි. එසේ නොමැති නම්, විරුද්ධවාදියා ආකර්ශනීය විකල්ප ඉදිරිපත් කරයි. නමුත් විශ්වාසවන්ත අනුගාමිකයන් වශයෙන්, “අපගේ විශ්වාසයන් ගැන සමාව අයැදීම හෝ සත්‍ය යැයි අප දන්නා දෙයින් පසුබැසීම අවශ්‍ය නෑ.”39

අවසාන වශයෙන්, මට පිටුපසින් වාඩි වී සිටින දෙවියන්වහන්සේගේ සේවකයන් 15 දෙනා ගැන වචනයක්. ලෞකිකයන් “දිවැස් ඇත්තන්ට; නුඹලා දර්ශන නොදකිල්ලා කියාද, අනාගතවක්තෘවරුන්ට, නුඹලා දිවැස් වාක්‍ය නොපවසල්ලා”40 කියාද පවසන විට, ඇදහිලිවන්තයන් ආශිර්වාද සමඟ ඉහළින් කිරුළු පළඳවනු ලබන්නෝය, එසේය, තවද ආඥාවන් ස්වල්පයක් සමඟින් නොවන්නේය, තවද ඔවුන්ගේ කාලයේදී එළිදරව් සමඟ වන්නේය.”41

අනාගතවක්තෘවරුන් ප්‍රකාශ කරන පරිදි දෙවියන්වහන්සේගේ වචනය ගැන අසතුටට පත්වූවන් සඳහා මෙම මිනිසුන් නිතර අකුණු සැර බවට පත්වීම පුදුමයක් නොවේ. “ශුද්ධලියවිලි වල කිසිම අනාවැකියක් පුද්ගලික අර්ථකථනයක් නොවන බව” හෝ මනුෂ්‍යයාගේ කැමැත්තේ ප්‍රතිඵලයක් නොවන බවත්” නමුත් [ඒ] දෙවියන්වහන්සේගේ ශුද්ධ වූ මිනිසුන් [දැන් කතා කරන්නේ] ඔවුන් ශුද්ධාත්මයාණන් විසින් පෙලඹවීම් ලබන පරිදි”42 බවත් අනාගතවක්තෘවරුන්ව ප්‍රතික්ෂේප කරන අය දන්නේ නෑ.

පාවුල් මෙන්, මෙම දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයන් “අපගේ ස්වාමින්වහන්සේගේ සාක්ෂිය ගැන ලැජ්ජා වන්නේ නැත” එමෙන්ම ඔවුහු උන්වහන්සේගේ “සිරකරුවන්ය”43 එනම් ඔවුන් උගන්වන දහම ඔවුන්ගේ නොව ඔවුන් කැඳවූ තැනැන්වහන්සේගේය. පේත්‍රැස් මෙන් ඔවුන්ටද “[ඔවුන්] දුටු සහ ඇසූ දේ කථා නොකර සිටිය නොහැක.”44 පළමු සභාපතිත්වය සහ දොළොස්දෙනාගේ ගණපූරණය දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ දරුවන්ට ප්‍රේම කරන සහ උන්වහන්සේගේ ප්‍රේමය ලබන යහපත් හා අවංක මිනිසුන් බව මම සාක්ෂි දරනවා. ඔවුන්ගේ වචන අප ලබාගත යුත්තේ ස්වාමින්වහන්සේගේ මුවින් පිටවන්නාක් මෙන් “සියලු ඉවසීමෙන් හා ඇදහිල්ලෙන් යුතුවයි. මක්නිසාද මේ දේවල් කිරීමෙන් අපායේ දොරටු [අපට] එරෙහිව ජය නොගනු ඇත; … එමෙන්ම දෙවි වූ ස්වාමින්වහන්සේ [අප] ඉදිරියෙන් අන්ධකාරයේ බලයන් විසුරුවා හරිනු ඇත.”45

“කිසිම අනවසර හස්තයකින් මෙම කාර්යයේ ප්‍රගතිය නැවැත්විය නොහැකියි”; 46 එය ඔබ සහ මම සමඟ හෝ නොමැතිව ජයග්‍රාහී ලෙස ගමන් කරනු ඇත, එබැවින් “ඔබ සේවය කරන්නේ කාටද යන්න අද දින තෝරාගන්න.”47 බලවත් සහ විශාල ගොඩනැගිල්ලෙන් පිටවන ඝෝෂාකාරී විරුද්ධවාදී ඝෝෂාවන්ට රැවටෙන්න හෝ බියවන්නට එපා. ඔවුන්ගේ මංමුලා සහගත හඬවල් බිඳුණු හදවත් සහ පසුතැවිලි වූ ආත්මයන් මත නිශ්චල, කුඩා කටහඬේ සන්සුන් බලපෑමට ගැලපෙන්නේ නෑ.

ක්‍රිස්තුස්වහන්සේ ජීවත් වන බවත්, උන්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් බවත්, පළමු සභාපතිත්වය සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණය හරහා උන්වහන්සේගේ සභාව මෙහෙයවන බවටත් මම සාක්ෂි දරනවා, මේ අනුව අප “සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඈත මෑත විසිවෙමින් නොයන බවට” මම සහතික වෙනවා.48

සභාපති නෙල්සන් ඉගැන්වූයේ, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයන්, ලෝකයේ මිනිසුන්ගෙන් කැපීපෙනීමට, කතා කිරීමට, සහ වෙනස් වීමට කැමති” බවයි. ඔවුන් නිර්භීත, කැපවූ, සහ ධෛර්ය සම්පන්න අයයි.”49

සහෝදර සහෝදරියනි, මෙය යහපත් වීමට සුබ දවසක්! යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.