ප්‍රධාන සම්මන්ත්‍රණය
අපගේ ලෞකික භාරකාරත්වය
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


අපගේ ලෞකික භාරකාරත්වය

පොළොවට සහ ඔවුන්ගේ සෙසු පිරිමින්ට සහ කාන්තාවන්ට ආදරය කරන සහ රැකබලා ගන්නා අයට විශාල අධ්‍යාත්මික ආශිර්වාද පොරොන්දු වී තිබෙනවා.

අපගේ උපන් රට වන ප්‍රංශයේ සංචාරය කරන අතරතුර, මගේ බිරිඳට සහ මට මෑතකදී අපගේ මුණුබුරන් කිහිප දෙනෙකු රැගෙන ගිවර්නි කුඩා නගරයේ පිහිටි විශිෂ්ට උද්‍යානයක් ගවේෂණය කිරීමට අවස්ථාව ලැබුණා. අලංකාර මල් පාත්ති, අලංකාර දිය මානෙල් මල් සහ පොකුණු මත සෙල්ලම් කරන ආලෝකය අගය කරමින් අපි එහි මාවත් දිගේ ඇවිදීමෙන් සතුටක් ලැබුවා.

රූපය
ගිවර්නි වත්ත

මෙම විස්මිත ස්ථානය එක් මිනිසෙකුගේ නිර්මාණාත්මක ලැදියාවේ ප්‍රතිඵලයක්: වසර 40ක් පුරා සිය වත්ත මුදු මොළොක් ලෙස හැඩගස්වා වගා කළ ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පී ක්ලෝඩ් මොනෙට් එය ඔහුගේ සිතුවම් වැඩබිම බවට පත්කරගෙන තිබුණා. මොනෙට් ස්වභාවධර්මයේ තේජස තුළ ඔහුවම ගිල්වාගෙන සිටියා; ඉන්පසුව, ඔහුගේ තීන්ත බුරුසුවෙන්, ඔහු ඔහුට දැනෙන හැඟීම් වර්ණ හා ආලෝකයේ පහරවල් සමඟ ප්‍රකාශ කළා. වසර ගණනාවක් පුරා, ඔහු තම උද්‍යානයෙන් සෘජුවම ආභාසය ලබා ගත් සිතුවම් සිය ගණනක අසාමාන්‍ය එකතුවක් නිර්මාණය කළා.

රූපය
උද්‍යානයේ මොනෙට් පින්තාරුව

ක්ලෝඩ් මොනෙට් විසින්, Water Lilies and Japanese Bridge,1899 [වෝටර් ලිලීස් සහ ජපන් පාලම, 1899]

සහෝදර සහෝදරියනි, අප අවට ඇති ස්වභාව සෞන්දර්යයන් සමඟ අපගේ අන්තර් ක්‍රියා මගින් අපට ජීවිතයේ වඩාත් ප්‍රබෝධමත් සහ ප්‍රීතිමත් අත්දැකීම් ලබාදෙන්න පුළුවන්. කඳු, ඇළ දොළ, ගහකොළ සහ සතුන් සහිත මේ අසිරිමත් මිහිතලය, සහ අපගේ මුල්ම දෙමාපියන් වන ආදම් සහ ඒව මැවූ අපගේ ස්වර්ගීය පියාණන් සහ උන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් අපට දැනෙන හැඟීම් අප තුළ ගැඹුරු කෘතඥතාවක් ඇති කරනවා.1

මැවීමේ කාර්යය එහි අවසානය නොවේ. එය දෙවියන්වහන්සේගේ දරුවන් සඳහා වූ උන්වහන්සේගේ සැලැස්මේ අනිවාර්ය අංගයක්. එහි පරමාර්ථය වන්නේ පිරිමින්ට සහ කාන්තාවන්ට පරීක්ෂාවට ලක්විය හැකි පසුබිමක් සැපයීම, ඔවුන්ගේ තෝරාගැනීමේ නිදහස ක්‍රියාත්මක කිරීම, ප්‍රීතිය සොයාගැනීම සහ ඉගෙනීම සහ ප්‍රගතියක් ලැබීමයි, එවිට ඔවුන්ට යම් දිනක ඔවුන්ගේ මැවුම්කරුවාණන්ගේ අභිමුඛයට නැවත පැමිණ සදාකාල ජීවනය උරුම කරගන්න පුළුවන්.

මෙම අපූරු මැවීම් සම්පූර්ණයෙන්ම අපගේ ප්‍රයෝජනය සඳහා සකස් කර ඇති අතර මැවුම්කරුවාණන් තම දරුවන් කෙරෙහි දක්වන ආදරය පිළිබඳ ජීවමාන සාක්ෂි වෙනවා. ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කළා, “එසේය, පොළොවෙන් පැමිණෙන සියලු දේවල් … ඒවා මනුෂ්‍යයාගේ පාවිච්චිය සහ ප්‍රයෝජනය උදෙසා මවා ඇත්තේය, ඒ ඇස ප්‍රසන්න කිරීම සහ හදවත සතුටු කිරීම යන දෙකම සඳහාය.”2

කෙසේ වෙතත්, මැවීමේ දිව්‍යමය ත්‍යාගය යුතුකම් සහ වගකීම් නොමැතිව පැමිණෙන්නේ නෑ. මෙම රාජකාරි වඩාත් හොඳින් විස්තර කර ඇත්තේ භාරකාරත්වය පිළිබඳ සංකල්පය මගිනුයි. ශුභාරංචිය අනුව, භාරකාරත්වය යන වචනයෙන් අදහස් කරන්නේ, අප වගකිව යුතු වන දෙවියන්වහන්සේට අයිති දෙයක් ගැන සැලකිලිමත් වීමට පරිශුද්ධ අධ්‍යාත්මික හෝ තාවකාලික වගකීමක් ගැනයි.3

ශුද්ධලියවිලිවල උගන්වන පරිදි, අපගේ ලෞකික භාරකාරත්වයට පහත සඳහන් මූලධර්ම ඇතුළත් වෙනවා:

පළමු මූලධර්මය: එහි ඇති සියලුම ජීවීන් ඇතුළුව, මුළු පොළොවම, දෙවියන්වහන්සේට අයිතියි.

මැවුම්කරු විසින් පොළොවේ සම්පත් සහ සියලු ආකාරයේ ජීවීන් අපගේ රැකවරණයට භාර දී තිබෙන නමුත් උන්වහන්සේ ඒවා වල සම්පූර්ණ අයිතිය රඳවා තබාගන්නවා. උන්වහන්සේ මෙහෙම කිව්වා: “ස්වාමින්වහන්සේ වන මම, අහස දිගහැර, මාගේ හස්ත කර්මාන්තය වන පොළොව ගොඩනැගුවෙමි; තවද එහි ඇති සියල්ල මාගේ ය.”4 අපගේ පවුල්, අපගේ භෞතික ශරීර සහ අපගේ ජීවිත පවා ඇතුළුව පොළොවේ ඇති සියල්ල දෙවියන්වහන්සේට අයිතියි.5

දෙවන මූලධර්මය: දෙවියන්වහන්සේගේ මැවීම්වල භාරකරුවන් වශයෙන්, ඒවාට ගෞරව කිරීමේ සහ රැකබලා ගැනීමේ වගකීම අපට තිබෙනවා.

දෙවියන්වහන්සේගේ දරුවන් වශයෙන්, උන්වහන්සේගේ දිව්‍යමය මැවීම්වල භාරකරුවන්, රැක බලාගන්නන් සහ රක්ෂකයන් වීමේ වගකීම අපට ලැබී තිබෙනවා. ස්වාමින්වහන්සේ මෙසේ පැවසුවා “මාගේ ප්‍රාණීන් උදෙසා සූදානම් කර ඇති, පොළොවේ ආශිර්වාදයන් සඳහා භාරකරුවෙකු ලෙස, මට ගණන් දීමට සෑම මනුෂ්‍යයෙකුටම සලස්වන්නෙමි.”6

අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ විසින් අපට අපගේම කැමැත්තට අනුව මේ ලෞකික සම්පත් භාවිතා කිරීමට ඉඩ සලසනවා. එහෙත් ප්‍රඥාවෙන් හෝ සංයමයකින් තොරව මේ ලෝකයේ ධනය පරිහරණය කිරීමට හෝ පරිභෝජනය කිරීමට බලපත්‍රයක් ලෙස අපගේ තෝරාගැනීමේ නිදහස අර්ථ දැක්විය යුතු නෑ. ස්වාමින්වහන්සේ මෙම අවවාදය ලබා දුන්නා: “තවද දෙවියන්වහන්සේ මනුෂ්‍යයා හට සියලු දේවල් දී තිබීම උන්වහන්සේට ප්‍රසන්නය; මක්නිසාද ඒවා සාදා තිබෙන්නේ විනිශ්චයක් සමඟින්, අධික කමෙන් හෝ පැහැර ගැනීමෙන් තොරව පාවිච්චි කිරීමට ය.”7

සභාපති රසල් එම්. නෙල්සන් වරක් මෙසේ ප්‍රකාශ කළා: “දිව්‍යමය මැවිල්ලේ ප්‍රතිලාභීන් වශයෙන්, අප කුමක් කළ යුතුද? අපි පොළොව ගැන සැලකිලිමත් විය යුතුයි, එය මත බුද්ධිමත් භාරකරුවන් විය යුතුයි, ඒවගේම අනාගත පරම්පරාවන් සඳහා එය සුරැකිය යුතුයි.”8

හුදෙක් විද්‍යාත්මක හෝ දේශපාලන අවශ්‍යතාවයක් වීමට අමතරව, පොළොව සහ අපගේ ස්වාභාවික පරිසරය රැකබලා ගැනීම දෙවියන්වහන්සේ විසින් අපට භාර දී ඇති පරිශුද්ධ වගකීමක්, ඒවගේම එය අපව ගැඹුරු යුතුකමකින් සහ නිහතමානී හැඟීමකින් පිරවිය යුතුයි. එය අපගේ අනුගාමිකත්වයේ අනිවාර්ය අංගයක්ද වෙනවා. ස්වර්ගික පියාණන්වහන්සේගේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නිර්මාණවලට ගෞරව නොකර සහ ආදරය නොකර උන්වහන්සේලාට අපි ගෞරව කරන්නෙත් ආදරය කරන්නෙත් කොහොමද?

හොඳ භාරකරුවන් වීමට අපට සාමූහිකව සහ තනි තනිව කළ හැකි බොහෝ දේවල් තිබෙනවා. අපගේ තනි පුද්ගල තත්වයන් සලකා බැලීමේදී, අප සෑම කෙනෙකුටම පොළොවේ තිබෙන බහුල සම්පත් වඩාත් ගෞරවාන්විතව හා විචක්ෂණ ලෙස භාවිතා කරන්න පුළුවන්. පොළොව රැකබලා ගැනීමට ප්‍රජාව දරන ප්‍රයත්නයන්ට අපට සහය වෙන්න පුළුවන්. දෙවියන්වහන්සේගේ මැවීම්වලට ගෞරවය දක්වමින්, අපගේ ජීවන අවකාශයන් පිළිවෙලට, වඩාත් අලංකාර සහ වඩාත් ආනුභාව සම්පන්න කිරීමට අපට පුද්ගලික ජීවන රටාවන් සහ හැසිරීම් අනුගමනය කරන්න පුළුවන්.9

දෙවියන්වහන්සේගේ මැවීම් කෙරෙහි අපගේ භාරකාරත්වයට එහි උච්චතම අවස්ථාවෙහිදී, අප මේ පොළොව බෙදා ගන්නා සියලුම මිනිසුන්ට ආදරය, ගෞරවය සහ සැලකිල්ල දැක්වීමේ පරිශුද්ධ යුතුකමක් ද ඇතුළත් වෙනවා. ඔවුන් දෙවියන්වහන්සේගේ දූවරුන් සහ පුතුන්, අපගේ සහෝදරියන් සහ අපගේ සහෝදරයන්, ඒවගේම ඔවුන්ගේ සදාකාලික සතුට වන්නේ මැවීමේ කාර්යයේ අරමුණමයි.

අන්ටෝනි ඩ සේන්ට් එක්ස්පෙරි නම් කතුවරයා මෙසේ විස්තර කළා: දිනක් දුම්රියක ගමන් කරමින් සිටියදී ඔහු සරණාගතයින් පිරිසක් මැද වාඩි වී සිටින බව දැක්කා. කුඩා දරුවෙකුගේ මුහුණේ ඔහු දුටු බලාපොරොත්තු සුන්වීම ගැන දැඩි ලෙස සංවේගයට පත් ඔහු මෙසේ පැවසුවා: “විපර්යාසයකින් වත්තක නව රෝස මලක් උපදින විට, සියලු උයන්පල්ලන් ප්‍රීති වෙනවා. ඔවුන් රෝස මල හුදකලා කරනවා, එය රැකබලා ගන්නවා, පෝෂණය කරනවා. නමුත් මිනිසුන්ට උයන්පල්ලෙක් නෑ.”10

මගේ සහෝදර සහෝදරියනි, අපි අපේ සහෝදර පිරිමින් සහ කාන්තාවන් සඳහා උයන්පල්ලන් විය යුතුයි නේද? අපි අපේ සහෝදරයාගේ මුරකරු නොවේද? අප අපටම ප්‍රේම කරනවා මෙන් අපගේ අසල්වැසියාටත් ප්‍රේම කරන ලෙස යේසුස්වහන්සේ අපට ආඥා කළා.11 උන්වහන්සේගේ මුවින්, අසල්වැසියා යන වචනයෙන් අදහස් කරන්නේ භූගෝලීය සමීපත්වය පමණක් නොවේ, එය අදහස් කරන්නේ හදවතේ සමීපතාවයයි. මෙම ග්‍රහලෝකයේ සියලුම වැසියන්—ඔවුන් අප අසල හෝ දුර රටක ජීවත් වුවද, ඔවුන්ගේ මූලාරම්භය, පුද්ගලික පසුබිම හෝ තත්වයන් නොසලකා එය සැමටම අදාළ වෙනවා.

ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වශයෙන්, පොළොවේ සියලුම ජාතීන් අතර සාමය සහ සහජීවනය සඳහා වෙහෙස නොබලා කටයුතු කිරීමට අපට භාරදූර යුතුකමක් තිබෙනවා. දුබලයන්, අගහිඟකම් ඇති අය සහ දුක් විඳින හෝ පීඩාවට පත් වූ සියල්ලන් ආරක්ෂා කිරීමට සහ සැනසීමට සහ සහන සැලසීමට අප අපගේ උපරිමය කළ යුතුයි. සියල්ලටත් වඩා, අපගේ සෙසු මිනිසුන්ට අපට පිරිනැමිය හැකි ප්‍රේමයේ ශ්‍රේෂ්ඨතම ත්‍යාගය තමයි, ඔවුන් සමඟ ශුභාරංචියේ ප්‍රීතිය බෙදාගැනීම සහ පූජනීය ගිවිසුම් සහ නියෝග තුළින් ඔවුන්ගේ ගැලවුම්කරුවාණන් වෙතට පැමිණෙන ලෙස ඔවුන්ට ආරාධනා කිරීම.

තුන්වන මූලධර්මය: මැවීමේ කාර්යයට සහභාගී වීමට අපට ආරාධනා ලැබී තිබෙනවා.

මැවීමේ දිව්‍ය ක්‍රියාවලිය තවම සම්පූර්ණ වී නෑ. සෑම දිනකම, දෙවියන්වහන්සේගේ මැවීම් අඛණ්ඩව වර්ධනය වෙනවා, පුළුල් වෙනවා, සහ තව තවත් වැඩි වෙනවා. වඩාත්ම අපූරු දෙය තමයි, ස්වර්ගික පියාණන්වහන්සේගේ නිර්මාණ කාර්යයට සහභාගී වන ලෙස උන්වහන්සේ අපට ආරාධනාවක් යොමු කිරීම.

අපි පොළොව වගා කරන විට හෝ මේ ලෝකයට අපේම ඉදිකිරීම් එකතු කරන සෑම විටම—අපි දෙවියන්වහන්සේගේ මැවීම්වලට ගරු කරන තාක් කල්, අපි මැවීමේ කාර්යයට සහභාගී වෙනවා. අපගේ ග්‍රහලෝකය අලංකාර කරන, අපගේ සංවේදනයන් වේගවත් කරන සහ අපගේ ජීවිත දීප්තිමත් කරන කලා, ගෘහ නිර්මාණ ශිල්පය, සංගීතය, සාහිත්‍යය සහ සංස්කෘතික කෘති නිර්මාණය කිරීම තුළින් අපගේ දායකත්වය අපට ප්‍රකාශ කරන්න පුළුවන්. පොළොව සහ එහි ජීවය ආරක්ෂා කරන විද්‍යාත්මක හා වෛද්‍ය සොයාගැනීම් හරහා අපි ද දායක වෙනවා. සභාපති තෝමස් එස්. මොන්සන් මෙම සංකල්පය සාරාංශ කළේ මෙම සුන්දර වදන් සමඟිනුයි: “මිනිසාට ඔහුගේ කුසලතාව අනුව වැඩ කිරීමට දෙවියන්වහන්සේ ලෝකය නිම නොකර අත්හැරියා … ඒ මිනිසා මැවීමේ ප්‍රීතිය සහ මහිමය දැනගන්නා පිණිසයි.”12

යේසුස්වහන්සේගේ තලෙන්ත පිළිබඳ උපමාවේ, ස්වාමියා සිය ගමනෙන් ආපසු පැමිණි විට, ඔවුන්ගේ තලෙන්ත වර්ධනය කර විශාල කළ සේවකයන් දෙදෙනාට ඔහු ප්‍රශංසා කර ත්‍යාග ලබා දුන්නා. ඊට පටහැනිව, තම අද්විතීය තලෙන්තය “ලාභ නොලබන” ලෙස මහ පොළොවේ සඟවා තැබූ සේවකයාව ඔහු කැඳවා, ඔහුට ලැබුණු දේ පවා ඔහු විසින් නැවත උදුරා ගත්තා.13

ඒ හා සමානව, ලෞකික නිර්මාණවල භාරකරුවන් ලෙස අපගේ කාර්යභාරය ඒවා රැක බලාගැනීම හා සංරක්ෂණය කිරීම පමණක් නොවේ. අපගේ ප්‍රයෝජනය සඳහා පමණක් නොවේ නමුත් අන් අයට ආශිර්වාද කිරීම සඳහාද උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන් විසින් මෙහෙයවන ලද පරිදි, උන්වහන්සේ අපට භාර දී ඇති සම්පත් වර්ධනය කිරීමට, සහ වැඩිදියුණු කිරීමට— ඉතා උවමනාවෙන් වැඩ කිරීම ස්වාමින්වහන්සේ අපේක්ෂා කරනවා.

මිනිසාගේ සියලු ජයග්‍රහණ අතර, ජීවිතය දීමේදී හෝ දෙමාපියන් හෝ ගුරුවරුන්, නායකයින් හෝ වෙනත් ඕනෑම භූමිකාවක වේවා, දරුවෙකුට ඉගෙනීමට, වර්ධනය වීමට සහ දියුණු වීමට උපකාර කිරීමේදී දෙවියන්වහන්සේ සමඟ සම මැවුම්කරුවෙකු වීමේ අත්දැකීම කිසිම දෙකට සම කරන්නට බැහැ. අපගේ මැවුම්කරුවාණන් සමඟ හවුල් වීමෙන් උන්වහන්සේගේ ආත්මීය දරුවන්ට භෞතික ශරීර සැපයීමට සහ ඔවුන්ගේ දිව්‍යමය හැකියාවන් කරා ළඟා වීමට ඔවුන්ට උපකාර කිරීමට වඩා පරිශුද්ධ, වඩා තෘප්තිමත්, සහ වඩා ඉල්ලුමක් ඇති භාරකාරත්වයක් තවත් නැහැ.

ජීවිතය සහ එක් එක් පුද්ගලයාගේ ශරීරය පරිශුද්ධ බවත්, ඒවා දෙවියන්වහන්සේට හැර අන් කිසිවකුට අයත් නොවන බවත්, ඒවාට ගරු කිරීමට, ආරක්ෂා කිරීමට සහ රැකබලා ගැනීමට උන්වහන්සේ අපව භාරකරුවන් බවට පත් කර ඇති බවත් සම මැවුම්කාරත්වයේ වගකීම නිරන්තර සිහිගැන්වීමක් ලෙස සේවය කරනවා. ප්‍රජනනය කිරීමේ බලය සහ සදාකාලික පවුල් පිහිටුවීම පාලනය කරන දෙවියන්වහන්සේගේ ආඥා, උන්වහන්සේගේ සැලැස්මට ඉතා වැදගත් වන මෙම ශුද්ධ භාරකාරත්වය තුළ අපට මගපෙන්වනවා.

මගේ සහෝදර සහෝදරියනි, අපගේ ජීවිතයේ වඩාත්ම තාවකාලික අංග ඇතුළුව—සියල්ල ස්වාමින්වහන්සේට ආත්මික බව අප හඳුනාගත යුතුයි. පොළොවට සහ ඔවුන්ගේ සෙසු පිරිමින්ට සහ කාන්තාවන්ට ආදරය කරන සහ රැකබලා ගන්නා අයට විශාල අධ්‍යාත්මික ආශිර්වාද පොරොන්දු වී ඇති බවට මම සාක්ෂි දරනවා. ඔබ මෙම පරිශුද්ධ භාරකාරත්වය තුළ විශ්වාසවන්තව සිට ඔබේ සදාකාලික ගිවිසුම්වලට ගරු කරන විට, ඔබ දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ දැනුමෙන් වර්ධනය වෙයි, ඒවගේම උන්වහන්සේලාගේ ආදරය සහ බලපෑම ඔබේ ජීවිතයට වඩාත් බහුල ලෙස දැනෙයි. මේ සියල්ල උන්වහන්සේලා සමඟ වාසය කිරීමට සහ ඉදිරි ජීවිතයේ අමතර නිර්මාණාත්මක බලයක්14 ලබාගැනීමට ඔබව සූදානම් කරයි.

මෙම ලෞකික පැවැත්ම අවසානයේ, උන්වහන්සේගේ මැවීම් සඳහා අප සැලකිලිමත් වූ ආකාරය ඇතුළුව, අපගේ පූජනීය භාරකාරත්වය සඳහා ගණන් දෙන ලෙස එම ස්වාමියා අපෙන් ඉල්ලා සිටියි. එවිට උන්වහන්සේගේ ආදරණීය වදන් අපගේ හදවත්වලට මෙසේ මුමුණනු ඇතැයි මම යාච්ඤා කරනවා: “යහපත්වූ විශ්වාසවූ දාසය, ඒ යහපත. ස්වල්ප දේ ගැන නුඹ විශ්වාස වූවෙහිය, බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමි. නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල්වෙයන්න.”15 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.