ප්‍රධාන සම්මන්ත්‍රණය
පිවිතුරු සත්‍යය, පිවිතුරු දහම, සහ පිවිතුරු එළිදරව්ව
2021 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


පිවිතුරු සත්‍යය, පිවිතුරු දහම, සහ පිවිතුරු එළිදරව්ව

කරුණාකර මෙම සම්මන්ත්‍රණය ස්වාමින්වහන්සේගේ සේවකයන් තුළින් ලබාදෙන පණිවිඩ භුක්ති විඳින මංගල්‍යයක් බවට පත්කරන්න.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ප්‍රධාන සම්මන්ත්‍රණයට ඔබව සාදරයෙන් පිළිගන්නවා! ඔබ සමඟ සිටීමට ලැබීම මොනතරම් ප්‍රීතියක්ද! ගතවූ මාස හය තුළ ඔබ නිතරම පාහේ මගේ මනසේ රැඳී සිටියා. මම ඔබ පිළිබඳව සහ ඔබ වෙනුවෙන් යාච්ඤා කළා. මෙම සම්මන්ත්‍රණය එම ආශිර්වාදය පතන සියලුදෙනාටම එළිදරව් ලැබීමේ හා ආවර්ජනය කිරීමේ කාලයක් වේවායි පසුගිය සති කිහිපය තුළ මම දැඩි උනන්දුවෙන් යාච්ඤා කළා.

නැවත වරක් සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ සිට ඔබට කථා කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. ආසන වලින් බොහෝමයක් හිස්ව තිබුනද, ටැබර්නකල් ගීතිකා කණ්ඩායමේ සමහර සාමාජිකයින් සිටීම අපූරු ඉදිරි පියවරක්. ඔබ කොහේ සිටියත්, අපි මෙම මාර්ගගත විශාල සම්මන්ත්‍රණයට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා.

අපි තවමත් කොවිඩ්-19 හි විනාශයන් සහ එහි ප්‍රභේද සමඟ කටයුතු කරමින් සිටිනවා. අපගේ උපදෙස් සහ ඔබේම ප්‍රජාවන්හි වෛද්‍ය විශේෂඥයින්ගේ සහ රජයේ නිලධාරීන්ගේ උපදෙස් පිළිපැදීම ගැන අපි ඔබට ස්තූතිවන්ත වෙනවා.

අපි සෑම ප්‍රධාන සම්මන්ත්‍රණයක්ම රැස්කරන්නේ ස්වාමින්වහන්සේගේ උපදෙස් පරිදියි. 1 වසර ගණනාවක සිට එහි ආකෘතිය වෙනස් වී තිබෙනවා. මම කුඩා අවධියේදී සම්මන්ත්‍රණය දින තුන හතරක් මීට වඩා දිගට පැවතුණා. පසුව, සම්මන්ත්‍රණය දින දෙකකට අඩු කළා. එදත් අදත්—සෑම පණිවිඩයක්ම—අවංක යාච්ඤාවේ සහ බොහෝ අධ්‍යාත්මික සූදානමක ප්‍රතිඵලයක්.

කථා කරන සභාවේ සාමාන්‍ය අධිකාරීන් සහ සාමාන්‍ය නිලධාරීන් ඔවුන්ගේ පණිවිඩ වලදී අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, උන්වහන්සේගේ දයාව සහ උන්වහන්සේගේ අසීමිත මිදීමේ බලය කෙරෙහි අවධානය යොමුකරයි. අපේ ගැලවුම්කරුවාණන් පිළිබඳ දැනුම සෑම පුද්ගල ප්‍රාණයකටම පුද්ගලිකව අත්‍යවශ්‍ය හා අදාළ වන මෙවැනි කාලයක් ලෝක ඉතිහාසයේ තිබුණේ නෑ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට හා උන්වහන්සේගේ ඉගැන්වීම් වලට කීකරු වීමට යොමුවීමට අපි සියලුදෙනාම තෝරාගත්තොත්—ලොව පුරා සිදුවන විනාශකාරී ගැටුම් සහ—අපගේ පෞද්ගලික ජීවිතයේ ගැටුම් කෙතරම් ඉක්මණින් විසඳෙනු ඇත්දැයි සිතා බලන්න.

එම ආත්මය තුළ, මෙම සම්මන්ත්‍රණයේදී කරුණු තුනක් සඳහා සවන්දෙන ලෙස මම ඔබට ආරාධනා කරනවා: පිවිතුරු සත්‍යයට, ක්‍රිස්තුස්වහන්සේගේ පිවිතුරු දහමට, සහ පිවිතුරු එළිදරව්වට. ඇතැමුන්ගේ සැකයට පටහැනිව, හරි වැරැද්ද යනුවෙන් දෙයක් ඇත්තෙන්ම තිබෙනවා. ඇත්තෙන්ම පරම සත්‍යය—සදාකාලික සත්‍යය ලෙස දෙයක් තිබෙනවා. අපේ කාලයේ තිබෙන එක් වසංගතයක් නම් සත්‍යය සඳහා යොමුවිය යුත්තේ කොතැනටදැයි දන්නේ ස්වල්ප දෙනෙක් පමණයි. 2 අද සහ හෙට ඔබ අසන දේ තුළ පිවිතුරු සත්‍යය අන්තර්ගත බව මට ඔබට සහතික විය හැකියි.

ක්‍රිස්තුස්වහන්සේගේ පිවිතුරු දහම බලවත්. එය තේරුම්ගත් සහ එය ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන සෑම කෙනෙකුගේම ජීවිතය වෙනස් කරනවා. ක්‍රිස්තුස්වහන්සේගේ දහම අපට ගිවිසුම් මාවත සොයාගැනීමට සහ එහි රැඳී සිටීමට උපකාරී වෙනවා. එම පටු නමුත් හොඳින්-අර්ථ දක්වා ඇති මාවතේ රැඳී සිටීම අවසානයේ දෙවියන්වහන්සේ සතු සියල්ල ලබාගැනීමට අපව සුදුසු කරනවා. 3 අපේ පියාණන්වහන්සේ සතු සියල්ලට වඩා කිසිම දෙයක් වටින්නේ නෑ!

අවසාන වශයෙන්, ඔබේ හදවතේ ඇති ප්‍රශ්න සඳහා පිවිතුරු එළිදරව් මෙම සම්මන්ත්‍රණය අගනා ප්‍රතිඵල ලබාදෙන හා අමතක නොවන එකක් කරනවා. මේ දින දෙක තුළ ඔබ අසනවාට ස්වාමින්වහන්සේ කැමති දේ ඇසෙන ලෙස ශුද්ධාත්මයාණන්ගේ දේවසේවය ලබාගැනීමට ඔබ තවමත් උත්සාහ කර නැත්නම්, දැන් එය කිරීමට මම ඔබට ආරාධනා කරනවා. කරුණාකර මෙම සම්මන්ත්‍රණය ස්වාමින්වහන්සේගේ සේවකයන් තුළින් ලබාදෙන පණිවිඩ භුක්ති විඳින මංගල්‍යයක් බවට පත්කරන්න. ඒවා ඔබේ ජීවිතයට අදාළ කරගැනීමට ඉගෙනගන්න.

මේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවයි. අපි උන්වහන්සේගේ ගිවිසුම් ජනතාවයි. ස්වාමින්වහන්සේ තම කාර්යය නියමිත වේලාවට ඉක්මන් කරන බව ප්‍රකාශ කළ අතර, 4 උන්වහන්සේ එය වෙනදාටත් වඩා වැඩි වේගයෙන් කරමින් සිටිනවා. උන්වහන්සේගේ ශුද්ධ වූ කාර්යයට සහභාගී වීම අපට වරප්‍රසාදයක්.

වැඩි ආලෝකයක්, දැනුමක්, සහ සත්‍යයක් සොයන සියලුදෙනාටම මම ආශිර්වාදයක් තබනවා. ඔබ සෑම කෙනෙකුටම මම මාගේ ආදරය ප්‍රකාශ කරන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.