ප්‍රධාන සම්මන්ත්‍රණය
ධර්මදූත සේවය සදහටම මගේ ජීවිතයට ආශිර්වාද කළා
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ධර්මදූත සේවය සදහටම මගේ ජීවිතයට ආශිර්වාද කළා

තරුණ පිරිමි සහ තරුණ කාන්තා ඔබත් එමෙන්ම ඔබේ දෙමාපියනුත්, ධර්මදූත සේවය සදාකාලිකවම ඔබේ ජීවිතයට ආශිර්වාද කරන ආකාරය දැක දැනගනීවා කියා මම යාච්ඤා කරනවා.

සභාපති නෙල්සන්, ධර්මදූත සේවය සම්බන්ධයෙන් එම උපදෙස නැවත බෙදාගැනීම ගැන ඔබට ස්තූතියි.

සහෝදර සහෝදරියනි, මම මීට වසර ගණනාවකට පෙර ප්‍රධාන සම්මන්ත්‍රණයේ කතා කරමින් සිටියදී, මගේ වම් ඇසේ පෙනීම අක්ෂි පරිහානිය නම් දෙයකින් හදිසියේ අවදානමට ලක්වූ අතර, එය පසුව නරක අතට හැරී මට එම ඇසේ ප්‍රයෝජනවත් පෙනීම නැතිවී ගියා.

මම මෙම අභියෝගය සමඟ කටයුතු කර ඇති නිසා, අපරදෘෂ්ටිය ඇතුළු වෙනත් ආකාරයේ දෘෂ්ටීන් සඳහා මම සැමවිටම ස්තුතිවන්ත වෙනවා. මම මගේ ජීවිතය දෙස ආපසු හැරී බැලූ විට, සැලකිය යුතු වෙනසක් ඇති කළ ඇතැම් අත්දැකීම් මට දැකගත හැකිවුණා. තරුණ පිරිමියෙකු ලෙස එංගලන්තයේ මගේ පූර්ණ කාලීන ධර්මදූත සේවය මගේ ජීවිතයට ආශිර්වාද කළ ආකාරය සහ මගේ අධ්‍යාත්මික ඉරණම සකස් කළ ආකාරය ඉන් එක් අත්දැකීමක්.

1930 ගණන්වල මහා අවපාතය හා බැඳුනු ආර්ථික අභියෝග මගේ දෙමව්පියන්ට සහ අපේ පවුලට අවාසනාවන්ත හැරීමකට තුඩුදුන්නේ කෙසේද කියා මම ආවර්ජනය කර තිබෙනවා. මේ දුෂ්කර කාල පරිච්ඡේදයේදී මගේ පියා ඔහුගේ මෝටර් රථ අලෙවි නියෝජිතභාවය බේරාගෙන පවුලක් නඩත්තු කිරීමට කොතරම් මැදිහත් වුණාද කියනවා නම් මගේ දෙමාපියන් කාලයක් සභාවට සහභාගී වුණේ නෑ.

අපි පවුලක් ලෙස සභාවේ රැස්වීම් වලට නොගියත්, මගේ මිතුරන් සමඟ ඉඳහිට එහි යාමට එය බාධාවක් වුණේ නෑ.

ඒ දවස්වල ධර්මදූතයක් සේවය කරන්නට යන එක මගේ හිතේ තිබුණත්, ඒක මම මගේ දෙමාපියන් එක්ක කතා කරපු දෙයක් නෙවෙයි.

විද්‍යාලයට යන අතරතුර, මම සහ මිතුරන් කිහිපදෙනෙක් ධර්මදූත සේවය කිරීමට තීරණය කළා. මගේ දෙමාපියන් නගරයෙන් බැහැරව සිටියදී, මම මගේ සභානායකවරයාව හමුවී, මගේ ධර්මදූත අයදුම්පත පිරෙව්වා. මගේ දෙමාපියන් ආපසු පැමිණි විට, මාව මහා බ්‍රිතාන්‍යයේ සේවය කිරීමට කැඳවා ඇති බවට වූ ආරංචියෙන් මම ඔවුන්ව පුදුමයට පත්කළා. මෙම තීරණයට ඔවුන්ගේ උද්යෝගිමත් සහයෝගයට සහ මට සේවය කිරීමට තීරණය කිරීමට උපකාර කළ හොඳ මිතුරන්ට මම කෘතඥ වෙනවා.

මගේ ධර්මදූත සේවය මට වඩා හොඳ ස්වාමිපුරුෂයෙකු හා පියෙකු වීමටත් එමෙන්ම ව්‍යාපාර වල සාර්ථක වීමටත් මාව සූදානම් කළා. එය ස්වාමින්වහන්සේගේ සභාවේ ජීවිත කාලය පුරාම උන්වහන්සේට සේවය කිරීමටද මාව සූදානම් කළා.

1985 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණයෙදී, පූජකවර සැසියේ කතා කරන්න මට පැවරුමක් ලැබුණා. මම මගේ අදහස් තරුණයන් වෙත යොමුකළා. ධර්මදූතවරයෙකු ලෙස සේවය කිරීමට සූදානම් වීම ගැන මම කතා කළා. මම කිව්වා, “මගේ සභා පැවරුම් වලදී මට ලැබුණු සියලුම පුහුණුවෙන්, පූර්ණ කාලීන ධර්මදූත සේවයක් කරන දහනව හැවිරිදි වැඩිහිටියෙකු ලෙස මා ලැබූ පුහුණුවට වඩා කිසිවක් මට වැදගත් වී නෑ.”1

ස්වාමින්වහන්සේ ඔබව දන්නවා. ඔබ ඔබේ ධර්මදූතයේ සේවය කරන විට, උන්වහන්සේව වඩා හොඳින් දැන හඳුනාගැනීමට ඔබට උපකාර වන අත්දැකීම් ඔබට ලැබෙනවා. උන්වහන්සේට සේවය කිරීමෙන් ඔබ ආත්මිකව වර්ධනය වෙයි. උන්වහන්සේගේ නාමයෙන්, අන් අයට සේවය කිරීමේ රාජකාරි සඳහා ඔබව යවනු ලැබෙයි. උන්වහන්සේ ඔබට ශුද්ධාත්මයාණන්ගෙන් පෙළඹවීම් සමඟ අත්දැකීම් ලබාදෙයි. උන්වහන්සේගේ නාමයෙන් ඉගැන්වීමට ස්වාමින්වහන්සේ ඔබට බලය ලබාදෙයි. උන්වහන්සේට ඔබව විශ්වාස කළ හැකි බවත් ඔබ මත විශ්වාසය තැබිය හැකි බවත් ඔබට පෙන්විය හැකියි.

මාස පහකට පෙර, බ්‍රිතාන්‍ය දූපත් වල ධර්මදූතයින් ලෙස සේවය කර ඇති වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ් සහ වැඩිහිටි ක්වින්ටින් එල්. කුක්, එම සුන්දර දේශයේ සාමාජිකයින්ව සහ ධර්මදූතයින්ව හමුවීමට යාමට මා සමඟ එකතු වුණා. එහි සිටියදී තරුණ ධර්මදූතයෙකු ලෙස මම මගේ අත්දැකීම් ගැන මෙනෙහි කළා. මාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සහ මාගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාව දන්නා බවත්, මට ප්‍රේම කරන බවත් මා දැනගත් ස්ථානය මගේ ධර්මදූතය බව මම සාක්ෂි දරනවා.

ඔවුන්ගේ කැපවූ සහකාරියන් වූ ග්ලැඩීස් බෝයර් සහ ජේන් රිචර්ඩ්ස් සමඟ සෙල්වොයි ජේ.බෝයර් සහ ස්ටේනර් රිචර්ඩ්ස් යන අපූරු ධර්මදූත සභාපතිවරුන් දෙදෙනෙකු ලැබීමට මම ආශිර්වාද ලැබුවා. ආපසු හැරී බලන විට, ඔවුන් මා කෙරෙහි විශ්වාසය තබා මට ආදරය කළ බව මට වඩාත් පැහැදිලිව පේනවා. ඔවුන් මට ශුභාරංචිය ඉගැන්නුවා. ඔවුන් මගෙන් බොහෝ දේ බලාපොරොත්තු වුණා. ඔවුන් මට බොහෝ අභියෝගාත්මක වගකීම් සහ නායකත්ව අවස්ථා ලබාදී මට වර්ධනය වීමට සහ සේවා ජීවිතයක් සඳහා සූදානම් වීමට උපකාර කළා.

මගේ ආදරණීය බිරිඳ බාබරා සහ අපේ දරුවන් සමඟ කැනඩාවේ ටොරොන්ටෝ ධර්මදූතයේ මුලසුන දැරීමට සභාපති ස්පෙන්සර් ඩබ්. කිම්බල් විසින් කැඳවීමක් ලැබීම ගැනද මම කල්පනා කර තිබෙනවා. “ලෝකය පරිවර්තනය වන්නේ කවදාද”2 යන මාතෘකාවෙන් යුත් ඔහුගේ දේවානුභාවයෙන් යුත් ධර්මදූත පණිවිඩය ලබා දීමෙන් ටික කලකට පසු, 1974 අප්‍රියෙල් මාසයේදී, කිම්බල් සභාපතිවරයා අපට සේවය කිරීමට ආරාධනා කළා. ශුභාරංචිය මුළු ලෝකයටම ගෙන යන ආකාරය පිළිබඳ ඔහුගේ දැක්ම එම පණිවිඩයේදී සභාපති කිම්බල් පැහැදිලි කළා. ඔහු ලොව පුරා සිටින තවත් බොහෝ ධර්මදූතයින්ව කැඳවා සිටියා. “සෑම මනුෂ්‍යයෙක්ම … තවද පොළොවේ පදිංචිකරුවන් හට අනතුරු හැඟවීමේ හඬක් එසවිය යුතුය”3 යන ස්වාමින්වහන්සේගේ අපේක්ෂාව ඔහු අපට මතක්කළා. තරුණයන් ධර්මදූත සේවයක් ඉටුකිරීම අපේක්ෂා කරන බවට වූ සභාපති කිම්බල්ගේ ඉගැන්වීම ලොව පුරා නිවෙස්වල සංවාදයේ මාතෘකාවක් බවට පත්වුණා. ඒ අපේක්ෂාව වෙනස් වෙලා නැහැ. සභාපති රසල් එම්. නෙල්සන්ද අද උදෑසන ස්වාමින්වහන්සේගේ එම අපේක්ෂාව යළි තහවුරු කිරීම ගැන මම කෘතඥ වෙනවා.

සභාපති තෝමස් එස්. මොන්සන් තරුණන්ගේ සහ තරුණියන්ගේ ධර්මදූත වයස අඩු කරන බව ප්‍රකාශ කර වසර 10කට ආසන්න කාලයක් ගතවී තිබෙනවා.4 මගේ මතය අනුව, මෙම වෙනසට මූලික හේතුවක් වූයේ ධර්මදූතවරුන් ලෙස සේවය කිරීමට ජීවිතය වෙනස් කරන එම අවස්ථාව අපගේ යෞවනයින් වැඩිදෙනෙකුට ලබාදීමයි.

ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වශයෙන්, මම දැන් තරුණයින්ගෙනුත්—එමෙන්ම ධර්මදූතයක සේවය කිරීමට කැමති තරුණියන්ගෙනුත්—ධර්මදූතයක සේවය කිරීම ගැන ඔබේ දෙමාපියන් සමඟ කතා කිරීමට දැන් පටන් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. ධර්මදූත සේවයක් ඉටුකිරීම ගැන ඔබේ මිතුරන් සමඟ කතා කිරීමටත් මම ඔබට ආරාධනා කරනවා, ඔබේ මිතුරෙකුට සේවය කිරීම ගැන ස්ථිර නැත්නම්, ඔවුන්ගේ සභානායකවරයා සමඟ කතා කිරීමට ඔවුන්ව දිරිමත් කරන්න.

ඔබ ධර්මදූතයක සේවය කරන බවට, එමෙන්ම මෙතැන් සිට ඔබේ හදවත්, දෑත්, සහ මනස පිරිසිඳුව හා සුදුසුව තබාගැනීමට ඔබ උත්සාහ කරන බවට, ඔබට සහ ඔබේ ස්වර්ගික පියාණන්වහන්සේට සහතික වෙන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය පිළිබඳ ස්ථිර සාක්ෂියක් ලබාගැනීමට මම ඔබට ආරාධනා කරනවා.

මේ අපූරු යෞවනයින්ගේ මව්වරුනි සහ පියවරුනි, මෙම සූදානම් වීමේ ක්‍රියාවලියේදී ඔබට වැදගත් කාර්යභාරයක් තිබෙනවා. ධර්මදූත සේවය ගැන ඔබේ දරුවන් සමඟ කතා කිරීමට අදම පටන් ගන්න. අපගේ තරුණයින්ට සහ තරුණියන්ට සූදානම් වීමට උපකාර කිරීමේදී පවුලෙන් වඩාත් ගැඹුරු බලපෑමක් ඇති බව අපි දන්නවා.

ඔබ ධර්මදූත සේවය සඳහා වයස් සීමාවේ සිටින නමුත් වසංගත හෝ වෙනත් හේතූන් මත තවමත් සේවය කර නොමැති නම්, දැන් සේවය කිරීමට මම ඔබට ආරාධනා කරනවා. ඔබේ සභානායකවරයා සමඟ කතා කරන්න, ස්වාමින්වහන්සේට සේවය කිරීමට සූදානම් වෙන්න.

ධර්මදූත වයසට ආසන්න සියලුම තරුණ තරුණියන්ට සේවය කිරීමට සූදානම් වීමට උදව් කරන ලෙස සභානායකවරුනි, මම ඔබව දිරිමත් කරන අතර, ප්‍රමාණවත් වයසින් පසුවන නමුත් තවමත් සේවය කර නොමැති අය හඳුනාගැනීමට මම සභානායකවරුන් වන ඔබව දිරිමත් කරනවා. සෑම තරුණයෙකුටම, සහ සේවය කිරීමට කැමති සෑම තරුණියකටම ධර්මදූතයෙකු වීමට ආරාධනා කරන්න.

දැනට සේවය කරන ධර්මදූතයිනි, අපි ඔබට ස්තූතිවන්ත වෙනවා. ඔබගේ ධර්මදූතය සිදුවෙන්නේ ලෝක ව්‍යාප්ත වසංගතයක් අතරතුර. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔබේ ධර්මදූත අත්දැකීම මගේ ධර්මදූත අත්දැකීමට හෝ 2020ට පෙර සේවය කළ ඕනෑම ධර්මදූතවරයෙකුගේ අත්දැකීම් වලට වඩා වෙනස්. මම දන්නවා ඒක ලේසි වුණේ නැහැ. නමුත් මෙම දුෂ්කර කාල වලදී පවා, ඔබට කිරීමට ස්වාමින්වහන්සේට කාර්යයක් තිබුණා, ඔබ එය පුදුමාකාර ලෙස ඉටුකර තිබෙනවා. උදාහරණයක් ලෙස, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවීම ගැන ඉගෙනගැනීමට සූදානම් අය සොයාගැනීමට ඔබ නව ක්‍රම වලින් තාක්ෂණය භාවිතා කර තිබෙනවා. ඔබ කඩිසරව සහ ඔබේ හැකියාවන් අනුව සේවය කර ඇති බැවින්, ඔබේ උත්සාහය ගැන ස්වාමින්වහන්සේ සතුටු වන බව මම දන්නවා. ඔබේ සේවය ඔබේ ජීවිතයට ආශිර්වාද කරන බව මම දන්නවා.

ඔබ ඔබේ ධර්මදූතයෙන් නිදහස් වූ විට, සභාවේ ක්‍රියාකාරකම් වලින් ඔබ නිදහස් නොවන බව මතක තබාගන්න. ඔබේ ධර්මදූතයෙදී ඔබ ඉගෙනගත් යහපත් පුරුදු මත ගොඩනැගෙන්න, ඔබේ සාක්ෂිය ශක්තිමත් කිරීම දිගටම කරන්න, වෙහෙස මහන්සි වී වැඩ කරන්න, යාච්ඤා කරන්න, සහ ස්වාමින්වහන්සේට කීකරුවෙන්න. ඔබ තබාගත් ගිවිසුම් වලට ගරු කරන්න. අන් අයට ආශිර්වාද කිරීම සහ සේවය කිරීම දිගටම කරගෙන යන්න.

තරුණ පිරිමි සහ තරුණ කාන්තා ඔබත් එමෙන්ම ඔබේ දෙමාපියනුත්, ධර්මදූත සේවය සදාකාලිකවම ඔබේ ජීවිතයට ආශිර්වාද කරන ආකාරය දැක දැනගනීවා කියා මම යාච්ඤා කරනවා. මොසායාගේ ශ්‍රේෂ්ඨ ධර්මදූත පුත්‍රයන්ට ස්වාමින්වහන්සේ දුන් ආරාධනයේ බලය ඔබේ මනසින් දැනගෙන ඔබේ හදවත් තුළ හැඟේවා. ඔහු මෙසේ කිව්වා: “පෙරට යන්න, තවද මාගේ වචනය පිහිටුවන්න; එහෙත් එනම් නුඹලා මා තුළ ඔවුන්ට යහපත් ආදර්ශයක් පෙන්වීමට නුඹලා විඳගැනීමෙහිද තවද පීඩාවන්හිද ඉවසිලිමත් වන්න, තවද මම බොහෝ ප්‍රාණයන් ගලවාගැනීමට මාගේ හස්තයෙහි නුඹව මෙවලමක් කරන්නෙමි.”5

සූදානම් වීමට සහ උන්වහන්සේට සේවය කරන්නට ආශාවකින් සභාවේ යෞවනයින්ව දෙවියන්වහන්සේ ආශිර්වාද කරනු ලැබේවා යනු අද උදෑසන මම ලබාදෙන මගේ නිහතමානී යාච්ඤාවයි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. M. Russell Ballard, “Prepare to Serve,” Ensign, May 1985, 41.

  2. බලන්න Spencer W. Kimball, “When the World Will Be Converted,” Ensign, Oct. 1974, 2–14. මෙම දේශනය 1974 අප්‍රියෙල් 4 වන දින ප්‍රාදේශීය නියෝජිතයින්ගේ සම්මන්ත්‍රණයකදී සිදුකරන ලදි.

  3. දහම සහ ගිවිසුම් 63:37.

  4. බලන්න Thomas S. Monson, “Welcome to Conference,” Liahona, Nov. 2012, 4–5.

  5. ඇල්මා 17:11.