ප්‍රධාන සම්මන්ත්‍රණය
දෙවියන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


දෙවියන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය

අපගේ ලෞකික අත්දැකීම කුමක් වුවත්, අපට දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා උන්වහන්සේ තුළ ප්‍රීතිය සොයාගන්න පුළුවන්.

පරණ ගිවිසුමේ යෝබ් මෙන්, දුක් විඳීමේ කාලයකදී දෙවියන්වහන්සේ තමන්ව අත්හැර දමා ඇති බව සමහරුන්ට හිතෙන්නට පුළුවන්. ඕනෑම පීඩාවක් වැළැක්වීමට හෝ ඉවත් කිරීමට දෙවියන්වහන්සේට බලය ඇති බව අප දන්නා නිසා, උන්වහන්සේ එසේ නොකළහොත් මැසිවිලි නැගීමට අපි පෙළඹෙනවා, සමහරවිට මෙසේ ප්‍රශ්න කරනවා, “දෙවියන්වහන්සේ මා යාච්ඤා කර ඉල්ලන උපකාරය මට දෙන්නේ නැත්නම්, මම උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලක් තබාගන්නේ කොහොමද?” ධර්මිෂ්ඨ යෝබ් ඔහුගේ දැඩි පරීක්ෂා වල එක් අවස්ථාවකදී මෙසේ පැවසුවා:

“ඉතින් දෙවියන්වහන්සේ මාගේ කාරණා පෙරළා, තම දැල මා වටකර හෙළා තිබෙන බව දැනගනිල්ලා.

“මා මොරගසන නුමුත්, ‘මට අසාධාරණයක් වී ඇත!’ මට උත්තරයක් නැත; පිහිට ඉල්ලා මොරගසන නුමුත්, යුක්තිය ඉෂ්ටවීමක් නැත.”1

යෝබ්ට උන්වහන්සේගේ ප්‍රතිචාරයේදී දෙවියන්වහන්සේ මෙසේ අසනවා, “නුඹම ධර්මිෂ්ඨව පෙනෙන පිණිස, නුඹ මට වරද තබන්නෙහිද?”2 නැතහොත් වෙනත් වචන වලින් කිවහොත්, “ඔබ මා වැරදිකරුවෙකු කරනවාද? ඔබ ධර්මිෂ්ඨ වීම සඳහා ඔබ මා හෙළාදකිනවාද?”3 යෙහෝවාවහන්සේ තම සර්වබලධාරිත්වය සහ සර්වඥතා ඥානය ගැන යෝබ්ට බලෙන්ම මතක් කරදෙන අතර, දෙවියන්වහන්සේගේ දැනුම, බලය, සහ ධර්මිෂ්ඨකමට ආසන්න කිසිවක් තමා සතුව නොමැති බවත්, සර්වබලධාරියාණන්ගේ විනිශ්චයේ සිටීමට නොහැකි බවත්, යෝබ් ඉතා නිහතමානීව මෙසේ කියමින් පිළිගන්නවා:

ඔහු මෙසේ පැවසුවා, “ඔබවහන්සේට සියල්ලම පුළුවන් බවත් ඔබගේ කිසි අදහසක් වළක්වන්ට බැරි බවත් දනිමි.

“…මට නොතේරෙන්නාවූ, මා දැනනොගත්, මට ඉතා පුදුම වූ දේවල් මම කීවෙමි. …

“එබැවින් මම මටම පිළිකුල්කොට, දූවිල්ලෙත් අලුවලත් හිඳ පශ්චාත්තාප වෙමි.”4

අවසානයේදී, යෝබ්ට ස්වාමින්වහන්සේව දැකීමේ වරප්‍රසාදය හිමි වූ අතර, “ස්වාමින්වහන්සේ යෝබ්ගේ පටන්ගැන්මට වඩා ඔහුගේ අවසානයට ආශිර්වාද කළ සේක.”5

අපගේ ලෞකික සීමාවන් සමඟ අප දෙවියන්වහන්සේව විනිශ්චය කිරීමට උපකල්පනය කිරීම, උදාහරණයක් ලෙස, “මම සතුටු නැත, එබැවින් දෙවියන්වහන්සේ යම්කිසි වැරැද්දක් කරනවා විය යුතුය” යැයි සිතීම ඇත්තෙන්ම මෝඩකමක්. අතීතය, වර්තමානය, සහ අනාගතය ගැන ඉතා ස්වල්පයක් දන්නා, වැටුණු ලෝකයක සිටින උන්වහන්සේගේ ලෞකික දරුවන් වන අපට, උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කරනවා, “සියල්ල මා සමඟ පවතී, මක්නිසාද මම ඒවා සියල්ල දනිමි.”6 යාකොබ් ඥානාන්විතව මෙසේ අවවාද කළා: “ස්වාමින්වහන්සේට උපදේශ දීමට නොසොයන්න, එහෙත් උන්වහන්සේගේ හස්තයෙන් උපදේශ ගන්න. මක්නිසාද බලන්න, උන්වහන්සේගේ සියලු කාර්යයන් මත ප්‍රඥාවෙන්ද, සාධාරණත්වයෙන්ද, බලවත් කරුණාවෙන්ද, උන්වහන්සේ උපදේශයන් දෙන බව නුඹලාම දන්නාහුය.”7

දෙවියන්වහන්සේට කීකරු වීමෙන් නිශ්චිත කාලසටහනකට අනුව නිශ්චිත ප්‍රතිඵල ලබාදෙන බවට සමහරුන් දෙවියන්වහන්සේගේ පොරොන්දු වරදවා වටහා ගන්නවා. “මම පූර්ණ කාලීන ධර්මදූතයක උනන්දුවෙන් සේවය කරන්නේ නම්, දෙවියන්වහන්සේ මට ප්‍රීතිමත් විවාහයක් සහ දරුවන් ලබාදෙයි” හෝ “මම සබත් දවසේ පාසල් වැඩ කිරීමෙන් වැළකී සිටියහොත්, දෙවියන්වහන්සේ මට හොඳ ලකුණු ලබාදෙයි” හෝ “මම දසයෙන් කොටස ගෙව්වොත්, මම බලාපොරොත්තු වූ ඒ රැකියාව ලබාදී දෙවියන්වහන්සේ මට ආශිර්වාද කරයි” ලෙස ඔවුන් සිතන්නට පුළුවන්. ජීවිතය හරියටම මේ ආකාරයෙන් හෝ අපේක්ෂිත කාලසටහනට අනුව සිදුනොවේ නම්, ඔවුන්ට දෙවියන්වහන්සේ ඔවුන්ව අත්හැරිය බවක් දැනෙන්නට පුළුවන්. නමුත් දිව්‍යමය ආර්ථිකයේ දේවල් එතරම් යාන්ත්‍රික වන්නේ නෑ. අපි දෙවියන්වහන්සේගේ සැලැස්ම ගැන (1) අපේක්ෂිත ආශිර්වාදයක් තෝරා, (2) අවශ්‍ය යහපත් ක්‍රියා ඇතුළත් කර සහ (3) ඇණවුම කඩිනමින් ලබාදීමක් සිදුවන විකුණුම් යන්ත්‍රයක් ලෙස නොසිතිය යුතුයි.8

දෙවියන්වහන්සේ අප සෑම කෙනෙකුටම ලබාදී ඇති උන්වහන්සේගේ ගිවිසුම් සහ පොරොන්දු වලට ගරු කරනවා. ඒ ගැන අපි කලබල විය යුතු නැහැ.9 සියල්ලට වඩා පහළින් බැස පසුව ඉහළට නැඟුණු10 සහ ස්වර්ගයේ හා පොළොවේ සියලු බලය හිමි11—යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ බලය—දෙවියන්වහන්සේට තම පොරොන්දු ඉටුකිරීමට හැකි බවත් ඒවා ඉටුකරන බවත් සහතික කරනවා. අපි උන්වහන්සේගේ නීති වලට ගරු කිරීම සහ කීකරු වීම අත්‍යවශ්‍යයි, නමුත් නීතියට කීකරු වීම12 මත පුරෝකථනය කරන ලද සෑම ආශිර්වාදයක්ම අපගේ අපේක්ෂාවන්ට අනුව හැඩගස්වා, සැලසුම් කර, සහ කාලානුරූපී කර නැහැ. අපි අපේ උපරිමය කළ යුතු නමුත් ලෞකික හා අධ්‍යාත්මික යන දෙඅංශයෙන්ම ආශිර්වාද කළමනාකරණය උන්වහන්සේට භාර දිය යුතුයි.

ඔහුගේ ඇදහිල්ල ගොඩනැගී ඇත්තේ යම් යම් ප්‍රතිඵල හෝ ආශිර්වාද මත නොව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඔහුගේ සාක්ෂිය සහ සම්බන්ධය මත බව සභාපති බ්‍රිගම් යන්ග් පැහැදිලි කළා. ඔහු මෙසේ පැවසුවා: “මගේ ඇදහිල්ල ස්වාමින්වහන්සේ මුහුදේ දූපත් මත වැඩකිරීම, උන්වහන්සේගේ මිනිසුන්ව මෙහි ගෙන ඒම මත නොව, උන්වහන්සේ මේ මිනිසුන්ට හෝ එම ජනතාවට දෙන අනුග්‍රහය මත නොව, අප ආශිර්වාද ලත්ද නැද්ද යන්න මත නොව, නමුත් මාගේ ඇදහිල්ල ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තබා ඇත, මාගේ දැනුම උන්වහන්සේගෙන් මට ලැබී ඇත.”13

අපගේ පසුතැවිල්ල සහ කීකරුකම, අපගේ සේවය, සහ අපගේ පරිත්‍යාග වැදගත්. “සෑමවිටම යහපත් ක්‍රියා වලින් බහුල”14 ලෙස ඊතර් විසින් විස්තර කරන ලද අය අතර සිටීමට අපට අවශ්‍යයි. නමුත් සෙලෙස්ටියල් ගිණුම් පොත්වල තබා ඇති සමහර සැසඳුම් නිසා ඒවා එතරම් විශාල ක්‍රියා විය යුතු නෑ. ඒවා දෙවියන්වහන්සේගේ කාර්යයට අපව සම්බන්ධ කරගන්නා නිසාත්, ස්වභාවික මිනිසාගේ සිට ශුද්ධවන්තයා දක්වා අපගේම හැරීමේදී අප උන්වහන්සේ සමඟ සහයෝගයෙන් කටයුතු කරන මාධ්‍යයන් ඒවා වන නිසාත් මේ දේවල් වැදගත් වෙනවා.15 උන්වහන්සේවම සහ උන්වහන්සේගේ පුත්‍රයාණන්වත්, ඒවගේම අපගේ මිදුම්කරුවාණන් වන, උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව සහ මැදිහත්වීම තුළින්, අපට ලැබෙන උන්වහන්සේ සමඟ සමීප සහ කල්පවත්නා සම්බන්ධතාවයත්, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ අපට පිරිනමනු ලබනවා.

අපි, අමරණීයභාවය සහ සදාකාල ජීවනය සඳහා වෙන් කර ඇති, දෙවියන්වහන්සේගේ දරුවන්. අපගේ ඉරණම උන්වහන්සේගේ උරුමක්කාරයන්, “ක්‍රිස්තුස්වහන්සේ හා සමග හවුල් උරුමක්කාරයන්”16 වීමයි. අපගේ තනි පුද්ගල අවශ්‍යතා සඳහා නිර්මාණය කර ඇති සහ උන්වහන්සේ සමඟ අපගේ අවසාන ප්‍රීතිය සඳහා උන්වහන්සේගේ සැලැස්මට අනුව සකස් කරන ලද පියවර සමඟින්, උන්වහන්සේගේ ගිවිසුම් මාවත ඔස්සේ අප සැමට මගපෙන්වීමට අපගේ පියාණන්වහන්සේ කැමැත්තෙන් සිටිනවා. පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි වැඩෙන විශ්වාසයක් සහ ඇදහිල්ලක්, උන්වහන්සේලාගේ ප්‍රේමය පිළිබඳ වැඩිවන හැඟීමක්, සහ ශුද්ධාත්මයාණන්ගේ ස්ථාවර සැනසිල්ල සහ මගපෙන්වීම අපට අපේක්ෂා කරන්න පුළුවන්.

එසේ වුවද, මේ මාර්ගය අප කිසිවකුට පහසු වෙන්නේ නෑ. එය පහසු වීම සඳහා ඕනෑවට වඩා පිරිපහදු කිරීමක් අවශ්‍ය වෙනවා. යේසුස්වහන්සේ මෙසේ පැවසුවා:

“මම සැබෑ වූ මිදිවැලය, මාගේ පියාණන්වහන්සේ ගොවියාය.

“මා තුළෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහකරන සේක; ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍ර කරන සේක.”17

දෙවියන්වහන්සේ විසින් මෙහෙයවන ලද පවිත්‍ර කිරීමේ සහ පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය, අවශ්‍යයෙන්ම, විටෙක හදිසි වෙනස්කම් සහ වේදනාකාරී වෙනවා. පාවුල්ගේ ප්‍රකාශය මෙසේ සිහිපත් කරනවා, අපි “ක්‍රිස්තුස්වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෝය; උන්වහන්සේ හා සමඟ මහිමය ලබන පිණිස, උන්වහන්සේ සමඟ දුක්විඳිමු නම්, මෙසේ වන්නේය.”18

එබැවින්, මෙම පිරිපහදු කරන්නාගේ ගින්න මැද, දෙවියන්වහන්සේ සමඟ කෝප වීමට වඩා, දෙවියන්වහන්සේට සමීප වෙන්න. පුත්‍රයාණන්වහන්සේගේ නාමයෙන් පියාණන්වහන්සේට කන්නලව් කරන්න. දවසින් දවස, ආත්මයෙන් උන්වහන්සේලා සමඟ ගමන් කරන්න. කාලයත් සමඟ උන්වහන්සේලාගේ විශ්වාසවන්තභාවය ඔබට ප්‍රකාශ කිරීමට ඔවුන්ට ඉඩදෙන්න. සැබවින්ම උන්වහන්සේලාව දැනහඳුනා ගන්න එමෙන්ම ඔබවම දැනහඳුනා ගන්න.19 දෙවියන්වහන්සේට දිනන්නට ඉඩදෙන්න.20 ගැලවුම්කරුවාණන් අපිට මෙසේ සහතික වෙනවා:

“පියාණන්වහන්සේ සමඟ මැදහත්කරුවාණන් වූ උන්වහන්සේ හට සවන්දෙන්න, පියාණන් ඉදිරියේ නුඹලාගේ කාරණය උන්වහන්සේ ආයාචනා කරන සේක—

“මෙසේ කියන්නේය: පියාණෙනි, ඔබවහන්සේ ඉතා ප්‍රසන්න වූ, පව් නොකලා වූ ඔහුගේ විඳවීම සහ මරණය බලන්න; ඔබවහන්සේ මහිමයට පත්වන පිණිස දෙනු ලැබූ උන්වහන්සේගේ රුධිරය, ඔබවහන්සේගේ පුත්‍රයාණන්ගේ වැගිරූ රුධිරය බලන්න;

එසේහෙයින්, පියාණෙනි, එනම් මාගේ නාමය විශ්වාස කළ මාගේ මෙම සහෝදරයන් [එමෙන්ම මගේ සහෝදරියන්] බේරාගන්න, එනම් ඔවුන් මා වෙතට පැමිණ තවද සදාකාල ජීවනය ලබාගන්නා පිණිසය.”21

ජීවිතයේදී හෝ මරණයේදී දෙවියන්වහන්සේ පොරොන්දු වූ ආශිර්වාද ඔවුන්ට ලැබෙන බවට නිසැකව විශ්වාස කළ ඇදහිලිවන්ත ස්ත්‍රීන් හා පුරුෂයන්ගේ උදාහරණ කිහිපයක් සලකා බලන්න. ඔවුන්ගේ ඇදහිල්ල පදනම් වූයේ, දෙවියන්වහන්සේ යම් අවස්ථාවක හෝ මොහොතක, කළ හෝ නොකළ දේ මත නොවේ, නමුත් ඔවුන්ගේ කරුණාවන්ත පියාණන් ලෙස සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔවුන්ගේ විශ්වාසවන්ත මිදුම්කරුවාණන් ලෙස දැන සිටීම මතයි.

ඊජිප්තුවේ එල්කානාහි පූජකයා විසින් ආබ්‍රහම්ව පූජා කිරීමට සූදානම් වූ විට, ඔහුව ගලවා ගන්නා ලෙස දෙවියන්වහන්සේට කන්නලව් කළ අතර දෙවියන්වහන්සේ එය කළා.22 ආබ්‍රහම් ජීවත් වූයේ ඔහුගේ වංශය තුළින් පොළොවේ සියලු පවුල් ආශිර්වාද ලබන ඇදහිලිවන්තයන්ගේ පියා වීමටයි.23 මීට පෙර, මෙම පූජාසනය මතම, එල්කානාහි එම පූජකවරයාම කන්‍යාවන් තිදෙනෙකුව පූජා කර තිබෙන්නේ, ඔවුන්ගේ ගුණවන්තකම නිසා ලීයෙන් හෝ ගල්වලින් සෑදූ දෙවිවරුන්ට නමස්කාර කිරීමට ඔවුන් නොනැමුණු නිසායි.24 එහිදී ඔවුන් ප්‍රාණ පරිත්‍යාගීන් ලෙස මියගියා.

පුරාණයේ යෝසෙප්ව, යෞවනයෙකු ලෙස තම සහෝදරයන් විසින් වහල්භාවයට විකුණුවා, ඔහු වේදනාවෙන් දෙවියන්වහන්සේ වෙත හැරුණා. ක්‍රම-ක්‍රමයෙන්, ඔහු ඊජිප්තුවේ තම ස්වාමියාගේ නිවසේ ප්‍රසිද්ධියට පත්වූ නමුත් පසුව පොතිෆර්ගේ භාර්යාවගේ බොරු චෝදනා නිසා ඒ සියලු දියුණුව ඉරා දමනු ලැබුවා. “පවිත්‍රකමේ නීතිය රකින නිසා මට ලැබෙන්නේ හිරගෙදරයි” කියා යෝසෙප්ට හිතෙන්නට තිබුණා. ඒ වෙනුවට ඔහු දිගටම දෙවියන්වහන්සේ වෙත හැරී සිරගෙදරදී පවා සමෘද්ධිමත් වුණා. යෝසෙප්ට උදව් කිරීමට දුන් පොරොන්දුව නොතකා, ඔහු සමඟ මිත්‍ර වූ සිරකරුවා, පාරාවෝගේ මාලිගාවේ ඔහුගේ තනතුරකට නැවත පැමිණීමෙන් පසු ඔහු ගැන සියල්ල අමතක කළ විට යෝසෙප්ගේ බලාපොරොත්තු තව තවත් සුන්වී ගියා. නියමිත කාලය තුළ, ඔබ දන්නා පරිදි, ස්වාමින්වහන්සේ යෝසෙප්ව විශ්වාසයෙන් හා බලයෙන් පාරාවෝට ඉහළින් තැබීමට මැදිහත් වූ අතර, ඊශ්‍රායෙල් වංශය බේරා ගැනීමට යෝසෙප්ට හැකිවුණා. “දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව”25 ලෙස කියමින් යෝසෙප්ට සහතික වෙන්න පුළුවන්කම තිබුණා.

අබිනාදි තම දිව්‍යමය පැවරුම ඉටුකිරීමට අදහස් කරගෙන සිටියා. ඔහු මෙසේ පැවසුවා “එහෙත් මම මාගේ පණිවිඩය අවසන් කරන්නෙමි; තවද [මට කුමක් සිදුවන්නේ දැයි] එවිට කම් නැත, එය එසේ නම් මම ගැලවීම ලබා ඇත.”26 ඔහු ප්‍රාණ පරිත්‍යාගිකයෙකුගේ මරණයෙන් බේරුණේ නෑ, නමුත් නිසැකවම ඔහු දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ගැලවීම ලැබුවා, ඒවගේම ඔහු නිසා හැරුණු අගනා පුද්ගලයෙක් වූ ඇල්මා, ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම දක්වා නැගුණු නෙපිවරුන්ගේ ඉතිහාසය වෙනස් කළා.

ඇල්මා සහ අමුලෙක්ව ඔවුන්ගේ ආයාචනයට පිළිතුරු ලෙස අම්මෝනිහා හි සිරගෙයින් නිදහස් කරන ලද අතර ඔවුන්ට පීඩා කරන්නන්ව මරා දැමුවා.27 කෙසේවෙතත්, මීට පෙර, මෙම පීඩා කරන්නන් ඇදහිලිවන්ත කාන්තාවන් සහ ඔවුන්ගේ ළමයින්ව ඇවිළෙන ගින්නකට හෙළා දමා තිබුණා. මෙම බිහිසුණු දර්ශනය ඉතා වේදනාවෙන් බලා සිටි ඇල්මාව, “එම ගිනිදැල් වලින් ඔවුන්ව ගලවාගැනීමට”28 දෙවියන්වහන්සේගේ බලය පාවිච්චි කිරීමෙන් ආත්මයාණන් විසින් වළක්වා ගත්තේ, ඔවුන්ව දෙවියන්වහන්සේගේ මහිමය වෙතට ඉහළට ලබාගැනෙන පිණිසයි.29

ශීත ඍතුවේ දැඩි සීතලේදී ශුද්ධවන්තයන්ව කොල්ලකමින් සහ ඔවුන්ගේ නිවෙස් වලින් පලවා හරින ලද අතරතුර, ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට මිසුරි හි ලිබර්ටි සිරගෙදර සිටි නිසා, ඔවුන්ට උපකාර කිරීමට නොහැකිව දුක්වුණා. “අහෝ දෙවියන්වහන්ස, ඔබවහන්සේ කොහිද?” ජෝසෆ් හැඬුවා. “ඔබවහන්සේගේ හස්තය කෙතරම් කාලයකට නැවතී ඇත්ද?”30 ඊට ප්‍රතිචාර වශයෙන් ස්වාමින්වහන්සේ මෙසේ පොරොන්දු වුණා: “නුඹගේ විපත්තිය සහ නුඹගේ පීඩාවන් එහෙත් කුඩා කාලයකට පමණක් වන්නේය; තවද එවිට, නුඹ එය හොඳින් දරාගන්නේ නම්, දෙවියන්වහන්සේ නුඹව ඉහළට ඔසවන සේක. … නුඹ තවමත් යෝබ් මෙන් නොවන්නේය.”31

අවසානයේදී ජෝසෆ්ට යෝබ් සමඟ මෙසේ ප්‍රකාශ කළ හැකි වුණා, “[දෙවියන්වහන්සේ] මා මැරුවත්, මම උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරමි.”32

සාමාන්‍ය ඇස් පෙනීම ඇතිව උපත ලැබූ නමුත් වයස අවුරුදු 11 වන විට අන්ධ වී සිටි පැට්‍රීෂියා පාකින්සන් සොයුරියගේ කතාව වැඩිහිටි බෲක් පී. හේල්ස් විසින් විස්තර කළා.

වැඩිහිටි හේල්ස් මෙසේ විස්තර කළා: “මම වසර ගණනාවක් පුරා පැට්ව හඳුනාගෙන සිටි අතර මෑතකදී ඇයගේ සුබවාදී හා සතුටු ආකාරය ගැන මම සතුටු වන බව පැවසුවා. ඇය මෙසේ පිළිතුරු දුන්නා: ‘හොඳයි, ඔබ මාත් එක්ක ගෙදර ඉඳලා නෑ නේද? මට එක එක අවස්ථා තියෙනවා. මම දැඩි මානසික අවපීඩනයන්ට ලක්වෙලා, ගොඩක් අඬලා තියෙනවා.” කෙසේවෙතත්, ඇය තවදුරටත් මෙසේ කිව්වා: ‘මගේ ඇස් අහිමි වීමෙන් පටන් ගත්තහම, එය අමුතු දෙයක් වූ නමුත්, මාගේ පියාණන් හා ගැලවුම්කරුවාණන් මාගේ පවුල හා මා සමඟ සිටි බව මා දැන සිටියා. … මා අන්ධව සිටින නිසා මට තරහ යනවද කියා අසන අයට, මම මෙසේ පිළිතුරු දෙනවා: මම කාත් එක්ක තරහ වෙන්නද? ස්වර්ගික පියාණන් මාත් එක්ක ඉන්නවා; මම තනිවෙලා නෑ. උන්වහන්සේ හැමවිටම මා එක්ක ඉන්නවා.’”33

අවසානයේදී, අපි සොයන්නේ පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ සමඟ සමීප සහ ස්ථිර සම්බන්ධතාවයක එම ආශිර්වාදයයි. එය සියලු වෙනස්කම් ඇතිකරන අතර එම වෑයම සදාකාලිකවම වටිනවා. “මේ වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එළිදරව් කරනු ලබන්නාවූ මහිමයට සමාන කරනු ලබන්ට නොවටී”34 ලෙස කියමින් අපි පාවුල් සමඟ සාක්ෂි දරමු. අපගේ ලෞකික අත්දැකීම කුමක් වුවත්, අපට දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා උන්වහන්සේ තුළ ප්‍රීතිය සොයාගත හැකි බවට මම සාක්ෂි දරනවා.

“ඔබේම නුවණෙහි නොපිහිටා, ඔබේ මුළු සිතින් ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න.

“ඔබේ සියලු මාර්ග වලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ ඔබේ මාවත් සමතලා කරනවා ඇත.”35

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.