ප්‍රධාන සම්මන්ත්‍රණය
යේසුස්වහන්සේව අනුගමනය කිරීම: සාමය ඇතිකරන්නෙකු වීම
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


යේසුස්වහන්සේව අනුගමනය කිරීම: සාමය ඇතිකරන්නෙකු වීම

සාමය ඇතිකරන්නන් විරෝධය නොදක්වන්නේ නෑ; ඔවුන් පෙළඹවීම් ලබාදෙන්නේ ගැලවුම්කරුවාණන්ගේ ආකාරයෙන්.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අපි කලබලකාරී, ආරවුල් සහගත, සහ බොහෝ දෙනෙකුට ගැඹුරු දුක්විඳීමේ සන්සුන් දින අත්විඳින විට, අපේ හදවත් අපගේ ගැලවුම්කරුවාණන් කෙරෙහි සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචියේ සදාකාලික ආශිර්වාද කෙරෙහි මහත් කෘතඥතාවකින් පිරී ඉතිරී යනවා. අපි උන්වහන්සේට ප්‍රේම කරනවා, එමෙන්ම අපි උන්වහන්සේව විශ්වාස කරනවා, අපිට සදහටම උන්වහන්සේව අනුගමනය කරන්නට ලැබෙන ලෙස අපි යාච්ඤා කරනවා.

සමාජ මාධ්‍ය වල අභියෝගය

අන්තර්ජාලයේ බලවත් බලපෑම අපේ කාලයට අනන්‍ය වූ ආශිර්වාදයක් වගේම අභියෝගයක්.

සමාජ මාධ්‍ය සහ ඉතා ඉක්මණින් තොරතුරු හුවමාරු කරගත හැකි ලෝකයක, එක් පුද්ගලයෙකුගේ හඬ විශේෂිත ලෙස පැතිරී යන්න පුළුවන්. එම හඬ, සත්‍ය හෝ අසත්‍ය හෝ වේවා, සාධාරණ හෝ අගතිගාමී හෝ වේවා, කරුණාවන්ත හෝ කුරිරු වේවා, ලොව පුරා ක්ෂණිකව ගමන් කරනවා.

දේශපාලන දර්ශන, ප්‍රවෘත්ති වල සිටින පුද්ගලයින්, හෝ වසංගතය පිළිබඳ මතයන් සමඟ වුවද, කල්පනාකාරී සහ යහපත්කම පිළිබඳ සමාජ මාධ්‍ය පළකිරීම් බොහෝ විට නිශ්ශබ්දව යටපත්වී පවතින අතර, අවඥාවේ සහ කෝපයේ වචන අපගේ කන් වල නිතර ගිගුරුම් දෙනවා. ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය ඇතුළුව කිසිවකු හෝ කිසිඳු විෂයයක් මෙම ධ්‍රැවීකරණය වූ කටහඬවල් වල සමාජ සංසිද්ධියෙන් ප්‍රතිශක්තිකරණය වී නෑ.

සාමය ඇතිකරන්නෙකු වීම

කන්ද උඩ දේශනාව සියල්ලන්ටම පණිවිඩයක් වන නමුත් එය විශේෂයෙන් දෙනු ලැබුවේ ගැලවුම්කරුවාණන්ගේ ගෝලයන්ට, එනම් උන්වහන්සේව අනුගමනය කිරීමට තෝරාගෙන සිටි අයටයි.

එදත් අදත්, නින්දා සහගත ලෝකයක ජීවත් විය යුතු ආකාරය ස්වාමින්වහන්සේ ඉගැන්වූවා. “සාමය ඇතිකරන්නෝ ආශිර්වාද ලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය”1 ලෙස උන්වහන්සේ ප්‍රකාශ කළා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ලේ පලිහ මගින්, විරුද්ධවාදියාගේ සියලු ගිනි ඊතල මර්දනය කරන, ඒ කියන්නේ සන්සුන් කරන, සිසිල් කරන, හෝ නිවා දමන, සාමය ඇතිකරන්නන් බවට අපි පත්වෙනවා.2

අපි අපේ කොටස කරන විට, අපිව “දෙවියන්වහන්සේගේ දරුවන්” ලෙස හඳුන්වනු ලබන බව තමයි උන්වහන්සේගේ පොරොන්දුව. පොළොවේ සිටින සෑම පුද්ගලයෙකුම දෙවියන්වහන්සේගෙන් “පැවත එන්නන්”3 වෙනවා, නමුත් “දෙවියන්වහන්සේගේ දරුවන්” ලෙස හැඳින්වීමෙන් ඊට වඩා වැඩි දෙයක් අදහස් වෙනවා. අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේ සමඟ ගිවිසුම් ඇතිකරගන්නා විට, අපි “උන්වහන්සේගේ වංශය” සහ “රාජ්‍යයේ උරුමක්කාරයන්,”4 “ක්‍රිස්තුස්වහන්සේගේ දරුවන්, උන්වහන්සේගේ පුත්‍රයන් සහ දූවරුන්”5 බවට පත්වෙනවා.

සාමය ඇතිකරන්නා ගිනි ඊතල සන්සුන් කර සිසිල් කරන්නේ කොහොමද? නියත වශයෙන්ම අපව පහත් කරන අය ඉදිරියේ හැකිළීමෙන් නම් නොවේ. ඒ වෙනුවට, අපි අපගේ ඇදහිල්ල ගැන විශ්වාසයෙන් සිටිනවා, අපගේ විශ්වාසයන් ඒත්තු ගැන්වීමෙන් බෙදාගන්නවා, නමුත් සෑමවිටම කෝපයෙන් හෝ ද්වේෂයෙන් තොරව සිටිනවා.6

මෑතකදී සභාව විවේචනය කරන ලද දැඩි වචන වලින් යුත් අදහස් දැක්වීමක් දැකීමෙන් පසුව, ජාතික සිවිල් අයිතිවාසිකම් නායකයෙකු සහ සැන් ෆ්රැන්සිස්කෝහි තුන්වන බැප්ටිස්ට් සභාවේ දේවගැතිවරයෙකු වන ගරු ආමොස් සි. බ්‍රව්න් මෙසේ ප්‍රතිචාර දක්වා තිබුණා:

“මෙම වචන ලියූ පුද්ගලයාගේ අත්දැකීම් සහ ඉදිරිදර්ශනයට මම ගරු කරමි. ඇත්තවශයෙන්ම, ඔහු දකින දේ මට නොපෙනේ.”

සභාපති රසල් එම්. නෙල්සන් ඇතුළු [සභාවේ] මෙම නායකයින් දැන හඳුනාගැනීම මගේ ජීවිතයේ ලොකුම ප්‍රීතියක් ලෙස මම සලකමි. ඔවුන් මගේ ඇස්තමේන්තුවට අනුව අපේ රටෙන් ලබාදිය හැකි හොඳම නායකත්වයේ ප්‍රතිමූර්තියයි.”

රූපය
සභාපති නෙල්සන් පූජක බ්‍රවුන් සමඟ

ඉන්පසුව ඔහු තවදුරටත් මෙසේ පැවසුවා: “අපි දේවල් සිදුවූ ආකාරය ගැන දුක්වෙන්න පුළුවන්. දැන් සිදුවෙමින් පවතින සියලු යහපත් දේ පිළිගැනීම අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. … නමුත් මේ ප්‍රවේශයන් අපේ ජාතික බෙදීම් සුව කරන්නේ නෑ. … යේසුස්වහන්සේ ඉගැන්වූ පරිදි, අපි වැඩි නපුරෙන් නපුර තුරන් කරන්නේ නෑ. අපි අපේ සතුරන් යැයි සිතන අයට පවා ත්‍යාගශීලීව ප්‍රේම කරන අතර දයාවෙන් ජීවත් වෙනවා.”7

බ්‍රවුන් දේවගැතිවරයා සාමය ඇතිකරන්නෙක්. ඔහු සන්සුන්ව හා ගෞරවාන්විතව ගිනි ඊතල සිසිල් කළා. සාමය ඇතිකරන්නන් විරෝධය නොදක්වන්නේ නෑ; ඔවුන් පෙළඹවීම් ලබාදෙන්නේ ගැලවුම්කරුවාණන්ගේ ආකාරයෙන්.8

අප ප්‍රිය කරන සත්‍යයන් වෙත යොමු වූ ගිනිමය ඊතල සිසිල් කිරීමට, සන්සුන් කිරීමට, සහ නිවා දැමීමට අපට අභ්‍යන්තර ශක්තිය ලබාදෙන්නේ කුමක්ද? එම ශක්තිය ලැබෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ලෙන් සහ උන්වහන්සේගේ වචන කෙරෙහි අපගේ ඇදහිල්ලෙන්.

“මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩාකොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශිර්වාද ලද්දෝය

“… මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය: නුඹලාට පළමුවෙන් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔව්හු එලෙසම පීඩා කළෝය.”9

තෝරාගැනීමේ නිදහසේ වැදගත්කම

සාමය ඇතිකරන්නන් වීමට ඇති අපගේ ආශාවට වැදගත් ප්‍රතිපත්ති දෙකක් මගපෙන්වනවා.

පළමුව, අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සෑම පුද්ගලයෙකුටම තමාගේම මාර්ගය තෝරාගැනීමේ හැකියාව සමඟ ඔහුගේ හෝ ඇයගේ තෝරාගැනීමේ නිදහස ලබාදී තිබෙනවා.10 මෙම තෝරාගැනීමේ නිදහස දෙවියන්වහන්සේගෙන් ලැබුණු ශ්‍රේෂ්ඨතම දීමනාවක්.

දෙවනුව, මෙම තෝරාගැනීමේ නිදහස සමඟින්, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ “සියලු දේවල විරුද්ධතාවයට”11 ඉඩදෙනවා. [අපි] යහපත් දේ අගය කිරීමට අපි දැනගන්නා පිණිස, අපි තිත්ත රස විඳිනවා.12 විරුද්ධත්වය නිසා අපි පුදුම විය යුතු නෑ. යහපත හා අයහපත වෙන්කර හඳුනාගන්න අපි ඉගෙනගන්නවා.

අප විශ්වාස කරන දේ විශ්වාස නොකරන බොහෝ දෙනෙක් සිටින බව තේරුම්ගනිමින් තෝරාගැනීමේ නිදහසේ ආශිර්වාදය ගැන අපි සතුටු වෙමු. ඇත්තවශයෙන්ම, අවසාන දින වලදී තමන් සිතන හා කරන සෑම දෙයකටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල කේන්ද්‍රගත කිරීමට තෝරාගන්නේ, ස්වල්ප දෙනෙක් පමණයි.13

සමාජ මාධ්‍යය නිසා, අවිශ්වාසයේ එක් හඬක් සෘණාත්මක හඬවල් රාශියක් ලෙස පෙනෙන්නට පුළුවන්,14 නමුත් එය හඬවල් රාශියක් වුවත්, අපි සාමය ඇතිකරන්නන්ගේ මාවත තෝරාගනිමු.

ස්වාමින්වහන්සේගේ නායකයන්

ඇතැමුන් පළමු සභාපතිත්වය සහ දොළොස්දෙනාගේ ගණපූරණය දෙස ලෞකික චේතනා ඇති දේශපාලන, ව්‍යාපාරික, සහ සංස්කෘතික නායකයන් දෙස බලන ආකාරයෙන් බලනවා.

කෙසේවෙතත්, අපට වගකීම් ලැබී ඇත්තේ වෙනස්ම ආකාරයකටයි. අපි ඡන්දයෙන් තේරී පත්වී හෝ අයදුම්පත් වලින් තේරී නෑ. නිශ්චිත වෘත්තීය සූදානමකින් තොරව, අපගේ අවසන් හුස්ම තෙක් ලොව පුරා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය පිළිබඳ සාක්ෂි දැරීමට අප කැඳවා නියම කර තිබෙනවා. අපි උත්සාහ කරන්නේ රෝගීන්ට, තනි වූවන්ට, අධෛර්යයට පත්වූවන්ට, සහ දුප්පතුන්ට ආශිර්වාද කිරීමට සහ දෙවියන්වහන්සේගේ රාජ්‍යය ශක්තිමත් කිරීමටයි. විශේෂයෙන්ම සදාකාල ජීවනය සොයන අයට, ස්වාමින්වහන්සේගේ කැමැත්ත දැනගැනීමටත් එය ප්‍රකාශ කිරීමටත් අපි උත්සාහ කරනවා.15

අපගේ නිහතමානී ආශාව වන්නේ ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් සියලු දෙනාගේම ගෞරවයට පාත්‍ර කරවීම වුවත්, උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් හරහා ස්වාමින්වහන්සේ ලබාදෙන වචන බොහෝ විට ලෝකයේ චින්තනයට හා ප්‍රවණතා වලට පටහැනි වෙනවා. එය හැමදාමත් එහෙමයි.16

ගැලවුම්කරුවාණන් තම ප්‍රේරිතවරුන්ට මෙහෙම පැවසුවා:

“ලෝකයා නුඹලාට වෛර වෙනවා නම්, නුඹලාට පළමුවෙන් මට වෛර වුණ බව නුඹලා දනිහුය. …

“… නුමුත් ඔවුන් මා එවූ තැනැන්වහන්සේව නාඳුනන බැවින් … මේ සියල්ල ඔවුන් නුඹලාට කරනවා ඇත.”17

සියල්ලන් ගැන සැලකිලිමත් වීම

අප විශ්වාස කරන ආකාරයටම ඔවුන් විශ්වාස කළත් නැතත්, අපගේ සියලු අසල්වාසීන්ට අපි අවංකවම ආදරය හා සැලකිල්ල දක්වනවා. යහපත් සමරිතානුවරයාගේ උපමාවෙන් යේසුස්වහන්සේ අපට ඉගැන්වූයේ විවිධ විශ්වාසයන් ඇති අය, යහපත් හා උතුම් අරමුණු පසුපස හඹා යමින්, ඕනෑම කෙනෙකුට උපකාර කිරීමට සාමය ඇතිකරන්නන් ලෙස, අවංකව ළඟා විය යුතු බවයි.

පෙබරවාරි මාසයේ, (Arizona Republic) ඇරිසෝනා රිපබ්ලික් හි සිරස්තලයක මෙසේ සඳහන් වුණා, “පසුදවස් වල ශුද්ධවන්තයන් විසින් සහාය දක්වන ලද ද්විපාර්ශ්වික පණත මගින් සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික ඇරිසෝනාවරුන්ව ආරක්ෂා කරනු ඇත.”18

පසුදවස් වල ශුද්ධවන්තයන් ලෙස අපි, “විශ්වාසයෙන් සහ අන්‍යෝන්‍ය ගෞරවයෙන් එකට වැඩ කළ ඇදහිල්ල, ව්‍යාපාර, LGBTQ පුද්ගලයින්, සහ ප්‍රජා නායකයින්ගේ හවුලක කොටසක් වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා.”19

සභාපති රසල් එම්. නෙල්සන් වරක් කල්පනාකාරීව මෙසේ ඇසුවා, “යුධ මායිම් බවට පත්නොවී මායිම් රේඛා පැවතිය නොහැකිද?”20

අපි උත්සාහ කරන්නේ “ක්‍රිස්තුස්වහන්සේගේ සාමකාමී අනුගාමිකයන්”21 වීමටයි.

ප්‍රතිචාර නොදැක්විය යුතු වේලාවන්

ගැලවුම්කරුවාණන්ට එල්ල වූ සමහර ප්‍රහාර ද්වේශ සහගත වූ අතර උන්වහන්සේ කිසිවක් කීවේ නෑ. “නායක පූජකයෝද ලියන්නෝද නැගිට සිට, තද ලෙස උන්වහන්සේට වරද තැබුවෝය … තවද සරදම් කළෝය,” එහෙත් යේසුස්වහන්සේ “කිසි උත්තරයක් [ඔවුන්ට] නුදුන් සේක.”22 යම් අවස්ථා වල සාමය ඇතිකරන්නෙකු වීම යන්නෙන් අදහස් වන්නේ ප්‍රතිචාර දැක්වීමේ ආවේගයට අප විරුද්ධ වී, ඒ වෙනුවට ගෞරවාන්විතව නිහඬව සිටීමයි.23

වරක් අප සමඟ සිට, අප සමඟ සක්‍රමේන්තුව රැගෙන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දිව්‍ය මෙහෙවර පිළිබඳව අප සමඟ සාක්ෂි දුන් අය විසින් ගැලවුම්කරුවාණන්, උන්වහන්සේගේ අනුගාමිකයන්, සහ උන්වහන්සේගේ සභාව පිළිබඳ රළු හෝ ප්‍රතික්ෂේප කරන වචන වලින් කථා කරන විට හෝ ප්‍රකාශනය කරන විට එය අප සැමගේ හද කම්පා කරවන්නක්.24

ගැලවුම්කරුවාණන්ගේ දේවසේවයේදීද මෙය සිදුවුණා.

යේසුස්වහන්සේගේ අතිවිශිෂ්ට ආශ්චර්යයන් අතරතුර උන්වහන්සේ සමඟ සිටි සමහර ගෝලයන් “තවදුරටත් උන්වහන්සේ සමඟ [ඇවිද] නොයෑමට”25 අධිෂ්ඨාන කරගත්තා. කණගාටුවට කරුණක් නම්, ගැලවුම්කරුවාණන් කෙරෙහි ඇති ඔවුන්ගේ ප්‍රේමය සහ උන්වහන්සේගේ ආඥා පිළිපැදීමේ අධිෂ්ඨානය තුළ සියල්ලන්ම ස්ථිරව සිටින්නේ නෑ.26

කෝපයෙන් හා ආරවුල් වලින් ඉවත් වන ලෙස යේසුස්වහන්සේ අපට උගන්වා තිබෙනවා. එක් උදාහරණයක් තමයි, පරිසිවරුන් යේසුස්වහන්සේව ඉදිරියට පමුණුවා උන්වහන්සේව විනාශ කළ හැකි ආකාරය ගැන සාකච්ඡා කළ පසු, යේසුස්වහන්සේ ඔවුන්ගෙන් ඉවත් වූ අතර,27 “බොහෝ සමූහයෝද උන්වහන්සේ අනුව [ගියා], තවද උන්වහන්සේ සියල්ලන් සුවකොට”28 ප්‍රාතිහාර්යයන් සිදුකළ බව ශුද්ධලියවිලි පවසනවා.

අන් අයගේ ජීවිත වලට ආශිර්වාද කිරීම

අපේම මුල්ලක හුදකලා නොවී, වාද විවාද වලින් ඈත්වී, අන් අයගේ ජීවිත වලට ආශිර්වාද කරන්න29 අපිටත් පුළුවන්.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මබුජි-මයී හි, සමහරු අපගේ විශ්වාසයන් තේරුම්නොගෙන හෝ අපගේ සාමාජිකයන්ව නොදැන මුලින්ම සභාව විවේචනය කළා.

කලකට පෙර, කැතී සහ මම මබුජි-මයී හි ඉතා විශේෂ සභා රැස්වීමකට සහභාගී වුණා. ළමයින් දීප්තිමත් ඇස් සහ විශාල සිනහවකින් යුතුව, අලංකාර ලෙස ඇඳ පැළඳ සිටියා. මම ඔවුන්ගේ අධ්‍යාපනය ගැන ඔවුන් සමඟ කතා කිරීමට බලාපොරොත්තු වූ නමුත් බොහෝ දෙනෙක් පාසල් නොයන බව මට දැනගන්න ලැබුණා. අපගේ නායකයින් ඉතා සුළු මානුෂීය අරමුදලක් සහිතව, උදව් කිරීමට මාර්ගයක් සොයාගත්තා.30 දැන්—ගැහැණු ළමයින් සහ පිරිමි ළමයින්, සාමාජිකයින් මෙන්ම අපගේ ඇදහිල්ලට අයත් නොවන අය ඇතුළු—සිසුන් 400 කට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සාමාජිකයන් වන ගුරුවරුන් 16 දෙනෙකු විසින් උගන්වනවා.

රූපය
කලන්ගා මුයා

දහහතර හැවිරිදි කලන්ගා මුයා මෙහෙම පැවසුවා, “[අඩු මුදලක් තිබීම නිසා,] මම පාසල් නොගොස් වසර හතරක් ගතකළා. … සභාව කර ඇති දේ ගැන මම ඉතා ස්තූතිවන්ත වෙනවා. … මට දැන් ප්‍රංශ කියවන්න, ලියන්න, සහ කතා කරන්න පුළුවන්.”31 මෙම මුලපිරීම ගැන කතා කරමින්, මබුජි මායී හි නගරාධිපතිවරයා මෙසේ පැවසුවා, “[අනෙක්] සභාවන් එක එක කොන් වලට බෙදී ඇති විට … අවශ්‍යතා ඇති සමාජයට උදව් කිරීමට [ඔබ අනෙක් අය සමඟ වැඩකිරීම] නිසා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව ගැන මට සතුටුයි.”32

එකිනෙකාට ප්‍රේම කරන්න

මම යොහාන් 13 පරිච්ඡේදය කියවන සෑම අවස්ථාවකදීම, සාමය ඇතිකරන්නෙකු ලෙස ගැලවුම්කරුවාණන්ගේ පරිපූර්ණ ආදර්ශය මට සිහිපත් වෙනවා. යේසුස්වහන්සේ ප්‍රේමණීය ලෙස ප්‍රේරිතවරුන්ගේ පාද සේදුවා. ඊට පස්සේ අපි මෙහෙම කියවනවා, උන්වහන්සේව පාවාදීමට සූදානම් වන උන්වහන්සේ ප්‍රිය කරන කෙනෙකු ගැන සිතමින් “උන්වහන්සේ ආත්මයෙන් කැළඹී සිටියා.”33 යූදස් පිටත්ව යන විට ගැලවුම්කරුවාණන්ගේ සිතුවිලි සහ හැඟීම් පරිකල්පනය කිරීමට මම උත්සාහ කළා. සිත්ගන්නා කරුණ නම්, එම සන්සුන් මොහොතේ, යේසුස්වහන්සේ තම “කරදරකාරී” හැඟීම් ගැන හෝ පාවාදීම ගැන තවදුරටත් කතා කළේ නෑ. ඒ වෙනුවට, උන්වහන්සේ ප්‍රේමය ගැන සිය ප්‍රේරිතවරුන්ට කතා කළා, උන්වහන්සේගේ වචන සියවස් ගණනාවක් පුරා ගලා යමින් තිබෙනවා:

“මා ඔබ සැමට ප්‍රේම කළාක් මෙන් ඔබ එකිනෙකාට ප්‍රේම කරන්න කියා අලුත් ආඥාවක් මම ඔබ සැමට දෙමි. …

“ඔබ සැම එකිනෙකාට ප්‍රේම කරනවා නම්, ඔබ සැම මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.”34

අපි උන්වහන්සේට ප්‍රේම කරමු, එකිනෙකාට ප්‍රේම කරමු. අපිව “දෙවියන්වහන්සේගේ දරුවන්” ලෙස හඳුන්වනු ලබන පිණිස, අපි සාමය ඇතිකරන්නන් වන ලෙස මම යාච්ඤා කරන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. මතෙව් 5:9.

  2. බලන්න එපීස 6:16; දහම සහ ගිවිසුම් 3:8.

  3. ක්‍රියා 17:28.

  4. මොසායා 15:11.

  5. මොසායා 5:7.

  6. සභාපති ඩැලන් එච්. ඕක්ස් පැවසුවේ: “ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයින් ශිෂ්ටත්වයේ ආදර්ශ විය යුතුය. අපි සියලු මිනිසුන්ට ප්‍රේම කළ යුතුය, හොඳ සවන්දෙන්නන් විය යුතුය, සහ ඔවුන්ගේ අවංක විශ්වාසයන් ගැන සැලකිල්ලක් දැක්විය යුතුය. අප එකඟ නොවිය හැකි වුවද, අප එකඟ නොවන සුළු නොවිය යුතුය. මතභේදාත්මක මාතෘකා පිළිබඳ අපගේ ස්ථාවරයන් සහ සන්නිවේදනයන් මතභේදාත්මක නොවිය යුතුය” (“Loving Others and Living with Differences,” Liahona, Nov. 2014, 27).

  7. “Amos C. Brown: Follow the LDS Church’s Example to Heal Divisions and Move Forward,” Salt Lake Tribune, Jan. 20, 2022, sltrib.com.

  8. වැඩිහිටි ඩේල් ජී. රෙන්ලන්ඩ් පැවසුවේ, “ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අපගේ ජීවිත ආවරණය කරන විට, අපි එකඟ නොවීම් වලට මෘදුකමින්, ඉවසීමෙන්, සහ කරුණාවෙන් ප්‍රවේශ වන්නෙමු” (“The Peace of Christ Abolishes Enmity,” Liahona, Nov. 2021, 84).

  9. මතෙව් 5:11–12.

  10. බලන්න 2 නෙපි 10:23.

  11. 2 නෙපි 2:11.

  12. මෝසෙස් 6:55.

  13. බලන්න 1 නෙපි 14:12.

  14. මෑත දත්ත වලින් පෙනී යන්නේ පුද්ගලයන් 5 දෙනෙකුගෙන් 3 දෙනෙකු පමණ තමන් කියවා නැති කතාවක් සඳහා සිරස්තලයක් බෙදාගන්නා බවයි (බලන්න Caitlin Dewey, “6 in 10 of You Will Share This Link without Reading It, a New, Depressing Study Says,” Washington Post, June 16, 2015, washingtonpost.com; Maksym Gabielkov and others, “Social Clicks: What and Who Gets Read on Twitter?” [paper presented at the 2016 ACM Sigmetrics International Conference on Measurement and Modeling of Computer Science, June 14, 2016], dl.acm.org).

  15. සමහර අවස්ථා වලදී ඔබේ පෞද්ගලික අදහස් ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයාගේ ඉගැන්වීම් වලට මුලින් එකඟ නොවන්නේ නම් පුදුම නොවන්න. නිහතමානීව, අපි යාච්ඤාවෙන් දණින් වැටී සිටින විට මේවා ඉගෙනීමේ අවස්ථා වේ. කාලයත් සමඟ අපගේ ස්වර්ගීය පියාණන්ගෙන් අපට වඩාත් අධ්‍යාත්මික පැහැදිලි බවක් ලැබෙන බව දැනගෙන, දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබමින් අපි ඇදහිල්ලෙන් ඉදිරියට ගමන් කරමු.

  16. බලන්න දහම සහ ගිවිසුම් 1:14–16.

  17. යොහාන් 15:18, 21; අවධාරණය කිරීම් සහිතයි.

  18. “Bipartisan Bill Supported by Latter-day Saints Would Protect Gay and Transgender Arizonans,” Arizona Republic, Feb. 7, 2022, azcentral.com.

  19. Why the Church of Jesus Christ Supports a New Bipartisan Religious Freedom and Non-discrimination Bill in Arizona,” Feb. 7, 2022, newsroom.ChurchofJesusChrist.org.

  20. Russell M. Nelson, “Teach Us Tolerance and Love,” Ensign, May 1994, 69.

  21. මොරෝනි 7:3. සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි මෙසේ පැවසීය: “අපි ඉවසිලිවන්තව සිටිය යුතු පමණක් නොව, අප දකින ආකාරයට දේවල් නොදකින අය සඳහා ස්ථිර කෘතඥතාවේ ආත්මයක් වර්ධනය කරගත යුතුය. අපගේ දේවධර්මය, අපගේ විශ්වාසයන්, සදාකාලික සත්‍යය පිළිබඳ අපගේ දැනුම, ස්වර්ගයේ දෙවියන්වහන්සේ විසින් හෙළිදරව් කර ඇති බැවින් අපට කිසිම ආකාරයකින් සම්මුතියක් ඇතිකර ගත යුතු නැත. නිහඬව, හදවතින්ම, අවංකව, අපට සත්‍යය පිළිබඳ අපගේම සාක්ෂියක් ඉදිරිපත් කළ හැකිය, නමුත් කිසිවිටෙකත් අන් අයට අමනාප වන ආකාරයෙන් එය නොකළ යුතුය. … අප මෙන්ම ඔවුන්ගේ විශ්වාසයන් සහ පිළිවෙත් සම්බන්ධයෙන් අවංකව කටයුතු කරන අන් අයව අගය කිරීමට සහ ගෞරවය දැක්වීමට අප ඉගෙනගත යුතුය” (“Out of Your Experience Here” [Brigham Young University devotional, Oct. 16, 1990], 6, speeches.byu.edu).

  22. බලන්න ලූක් 23:9–11.

  23. වැඩිහිටි ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ් පැවසුවේ: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් වශයෙන්, අපි [උන්වහන්සේගේ] ආදර්ශය අනුගමනය කරන්නෙමු. අපි අන් අයව ලැජ්ජාවට පත්කරන්නේ හෝ පහර දෙන්නේ නැත. අපි උත්සාහ කරන්නේ දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමටත් අසල්වැසියන්ට සේවය කිරීමටත්ය. අපි ප්‍රීතියෙන් දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමටත් ශුභාරංචි ප්‍රතිපත්ති අනුව ජීවත් වීමටත් උත්සාහ කරන්නෙමු” (“Five Messages That All of God’s Children Need to Hear” [Brigham Young University Education Week devotional, Aug. 17, 2021], 5, speeches.byu.edu).

  24. වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් මෙසේ පැවසීය: “සභාවේ සාමාජිකයන් සහස්‍ර යුගය දක්වා මෙම තිරිඟු සහ කිරිඳි තත්වයේ ජීවත් වනු ඇත. ඔවුන් තවදුරටත් විශ්වාස නොකරන සභා මූලධර්ම ගැන සෙසු අයට දේශන පැවැත්වීමට උනන්දුවෙන් සිටින පුද්ගලයන් කිහිප දෙනෙකුද ඇතුළුව, සමහර සැබෑ කිරිඳි, තිරිඟු ලෙස පවා වෙස්වළා ගනී. ඔවුන් තවදුරටත් දායක නොවන සභා සම්පත් භාවිතය ගැන ඔවුන් විවේචනය කරති. ඔවුන් තවදුරටත් ස්ථිර නොකරන සහෝදරයන්ට උපදෙස් දීමට ඔවුන් පහත් ලෙස උත්සාහ කරති. ගැටුම්කාරීව, ඔවුන් හැර, ඇත්තවශයෙන්ම, ඔවුන් සභාව හැර යයි, නමුත් ඔවුන්ට සභාව තනිවන්නට හැර යා නොහැක” (“Becometh As a Child,” Ensign, May 1996, 68).

  25. යොහාන් 6:66.

  26. “පාපයේ ප්‍රීතිය කාලයකට [පමණයි]” (බලන්න හෙබ්‍රෙව් 11:24–26).

  27. බලන්න මතෙව් 12:1–15.

  28. මතෙව් 12:15.

  29. බලන්න 3 නෙපි 11:29–30.

  30. දොන් බොස්කෝ පදනමේ සහාය ඇතිව, පාසල් වැඩසටහන සඳහා ඉගැන්වීම සහ අවශ්‍ය ද්‍රව්‍ය සඳහා වටිනා උපදෙස් ලැබුණි.

  31. දෙමාපියෙකු වන මුලේකා පැවසුවේ: “එය මගේ දුවට … කියවීමට සහ ලිවීමට ඉගෙනගැනීමට සහ වඩා හොඳ අනාගතයක් සඳහා බලාපොරොත්තුවක් ලබාදී ඇති බැවින්, මම මෙම වැඩසටහනට ප්‍රිය කරනවා. මම බඩ ඉරිඟු පිටි වෙළඳපොලේ විකුණා ආහාර සඳහා පමණක් මුදල් උපයන නිසා මට ඇයව ඉස්කෝලේ යවන්න බැරි වුණා. මේ සඳහා මම සභාවට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.” ගුරුවරියක වන මොනික් සොයුරිය පැවසුවේ: “මෙම වැඩසටහන මේ දරුවන්ට විශාල ආශිර්වාදයක් ලෙස පැමිණියා. මගේ පන්තියේ … ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අනාථ අය. හැමදාම පන්ති වලට ඇවිත් ඔවුන්ගේ ගෙදර වැඩ කරන්නට ඔවුන් හරිම කැමතියි” (comments and photos supplied by Elder Joseph W. Sitati, Feb. 24, 2022).

  32. නගරාධිපති ලුවිස් ඩොර් නුටුම්බා ට්ශියාපෝටා විසින්, 2021 ඔක්. 10, 10, 2021 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව විසින් ආරම්භ කරන ලද මබුජි-මායි සාක්ෂරතා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මහජන රැස්වීමකදී අදහස් දක්වයි.

  33. යොහාන් 13:21.

  34. යොහාන් 13:34–35.