ප්‍රධාන සම්මන්ත්‍රණය
දෙවියන්වහන්සේ සමඟ ඇතිකරගත් ගිවිසුම් අපව ශක්තිමත් කරයි, ආරක්ෂා කරයි, සදාකාලික මහිමය සඳහා සූදානම් කරයි
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


දෙවියන්වහන්සේ සමඟ ඇතිකරගත් ගිවිසුම් අපව ශක්තිමත් කරයි, ආරක්ෂා කරයි, සදාකාලික මහිමය සඳහා සූදානම් කරයි

අපි ගිවිසුම් ඇතිකරගැනීමට සහ ඒවා පවත්වා ගැනීමට තෝරාගන්නා විට, මේ ජීවිතයේ වැඩි ප්‍රීතියක් සහ මතු ජීවිතයේදී තේජාන්විත සදාකාලික ජීවිතයක් සමඟ අපට ආශිර්වාද ලැබෙනවා.

සහෝදරියනි, ලෝක ව්‍යාප්ත සහෝදරත්වයක් තුළ රැස්වීමට ලැබීම මොනතරම් ප්‍රීතියක්ද! දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇතිකරගන්නා සහ තබාගන්නා කාන්තාවන් වශයෙන්, අපගේ දවසේ අභියෝග වලට මුහුණදීමට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා අපව සූදානම් කිරීමට උපකාර වන අධ්‍යාත්මික බැඳීම් අපි බෙදාගන්නවා. ඒවගේම එම ගිවිසුම් තබාගැනීමෙන් ගැලවුම්කරුවාණන් වෙතට අන් අයව ඇදගත හැකි බලපෑම් ඇති කාන්තාවන් වීමට අපට ඉඩ සලසනවා.

බව්තීස්ම වූ අය විසින්, කිසිදා අමතක නොවන එම දිනයේදී, උන්වහන්සේගේ නාමය තමන් වෙත ගැනීමටත්, උන්වහන්සේව සැමවිටම මතක තබාගැනීමටත්, උන්වහන්සේගේ ආඥා පිළිපැදීමටත්, අවසානය දක්වාම උන්වහන්සේට සේවය කිරීමටත්, ගිවිසුම් තබාගන්නවා. අපි මේ දේවල් කරන විට, ස්වර්ගීය පියාණන්වහන්සේ අපගේ පව් වලට සමාව දෙන බවටත්, ශුද්ධාත්මයාණන්වහන්සේගේ සහකාරත්වය ලබාදෙන බවටත් පොරොන්දු වෙනවා. අපි ඉදිරියට ගොස් අවසානය දක්වා විඳදරාගතහොත්, උන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් සමඟ ස්වර්ග රාජ්‍යයේ ජීවත් වීමට අපට ඉඩ සලසන මාවතකට මෙම ආශිර්වාදයන් අපව ගෙන යනවා. බව්තීස්ම වූ සෑම පුද්ගලයෙකුම ඇය හෝ ඔහු එම විශේෂ දිනයේ ඇති කරගත් ගිවිසුම පිළිපදින්නේ නම්, මෙම වරප්‍රසාද වල පොරොන්දුව හිමිකරගන්නවා.

දේවමාළිගාවේ තවදුරටත් ගිවිසුම් ඇතිකරගන්නා අයට පුද්ගලික ඇදහිලිවන්තකම මත බලගතු පොරොන්දු ලැබෙනවා. දෙවියන්වහන්සේගේ ආඥා වලට කීකරු වීමටත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත් වීමටත්, සදාචාරාත්මකව පවිත්‍ර වීමටත්, එමෙන්ම අපගේ කාලය හා දක්ෂතා ස්වාමින්වහන්සේට කැපකිරීමටත් අපි දැඩි ලෙස පොරොන්දු වෙනවා. ඒ වෙනුවට, දෙවියන්වහන්සේ මේ ජීවිතයේ ආශිර්වාද මෙන්ම නැවත උන්වහන්සේ වෙත යාමට අවස්ථාවද පොරොන්දු වෙනවා.1 එම ක්‍රියාවලියේදී, අපට බෝම්බ හෙලන ව්‍යාකූල සහ නිෂේධාත්මක හඬවල් රාශියක් මධ්‍යයේ වුවත්, සත්‍යය සහ බොරුව අතර, නිවැරදි සහ වැරදි දේ අතර වෙනස හඳුනාගැනීමේ බලය අපට ලබා දී තිබෙනවා, නැතහොත් එම බලයෙන් අපව සරසවා තිබෙනවා. එය මොනතරම් බලවත් තෑග්ගක්ද!

දේවමාළිගාවට යාමට වූ මගේ පළමු ගමනට සූදානම් වෙද්දී, මගේ මව සහ සහන සමිතියේ පළපුරුදු සහෝදරියන්, අලංකාර චාරිත්‍රානුකූල ඇඳුම් ඇතුළු මට අවශ්‍ය දේවල් තෝරාගැනීමට මට උපකාර කළා. නමුත් වඩාත්ම වැදගත් සූදානම පැමිණියේ කුමක් පැළඳිය යුතුද යන්න දැනගැනීමටත් කලින්. මා සුදුස්සෙක්ද යන්න තීරණය කිරීම සඳහා මා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසුව, මා විසින් තැබීමට යන ගිවිසුම් මගේ සභානායකවරයා විසින් මට පැහැදිලි කළා. ඔහුගේ ප්‍රවේශම් පැහැදිලි කිරීම මට ඒ ගිවිසුම් ගැන සිතාබැලීමටත් ඒවා ලබාගැනීමට සූදානම් වීමටත් අවස්ථාව ලබාදුන්නා.

ඒ දවස පැමිණි විට, මම කෘතඥතාවයෙන් හා සාමයෙන් යුතුව සහභාගී වුණා. මම ඇතිකරගත් ගිවිසුම් වල සම්පූර්ණ වැදගත්කම මට නොතේරුණත්, එම ගිවිසුම් තුළින් මම දෙවියන්වහන්සේට බැඳී සිටින බවත්, මම ඒවා රකිනවා නම් මට තේරුම්ගත නොහැකි ආශිර්වාද පොරොන්දු වූ බවත් මම දැනසිටියා. එම පළමු අත්දැකීමේ සිට, දෙවියන්වහන්සේ සමඟ අප කරන ගිවිසුම් පිළිපැදීමෙන්, අපගේ නොවැළැක්විය හැකි පරීක්ෂා වලදී අපව ශක්තිමත් කරන, විරුද්ධවාදියාගේ බලපෑමෙන් ආරක්ෂාව සපයන, සහ සදාකාලික මහිමය සඳහා අපව සූදානම් කරන ගැලවුම්කරුවාණන්ගේ බලය අපට ලබාගැනීමට ඉඩ සලසන බව මට දිගින් දිගටම දැනී තිබෙනවා.

ජීවිතයේ අත්දැකීම් සිනහ උපදවන දේවල් වල සිට හද සසල කරවන දේවල් දක්වාත්, කටුක සිට තේජාන්විත දේවල් දක්වාත් විහිදිය හැකියි. සෑම අත්දැකීමක්ම අපගේ පියාණන්වහන්සේගේ අපව වටකරන ප්‍රේමය සහ ගැලවුම්කරුවාණන්ගේ කරුණාවේ ත්‍යාගය තුළින් වෙනස් වීමට ඇති අපගේ හැකියාව පිළිබඳ වැඩිදුරටත් අවබෝධ කරගන්නට අපට උදව් කරනවා. අපි අත්දැකීම් තුළින් ඉගෙනගන්නා විට—එය සුළු වැරදි විනිශ්චයක් හෝ විශාල අසාර්ථක වීමක් වුවත්—අපගේ ගිවිසුම් පවත්වා ගැනීම තුළින් අපව පවිත්‍ර කිරීමට ගැලවුම්කරුවාණන්ගේ බලයට ඉඩ සලසනවා. අප උන්වහන්සේ වෙතට හැරුනහොත් අප වැටෙන විට අපව අල්ලා ගැනීමට අපගේ ගැලවුම්කරුවාණන් එහි සිටිනවා.

රූපය
ප්‍රපාතයකින් පහළට පැදීම

ඔබ කවදා හෝ උස් ප්‍රපාතයක සිට එහි කෙළවරේ ඇඟිලි තුඩු වලින් සිටගෙන ඔබේ පිටුපසට පහළින් අගාධයට පසුපස හරවාගෙන ඉඳ තිබෙනවාද? රැප්ලිං ක්‍රීඩාවේදී, ඔබව ආරක්ෂිතව ගෙන යා හැකි ශක්තිමත් ලණු සහ උපකරණ පද්ධතියකට ඔබ ආරක්ෂිතව සම්බන්ධ වී සිටියද, එහි කෙළවරේ සිටගෙන සිටීම තවමත් හදගැස්ම වැඩි කරවන දෙයක්. ප්‍රපාතයෙන් පිටුපසට ගොස් සිහින් වාතයේ පැද්දීමට නම්, නිශ්චල වස්තුවකට සුරක්ෂිත කර ඇති නැංගුරමක් කෙරෙහි විශ්වාසය තැබීම අවශ්‍ය වෙනවා. ඔබ බැස යන විට කඹයට ආතතිය යොදන පුද්ගලයා කෙරෙහි විශ්වාසය ඒ සඳහා අවශ්‍යයි. තවද ඔබේ බැසීම පාලනය කිරීමට උපකරණ ඔබට යම් හැකියාවක් ලබාදුන්නද, ඔබේ සහකරු ඔබට වැටීමට ඉඩනොදෙන බවට ඔබට විශ්වාසයක් තිබිය යුතුයි.

රූපය
රැප්ලිං නැංගුරම්
රූපය
ප්‍රපාතයෙන් පහළට බැස එන තරුණියක්

තරුණියන් පිරිසක් සමඟ රැප්ලින් ක්‍රීඩා කළ අයුරු මට හොඳින් මතකයි. කණ්ඩායමේ මුලින්ම ගියේ මම. මම ප්‍රපාතයෙන් පස්සට අඩිය තියද්දීම පාලනයකින් තොරව මාව වැටෙන්න ගත්තා. ස්තූතිවන්ත වෙන්නට, කඹය ගැස්සිලා මගේ වේගවත් බැසීම නතර වුණා. මම බිමට වැටෙද්දී ඒ කඩතොළු ගල් මුහුණතේ එල්ලුණා, පහත පර්වත මතට වැටීමෙන් වළක්වන කවුරුන් හෝ කුමක් හෝ වේවා ඒ වෙනුවෙන් මම දැඩි ලෙස යාච්ඤා කළා.

පසුව, නැංගුරම් බෝල්ට් එක ආරක්ෂිතව සවිකර තිබී නොමැති බව මට දැනගැනීමට හැකි වූ අතර, මම දාරයෙන් බැස ගිය විට, මට කඹය දැමූ පුද්ගලයා ඔහුගේ පිටට බරවී වේගයෙන් කඳු බෑවුම දෙසට ඇදී එය රඳවාගෙන තිබුණා. කෙසේ හෝ ඔහු තම දෙපා ගල් කිහිපයකට විරුද්ධව තබාගෙන තිබුණා. එම ඉරියව්වෙන් ස්ථාවර වූ ඔහු, ලණුවෙන් ටිකින් ටික, ඉතා මහන්සියෙන් මාව පහත් කරන්නට සමත් වුණා. මට ඔහුව නොපෙනුනත්, ඔහු මාව ගලවා ගැනීමට සිය උපරිම ශක්තියෙන් ක්‍රියා කරන බව මම දැන සිටියා. ලණුව අල්ලාගැනීමට තවදුරටත් බැරිවුණොත් මාව අල්ලා ගැනීමට සූදානම්ව තවත් මිතුරෙකු ගල්පර පතුලේ සිටියා. මම ළඟට එද්දී, ඔහු මගේ පටි අල්ලාගෙන මාව බිමට බැස්සුවා.

අපගේ නැංගුරම සහ පරිපූර්ණ සහකරු ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟින්, අභියෝග වලදී ඔහුගේ ප්‍රේමනීය ශක්තිය සහ උන්වහන්සේ තුළින් අවසානයේදී ගැලවීම ගැන අපට සහතිකයක් ලබාදෙනවා. සභාපති එම්. රසල් බැලර්ඩ් ඉගැන්වූ පරිදි: “දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල යනු සමාජ කැලඹීම් සහ දුෂ්ටකම් පවතින කාල වලදී අපව තදින් අල්ලා ගැනීමට අපගේ ජීවිත වල තිබිය යුතු නැංගුරමයි. … අපගේ ඇදහිල්ල කේන්ද්‍රගත විය යුත්තේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, උන්වහන්සේගේ ජීවිතය, සහ උන්වහන්සේගේ වන්දිගෙවීම, සහ උන්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවීම තුළයි.”2

විපත්තියේ පර්වත මත අපව බිඳ දැමීමෙන් වළක්වන අධ්‍යාත්මික උපකරණ වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ අපගේ සාක්ෂිය සහ අප කරන ගිවිසුම්. අපට මගපෙන්වීමට සහ ආරක්ෂාවට ගෙන යාමට මෙම ආධාරක මත විශ්වාසය තැබිය හැකියි. තම කැමැත්තෙන්ම එන අපගේ සහකරු වශයෙන්, ගැලවුම්කරුවාණන් අපට උන්වහන්සේගේ සීමාවෙන් ඔබ්බට වැටීමට ඉඩදෙන්නේ නෑ. අපගේ දුක් වේදනා හා ශෝක කාල වලදී පවා, ඔසවා තැබීමට සහ ධෛර්යමත් කිරීමට උන්වහන්සේ එහි සිටිනවා. උන්වහන්සේගේ බලය අන් අයගේ තේරීම්වල බොහෝ විට විනාශකාරී බලපෑමෙන් ගොඩ ඒමට අපට උපකාර කරනවා. කෙසේවෙතත්, අපි සෑම කෙනෙකුම පටි පැළඳිය යුතු අතර ගැට ආරක්ෂිතව බැඳ ඇති බවට වග බලාගත යුතුයි. ගැලවුම්කරුවාණන් වෙත නැංගුරම් ලෑමට, අපගේ ගිවිසුම් මගින් උන්වහන්සේට බැඳී සිටීමට අපි තෝරාගත යුතුයි.3

අපි එම නැංගුරම ශක්තිමත් කරගන්නේ කොහොමද? අපි නිහතමානී හදවතකින් යාච්ඤා කළ යුතුයි, ශුද්ධලියවිලි අධ්‍යයනය කර මෙනෙහි කළ යුතුයි, පසුතැවිල්ලේ හා ගෞරවයේ ආත්මයකින් යුතුව සක්‍රමේන්තුව ලබාගත යුතුයි, ආඥා පිළිපැදීමට උත්සාහ කළ යුතුයි, සහ අනාගතවක්තෘවරයාගේ උපදෙස් අනුගමනය කළ යුතුයි. “උසස් සහ ශුද්ධ”4 ආකාරයෙන් අපගේ එදිනෙදා කාර්යයන් ඉටුකරන විට, අපි ගැලවුම්කරුවාණන්ට වඩාත් සම්බන්ධ වන අතර, ඒ සමඟම, අන් අයට උන්වහන්සේ වෙතට පැමිණීමට උපකාර කරනවා.

එම “උසස් සහ ශුද්ධ වූ මාර්ගය” කොයි වගේද? අපි අපගේ සියලු සම්බන්ධතා වලදී ශුභාරංචියට අනුව ජීවත් වීමට උත්සාහ කරනවා. අපි ඇත්තටම දේවසේවය කිරීමෙන්, සරල සේවය තුළින් ආදරය ප්‍රකාශ කිරීමෙන් අවශ්‍යතා ඇති අයව රැකබලා ගන්නවා. අපි ශුභාරංචිය පිළිබඳ සුභ පණිවිඩය, සාමය සහ ශක්තිය අවශ්‍ය සහ “එය සොයාගන්නේ කොහෙන්දැයි නොදන්නා”5 අය සමඟ බෙදාගන්නවා. තිරය දෙපස සදාකාලිකව පවුල් එක්සත් කිරීමට අපි කටයුතු කරනවා. ඒවගේම, ස්වාමින්වහන්සේගේ දේවමාළිගාවේ ගිවිසුම් ඇතිකරගත් අය සඳහා, සභාපති රසල් එම්. නෙල්සන් පැහැදිලි කළ පරිදි, “සෑම වැඩිහිටි දේවමාළිගා අනුග්‍රාහකයෙක්ම පූජකත්වයේ පරිශුද්ධ වස්ත්‍රය අඳියි, [එය] … හැමදවසකම උසස් හා ශුද්ධ ආකාරයකින් ගිවිසුම් මාවතේ ගමන් කිරීමට අපට මතක්කර දෙයි.”6 මෙම ක්‍රියා නිකම්ම ඒවා නොවේ නමුත් අපගේ දෛනික සතුටට—සහ සදාකාලික ප්‍රීතියට අත්‍යවශ්‍ය ඒවායි.

අපගේ සදාකාලික ප්‍රගතියට දෙවියන්වහන්සේ සමඟ අපගේ ගිවිසුම් තබාගැනීම තරම් වැදගත් දෙයක් තවත් නෑ. අපගේ දේවමාළිගා ගිවිසුම් ක්‍රියාත්මක වන විට, තිරයේ අනෙක් පැත්තේ සිටින ආදරණීයයන් සමඟ ප්‍රීතිමත් නැවත එක්වීමක් ගැන අපට විශ්වාස කළ හැකියි. මරණයෙන් ඉවත්ව සිටින එම දරුවා හෝ දෙමාපියන් හෝ සහකරු හෝ සහකාරිය ඔහුගේ හෝ ඇයගේ මුළු හදවතින්ම බලාපොරොත්තු වන්නේ ඔබව එකට බැඳ තබන ගිවිසුම් වලට ඔබ සත්‍යවන්ත වනු ඇති බවයි. අපි දෙවියන්වහන්සේ සමඟ තබාගෙන ඇති අපගේ ගිවිසුම් නොසලකා හරිනවා නම් හෝ ඒවා සැහැල්ලුවෙන් සලකන්නේ නම්, අපි එම සදාකාලික බැඳීම් අනතුරේ හෙළනවා. දැන් පසුතැවිලි වීමට, නැවත සකස් කිරීමට, සහ නැවත උත්සාහ කිරීමට කාලයයි.

අපි සදාකාලික ප්‍රීතියේ ආශිර්වාද තාවකාලික පහසුව සඳහා හුවමාරු කරගන්නේ නම් සතුට කියන්නේ හිස් දෙයක්. අපගේ වයස කුමක් වුවත්, එය තමයි පරම සත්‍යය: සදාකාලික සතුට සඳහා යතුර වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුව ජීවත්වීම සහ අපෙගේ ගිවිසුම් පිළිපැදීමයි. අපගේ අනාගතවක්තෘ, සභාපති නෙල්සන් මෙලෙස එය තහවුරු කර තිබෙනවා, “අපගේ අවසාන ආරක්‍ෂාව සහ අපගේ එකම කල්පවත්නා සතුට පවතින්නේ, එහි ගිවිසුම් සහ නියෝග සමඟින් සම්පූර්ණ වූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචියේ යකඩ අත්වැට අල්ලාගෙන සිටීමෙන්. අපි එසේ කරන විට, අපට දෙවියන්වහන්සේගේ බලයට ප්‍රවේශය ඇති බැවින් අපට රළු ජලය හරහා ආරක්ෂිතව ගමන් කළ හැකියි.7

අපගෙන් බොහෝ දෙනෙක් රළු ජලයට මුහුණදෙමින් ඉන්නවා. විපත්තිය යන රළ පහරින් අප වෙලී සිටින විට, දුෂ්කරතා තුළ එන කඳුළු ධාරා නිසා සමහරවිට අන්ධ වී සිටින විට, අපගේ ජීවන ඔරුව පැදීමට අවශ්‍ය කුමන දිශාවට දැයි අපි නොදැන සිටින්න පුළුවන්. අපට වෙරළට යාමට ශක්තියක් ඇතැයි අපි හිතන්නෙවත් නැති වෙන්න පුළුවන්. ඔබ කවුද—එනම් දෙවියන්වහන්සේගේ ආදරණීය දරුවෙකු බවත්—ඔබ මිහිපිට සිටින්නේ ඇයිද කියාත්, සහ දෙවියන්වහන්සේ සහ ඔබේ ආදරණීයයන් සමඟ ජීවත් වීමේ ඔබේ ඉලක්කය මතකතබාගැනීමෙන්, ඔබේ දැක්ම පැහැදිලි කර ඔබව නිවැරදි දිශාවට යොමුකළ හැකියි. කුණාටුව මැද, මාර්ගය පෙන්වීමට දීප්තිමත් ආලෝකයක් තිබෙනවා. “අඳුරේ බබළන ආලෝකය මමය” කියා යේසුස්වහන්සේ ප්‍රකාශ කළා.8 අපි උන්වහන්සේගේ ආලෝකය දෙස බලා අපගේ ගිවිසුම් වල අඛණ්ඩතාවය පවත්වාගන්නා විට අපට ආරක්ෂාව සහතික වෙනවා.

ඔවුන්ගේ ගිවිසුම් රකින විවිධාකාර තත්වයන් යටතේ ජීවත් වන සෑම වයස් කාණ්ඩයකම කාන්තාවන් හමුවීමට ලැබීම වරප්‍රසාදයක්. සෑම දිනකම, ඔවුන් ජනප්‍රිය මාධ්‍ය දෙසට වඩා මගපෙන්වීම සඳහා බලන්නේ, ස්වාමින්වහන්සේ සහ උන්වහන්සේගේ අනාගතවක්තෘවරයා දෙසයි. ඔවුන්ගේ පුද්ගලික අභියෝග සහ ඔවුන්ගේ ගිවිසුම් තබාගැනීමෙන් ඔවුන්ව වළක්වා ගැනීමට උත්සාහ කරන ලෝකයේ හානිකර දර්ශන නොතකා, ගිවිසුම් මාවතේ රැඳී සිටීමට අධිෂ්ඨාන කරගෙන සිටිනවා. ඔවුන් රඳා පවතින්නේ “[පියාණන්වහන්සේ] සතු සියල්ල”9 යන පොරොන්දුව මතයි. එමෙන්ම ඔබගේ වයස කුමක් වුවත්, දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇතිකරගත් ඔබට, සෑම ස්ත්‍රියකටම, ස්වාමින්වහන්සේගේ ආලෝකය අල්ලාගෙන අන් අයව උන්වහන්සේ වෙතට ගෙනයාමට හැකියාව තිබෙනවා.10 ඔබගේ ගිවිසුම් තබාගැනීම තුළින්, උන්වහන්සේ තම පූජකවර බලයෙන් ඔබට ආශිර්වාද කරන අතර ඔබ සම්බන්ධතා පවත්වන සියල්ලන් කෙරෙහිම ප්‍රබල බලපෑමක් ඇතිකිරීමට ඔබට හැකියාව ලබාදෙනවා. සභාපති නෙල්සන් ප්‍රකාශ කළ පරිදි, පුරෝකථනය කර ඇති අනාවැකි ඉටුකරන කාන්තාවන් ඔබයි!11

ආදරණීය සහෝදරියනි, අන් සියල්ලටම වඩා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට යන ගිවිසුම් මාවතේ රැඳී සිටින්න! ලොව පුරා දේවමාළිගා තිබෙන යුගයක පොළොවට පැමිණීමට අපට ආශිර්වාදිත වී තිබෙනවා. දේවමාළිගාවේ ගිවිසුම් ඇතිකරගැනීම සහ තබාගැනීම සභාවේ සුදුසු සෑම සාමාජිකයෙකුටම ලබාගත හැකියි. තරුණ වැඩිහිටියනි, ඔබ එම පූජනීය ගිවිසුම් ඇතිකරගැනීමට විවාහ වනතුරු හෝ ධර්මදූත සේවයක් කරනතුරු හෝ බලාසිටිය යුතු නෑ. ඔබට තරුණ කාන්තාවක් ලෙස සූදානම් විය හැකි අතර, එවිට ඔබට වයස අවුරුදු 18 ඉක්මවූ වහාම, එම දේවමාළිගා ගිවිසුම් වලට ගෞරව කිරීමට ඔබ සූදානම් බැවින් සහ ඔබට ඒ සඳහා අභිප්‍රායක් ඇති නිසා, එම දේවමාළිගා ගිවිසුම් වලින් ලබාදෙන ආරක්ෂාව සහ ශක්තිය ඔබට ලබාගත හැකියි.12 දැනටමත් දේවමාළිගාවේ ආශිර්වාද ලබා ඇති ඔබ, සදාකාලික සත්‍යයන්ගෙන් ඔබව ඈත් කිරීමට අපහාස කරන්නන්ට හෝ අවධානය වෙනතකට යොමුකරන දේවල් වලට ඉඩදෙන්න එපා. ඔබ විසින් ඇතිකරගත් ගිවිසුම් වල පරිශුද්ධ වැදගත්කම පිළිබඳ වැඩි අවබෝධයක් සඳහා විශ්වාසදායක මූලාශ්‍ර අධ්‍යයනය කර විමසන්න. ඔබට හැකි සෑමවිටම දේවමාළිගාවට ගොස් ආත්මයාණන්ට සවන්දෙන්න. ඔබ ස්වාමින්වහන්සේගේ මාර්ගයේ සිටින බවට මිහිරි සහතිකයක් ඔබට දැනෙයි. ඉදිරියට යාමට මෙන්ම අන් අයව ඔබ සමඟ ගෙන ඒමට ඔබට ධෛර්යය ලැබෙයි.

අපි ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ ගිවිසුම් ඇතිකරගැනීමට සහ ඒවා තබාගැනීමට ගැලවුම්කරුවාණන්ගේ බලයට ප්‍රවේශ වීමට තෝරාගන්නා විට, අපට දැන් සිතාගත නොහැකි තරම් වැඩි සතුටක් සමඟ මේ ලෝකයේදීත් එමෙන්ම මතු පැමිණෙන තේජාන්විත සදාකාලික ජීවිතයක් සමඟත් අපිට ආශිර්වාද ලැබෙන බවට මම සාක්ෂි දරනවා.13 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.