ප්‍රධාන සම්මන්ත්‍රණය
දෙවියන්වහන්සේගේ ගාලට එන්න
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


දෙවියන්වහන්සේගේ ගාලට එන්න

දෙවියන්වහන්සේගේ ගාල තුළ, අපි යහපත් එඬේරාගේ සුපරීක්ෂාකාරී, පෝෂණයේ රැකවරණය අත්විඳින අතර උන්වහන්සේගේ මිදීමේ ආදරය විඳීමට ආශිර්වාද ලබනවා.

තරුණ දෙමව්පියන් ලෙස, සමාද් සහෝදරයා සහ එම සහෝදරිය ඉන්දුනීසියාවේ සෙමරන්ග් හි පිහිටි ඔවුන්ගේ කාමර දෙකකින් වූ සරල නිවසෙහි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ඉගෙනගත්තා.1 කුඩා මේසයක් වටා ඉඳගෙන, ආලෝකයට වඩා මදුරුවන් සපයන බව පෙනෙන්නට තිබූ අඳුරු ආලෝකයක් සමඟ, තරුණ ධර්මදූතයින් දෙදෙනෙක් ඔවුන්ට සදාකාලික සත්‍යයන් ඉගැන්වූවා. අවංක යාච්ඤාව සහ ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීම තුළින්, ඔවුන් ඒ ඉගැන්වූ දේ විශ්වාස කළා, බව්තීස්ම වුණා, ඒවගේම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන් බවටත් පත්වුණා. එම තීරණය සහ එතැන් සිට ඔවුන්ගේ ජීවන රටාව නිසා, සමාද් සහෝදරයාට සහ එම සහෝදරියට සහ ඔවුන්ගේ පවුලේ අයට ඔවුන්ගේ ජීවිතයේ සෑම අංශයකම ආශිර්වාද ලැබී තිබෙනවා.2

ඔවුන් ඉන්දුනීසියාවේ මුල් පුරෝගාමී ශුද්ධවන්තයන් අතර ඉන්නවා. පසුව ඔවුන්ට දේවමාළිගාවේ නියෝග ලැබුණු අතර, සමාද් සහෝදරයා ශාඛාවේ සභාපති ලෙසත්, පසුව දිස්ත්‍රික්ක සභාපති ලෙසත් සේවය කරමින්, මධ්‍යම ජාවා පුරා තම වගකීම් ඉටුකළා. පසුගිය දශකය පුරාම, ඔහු ඉන්දුනීසියාවේ සුරකර්තා ස්ටේකයේ පළමු ආදිපීතෘ ලෙස සේවය කර තිබෙනවා.

රූපය
වැඩිහිටි ෆන්ක්, සමාද් සහෝදරිය සහ සහෝදරයා සමඟ

වසර 49කට පෙර එම නිහතමානී, ඇදහිල්ලෙන් පිරුණු නිවසේ සිටි ධර්මදූතවරුන්ගෙන් එක් අයෙකු ලෙස, මොර්මොන්ගේ පොතේ බෙන්යමින් රජු ඉගැන්වූ දේ මම ඔවුන් තුළ දැක තිබෙනවා: “දෙවියන්වහන්සේගේ ආඥාවන් පවත්වන්නන්ගේ ආශිර්වාදමත් සහ ප්‍රීතිමත් ස්වභාවය නුඹලා සලකනවාට මම කැමැත්තෙමි. මක්නිසාද බලන්න, ලෞකික සහ ආත්මික දෙකෙහිම වන, සියලු දෙයෙහිම ඔවුහු අශිර්වාද ලද්දෝය.”3 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය සහ ඉගැන්වීම් අනුගමනය කරන, උන්වහන්සේගේ ගෝලයන් අතර ගණන් ගැනීමට තෝරාගන්නා අයගේ ජීවිත වලට ගලා එන ආශිර්වාද බොහෝයි, ප්‍රීතිමත් එමෙන්ම සදාකාලිකයි.4

දෙවියන්වහන්සේගේ ගාල

මොර්මොන් ජලයේ රැස්ව සිටි අයට ඇල්මාගේ බව්තීස්ම ගිවිසුමේ ආරාධනය මෙම වාක්‍ය ඛණ්ඩය සමඟ ආරම්භ වෙනවා: “දැන්, නුඹලා දෙවියන්වහන්සේගේ ගාල තුළට පැමිණීමට ආශාවන්නෙහුය.”5

රූපය
Flock of sheep in the country side standing next to a rock fence.

රැළක්, හෝ බැටළු ගාලක්, කියන්නේ රාත්‍රියේදී බැටළුවන් ආරක්ෂා කරන, බොහෝ විට ගල් බිත්ති වලින් ඉදිකරන ලද විශාල වැටක්. එහි තිබෙන්නේ එක් විවරයක් පමණයි. දවස අවසානයේදී, එඬේරා බැටළුවන්ට කතා කරනවා. උන් ඔහුගේ හඬ හඳුනනවා, ඊටපස්සේ ඒ ගේට්ටුවෙන් ඔවුන් එම ගාලේ ආරක්ෂාවට ඇතුල් වෙනවා.

එඬේරුන් ගාලේ පටු විවරයේ සිටගෙන සිටින බවත්, බැටළුවන් ඇතුළු වූ විට, ඔවුන් ගණන් කර6 ඔවුන්ගේ තුවාල සහ රෝග එකින් එක සටහන් කර රැකබලාගන්නා බවත් ඇල්මාගේ ජනයා දැන සිටින්නට ඇති. බැටළුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම රඳාපවතින්නේ ඔවුන් ගාලට පැමිණීමට සහ ගාලේ සිටීමට ඇති කැමැත්ත මතයි.

තමන් රැළේ අද්දර සිටින බව හැඟෙන සමහරුන් අප අතර ඉන්න පුළුවන්, සමහරවිට තමන්ට අනවශ්‍ය හෝ වටිනාකම අඩු යැයි හෝ තමන් ගාලට අයත් නොවන බව ඔවුන් සිතනවා. ඒවගේම, බැටළු ගාලේ මෙන්, දෙවියන්වහන්සේගේ ගාල තුළ අපි සමහරවිට එකිනෙකාගේ ඇඟිලි මත පාගගෙන යන නිසා පසුතැවිලි වීම හෝ සමාව දීම අවශ්‍ය වෙනවා

නමුත් යහපත් එඬේරා7—අපේ සැබෑ එඬේරා—හැමවිටම යහපත්. දෙවියන්වහන්සේගේ ගාල තුළ, අපි උන්වහන්සේගේ සුපරීක්ෂාකාරී, පෝෂණයේ රැකවරණය අත්විඳින අතර උන්වහන්සේගේ මිදීමේ ආදරය විඳීමට ආශිර්වාද ලබනවා. උන්වහන්සේ මෙහෙම කිව්වා, “බලන්න, මම මාගේ අත්ල වල නුඹ කොටාගතිමි; නුඹේ පවුරු මා ඉදිරියේ නිතරම තිබේ.”8 අපගේ ගැලවුම්කරුවාණන් අපගේ පාප, වේදනා, පීඩා,9 සහ ජීවිතයේ අසාධාරණ සියල්ල උන්වහන්සේගේ අත්ල මත කොටාගෙන තිබෙනවා.10 ඔවුන් “පැමිණීමට කැමැත්තෙන් සිටින”11 බැවින් සහ රැල්ලේ සිටීමට තෝරාගන්නා බැවින්, මෙම ආශිර්වාද ලබාගැනීමට සියලුදෙනාවම සාදරයෙන් පිළිගන්නවා. තෝරාගැනීමේ නිදහස කියන්නේ තෝරාගැනීමට තියන අයිතිය පමණක් නොවේ, ඒ නිවැරදිව තෝරාගැනීමට ඇති අවස්ථාවයි. ඒවගේම එම ගාලේ බිත්ති බාධාවක් නොවේ නමුත් ඒක අධ්‍යාත්මික ආරක්ෂාවේ මූලාශ්‍රයක්.

එහි “එක රැළක් සහ එක එඬේරෙක්” සිටින බව යේසුස්වහන්සේ ඉගැන්නුවා.12 උන්වහන්සේ මෙහෙම කිව්වා:

“නුමුත් දොරකඩින් ඇතුල්වෙන්නා බැටළුවන්ගේ එඬේරාය. …

“බැටළුවෝ ඔහුගේ හඬ අසති … ,

“… බැටළුවෝද ඔහුගේ හඬ අඳුනන බැවින් ඔහු පස්සේ යති.”13

එවිට දෙවියන්වහන්සේගේ ගාලට ඇත්තේ එක මාර්ගයක් පමණක් බවත් ගැලවීමට ඇත්තේ එකම මාර්ගයක් බවත් පැහැදිලිව උගන්වමින්, යේසුස්වහන්සේ මෙහෙම කිව්වා “දොරකඩ නම් මමය: යමෙක් මා කරණකොටගෙන ඇතුල්වේද, ඔහු ආරක්ෂා කරනු ලබන්නේය.”14 ඒ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මගින් සහ උන්වහන්සේ තුළින්.15

දෙවියන්වහන්සේගේ ගාල තුළ සිටින අයට ආශිර්වාද පැමිණෙනවා

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් විසින් ඉගැන්වූ දහම වන, දෙවියන්වහන්සේගේ වචනය තුළින් අපි මෙම ගාලට එන ආකාරය ඉගෙනගන්නවා.16 අපි ක්‍රිස්තුස්වහන්සේගේ දහම අනුගමනය කර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල, පසුතැවීම, බව්තීස්මය, සහ ස්ථිර කිරීම, සහ අඛණ්ඩ ඇදහිලිවන්තභාවය17 තුළින් එම ගාලට පැමිණි විට ලැබෙන, නිශ්චිත, පුද්ගලික ආශිර්වාද හතරක් ඇල්මා පොරොන්දු වුණා. ඔබට (1) “දෙවියන්වහන්සේගෙන් මිදීම ලැබෙයි” (2) “පළමු නැවත නැගිටීමේ අය සමඟ ගණන් ගනු ලැබෙයි” (3) “සදාකාල ජීවනය ලබාගනියි” සහ (4) ස්වාමින්වහන්සේ විසින් “උන්වහන්සේගේ ආත්මය වඩාත් බහුල ලෙස වගුරුවනු ලැබෙයි.”18

ඇල්මා මෙම ආශිර්වාද ගැන ඉගැන්වූ පසු, එම ජනතාව ප්‍රීතියෙන් අත්පුඩි ගැසුවා. එයට හේතුව තමයි:

පළමුව: මිදීම ලැබීම යන්නෙන් අදහස් වන්නේ ණයක් හෝ වගකීමක් ගෙවීම හෝ දුක් කරදර වලින් හෝ හානි වලින් නිදහස් වීමයි.19 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමකින් තොරව අප විසින් සිදුකරන ලද පව් වලින් හෝ අප විඳි තුවාල වලින් සම්පූර්ණයෙන් අපව පවිත්‍ර කිරීමට අපගේ පැත්තෙන් කුමන පෞද්ගලික දියුණුවකටවත් නොහැකියි. උන්වහන්සේ අපේ මිදුම්කරුවාණන්.20

දෙවනුව: ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම නිසා, සියල්ලන්වම මරණයෙන් නැවත නැගිටුවනු ලැබෙයි.21 අපගේ ආත්මයන් අපගේ ලෞකික ශරීර වලින් නික්ම ගිය පසු, නැවත නැගිටුවන ලද ශරීරයක් සමඟ අප ආදරය කරන අයව වැලඳගැනීමට අපට හැකිවන තෙක් අපි නිසැකවම බලා ඉඳියි. පළමු නැවත නැගිටීමේ අය අතරට පැමිණීමට අපි ඉතා උනන්දුවෙන් බලා සිටියි.

තෙවනුව: සදාකාල ජීවනය යන්නෙන් අදහස් කරන්නේ දෙවියන්වහන්සේ සමඟ සහ උන්වහන්සේ ජීවත් වන ආකාරයට ජීවත් වීමයි. එය “දෙවියන්වහන්සේගේ සියලු දීමනා වලින් උතුම්ම”22 වන අතර එය පූර්ණ ප්‍රීතියක් ගෙන එයි.23 එය තමයි අපේ ජීවිතයේ අවසාන අරමුණ සහ පරමාර්ථය.

සිව්වනුව: දේවත්වයේ සාමාජිකයෙකු වන ශුද්ධාත්මයාණන්ගේ මිත්‍රත්වය මෙම ලෞකික ජීවිතය තුළ අවශ්‍ය බොහෝ මගපෙන්වීම් සහ සැනසීම සපයනවා.24

සතුට අහිමි වීමට හේතු කිහිපයක් සලකා බලන්න: පාපයෙන් පැමිණෙන දුක්ඛිතභාවය,25 ආදරය කරන කෙනෙකුගේ මරණයෙන් ලැබෙන දුක සහ තනිකම, සහ අප මියගිය විට කුමක් සිදුවේදැයි යන අවිනිශ්චිතතාවයෙන් ඇතිවන බිය. නමුත් අපි දෙවියන්වහන්සේගේ ගාලට ඇතුළු වී උන්වහන්සේ සමඟ අපගේ ගිවිසුම් රකින විට, ක්‍රිස්තුස්වහන්සේ අපගේ පාපයෙන් අපව මුදවා ගන්නා බවත්, අපගේ ශරීරය හා ආත්මය වෙන්වීම ඉක්මනින් අවසන් වන බවත්, අප සදාකාලිකව දෙවියන්වහන්සේ සමඟ ඉතා මහිමාන්විත ආකාරයකින් ජීවත් වන බවත් දැනසිටීමේ සහ විශ්වාස කිරීමේ සාමය අපට දැනෙනවා.

ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා ඇදහිල්ලෙන් ක්‍රියාකරන්න

සහෝදර සහෝදරියනි, ශුද්ධලියවිලි ගැලවුම්කරුවාණන්ගේ මහිමාන්විත බලයෙන් සහ උන්වහන්සේගේ දයානුකම්පිත දයාවේ සහ කරුණාවේ උදාහරණ වලින් පිරී තිබෙනවා. උන්වහන්සේගේ ලෞකික දේවසේවයේදී, උන්වහන්සේව විශ්වාස කර ඇදහිල්ලෙන් ක්‍රියාකළ අයට උන්වහන්සේගේ සුවකිරීමේ ආශිර්වාද පැමිණියා. උදාහරණයක් ලෙස, “නැගිට නුඹේ යහන රැගෙන පලයන්නැයි” යන ගැලවුම්කරුවාණන්ගේ ආඥාව ඇදහිල්ලෙන් යුතුව අනුගමනය කළ විට බෙතෙස්දා පොකුණ අසල සිටි දුර්වල මිනිසා ඇවිද ගියා.26 බවුන්ටිෆුල් දේශයේ කිසිඳු ආකාරයකින් අසනීප වූ හෝ පීඩාවට පත් වූ අය “එක් සිතක් සමඟින්, පෙරට ගිය විට”27 සුවය ලැබුවා.

ඒ හා සමානව, දෙවියන්වහන්සේගේ ගාලට එන අයට පොරොන්දු වී ඇති පුදුමාකාර ආශිර්වාද ලබාගැනීමට නම්—අප විසින් පැමිණෙන්නට තෝරාගැනීම අවශ්‍යයි. බාල ඇල්මා මෙසේ ඉගැන්වූවා, “දැන් මම නුඹට කියන්නෙමි යහපත් බැටළු එඬේරා නුඹට කතා කරන සේක; තවද නුඹ උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දුන්නොත්, උන්වහන්සේ තම ගාල තුළට නුඹව ගෙන එන සේක.”28

මීට වසර කීපයකට පෙර හිතවත් මිතුරෙකු පිළිකාවකින් මියගියා. ඔහුගේ බිරිඳ ෂැරන්, ඔහුගේ රෝග විනිශ්චය ගැන මුලින්ම ලියූ විට ඇය පැවසුවේ: “අපි තෝරාගන්නේ ඇදහිල්ල. අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල. අපේ ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්ම කෙරෙහි ඇදහිල්ල, සහ උන්වහන්සේ අපේ අවශ්‍යතා දන්නා අතර උන්වහන්සේගේ පොරොන්දු ඉටුකරන බවට ඇදහිල්ල.”29

විශේෂයෙන් පරීක්ෂාවන්, විරුද්ධවාදිකම්, හෝ විපත්ති පැමිණි විට, දෙවියන්වහන්සේගේ ගාල තුළ ආරක්ෂිතව සිටීමේ අභ්‍යන්තර සාමය දැනෙන ෂැරන් වැනි පසුදවස් වල ශුද්ධවන්තයින් බොහොමයක් මට හමුවී තිබෙනවා.30 ඔවුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබාගෙන උන්වහන්සේගේ අනාගතවක්තෘවරයාව අනුගමනය කිරීමට තෝරාගෙන තිබෙනවා. අපගේ ආදරණීය අනාගතවක්තෘ, සභාපති රසල් එම්. නෙල්සන් මෙහෙම උගන්වලා තිබෙනවා, “ජීවිතයේ යහපත් සෑම දෙයක්ම—සදාකාලික වැදගත්කමේ සෑම විභව ආශිර්වාදයක්ම—ආරම්භ වන්නේ ඇදහිල්ලෙන්.”31

දෙවියන්වහන්සේගේ ගාලට සම්පූර්ණයෙන්ම එන්න

මගේ සීයාගේ-තාත්තාගේ-තාත්තාගේ-තාත්තා වුණු ජේම්ස් සෝයර් හොල්මන් 1847 දී යූටා වෙත පැමිණියා, නමුත් ජූලි මාසයේදී බ්‍රිගම් යන්ග් සමඟ පැමිණි අය අතර ඔහු සිටියේ නෑ. ඔහු ඒ වසර අවසානයේ පැමිණ තිබුණු අතර, පවුලේ වාර්තා වලට අනුව, බැටළුවන් ගෙන ඒමේ වගකීම දරලා තිබෙන්නේ ඔහුයි. ඔහු ඔක්තෝම්බර් වනතුරු සෝල්ට් ලේක් නිම්නය වෙත ළඟා නොවූ නමුත් ඔහු සහ බැටළුවන් එහි ගොස් තිබුණා.32

සංකේතාත්මකව කිවහොත්, අපගෙන් සමහරෙක් තවමත් සිටින්නේ තැනිතලාවේ. සෑම කෙනෙකුම පළමු කණ්ඩායමෙන්ම පැමිණෙන්නේ නෑ. මගේ හිතවත් මිත්‍රවරුනි, කරුණාකර ගමන දිගටම කරගෙන යන්න—ඒවගේම දෙවියන්වහන්සේගේ ගාලට සම්පූර්ණයෙන්ම පැමිණීමට—අන් අයට උපකාර කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ ආශිර්වාද ගණන්කළ නොහැකි තරම්, මොකද ඒවා සදාකාලිකයි.

මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයෙක් වීම ගැන හද ගැඹුරින්ම ස්තූතිවන්ත වෙනවා. අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේගේ සහ අපගේ මිදුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය සහ උන්වහන්සේලාගෙන් පමණක් ලැබෙන සාමය—අභ්‍යන්තර සාමය සහ දෙවියන්වහන්සේගේ ගාලෙන් සොයාගත් ආශිර්වාද ගැන මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. ඔහුගේ පරම්පරාවේ බොහෝ ඉන්දුනීසියානුවන් මෙන්, සමද් සහෝදරයාට ඇත්තේ එක නමකි. ඔහුගේ බිරිඳ ශ්‍රී කටෝනින්සිහ් සහ ඔවුන්ගේ දරුවන් ඔවුන්ගේ වාසගම ලෙස සමද් යන නම භාවිතා කරයි.

  2. සමද් සහෝදරයා සහ සහෝදරිය වාර්තා කරන්නේ ඔවුන්ගේ විශාල පවුලෙන් අවම වශයෙන් 44 ක් වත් දැන් සභාවේ සාමාජිකයන් බවයි. තවත් බොහෝ දෙනෙක් ඔවුන්ගේ ආදර්ශය සහ සේවය නිසා ශුභාරංචියේ ආශිර්වාද භුක්ති විඳිති.

  3. මොසායා 2:41

  4. බලන්න දහම සහ ගිවිසුම් 59:23.

  5. මොසායා 18:8.

  6. බලන්න මොරෝනි 6:4.

  7. බලන්න යොහාන් 10:14; තවත් බලන්න ජෙරිට් ඩබ්. ගොන්ග්, “යහපත් එඬේරා, දෙවියන්වහන්සේගේ බැටළු පෝතකයාණන්,” ලියහෝනා, මැයි 2019, 97–101.

  8. යෙසායා 49:16.

  9. බලන්න ඇල්මා 7:11–13.

  10. බලන්න ඩේල් ජී. රෙන්ලන්ඩ්, “කෝපයට පත් අසාධාරණය,” ලියහෝනා, මැයි 2021, 41–44.

  11. මොසායා 18:8.

  12. යොහාන් 10:16.

  13. යොහාන් 10:2–4.

  14. යොහාන් 10:9.

  15. බලන්න 2 නෙපි 31:21; හිලමන් 5:9.

  16. බලන්න Henry B. Eyring, “The Power of Teaching Doctrine,” Liahona, July 1999, 85. අප ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට උත්සාහ කරන විට, ක්‍රිස්තුස්වහන්සේගේ වචන වලට අනුව අප පැමිණිය යුතුය, මන්ද “මක්නිසාද මුළු පොළොවටම සිටින්නේ එකම දෙවියන්වහන්සේ සහ එක් එඬේරෙකු පමණක්ය” (බලන්න 1 නෙපි 13:40–41).

  17. ක්‍රිස්තුස්වහන්සේගේ දහම, සරලව ප්‍රකාශ කර ඇත්තේ, සෑම තැනකම සිටින සියලුම මිනිසුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කළ යුතු බවත්, පසුතැවිලි වී, බව්තීස්ම විය යුතු බවත්, ශුද්ධාත්මයාණන් වහන්සේ ලබාගෙන, අවසානය දක්වා විඳදරාගත යුතු බවත්, නැතහොත්, ගැලවුම්කරුවාණන් විසින් 3 නෙපි 11:38 හි ඉගැන්වූ ලෙස, “නුඹලා කිසිම ආකාරයකින් දෙවියන්වහන්සේගේ රාජ්‍ය උරුම කර නොගන්නෙහුය.”

  18. මොසායා 18:9, 10.

  19. බලන්න Merriam-Webster.com Dictionary, “redeem”; see also D. Todd Christofferson, “Redemption,” Liahona, May 2013, 109.

  20. බලන්න ඇල්මා 11:40.

  21. බලන්න 2 නෙපි 2:8; 9:12.

  22. දහම සහ ගිවිසුම් 14:7.

  23. බලන්න 2 නෙපි 9:18.

  24. බලන්න 1 නෙපි 4:6; මොරෝනි 8:26.

  25. බලන්න මොසායා 3:24–25; ඇල්මා 41:10.

  26. යොහාන් 5:8.

  27. 3 නෙපි 17:9.

  28. ඇල්මා 5:60. මෝසෙස් 7:53 හි, මෙසියස්වහන්සේ මෙසේද පැවසුවේය, “දොරටුවෙන් ඇතුළු වී මා අසලින් ඉහළට නගින තැනැත්තා කිසිවිටෙකත් වැටෙන්නේ නැත.”

  29. Sharon Jones, “Diagnosis,” wechoosefaith.blogspot.com, Mar. 18, 2012.

  30. Preach My Gospel පොත “අවසානය දක්වා විඳදරාගැනීම” පිළිබඳ මෙසේ නිර්වචනය කරයි: “දෙවියන්වහන්සේගේ ආඥා වලට සත්‍යවන්තව සිටීම සහ ජීවිත කාලය පුරාම පරීක්ෂාව, විරුද්ධත්වය, සහ විපත්ති නොතකා දේවමාළිගාවේ බලයෙන් සැරසීම සහ මුද්‍රා තැබීමේ ආඥා පිළිපැදීම” ([2019], 73 ) මෙයින් ඇඟවෙන්නේ අප ජීවිත කාලය පුරාම පරීක්ෂාවන්, විරුද්ධවාදිකම්, සහ විපත්ති වලට මුහුණදෙන බවයි.

  31. රසල් එම්. නෙල්සන්, “ක්‍රිස්තුස්වහන්සේ මරණින් නැවත නැගිට ඇත; උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කඳු තරණය කරයි,” ලියහෝනා, මැයි 2021, 102.

  32. ජේම්ස් සෝයර් හොල්මන් සහ නයෝමි රොක්සිනා ලෙබරන් හොල්මන් යන අයගේ මිනිබිරිය වන ග්‍රේස් එච්. සේන්ස්බරිගේ කෙටි චරිතාපදාන බලන්න (Charles C. Rich diary, Sept. 28, 1847, Church History Library, Salt Lake City; Journal History of The Church of Jesus Christ of Latter-day Saints, June 21, 1847, 49, Church History Library). හොල්මන් 1847 චාල්ස් සී රිච් සමාගමේ කපිතාන්වරයෙකි.