ප්‍රධාන සම්මන්ත්‍රණය
අපගේ හෘදයාංගම සියල්ල
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


අපගේ හෘදයාංගම සියල්ල

එයින් අදහස් කරන්නේ අපිට ජීවිතයේ සමබරතාවය සොයාගන්න අවශ්‍ය නම්, ඒවගේම ගැලවුම්කරුවාණන් අපිව ස්වර්ගය දෙසට ඔසවා තබනවාට අපි කැමති නම්, උන්වහන්සේට කෙරෙහි සහ උන්වහන්සේගේ ශුභාරංචිය කෙරෙහි අපේ කැපවීම සාමාන්‍ය දෙයක් හෝ ඉඳහිට වෙන දෙයක් වෙන්න බැහැ.

උන්වහන්සේට පූජාවක්

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපි වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතය දෙන්න දින කිහිපයකට කලින්, මිනිසුන් දේවමාළිගාවේ භාණ්ඩාගාරයට පිදුම් දමන ආකාරය නරඹමින්, උන්වහන්සේ යෙරුසලමේ දේවමාළිගාවේ සිටියා. “ධනවත් අය බොහෝ දෙනෙක් හුඟක් දැමුවා,” නමුත් පසුව, දුප්පත් වැන්දඹුවක් පැමිණ, “ශතයක් වටිනා සල්ලි දෙකක් දැමුවා.” එය එතරම් කුඩා මුදලක් නිසා, එය වාර්තා කිරීමට තරම් වටින්නේ නැති වෙන්න තිබුණා.

රූපය
වැන්දඹුවක් ශත දෙකක් පූජා කරමින්

නමුත් වැදගත්කමක් නැති ලෙස පෙනෙන මේ පිදුම ගැලවුම්කරුවාණන්ගේ අවධානයට ලක්වුණා. ඇත්තවශයෙන්ම, එය උන්වහන්සේට කොතරම් සිතට කාවැදුනාද කියනවා නම්, “ඔහු තම ගෝලයන් තමා වෙතට කැඳවා, ඔවුන්ට මෙසේ පැවසුවා: සැබවක් ඔබ සැමට කියමි, භාණ්ඩාගාරයට දැමූ සියල්ලන්ටම වඩා මේ දිළිඳු වැන්දඹුව වැඩිපුර දැමුවාය:

“මක්නිසාද ඒ සියල්ලෝ තමුන්ගේ වැඩිමනක් දෙයින් දැමුවෝය. නුමුත් මෑ වනාහි තමාගේ හිඟකමෙන් තමාගේ රක්ෂාවීමට තිබුණු සියල්ලම දැමුවායයි කීසේක.”1

මේ සරල නිරීක්ෂණය සමඟ, උන්වහන්සේගේ රාජ්‍යයේ පිදුම් මනින්නේ කෙසේදැයි ගැලවුම්කරුවාණන් අපට ඉගැන්වූ අතර—එය අප සාමාන්‍යයෙන් දේවල් මනින ආකාරයට වඩා හාත්පසින්ම වෙනස්. ස්වාමින්වහන්සේට අනුව, පිදුම් වල වටිනාකම මනිනු ලැබුවේ එය භාණ්ඩාගාරයට කරන බලපෑමෙන් නොවේ නමුත් එයින් දායකයාගේ හදවතට ඇති බලපෑම අනුවයි.

මේ ඇදහිලිවන්ත වැන්දඹුවට ප්‍රශංසා කළ ආකාරයෙන්, අපේ අනුගාමිකත්වය බොහෝ පැති වලින් මැනීමට ගැලවුම්කරුවාණන් විසින් අපිට ප්‍රමිතියක් ලබාදුන්නා. අපගේ පිදුම් විශාල හෝ කුඩා විය හැකියි, නමුත් ඒ කෙසේවෙතත්, එය අපේ මුළු හදවතින්ම විය යුතු බව යේසුස්වහන්සේ ඉගැන්නුවා.

මේ මූලධර්මය මොර්මොන්ගේ පොතේ අනාගතවක්තෘවරයෙකු වන අමලෙකිගේ ආයාචනයෙහි ප්‍රතිරාවය වෙනවා: “ඊශ්‍රායෙල්හි ශුද්ධ වූ තැනැන්වහන්සේ වන, ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ, උන්වහන්සේගේ ගැලවීමේ සහ උන්වහන්සේගේ මිදීමේ බලය ලබාගන්න. එසේය, උන්වහන්සේ වෙතට පැමිණෙන්න, තවද නුඹලාගේ මුළු ප්‍රාණයම උන්වහන්සේට පූජාවක් ලෙස ඔප්පු කරන්න.”2

නමුත් මෙය කළ හැක්කේ කෙසේද? අපෙන් බොහෝ දෙනෙකුට, මුළු ප්‍රාණයෙන්ම කැපවීමේ එවැනි ප්‍රමිතියක් ලඟාවිය නොහැකි දෙයක් ලෙස පෙනෙන්නට පුළුවන්. අපිට දැනටමත් අපේ අවධානය අවශ්‍ය වෙනත් බොහෝ දේ තිබෙනවා. අපේ මුළු ප්‍රාණයම ස්වාමින්වහන්සේට ඔප්පු කිරීමේ අපේ ආශාවන් සමඟ, අපි ජීවිතයේ ඇති වෙනත් බොහෝ ඉල්ලීම් සමතුලිත කරගන්නේ කොහොමද?

සමහරවිට, සමබරතාවය යනු තරඟකාරී අවශ්‍යතා අතර අපගේ කාලය ඒකාකාරව බෙදාගැනීම බව සිතීම තමයි, අපිට තිබෙන අභියෝගය. මේ ආකාරයෙන් බලන විට, අපගේ කාර්යබහුල කාලසටහන් වලට ගැලපීමට අවශ්‍ය බොහෝ දේවලින් එකක් වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අපගේ ඇති කැපවීමයි. නමුත් සමහරවිට ඒ දෙස බැලීමට තවත් ක්‍රමයක් තිබෙනවා.

සමබරතාවය: බයිසිකලයක් පදිනවා වගේ

මගේ බිරිඳ, හැරියට් සහ මම එකට බයිසිකල් පදින්න කැමතියි. එකට කාලය ගතකරන අතර යම් ව්‍යායාමයක් ලබාගන්න ඒක අපූරු ක්‍රමයක්. අපි බයිසිකල් පදින අතරදී, මම ඕනෑවට වඩා ඝෝෂා කරන්නේ නෑ, අපි අවට සුන්දර ලෝකය භුක්ති විඳිමින් ප්‍රසන්න සංවාදයක පවා යෙදෙනවා. අපගේ බයිසිකල් වල සමබරතාවය තියාගන්න අපිට අවධානය යොමුකරන්න වෙන්නේ හරිම කලාතුරකින්. අපි ඒ ගැන සිතන්නේවත් නැති තරමට අපි බොහෝ කාලයක් තිස්සේ බයිසිකල් පදිමින් සිටිනවා—ඒක දැන් අපිට සාමාන්‍ය සහ ස්වභාවික දෙයක්.

නමුත් කවුරුහරි පළමු වතාවට බයිසිකලයක් පදින්න ඉගෙනගන්නවා දකින සෑමවිටම, ඒ පටු රෝද දෙක මත සමබර වීම පහසු නොවන බව මට මතක්වෙනවා. එයට කාලය ගතවෙනවා. එයට පුහුණුව අවශ්‍ය වෙනවා. එයට ඉවසීම අවශ්‍ය වෙනවා. එයට වරක් හෝ දෙවරක් බිම වැටීම පවා අවශ්‍ය වෙනවා.

සියල්ලටම වඩා, බයිසිකලයක් මත සමතුලිත වීමට සමත් වෙන අය මේ වැදගත් ක්‍රමය ඉගෙනගන්නවා:

ඔබේ පාද දෙස බලන්න එපා.

ඉදිරිය බලන්න.

ඔබ ඉදිරියෙන් ඇති මාර්ගය දෙස ඔබේ ඇස් තබාගන්න. ඔබේ ගමනාන්තය කෙරෙහි අවධානය යොමුකරන්න. ඒවගේම පැඩල් කරන්න. සමබරව සිටීම කියන්නේ දිගටම ඉදිරියට යාම.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වශයෙන් අපගේ ජීවිත වල සමබරතාව සොයාගැනීමේදී මේ සමානම ප්‍රතිපත්ති අදාළ වෙනවා. ඔබගේ බොහෝ වැදගත් කාර්යයන් අතර ඔබේ කාලය හා ශක්තිය බෙදාහරින ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ ජීවිතයේ එක් සමයකින් තවත් සමයකට වෙනස් වෙනවා. නමුත් අපේ ස්වාමියා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මාර්ගය අනුගමනය කරමින්, ස්වර්ගයේ සිටින අපේ ආදරණීය පියාණන්වහන්සේ ඉදිරියට නැවත යාම තමයි අපේ පොදු සහ සමස්ත පරමාර්ථය. අපි කවුරු වුණත් ඒවගේම අපේ ජීවිතයේ වෙන කුමක් සිදුවුණත්, මේ පරමාර්ථය නියතව සහ ස්ථාවරව පැවතිය යුතුයි.3

ඔසවන්න: ගුවන් යානයක් පියාසර කරනවා වගේ

දැන්, බයිසිකල් පදින්න කැමති අයට, අනුගාමිකත්වය බයිසිකල් පැදීමකට සැසඳීම උපකාරවත් ප්‍රතිසමයක් වෙන්න පුළුවන්. එහෙම නැති අය, කණගාටු වෙන්න එපා. මට තවත් උපමාවක් තියෙනවා, මට විශ්වාසයි, සෑම පිරිමියෙකුටම, ස්ත්‍රියකටම සහ දරුවෙකුටම ඒක අදාළ කරගන්න පුළුවන් වෙයි.

ජීවිතයේ බොහෝ දේ මෙන්ම, අනුගාමිකත්වයත් ගුවන් යානයක පියාසර කිරීම එක්ක සසඳන්න පුළුවන්.

දැවැන්ත මගී ජෙට් යානයකට සැබවින්ම බිම සිට ඉහළට ගිහින් පියාසර කළ හැකි වීම කෙතරම් පුදුම සහගත දැයි ඔබ කවදා හෝ නැවතී කල්පනා කර තිබෙනවද? මෙම පියාසර යන්ත්‍ර සාගර සහ මහාද්වීප තරණය කරමින් අහස හරහා අලංකාර ලෙස ඉහළට ඔසවා තියන්නේ මොකක්ද?

සරලව කිවහොත්, ගුවන් යානයක් පියාසර කරන්නේ එහි පියාපත් මත වාතය ගමන් කරන විට පමණයි. එම චලනය ගුවන් යානයට එසවීම සඳහා වායු පීඩනයේ වෙනස්කම් ඇතිකරනවා. ඒවගේම ඉහළට එසවෙන්න තරම් ප්‍රමාණවත් වාතය පියාපත් හරහා ගමන් කරන්න ලබාගන්නේ කොහොමද? පිළිතුර තමයි ඉදිරි තෙරපුම.

ගුවන්යානය ධාවන පථයේ හිඳගෙන කිසිම උච්චත්වයක් ලබාගන්නේ නෑ. සුළං සහිත දිනයක වුණත්, එය පසුපසට තබාගෙන සිටින බලවේග වලට ප්‍රතිරෝධය දැක්වීමට ප්‍රමාණවත් තෙරපුමකින් ගුවන් යානය ඉදිරියට ගමන් කරන්නේ නම් මිස එසවීමක් සිදුවෙන්නේ නෑ.

ඉදිරියට යන පරාවර්තක ශක්තිය බයිසිකලයක් සමතුලිතව සහ කෙළින් තබාගන්නවා වගේම, ගුරුත්වාකර්ෂණයේ ආකර්ෂණය සහ පසුපසට ඇදීම පරදවන්න ගුවන්යානයකට උදව් වෙන්නේ ඉදිරියට ගමන් කිරීම.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් විදිහට අපිට මෙයින් අදහස් කරන්නේ මොකක්ද? එයින් අදහස් කරන්නේ අපිට ජීවිතයේ සමබරතාවය සොයාගන්න අවශ්‍ය නම්, ඒවගේම ගැලවුම්කරුවාණන් අපිව ස්වර්ගය දෙසට ඔසවා තබනවාට අපි කැමති නම්, උන්වහන්සේ කෙරෙහි සහ උන්වහන්සේගේ ශුභාරංචිය කෙරෙහි අපේ කැපවීම සාමාන්‍ය දෙයක් හෝ ඉඳහිට වෙන දෙයක් වෙන්න බැහැ. යෙරුසලමේ වැන්දඹුව වගේ, අපි අපේ මුළු ප්‍රාණයම උන්වහන්සේට ඔප්පු කළ යුතුයි. අපගේ පිදුම කුඩා විය හැකි නමුත් එය අපගේ හදවතින් සහ ප්‍රාණයෙන් පැමිණිය යුතුයි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු වීම අපි කරන බොහෝ දේවල් වලින් එකක් පමණක් නෙවේ. අපි කරන හැමදෙයක්ම පිටුපස ඇති අභිප්‍රේරණ බලය තමයි ගැලවුම්කරුවාණන්. උන්වහන්සේ අපේ ගමනේ විවේක ස්ථානයක් නෙවේ. උන්වහන්සේ දර්ශනීය අතුරු මාර්ගයක් හෝ ප්‍රධාන මාර්ග සලකුණක් නෙවේ. “මාර්ගයද සැබෑවද ජීවනයද [උන්වහන්සේයි], [යේසුස් ක්‍රිස්තුස්වහන්සේ] කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත.”4 මාර්ගය සහ අපගේ අවසාන ගමනාන්තය එයයි.

අපි “ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථිරව, බලාපොරොත්තුවේ පරිපූර්ණ දීප්තියකින්ද, දෙවියන්වහන්සේට සහ සියලු මනුෂ්‍යයන්ට ප්‍රේමයෙන්ද ඉදිරියට යන විට” සමතුලිතතාවය සහ එසවීම පැමිණෙනවා.5

පරිත්‍යාගය සහ කැපකිරීම

ඒවගේම අපේ ජීවිතය ඉතා කාර්යබහුල කරන බොහෝ කාර්යයන් සහ වගකීම් ගැන කියන්න පුළුවන් මොකක්ද? ආදරණීයයන් සමඟ කාලය ගතකිරීම, පාසල් යාම හෝ රැකියාවකට සූදානම් වීම, ජීවිකාව උපයා ගැනීම, පවුල රැකබලා ගැනීම, සමාජයට සේවය කිරීම—මේ සියල්ල ගැලපෙන්නේ කොතැනටද? ගැලවුම්කරුවාණන් අපිට මෙහෙම සහතික වෙනවා:

“මේ සියල්ල නුඹලාට ඕනෑ බව නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ දන්නා සේක.

“නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න, ඉන්පසු මේ සියල්ලත් නුඹලාට දෙනු ලැබෙන්නේය.”6

නමුත් ඉන් අදහස් වෙන්නේ එය පහසු බව නොවේ.7 ඒ සඳහා පරිත්‍යාගය සහ කැපකිරීම යන දෙකම අවශ්‍ය වෙනවා.

ඒ සඳහා සමහර දේවල් වලට යන්න දීලා අනිත් දේවල් වලට වැඩෙන්න ඉඩදෙන්න අවශ්‍ය වෙනවා.

පරිත්‍යාගය සහ කැපකිරීම කියන්නේ ශුද්ධ වූ දේවමාළිගාවේදී කීකරු වීමට අපි ගිවිසුම් තබාගන්න ස්වර්ගීය නීති දෙකක්. මෙම නීති දෙක සමාන නමුත් සර්වසම නැහැ. පරිත්‍යාග කිරීම කියන්නේ වඩා වටිනා දෙයක් වෙනුවෙන් යමක් අත්හැරීම. පුරාණ කාලයේදී, පැමිණෙන මෙසියස්වහන්සේට ගෞරව කිරීම සඳහා දෙවියන්වහන්සේගේ සෙනඟ තම රැළේ කුලුඳුල් පැටවුන්ව පරිත්‍යාග කළා. ඉතිහාසය පුරාම, ඇදහිලිවන්ත ශුද්ධවන්තයින් ගැලවුම්කරුවාණන් වෙනුවෙන් පුද්ගලික ආශාවන්, සුවපහසුව සහ ඔවුන්ගේ ජීවිත පවා පරිත්‍යාග කරලා තියෙනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සම්පූර්ණයෙන්ම අනුගමනය කරන්න අපි පරිත්‍යාග කරන්න අවශ්‍ය, ලොකු කුඩා දේවල් අපි හැමෝටම තියෙනවා.8 අපි සැබවින්ම අගය කරන දේවල් මොනවාද කියලා අපේ පරිත්‍යාග පෙන්නුම් කරනවා. පරිත්‍යාග පූජනීයයි, ඒවගේම ස්වාමින්වහන්සේ එයට ගෞරව කරනවා.9

කැපකිරීම අවම වශයෙන් එක් වැදගත් ආකාරයකින් හරි පරිත්‍යාගයට වඩා වෙනස්. අපි යමක් කැපකරද්දී, අපි එය පූජාසනය මත පරිභෝජනය කිරීමට තියන්නේ නෑ. ඒ වෙනුවට, අපි එය ස්වාමින්වහන්සේගේ සේවය සඳහා යොදාගන්නවා. අපි එය උන්වහන්සේට සහ උන්වහන්සේගේ ශුද්ධ අරමුණු සඳහා කැපකරනවා.10 ස්වාමින්හන්සේගේ රාජ්‍යය ගොඩනැගීමට තව තවත් ප්‍රයෝජනවත් වීමට, අපගේ දක්ෂතා වළලා දැමීම සහ ඒවා නානාවිධ ලෙස වැඩි කිරීම අතර වෙනස එයයි.11

ගැලවුම්කරුවාණන් වෙනුවෙන් අපේ ජීවිත පරිත්‍යාග කරන්න ඉල්ලුවොත් එහෙම ඉල්ලන්නේ අපෙන් ඉතාම ස්වල්ප දෙනෙක්ගෙන් විතරයි. නමුත් අපගේ ජීවිත උන්වහන්සේට කැපකිරීමට අපි හැමෝටම ආරාධනා කරලා තියෙනවා.

එක කාර්යයක්, එක සතුටක්, එක අරමුණක්

අපි අපේ ජීවිත පවිත්‍ර කරගැනීමටත් සෑම සිතුවිල්ලකදීම ක්‍රිස්තුස්වහන්සේ දෙස බැලීමටත් උත්සාහ කරන විට,12 අනෙක් සියල්ල එයට ගැලපෙන්නට පටන් ගනී. ජීවිතය තවදුරටත් දුර්වල සමතුලිතතාවයකින් යුත් වෙනම උත්සාහයක දිගු ලැයිස්තුවක් ලෙස දැනෙන එකක් නෑ.

කාලයත් එක්ක ඒ සියල්ල එකම කාර්යයක් බවට පත්වෙනවා.

එක සතුටක්.

එක ශුද්ධ වූ අරමුණක්.

ඒ තමයි දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමේ හා සේවය කිරීමේ කාර්යය. ඒ දෙවියන්වහන්සේගේ දරුවන්ට ප්‍රේම කිරීම සහ සේවය කිරීමයි.13

අපි අපේ ජීවිත දිහා බලලා කරන්න දේවල් සීයක් දැක්කම, අපිට හිතට බරක් දැනෙනවා. අපි එක දෙයක් දකිනකොට—දෙවියන්වහන්සේට සහ උන්ගේවහන්සේ දරුවන්ට ප්‍රේම කිරීම සහ සේවය කරන සියයක් ආකාර දකිනකොට—එවිට අපිට ඒ දේවල් කෙරෙහි ප්‍රීතියෙන් වැඩ කරන්න පුළුවන්.

අපව වළක්වන ඕනෑම දෙයක් පරිත්‍යාග කිරීමෙන් සහ ඉතිරිය ස්වාමින්වහන්සේට සහ උන්වහන්සේගේ අරමුණු වලට කැපකිරීමෙන්—අපි අපේ මුළු ප්‍රාණයම ඔප්පුකරන්නේ එහෙමයි.

දිරිගැන්වීමේ සහ සාක්ෂියේ වචනයක්

මගේ ආදරණීය සහෝදරයිනි, සහෝදරියනි, සහ මගේ ආදරණීය මිතුරනි, ඔබට තවත් යමක් කරන්න පුළුවන් වුණා නම් යැයි ඔබ සිතන අවස්ථා තිබෙන්න පුළුවන්. ස්වර්ගයේ සිටින ඔබේ ආදරණීය පියා ඔබේ හදවත දන්නවා. ඔබේ හදවතට කරන්නට අවශ්‍ය සියල්ල ඔබට කළ නොහැකි බව උන්වහන්සේ දන්නවා. නමුත් ඔබට දෙවියන්වහන්සේට ප්‍රේම කරමින් සේවය කරන්න පුළුවන්. උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට ඔබට හැකි උපරිමය කරන්න පුළුවන්. ඔබට උන්වහන්සේගේ දරුවන්ට ආදරය කිරීමට හා සේවය කිරීමට පුළුවන්. ඒවගේම ඔබේ උත්සාහයන් ඔබගේ හදවත පිරිසිඳු කරමින් තේජාන්විත අනාගතයක් සඳහා ඔබව සූදානම් කරනවා.

දේවමාළිගාවේ භාණ්ඩාගාරයේ වැන්දඹුව තේරුම් ගත් දේ මෙයයි. ඇගේ පිදුම ඊශ්‍රායලයේ වාසනාව වෙනස් නොකරන බව ඇය නිසැකවම දැන සිටියා, නමුත් එයට ඇයව වෙනස් කළ හැකියි—මොකද, ඉතා කුඩා වුවත්, ඒ ඈ සතු සියල්ලයි.

ඉතින්, මාගේ ප්‍රේමණීය මිත්‍රවරුනි එමෙන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමණීය සෙසු ගෝලයනි, අපි “මහත් කාර්යයකට අත්තිවාරම දමමින් සිටින නිසා [අපි] යහපත්කම් කිරීමෙන්” වෙහෙසට පත්නොවී සිටිමු. එමෙන්ම අපේ කුඩා දේවල් වලින් “ශ්‍රේෂ්ඨ දේ” සිදුවෙයි.14

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපේ ස්වාමියා, අපේ මිදුම්කරුවාණන්, සහ අපගේ ආදරණීය ස්වර්ගික පියාණන්වහන්සේ වෙතට යන අපේ එකම මාර්ගය බව මම සාක්ෂි දරනවා සේම, මෙයද සත්‍ය බව මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. මාර්ක් 12:41–44.

  2. ඔම්නි 1:26.

  3. තරුණයෙකු ලෙස “ප්‍රඥාවෙන් හා උස මහතින්ද දෙවියන්වහන්සේගෙත් මනුෂ්‍යයන්ගෙත් කරුණාවෙහිද වැඩුණු” (ලූක් 2:52) යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන විට, අපේ දරුවන්ට සහ තරුණයින්ට සමබර ලෙස වර්ධනය වීමට ආරාධනා කරනු ලැබෙනවා.

  4. යොහාන් 14:6.

  5. 2 නෙපි 31:20.

  6. 3 නෙපි 13:32–33; තවත් බලන්න මතෙව් 6:32–33. ජෝසෆ් ස්මිත් පරිවර්තනය, මතෙව් 6:38 අමතර අදහස් සපයයි: “මේ ලෝකයේ දේවල් නොසොයන්න, නමුත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගොඩනඟා උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පිහිටුවීමට පළමුවෙන් සොයන්න”

  7. එක් උදාහරණයක් අපගේ අනාගතවක්තෘවරයා වන සභාපති රසල් එම්. නෙල්සන්ගෙන් පැමිණෙයි. ඔහු හෘද ශල්‍ය වෛද්‍යවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතයේ උච්චතම අවස්ථාවෙහි සිටියදී ඔහුට ස්ටේක සභාපතිවරයෙක් ලෙස කැඳවීමක් ලැබුණි. වැඩිහිටි ස්පෙන්සර් ඩබ්. කිම්බල් සහ ලග්‍රෑන්ඩ් රිචර්ඩ්ස් විසින් මෙම කැඳවීම ඉදිරිපත් කරන ලදි. ඔහුගේ වෘත්තීය ජීවිතයේ අවශ්‍යතා හඳුනාගෙන, ඔවුන් ඔහුට පැවසුවේ, “ඔබ කාර්යබහුල බව ඔබට හැඟෙන්නේ නම් සහ කැඳවීම භාර නොගත යුතුයි කියා හැඟෙන්නේ නම්, එය ඔබේ නිදහසයි.” ඔහු පිළිතුරු දුන්නේ ඔහු සහ ඔහුගේ භාර්යාව ස්වාමින්වහන්සේ සමඟ දේවමාළිගා ගිවිසුම් ඇතිකරගත් විට, කැඳවන විට සේවය කරනවාද නැද්ද යන්න පිළිබඳ ඔහුගේ තීරණය බොහෝ කලකට පෙර ගනු ලැබූ බවයි. ඔහු මෙසේ කීවේය, “ස්වාමින්වහන්සේ පොරොන්දු වූ ලෙස, අපිට අනෙක් හැමදෙයක්ම ලැබෙයි යන හැඟීමේ විශ්වාසයෙන්, පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්නට [මතෙව් 6:33], අපි ඒ මොහොතේ පොරොන්දුවක් වුණා.”(Russell Marion Nelson, From Heart to Heart: An Autobiography [1979], 114).

  8. සභාපති නෙල්සන් මෑතකදී කතා කළේ “අපි සෑමකෙනෙක්ම අපේ ජීවිත වල පැරණි සුන්බුන් ගැලවුම්කරුවාණන්ගේ උපකාරයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවයයි. … ඔහු මෙසේ පැවසුවේය, “ඔබට වඩාත් සුදුසු වීමට හැකිවනු පිණිස, ඔබේ ජීවිතයෙන් ඉවත් කළ යුතු සුන්බුන් හඳුනාගැනීමට යාච්ඤා කරන ලෙස මම ඔබට ආරාධනා කරනවා” (“පිළිගැනීමේ පණිවිඩය,” ලියහෝනා, මැයි 2021, 7).

  9. ශුද්ධලියවිලි වල පවසන්නේ දෙවියන්වහන්සේට අපගේ කැපකිරීම් අපගේ ජයග්‍රහණ වලට වඩා පරිශුද්ධ බවයි (බලන්න දහම සහ ගිවිසුම් 117:13). ධනවතුන්ගේ දායකත්වයට වඩා වැන්දඹුවගේ සතය ස්වාමින්වහන්සේ අගය කිරීමට මෙය එක් හේතුවක් විය හැකිය. පළමුවැන්න පරිත්‍යාගයක් වූ අතර, එය දෙන්නා කෙරෙහි පවිත්‍ර බලපෑමක් ඇතිකරයි. දෙවැන්න, එය වඩාත් මූල්‍යමය වශයෙන් ඉටුකර තිබිය හැකි වුවද, පූජාවක් නොවිය හැකි අතර, එය දෙන තැනැත්තාව වෙනස් කළේ නැත.

  10. ගැලවුම්කරුවාණන් වෙනුවෙන් අපේ ජීවිත පරිත්‍යාග කරන්න ඉල්ලා සිටියොත් එසේ ඉල්ලන්නේ අපෙන් ඉතාම ස්වල්ප දෙනෙක්ගෙන් පමණයි. නමුත් අපගේ ජීවිත උන්වහන්සේට කැපකිරීමට අපි හැමෝටම ආරාධනා කර ඇත.

  11. බලන්න මතෙව් 25:14–30.

  12. බලන්න දහම සහ ගිවිසුම් 6:36.

  13. මේ ආකාරයෙන්, ප්‍රේරිත පාවුල්ගේ අනාවැකියේ ඉටුවීමක් අපගේ ජීවිත තුළ අපි දකින්නෙමු: “පූර්ණ කාලයේ කාලපරිච්ඡේදය තුළ [දෙවියන්වහන්සේ] ස්වර්ගයෙහි දේවල්ද පොළොවෙහි දේවල්ද යන සියල්ල ක්‍රිස්තුස්වහන්සේ තුළ ඒකරාශී කරන්න සේක” (එපීස 1:10).

  14. දහම සහ ගිවිසුම් 64:33.