ප්‍රධාන සම්මන්ත්‍රණය
අධ්‍යාත්මික ගම්‍යතාවයේ බලය
2022 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


අධ්‍යාත්මික ගම්‍යතාවයේ බලය

ධනාත්මක අධ්‍යාත්මික ගම්‍යතාවක් පවත්වා ගැනීමට උපකාර කිරීම සඳහා අපට ගතහැකි නිශ්චිත ක්‍රියාමාර්ග පහක් යෝජනා කිරීමට මම කැමතියි.

ආදරණීය සහෝදර සහෝදරියනි, මම ඔබට ආදරෙයි. අද ඔබ සමඟ කතා කිරීමට ලැබුණු මෙම අවස්ථාව මම අගය කරනවා. විරුද්ධවාදියාගේ දරුණු ප්‍රහාරයන්ගෙන් ඔබ ආරක්ෂා වී ඔබ මුහුණදෙන ඕනෑම අභියෝගයක් හරහා ඉදිරියට යාමට ඔබට ශක්තිය ලැබේවායි මම දිනපතා යාච්ඤා කරනවා.

සමහර පරීක්ෂාවන් වෙනත් කිසිවෙකුට නොපෙනෙන ගැඹුරු පුද්ගලික බරක් වෙන්න පුළුවන්. අනෙක් ඒවා ලෝක වේදිකාවේ රඟපානවා වෙන්න පුළුවන්. නැගෙනහිර යුරෝපයේ සන්නද්ධ ගැටුම ඉන් එකක්. මම බොහෝ වාරයක් යුක්රේනයට සහ රුසියාවට ගිහින් තිබෙනවා. මම ඒ දේශ වලටත්, මිනිසුන්ටත්, ඒවගේම ඔවුන්ගේ භාෂාවන්ටත් ආදරෙයි. මේ ගැටුමෙන් විපතට පත් සියලුදෙනා වෙනුවෙන් මම හඬා වැලපෙමින් යාච්ඤා කරනවා. දුක්විඳින සහ දිවි ගලවා ගැනීමට අරගල කරන අයට උපකාර කිරීමට සභාවක් වශයෙන් අපට කළ හැකි සෑම දෙයක්ම අපි කරනවා. මෙම ව්‍යසනයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් නොකඩවා උපවාස කරන ලෙසත් යාච්ඤා කරන ලෙසත් අපි හැමදෙනෙක්ටම ආරාධනා කරනවා. ඕනෑම යුද්ධයක් කියන්නේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේ පෙනී සිටි සහ ඉගැන්වූ සෑම දෙයක්ම බිහිසුණු ලෙස උල්ලංඝනය කිරීමක්.

ජාතීන් හෝ වෙනත් අයගේ ක්‍රියා හෝ අපේම පවුල්වල සාමාජිකයන්ව පවා අපි කාටවත් පාලනය කරන්න බැහැ. නමුත් අපට අපව පාලනය කරගන්න පුළුවන්. ආදරණීය සහෝදර සහෝදරියනි, අද මගේ කැඳවීම ඔබේ හදවතේ, ඔබේ නිවසේ, සහ ඔබේ ජීවිතයේ පවතින ගැටුම් අවසන් කිරීමටයි. එම නැඹුරුවාවන් කෝපයක්, තියුණු දිවක්, හෝ ඔබට රිදවූ කෙනෙකු කෙරෙහි අමනාපයක් හෝ වුවත්—අන් අයට රිදවීමට ඇති ඕනෑම සහ සියලු නැඹුරුවාවන් වළලන්න. අනෙක් කම්මුල හරවන ලෙසත්,1 අපගේ සතුරන්ට ප්‍රේම කරන ලෙසත්, අපව නොසලකා හරින අය වෙනුවෙන් යාච්ඤා කරන ලෙසත් ගැලවුම්කරුවාණන් අපට ආඥා කළා.2

එතරම් සාධාරණ යැයි හැඟෙන කෝපය අත්හැරීම වේදනාකාරී ලෙස දුෂ්කර වෙන්න පුළුවන්. ඔවුන්ගේ විනාශකාරී ක්‍රියාවන් නිසා අහිංසකයන්ව රිදවා ඇති අයට සමාව දීම කළ නොහැකි දෙයක් ලෙස පෙනෙන්න පුළුවන්. එහෙත්, ගැලවුම්කරුවාණන් අපට අවවාද කළේ “සියලු මිනිසුන්ට සමාවදෙන”3 ලෙසයි.

අපි සාමයේ කුමාරයාගේ අනුගාමිකයන්. වෙන කවරදාටත් වඩා දැන්, අපට අවශ්‍ය වන්නේ උන්වහන්සේට පමණක් ගෙන ආ හැකි ඒ සාමයයි. අපි තනි තනිව සාමය සහ සමගිය අපේක්ෂා නොකරන විට, ලෝකයේ සාමය පවතිනු ඇතැයි අපේක්ෂා කරන්නේ කොහොමද? සහෝදර සහෝදරියනි, මම යෝජනා කරන දේ පහසු නොවන බව මම දන්නවා. නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයින් මුළු ලෝකයටම අනුගමනය කිරීමට ආදර්ශමත් විය යුතුයි. ඔබගේ හදවතේ සහ ජීවිත වල දැනට පවතින පුද්ගලික ගැටුම් අවසන් කිරීමට ඔබට කළ හැකි සෑම දෙයක්ම කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

පැසිපන්දු ක්‍රීඩාවක් නරඹමින් සිටියදී මට මෑතකදී මතක් වූ සංකල්පයක් සාකච්ඡා කිරීමෙන් මේ ක්‍රියාව සඳහා වූ මෙම කැඳවීම මම අවධාරණය කරන්නම්.

එම ක්‍රීඩාවේදී පළමු අර්ධය එහාට මෙහාට සීසෝ සටනක් වගේ වුණා. ඊටපස්සේ පළමු අර්ධයේ අවසන් තත්පර පහ තුළ එක් කණ්ඩායමක මුරකරුවෙක් ලකුණු තුනක අලංකාර පහරක් එල්ල කළා. තවත් තත්පරයක් ඉතිරිව තිබියදී, ඔහුගේ කණ්ඩායමේ සගයෙක් බෝලය අනෙක් කණ්ඩායම වෙතින් හිමි කරගෙන බසරය නාදවෙන්නට ආසන්නයේදීම තවත් බෝලයක් දැම්මා! එබැවින් එම කණ්ඩායම ලකුණු හතරක් ඉදිරියෙන්, පැහැදිලි ගම්‍යතාවයකින් යුතුව විවේක කාමරයට ගියා. එම ගම්‍යතාවයම දෙවැනි අර්ධය දක්වා රැගෙන ගොස් තරඟය ජයගැනීමට ඔවුන් සමත් වුණා.

ගම්‍යතාවය කියන්නේ බලවත් සංකල්පයක්. අපි සියල්ලෝම එය එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් අත්විඳ තිබෙනවා—වාහනයක වේගය ඉක්මණින් වැඩිවීමක්, නැතිනම් එකඟ නොවීමක් නිසා හදිසියේම වාදයක් පටන්ගැනීම ඒ සඳහා නිදසුන්.

ඉතින් මම අහන්නේ, ආධ්‍යාත්මික ගම්‍යතාව අවුලුවාලිය හැක්කේ කුමකටද? ධනාත්මක සහ සෘණාත්මක ගම්‍යතාව පිළිබඳ උදාහරණ අපි දැක තිබෙනවා. සභාවට හැරී ඔවුන්ගේ ඇදහිල්ල මත වර්ධනය වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයින්ව අපි දන්නවා. නමුත් වරක් කැපවී සිටි නමුත් වැටුණු ඇදහිලිවන්තයන් ගැනද අපි දන්නවා. ගම්‍යතාව ඕනෑම පැත්තකට හැරෙන්න පුළුවන්.

නපුර සහ කාල වල අඳුරු සංඥා උත්සන්න වන වේගයට ප්‍රතිරෝධය දැක්වීමට දැනට වඩා ධනාත්මක අධ්‍යාත්මික ගම්‍යතාවක් අපට කිසිදා අවශ්‍ය වී නෑ. වසංගත, සුනාමි, ගිනිකඳු පිපිරීම්, සහ සන්නද්ධ සතුරුකම් මගින් නිර්මාණය කරන ලද බිය සහ අවිනිශ්චිතභාවය මධ්‍යයේ වුවත් ධනාත්මක අධ්‍යාත්මික ගම්‍යතාව අපව ඉදිරියට ගෙන යයි. ආධ්‍යාත්මික ගම්‍යතාවයට, විරුද්ධවාදියාගේ නිර්දය, දුෂ්ට ප්‍රහාර වලට ඔරොත්තු දීමටත්, අපගේ පෞද්ගලික අධ්‍යාත්මික පදනම ඛාදනය කිරීමට ඔහු දරන උත්සාහයන් ව්‍යර්ථ කිරීමටත් අපට උපකාර කළ හැකියි.

බොහෝ ක්‍රියා වලට ධනාත්මක අධ්‍යාත්මික ගම්‍යතාවයක් දල්වන්න පුළුවන්. කීකරුකම, ආදරය, නිහතමානිකම, සේවය, සහ කෘතඥතාව4 ඉන් කිහිපයක් පමණයි.

අද දින ධනාත්මක අධ්‍යාත්මික ගම්‍යතාවක් පවත්වා ගැනීමට උපකාර කිරීම සඳහා අපට ගතහැකි නිශ්චිත ක්‍රියාමාර්ග පහක් යෝජනා කිරීමට මම කැමතියි.

පළමුවැන්න: ගිවිසුම් මාර්ගයට පැමිණ එහි රැඳී සිටින්න.

මෑතකදී, මට විශාල පිරිසක් මුණගැසුණු දීප්තිමත් සිහිනයක් මම දැක්කා. ඔවුන් මගෙන් බොහෝ ප්‍රශ්න ඇසූ අතර, ඒවායින් වඩාත් සුලභ වූයේ ගිවිසුම් මාර්ගය සහ එය එතරම් වැදගත් වන්නේ ඇයි කියා ඇසීමයි.

මගේ සිහිනය තුළ, අපි බව්තීස්ම වී දෙවියන්වහන්සේ සමඟ අපගේ පළමු ගිවිසුම කිරීමෙන් අපි ගිවිසුම් මාවතට ඇතුළු වන බව මම පැහැදිලි කළා.5 අපි සක්‍රමේන්තුවට සහභාගී වන සෑම අවස්ථාවකම, ගැලවුම්කරුවාණන්ගේ නාමය අප මතට ගැනීමට, උන්වහන්සේව සිහිකිරීමට, සහ උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට අපි නැවතත් පොරොන්දු වෙනවා.6 ඊට ප්‍රතිඋපකාරයක් වශයෙන්, ස්වාමින්වහන්සේගේ ආත්මය සැමවිටම අප සමඟ සිටින බවට දෙවියන්වහන්සේ අපට සහතික වෙනවා.

පසුව අපි දේවමාළිගාවේදී අමතර ගිවිසුම් ඇතිකරගන්නවා, එහිදී අපට ඊටත් වඩා විශාල පොරොන්දු ලැබෙනවා. නියෝග සහ ගිවිසුම් අපට දේව බලයට ප්‍රවේශය ලබාදෙනවා. උත්කර්ෂයට සහ සදාකාල ජීවනය කරා මගපෙන්වන එකම මාර්ගය තමයි ගිවිසුම් මාර්ගය.

මගේ සිහිනයේදී, ඔහුගේ හෝ ඇයගේ ගිවිසුම් කඩ කළ කෙනෙකු නැවත එම මාර්ගයට එන්නේ කෙසේදැයි එක් කාන්තාවක් ඇසුවා. ඇයගේ ප්‍රශ්නයට පිළිතුර මගේ දෙවන යෝජනාවට මගපාදනවා:

දෛනික පසුතැවිල්ලේ ප්‍රීතිය සොයාගන්න.

පසුතැවීම කොයිතරම් වැදගත්ද? “පසුතැවිලි වීම සහ ස්වාමින්වහන්සේ කෙරෙහි ඇදහිල්ල හැර අන් කිසිවක් දේශනා නොකළ යුතු” බව ඇල්මා ඉගැන්නුවා.7 සදාකාලික මහිමය අපේක්ෂා කරන සෑම වගකිවයුතු පුද්ගලයෙකුගෙන්ම පසුතැවීම අවශ්‍යයි.8 එයට ආදේශකයක් නෑ. අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ට ලබාදුන් එළිදරව්වකදී, ඔවුන්ගේ දරුවන්ට ශුභාරංචිය ඉගැන්වූයේ නැති සභාවේ මුල් නායකයින්ව ස්වාමින්වහන්සේ විසින් වරදට පත්කළා.9 වර්ධනය වීම සඳහා ප්‍රධාන සාධකය පසුතැවිලි වීමයි. නිර්මල ඇදහිල්ල අපට ගිවිසුම් මාවතේ ඉදිරියට ගමන් කරන්න ඉඩ සලසනවා.

කරුණාකර පසුතැවිලි වීමට බය වෙන්න එපා, ඒවගේම එය ප්‍රමාද කරන්න එපා. සාතන් ඔබේ දුක්ඛිත තත්වය ගැන සතුටු වෙනවා. එය කෙටි කරන්න. ඔහුගේ බලපෑම ඔබේ ජීවිතයෙන් ඉවතට විසි කරන්න! ස්වභාවික මිනිසාව ඉවත් කිරීමේ සතුට අත්විඳීමට අදම ආරම්භ කරන්න.10 ගැලවුම්කරුවාණන් සැමවිටම අපට ප්‍රේම කරන නමුත් විශේෂයෙන්ම අප පසුතැවිලි වන විට අපට ප්‍රේම කරනවා. “කඳු පහව යන්නේය, හෙල්ද සොලවනු ලබන්නේය; නුමුත් මාගේ කරුණාව නම් නුඹෙන් පහ නොවන්නේය,”11 කියා උන්වහන්සේ පොරොන්දු වුණා.

ඔබ ගිවිසුම් මාර්ගයෙන් පිටතට බොහෝ දුර ගොස් හෝ බොහෝ ඈතට ගොස් ඇති බවත්, නැවත පැමිණීමට මාර්ගයක් නොමැති බවත් ඔබට හැඟේ නම්, එය සරලවම ඇත්තක් නොවේ.12 කරුණාකර ඔබේ සභානායකවරයාව හෝ ශාඛා සභාපතිවරයාව සම්බන්ධ කරගන්න. ඔහු ස්වාමින්වහන්සේගේ නියෝජිතයා වන අතර පසුතැවිලි වීමේ ප්‍රීතිය සහ සහනය අත්විඳීමට ඔබට උපකාර කරයි.

දැන්, අවවාදයක්: ගිවිසුම් මාර්ගයට ආපසු යාමෙන් ජීවිතය පහසු වනු ඇතැයි අදහස් කරන්නේ නෑ. මෙම මාර්ගය දැඩි වන අතර සමහර අවස්ථා වලදී දැඩි කඳු නැගීමක් මෙන් දැනෙනවා.13 කෙසේවෙතත්, මෙම නැගීම සැලසුම් කර ඇත්තේ අපව පරීක්ෂා කිරීමට සහ ඉගැන්වීමට, අපගේ ස්වභාවයන් පිරිපහදු කිරීමට, ඒවගේම අපට ශුද්ධවන්තයන් වීමට උපකාර කිරීමට. උත්කර්ෂය කරා යන එකම මාර්ගය එයයි. එක් අනාගතවක්තෘවරයෙක්14 “දෙවියන්වහන්සේගේ ආඥා පිළිපදින අයගේ ආශිර්වාදිත හා ප්‍රීතිමත් තත්වය” පිළිබඳ මෙසේ විස්තර කළා. මක්නිසාද ඔව්හු සියල්ලෙහි දී, අධ්‍යාත්මික හා ආත්මික වශයෙන් ආශිර්වාද ලද්දෝය; ඔවුන් අවසානය දක්වා විශ්වාසවන්තව සිටින්නේ නම්, ඔවුන් ස්වර්ගයට පිළිගනු ලබන අතර, එමගින් ඔවුන් සදාකාල ප්‍රීතියෙන් දෙවියන්වහන්සේ සමඟ වාසය කරන්නෝය.”15

දිනපතා පසුතැවිලි වීම සමඟ, ගිවිසුම් මාවතේ ගමන් කිරීම, ධනාත්මක අධ්‍යාත්මික ගම්‍යතාවක් ඇතිකරනවා.

මගේ තුන්වන යෝජනාව: දෙවියන්වහන්සේ ගැන සහ උන්වහන්සේ ක්‍රියා කරන ආකාරය ගැන ඉගෙනගන්න.

අද අපට තිබෙන ලොකුම අභියෝගයක් වන්නේ දෙවියන්වහන්සේගේ සත්‍යයන් සහ සාතන්ගේ ව්‍යාජයන් අතර වෙනස හඳුනාගැනීමයි. “[අපි] සාතන්ව ජයග‍්‍රහණය කරන පිණිසද, එනම් සාතන්ගේ ක‍්‍රියාවන් උසුලන ඔහුගේ සේවකයන්ගේ අත් වලින් ගැලවීමටද, සැමවිටම යාච්ඤා කරන”16 ලෙස ස්වාමින්වහන්සේ අපට අනතුරු ඇඟවූයේ ඒ නිසයි.

දෙවියන්වහන්සේ සහ සාතන් අතර වෙනස හඳුනාගැනීමට ඉගෙනගන්නේ කෙසේද කියා කදිම නිදසුනක් මෝසෙස් ලබාදුන්නා. සාතන් ඔහුව පොළඹවා ගැනීමට පැමිණි විට, මෝසෙස් ඒ වංචාව හඳුනාගත්තේ ඔහු දෙවියන්වහන්සේ සමඟ මුහුණට මුහුණ ලා සම්බන්ධ වී තිබූ නිසයි. සාතන් කවුදැයි මෝසෙස් ඉක්මනින් වටහාගෙන ඔහුට ඉවත්ව යන ලෙස ආඥා කළා.17 සාතන් දිගටම සිටි විට, තවත් උපකාර සඳහා දෙවියන්වහන්සේට කන්නලව් කළ යුතු ආකාරය මෝසෙස් දැනසිටියා. මෝසෙස් දිව්‍යමය ශක්තිය ලබාගෙන නැවතත් දුෂ්ටයාට තරවටු කරමින්, මෙසේ කිව්වා, සාතන්, මා වෙතින් ඉවත්ව යන්න, මම නමස්කාර කරන්නේ මේ එකම දෙවියන්වහන්සේට පමණකි.18

අපි ඒ ආදර්ශය අනුගමනය කළ යුතුයි. සාතන්ගේ බලපෑම ඔබේ ජීවිතයෙන් ඉවතට විසි කරන්න! කරුණාකර ඔහුගේ “දුක්ඛිතකමේ ආගාධයට සහ අනන්ත වේදනාව”19 දක්වා ඔහුව අනුගමනය කරන්න එපා.

දිනපතා “දෙවියන්වහන්සේගේ යහපත් වචනයෙන්”20 පෝෂණය නොවන සාක්ෂියක් බිය උපදවන වේගයකින්, බිඳ වැටෙන්න පුළුවන්. මේ අනුව, සාතන්ගේ උපක්‍රමයට එරෙහි ප්‍රතිවිරෝධය පැහැදිලියි: අපට දිනපතාම ස්වාමින්වහන්සේට නමස්කාර කිරීම සහ උන්වහන්සේගේ ශුභාරංචිය අධ්‍යයනය කිරීම අවශ්‍යයි. ඔබේ ජීවිතයේ දෙවියන්වහන්සේට ජයගැනීමට ඉඩදෙන ලෙස මම ඔබෙන් අයදිනවා. ඔබේ කාලයෙන් සාධාරණ කොටසක් උන්වහන්සේට ලබාදෙන්න. ඔබ එසේ කරන විට, ඔබගේ ධනාත්මක අධ්‍යාත්මික ගම්‍යතාවයට කුමක් සිදුවේදැයි බලන්න.

යෝජනා අංක 4: හාස්කම් සොයන්න සහ බලාපොරොත්තු වෙන්න.

“දෙවියන්වහන්සේ ප්‍රාතිහාර්යයන් සිදුකරන දෙවි කෙනෙකු වීම නතර කර නැත”21 යනුවෙන් මොරෝනි අපට සහතික වුණා. ස්වාමින්වහන්සේ උන්වහන්සේව විශ්වාස කරන අයගේ ජීවිත වලට මැදිහත්වීමට කොතරම් කැමතිද කියා සෑම ශුද්ධලියවිලි පොතක්ම පෙන්නුම් කරනවා.22 ඔහු මෝසෙස් වෙනුවෙන් රතු මුහුද දෙබෑ කළා, නෙපිට පිත්තල තහඩු ලබාගැනීමට උදව් කළා, ඒවගේම අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් හරහා උන්වහන්සේගේ සභාව නැවත පිහිටෙව්වා. මෙම සෑම ප්‍රාතිහාර්යයක්ම සඳහා කාලය ගතවූ අතර එම පුද්ගලයන් මුලින් ස්වාමින්වහන්සේගෙන් ඉල්ලා සිටි දේ ඒ ලෙසම වුණේ නැති වෙන්න පුළුවන්.

එලෙසම, ඔබ “කිසිවක් සැක නොකර”23 උන්වහන්සේව විශ්වාස කරන්නේ නම්, ප්‍රාතිහාර්යයන් සමඟින් ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරයි. ප්‍රාතිහාර්යයන් සෙවීමට ආත්මික කාර්යය කරන්න. එවැනි ඇදහිල්ලක් ක්‍රියාත්මක කිරීමට ඔබට උපකාර කරන ලෙස යාච්ඤාවෙන් දෙවියන්වහන්සේගෙන් ඉල්ලන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “ක්ලාන්ත වූ අයට ශක්තිය දෙන [බවත්]; බලය නැත්තාට සවිය වැඩි කරන [බවත්]” ඔබටම අත්විඳිය හැකි බවට මම පොරොන්දු වෙනවා.24 ඔබේ ජීවිතයේ කන්දක් චලනය කිරීමට ස්වාමින්වහන්සේ ඔබට උපකාර කරන බව අවබෝධ කර නොගනිමින්ම, දේවල් කිහිපයක් ඔබේ අධ්‍යාත්මික ගම්‍යතාව වේගවත් කරයි.

යෝජනා අංක 5: ඔබේ පුද්ගලික ජීවිතයේ ගැටුම් අවසන් කරන්න.

ඔබේ ජීවිතයේ ගැටුම් අවසන් කිරීමට මම මගේ කැඳවීම නැවත නැවතත් කරනවා. සමාව දීමට සහ සමාව ලබාගැනීමට අවශ්‍ය නිහතමානිකම, ධෛර්යය, සහ ශක්තිය භාවිතා කරන්න. ගැලවුම්කරුවාණන් මෙසේ පොරොන්දු වී තිබෙනවා “[අපි] මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමාකරන්නහු නම්, [අපගේ] ස්වර්ගීය පියාණන්වහන්සේ [අපටත්] කමාකරන සේක.”25

අද සිට සති දෙකකින් අපි පාස්කු උත්සවය සමරනවා. මේ අතර, ඔබට බරක් වූ පුද්ගලික ගැටුමක අවසානයක් සොයන ලෙස මම ඔබට ආරාධනා කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම වෙනුවෙන් කෘතවේදීත්වය දැක්වීමට ඊට වඩා සුදුසු ක්‍රියාවක් තිබිය හැකිද? සමාව දීම දැනට කළ නොහැකි යැයි හැඟේ නම්, ඔබට උපකාර කිරීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ රුධිරය තුළින් බලය ඉල්ලා සිටින්න. ඔබ එසේ කරන විට, මම පුද්ගලික සාමය සහ අධ්‍යාත්මික ගම්‍යතාවයේ පිපිරීමක් පොරොන්දු වෙනවා.

ගැලවුම්කරුවාණන් සියලු මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් වන්දිගෙවූ විට, උන්වහන්සේව අනුගමනය කරන අයට උන්වහන්සේගේ සුවය, ශක්තිමත් කිරීම, සහ මිදීමේ බලය වෙත ප්‍රවේශ විය හැකි මාර්ගයක් උන්වහන්සේ විවෘත කළා. මෙම අධ්‍යාත්මික වරප්‍රසාද උන්වහන්සේට ඇහුම්කන් දීමට සහ උන්වහන්සේව අනුගමනය කිරීමට උත්සාහ කරන සියල්ලන්ට ලබාගන්න පුළුවන්.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මගේ හදවතේ සියලු ආයාචනා සමඟ, මම ඔබෙන් ඉල්ලා සිටින්නේ ගිවිසුම් මාර්ගයට ගොස් එහි රැඳී සිටින ලෙසයි. දිනපතා පසුතැවිලි වීමේ සතුට අත්විඳින්න. දෙවියන්වහන්සේ ගැන සහ උන්වහන්සේ ක්‍රියා කරන ආකාරය ගැන ඉගෙනගන්න. ප්‍රාතිහාර්යයන් සොයමින් බලාපොරොත්තු වන්න. ඔබේ ජීවිතයේ ගැටුම් අවසන් කිරීමට උත්සාහ කරන්න.

ඔබ මෙම අධිෂ්ඨානයන් මත ක්‍රියාකරන විට, ඔබ මුහුණදෙන කුමන බාධක මධ්‍යයේ වුවද, වැඩි වූ ගම්‍යතාවයකින් යුතුව ගිවිසුම් මාවතේ ඉදිරියට යාමට ඇති හැකියාව මම ඔබට පොරොන්දු වෙනවා. ඒවගේම පරීක්ෂාවට එරෙහි වීමට වැඩි ශක්තියක්, මනසේ සාමය සහ බියෙන් නිදහසත්, ඔබේ පවුල් වල වැඩි සමගියත් ඇතිවන බවට මම ඔබට පොරොන්දු වෙනවා.

දෙවියන්වහන්සේ ජීවමානයි! යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයි! උන්වහන්සේ ජීවමානයි! උන්වහන්සේ අපට ආදරය කරන අතර අපට උදව් කරනවා. මම මේ ගැන සාක්ෂි දරන්නේ අපගේ මිදුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. බලන්න 3 නෙපි 12:39.

  2. බලන්න 3 නෙපි 12:44.

  3. දහම සහ ගිවිසුම් 64:10; තවත් බලන්න 9 වන පදය.

  4. ප්‍රේරිත පාවුල් පැවසූ පරිදි, “සියල්ලේදීම ස්තූති කරන්න” (1 තෙසලෝනික 5:18). බලාපොරොත්තු සුන්වීම, අධෛර්යය වීම, සහ අධ්‍යාත්මික උදාසීනත්වය සඳහා ස්ථිරම ප්‍රතිවිරෝධකයක් වන්නේ කෘතඥතාවයි. අපට දෙවියන්වහන්සේට ස්තූති කළ හැකි දේවල් මොනවාද? පොළොවේ අලංකාරය සඳහාත්, ශුභාරංචිය නැවත පිහිටුවීම සඳහාත්, උන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් මේ පොළොව මත අපට උන්වහන්සේලාගේ බලය ලබාදෙන අසංඛ්‍යාත ක්‍රම සඳහාත් උන්වහන්සේට ස්තූති කරන්න. ශුද්ධලියවිලි සඳහා, උදව් සඳහා අපි දෙවියන්වහන්සේට කන්නලව් කරද්දී ප්‍රතිචාර දක්වන දේවදූතයන් සඳහාත්, එළිදරව් සඳහාත්, ඒවගේම සදාකාලික පවුල් සඳහාත් උන්වහන්සේට ස්තූති කරන්න. සියල්ලටම වඩා, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ත්‍යාගය සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම ගැන ස්තූතිවන්ත වන්න, එමඟින් අපව පොළොවට එවා ඇති ධර්දූමත සේවාවන් ඉටුකිරීමට අපට හැකි වෙනවා.

  5. ගිවිසුම් මාර්ගය අවබෝධ කරගැනීම සඳහා, දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ දරුවන්ගෙන් කෙනෙකු අතර ද්වි-මාර්ග කැපවීමක් ගිවිසුමකට ඇතුළත් වන බව වටහාගැනීම වැදගත්. ගිවිසුමක් තුළ, දෙවියන්වහන්සේ නියමයන් නියම කරනවා, අපි එම කොන්දේසි වලට එකඟ වෙනවා. ඒ වෙනුවට දෙවියන්වහන්සේ අපට පොරොන්දු ලබාදෙනවා. බොහෝ ගිවිසුම් තිබෙන්නේ බාහිර සංඥා—හෝ පරිශුද්ධ නියෝග—සමඟයි, අපි පැමිණ සිටින සාක්ෂිකරුවන් සමඟ ඒවාට සහභාගි වෙනවා. නිදසුනක් වශයෙන්, බව්තීස්මය යනු බව්තීස්ම වන පුද්ගලයා දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමට ගිවිසුමක් කර ඇති බවට ස්වාමින්වහන්සේට සලකුණක්.

  6. බලන්න මොරෝනි 4:3; 5:2; දහම සහ ගිවිසුම් 20:77, 79.

  7. මොසායා 18:20.

  8. බලන්න මෝසෙස් 6:50, 57.

  9. බලන්න දහම සහ ගිවිසුම් 93:40–48.

  10. බලන්න මොසායා 3:19.

  11. යෙසායා 54:10, අවධාරණය කිරීම් සහිතයි; තවත් බලන්න 3 නෙපි 22:10. කරුණාවන්තකම යන වචනය හෙබ්‍රෙව් වචනයක් වන hesed වෙතින් පරිවර්තනය කර ඇත, එය කරුණාව, දයාව, ගිවිසුම් ප්‍රේමය, සහ තවත් බොහෝ දේ ඇතුළත් ගැඹුරු අර්ථයක් සහිත බලවත් වචනයකි.

  12. සමහර පව් නිවැරදි කළ හැකි නමුත් අනෙක් ඒවා එසේ නොවේ. එක් අයෙක් තවත් කෙනෙකුව අපයෝජයට ලක්කරන්නේ නම් හෝ හිරිහැර කරන්නේ නම් හෝ කෙනෙකු තවත් කෙනෙකුගේ ජීවිතය නැති කළහොත් එය සම්පූර්ණයෙන් නිවැරදි කළ නොහැකියි. එම අවස්ථා වලදී බොහෝ දේ කළ හැක්කේ පව්කාරයාට පමණක් වන අතර, විශාල ශේෂයක් ඉතිරි වෙනවා. ගෙවිය යුතු ශේෂයකට සමාව දීමට ස්වාමින්වහන්සේගේ කැමැත්ත නිසා, අප කෙතරම් දුර බැහැර ගියත් අපට උන්වහන්සේ වෙත පැමිණිය හැකියි. අපි අවංකව පසුතැවිලි වන විට, උන්වහන්සේ අපට සමාව දෙනු ඇත. අපගේ පව් සහ ඒවා නිවැරදි කිරීමට ඇති හැකියාව අතර ඇති ඕනෑම ශේෂයක් ගෙවිය හැක්කේ දයාවේ ත්‍යාගයක් ලබාදිය හැකි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම අදාළ කරගැනීමෙන් පමණයි. අපගේ ඉතිරි ශේෂයට සමාව දීම සඳහා වූ උන්වහන්සේගේ කැමැත්ත මිල කළ නොහැකි ත්‍යාගයකි.

  13. බලන්න 2 නෙපි 31:18–20.

  14. මෙම නෙපිවර අනාගතවක්තෘවරයා බෙන්ජමින් රජුය.

  15. මොසායා 2:41.

  16. දහම සහ ගිවිසුම් 10:5; අවධාරණය කිරීම් සහිතයි.

  17. බලන්න මෝසෙස් 1:16; තවත් බලන්න 1–20 පද.

  18. මෝසෙස් 1:20

  19. හිලමන් 5:12.

  20. මොරෝනි 6:4.

  21. මොර්මොන් 9:15; තවත් බලන්න 19 වන පදය.

  22. ප්‍රේරිත යොහාන් ප්‍රකාශ කළේ ඔහු ගැලවුම්කරුවාණන්ගේ ආශ්චර්යයන් වාර්තා කළේ “[අපි] යේසුස් යනු ක්‍රිස්තුස්වහන්සේ බව විශ්වාස කරන පිණිස” බවයි (යොහාන් 20:31).

  23. මොර්මොන් 9:21.

  24. යෙසායා 40:29.

  25. මතෙව් 6:14.