ප්‍රධාන සම්මන්ත්‍රණය
උන්වහන්සේ තුළ පරිපූර්ණ වන්න
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


උන්වහන්සේ තුළ පරිපූර්ණ වන්න

අපගේ පරිපූර්ණත්වය ලබා ගත හැක්කේ දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පමණයි.

අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේට සහ අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අපව ගලවා ගැනීමට සහ අපව පරිවර්තනය කිරීමට බලය තිබෙනවා. උන්වහන්සේලා වගේ වෙන්න උන්වහන්සේලාට අපට උදව් කරන්න පුළුවන්.

මීට වසර කිහිපයකට පෙර, අපේ කුඩා මුණුබුරෙකු වන ආරොන්ට සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පටන්ගත්තා. ඔහු ඉක්මණින් වෙහෙසට පත්වුණා, තරමක් තැලීම් ඇති වුණා, ඒවගේම සෞඛ්‍ය සම්පන්න බවක් පේන්නට තිබුණේ නෑ. වෛද්‍ය පරීක්‍ෂණයෙන් පසු, ඔහුට දරුණු ඇප්ලාස්ටික් රක්තහීනතාවය ඇති බව හඳුනා ගත්තා, ඒ ඔහුගේ ඇටමිදුළු රතු රුධිර සෛල, සුදු රුධිරාණු සහ පට්ටිකා නිපදවීම නැවැත්වූ රෝගයක්. ප්‍රතිකාර සහ අවසාන සුවකිරීමක් නොමැතිව, ඔහුගේ රුධිරයට නිසි ලෙස කැටි ගැසීමට හෝ ආසාදනවලට එරෙහිව සටන් කිරීමට නොහැකි වෙනවා—ඉතින්, සුළු වැටීම්, තුවාල හෝ අසනීප පවා ඉක්මනින් ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන්.

යම් කාලයක් ආරොන්ව මේ අනතුරෙන් මිදවීම සඳහා රුධිර පට්ටිකා සහ රුධිර පාරවිලයනය සිදුකළා. මෙම රෝගය සඳහා ඇති එකම ප්‍රතිකාරය ඇටමිදුළු බද්ධ කිරීම බවත්, එය සාර්ථක වීමට හොඳම අවස්ථාව පරිත්‍යාගශීලියා ලෙස සහෝදරයෙකු සිටීම බවත් වෛද්‍යවරු පැහැදිලි කළා. ඔහුගේ සහෝදර සහෝදරියන්ගෙන් කෙනෙකු පරිපූර්ණ ගැලපීමක් වූවොත්, බද්ධ කිරීමේ ප්‍රතිඵලය ඔහුගේ ජීවිතය ගලවන්නට පුළුවන්. ඔහුගේ බාල සොහොයුරන් හතර දෙනාව පරීක්ෂාවට ලක් කරන ලද අතර, එක් අයෙකු වන මැක්ස්වෙල් පරිපූර්ණ ලෙස ගැලපුණා.

පරිපූර්ණ පරිත්‍යාගශීලීන් සමඟ වුවද, ඇටමිදුළු බද්ධ කිරීම නිසා තවමත් සංකූලතා ඇතිවීමේ බරපතල අවදානමක් තිබෙනවා. ඔහුගේ සහෝදර මැක්ස්වෙල්ගේ ඇටමිදුළුවලින් ප්‍රාථමික සෛල ලබා ගැනීමට පෙර ඔහුගේ රෝගී ඇටමිදුළුවල ඇති ඔහුගේම සෛල රසායනික චිකිත්සාව සහ විකිරණ සංයෝජනයකින් විනාශ කිරීම මේ ක්‍රියාවලියට අවශ්‍ය දෙයක් වුණා. ඉන්පසුව ආරොන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වූ නිසා, ඔහුට සති කිහිපයක් රෝහලේ හුදකලා වී පසුව විශේෂ ගිවිසුම්, සීමා කිරීම් සහ ඖෂධ සමඟ මාස කිහිපයක් නිවසේ සිටීමටත් සිදු වුණා.

බද්ධ කිරීමෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය වූයේ ආරොන්ගේ ශරීරය පරිත්‍යාගශීලී සෛල ප්‍රතික්ෂේප නොකරනු ඇති අතර මැක්ස්වෙල්ගේ සෛල ක්‍රමයෙන් ආරොන්ගේ සිරුරේ අවශ්‍ය රතු සහ සුදු රුධිරාණු සහ පට්ටිකා නිපදවීමයි. සාර්ථක පරිත්‍යාගශීලි බද්ධ කිරීමක් ඉතා සැබෑ භෞතික විද්‍යාත්මක වෙනසක් ඇති කරනවා. පුදුමයට කරුණක් තමයි, ආරොන් අපරාධයක් කර අපරාධය සිදු වූ ස්ථානයේ රුධිරය ඉතිරි වුණොත් පොලිසියට ඔහුගේ සහෝදරයා වන මැක්ස්වෙල් ව පවා අත්අඩංගුවට ගත හැකි බව වෛද්‍යවරයෙක් පැහැදිලි කළා. මොකද, ආරොන්ගේ රුධිරය මැක්ස්වෙල්ගේ බද්ධ කළ සෛල වලින් පැමිණෙන නිසා එහි මැක්ස්වෙල්ගේ DNA ඇති අතර ඔහුගේ ජීවිත කාලය පුරාම මෙය එසේ වෙනවා.

ආරොන් තම සහෝදරයාගේ රුධිරයෙන් ගැලවීම ලැබීම නිසා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ රුධිරය සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ බලපෑම පිළිබඳව බොහෝ සිතුවිලි ඇතිකළා. අප තුළ ප්‍රාතිහාර්යයන් කිරීමට ස්වාමින්වහන්සේට ඉඩ දෙන විට සිදුවන ස්ථිර, ජීවනදායක වෙනස කෙරෙහි මම අද අවධානය යොමු කිරීමට කැමතියි.1

මේ රෝගයෙන් මිදීමට ආරොන්ට ඔහු තුළම ශක්තියක් තිබුනේ නෑ. ඔහුගේ ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය රුධිර සෛල නිපදවීමට ඔහුගේ ශරීරයට නොහැකි වුණා. ඔහු පෞද්ගලිකව කුමක් කළත් ඔහුගේ ඇටමිදුළු සුව කිරීමට ඔහුට නොහැකි වුණා. ආරොන්ට තමාවම සුව කර ගැනීමට නොහැකි වූවා සේම, අපට අපවම ගලවා ගන්නට බැහැ. අප කොතරම් දක්ෂ, උගත්, අතිදක්ෂ හෝ ශක්තිමත් වුවත්, අපට අපගේ පාපයෙන් අපව පිරිසිඳු කිරීමට, අපගේ ශරීරය අමරණීය තත්වයකට වෙනස් කිරීමට හෝ අපව උත්කර්ෂවත් කර ගැනීමට අපට බැහැ. එය කළ හැක්කේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ අසීමිත වන්දිගෙවීම තුළින් පමණයි. “දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ මනුෂ්‍යයාට ගැලවීම ලැබිය හැකි වෙනත් මාර්ගයක් හෝ නමක් ස්වර්ගය යට දී නැහැ.”2 අපව පවිත්‍ර කර අපව විශුද්ධ කරන්නේ උන්වහන්සේගේ ඒ වන්දිගෙවීමේ රුධිරයයි.3

ආරොන්ට තමාවම සුව කර ගැනීමට නොහැකි වුවද, බද්ධ කිරීම සාර්ථක වීමට නම්, වෛද්‍යවරුන් ඉල්ලා සිටි දේ කිරීමට, ඉතා දුෂ්කර, අභියෝගාත්මක දේවල් කිරීමට ඔහු කැමැත්තෙන් සිටිය යුතුයි. අපට අපවම ගලවා ගත නොහැකි වුවත්, අප ස්වාමින්වහන්සේගේ කැමැත්තට යටත් වී අපගේ ගිවිසුම් රකින විට, අපගේ මිදීම සඳහා මාර්ගය විවෘත වෙනවා.4 ආරොන්ගේ රුධිර සෛලවල DNA වෙනස් වීමේ කැපී පෙනෙන ක්‍රියාවලිය මෙන්, අපට අපගේ හදවත් වෙනස් කරගැනීමටත්,5 අපගේ මුහුණුවරෙහි උන්වහන්සේගේ ප්‍රතිරූපය ඇති කරගැනීමටත්,6 ඒවගේම ක්‍රිස්තුස්වහන්සේ තුළ නව මැවිල්ලක් වීමටත් පුළුවන්.7

ඇල්මා සරහෙම්ලාවේ මිනිසුන්ට ඔවුන්ට පෙර සිටි එම හැරී ආ පරම්පරාව ගැන මතක් කළා. ඔහුගේ පියා ගැන කතා කරමින් ඇල්මා මෙසේ පැහැදිලි කළා “ඔහුගේ ඇදහිල්ලට අනුව ඔහුගේ හදවතේ බලවත් වෙනසක් සිදුවීමට සැලැස්වීය.”8 ඉන්පසු ඔහු මෙහෙම ඇහුවා, “මෙම බලවත් වෙනස්වීම නුඔලා නුඔලාගේ හදවත් තුළ අත්දැක ඇත්තහුද?”9 තමන්ගේ හදවත් වෙනස් කරගත්තේ ඒ මිනිසුන් නොවේ. සැබෑ වෙනස සිදුකළේ ස්වාමින්වහන්සේ යි. ඇල්මා මේ ගැන ඉතා පැහැදිලිව පැවසුවා. “බලන්න, උන්වහන්සේ ඔවුන්ගේ හදවත් වෙනස් කළ සේක” කියා ඔහු පැවසුවා.10 ඔවුන් “ඔවුන්වම යටහත් කරගෙන තවද ඔවුන්ගේ විශ්වාසය සත්‍යවූ සහ ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙහි තැබූ සේක … [තවද] අවසානය දක්වා ඇදහිලිවන්තව සිටියහ … [එසේ හෙයින්] ගලවනු ලැබීය.”11 ඒ මිනිසුන් ඔවුන්ගේ හදවත් විවෘත කිරීමට සහ ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමට කැමැත්තෙන් සිටි අතර, පසුව ස්වාමින්වහන්සේ ඔවුන්ගේ හදවත් වෙනස් කළා. එය මොනතරම් බලවත් වෙනසක්ද! ඔවුන්ගේ හදවත් වෙනස් වීමට පෙර සහ පසුව ඇල්මා නම් මෙම මිනිසුන් දෙදෙනාගේ ජීවිතයේ වෙනස ගැන සිතන්න.12

අපි තේජාන්විත ඉරණමක් ඇති දෙවියන්වහන්සේගේ දරුවන්. උන්වහන්සේ හා සමාන වීමටත් “පරිපූර්ණ ප්‍රීතියෙන්”13 සිටීමටත් අපට අපව වෙනස් කරගන්න පුළුවන්. අනික් අතට, සාතන් ඔහු මෙන් අපව දුක්ඛිත තත්වයකට පත් කරන්න උත්සහ කරනවා.14 අපි අනුගමනය කරන අයව තෝරා ගැනීමට අපට හැකියාව තිබෙනවා.15 අපි සාතන්ව අනුගමනය කරන විට, අපි ඔහුට බලය ලබා දෙනවා.16 අපි දෙවියන්වහන්සේව අනුගමනය කරන විට, උන්වහන්සේ අපට බලය ලබා දෙනවා.

අප “පරිපූර්ණ විය යුතු” බව ගැලවුම්කරුවාණන් ඉගැන්වූවා.17 මෙය එතරම් භයානක ලෙස පෙනෙන්නට පුළුවන්. මට මගේ පෞද්ගලික අඩුපාඩු පැහැදිලිව දකින්න පුළුවන්, ඒවගේම මමත් පරිපූර්ණත්වයත් අතර ඇති දුර ගැන වේදනාවෙන් යුතුව වුණත් මම දන්නවා. අප අපවම පරිපූර්ණ කරගත යුතු බව සිතීමේ ප්‍රවණතාවක් අපට තිබිය හැකි නමුත් එය කළ නොහැකි යි. ලෝකයේ සෑම ස්වයං උපකාරක පොතකම ඇති සෑම යෝජනාවක්ම අනුගමනය කිරීමෙන්වත් එය සිදු වෙන්නේ නෑ. පරිපූර්ණත්වය පැමිණෙන්නේ එක් මාර්ගයක් සහ එක් නමක් මගින් පමණයි. “උන්වහන්සේගේ ස්වකීය රුධිරය වැගිරවීම තුළින් මෙම පරිපූර්ණ වන්දිගෙවීම ක්‍රියාත්මක කරන ලද, නව ගිවිසුමේ මැදහත්කරුවාණන් වන යේසුස්වහන්සේ තුළින් පරිපූර්ණ කරනු ලැබුවා වූ ධර්මිෂ්ඨ මනුෂ්‍යයන්” අපි යි.18 අපගේ පරිපූර්ණත්වය ලබා ගත හැක්කේ දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පමණයි.

අපගේ තරුණ මුණුබුරා වන ආරොන්ට ඔහුගේ බද්ධ කිරීම හා සම්බන්ධ සියලුම වෛද්‍ය ක්‍රියා පටිපාටි තේරුම් ගෙන සිදු කළ යුතු යැයි උපකල්පනය කිරීම කොතරම් විශාල දෙයක් දැයි ඔබට සිතාගන්න පුළුවන්ද? අපගේ පරිපූර්ණත්වයේ ආශ්චර්යමත් ක්‍රියාවලියේදී ගැලවුම්කරුවාණන්ට පමණක් කළ හැකි දේවල් අපත් කළ යුතු බව අපි හිතන්න ඕනෙ නෑ.

මොරෝනි සිය වාර්තාව අවසන් කරන විට, ඔහු මෙසේ ඉගැන්වුවා, “එසේය, ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන්න, … තවද උන්වහන්සේ තුළ පරිපූර්ණ වෙන්න, තවද නුඹලා විසින්ම සියලු අභක්තියෙන් වැළකී සිටිමින් නුඹලාගේ සියලු බලයෙන්ද මනසින්ද, ශක්තියෙන්ද දෙවියන්වහන්සේට ආදරය කරන්නේ නම්, එවිට උන්වහන්සේගේ අනුග්‍රහය නුඹලා උදෙසා සෑහෙන්නේය, උන්වහන්සේගේ කරුණාව කරණකොට ගෙන ක්‍රිස්තුස්වහන්සේ තුළ නුඹලා පරිපූර්ණ වන්නෝය.”19 මොනතරම් සැනසිලිදායක සහ බලවත් සත්‍යයක්ද! උන්වහන්සේගේ කරුණාව මට ප්‍රමාණවත්. උන්වහන්සේගේ කරුණාව ඔබට ප්‍රමාණවත්. “වැඩ කරන සහ බර උසුලන”20 සියල්ලන්ට උන්වහන්සේගේ කරුණාව ප්‍රමාණවත්.

ආරොන්ගේ වැනි වෛද්‍ය ප්‍රතිකාර සමඟ සෑම විටම ප්‍රතිඵලය පිළිබඳ යම් අවිනිශ්චිතතාවයක් පවතිනවා. ඇත්ත වශයෙන්ම, පළමු බද්ධයට පසු සංකූලතා ඇති වූ විට ආරොන්ට දෙවන බද්ධ කිරීමක් අවශ්‍ය වුණා. ස්තුතිවන්ත වන්නට, හදවතේ අධ්‍යාත්මික වෙනසක් ඇතිව, එය සිදුවේදැයි අප කල්පනා කළ යුතු නෑ. අපි උන්වහන්සේගේ කැමැත්තට අනුව ජීවත් වන විට, “ගලවා ගැනීමට බලවත් තැනැත්තාගේ කුසලතා මත සම්පූර්ණයෙන්ම රඳා සිටින විට”21 ගැලවුම්කරුවාණන්ගේ රුධිරයෙන් පවිත්‍ර වී අවසානයේ උන්වහන්සේ තුළ පරිපූර්ණ වීමට සියයට සියයක සහතිකයක් අපට තිබෙනවා උන්වහන්සේ “සත්‍යයේ දෙවියන්වහන්සේ යි, තවද උන්වහන්සේට බොරු කීමට [නොහැකි යි].”22

මෙම වෙනස් කිරීමේ ක්‍රියාවලියට කාලය ගතවන අතර එය මේ ජීවිතයෙන් පසුව වන තෙක් අවසන් නොවන බවට විවාදයක් නෑ, නමුත් පොරොන්දුව ස්ථිරයි. දෙවියන්වහන්සේගේ පොරොන්දු ඉටුවීම දුරස්ථ බව පෙනෙන විට, ඒවා ඉටු වන බව දැන දැනම අපි තවමත් එම පොරොන්දු වැලඳ ගනිමු.23

ආරොන්ගේ සෞඛ්‍යයේ ආශ්චර්යමත් වෙනස අපේ පවුලට ඉමහත් ප්‍රීතියක් ගෙන දී තිබෙනවා. අපගේ ප්‍රාණ වල බලවත් වෙනස්කම් සිදු වන විට ස්වර්ගයේ ඇතිවන මහත් ප්‍රීතිය ගැන සිතන්න.

අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේට සහ අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට ආදරෙයි, ඒවගේම අපව වෙනස් කිරීමට සහ අපව පරිපූර්ණ කිරීමට කරුණාවෙන් යුතුව ඉදිරිපත් වෙනවා. උන්වහන්සේලාට මේක කරන්න අවශ්‍යයි. එය උන්වහන්සේලාගේ කාර්යයට හා මහිමයට කේන්ද්‍රීය වෙනවා.24 අපි උන්වහන්සේලා වෙත ඇදහිල්ලෙන් පැමිණෙන විට මෙය කිරීමට උන්වහන්සේලාට බලය ඇති බවට මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.