ප්‍රධාන සම්මන්ත්‍රණය
ලෝකය සුවපත් කිරීමට
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ලෝකය සුවපත් කිරීමට

අප සියල්ලන්ගේම පියාණන් වන දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ගෞරව කරන විට, තුවාල සහ වෙනස්කම් විසඳාගනිමින් සුව කරගන්නත් පුළුවන්.

සහෝදර සහෝදරියනි, මෙම මහිමාන්විත පාස්කු සමයේදී, දෙවියන්වහන්සේගේ සේවකයන් හමුවී ඔවුන්ගෙන් උපදෙස් සහ මගපෙන්වීම් ලබාගැනීමට ලැබීම අපට මහත් ආශිර්වාදයක්.

අපගේ ස්වර්ගීය පියාණන්ගේ පරිශුද්ධ මගපෙන්වීම් සහ ඉගැන්වීම් මෙම භයානක කාල වලදී ජීවිතයේ ඉදිරියට යන්නට අපට උපකාර කරනවා. පුරෝකථනය කර ඇති පරිදි, “ගින්දර සහ කුණාටුද,” “යුද්ධ, යුද්ධ පිළිබඳ කටකතා, සහ විවිධ ස්ථාන වල භූමිකම්පාද,” “තවද සියලු ආකාර පිළිකුල් සහගත ක්‍රියාද,”1 “වසංගතද,”2 “සාගත සහ වසංගතද”3 පවුල්, ප්‍රජාවන් සහ ජාතීන් පවා විනාශයට පත්කරනවා.

ලොව පුරා පැතිර යන තවත් වසංගතයක් තිබෙනවා: ඔබේ සහ මගේ ආගමික නිදහසට පහර දීම. මෙම වැඩෙන මනෝභාවය පොදු ජනයාගෙන්, පාසල් වලින්, ප්‍රජා ප්‍රමිතීන්ගෙන්, සහ සිවිල් කතිකාවෙන්, ආගම සහ දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඉවත් කිරීමට උත්සාහ කරනවා. හෘදයාංගම විශ්වාසයන් ප්‍රකාශ කිරීමට සීමා පැනවීමට, ආගමික නිදහසට විරුද්ධ අය විසින් උත්සාහ කරනවා. ඔවුන් ඇදහිලි සම්ප්‍රදායන් පවා විවේචනය කර උපහාසයට ලක්කරනවා.

පුද්ගලික මූලධර්ම, සාධාරණත්වය, ගෞරවය, අධ්‍යාත්මිකත්වය, සහ හෘද සාක්ෂියේ සාමය අවප්‍රමාණය කරමින්, එවැනි ආකල්පයක් මිනිසුන්ව කොන් කරනවා.

ආගමික නිදහස කියන්නේ මොකක්ද?

එය එහි සියලු වින්‍යාසයන් තුළ නමස්කාරයේ නිදහසයි: රැස්වීමේ නිදහස, කතා කිරීමේ නිදහස, පුද්ගලික විශ්වාසයන් මත ක්‍රියා කිරීමේ නිදහස, සහ අන් අයටද එසේ කිරීමට ඇති නිදහසයි. ආගමික නිදහස මගින් අප විශ්වාස කරන දේ, අප ජීවත් වන ආකාරය සහ අපගේ ඇදහිල්ලට අනුව ක්‍රියා කරන ආකාරය, සහ දෙවියන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වන දේ තීරණය කිරීමට අප සෑම කෙනෙකුටම ඉඩ සලසනවා.

එවැනි ආගමික නිදහස කප්පාදු කිරීමට දරන උත්සාහයන් අලුත් දෙයක් නොවේ. ඉතිහාසය පුරාම, ඇදහිලිවන්ත මිනිසුන් අන් අය අතින් බලවත් ලෙස දුක් විඳලා තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයින්ටත් ඒවා වල වෙනසක් නෑ.

අපගේ ආරම්භයේ සිටම, දෙවියන්වහන්සේව සොයන බොහෝ දෙනෙක් මෙම සභාව වෙත ඇදී ගියේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල සහ උන්වහන්සේගේ වන්දිගෙවීම, පසුතැවීම, ප්‍රීතියේ සැලැස්ම, සහ අපගේ ස්වාමින්වහන්සේගේ දෙවන පැමිණීම ඇතුළු එහි ඇති දිව්‍යමය ඉගැන්වීම් නිසායි.

විරුද්ධවාදිකම්, පීඩා, සහ ප්‍රචණ්ඩත්වය අපගේ පළමු පසුදවස් වල අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් සහ ඔහුගේ අනුගාමිකයන්ව පීඩාවට පත්කළා.

1842 කැලඹිලි මධ්‍යයේ, ජෝසෆ් විසින් මෙම වර්ධනය වෙමින් පවතින සභාවේ මූලික සිද්ධාන්ත 13ක් ප්‍රකාශයට පත්කළා, මේ එයින් එකක්: “අපගේ හෘද සාක්ෂියේ නියමයන්ට අනුව සර්වබලධාරී දෙවියන්වහන්සේට නමස්කාර කිරීමේ වරප්‍රසාදය අපි ප්‍රකාශ කරමු, සියලු මිනිසුන්ට එකම වරප්‍රසාදය ලබාදෙමින්, ඔවුන්ට කෙසේ හෝ, කොහේ හෝ, ඔවුන්ට කැමති ආකාරයකට, නමස්කාර කිරීමට ඉඩදිය යුතුය.4

ඔහුගේ ප්‍රකාශය පිළිගැනීමේ, විමුක්තිදායක, සහ ගෞරවනීය එකක්. ආගමික නිදහසේ හරය එයයි.

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ද මෙසේ ප්‍රකාශ කළා:

“ප්‍රෙස්බිටේරියන්වරයෙකුගේ, බැප්ටිස්ට්වරයෙකුගේ, හෝ වෙනත් ඕනෑම නිකායකට අයත් යහපත් මිනිසෙකුගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මිය යාමට මා සූදානම් බව ස්වර්ගය ඉදිරියේ ප්‍රකාශ කිරීමට මම නිර්භීත වෙමි; මක්නිසාදයත් … ශුද්ධවන්තයන්ගේ අයිතීන් පාගා දමන එම මූලධර්මය විසින්ම රෝමානු කතෝලිකයන්ගේ හෝ ජනප්‍රිය නොවන සහ තමන්ව ආරක්ෂා කරගැනීමට තරම් දුර්වල විය හැකි වෙනත් ඕනෑම නිකායකගේ අයිතීන් පාගා දමනු ඇත.

“එය මගේ ආත්මය ප්‍රබෝධමත් කරන නිදහස සඳහා—සමස්ත මානව වර්ගයාටම වූ සිවිල් සහ ආගමික නිදහස සඳහා වූ ප්‍රේමයකි.”5

කෙසේවෙතත්, මුල් සභා සාමාජිකයන්ට පහර දී නිව්යෝර්ක් සිට ඔහායෝ සිට මිසුරි දක්වා සැතපුම් දහස් ගණනක් පන්නා දැමූ අතර, එහිදී ආණ්ඩුකාරවරයා සභාවේ සාමාජිකයන්ව “සතුරන් ලෙස සැලකිය යුතු අතර සමූල ඝාතනය කළ යුතු හෝ ප්‍රාන්තයෙන් පලවා හැරිය යුතුය”6 යන නියෝගයක් නිකුත් කළා. ඔවුන් ඉලිනොයිස් වෙත පලා ගිය නමුත් වධ හිංසා දිගටම පැවතුණා. ජෝසෆ් අනාගතවක්තෘවරයාව ඝාතනය කිරීමෙන් සභාව විනාශ වී ඇදහිලිවන්තයන් විසිරී යනු ඇතැයි සිතූ මැර පිරිසක් ඔහුව ඝාතනය කළා. නමුත් ඇදහිලිවන්තයෝ ස්ථිරව සිටියා. ජෝසෆ්ගේ අනුප්‍රාප්තිකයා වූ බ්‍රිගම් යන්ග් විසින්, සැතපුම් 1,300ක් (2100 km) බටහිර දෙසින් දැන් යූටා ප්‍රාන්තය වන ප්‍රදේශය වෙත නික්මයාමට දහස් ගණනක්ව රැගෙන ගියා.7 මගේම මුතුන් මිත්තන් එම මුල් පුරෝගාමී පදිංචිකරුවන් අතර සිටියා.

දැඩි හිංසා පීඩා පැවති එම දිනවල සිට, ස්වාමින්වහන්සේගේ සභාව සාමාජිකයින් මිලියන 17කට ආසන්න සංඛ්‍යාවක් දක්වා ක්‍රමානුකූලව වර්ධනය වී ඇති අතර, ඉන් අඩකට වඩා වැඩි පිරිසක් ජීවත් වන්නේ එක්සත් ජනපදයෙන් පිටතයි.8

2020 අප්‍රියෙල් මාසයේදී අපගේ සභාව විසින්, අපගේ පළමු සභාපතිත්වය සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණය විසින් සකස් කරන ලද ලෝකයට ප්‍රකාශයක් සමඟින් ශුභාරංචිය නැවත පිහිටුවීමේ 200 වැනි සංවත්සරය සැමරුවා. එය මෙසේ ආරම්භ වෙනවා: “ලෝකයේ සෑම ජාතියකම තම දරුවන්ට දෙවියන්වහන්සේ ප්‍රේම කරන බව අපි තරයේ ප්‍රකාශ කරමු.”9

අපගේ ආදරණීය අනාගතවක්තෘ රසල් එම්. නෙල්සන් තවදුරටත් මෙසේ ප්‍රකාශ කර තිබෙනවා:

“දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට නිදහස, කරුණාව, සහ සාධාරණත්වය ගැන අපි විශ්වාස කරනවා.

“අපි හැමෝම සහෝදර සහෝදරියන්, අපි හැම කෙනෙක්ම ස්වර්ගයේ සිටින ආදරණීය පියෙකුගේ දරුවෙක්. ‘කළු, සුදු, වහල්ලා හෝ නිදහස් තැනැත්තා, පිරිමි සහ ගැහැණු’ යන සැමටම තමා වෙතට එන ලෙස උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ආරාධනා කරනවා” (2 නෙපි 26:33).”10

ආගමික නිදහසෙන් සමාජයට සහ පුද්ගලයන්ට ප්‍රතිලාභ ලැබෙන ආකාර හතරක් මා සමඟ සලකා බලන්න.

පළමුවැන්න. ආගමික නිදහස පළමු හා දෙවන ශ්‍රේෂ්ඨ ආඥාවන්ට ගරු කරනවා, ඒ තමයි දෙවියන්වහන්සේව අපගේ ජීවිතයේ කේන්ද්‍රස්ථානයේ තැබීම. අපි මතෙව් පොතේ මෙහෙම කියවනවා:

“ඔබේ මුළු හෘදයෙන්ද, ඔබේ මුළු ආත්මයෙන්ද, ඔබේ මුළු බුද්ධියෙන්ද, ඔබේ දෙවිවූ ස්වාමින්වහන්සේට ප්‍රේම කරව.”11

“මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ, එනම්, ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරව.”12

දේවස්ථානයක, සිනගෝගයක, මුස්ලිම් පල්ලියක, හෝ ටකරන් සෙවිලි කළ පැල්පතක වේවා, ක්‍රිස්තුස්වහන්සේගේ ශ්‍රාවකයන්ට සහ ඒ හා සමාන අදහස් ඇති සියලුම ඇදහිලිවන්තයන්ට දෙවියන්වහන්සේට නමස්කාර කිරීමෙන් සහ උන්වහන්සේගේ දරුවන්ට සේවය කිරීමට ඇති කැමැත්තෙන් දෙවියන්වහන්සේට භක්තිය ප්‍රකාශ කරන්න පුළුවන්.

එවැනි ප්‍රේමයකට සහ සේවයකට හොඳම ආදර්ශය යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි. උන්වහන්සේගේ දේවසේවයේදී උන්වහන්සේ දුප්පතුන්ට සැලකිල්ල දැක්වූ අතර,13 රෝගීන්14 සහ අන්ධයන්ව සුවකළා.15 උන්වහන්සේ කුසගින්නෙන් පෙළෙන අයව පෝෂණය කළා,16 කුඩා දරුවන්ට තම දෑත් විවෘත කළා,17 උන්වහන්සේව කුරුසියේ ඇණ ගැසූ අය ඇතුළු උන්වහන්සේට වැරදි කළ අයට සමාව දුන්නා.18

යේසුස්වහන්සේ “යහපත කරමින් ගිය”19 බව ශුද්ධලියවිලි විස්තර කරනවා. අපිත් එසේ විය යුතුයි.

දෙවැන්න. ආගමික නිදහස මගින් විශ්වාසය, බලාපොරොත්තුව, සහ සාමයේ ප්‍රකාශනයන් පෝෂණය කරනවා.

සභාවක් ලෙස, අපි අනෙකුත් ආගම් සමඟ එකතු වී සියලු විශ්වාසයන් සහ ඒත්තු ගැන්වීම් සහ ඔවුන්ගේ විශ්වාසයන් කථා කිරීමට ඇති අයිතිය ආරක්ෂා කරනවා. මෙයින් අදහස් කරන්නේ අප ඔවුන්ගේ විශ්වාසයන් හෝ ඔවුන් අපගේ විශ්වාසයන් පිළිගන්නා බව නොවේ, නමුත් ඔවුන් සහ අප අතර, අපව නිහඬ කිරීමට කැමති අය සමඟ අපට ඇති දේට වඩා පොදු දේවල් තිබෙන බවයි.

මම මෑතකදී ඉතාලියේ වාර්ෂික G20 අන්තර් ආගමික සංසදයේදී අපේ සභාව නියෝජනය කළා. මම ලොව පුරා සිටින රාජ්‍ය හා විශ්වාසයන්ගේ නායකයන් හමුවූ විට මා දිරිමත් වුණා, ශක්තිමත් වුණා. අප සියල්ලන්ගේම පියාණන් වන දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ගෞරව කරන විට, තුවාල සහ වෙනස්කම් විසඳා සුව කළ හැකි බව මම තේරුම්ගත්තා. සියල්ලන්ගේම ශ්‍රේෂ්ඨ සුවකරන්නා අපගේ ස්වාමින්වහන්සේ සහ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි.

මම මගේ කතාව අවසන් කරන විට මට සිත්ගන්නා සුළු අවස්ථාවක් ඇතිවුණා. පෙර කතා කළ හත්දෙනාගෙන් කිසිවෙක් කිසිඳු ඇදහිලි සම්ප්‍රදායකින් හෝ දෙවියන්වහන්සේගේ නාමයෙන් එම කතා අවසන් කර තිබුණේ නෑ. මම කතා කරන විට, මම මෙහෙම හිතුවා, “මම ඔබට ස්තූතියි කියා වාඩි වෙනවාද, නැතහොත් මම ‘යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්’ අවසන් කරනවාද? මම කවුද කියලා මට මතක් වුණා, මගේ පණිවිඩය අවසන් කිරීමට ස්වාමින්වහන්සේ මට උන්වහන්සේගේ නම කීමට සලස්වන බව මම දැනසිටියා. ඉතින් මම එසේ කළා. ආපසු හැරී බලන විට, එය මගේ විශ්වාසය ප්‍රකාශ කිරීමට මට ලැබුණු අවස්ථාවයි; උන්වහන්සේගේ ශුද්ධ වූ නාමය ගැන සාක්ෂි දැරීමට මට ආගමික නිදහස තිබුණා.

තෙවැන්න. ආගම අන් අයට උපකාර කිරීමට මිනිසුන්ව පොළඹවනවා.

ආගමට සමෘද්ධිමත් වීමට අවකාශය සහ නිදහස ලබාදෙන විට, ඇදහිලිවන්තයන් සරල හා සමහර විට වීරෝදාර සේවා ක්‍රියා සිදුකරනවා. පුරාණ යුදෙව් වාක්‍ය ඛණ්ඩයක් වන “ටික්කුං ඕලම්” යන්නෙහි අර්ථය “ලෝකය අලුත්වැඩියා කිරීමට හෝ සුවකිරීමට” යන අදහස සමඟ අද බොහෝ දෙනාගේ උත්සාහයන් වලින් එය පිළිබිඹු වෙනවා. අපි අන්තර්ජාතික කරිටාස් ලෙස හැඳින්වෙන කතෝලික පුණ්‍යායතන සමඟ, ඉස්ලාමික් රිලිෆ්, සහ ගැලවීමේ හමුදාව, සහ ජාතික ක්‍රිස්තියානි පදනම වැනි යුදෙව්, හින්දු, බෞද්ධ, සික්, සහ ක්‍රිස්තියානි සංවිධාන ගණනාවක් සමඟ හවුල් වී සිටිනවා. අපි එක්ව අවශ්‍යතා ඇති මිලියන ගණනකට සේවය කරනවා, ඉතා මෑතකදී යුද්ධයේ සරණාගතයින්ට කූඩාරම්, නිදන මලු, සහ ආහාර සැපයුම්,20 සහ පෝලියෝ21 සහ COVID22 ඇතුළු එන්නත් ලබාදුන්නා. සිදුකරන දේවල් වල ලැයිස්තුව දිගයි, නමුත් අවශ්‍යතාත් එසේමයි.

ඇදහිලිවන්ත පුද්ගලයන්, එකට වැඩ කිරීමෙන්, සැලකිය යුතු මැදිහත්වීම් කළ හැකි බවට කිසිඳු සැකයක් නෑ. ඒ අතරම, එක් එක් පුද්ගලයාට ලබාදෙන සේවාව බොහෝ විට ප්‍රකාශ වෙන්නේ නැති නමුත් නිහඬව ජීවිත වෙනස් කරනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නායින්ගේ වැන්දඹුව වෙත ළඟා වූ විට ලූක් හි ඇති ආදර්ශය ගැන මම හිතනවා. යේසුස්වහන්සේ, අනුගාමිකයන් පිරිසක් කැටුව, මෙම වැන්දඹුවගේ එකම පුත්‍රයාගේ භූමදාන පෙරහැරට ආවා. ඔහු නොමැතිව ඇය චිත්තවේගීයව, අධ්‍යාත්මිකව, සහ මූල්‍යමය ලෙස පවා විනාශයකට මුහුණදුන්නා. ඇයගේ කඳුළු පිරි මුහුණ දුටු යේසුස්වහන්සේ, “අඬන්න එපා” කියා පැවසුවා.23 ඉන්පසු උන්වහන්සේ දේහය රැගත් දෙනය ස්පර්ශ කළ අතර උසුලාගෙන යන්නෝ නතර වුණා.

“යෞවනය,” උන්වහන්සේ ආඥා කළා, “නැගිටපන්නැයි මම නුඹට කියමි.

“එවිට මළාවූ ඔහු නැගිට හිඳ කථාකරන්ට පටන්ගත්තා. [යේසුස්වහන්සේ] ඔහුව ඔහුගේ මෑණියන්ට භාරදුන්නා.”24

මළවුන් නැගිටවීම ප්‍රාතිහාර්යයක්, නමුත් අරගල කරන කෙනෙකුට කරුණාව දැක්වීමේ සෑම ක්‍රියාවක්ම, “දෙවියන්වහන්සේ [අප] සමඟ සිටින බව දැනගෙන “යහපත කරමින් [යා]”25 හැකි ගිවිසුම් මාර්ගයයි.

ඒවගේම හතරවැන්න. ආගමික නිදහස සාරධර්ම සහ සදාචාරය හැඩගැස්වීම සඳහා එක්සත් කිරීමේ සහ ඒකරාශී කිරීමේ බලවේගයක් ලෙස ක්‍රියා කරනවා.

අලුත් ගිවිසුමේ බොහෝ දෙනෙක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් ඉවතට හැරී, උන්වහන්සේගේ දහම ගැන මැසිවිලි නැගූ හැටි අපි කියවනවා, “මේක තද කීමක්ය; ඒක අසන්ට පුළුවන් කාටද?26

ආගම කතිකාවෙන් හා බලපෑමෙන් පන්නා දැමීමට උත්සාහ කරන්නන්ගෙන් ඒ කෑගැසීම අදටත් ඇසෙනවා. චරිතය හැඩගස්වා ගැනීමට සහ දුෂ්කර කාල වලදී මැදිහත් වීමට ආගමක් නොමැති නම්, එසේ කරන්නේ කවුද? අවංකකම, කෘතඥතාව, සමාවදීම, සහ ඉවසීම උගන්වන්නේ කවුද? අමතක වූවන් සහ පීඩිතයන් සඳහා සැබෑ ප්‍රේමය, දයානුකම්පාව, සහ කරුණාව පෙන්වන්නේ කවුද? වෙනස් අයව, නමුත් සියල්ලන්ම දෙවියන්වහන්සේගේ දරුවන් වන නිසා ඔවුන්ව වැළඳ ගන්නේ කවුද? කිසිඳු ප්‍රතිලාභයක් නොසොයමින් අවශ්‍යතා ඇති අයට ඔවුන්ගේ දෑත් විවෘත කරන්නේ කවුද? මෑතකාලීන ප්‍රවණතා වලට වඩා සාමයට සහ නීති වලට කීකරු වීමට ගරු කරන්නේ කවුද? “නුඹත් ගොස් එලෙසම කරපන්නැයි”27 යන ගැලවුම්කරුවාණන්ගේ ආයාචනයට ප්‍රතිචාර දක්වන්නේ කවුද?

අපි කරමු! ඔව්, සහෝදර සහෝදරියනි, අපි එසේ කරනවා.

ආගමික නිදහස වෙනුවෙන් සටන් කරන ලෙස මම ඔබට ආරාධනා කරනවා. එය දෙවියන්වහන්සේ විසින් දෙන ලද තෝරාගැනීමේ නිදහස යන මූලධර්මයේ ප්‍රකාශනයක්.

ආගමික නිදහස තරඟකාරී දර්ශන වලට සමතුලිතතාවය ගෙන එනවා. ආගමේ යහපත, එහි ප්‍රවේශය, සහ ආගම විසින් ප්‍රබෝධමත් කරන ප්‍රේමයේ දෛනික ක්‍රියාවන් වැඩිවන්නේ අප මූලික විශ්වාසයන් ප්‍රකාශ කිරීමට සහ ක්‍රියා කිරීමට ඇති නිදහස ආරක්ෂා කරන විට පමණයි.

රසල් එම්. නෙල්සන් දෙවියන්වහන්සේගේ ජීවමාන අනාගතවක්තෘවරයා බව මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙම සභාවට නායකත්වය දෙන බව සහ මගපෙන්වන බවට මම සාක්ෂි දරනවා. උන්වහන්සේ අපගේ පාප වලට වන්දිගෙවා, කුරුසියේ ඇණ ගසනු ලබා, තුන්වන දින නැවත නැඟිටුවනු ලැබුවා.28 උන්වහන්සේ නිසා, අපට සදාකාලයටම නැවත ජීවත් වෙන්න පුළුවන්; එසේ කැමති අයට ස්වර්ගයෙහි අපගේ පියාණන්වහන්සේ සමඟ සිටින්නට පුළුවන්. මේ සත්‍යය මම ප්‍රකාශ කරන්නේ මුළු ලෝකයටමයි. එසේ කිරීමට නිදහස ලැබීම ගැන මම ස්තූතිවන්ත වෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.