ප්‍රධාන සම්මන්ත්‍රණය
අප සැමටම කතාවක් ඇත
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


අප සැමටම කතාවක් ඇත

කරුණාකර ඔබේ පවුල, ඔබේ සියලු පරම්පරාවන් සොයාගෙන ඔවුන්ව නිවසට ගෙන්වාගන්න.

මිතුරනි, සහෝදර සහෝදරියනි, අපි හැමෝටම කතාවක් තියෙනවා. අපි අපේ කතාව සොයාගන්නා විට, අපි සම්බන්ධ වෙනවා, අපි අයිති වෙනවා, අපි ඒ බවට පත්වෙනවා.

මගේ නම ජෙරිට් වෝල්ටර් ගොන්ග්. ජෙරිට් කියන්නේ ලන්දේසි නමක්, වෝල්ටර් (මගේ පියාගේ නම) අමෙරිකානු නමක්, ඒවගේම ගොං කියන්නේ ඇත්තටම චීන නමක්.

බිලියන 70–110 ක පමණ ජනතාවක් පොළොවේ ජීවත් වී ඇති බව විශේෂඥයන් ඇස්තමේන්තු කර තිබෙනවා. සමහරවිට ජෙරිට් වෝල්ටර් ගොන්ග් කියලා නම තියෙන්නේ එක්කෙනෙකුට විතරක් වෙන්න පුළුවන්.

අපි හැමෝටම කතාවක් තියනවා. මම “මගේ මුහුණට වැටෙන වැස්සට [සහ] වේගයෙන් ගලා යන සුළඟට”1 කැමතියි. මම ඇන්ටාක්ටිකාවේ පෙන්ගුවින්ලා සමඟ ඇවිදලා තියෙනවා. මම ග්වාතමාලාවේ අනාථ දරුවන්ට, කාම්බෝජයේ වීදි ළමයින්ට, අප්‍රිකානු මරාහි මසායි කාන්තාවන්ට ඔවුන්ගේම පළමු ඡායාරූපය ඔවුන්ට ලබාදුන්නා.

අපේ සෑම දරුවෙකුම ඉපදෙන විට—වෛද්‍යවරයා මට උදව් කළ පසු—මම රෝහලේ බලා සිටියා.

මම දෙවියන්වහන්සේව විශ්වාස කරනවා. “[අපි] පැවතෙන්නේ, [අපට] ප්‍රීතිය ලබාගන්නා පිණිස”2 බවත්, ස්වර්ගය යට සෑම දෙයකටම වේලාවන් සහ කාලවල් ඇති බවත්, මම විශ්වාස කරනවා.3

ඔබ ඔබේ කතාව දන්නවද? ඔබේ නමේ තේරුම මොකක්ද? ලෝක ජනගහනය 1820 දී බිලියන 1.1 සිට 2020 දී බිලියන 7.8 දක්වා වර්ධනය වුණා.4 1820 වර්ෂය කියන්නේ ඉතිහාසයේ විභේදන ලක්ෂ්‍යයක් බව පේනවා. 1820 න් පසු උපන් බොහෝ දෙනෙකුට පවුලේ පරම්පරා කිහිපයක් හඳුනාගැනීමට ජීවමාන මතකයන් සහ වාර්තා තිබෙනවා. ආච්චි හෝ සීයා සහ වෙනත් පවුලේ සාමාජිකයෙකු සමඟ විශේෂ, මිහිරි මතකයක් ගැන ඔබට සිතන්නට පුලුවන්ද?

පොළොවේ ජීවත් වූ මුළු පුද්ගලයින් සංඛ්‍යාව කීය වුවත්, එය සීමිත, වරකට එක් අයෙකු බැගින්, ගණන් කළ හැකි ගණනක්. ඔබ සහ මම, අපි සෑම කෙනෙකුම වැදගත්.

කරුණාකර මෙය සලකා බලන්න: අපි ඔවුන්ව දැන සිටියත් නැතත්, අපි සෑම කෙනෙකුම මවකගෙන් සහ පියෙකුගෙන් උපත ලබා තිබෙනවා. ඒවගේම ඒ සෑම මවක් සහ පියෙක්ම තවත් මවකගෙන් සහ පියෙකුගෙන් උපත ලබා තිබෙනවා.5 උපත හෝ දරුකමට හදාගත් පෙළපත අනුව, අපි සියල්ලන්ම අවසානයේ දෙවියන්වහන්සේගේ පවුල සහ මිනිස් පවුල තුළ සම්බන්ධ වෙනවා.

ක්‍රි.ව. 837 දී උපත ලද, මගේ 30 වැනි සීයා, පළමු ඩ්‍රැගන් ගොන්ග්, දකුණු චීනයේ අපේ පවුල් ගම්මානය ආරම්භ කළා. මම පළමු වතාවට ගොන්ග් ගම්මානයට ගිය විට මිනිසුන් පැවසුවේ “වෙන්හාන් හුයිලයිලේ” (“ජෙරිට් ආපසු පැමිණ ඇත”) ලෙසයි.

මගේ මවගේ පැත්තෙන්, තවත් සොයාගැනීමට තිබෙන ඒවා සමඟ, අපගේ ජීවමාන පවුල් ගසට දහස් ගණනක් පවුල් නම් ඇතුළත් වෙනවා.6 අපි සෑම කෙනෙකුම සම්බන්ධ විය යුතු තවත් පවුල් තිබෙනවා. ඔබේ ලොකු නැන්දා ඔබේ පවුලේ සියලුම පෙළපත් සම්පූර්ණ කර ඇතැයි ඔබ සිතන්නේ නම්, කරුණාකර ඔබේ ඥාති සහෝදරයන් සහ ඔවුන්ගේත් සහෝදරයන්ව සොයාගන්න. පවුල් සෙවුමේ දැන් එහි සබැඳි එකතුවේ ඇති බිලියන 10 සෙවිය හැකි නම් සහ එහි පවුල් ගසෙහි සිටින බිලියන 1.3 පුද්ගලයින් සමඟ ඔබේ ජීවමාන මතක පවුල් නම් සම්බන්ධ කරන්න.7

රූපය
මුල් සහ අතු සහිත ජීවන ගස

ජීවත් වන අයගේ පවුල්-ගසක් ඇඳීමට මිතුරන් හෝ පවුලේ අයගෙන් ඉල්ලා සිටින්න. සභාපති රසල් එම්. නෙල්සන් උගන්වන පරිදි, ජීවමාන පවුල්-ගස් වලට මුල් සහ අතු තිබෙනවා.8 ඔබ ඔබේ පළමු හෝ දස-වැනි දන්නා පරම්පරාව වුවත්, හෙට සඳහා ඊයේ දවස සම්බන්ධ කරන්න. ඔබේ ජීවමාන පවුල් ගසේ මුල් සහ අතු සම්බන්ධ කරන්න.9

“ඔබ කොහෙන්ද?” යන ප්‍රශ්නය පරම්පරාව, උපන් ස්ථානය, සහ උපන් රට, හෝ නිජබිම ගැන අහනවා. ගෝලීය වශයෙන්, අපේ මව්බිම ලෙස අපෙන් සියයට 25 ක් චීනයටත්, සියයට 23 ක් ඉන්දියාවටත්, සියයට 17 ක් අනෙකුත් ආසියා ප්‍රදේශ වලට සහ පැසිෆික් කලාපයටත්, සියයට 18 ක් යුරෝපයටත්, සියයට 10 ක් අප්‍රිකාවටත්, සියයට 7 ක් අමෙරිකාවටත් ගමන් කරනවා.10

“ඔබ කොහෙන්ද?” යන ප්‍රශ්නය, අපේ දිව්‍යමය අනන්‍යතාවය සහ ජීවිතයේ අධ්‍යාත්මික අරමුණ සොයාගැනීමටද අපිට ආරාධනා කරනවා.

අපි හැමෝටම කතාවක් තියනවා.

මම දන්නා පවුලක් කැනඩාවේ විනිපෙග් හි පිහිටි ඔවුන්ගේ පැරණි නිවසට ගිය විට පවුල් පරම්පරා පහක් සම්බන්ධ කළා. එහිදී ධර්මදූතයින් දෙදෙනෙකු (ඔහු ඔවුන්ව ස්වර්ගයේ සිට දේවදූතයන් ලෙස හැඳින්වූවා) ඔවුන්ගේ පවුල සදහටම වෙනස් කරමින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටවූ ශුභාරංචිය ගෙන ආ දිනය ගැන එම සීයා තම මුණුබුරන්ට පැවසුවා.

ඔවුන්ගේ ආච්චිගේ මවගෙන් ඇගේ ළමා අත්දැකීම් ගැන විමසීමට මා දන්නා හඳුනන මවක් තම දරුවන්ට සහ ඔවුන්ගේ ඥාති සොහොයුරන්ට ආරාධනා කළා. ලොකු ආච්චිගේ වික්‍රමාන්විතයන් සහ ජීවිත පාඩම් දැන් පරම්පරා එක්සත් කරන නිධන්ගත පවුල් පොතක්.

මම දන්න තරුණයෙක් “තාත්තාගේ දිනපොත” යනුවෙන් එකක් සම්පාදනය කරනවා. වසර ගණනාවකට පෙර මෝටර් රථයක් හැපී ඔහුගේ පියා මියගියා. දැන්, ඔහුගේ පියාව දැනගැනීමට, මෙම දිරිය තරුණයා ළමා මතකයන් සහ පවුලේ අයගෙන් සහ මිතුරන්ගෙන් කථා ලබාගෙන ඒවා සංරක්ෂණය කරනවා.

ජීවිතයේ අරුත ලැබෙන්නේ කොතැනින්දැයි ඇසූ විට, බොහෝ අය පවුලට මුල්තැන දෙනවා.11 මෙයට ජීවත් වන සහ හැරගිය පවුල ඇතුළත්. ඇත්තවශයෙන්ම, අප මියගිය විට, අපේ පැවැත්ම නතර වෙන්නේ නෑ. අපි දිගටම තිරයෙන් අනෙක් පස ජීවත් වෙනවා.

තවමත් ජීවතුන් අතර සිටින, අපගේ මුතුන් මිත්තන්ව සිහිපත් කළ යුතුයි.12 වාචික ඉතිහාස, වංශ වාර්තා, සහ පවුල් කථා, ස්මාරක හෝ අනුස්මරණ ස්ථාන, සහ ඡායාරූප, ආහාර, හෝ ආදරණීයයන්ව අපට මතක්කර දෙන භාණ්ඩ සමඟ සැමරුම් හරහා අපි අපගේ උරුමය සිහිපත් කරනවා.

ඔබ ජීවත් වන ස්ථානය ගැන සිතන්න—ඔබේ රට සහ ප්‍රජාව මුතුන් මිත්තන්, පවුලේ අය, සේවය කළ සහ කැප කළ වෙනත් අය සිහිපත් කරන ආකාරය සහ ගෞරව කරන ආකාරය පුදුම සහගතයි නේද? නිදසුනක් වශයෙන්, එංගලන්තයේ ඩෙවොන්ෂයර් හි දකුණු මෝල්ටන් හි සරත් සෘතුවේ අස්වැන්න සිහිපත් කරන උත්සවයේදී, ගොන්ග් සහෝදරිය සහ මම අපගේ බව්ඩන් පවුල පරම්පරා ගණනාවක් ජීවත් වූ කුඩා පල්ලිය සහ ප්‍රජාව සොයාගැනීම ගැන සතුටු වුණා. දේවමාළිගා සහ පවුල් ඉතිහාස කටයුතු13 තුළින් ස්වර්ගයන් විවෘත කිරීමෙන් සහ අපේ පරම්පරා දාමය එක් කරන පුරුකක්14 බවට පත්වීමෙන් අපි අපේ මුතුන්මිත්තන්ට ගෞරව කරනවා.15

“මම මාව තෝරාගන්නවා” ලෙස පවසන මේ යුගයේ පරම්පරා, අර්ථවත් ආකාරයෙන් සම්බන්ධ වන විට සමාජයට ප්‍රතිලාභ ලැබෙනවා. අපිට පියාපත් ලබාගන්නට නම්—සැබෑ සබඳතා, අර්ථවත් සේවය, ක්ෂණික සමාජ මාධ්‍ය ආවරණ වලින් ඔබ්බට ජීවිතය වැනි මුල් අපට අවශ්‍ය වෙනවා.

අපගේ මුතුන් මිත්තන් සමඟ සම්බන්ධ වීමෙන් අපගේ ජීවිත පුදුම සහගත ලෙස වෙනස් කළ හැකියි. ඔවුන්ගේ පරීක්ෂාවන් සහ ජයග්‍රහණ වලින්, අපි ඇදහිල්ල හා ශක්තිය ලබාගන්නවා.16 ඔවුන්ගේ ආදරය හා කැපකිරීම් වලින්, අපි සමාව දී ඉදිරියට යාමට ඉගෙනගන්නවා. අපේ දරුවන් ප්‍රත්‍යස්ථ වෙනවා. අපට ආරක්ෂාව සහ බලය ලැබෙනවා. මුතුන්මිත්තන් සමඟ සබඳතා පවුලේ සමීපත්වය, කෘතඥතාව, ප්‍රාතිහාර්යයන් වැඩි කරනවා. එවැනි බැඳීම් වලට තිරයේ අනෙක් පැත්තෙන් උපකාර ගෙන එන්නට පුළුවන්.

පවුල් වලට සතුට එනවා වගේ දුකත් ඇතිවෙන්න පුළුවන්. කිසිම පුද්ගලයෙක් සර්ව සම්පූර්ණ නැහැ, කිසිම පවුලක් එහෙම නැහැ. අපට ආදරය කළ යුතු, පෝෂණය කළ යුතු, සහ ආරක්‍ෂා කළ යුතු අය එසේ කිරීමට අපොහොසත් වූ විට, අපට අත්හැරීමක්, ලැජ්ජාවක්, වේදනාවක් දැනෙනවා. පවුලට හිස් කවචයක් බවට පත්වෙන්න පුළුවන්. එහෙත්, ස්වර්ගයේ උපකාරය ඇතුව, අපට අපගේ පවුල තේරුම්ගෙන එකිනෙකා සමඟ සාමය ඇතිකරගන්න පුළුවන්.17

සමහරවිට ස්ථිර පවුල් සබඳතා සඳහා නොසැලෙන කැපවීම දුෂ්කර දේ ඉටුකිරීමට අපිට උදව් කරනවා. සමහර අවස්ථා වලදී සමාජය පවුලක් බවට පත්වෙනවා. නිතර පදිංචිය වෙනස් කළ කරදරයට පත්වූ පවුලක කැපීපෙනෙන තරුණ කාන්තාවක්, ඇය ගිය ඕනෑම තැනක ඇයව පෝෂණය කිරීමට සහ ඇයට තැනක් දීමට ආදරණීය සහා පවුලක් සොයාගත්තා. ජාන සහ පවුල් රටා අපට බලපාන නමුත් ඒවා අපි කවුද කියලා තීරණය කරන්නේ නෑ.

දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අපේ පවුල් සතුටින් සදාකාලිකව පවතිනවාටයි. අපි එකිනෙකාව අසතුටට පත්කරනවා නම් සදාකාලය දිග වැඩියි. ආදරණීය සබඳතා මේ ජීවිතය සමඟ නතර වුවහොත් සතුට කෙටි වැඩියි. පරිශුද්ධ ගිවිසුම් තුළින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපව වෙනස් කිරීමට සහ අපගේ සබඳතා සුවපත් කිරීමට උන්වහන්සේගේ ප්‍රේමය, බලය, සහ කරුණාව පිරිනමනවා. ආදරණීයයන් සඳහා පරාර්ථකාමී දේවමාළිගා සේවය අපගේ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම ඔවුන්ට සහ අපට යතාර්ථයක් කරනවා. ශුද්ධ වීමෙන්, සදාකාලිකව එක්සත් වූ පවුල් ලෙස අපට දෙවියන්වහන්සේගේ අභිමුඛයට ආපසු නිවසට යන්න පුළුවන්.19

අප විසින් පරිකල්පනයට එහා ගිය හැකියාවන් සොයමින්, නිර්මාණය කරමින්, සහ ඒ බවට පත්වන විට, අපගේ සෑම කථාවක්ම තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින ගමනක්.

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් මෙසේ පැවසුවා, “පොළොවෙහි සහ ස්වර්ගයෙහි වාර්තා කරන හෝ බඳිනු ලබන බලයක් ලෙස—අපි කතා කරන එය සමහරෙක්ට ඉතා තද දහමක් ලෙස පෙනෙන්නට හැකිය.”20 අපි මෙහි ඇතිකරන සමාජභාවයට එහි සදාතනික තේජසකින් පවතින්න පුළුවන්.21 ඇත්තවශයෙන්ම, “[අපගේ පවුලේ සාමාජිකයන්] නොමැතිව අපව සම්පූර්ණ කරනු ලැබිය නොහැක්කේය; එලෙසම අප නොමැතිව ඔවුන්වද සම්පූර්ණ කරනු ලැබිය නොහැක්කේය,” එලෙසම “එය පූර්ණ සහ සම්පූර්ණ සහ සර්වසම්පූර්ණ එකතුවක්.”22

දැන් අපට කළ හැක්කේ කුමක්ද?

පළමුව, සදාකාලිකත්වයේ දර්පණ දෙකක් අතර ඔබේ රූපය නැවත නැවතත් පිළිබිඹු වන බව සිතන්න. එක් දිශාවකින්, ඔබව දියණියක්, මිණිබිරියක්, මී මිණිබිරියක් ලෙස සිතාගන්න; අනෙක් පැත්තෙන්, නැන්දෙක්, මවක්, ආච්චි කෙනෙක් ලෙස ඔබ දෙස බලා සිනාසෙන්න. කාලය කෙතරම් ඉක්මනින් ගෙවී යනවද! සෑම අවස්ථාවක් සහ භූමිකාවක් තුළම, ඔබ සමඟ සිටින්නේ කවුරුන්ද යන්න සැලකිල්ලට ගන්න. ඔවුන්ගේ ඡායාරූප, සහ කතන්දර එකතු කරන්න; ඔවුන්ගේ මතකයන් සැබෑවක් කරන්න. ඔවුන්ගේ නම්, අත්දැකීම්, විශේෂ දින වාර්තා කරන්න. ඔවුන් ඔබේ පවුලයි—ඔබට සිටින පවුල සහ ඔබට අවශ්‍ය පවුල ඔවුනුයි.

ඔබ පවුලේ සාමාජිකයන් සඳහා දේවමාළිගාවේ නියෝග ඉටුකරන විට, එලයිජාගේ ආත්මය, පවුලේ දිව්‍යමය ස්වභාවය පිළිබඳ සාක්ෂි දරන ශුද්ධාත්මයාණන්ගේ ප්‍රකාශනය,23 ඔබේ පියවරුන්, මව්වරුන්, සහ දරුවන්ගේ හදවත් ආදරයෙන් බැඳ තබයි.24

දෙවනුව, පවුල් ඉතිහාසයේ වික්‍රමය හිතාමතාම සහ සිය කැමැත්තෙන් විය යුතුයි. ඔබේ ආච්චිට කතාකරන්න. ඒ අලුත් බිලිඳාගේ දෑස් දෙස ගැඹුරින් බලන්න. ඔබේ ගමනේ සෑම අදියරකදීම— සදාකාලිකත්වය සොයාගන්න—වෙලාව හදාගන්න. ඔබේ පවුලේ උරුමය කෘතඥතාවයෙන් හා අවංකව ඉගෙනගන්න සහ පිළිගන්න. සමරන්න සහ ධනාත්මක වන්න, අවශ්‍ය විට, සෘණාත්මක දේට ලඟා නොවීමට නිහතමානීව හැකි සෑම දෙයක්ම කරන්න. යහපත් දේට ඔබ සමඟ ආරම්භ වීමට ඉඩදෙන්න.

තෙවනුව, FamilySearch.org වෙත පිවිසෙන්න. පවතින ජංගම යෙදුම් බාගන්න. ඒවා නොමිලේ හම්බෙනවා ඒවගේම විනෝදජනකයි. සොයාගන්න, සම්බන්ධ වෙන්න, අයිති වෙන්න. ඔබ කාමරයක සිටින පුද්ගලයින්ට සම්බන්ධ වන්නේ කෙසේදැයි බලන්න, ඔබේ ජීවමාන පවුල් ගසට නම් එකතු කිරීම, ඔබේ මුල් සහ අතු සොයා ආශිර්වාද කිරීම කොතරම් පහසු සහ ප්‍රතිලාභදායකද.

හතරවනුව, සදාකාලිකව පවුල් එක්සත් කිරීමට උපකාර කරන්න. ස්වර්ගයේ ජනවිකාශනය මතක තබාගන්න. තිරයේ මේ පැත්තට වඩා එහා පැත්තේ තව ගොඩක් පිරිසක් ඉන්නවා. දේවමාළිගා වැඩි ප්‍රමාණයක් අපට ලඟා වන විට, දේවමාළිගා නියෝග ලැබෙන තුරු බලා සිටින අයට ඒවා ලබාගැනීමට කරුණාකර අවස්ථාව ලබාදෙන්න.

පාස්කු ඉරිදා දින සහ සෑමවිටම පොරොන්දුව වන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් සහ උන්වහන්සේ තුළින් අපට අපගේ හොඳම කතාව බවට පත්විය හැකි අතර අපගේ පවුල් වලට සතුටින් හිඳිමින් හා සදාකාලික විය හැකි බවයි. අපගේ සියලු පරම්පරා වලදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බිඳුණු සිත් ඇති අයව සුව කරනවා, වහලුන් මුදාහරිනවා, තුවාල වූ අයට නිදහස ලබාදෙනවා.25 දෙවියන්වහන්සේ සහ එකිනෙකා සමඟ ඇති ගිවිසුමට අයත්වීමට,26 අපගේ ආත්මය සහ ශරීරය නැවත නැගිටීමේදී නැවත එක්වන බව දැනගැනීම සහ අපගේ වටිනාම සබඳතා වලට මරණයෙන් ඔබ්බට ප්‍රීතියෙන් ඔබ්බට යා හැකි බව ඇතුළත් වෙනවා.27

අපි හැමෝටම කතාවක් තියනවා. ඇවිත් ඔබේ කතාව සොයාගන්න. ඇවිත් උන්වහන්සේ තුළ ඔබේ හඬ, ඔබේ ගීතය, ඔබේ සුසංයෝගය සොයාගන්න. දෙවියන්වහන්සේ ස්වර්ගයන් සහ පොළොව මැවූයේත් ඒවා යහපත් බව දුටුවේත් මේ අරමුණ සඳහායි.28

දෙවියන්වහන්සේගේ ප්‍රීතියේ සැලැස්ම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම, උන්වහන්සේගේ ශුභාරංචිය, සහ සභාව තුළ අඛණ්ඩ නැවත පිහිටවීම ගැන ප්‍රශංසා කරන්න. කරුණාකර ඔබේ පවුල, ඔබේ සියලු පරම්පරාවන් සොයාගෙන ඔවුන්ව නිවසට ගෙන්වාගන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උතුම් හා ශුද්ධ වූ නාමයෙන් ආමෙන්.

සටහන්

  1. “My Heavenly Father Loves Me,” Children’s Songbook, 228.

  2. 2 නෙපි 2:25.

  3. බලන්න දේශනාකාරයා 3:1.

  4. Based on United Nations Secretariat, The World at Six Billion (1999), 5, table 1; “World Population by Year,” Worldometer, worldometers.info.

  5. ශාරීරිකව ඔවුන්ව දරා නොගත් දෙමාපියන්ගෙන් බොහෝ දෙනෙකු ආශිර්වාද ලබා ඇත, නමුත් ඔවුන් ආදරය හා දරුකමට හදාගැනීමේ බැඳීම් සහ පූජනීය මුද්‍රා තැබීමේ ගිවිසුම් මගින් පවුලක් ලෙස එකතු වෙති.

  6. පවුල් නම් විශාල සංඛ්‍යාවක් පවුල් ගස් බවට සංවිධානය කිරීමට ක්‍රම සොයාගන්නා අයට මම ප්‍රශංසාව පළ කරමි.

  7. 2021 දී, පොදු පවුල් ගස් සඳහා නම් මිලියන 99 ක් පමණ එකතු කරන ලදි. එමෙන්ම මෑතකදී, ආසන්න වශයෙන් නම් බිලියන 37 ක් (සමහර අනුපිටපත් සහිත) අඩංගු මයික්‍රෝ ෆිල්ම් රෝල් මිලියන 2.4 ක ඩිජිටල්කරණය සම්පූර්ණ කරන ලදි. මෙම පුද්ගල නාම ලේඛන දැන් සෙවීමට, සොයාගැනීමට, සහ මනුෂ්‍යත්වයේ පවුල් ගසට එකතු කිරීමට සූදානම් කළ හැකිය.

  8. බලන්න Russell M. Nelson, “Roots and Branches,” Liahona, May 2004, 27–29.

  9. ඇත්තවශයෙන්ම, අපි අපේ ජීවමාන පවුල් ගස සොයාගෙන ගොඩනගන විට, ජීවත්වන සහ මියගිය පවුලේ සාමාජිකයින්ගේ, පෞද්ගලිකත්වය සහ ස්වේච්ඡා සහභාගීත්වය සඳහා සියයට සියයක ගෞරවයක් කරුණාකර පවත්වා ගන්න.

  10. David Quimette extrapolated these numbers, based on Angus Maddison, The World Economy: A Millennial Perspective (2001), 241, table B-10.

  11. බලන්න Laura Silver and others, “What Makes Life Meaningful? Views from 17 Advanced Economies,” Pew Research Center, Nov. 18, 2021, pewresearch.org.

  12. 1 නෙපි 9:5; 1 නෙපි 19:3; මොර්මොන්ගේ වචන 1:6–7; සහ ඇල්මා 37:2 අනාගත පරම්පරාවට ආශිර්වාද කිරීම ඇතුළුව “ඥානවන්ත අරමුණක් සඳහා” වාර්තා තබාගැනීම සහ මතක තබාගැනීම ගැන කතා කරයි.

  13. බලන්න Russell M. Nelson and Wendy W. Nelson, “Open the Heavens through Temple and Family History Work,” Ensign, Oct. 2017, 34–39; Liahona, Oct. 2017, 14–19; තවත් බලන්න “RootsTech Family Discovery Day—Opening Session 2017” (video), ChurchofJesusChrist.org.

  14. බලන්න දහම සහ ගිවිසුම් 128:18.

  15. බලන්න Gordon B. Hinckley, “Keep the Chain Unbroken” (Brigham Young University devotional, Nov. 30, 1999), speeches.byu.edu. ඩේවිඩ් ඒ. බෙඩ්නර්ගේ වචන සභාපති හින්ක්ලිද උපුටා දක්වා ඇත, “A Welding Link” (worldwide devotional for young adults, Sept. 10, 2017), broadcasts.ChurchofJesusChrist.org.

  16. නිදසුනක් වශයෙන්, අපේ පවුල තුළ, එංගලන්තයේ ඩෙවොන්ෂයර්හි හෙන්රි බව්ඩන්, සාරා හොවාර්ඩ් සමඟ විවාහ වූ අතර, ඇය ඇයගේ පවුල සභාවට බැඳීමෙන් පසු ඇගේ පවුලේ අය සමඟ සංක්‍රමණය විය. සාරා නව යොවුන් වියේදී ශාන්ත ලුවී හි සිටියදී, ඇගේ පියා, මව, සහ සහෝදර සහෝදරියන් පස්දෙනා මිය ගියහ. හෙන්රි සහ සාරාට දරුවන් 10 දෙනෙක් සිටියෝය. සාරා හෙන්රිගේ පළමු බිරිඳ වන ඈන් අයර්ලන්ඩ්ගේ මරණයෙන් පසු එම දරුවන් හය දෙනාවද ඇතිදැඩි කළාය. සාරා ඇගේ (සාරාගේ) ලේලියගේ අභාවයෙන් පසු කුඩා මිණිබිරියන් දෙදෙනෙකුගේ මවක්ද විය. ජීවිතයේ බොහෝ අභියෝග තිබියදීත්, සාරා උණුසුම්, ආදරණීය, දයානුකම්පිත සහ ඇත්තවශයෙන්ම ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළාය. ඇයව ආදරයෙන් හැඳින්වූයේ “පුංචි ආච්චි” යනුවෙනි.

  17. දුෂ්කර වුවත්, ක්‍රිස්තුස්වහන්සේගේ උපකාරයෙන් අප අපට සහ එකිනෙකාට සමාවදෙන විට, අපි “දෙවියන්වහන්සේගේ දරුවන්” බවට පත්වන්නෙමු (මතෙව් 5:9).

  18. නිදසුනක් සඳහා, බලන්න, මොසායා 3:19.

  19. බලන්න “පවුල: ලෝකයට ප්‍රකාශනයකි,” ChurchofJesusChrist.org.

  20. දහම සහ ගිවිසුම් 128:9.

  21. බලන්න දහම සහ ගිවිසුම් 130:2.

  22. දහම සහ ගිවිසුම් 128:18.

  23. Russell M. Nelson, “A New Harvest Time,” Ensign, May 1998, 34; තවත් බලන්න Russell M. Nelson and Wendy W. Nelson, “Open the Heavens through Temple and Family History Work,” 16–18.

  24. බලන්න මොසායා 18:21.

  25. බලන්න ලූක් 4:18.

  26. පවුල සඳහා වන හෙබ්‍රෙව් වචනය—මිෂ්පචා—පැමිණෙන්නේ “එකට එකතු වීම හෝ එකට බැඳීම” යන අර්ථය ඇති හෙබ්‍රෙව් මූල වචනයකින් (ෂෆාහ්) බව මට පවසා ඇත. පවුල තුළ සෑම භූමිකාවක්ම පවුල් බැඳීම් ශක්තිමත් කිරීමට සැලසුම් කර ඇත.

  27. බලන්න දහම සහ ගිවිසුම් 88:15–16, 34; 93:33; 138:17.

  28. බලන්න උත්පත්ති 1:4, 31.