ප්‍රධාන සම්මන්ත්‍රණය
හදවතේ බලවත් වෙනසක්: “මට ඔබට දීමට තවත් කිසිවක් නැත”
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


හදවතේ බලවත් වෙනසක්:

“මට ඔබට දීමට තවත් කිසිවක් නැත”

මෙම හදවත වෙනස් වීම සිදුවීමක් නොවේ; එය සිදුවීමට ඇදහිල්ල, පසුතැවීම, සහ නිරන්තර අධ්‍යාත්මික කාර්යයන් අවශ්‍ය වෙනවා.

හැඳින්වීම

1588 ඔක්තෝම්බර් 28 වැනි සිකුරාදා, හබල් වලින් පමණක් පාලනය වීමට සලස්වමින් සුක්කානම අහිමි වූ, මහා ස්පාඤ්ඤ ආමඩාවට අයත් ලා ගිරෝනා නෞකාව උතුරු අයර්ලන්තයේ ලැකාඩා තුඩුවේ පාෂාණ සමඟ ගැටුණා.1

නැව පෙරළුණා. දිවි ගලවා ගැනීමට පොරබදමින් සිටි එක් අයෙකුට, ඔහුගේ බිරිඳ විසින් “මට ඔබට දීමට තවත් කිසිවක් නැත”2 යන වැකිය සමඟින් මාස කිහිපයකට පෙර ඔහුට ලබාදුන් රන් මුදුවක් ඔහු පැළඳ සිටියා.

“මට ඔබට දීමට තවත් කිසිවක් නැත” යන වාක්‍ය ඛණ්ඩයක් සහ හදවතක් අල්ලාගෙන සිටින අතක මෝස්තරයක් සහිත මුද්දක්, බිරිඳක් තම ස්වාමිපුරුෂයාට ලබාදුන් ආදරය ප්‍රකාශ කිරීමක්.

ශුද්ධලියවිලි සම්බන්ධ කිරීම

මම මේ කතාව කියවන විට, එය මා තුළ ගැඹුරු හැඟීමක් ඇති කළා, ඒවගේම ගැලවුම්කරුවාණන් විසින් කරන ලද මේ ඉල්ලීම ගැන මම හිතුවා: “තවද නුඹලා මා හට බිඳුණු හදවතක්ද, පසුතැවුණු ආත්මයකද පූජාවක් ලෙස ඔප්පු කළ යුතු වන්නෝය.”3

බෙන්ජමින් රජුගේ වචන වලට ජනතාවගේ ප්‍රතිචාරය ගැනත් මම කල්පනා කළා: “එසේය, ඔබ අපට කතා කළ සියලු වචන අපි විශ්වාස කරමු … , එය අප තුළ හෝ අපගේ හදවත් තුළ බලවත් වෙනස්කමක් ගෙන ආවේය, එනම් නොනවත්වා යහපත් දේ කරන්නට මිස එහෙත් දුෂ්ඨ දේ කිරීමට ආශාවක් තවත් නැත.”4

පුද්ගලික සම්බන්ධතාවය

මට වයස අවුරුදු 12 දී මට ලැබුණු අත්දැකීමක් ඔබ සමඟ බෙදාගන්නම්, එහි බලපෑම අද දක්වාම පවතිනවා.

මගේ අම්මා කිව්වා, “එඩ්වාර්ඩෝ, ඉක්මන් කරන්න. අපි පල්ලියේ රැස්වීම් වලට පරක්කුයි.”

“අම්මේ, මම අද තාත්තා ළඟ ඉන්න යනවා” මම පිළිතුරු දුන්නා.

“ඇත්තටමද? ඔයාට ඔයාගේ පූජක ගණපූරණ රැස්වීමට සහභාගී වෙන්න තියෙනවා,” ඇය කිව්වා.

මම මෙහෙම පිළිතුරු දුන්නා, “තාත්තා පව්! එයාට තනියම ඉන්නයි වෙන්නේ. මම අද ඔහු සමඟ නවතින්න යනවා.”

තාත්තා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයෙක් නෙවේ.

මගේ අම්මයි නංගියි ඉරිදා රැස්වීම් වලට ගියා. ඉතින්, තාත්තාව හමුවෙන්න ඔහු ඉරිදාට යාමට කැමති තැනක් වූ ඔහුගේ වැඩපළට මම ගියා, මම මගේ මවට පැවසූ පරිදි, මම ඔහු සමඟ ටිකක්, එනම් විනාඩි කිහිපයක් ගතකළා, පසුව මම ඇහුවා, “තාත්තේ, හැමදේම හොඳින්ද?”

ඔහු ඔහුගේ විනෝදාංශය වුණු ගුවන් විදුලි යන්ත්‍ර සහ ඔරලෝසු අලුත්වැඩියා කිරීම කරගෙන ගිය අතර ඔහු මා දෙස බලා සිනාසුණා.

ඊට පස්සේ මම එයාට කිව්වා “මම මගේ යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න යනවා” කියලා.

තාත්තා ඔළුව උස්සලා බලන්නෙවත් නැතුව මට කිව්වා, “අද ඉරිදා. ඔයා පල්ලියට යන්න ඕන නැද්ද?”

“ඔව්, ඒත් අද මම අම්මට කිව්වා මම යන්නෙ නෑ කියලා,” මම පිළිතුරු දුන්නා. තාත්තා එයාගේ වැඩකටයුතු කරගෙන ගියා, මට ඒක තමයි යන්න අවසරය.

එදින උදෑසන වැදගත් පාපන්දු ක්‍රීඩාවක් පැවති අතර, මට එය මගහැරිය නොහැකි බවත්, එම ක්‍රීඩාව අපි ජයගත යුතු බවත් මගේ මිතුරන් මට කියා තිබුණා.

මගේ අභියෝගය වුණේ පාපන්දු පිටියට යාමට සභාව ඉදිරිපිටින් යාමට සිදුවීමයි.

අධිෂ්ඨාන කරගත් මම පාපන්දු පිටිය දෙසට දුවගොස් මහා බාධාව වන සභාව ඉදිරිපිට නතර වුණා. මම විශාල ගස් කිහිපයක් තිබූ විරුද්ධ පැත්තේ පදික වේදිකාවට දිව ගිය අතර, සාමාජිකයින් රැස්වීම් වලට පැමිණෙන වේලාව නිසා කිසිවෙකුට මා නොපෙනෙන ලෙස මම ඒවා අතරින් දිව යාමට තීරණය කළා.

මම තරඟය ආරම්භ කරන වෙලාවටම ආවා. අම්මා ගෙදර එන්න කලින් මට සෙල්ලම් කරලා ගෙදර යන්න පුළුවන් වුණා.

සෑම දෙයක්ම හොඳින් සිදුවී තිබුණා; අපේ කණ්ඩායම දිනුවා, ඉතින් මම හිටියේ සතුටින්. නමුත් පිට්ටනියට යාමට හොඳින් ක්‍රියාත්මක වූ එම දිවීම උපස්ථායකයන්ගේ ගණපූරණ උපදේශකවරයාගේ අවධානයට ලක්නොවී තිබිලා නෑ.

මාව පේන්නේ නැතිවෙන විදිහට, මම ඉක්මනින්ම ගහෙන් ගහට දුවන හැටි ෆීලික්ස් එස්පිනෝසා සහෝදරයා දැකලා තිබුණා.

සතිය මුලදී, එස්පිනෝසා සහෝදරයා මගේ ගෙදරට ඇවිත් මාත් එක්ක කතා කරන්න අවශ්‍යයි කිව්වා. ඔහු ඉරිදා දුටු දේ ගැන කිසිවක් කීවේ නෑ, ඒවගේම මට මගේ රැස්වීම මගහැරුණේ මන්දැයි ඔහු මගෙන් ඇසුවේ නෑ.

ඔහු මට අත්පොතක් දීලා කිව්වා, “මම කැමතියි ඔයා ඉරිදා පූජක පන්තියට උගන්වනවනම්. මම ඔබ වෙනුවෙන් ඒ පාඩම සලකුණු කරලා තියෙනවා. ඒක එතරම් අපහසු නෑ. ඔබ එය කියවන්න, පාඩම සඳහා සූදානම් වීමට ඔබට උදව් කිරීමට මම දින දෙකකින් එන්නම්.” මෙසේ කියා ඔහු මට අත්පොත දී ගියා.

මට පන්තියට ඉගැන්වීමට අවශ්‍ය වුණේ නෑ, නමුත් ඔහුට බෑ යැයි කීමට මට පුළුවන් වුනෙත් නෑ. මම එදා ආයෙත් මගේ තාත්තා එක්ක නවතින්න සැලසුම් කරලා තිබුණේ, ඒ කියන්නේ, තවත් වැදගත් පාපන්දු ක්‍රීඩාවක් කරන්න තිබ්බා.

සහෝදර එස්පිනෝසා කියන්නේ යෞවනයන් විසින් අගය කළ පුද්ගලයෙක්.5 ඔහු නැවත පිහිටුවන ලද ශුභාරංචිය සොයාගෙන ඔහුගේ ජීවිතය හෝ වෙනත් වචන වලින් කිවහොත් ඔහුගේ හදවත වෙනස් කරගෙන තිබුණා.

සෙනසුරාදා දහවල් පැමිණි විට, මම මෙහෙම හිතුවා, “හොඳයි, සමහරවිට හෙට මම අසනීපයෙන් අවදි වෙනවා, එතකොට මට පල්ලියට යාමට වෙන්නේ නෑ.” මාව තවදුරටත් කනස්සල්ලට පත්කළේ ඒ පාපන්දු ක්‍රීඩාව නොවේ; ඒ මට ඉගැන්වීමට තිබූ පන්තිය, විශේෂයෙන්ම ඒක සබත් දවස ගැන පාඩමක්.

ඉරිදා ආවා, මම වෙන කවරදාටත් වඩා නිරෝගීව අවදි වුණා. මට කිසිම සමාවක් නෑ—ගැලවීමක් නෑ.

මම පාඩමක් උගන්වන පළමු අවස්ථාව එයයි, නමුත් එස්පිනෝසා සහෝදරයා මගේ පැත්තෙන් සිටියා, එය මගේ හදවතේ බලවත් වෙනසක් සිදුවූ දවස බවට පත්වුණා.

ඒ මොහොතේ සිට, මම සබත් දිනය ශුද්ධව තබාගැනීමට පටන් ගත්තා, කාලයත් සමඟ, සභාපති රසල් එම්. නෙල්සන්ගේ වචන වලින් කියනවනම්, සබත් දිනය ප්‍රීතිමත් එකක් වුණා.6

“ස්වාමිනි, මම ඔබට සියල්ල දෙමි; මට ඔබට දීමට වෙන කිසිවක් නැත.”

ලබාගැනීම

එම හදවතේ බලවත් වෙනස අපි ලබාගන්නේ කොහොමද? එය ආරම්භ වී අවසානයේ සිදුවෙන්නේ මෙහෙමයි;

  1. අපට වෙනස් වීමට ආශාවක් නිර්මාණය කරන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ශක්තිමත් කරන, දැනුම ලබාගැනීම සඳහා අපි ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට.7

  2. යාච්ඤාවෙන් සහ උපවාසයෙන් අපි ඒ ආශාව වර්ධනය කරගන්නා විට.8

  3. අධ්‍යයනය කළ හෝ ලැබුණු වචනයට අනුව, අප ක්‍රියාකරන විට, සහ බෙන්ජමින් රජුගේ සෙනඟ සමඟ මෙන් අපගේ හදවත් උන්වහන්සේට භාරදීමට අපි ගිවිසුමක් ඇතිකරගන්නා විට.9

පිළිගැනීම සහ ගිවිසුම

අපගේ හදවත වෙනස් වන බව අපි දැනගන්නේ කොහොමද?10

  1. සෑම දෙයකදීම දෙවියන්වහන්සේව සතුටු කිරීමට අපට අවශ්‍ය වූ විට.11

  2. අපි අන් අයට ආදරයෙන්, ගෞරවයෙන්, සහ සැලකිල්ලෙන් සලකන විට.12

  3. ක්‍රිස්තුස්වහන්සේගේ ගුණාංග අපගේ චරිතයේ කොටසක් බවට පත්වන බව අප දකින විට.13

  4. ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීම අපට නිරන්තරයෙන් දැනෙන විට.14

  5. අපට කීකරු වීමට අපහසු වූ ආඥාවක් අපි තබාගෙන ඒ අනුව දිගටම ජීවත් වන විට.15

අපි අපේ නායකයන්ගේ උපදෙස් වලට හොඳින් ඇහුම්කන් දී එය අනුගමනය කිරීමට සතුටු සිතින් තීරණය කරන විට, අපි හදවතේ බලවත් වෙනසක් අත්විඳ නොමැතිද?

“ස්වාමිනි, මම ඔබට සියල්ල දෙමි; මට ඔබට දීමට වෙන කිසිවක් නැත.”

නඩත්තු කිරීම සහ ප්‍රතිලාභ

හදවතේ එම බලවත් වෙනස අපි නඩත්තු කරන්නේ කොහොමද?

  1. ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප වෙත ගෙන, නිතරම උන්වහන්සේව සිහිකරන්නටත්, උන්වහන්සේගේ ආඥා පිළිපදින්නටත් එම ගිවිසුම අලුත් කරමින්, අපි සතිපතා සක්‍රමේන්තුවට සහභාගි වන විට.16

  2. අපි අපේ ජීවිතය දේවමාළිගාව දෙසට හරවන විට.17 නිතිපතා දේවමාළිගාවට පැමිණීමෙන්, අපි එම නියෝග වලට සහභාගී වන විට නව සහ අලුත් හදවතක් පවත්වා ගැනීමට අපට උපකාරී වෙනවා.

  3. දේවසේවයේ ක්‍රියාකාරකම් සහ ධර්මදූත වැඩ කිරීමෙන් අපි අපගේ අසල්වැසියන්ට ආදරය කරන විට සහ සේවය කරන විට.18

එවිට අපගේ මහත් ප්‍රීතිය සඳහා, එම අභ්‍යන්තර වෙනස ශක්තිමත් වන අතර එය යහපත් ක්‍රියා වලින් බහුල වන තුරු පැතිර යනවා.19

හදවතේ මෙම බලවත් වෙනස අපට නිදහස, විශ්වාසය, සහ සාමය පිළිබඳ හැඟීමක් ගෙන එනවා.20

මෙම හදවත වෙනස් වීම සිදුවීමක් නොවේ; එය සිදුවීමට ඇදහිල්ල, පසුතැවීම, සහ නිරන්තර අධ්‍යාත්මික කාර්යයන් අවශ්‍ය වෙනවා. එය ආරම්භ වන්නේ අපගේ කැමැත්ත ස්වාමින්වහන්සේට යටත් කිරීමට අප කැමති වූ විට වන අතර, එය ක්‍රියාත්මක වන්නේ අප උන්වහන්සේ සමඟ ගිවිසුම් වලට ඇතුළු වී ඒවා තබාගන්නා විටයි.

එම පුද්ගලික ක්‍රියාව අපට මෙන්ම අප අවට සිටින පුද්ගලයන්ටද ධනාත්මක බලපෑමක් ඇතිකරනවා.

සභාපති රසල් එම්. නෙල්සන්ගේ වචන වලින් කියනවා නම්, “අපි සියලුදෙනාම යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට සහ උන්වහන්සේගේ ඉගැන්වීම් වලට අවනත වීමට තෝරා ගත්තොත්, ලෝකය පුරා ඇති විනාශකාරී ගැටුම්—සහ අපගේ පෞද්ගලික ජීවිත වල ඇති ගැටුම්—කොයිතරම් වේගයෙන් විසඳෙයිද කියා සිතන්න.”21 ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් අනුගමනය කිරීමේ මෙම ක්‍රියාව හදවතේ බලවත් වෙනසක් ඇතිකරනවා.

ආදරණීය සහෝදර සහෝදරියනි, යෞවනයෙනි, දරුවනි, මෙම සති අන්තයේ අපි මෙම සම්මන්ත්‍රණයට සහභාගී වන විට, ප්‍රබල වෙනසක් අත්විඳීමට ස්වාමින්වහන්සේගෙන් පැමිණෙන අපගේ අනාගතවක්තෘවරුන්ගේ වචන අපගේ හදවත් තුළට ඇතුළු වේවා.

තවමත් ස්වාමින්වහන්සේගේ නැවත පිහිටවූ සභාවට සම්බන්ධ නොවූ අය සඳහා, දෙවියන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන දේ දැනගැනීමට සහ එම අභ්‍යන්තර පරිවර්තනය අත්විඳීමට අවංක ආශාවකින් ධර්මදූතයින්ට සවන්දෙන ලෙස මම ඔබට ආරාධනා කරනවා.22

ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට තීරණය කළ යුතු දිනය අදයි. “ස්වාමිනි, මම ඔබට මගේ හදවත දෙමි; මට ඔබට දීමට වෙන කිසිවක් නැත.”

එම නැව් අනතුරෙන් මුද්ද ගොඩගත් ආකාරයටම, අපි අපේ හදවත් දෙවියන්වහන්සේට දුන් විට, අපිව මේ ජීවිතයේ ඝෝෂාකාරී මුහුදෙන් බේරාගනු ලබන අතර, එම ක්‍රියාවලියේදී, අපි ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් පිරිපහදු වී පවිත්‍ර වී ආධ්‍යාත්මිකව “උන්වහන්සේගෙන් ඉපදී,”23 “ක්‍රිස්තුස්වහන්සේගේ දරුවන්” බවට පත්වෙනවා. මේ ගැන මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.