ප්‍රධාන සම්මන්ත්‍රණය
අළු වෙනුවට මාලයක්: සමාව දීමේ සුව කිරීමේ මාවත
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


අළු වෙනුවට මාලයක්: සමාව දීමේ සුව කිරීමේ මාවත

ඔබේ ජීවිතයේ අළුවලට අලංකාරය ලබා දෙන ආකාරයෙන් ජීවත් වීම ගැලවුම්කරුවාණන්ව අනුගමනය කරන ඇදහිල්ලේ ක්‍රියාවකි.

1 සාමුවෙල්ගේ පොතේ ඊශ්‍රායෙල් හි අනාගත රජු වන දාවිත් සහ අබිගායිල් නම් කාන්තාවක් පිළිබඳ එතරම් ප්‍රසිද්ධ නොවූ කතාවක් ඇතුළත් වෙනවා.

සාමුවෙල්ගේ මරණයෙන් පසු, දාවිත්ගේ ජීවිතය සොයමින් සිටි සාවුල් රජුගෙන් ඉවත්ව, දාවිත් සහ ඔහුගේ මිනිසුන් පිටත්ව ගියා. ඔවුන් නපුරු වූ නාබල් නම් ධනවත් මිනිසෙකුගේ බැටළු රැළවල් සහ සේවකයන් සඳහා ආරක්ශාව සහ රැකවරණය සැපයුවා. නාබල්ට ආචාර කිරීමටත් අවශ්‍ය ආහාර සහ සැපයුම් ඉල්ලා සිටීමටත් දාවිත් ඔහුගේ මිනිසුන් 10 දෙනෙකුව පිටත් කර හැරියා.

නාබල් දාවිත්ගේ ඉල්ලීමට අපහාස කරමින් ඔහුගේ මිනිසුන්ව හිස් අතින් පිටත් කර හරිමින් එයට ප්‍රතිචාර දැක්වූවා.

අමනාප වූ දාවිත්, “මොහු මට යහපතට අයහපතෙන් ප්‍රතිදානය කෙළේය” කියා පවසමින් නාබල්ට සහ ඔහුගේ පවුලේ අයට විරුද්ධව, නැගී සිටීමට තම මිනිසුන්ව සූදානම් කළා.1 ඇයගේ ස්වාමිපුරුෂයා නරක ලෙස දාවිත්ගේ මිනිසුන්ට සලකන ආකාරය ගැන සේවකයෙක් නාබල්ගේ භාර්යාව වූ අබිගායිල්ට පැවසුවා. අබිගායිල් ඉක්මනින්ම අවශ්‍ය ආහාර සහ සැපයුම් එකතු කරගෙන එයට මැදිහත් වුණා.

අබිගායිල් ඔහුව මුණගැසුණු විට, ඇය “දාවිත් ඉදිරියෙහි මුහුණින් බිමට වැටී වැන්ඳා,

“ඔහුගේ පාමුල වැටී කථාකොට, ඒ අපරාධය මා පිට, මාගේ ස්වාමිනි, මා පිටම වේවා. …

“දැන් එබැවින්, … ලේ වැගිරීමේ අපරාධයෙන්ද ඔබගේම අතින් පළිගැනීමෙන්ද ස්වාමින්වහන්සේ ඔබ වැළැක්වූ සේක්මය. …

“… දැන් ඔබගේ වැඩකාරී වූ මා විසින් මාගේ ස්වාමියාට ගෙනාවා වූ මේ තෑග්ග මාගේ ස්වාමියා අනුව යන තරුණයින්ට දෙනු ලැබේවා. …

“මම ඔබට කන්නලව් කරමි, ඔබගේ මෙහෙකාරීගේ වරදට කමාවුව මැනව. …

“දාවිත් අබිගායිල්ට කථා කොට, මා සම්බවෙන්ට අද දවසේ නුඹ එවුවා වූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා:

“නුඹේ නුවණටද ප්‍රශංසා වේවා, ලේ වගුරුවා මාගේම අතින් පළිගැනීමෙන් අද දවසේ මා වැළැක්වූ නුඹට ආශිර්වාද වේවා. …

“මෙසේ දාවිත් ඈ තමාට ගෙනා දේවල් ඇගේ අතින් පිළිගෙන: නුඹේ ගෙදරට සමාදානයෙන් පලයන්න; … මම නුඹේ හඬට ඇහුම්කන්දී නුඹ පිළිගතිමියි [කිව්වා].”2

ඔවුන් දෙදෙනාම සමාදානයෙන් පිටත්ව ගියා.

මෙම වාර්තාවේ, අබිගායිල්ව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලවත් ප්‍රතිරූපයක් හෝ සංකේතයක් ලෙස දකින්න පුළුවන්.3 උන්වහන්සේගේ වන්දිගෙවීමේ පූජාව තුළින්, සටන් කරන හදවතක ඇති පාපයෙන් හා බරින් අපව නිදහස් කර අපට අවශ්‍ය නඩත්තුව ලබා දීමට උන්වහන්සේට පුළුවන්.4

අබිගායිල් නාබල්ගේ පාපය තමා මතට ​​ගැනීමට කැමති වූවා සේම, ගැලවුම්කරුවාණන්—තේරුම්ගත නොහැකි ආකාරයෙන්—අපගේ පව් සහ අපට රිදවූ හෝ අමනාප කළ අයගේ පව් උන්වහන්සේ මතට ගත්තා.5 ගෙත්සෙමනේදී සහ කුරුසියේදී උන්වහන්සේ මෙම පාපවලට හිමිකම් කීවා. පළිගැනීමේ සිත අත්හැරීමට උන්වහන්සේ අපට මාර්ගයක් සාදා දුන්නා. ඒ “මාර්ගය” සමාව දීම වන අතර—එය අප මෙතෙක් සිදු කරන ඉතාම දුෂ්කර දේවලින් එකක් විය හැකි අතර අප මෙතෙක් අත්විඳින ලද වඩාත්ම දිව්යමය දේවලින් එකක්ද වෙන්න පුළුවන්. සමාව දීමේ මාවතේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ බලය අපගේ ජීවිතවලට ගලා ආ හැකි අතර හදවතේ සහ ආත්මයේ ගැඹුරු ඉරිතැලීම් සුව කිරීමට පටන් ගන්නවා.

සභාපති රසල් එම්. නෙල්සන් උගන්වා ඇත්තේ ගැලවුම්කරුවාණන් අපට සමාව දීමේ හැකියාව ලබා දෙන බවයි:

“උන්වහන්සේගේ අසීමිත වන්දිගෙවීම තුළින්, ඔබට හිංසා කළ සහ ඔබට සිදු වූ කෘරත්වයේ වගකීම කිසිවිටෙකත් භාර නොගන්නා අයට ඔබට සමාව දෙන්නට පුළුවන්.

“අවංකව හා නිහතමානීව ඔබේ සමාව ඉල්ලන කෙනෙකුට සමාවදීම සාමාන්‍යයෙන් පහසුයි. නමුත් ඔබට ඕනෑම ආකාරයකින් වැරදි ලෙස සැලකූ ඕනෑම කෙනෙකුට සමාව දීමට ගැලවුම්කරුවාණන් ඔබට හැකියාව ලබා දෙයි. එවිට ඔවුන්ගේ හානිකර ක්‍රියා වලට තවදුරටත් ඔබේ ආත්මය කළඹන්නට බැහැ.”6

අබිගායිල් විසින් ආහාර සහ සැපයුම් බහුල ලෙස ගෙන ඒම යන කාරණයෙන්, ගැලවුම්කරුවාණන් හිංසාවට පත් වූ හා තුවාල වූ අයට, සම්පූර්ණ සුවය ලැබීමට අවශ්‍ය නඩත්තුව සහ උපකාර පිරිනමන බව අපට ඉගෙන ගැනීමට පුළුවන්.7 අන් අයගේ ක්‍රියාවන්ගේ ප්‍රතිවිපාක සමඟ කටයුතු කිරීමේදී අපව තනිකර නැහැ; අපට ද සම්පූර්ණ සුවය ලබාගත හැකි අතර සටන් කරන හදවතක බරින් සහ එහි ප්‍රතිවිපාක වලින් ගැලවීමට අපට අවස්ථාව ලබා දී තිබෙනවා.

ස්වාමින්වහන්සේ මෙසේ පවසා තිබෙනවා: “ස්වාමින්වහන්සේ වන මම, කමාව දෙන්නාට මම කමාවන්නෙමි, එහෙත් සියලු මනුෂ්‍යයන්ට කමාව දීම නුඹලාගෙන් අවශ්‍ය වන්නේය.”8 ස්වාමින්වහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේ අපගේම යහපත සඳහා සමාව දෙන ලෙසයි.9 නමුත් උන්වහන්සේගේ උපකාරය, උන්වහන්සේගේ ආදරය, උන්වහන්සේගේ අවබෝධය නොමැතිව එය කිරීමට උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේ නැහැ. ස්වාමින්වහන්සේ සමඟ ඇති අපගේ ගිවිසුම් තුළින්, අපට සමාව දීමටත් සමාව ලබාගැනීමටත් අවශ්‍ය ශක්තිමත් කිරීමේ බලය, මග පෙන්වීම සහ උපකාරයත් අප සෑම කෙනෙකුටම ලබා ගන්න පුළුවන්.

යමෙකුට සමාව දීම යනු ඔබට දිගටම රිදවන තත්වයකට ඔබව පත් කිරීම නොවන බව කරුණාවෙන් සලකන්න. “අපට යමෙකුට සමාව දීමට ක්‍රියා කළ හැකි අතර ඔවුන්ගෙන් ඈත් වී සිටීමට ආත්මයාණන්ගෙන් පෙලඹවීම් ලැබිය හැකියි.”10

අබිගායිල් දාවිත්ට “හදවතෙහි වරදක්”11 ඇති නොවීමට සහ ඔහුට අවශ්‍ය උපකාර ලබාගැනීමට උපකාර කළාක් මෙන්, ගැලවුම්කරුවාණන් ඔබටත් උපකාර කරයි. උන්වහන්සේ ඔබට ප්‍රේම කරන අතර, “උන්වහන්සේගේ පියාපත්වල සුවකිරීම”12 සහිතව ඔබේ මාවතේදී උන්වහන්සේ ඔබව මුණගැසෙනවා. උන්වහන්සේට අවශ්‍ය ඔබේ සාමයයි.

මගේ සටනක යෙදෙන හදවත ක්‍රිස්තුස්වහන්සේ විසින් සුවපත් කිරීමේ ප්‍රාතිහාර්යය මම පෞද්ගලිකව දැක තිබෙනවා. මම හැදී වැඩුණේ චිත්තවේගීය හා වාචික හිංසනයන් නිසා මට සැමවිටම ආරක්ෂිත බවක් දැනෙන්නේ නැති නිවසක බව, මගේ පියාගේ අවසරය ඇතිව මම බෙදා ගන්න කැමතියි. මගේ තරුණ වියේ සහ තරුණ වැඩිහිටි වියේ දී, මම මගේ පියා නොරිස්සූ අතර, එම වේදනාවෙන් මගේ හදවතේ කෝපයක් ඇති වුණා.

වසර ගණනාවක් පුරා සහ සමාව දීමේ මාවතේ සාමය සහ සුවය සොයා ගැනීමට මා ගත් උත්සාහයේදී, මගේ පව්වලට වන්දි ගෙවූ එම දිව්‍ය පුත්‍රයාම, මට දැඩි ලෙස රිදවූවන්ව ද ගලවා ගන්නා එකම මිදුම්කරු වන බව මම ගැඹුරු ආකාරයකින් අවබෝධ කර ගත්තා. මට පළමු සත්‍යය විශ්වාස නොකර දෙවැන්න සැබවින්ම විශ්වාස කළ නොහැකි වුණා.

ගැලවුම්කරුවාණන් කෙරෙහි මගේ ප්‍රේමය වර්ධනය වන විට වේදනාව සහ කෝපය වෙනුවට, උන්වහන්සේගේ සුව කිරීමේ ආලේපනය ප්‍රතිස්ථාපනය කිරීමට මගේ ආශාව වැඩි වුණා. එය වසර ගණනාවක ක්‍රියාවලියක් වූ අතර, ධෛර්යය, අවදානම, නොපසුබට උත්සාහය සහ ගැලවීම සහ සුව කිරීම සඳහා ගැලවුම්කරුවාණන්ගේ දිව්‍යමය බලය කෙරෙහි විශ්වාසය තැබීමට ඉගෙනීම අවශ්‍ය වුණා. මට තවමත් හදාගැනීමට දේවල් තිබෙනවා, නමුත් මගේ හදවත තවදුරටත් සටන් මාවතක නැහැ. මට “අලුත් හදවතක්”13—මා අසල රැඳී සිටි, මෘදු ලෙස සහ ඉවසිලිවන්තව මාව වඩා හොඳ තැනකට ගෙන ගිය, මා සමඟ හැඬූ, මගේ දුක දැන සිටි, පුද්ගලික ගැලවුම්කරුවෙකුගේ ගැඹුරු සහ ස්ථිර ආදරය දැනුණු හදවතක්, මට ලබා දී තිබෙනවා.

අබිගායිල් දාවිත්ට අවශ්‍ය දේ ගෙනාවා හා සමානව ස්වාමින්වහන්සේ මට අලාභ පියවන ආශිර්වාද එවා තිබෙනවා. උන්වහන්සේ මගේ ජීවිතයට උපදේශකයන් එවා තිබෙනවා. ඒ සියල්ලටම වඩා මිහිරිම සහ වඩාත්ම වෙනස්වූ දෙය වන්නේ ස්වර්ගික පියාණන් සමඟ මගේ සම්බන්ධතාවයයි. උන්වහන්සේ හරහා, පරිපූර්ණ පියෙකුගේ මෘදු, ආරක්ෂිත සහ මාර්ගෝපදේශක ආදරය කෘතඥපූර්වකව මට දැනගැනීමට හැකි වුණා.

වැඩිහිටි රිචඩ් ජී. ස්කොට් මෙසේ පවසනවා: “සිදුවී ඇති දේ ඔබට මකා දැමිය නොහැක, නමුත් ඔබට සමාව දිය හැකිය.14 සමාව දීම භයානක, ඛේදනීය තුවාල සුව කරනවා, මොකද එය දෙවියන්වහන්සේගේ ප්‍රේමයට ඔබේ හදවත සහ මනස වෛරයේ විෂ ඉවත් කිරීමට ඉඩ සලසනවා. එය පළිගැනීමේ ආශාවෙන් ඔබේ විඥානය පිරිසිඳු කරනවා. එය පවිත්‍ර කිරීමට, සුව කිරීමට, එමෙන්ම ස්වාමින්වහන්සේගේ ප්‍රේමය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා තැනක් සලසා දෙනවා.”15

මගේ මේ ලෝකයේ පියා ද මෑත වසරවලදී ආශ්චර්යමත් ලෙස හදවතේ වෙනසක් ඇති කරගෙන ඇති අතර ඔහු ස්වාමින්වහන්සේ වෙත හැරී තිබෙනවා—මෙය මම මේ ජීවිතයේ දී අපේක්ෂා නොකළ දෙයක්. මේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සම්පූර්ණ හා පරිවර්තනීය බලය ගැන මට තවත් සාක්ෂියක්.

පව්කාරයා සහ පව් කළ අයව සුව කිරීමට උන්වහන්සේට හැකි බව මම දන්නවා. උන්වහන්සේ තමයි අප නැවත ජීවත් වන පිණිස තම ජීවිතය පූජා කළ ලෝකයේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන්. උන්වහන්සේ මෙසේ පවසනවා, “ස්වාමින්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනාකරන්ට උන්වහන්සේ මා ආලේප කළ සේක; බිඳුණු සිත් ඇති අයව සුව කිරීමට, වහලුන්ට මිදීම සහ අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශ කරන්ටද, මඩනා ලද්දවුන් නිදහස්කර හරින්ටද, උන්වහන්සේ මා එවා ඇත.”16

බිඳුණු සිත් ඇති, වහල්භාවයට පත් වූ, තැළුණු සහ සමහරවිට තුවාල හෝ පාපයෙන් අන්ධ වූ සියල්ලන්ටම, උන්වහන්සේ සුවය, ප්‍රකෘතිය සහ විමුක්තිය ලබා දෙනවා. උන්වහන්සේ ලබා දෙන සුවය සහ ප්‍රකෘතිය සැබෑ බව මම සාක්ෂි දරනවා එම සුව කිරීමේ කාලය පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වන අතර අපට තවත් කෙනෙකුගේ කාලය විනිශ්චය කරන්නට බැහැ. සුවය ලැබීමට අවශ්‍ය කාලය අපටම ලබා දීම සහ ක්‍රියාවලියේදී අප අප වෙනුවෙන්ම කරුණාව දැක්වීම වැදගත් වෙනවා. ගැලවුම්කරුවාණන් සැමවිටම දයාන්විතව හා අවධානයෙන් සිටින අතර අපට අවශ්‍ය සහය ලබා දීමට සූදානම්ව සිටිනවා.17

සමාව දීමේ සහ සුව කිරීමේ මාවතේ අපගේ පවුල්වල හෝ වෙනත් තැනක අහිතකර රටාවන් හෝ සබඳතා පවත්වා නොගෙන ඉන්නට අපට තේරීමක් තිබෙනවා. අපගේ බලපෑම තුළ සිටින සියල්ලන්ටම, කෲරත්වය වෙනුවට කරුණාව, වෛරය වෙනුවට ආදරය, රළුබව වෙනුවට මෘදුකම, විපත්තිය සඳහා ආරක්ෂාව සහ මතභේද වෙනුවට සාමය පිරිනමන්න පුළුවන්.

ඔබ ප්‍රතික්ෂේප කර ඇති දේ ලබා දීම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තුළින් විය හැකි දිව්‍යමය සුව කිරීමේ ප්‍රබල කොටසක්. යෙසායා පවසා ඇති පරිදි, ඔබේ ජීවිතයේ අළුවලට මාලයක්18 දෙන ආකාරයට ජීවත් වීම, සියලු දුක් වින්ද ගැලවුම්කරුවෙකුගේ උත්තරීතර ආදර්ශය අනුගමනය කරන ඇදහිල්ලේ ක්‍රියාවක්.

ඊජිප්තුවේ යෝසෙප් ජීවත් වුනෙත් අළු සමඟ යි. ඔහු තම සහෝදරයන්ගේ වෛරයට ලක්වී, පාවා දී, වහල්භාවයට විකුණා, වැරදි ලෙස සිරගත කරනු ලබා, සහ උදව් කිරීමට පොරොන්දු වූ කෙනෙකු විසින් අමතක කරන ලද්දෙක්. එහෙත් ඔහු ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබුවා. “ස්වාමින්වහන්සේ යෝසෙප් සමඟ සිටිමින්”19 ඔහුගේ පරීක්ෂාවන් ඔහුගේම ආශිර්වාදයට සහ වර්ධනයට සහ—ඔහුගේ පවුලේ සහ මුළු ඊජිප්තුවේ ගැලවීම සඳහා කැප කළා.

යෝසෙප් ඊජිප්තුවේ ශ්රේෂ්ඨ නායකයෙකු ලෙස ඔහුගේ සහෝදරයන් මුණගැසුණු විට, ඔහුගේ සමාව සහ පිරිසිඳු දෘශ්ඨිකෝණය ඔහු කතා කළ කාරුණික වචනවලින් ප්රකාශයට පත් වුණා:

“නුඹලා මේ රටට මා වික්ක නිසා ශෝක නොවෙල්ලා, නුඹලාටම කෝප නොවෙල්ලා. මක්නිසාද දෙවියන්වහන්සේ ජීවිත ආරක්ෂා කරන පිණිස නුඹලාට පෙරටුව මා එවූ සේක. …

“එබැවින් මා මෙහි එවුවේ නුඹලා නොව දෙවියන්වහන්සේ ය.”20

ගැලවුම්කරුවාණන් තුළින් යෝසෙප්ගේ ජීවිතය “අළු සඳහා මාලයක්” බවට පත්වුණා.21

BYU හි සභාපති කෙවින් ජේ. වර්තන් මෙසේ පවසා තිබෙනවා, දෙවියන්වහන්සේට “අපේ සාර්ථකත්වයන් පමණක් නොව, අපගේ අසාර්ථක වීම් සහ අපට වේදනාවක් ගෙන දෙන අන් අයගේ අසාර්ථක වීම් වලින්ද යහපත උදා කරන්න පුළුවන්. දෙවියන්වහන්සේ එතරම් යහපත් හා බලවත්.”22

දැඩි වේදනාවෙන් සිටින විට පවා, “පියාණෙනි, ඔවුන්ට කමාවුව මැනව; මක්නිසාද ඔවුන් කරන්නේ කුමක්ද කියා ඔව්හු නොදනිතියි”23 කියූ අපගේ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රේමයේ සහ සමාව දීමේ ශ්‍රේෂ්ඨතම ආදර්ශය බව මම සාක්ෂි දරනවා.

ස්වර්ගයේ සිටින අපගේ පියාණන් තම සෑම දරුවෙකු සඳහාම යහපත හා බලාපොරොත්තුව අපේක්ෂා කරන බව මම දන්නවා. යෙරෙමියා හි අපිට මෙලෙස කියවීමට පුළුවන්, “මා විසින් නුඹලා ගැන කරන යෝජනා මම දනිමි, ඒවා සමාදානයේ යෝජනායයි ස්වාමින්වහන්සේ කියන සේක.”24

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබේ පෞද්ගලික මෙසියස්වහන්සේයි, ඔබේ හදවතේ ආයාචනා දන්නා ඔබේ ආදරණීය මිදුම්කරු සහ ගැලවුම්කරුවාණන් උන්වහන්සේයි. උන්වහන්සේ ඔබේ සුවය හා සතුට අපේක්ෂා කරනවා. උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා. උන්වහන්සේ ඔබේ දුකේදී ඔබ සමඟ හඬා වැලපෙන අතර ඔබව සුවපත් කිරීමේදී ප්‍රීති වෙනවා. මාගේ යාච්ඤාව තමයි, අප සමාව දීමේ සුව කිරීමේ මාවතේ ගමන් කරන විට, ධෛර්යය ගෙන සදහටම දිගු වූ25 උන්වහන්සේගේ හදවත සහ ආදරණීය හස්තය ලබාගමු, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.