ප්‍රධාන සම්මන්ත්‍රණය
ප්‍රේමයේ සදාකාලික මූලධර්මය
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ප්‍රේමයේ සදාකාලික මූලධර්මය

අපගේ ස්වර්ගික පියාණන්ට උන්වහන්සේගේ සෑම දරුවෙකු වෙනුවෙන්ම ඇති ප්‍රේමය සැබෑ යි. උන්වහන්සේ අප සෑම කෙනෙකුම වෙනුවෙන් ඉන්නවා.

ප්‍රේමයේ සදාකාලික මූලධර්මය විදහා දැක්වෙන්නේ උතුම් ආඥා දෙකෙහි ජීවත්වීමෙනුයි: ඔබේ මුළු හදවතින්ම, ප්‍රාණයෙන්ම, මනසින් සහ ශක්තියෙන්ම දෙවියන්වහන්සේට ප්‍රේම කරන්න එමෙන්ම ඔබට මෙන් ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න.1

මට මතකයි මගේ පළමු ශීත ඍතුවේ හැමතැනම හිම තිබූ—යූටා හි ජීවත් වීම. සොනොරොන් කාන්තාරයේ සිට පැමිණි මම මුල් දවස් වල එය භුක්ති විඳිමින් සිටියා, නමුත් දින කිහිපයකට පසු ධාවන පථයේ හිම ඉවත් කිරීමට මට කලින් නැගිටින්නට සිදුවෙන බව මට වැටහුණා.

එක් උදෑසනක, හිම කුණාටුවක් මැද, මම දහඩිය දමමින්, හිම අයින් කරමින් සිටි අතර, මගේ අසල්වැසියා පාර හරහා ඔහුගේ ගරාජය විවෘත කරන ආකාරය මම දුටුවා. ඔහු මට වඩා වයසින් වැඩියි, ඒ නිසා මම ඉක්මනින් අවසන් කළහොත් මට ඔහුට උදව් කළ හැකි යැයි මම සිතුවා. ඒ නිසා මම කටහඬ අවදිකරමින් ඔහුගෙන් මෙහෙම ඇහුවා “සහෝදරයා, ඔයාට උදව්වක් ඕනද?”

ඔහු සිනාසෙමින් මෙහෙම කිව්වා, “ස්තූතියි, වැඩිහිටි මොන්ටෝයා.” ඉන්පසු ඔහු තම ගරාජයෙන් හිම ඉවත්කරන යන්ත්‍රයක් එළියට ගෙන එන්ජිම ආරම්භ කළා, මිනිත්තු කිහිපයකින් ඔහු තම නිවස ඉදිරිපිට ඇති හිම සියල්ල ඉවත් කළා. පසුව ඔහු ඔහුගේ යන්ත්‍රයත් එක්ක පාර පැනලා මගෙන් මෙහෙම ඇහුවා, “වැඩිහිටියාණනි, ඔබට උදව් අවශ්‍යද?”

සිනහවකින් යුතුව මම, “ඔව්, ස්තූතියි” කියා කිව්වා.

අපි එකිනෙකාට ආදරය කරන නිසා අපි එකිනෙකාට උදව් කිරීමට කැමතියි, ඒවගේම මගේ සහෝදරයාගේ අවශ්‍යතා මගේ අවශ්‍යතා බවට පත් වන අතර, මගේ අවශ්‍යතා ඔහුගේ අවශ්‍යතා බවට පත්වෙනවා. මගේ සහෝදරයා මොන භාෂාව කතා කළත් මොන රටේ ඉඳන් ආවත්, අපි දෙන්නා එකම පියාණන්ගේ සහෝදරයෝ නිසා අපි එකිනෙකාට ආදරෙයි.

දේවසේවයේ යෙදීම ගැන ප්‍රකාශ කළ විට, සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ පැවසුවා, “අපි අන්‍යයන් රැකබලා ගැනීම සහ ඔවුන්ට දේවසේවය කිරීම සඳහා නව, වඩා ශුද්ධ ප්‍රවේශයක් ක්‍රියාත්මක කරනවා.”2 මට නම්, වඩා ශුද්ධ යන්නෙන් අදහස් කරන්නේ වඩාත් පුද්ගලික, ගැඹුරු, ගැලවුම්කරුවාණන්ගේ මාර්ගය ආකාරයට: එක් එක්කෙනා “එකිනෙකාට ප්‍රේම කිරීමයි.”3

අන් අයට බාධාවක් නොවී සිටීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ; පාරේ සිටින අසරණයන් දැක නමුත් පසුකර යාම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. අපේ අසල්වැසියාව අපට මේ ජීවිතයේ මුණගැසෙන පළමු සහ එකම අවස්ථාව එය වුවද, ඔහුට හෝ ඇයට උපකාර කිරීමට අපි සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගනිමු.

දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම පළමු ශ්‍රේෂ්ඨ ආඥාව වන්නේ ඇයි?

මම හිතන්නේ ඒ උන්වහන්සේව අපට වටින නිසයි අපි උන්වහන්සේගේ දරුවන්, උන්වහන්සේ අපගේ සුභසාධනය අධීක්‍ෂණය කරනවා, අප උන්වහන්සේ මත රඳා සිටිනවා, ඒවගේම උන්වහන්සේගේ ප්‍රේමය අපව ආරක්ෂා කරනවා. උන්වහන්සේගේ සැලැස්මට තෝරාගැනීමේ නිදහස ඇතුළත් වෙනවා; ඒ නිසා, අපි සමහර වැරදි කරන්න ඉඩ තියෙනවා.

උන්වහන්සේ අපට පරීක්ෂාවට ලක්වීමට සහ වරදෙහි වැටීමට ඉඩ සලසනවා. නමුත් අප යම් වැරදි සිදු කළත්, පරීක්ෂාවකට වැටුණත්, ඒ සැලැස්ම විසින් ගැලවුම්කරුවෙකු සපයන්නේ එවිට අපව මුදවාගෙන දෙවියන්වහන්සේගේ අභිමුඛයට අපට ආපසු යන්න පුළුවන් වීමටයි.

අපගේ ජීවිතයේ ඇති විපත්ති අපට ලබා දී ඇති පොරොන්දු ඉටුවීම ගැන සැකයක් ඇති කරවනවා. කරුණාකර අපගේ පියාණන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. උන්වහන්සේ සැමවිටම උන්වහන්සේගේ පොරොන්දු ඉටුකරනවා, ඒවගේම උන්වහන්සේ අපට ඉගැන්වීමට කැමති දේ අපට ඉගෙනගන්න පුළුවන්.

අපි හරි දේ කරද්දී, අපේ ජීවිතයේ තත්වයන් හොඳ තත්වයෙන් නරකටත්, සතුටෙන් දුකටත් වෙනස් වෙන්න පුළුවන්. දෙවියන්වහන්සේ අපගේ යාච්ඤාවලට පිළිතුරු දෙන්නේ උන්වහන්සේගේ අසීමිත දයාව සහ ප්‍රේමය සහ උන්වහන්සේගේ කාලය තුළයි.

  • එලියා වතුර බීපු ඔය සිඳී ගියා.4

  • නෙපිගේ සිහින් වානේ දුන්න කැඩී ගියා.5

  • කුඩා පිරිමි ළමයෙකු වෙනස්කම් වලට ලක්වී පාසලෙන් ඔහුව ඉවත් කර තිබුණා.

  • දිගු කලක් බලා සිටි දරුවෙකු ඉපදී දින කිහිපයකින් මිය ගියා.

තත්වයන් වෙනස් වෙනවා.

හොඳ සහ ධනාත්මක තත්ත්වයේ සිට අයහපත් හා සෘණාත්මක තත්වයන්ට එම තත්වයන් වෙනස් වන විට, ප්‍රීතිය රඳා පවතින්නේ තත්වයන් මත නොව තත්වයන් කෙරෙහි අපගේ ආකල්පය මත බැවින් අපට තවමත් ප්‍රීති වෙන්න පුළුවන්. සභාපති නෙල්සන් මෙහෙම කිව්වා “අපට දැනෙන ප්‍රීතියට අපගේ ජීවිතයේ තත්වයන් හා අපගේ ජීවිතයේ කේන්ද්‍රය සමග එතරම් සම්බන්ධයක් නෑ.”6

අපට වාඩි වී තත්වයන් තනිවම වෙනස් වන තෙක් බලා සිටින්න පුළුවන්, නැත්නම් අපට නව තත්වයන් සොයා ඒවා ගෙන එන්න පුළුවන්.

  • එලියා සාරෙපත් වෙත ගිය අතර එහිදී වැන්දඹුවක් ඔහුට කෑම සහ බීම දුන්නා.7

  • නෙපි ලී දුන්නක් සාදා සතුන් දඩයම් කළා.8

  • ඒ කුඩා පිරිමි ළමයා ජනේලය ලඟ වාඩි වී සිටිමින් සවන් දෙමින් සටහන් ලබාගත් අතර අද ඔහු ප්‍රාථමික පාසල් ගුරුවරයෙක්.

  • මෙම යුවළ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශාල විශ්වාසයක් ගොඩනගාගෙන ඇති අතර ගැලවීමේ සැලැස්ම කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. හදිසියේ මිය ගිය දිගු කලක් බලා සිටි එම දරුවා කෙරෙහි ඔවුන්ගේ ආදරය ඔවුන්ගේ දුකට වඩා වැඩියි.

“ස්වර්ගයේ පියාණෙනි, ඔබ ඇත්තටම එහි සිටිනවාද? ඔබවහන්සේ [සෑම] දරුවෙකුගේම යාච්ඤා අසා ඒවාට පිළිතුරු දෙනවද?9 මම මෙසේ පිළිතුරු දීමට කැමතියි: “උන්වහන්සේ එසේ සිටියා, උන්වහන්සේ එලෙසම ඉන්නවා, ඒවගේම ඔබ සහ මම වෙනුවෙන් උන්වහන්සේ හැමදාමත් ඉදිරියටත් එලෙසම ඉන්නවා. මම උන්වහන්සේගේ පුත්‍රයා, උන්වහන්සේ මගේ පියා, මමත් උන්වහන්සේ මෙන් හොඳ පියෙකු වීමට ඉගෙනගනිමින් සිටිනවා.”

මගේ බිරිඳ සහ මම සෑම විටම උත්සාහ කරන්නේ ඕනෑම අවස්ථාවක, ඕනෑම කොන්දේසියක් යටතේ සහ ඕනෑම ආකාරයකින් අපගේ දරුවන් සමඟ සිටීමටයි. සෑම දරුවෙකුම අනන්‍යයි; ඔවුන්ගේ වටිනාකම දෙවියන්වහන්සේට ශ්‍රේෂ්ඨ යි, ඔවුන්ට කුමන අභියෝග, පාපයන් සහ දුර්වලකම් තිබුණත්, දෙවියන්වහන්සේ ඔවුන්ට ප්‍රේම කරනවා, අපිත් එසේමයි.

ප්‍රධාන අධිකාරීවරයෙකු ලෙස මට මේ කැඳවීම ලැබුණු විට, අප සෝල්ට් ලේක් වෙත යාමට පෙර අවසන් දිනයේ, මගේ දරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා එක්ව අපේ ගෙදර පවුල් නිවාස සන්ධ්‍යාවක් පැවැත්වුවා, එහිදී අපි අපගේ ආදරය හා කෘතඥතාව පළ කළා. ඒ පාඩමෙන් පසු මම මගේ සෑම දරුවෙකුටම පූජක ආශිර්වාදයක් ලබා දුන්නා. හැමෝම කඳුළු සලමින් හිටියා. ආශිර්වාද කිරීම් වලින් පස්සෙ, මගේ ලොකු පුතා ඔවුන් ඉපදුණු දා සිට එතෙක් අප ඔවුන්ට ලබා දුන් විශාල ප්‍රේමය වෙනුවෙන් සියලු දෙනා වෙනුවෙන් කෘතඥතාව පළ කළා.

ඔබේ දරුවන්ට වයස අවුරුදු 5ක් හෝ 50ක් වුවත් ඔවුන්ට ආශිර්වාද කරන්න. ඔවුන් සමඟ සිටින්න; ඔවුන් වෙනුවෙන් සිටින්න. සැපයීම දිව්‍යමය සැලැස්මෙන් ස්ථාපිත වගකීමක් වුණත්, අපගේ දරුවන් සමඟ ප්‍රීතිමත් කාලයක් බෙදා ගැනීමට අප අමතක නොකළ යුතුමයි.

අපගේ ස්වර්ගික පියාණන් හට උන්වහන්සේගේ සෑම දරුවෙකු වෙනුවෙන්ම ඇති ප්‍රේමය ඇත්තටම එහෙමයි. උන්වහන්සේ අප සෑම කෙනෙකුම වෙනුවෙන් ඉන්නවා. උන්වහන්සේ එය කරන්නේ කොහොමද කියලා මම දන්නේ නෑ, නමුත් උන්වහන්සේ එහෙම කරනවා. “මනුෂ්‍යයාගේ අමරණීයභාවය සහ සදාකාල ජීවනය ගෙන ඒම සඳහා”10 පියාණන්ගේ කාර්යය සහ මහිමය කිරීමෙහිදී උන්වහන්සේ සහ උන්වහන්සේගේ කුළුඳුලාණන් එක්කෙනෙක්. අවශ්‍ය අවස්ථා වලදී අපට මගපෙන්වීමට, අපට අනතුරු ඇඟවීමට සහ අපව සනසන්නට උන්වහන්සේලා අප වෙනුවෙන් ශුද්ධාත්මයාණන් වහන්සේව එවා තිබෙනවා.

මේ සුන්දර පොළොව නිර්මාණය කරන ලෙස උන්වහන්සේ තම ආදරණීය පුත්‍රයාණන්ට උපදෙස් දුන්නා. උන්වහන්සේ ආදම් සහ ඒවට උපදෙස් දී ඔවුන්ගේ තෝරාගැනීමේ නිදහස ඔවුන්ට දුන්නා. උන්වහන්සේගේ ප්‍රේමය සහ ආඥා අපට ලැබෙන පිණිස උන්වහන්සේ වසර ගණනාවක් පුරා පණිවිඩකරුවන් එවමින් සිටිනවා.

උන්වහන්සේ පූජනීය වනයේ තරුණ ජෝසෆ්ගේ අවංක ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහුගේ නමින් ඔහුට කතා කළා. උන්වහන්සේ මෙහෙම කිව්වා: “මේ මගේ ආදරණීය පුත්‍රයායි. ඔහුට සවන්දෙන්න!”11

දෙවියන්වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමයේ උත්තරීතර විදහා දැක්වීම සිදු වූයේ ගෙත්සෙමනයේ දී බව මම විශ්වාස කරනවා, එහිදී ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් මෙසේ යාච්ඤා කළා, “අහෝ මාගේ පියාණෙනි, මේ කුසලාන මා කෙරෙන් පහවෙන්ට පුළුවන් නම් එසේ වේවා. එසේවී නුමුත් මා කැමති ලෙස නොව ඔබ කැමති ලෙස වේවා.”12

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම ගැන මට තේරුම් ගත හැකි කුඩා කොටස පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් කෙරෙහි ඇති මගේ ප්‍රේමය වැඩි කරන බවත්, පව් කිරීමට සහ අකීකරු වීමට මගේ ආශාව අඩු කරන බවත්, වඩා හොඳ වීමට සහ වඩා හොඳ කිරීමට ඇති මගේ කැමැත්ත වැඩි කරන බවත් මම දැක්කා.

යේසුස්වහන්සේ උන්වහන්සේගේ පියාණන් පිළිබඳ විශ්වාස කරමින්, තමා තනියම මුද්‍රික යන්ත්‍රය පාගා දැමිය යුතු බව දැන, කිසිඳු බියක් සැකක් නොමැතිව ගෙත්සෙමනය වෙත ගමන් කළා. උන්වහන්සේ සියලු දුක් වේදනා සහ සියලු නින්දා විඳදරාගත්තා. උන්වහන්සේ චෝදනා ලබා, විනිශ්චය වී, කුරුසියේ ඇණ ගසනු ලැබුවා. කුරුසියේ තමාගේම දුක් වේදනා සහ වේදනා විඳීම අතරතුර, යේසුස්වහන්සේ තම මවගේ සහ උන්වහන්සේගේ ආදරණීය ගෝලයාගේ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කළා. උන්වහන්සේ තම ජීවිතය පූජා කළා.

තුන්වෙනි දවසේදී උන්වහන්සේ මරණයෙන් නැවත නැගිට්ටා. සොහොන් ගෙය හිස් වුණා; උන්වහන්සේ තම පියාණන්ගේ දකුණු පැත්තේ සිටගෙන සිටියා. අපි අපගේ ගිවිසුම් පවත්වා නැවත උන්වහන්සේලාගේ අභිමුඛයට පැමිණීමට තෝරා ගනු ඇති බවට උන්වහන්සේලා බලාපොරොත්තු වෙනවා. මේ දෙවෙනි තත්වය අපේ අවසාන තත්වය නොවේ; අපි මේ ලෞකික නිවසට අයිති නැහැ, නමුත් අපි තාවකාලික අත්දැකීම්වල ජීවත් වන සදාකාලික ජීවීන්.

ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස්වහන්සේ තමයි ක්‍රිස්තුස්. උන්වහන්සේ ජීවමානයි, උන්වහන්සේ ජීවමාන වන නිසා, දෙවියන්වහන්සේගේ සියලු දරුවන් සදහටම ජීවත් වෙනවා. උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගයට ස්තූතිවන්ත වන්නට, අපි හැමෝටම උන්වහන්සේලා එක්ක එකට ජීවත් වෙන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.