ප්‍රධාන සම්මන්ත්‍රණය
යහපත කිරීම අපගේ සාමාන්‍ය දෙයක් වීමට ඉඩ දෙන්න
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


යහපත කිරීම අපගේ සාමාන්‍ය දෙයක් වීමට ඉඩ දෙන්න

අපි නොසැලී, යහපත් දේ කිරීමෙහි ස්ථීර නම්, අපගේ සිරිත් විරිත් ගිවිසුම් මාර්ගයේ රැඳී සිටීමට අපට උපකාර කරනවා.

විවිධ රටවල ජීවත් වීමට මාව එහා මෙහා ගෙනගිය සභාවේ මගේ කැඳවීම් සඳහා මම සැමවිටම කෘතඥ වෙනවා. මේ සෑම රටකම විශාල විවිධත්වයක් සහ විවිධ සිරිත් විරිත් හා සම්ප්‍රදායන් ඇති සුවිශේෂී මිනිසුන් අපට හමු වුණා.

අප සැමට, පුද්ගලිකවම, අපගේ පවුලෙන් හෝ අප ජීවත් වන ප්‍රජාවෙන් පැමිණි සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් තිබෙනවා, ඒවගේම ශුභාරංචියේ ප්‍රතිපත්තිවලට අනුකූල වන සියල්ල තබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායන් සංශෝධනය කිරීම ගිවිසුම් මාවතේ රැඳී සිටීමට අපගේ ප්‍රයත්නයන්ට මූලික වන අතර, ඒ සඳහා බාධාවක් වන ඒවා අපි ප්‍රතික්ෂේප කළ යුතුයි.

චාරිත්‍රයක් යනු පුද්ගලයෙකු, සංස්කෘතිය හෝ සම්ප්‍රදාය සඳහා පුරුද්දක් හෝ නිතර නිතර හා පුරුද්දක් ලෙස සිතීමේ ක්‍රමයක්. බොහෝ විට, අප පුරුද්දක් ලෙස සිතන සහ කරන දේවල් අපි “සාමාන්‍ය දේවල්” ලෙස හඳුන්වනවා.

මෙය නිදර්ශනය කිරීමට මට ඉඩ දෙන්න: පැට්‍රීෂියා, මගේ ආදරණීය බිරිඳ, පොල් වතුර බොන්නත් පොල් කන්නත් ඉතා කැමතියි. මෙක්සිකෝවේ පියුබෙලා හි අපගේ පළමු සංචාරයේදී අපි පොල් ගෙඩියක් මිලදී ගතහැකි ස්ථානයකට ගියා. වතුර බීවාට පසුව මගේ බිරිඳ පොල් ගෙඩිය කපලා මදය ගෙනත් දෙන ලෙස ඉල්ලා සිටියා. රැගෙන එන විට එයට රතු පැහැයක් තිබුණා. ඔවුන් එයට මිරිස් ටිකක් ඉස තිබුණා! පැණි රස පොල්, මිරිස් සමඟ! එය අපිට හරිම අමුතු විදිහකට පෙනුණා. නමුත් මිරිස් සමඟ පොල් නොකන අමුතු අය මම සහ මාගේ බිරිඳ බව පසුව අපි දැනගත්තා. කෙසේවෙතත්, මෙක්සිකෝවේ එය අමුතු දෙයක් නොවේ; එය ඉතා සාමාන්‍ය දෙයක්.

තවත් අවස්ථාවක, අපි මිතුරන් කිහිප දෙනෙකු සමඟ බ්‍රසීලයේ ආහාර ගනිමින් සිටි අතර, ඔවුන් අපට අලිගැට පේර දුන්නා. අපි එයට ලුණු ඉසගැනීමට හදන විටම අපේ යාළුවෝ අපෙන් මෙලෙස ඇසුවා “මොනවද ඔබ කරන්නේ! අපි දැනටමත් අලිගැටපේර මත සීනි දාලයි තියෙන්නේ!” සීනි සමඟ අලිගැට පේර! එය අපිට හරිම අමුතු විදිහකට පෙනුණා. නමුත් සීනි සමඟ අලිගැට පේර නොකන අමුතු අය මම සහ මාගේ බිරිඳ බව පසුව අපි දැනගත්තා. බ්‍රසීලයේ අලිගැට පේර වලට සීනි ඉස ආහාරයට ගැනීම සාමාන්‍යයි.

සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් අනුව සමහරුන්ට සාමාන්‍ය දේ තවත් අයට අමුතු දෙයක් වෙන්න පුළුවන්.

අපගේ ජීවිතයේ සාමාන්‍ය සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් මොනවාද?

සභාපති රසල් එම්. නෙල්සන් මේ ආකාරයට පවසා තිබෙනවා: “අද අපට බොහෝවිට ‘නව සාමාන්‍යයක්’ ගැන අසන්නට ලැබෙනවා. ඔබට ඇත්තෙන්ම නව සාමාන්‍යයක් වැලඳගැනීමට අවශ්‍ය නම්, ඔබේ හදවත, මනස හා ආත්මය වැඩි වැඩියෙන් අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ හා උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත යොමුකරන ලෙස මම ඔබට ආරාධනා කරනවා. එය ඔබගේ නව සාමාන්‍ය වීමට ඉඩ හරින්න” (“නව සාමාන්‍ය,” ලියහෝනා, නොවැ. 2020, 118).

මේ ආරාධනය හැමෝටම අදාළ වෙනවා. අපි දුප්පත්ද පොහොසත්ද, උගත්ද නූගත්ද, මහලුද, තරුණද, අසනීපද, සෞඛ්‍ය සම්පන්නද යන්න වැදගත් නැහැ. අපගේ ජීවිතයේ සාමාන්‍ය දේවල් අපව ගිවිසුම් මාවතේ තබා ගැනීමට උපකාර වන ඒවා වීමට ඉඩ දෙන ලෙස ඔහු අපට ආරාධනා කරනවා.

හොඳ හෝ ප්‍රශංසනීය දේවල් වල පූර්ණත්වයක් කිසිම රටක අඩංගු වන්නේ නැහැ. එමනිසා, පාවුල් සහ අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් ඉගැන්වූ පරිදි:

“ගුණවත්, ප්‍රිය, හොඳ වාර්ථා කිරීමට වටින හෝ ප්‍රශංසනීය යමක් තිබේ නම්, අපි මේ දේවල් සොයන්නෙමු” (ඇදහිල්ලේ කරුණු 1:13)

“යම් ප්‍රශංසාත්මක දෙයක් ඇත්නම්, මේ දේවල් ගැන සිතන්න” (පිලිප්පි 4:8).

මෙය විවරණයක් නොවේ අනුශාසනාවක් බව සලකන්න.

අපේ චාරිත්‍ර වාරිත්‍ර සහ ඒවා අපේ පවුල්වලට බලපාන ආකාරය ගැන මොහොතක් අපි සියලු දෙනාම මෙනෙහි කරනවාට මම කැමතියි.

සභාවේ සාමාජිකයන් වශයෙන් සුවිශේෂී පුරුදු අතර සාමාන්‍ය දෙයක් විය යුත්තේ මෙම හතරයි:

  1. පුද්ගලික සහ පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය. ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත හැරීමට, ශුභාරංචිය ඉගෙනීම සඳහා එක් එක් පුද්ගලයා වගකිව යුතුයි. තම දරුවන්ට ශුභාරංචිය ඉගැන්වීමේ වගකීම දෙමාපියන් සතුයි (බලන්න දහම සහ ගිවිසුම් 68:25; 93:40).

  2. පුද්ගලික සහ පවුලේ යාච්ඤා. ගැලවුම්කරුවාණන් අපට නිතරම යාච්ඤා කරන ලෙස ආඥා කරනවා (බලන්න දහම සහ ගිවිසුම් 19:38). උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් අපගේ ස්වර්ගික පියාණන් සමඟ පුද්ගලිකව සන්නිවේදනය කිරීමට යාච්ඤාව අපට ඉඩ සලසනවා.

  3. සතිපතා සක්‍රමේන්තු රැස්වීමට සහභාගි වීම (බලන්න 3 නෙපි 18:1–12; මොරෝනි 6:5–6). අපි එසේ කරන්නේ සක්‍රමේන්තුව ගන්නා විට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සිහි කිරීමටයි. මෙම නියෝගය තුළ, සභාවේ සාමාජිකයන් ගැලවුම්කරුවාණන්ගේ නාමය තමන් වෙත ගැනීම, උන්වහන්සේව සැමවිටම මතක තබා ගැනීම සහ උන්වහන්සේගේ ආඥාවන් පිළිපැදීම පිළිබඳ ඔවුන්ගේ ගිවිසුම අලුත් කරනවා (බලන්න දහම සහ ගිවිසුම් 20:77, 79).

  4. දේවමාළිගා හා පවුල් ඉතිහාස කටයුතුවලට නිතර සහභාගි වීම. මෙම කාර්යයෙන් අදහස් වෙන්නේ සදාකාලික පවුල් එක්සත් කිරීම හා මුද්‍රා තැබීමේ ආකාරය ගැනයි (බලන්න දහම සහ ගිවිසුම් 128:15).

මේ කරුණු හතර ඇහෙන විට අපට දැනෙන්නේ කොහොමද? ඒවා අපේ සාමාන්‍ය ජීවිතයේ කොටසක්ද?

දෙවියන්වහන්සේට අපගේ ජීවිත තුළ ජය ගැනීමට ඉඩ සලසන, අප අනුගමනය කරන ලද සාමාන්‍යභාවයේ කොටසක් විය හැකි තවත් බොහෝ සම්ප්‍රදායන් තිබෙනවා.

අපේ ජීවිතයේ සහ අපේ පවුලේ සාමාන්‍ය දේවල් මොනවාද කියා තීරණය කරන්නේ කොහොමද? ශුද්ධලියවිලිවල අපට විශිෂ්ට ආදර්ශයක් දක්නට ලැබෙනවා; මොසායා 5:15 හි මෙසේ කියනවා, “ඔබ ස්ථිරව හා නොසැලී, නිතරම යහපත් ක්‍රියාවලින් බහුලව සිටිනවාට මම කැමැත්තෙමි.”

අපගේ ජීවිතයේ සාමාන්‍ය දේවල් බවට පත්වන්නේ අප නැවත නැවතත් කරන දේවල් බව අපි දන්නවා, ඒ නිසා මම මේ වචන වලට කැමතියි. අපි නොසැලී, යහපත් දේ කිරීමෙහි ස්ථීර නම්, අපගේ සිරිත් විරිත් ශුභාරංචියේ මූලධර්මවලට අනුකූල වන අතර, ගිවිසුම් මාර්ගයේ රැඳී සිටීමට අපට උපකාර කරනවා.

සභාපති නෙල්සන් මෙලෙසද උපදෙස් දී තිබෙනවා: “දිනපතා පසුතැවිලි වීමෙන් ඔබේ නව සාමාන්‍යය වැළඳ ගන්න. සිතුවිලි, වචන සහ ක්‍රියාවෙන් වඩ වඩාත් නිර්මල වීමට උත්සාහ කරන්න. අනෙක් අයට දේවසේවය කරන්න. සදාකාලික ඉදිරි දර්ශනයක් තබාගන්න. ඔබගේ කැඳවීම් ඉටුකරන්න. ඔබේ අභියෝග කුමක් වුවත්, මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබ ඔබේ මැවුම්කරු හමුවීමට වඩාත් සූදානම් වන ආකාරයට සෑම දිනකම ජීවත්වන්න” (“නව සාමාන්‍යයක්,” 118).

දැන් මගේ බිරිඳ පැට්‍රීෂියාට හෝ මට මිරිස් සමඟ පොල් කන එකත් ඒවගේම අලිගැටපේර එක්ක සීනි කන එකත් අමුතු දෙයක් නොවේ—ඇත්තෙන්ම අපි එයට කැමතියි. කෙසේ වෙතත්, උත්කර්ෂය යනු රසය පිළිබඳ හැඟීමකට වඩා අතිවිශිෂ්ට දෙයක්; එය සදාකාලිකත්වයට සම්බන්ධ මාතෘකාවක්.

දෙවියන්වහන්සේගේ ආඥා රකින අයට පොරොන්දු වූ “නිම නොවන සතුට” අත්විඳීමට අපගේ සාමාන්‍යභාවය අපට ඉඩ සලසන ලෙස මම යාච්ඤා කරනවා (මොසායා 2:41), එමෙන්ම එසේ කරන අතරතුර “අපි ප්‍රීතිමත් ආකාරයෙන් ජීවත් වූවෙමු” කියා අපට කියන්න පුළුවන් වෙයි (2 නෙපි 5:27).

මාගේ සහෝදර සහෝදරියනි, අනාගතවක්තෘවරුන්, අනාගතය දකින්නන් සහ එළිදරව් කරන්නන් ලෙස අප ස්ථීර කරන සභාපති රසල් එම්. නෙල්සන් ඇතුළු මිනිසුන් 15 දෙනා ගැන මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව සත්‍ය බව මම සාක්ශි දරනවා. අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන මම විශේෂයෙන් සාක්ෂි දරනවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.