ප්‍රධාන සම්මන්ත්‍රණය
ක්‍රිස්තුස්වහන්සේ මරණයෙන් නැවත නැගිටි සේක; උන්වහන්සේ කෙරෙහි වූ ඇදහිල්ල කඳු චලනය කරයි
2021 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


ක්‍රිස්තුස්වහන්සේ මරණයෙන් නැවත නැගිටි සේක; උන්වහන්සේ කෙරෙහි වූ ඇදහිල්ල කඳු චලනය කරයි

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල යනු මේ ජීවිතයේ අපට ඇති ශ්‍රේෂ්ඨතම බලයයි. විශ්වාස කරන ඔවුන්ට සියල්ල කළ හැකියි.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මෙම පාස්කු ඉරිදා ඔබ සමඟ කථා කිරීමේ වරප්‍රසාදය ගැන මම කෘතඥ වෙනවා.1 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය සහ මරණයෙන් නැවත නැගිටීම අප සෑම කෙනෙකුගේම ජීවිත සදහටම වෙනස් කළා. අපි උන්වහන්සේට ප්‍රේම කරන අතර උන්වහන්සේටත් අපගේ ස්වර්ගික පියාණන්වහන්සේටත් කෘතඥ පූර්වකව අපි නමස්කාර කරනවා.

පසුගිය මාස හය තුළ, අපි ගෝලීය වසංගතයක් සමඟ තවමත් පොරබදමින් සිටිනවා. අසනීප, අහිමිවීම් සහ හුදකලාව හමුවේ ඔබේ ඔරොත්තුදීමේ හැකියාව සහ අධ්‍යාත්මික ශක්තිය ගැන මම පුදුම වෙනවා. ඒ හැමදෙයක්ම අතරින්, ස්වාමින්වහන්සේ ඔබ කෙරෙහි දක්වන අසීමිත ප්‍රේමය ඔබට දැනෙනු ඇතැයි මම නිරන්තරයෙන් යාච්ඤා කරනවා. ඔබේ පරීක්ෂාවන්ට වඩා ශක්තිමත් ගෝලයෙකු ලෙස ඔබ ප්‍රතිචාර දක්වා තිබේ නම්, පසුගිය වසර නිෂ්ඵල එකක් වී නෑ.

අද උදෑසන, පොළොවේ සෑම ජනාවාස මහාද්වීපයක්ම නියෝජනය කරන සභාවේ නායකයන්ට අපි ඇහුම්කන්දුන්නා. සැබවින්ම, ශුභාරංචියේ ආශිර්වාද සෑම ජාතියකටම, භාෂාවකටම සහ මිනිසුන් සඳහාම වෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව ලෝක ව්‍යාප්ත සභාවක්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ නායකයායි.

උන්වහන්සේගේ සත්‍යයේ ඉදිරි ගමන මන්දගාමී කිරීමට වසංගතයකට පවා නොහැකි වීම ගැන ස්තූතිවන්ත විය යුතුයි. මේ ව්‍යාකූල, විවාදාත්මක හා වෙහෙසට පත් ලෝකයට හරියටම අවශ්‍ය වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියයි.

දෙවියන්වහන්සේගේ සෑම දරුවෙකුටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුව කිරීමේ, මුදවාගැනීමේ පණිවිඩය ඇසීමට හා පිළිගැනීමට අවස්ථාව ලැබිය යුතුයි. වර්තමානයේත් එමෙන්ම සදාකාලයටත්—අපේ ප්‍රීතියට වෙන කිසිම පණිවිඩයක් මීට වඩා වැදගත් වන්නේ නෑ.2 වෙනත් කිසිම පණිවිඩයක් මෙතරම් බලාපොරොත්තුවෙන් පිරී නෑ. වෙනත් කිසිම පණිවිඩයකට අපේ සමාජයේ මතභේද තුරන් කරන්නට බෑ.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල යනු සියලු විශ්වාසයන්ගේ පදනම සහ දිව්‍ය බලයේ ප්‍රණාලයයි. ප්‍රේරිත පාවුලුට අනුව, “නුමුත් ඇදහිල්ල නැතුව [දෙවියන්වහන්සේව] ප්‍රසන්න කරන්ට නුපුළුවන: මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ලඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේව සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාස කරන්නට ඕනෑය.”3

ජීවිතයේ යහපත් සෑම දෙයක්ම—සදාකාලික වැදගත්කමක් ඇති සෑම ආශිර්වාදයක්ම—ආරම්භ වන්නේ ඇදහිල්ලෙන්. අපගේ ජීවිත තුළ දෙවියන්වහන්සේට ජයගැනීමට ඉඩදීම ආරම්භ වන්නේ උන්වහන්සේ අපට මගපෙන්වීමට කැමති බවට ඇති ඇදහිල්ල සමඟයි. සැබෑ පසුතැවිල්ල ආරම්භ වන්නේ අපව පවිත්‍ර කිරීමට, සුව කිරීමට හා ශක්තිමත් කිරීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේට බලය ඇති බවට වූ ඇදහිල්ල සමඟයි.4

“දෙවියන්වහන්සේගේ බලය ප්‍රතික්ෂේප නොකරන්න,” අනාගතවක්තෘ මොරෝනි මෙසේ ප්‍රකාශ කළා, “මක්නිසාද මනුෂ්‍ය දරුවන්ගේ ඇදහිල්ලට අනුව උන්වහන්සේ බලය මගින් ක්‍රියාකරන සේක.”5 අපගේ ඇදහිල්ල අපගේ ජීවිතය තුළ දෙවියන්වහන්සේගේ බලය නිරාවරණය කරනවා.

කෙසේවෙතත්, ඇදහිල්ලෙන් ක්‍රියා කිරීම ඉතා ප්‍රබල දෙයක් ලෙස පෙනෙන්නට පුලුවන්. අපට අතිශයින්ම අවශ්‍ය වන ආශිර්වාද ලබාගැනීම සඳහා ප්‍රමාණවත් ඇදහිල්ලක් රැස්කර ගතහැකිදැයි සමහර අවස්ථා වලදී අප කල්පනා කරන්නට පුලුවන්. කෙසේවෙතත්, ස්වාමින්වහන්සේ එම බිය දුරු කළේ මොර්මොන්ගේ පොතේ අනාගතවක්තෘ ඇල්මා තුළිනුයි.

රූපය
අබ ඇටය

ඇල්මා සරලවම අපෙන් ඉල්ලා සිටින්නේ එම වචනය අත්හදා බලා “එසේය, විශ්වාස කිරීමට වඩා ආශාවක් නුඹලාට තිබෙන්නේ නම්, ඇදහිල්ලේ කුඩා කොටසක් වුවත් පුහුණු කරන ලෙසයි.”6 “ඇදහිල්ලේ කුඩා කොටසක්” යන වාක්‍ය ඛණ්ඩය මට මතක්කර දෙන්නේ “අබ ඇටයක් පමණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්” “මේ කන්දට කථාකොට: මෙතැනින් අහක්ව, එතැනට යවයි කීවත් ඒක යන්නේය; තවද කිසිවක් [අපට] බැරි නොවන්නේයයි” බයිබලයේ ඇති ස්වාමින්වහන්සේගේ පොරොන්දුවයි.7

රූපය
අබ ඇට අතර කුරුල්ලන්

ස්වාමින්වහන්සේ අපගේ ලෞකික දුර්වලතා තේරුම්ගන්නවා. අපි හැමෝම වරින් වර පසුබට වෙනවා. නමුත් උන්වහන්සේ අපගේ විශාල හැකියාවන්ද දන්නවා. අබ ඇට කුඩා වන නමුත් කුරුල්ලන්ට එහි අතු වල කූඩු කිරීමට තරම් විශාල ගසක් දක්වා එය වර්ධනය වෙනවා. කුඩා නමුත් වර්ධනය වන ඇදහිල්ලක් අබ ඇටය මගින් නියෝජනය කරනවා.8

ස්වාමින්වහන්සේගේ පරිපූර්ණ බලයට ප්‍රවේශ වීමට අපට පරිපූර්ණ ඇදහිල්ලක් අවශ්‍ය යැයි ස්වාමින්වහන්සේ බලාපොරොත්තු වන්නේ නෑ. නමුත් උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේ විශ්වාස කරන ලෙසයි.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මෙම පාස්කු උදෑසන මම ඔබට කරන ආරාධනය වන්නේ, ඔබේ ඇදහිල්ල වැඩි කිරීම සඳහා අද සිට ආරම්භ කිරීමටයි. ඔබේ පෞද්ගලික අභියෝග එවරස්ට් කන්ද තරම් විශාල ලෙස පෙණුනද, ඔබගේ ඇදහිල්ල තුළින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබේ ජීවිතයේ කඳු චලනය කිරීමට ඇති ඔබේ හැකියාව වැඩි කරයි.9

ඔබේ කඳු තනිකම, සැකය, අසනීප හෝ වෙනත් පෞද්ගලික ගැටලු විය හැකියි. ඔබේ කඳු වෙනස් වනු ඇත, නමුත් ඔබේ එක් එක් අභියෝගයන්ට පිළිතුර ඔබේ ඇදහිල්ල වැඩි කිරීමයි. එයට කාර්යයන් අවශ්‍යයි. කම්මැලි ඉගෙනගන්නන් සහ ලිහිල් ගෝලයන්ට සැමවිටම ඇදහිල්ලේ අංශුවක් පවා රැස් කිරීමට අපහසු වෙනවා.

ඕනෑම දෙයක් හොඳින් කිරීමට උත්සාහය අවශ්‍යයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයෙකු වීමද එයින් වෙනස් වන්නේ නෑ. උන්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ල හා විශ්වාසය වැඩි කිරීමට වෑයමක් දැරිය යුතුයි. එම ඇදහිල්ල හා විශ්වාසය වර්ධනය කරගැනීමට මම ඔබට යෝජනා පහක් ඉදිරිපත් කරන්නම්.

පළමුව, අධ්‍යනය කරන්න. නියැලී සිටින ඉගෙනගන්නෙකු වන්න. ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මදූතය හා දේවසේවය වඩා හොඳින් තේරුම්ගැනීමට ශුද්ධලියවිලි වල ගිලී සිටින්න. ක්‍රිස්තුස්වහන්සේගේ දහම දැනගන්න එවිට ඔබේ ජීවිතය සඳහා එහි බලය ඔබට වැටහේවි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම ඔබට අදාළ වන සත්‍යය අභ්‍යන්තරකරණය කරන්න. ඔබේ දුක්ඛිත තත්වය, ඔබේ වැරදි, ඔබේ දුර්වලකම සහ ඔබේ පව් උන්වහන්සේ විසින්ම භාරගත්තා. උන්වහන්සේ වන්දි මිල ගෙවා ඔබ මුහුණදෙන සෑම කන්දක්ම චලනය කිරීමට ඔබට බලය ලබාදුන්නා. ඔබ එම බලය ලබාගන්නේ ඔබේ ඇදහිල්ල, විශ්වාසය සහ උන්වහන්සේව අනුගමනය කිරීමට ඇති කැමැත්ත සමඟයි.

ඔබේ කඳු චලනය කිරීමට ප්‍රාතිහාර්යයක් අවශ්‍ය විය හැකියි. ප්‍රාතිහාර්යයන් ගැන ඉගෙනගන්න. ප්‍රාතිහාර්යයන් පැමිණෙන්නේ ස්වාමින්වහන්සේ කෙරෙහි ඇති ඔබේ ඇදහිල්ල අනුවයි. එම ඇදහිල්ලේ කේන්ද්‍රය වන්නේ උන්වහන්සේගේ කැමැත්ත සහ කාලසටහනයි—එනම්, ඔබ ආශා කරන ආශ්චර්යමත් උපකාරයෙන් උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්නේ කෙසේද සහ කවදාද යන දෙයයි. ඔබේ ජීවිතයේ කඳු චලනය කිරීමට ප්‍රාතිහාර්යයන් තුළින් ආශිර්වාද කිරීමෙන් දෙවියන්වහන්සේව වළක්වන්නේ ඔබගේ අවිශ්වාසය පමණයි.10

ගැලවුම්කරුවාණන් ගැන ඔබ වැඩි වැඩියෙන් ඉගෙනගන්නා තරමට, උන්වහන්සේගේ දයාව, උන්වහන්සේගේ අසීමිත ප්‍රේමය, සහ උන්වහන්සේගේ ශක්තිය, සුවකිරීම, සහ මුදවාගැනීමේ බලය කෙරෙහි විශ්වාසය තැබීම පහසු වෙනවා. ඔබ ඇදහිල්ලෙන් යුතුව කන්දකට මුහුණදෙන විට හෝ නගින විට ඊටත් වඩා ගැලවුම්කරුවාණන් ඔබට වඩා සමීප වන අවස්ථාවක් නෑ.

දෙවනුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කිරීමට තෝරාගන්න. පියාණන් වන දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන්, හෝ නැවත පිටුවීමේ වලංගුභාවය, හෝ අනාගතවක්තෘවරයෙකු ලෙස ජෝසෆ් ස්මිත්ගේ දිව්‍යමය කැඳවීමේ නිරවද්‍යතාවය පිළිබඳව ඔබට සැකයන් තිබේ නම්, විශ්වාස කිරීමට තෝරාගෙන ඇදහිලිවන්තව සිටින්න.11 ඔබේ ප්‍රශ්න ස්වාමින්වහන්සේ හා වෙනත් ඇදහිලිවන්ත මූලාශ්‍ර වෙත ගෙනයන්න. අනාගතවක්තෘවරයෙකුගේ ජීවිතයේ යම් අඩුපාඩුවක් හෝ ශුද්ධලියවිලි වල විෂමතාවයක් ඔබට සොයාගත හැකිය යන බලාපොරොත්තුවෙන් නොව විශ්වාස කිරීමට ආශාව සමඟ අධ්‍යයනය කරන්න. ඔබේ සැකයන් වෙනත් සැකකරුවන් සමඟ පෙරහුරු කිරීමෙන් ඒවා වැඩිකරගැනීම නවත්වන්න. අධ්‍යාත්මික සොයාගැනීමේ ගමනට ඔබව ගෙන යාමට ස්වාමින්වහන්සේට ඉඩදෙන්න.

තුන්වනුව, ඇදහිල්ලෙන් ක්‍රියා කරන්න. ඔබට වැඩි ඇදහිල්ලක් තිබුනානම් ඔබ කුමක්ද කරන්නේ? ඒ ගැන සිතන්න. ඒ ගැන ලියන්න. ඉන්පසු ඇදහිල්ලක් වැඩියෙන් අවශ්‍ය වන දෙයක් කිරීමෙන් ඇදහිල්ල වැඩියෙන් ලබාගන්න.

හතරවනුව, ශුද්ධ වූ නියෝගයන් වලට සුදුසුව සහභාගී වන්න. නියෝගයන් මගින් ඔබේ ජීවිතය සඳහා දෙවියන්වහන්සේගේ බලය විවෘත කරදෙනවා.12

එමෙන්ම පස්වනුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඔබගේ ස්වර්ගික පියාණන්වහන්සේගෙන් උපකාර ඉල්ලා සිටින්න.

ඇදහිල්ලට ක්‍රියාවන් අවශ්‍ය වෙනවා. එළිදරව් ලැබීමට ක්‍රියාවන් අවශ්‍ය වෙනවා. නමුත් “ඉල්ලන්නාවූ සියල්ලන්ට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටු කරන්නාට දොර හරිනු ලැබේ.”13 ඔබේ ඇදහිල්ල වර්ධනය වීමට උපකාරවත් වන්නේ කුමක්දැයි දෙවියන්වහන්සේ දන්නවා. අසන්න, ඉන්පසු නැවත අසන්න.

ඇදහිල්ල දුර්වලයන් සඳහා බව නොඇදහිලිවන්තයෙකුට පැවසිය හැකියි. නමුත් මෙම ප්‍රකාශය ඇදහිල්ලේ බලය නොසලකා හරිනවා. ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේරිතයන් උන්වහන්සේගේ මරණයෙන් පසුවද, ඔවුන්ගේ ජීවිත අනතුරේ තිබියදීත්, උන්වහන්සේ ගැන සැක පහළ කළේ නම්, උන්වහන්සේගේ ඉගැන්වීම දිගටම උගන්වනු ඇත්ද?14 එය සත්‍ය බවට ඔවුන්ට ස්ථිර සාක්ෂියක් තිබුණේ නොමැති නම්, ජෝසෆ් සහ හයිරම් ස්මිත් ස්වාමින්වහන්සේගේ සභාවේ නැවත පිහිටුවීම ආරක්ෂා කරමින් දිවි පිදූවන් ලෙස මරණයට ගොදුරු වෙයිද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවා ඇති බවට ඔවුන්ට ඇදහිල්ල තිබුණේ නැතිනම්, පුරෝගාමී මාවත15 ඔස්සේ ශුද්ධවන්තයින් 2000 ආසන්න සංඛ්‍යාවක් මිය යයිද? සැබවින්ම, ඇදහිල්ල යනු කළ නොහැකි දේ ඉටුකර ගැනීමට හැකිවන බලයයි.

ඔබට දැනටමත් ඇති ඇදහිල්ල අඩු කරගන්නට එපා. සභාවට එකතු වී ඇදහිලිවන්තව සිටීමට ඇදහිල්ල අවශ්‍යයි. පණ්ඩිතයන්ට හා ජනප්‍රිය මතයන්ට වඩා අනාගතවක්තෘවරුන් අනුගමනය කිරීම සඳහා ඇදහිල්ල අවශ්‍යයි. වසංගතයක් තුළ ධර්මදූත සේවයක් ඉටුකිරීම සඳහා ඇදහිල්ල අවශ්‍යයි. දෙවියන්වහන්සේගේ පවිත්‍රබවේ නීතිය දැන් යල්පැන ඇති බව ලෝකය කෑගසන විට පවිත්‍රබවේ ජීවිතයක් ගතකිරීම සඳහා ඇදහිල්ල අවශ්‍යයි. අනාගාමික ලෝකයක දරුවන්ට ශුභාරංචිය ඉගැන්වීමට ඇදහිල්ල අවශ්‍යයි. ආදරණීය කෙනෙකුගේ ජීවිතය ඉල්ලා සිටීම සඳහා ඇදහිල්ල අවශ්‍ය වන අතර බලාපොරොත්තු සුන් කරවන පිළිතුරක් පිළිගැනීමට ඊටත් වඩා ඇදහිල්ලක් අවශ්‍යයි.

මීට වසර දෙකකට පෙර, නෙල්සන් සහෝදරිය සහ මම සමෝවා, ටොංගා, ෆීජි සහ ටහීටි යන නගර වලට ගියා. ඒ සෑම දූපත් ජාතීන්ටම දින ගණනාවක් තිස්සේ තද වැසි ලැබී තිබුණා. ඔවුන්ගේ එළිමහන් රැස්වීම් වර්ෂාවෙන් ආරක්ෂා වන ලෙස සාමාජිකයන් නිරාහාරව සිට යාච්ඤා කර තිබුණා.

සමෝවා, ෆීජි සහ ටහීටි වල රැස්වීම් ආරම්භ වූවාත් සමඟම වර්ෂාව නතර වුණා. නමුත් ටොංගා හි වර්ෂාව නතර වූයේ නෑ. එනමුත් ඇදහිලිවන්ත ශුද්ධවන්තයින් 13,000 ක් ආසනයක් ලබාගැනීමට පැය ගණනාවකට පෙර පැමිණ, ඇද හැලෙන වර්ෂාව තුළ ඉවසිලිවන්තව බලා සිටි අතර, පැය දෙකක් පුරා ඉතා තෙත්ව රැස්වීමේ වාඩිවී සිටියා.

රූපය
ටොන්ගන් ශුද්ධවන්තයින් වැස්සේ

එම එක් එක් දූපත් වැසියන් අතර විචිත්‍රවත් ඇදහිල්ලක් ඇති බව අපි දුටුවා—වර්ෂාව නැවැත්වීමට ප්‍රමාණවත් ඇදහිල්ල සහ වර්ෂාව නතර නොවූ විට නොපසුබට උත්සාහයක් එහි තිබුණා.

අපේ ජීවිතයේ කඳු සෑමවිටම අප කැමති ආකාරයට හෝ අපි කැමති වෙලාවක චලනය වන්නේ නෑ. නමුත් අපගේ ඇදහිල්ල සැමවිටම අපව වේගයෙන් ඉදිරියට ගෙන යනවා. ඇදහිල්ල සැමවිටම දේව බලයට අපගේ ප්‍රවේශය වැඩි කරනවා.

කරුණාකර මෙය දැනගන්න: ඔබ විශ්වාස කරන ලෝකයේ අන් සියල්ලන්ම සහ සියලුදෙයක්ම අසාර්ථක වුවත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ සභාව ඔබව කිසිවිටෙකත් අසමත් කරන්නේ නෑ. ස්වාමින්වහන්සේ කිසිවිටෙකත් අඩනින්දේ සිටින්නේවත්, නිදාගන්නේවත් නෑ.16 උන්වහන්සේ “ඊයෙත්, අදත්, තවද [හෙටත්] එක සමානයි.”17 උන්වහන්සේ උන්වහන්සේගේ ගිවිසුම්,18 උන්වහන්සේගේ පොරොන්දු හෝ උන්වහන්සෙගේ ජනතාව කෙරෙහි ඇති උන්වහන්සේගේ ප්‍රේමය අත්හරින්නේ නෑ. උන්වහන්සේ අද ප්‍රාතිහාර්යයන් කරන අතර, උන්වහන්සේ හෙටත් ප්‍රාතිහාර්යයන් කරනවා.19

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල යනු මේ ජීවිතයේ අපට ඇති ශ්‍රේෂ්ඨතම බලයයි. විශ්වාස කරන ඔවුන්ට සියල්ල කළ හැකියි.20

උන්වහන්සේ කෙරෙහි ඔබගේ වැඩෙන ඇදහිල්ල කඳු චලනය කරවයි—පොළොව අලංකාර කරන ගල් කඳු නොව—නමුත් ඔබේ ජීවිත වල දුක්ඛිත කඳු චලනය කරවයි. ඔබට ඔබගේ අභියෝග අසමසම වර්ධනයක් හා අවස්ථාවක් බවට පත්කිරීමට ඔබේ සමෘද්ධිමත් ඇදහිල්ල උපකාරී වෙයි.

මෙම පාස්කු ඉරිදා දින, මගේ ආදරය හා කෘතඥතාවයේ ගැඹුරු හැඟීම් සමඟ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මරණයෙන් නැවත නැගිටි බවට මාගේ සාක්ෂිය ප්‍රකාශ කරනවා. උන්වහන්සේගේ සභාව මෙහෙයවීම සඳහා උන්වහන්සේ මරණයෙන් නැවත නැගිට්ටා. දෙවියන්වහන්සේගේ සියලු දරුවන්ව, ඔවුන් කොතැනක ජීවත් වුවත්, ඔවුන්ගේ ජීවිත වලට ආශිර්වාද කිරීම සඳහා උන්වහන්සේ මරණයෙන් නැවත නැගිට්ටා. උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල සමඟ, අපට අපගේ ජීවිත තුළ කඳු චලනය කළ හැකියි. මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. ලෝකයේ සමහර රටවල මිනිසුන් පාස්කු උදෑසන සුබ පැතුම් හුවමාරු කරගැනීම සඳහා අනන්‍ය හා විශේෂ ක්‍රමයක් භාවිතා කරනවා. ඔවුන්ගේ දේශීය භාෂාවෙන්, “ක්‍රිස්තුස්වහන්සේ මරණයෙන් නැවත නැගිටි සේක!” කියා ආචාර කරන්නා පවසනවා. එවිට සුබ පැතීම ලැබූ පුද්ගලයා මෙසේ ප්‍රතිචාර දක්වනවා, “ඇත්තෙන්ම! උන්වහන්සේ මරණයෙන් නැවත නැගිටි සේක!” නිදසුනක් වශයෙන්, රුසියානු කථිකයන් විසින් පාස්කු සුබ පැතුම් හුවමාරුව ආරම්භ වන්නේ මෙලෙසිනි “Христос воскрес” (ක්‍රිස්තුස්වහන්සේ මරණයෙන් නැවත නැගිටි සේක!), එයට පිළිතුරු මෙයයි “Воистину! воскрес! ” “සැබවින්ම! උන්වහන්සේ මරණයෙන් නැවත නැගිටි සේක!).

  2. මොසායා 2:41 බලන්න.

  3. හේබ්‍රව් 11:6. ඇදහිල්ල පිළිබඳ දේශනවල සඳහන් වන්නේ ඇදහිල්ල “සියල්ල කෙරෙහි බලය, ආධිපත්‍යය සහ අධිකාරය ඇති පළමු මහා පාලන මූලධර්මය” බවයි ([1985], 5).

  4. මතෙව් 11:28–30 බලන්න; ඇල්මා 7:12–13; ඊතර් 12:27.

  5. මොරෝනි 10:7 අවධාරණය කිරීම් සහිතයි.

  6. ඇල්මා 32:27; අවධාරණය කිරීම් සහිතයි.

  7. මතෙව් 17:20, අවධාරණය කිරීම් සහිතයි; හිලමන් 12:9, 13 ද බලන්න.

  8. දහම සහ ගිවිසුම් 78:17–18 බලන්න. ස්වාභාවික මිනිසා පසෙක දැමීමේ විපාකය නම් “ස්වාමින් වන ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් ශුද්ධවන්තයෙකු වීමයි” (මොසායා 3:19).

  9. 1 නෙපි 7:12 බලන්න.

  10. මොර්මොන් 9:19–21 බලන්න; ඊතර් 12:30.

  11. 2 නෙපි 33:10–11 බලන්න.

  12. දහම සහ ගිවිසුම 84:20 බලන්න.

  13. මතෙව් 7:8

  14. ඇදහිල්ලේ බලය නොතිබුනේ නම්, තමා සත්‍යය යැයි දැන සිටි දේ ප්‍රතික්ෂේප කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා අබිනාඩි ගින්නෙන් මරණයට පත්වීමට ඉඩ තිබුණාද? (මොසායා 17:7–20 බලන්න). එම බලය නොතිබුනේ නම්, ඊතර් පර්වතයක කුහරය තුළ සැඟවී සිටින්නට තිබුණාද (ඊතර් 13:13–14 බලන්න) සහ මොරෝනි වසර ගණනාවක් තනිකම විඳදරාගන්නට තිබුණාද (මොරෝනි 1:1–3 බලන්න) ඔවුන් විශ්වාස කළ දේ හෙළාදැක්කා නම් ඔවුන්ගේ ජීවිත වඩාත් සුවපහසු වන්නට තිබුණා නොවේද?

  15. See Melvin L. Bashore, H. Dennis Tolley, and the BYU Pioneer Mortality Team, “Mortality on the Mormon Trail, 1847–1868,” BYU Studies, vol. 53, no. 4 (2014), 115.

  16. ගීතාවලිය 121:4 බලන්න.

  17. මොර්මොන් 9:9.

  18. යෙසායා 54:10 බලන්න; 3 නෙපි 22:10.

  19. මොර්මොන් 9:10–11, 15 බලන්න.

  20. මාර්ක් 9:23 බලන්න.