ප්‍රධාන සම්මන්ත්‍රණය
අහෝ සයොනය, ඔබේ ශක්තිය පැළඳ ගන්න
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


අහෝ සයොනය, ඔබේ ශක්තිය පැළඳ ගන්න

අප සෑම කෙනෙකුම අපගේ තාවකාලික හා අධ්‍යාත්මික ප්‍රමුඛතා අවංකව හා යාච්ඤාවෙන් ඇගයීමට ලක් කළ යුතුයි.

උපමා යනු ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉගැන්වීම කෙරෙහි දැක්වූ විශිෂ්ඨ ප්‍රවේශයේ එක් විශේෂ අංගයක්. සරලව නිර්වචනය කළහොත්, ගැලවුම්කරුවාණන්ගේ උපමා යනු අධ්‍යාත්මික සත්‍යයන් ද්‍රව්‍යමය දේ සහ ලෞකික අත්දැකීම් සමඟ සංසන්දනය කිරීමට භාවිතා කරන කථායි. නිදසුනක් වශයෙන්, නව ගිවිසුමේ ශුභාරංචි විසින් ස්වර්ග රාජ්‍යය අබ ඇටයකට,1 අනගි මුතු ඇටයකට,2 මිල අධික මුතු ඇටයකට, ගෘහ හිමියෙකුට සහ ඔහුගේ මිදි වත්තේ කම්කරුවන්ට,3 කන්‍යාවන් දස දෙනෙකුට4 සහ තවත් බොහෝ දේවල් වලට සමාන කරන ඉගැන්වීම්වලින් පිරී තිබෙනවා. ස්වාමින්වහන්සේගේ ගලීලයේ දේවසේවයේ එක් කොටසක් අතරතුර, “උපමාවක් නොමැතිව උන්වහන්සේ ඔවුන්ට කතා නොකළ” බව ශුද්ධලියවිලිවල සඳහන් වෙනවා.5

උපමාවක අපේක්ෂිත අර්ථය හෝ පණිවිඩය සාමාන්‍යයෙන් පැහැදිලිව ප්‍රකාශ වෙන්නේ නෑ. ඒ වෙනුවට, ඒ කථාව ලබන්නාට දිව්‍යමය සත්‍ය ප්‍රකාශ කරන්නේ දෙවියන්වහන්සේ කෙරෙහි ඔහුගේ හෝ ඇයගේ ඇදහිල්ල, පුද්ගලික අධ්‍යාත්මික සූදානම සහ ඉගෙනීමට ඇති කැමැත්තට සමානුපාතිකව පමණයි. මේ අනුව, පුද්ගලයෙකු උපමාවක අන්තර්ගත සත්‍යයන් සොයා ගැනීම සඳහා ලෞකික තෝරාගැනීමේ නිදහස ක්‍රියාත්මක කළ යුතු අතර ක්‍රියාශීලීව “ඉල්ලීම, සෙවීම සහ තට්ටු කිරීම”6 කළ යුතුයි.

අපි දැන් ඒ රාජකීය සරණ මංගල්‍යය පිළිබඳ උපමාවේ වැදගත්කම සලකා බලන විට ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් අප සෑම කෙනෙකුවම දැනුවත් කරන ලෙස මම ඉතා ඕනෑකමින් යාච්ඤා කරනවා.

රාජකීය සරණ මංගල්‍යය

තවද යේසුස්වහන්සේ උත්තරදෙමින් නැවතත් උපමාවලින් කථාකොට, මෙසේ කී සේක,

“තමාගේ පුත්‍රයාට සරණ මංගල්‍යයක් පිළියෙළ කළ එක්තරා රජෙකුට ස්වර්ග රාජ්‍යය සමාන කරනු ලැබේ,

“ඔහු සරණ මංගල්‍යයට ආමන්ත්‍රණය ලැබූවන් කැඳවන පිණිස තමාගේ දාසයන් යැවුවේය. නුමුත් ඔව්හු එන්ට අකමැති වූවෝය.

“නැවතත් ඔහු වෙන දාසයන් යවමින්: මෙන්න, මාගේ කෑම පිළියෙළ කර තිබේ. මාගේ ගොන්නුද තර සත්තුද මරන ලද්දෝය, සියල්ල සූදානම්ව තිබේ.

“මංගල්‍යයට වරෙල්ලාය කියා ආමන්ත්‍රණය ලැබූ අයට කියාපල්ලායයි කීවේය. නුමුත් ඔව්හු ඒ නොසලකා, එක්කෙනෙක් තමාගේම කෙතටත්, අන් කෙනෙක් තමාගේ වෙළඳාමටත් ගියෝය.”7

පුරාණ කාලයේ යුදෙව්වන්ගේ ජීවිතයේ වඩාත්ම ප්‍රීතිමත් අවස්ථාවක් වූයේ සරණ මංගල උත්සවයි—ඒවා සතියක් හෝ දෙකක් පුරා පැවතුණා. එවැනි සිදුවීමක් සඳහා පුළුල් සැලසුමක් අවශ්‍ය වූ අතර, උත්සව සමාරම්භක දිනයේ එවන ලද සිහිකැඳවීමක් සමඟ අමුත්තන්ට බොහෝ කලකට පෙර දැනුම් දීම කළා. මෙවන් විවාහ මංගල්‍යයකට රජෙකු විසින් තම යටත්වැසියන්ට කරන ආරාධනයක් අත්‍යවශ්‍යයෙන්ම ආඥාවක් ලෙස සැලකුණා. එහෙත්, මේ උපමාවේ බොහෝ ආරාධිත අමුත්තන් ආවේ නෑ.8

“රජුගේ මංගල්‍යයට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීම රාජකීය අධිකාරියට එරෙහිව හිතාමතා කළ කැරැල්ලක් සහ පාලනය කරන ස්වෛරීවරයාට සහ ඔහුගේ පුත්‍රයාට එරෙහිව පුද්ගලික කෝපයක් පිළිඹිබු කිරීමක් වුණා. … එක් මිනිසෙක් තම ගොවිපළට සහ තවත් අයෙකු තම [ව්‍යාපාරික අවශ්‍යතා] දෙසට හැරීම”9 ඔවුන්ගේ වැරදි ප්‍රමුඛතා සහ රජුගේ කැමැත්ත සම්පූර්ණයෙන්ම නොසලකා හැරීම පිළිබිඹු කරනවා.10

ඒ උපමාවේ තවදුරටත් මෙසේ කියවෙනවා:

“එවිට ඔහු තමාගේ දාසයන්ට කථාකොට: මංගල්‍යය සූදානම්කර තිබේ, නුමුත් ආමන්ත්‍රණය ලැබුවෝ සුදුස්සෝ නොවෙති.

“ඒ නිසා නුඹලා මංසන්ධිවලට ගොස් සම්බවෙන සියල්ලන් මංගල්‍යයට කැඳවා ගෙනෙල්ලායයි කීවේය.

“ඒ දාසයෝ මහ මාවත්වලට ගොස් තමුන්ට සම්බවූ යහපත් අයහපත් සියල්ලන් රැස්කළෝය. අමුත්තන්ගෙන් මංගල්‍ය ශාලාව පිරුණේය.”11

විවාහ මංගල්‍යය සංවිධානය කරන්නා විසින්—මේ කතාවේ හැටියට රජු විසින්—විවාහ මංගල්‍යයට සහභාගී වන අමුත්තන්ට ඇඳුම් ලබා දීම ඒ දවස්වල චාරිත්‍රය වුණා. එවැනි මංගල වස්ත්‍ර, සහභාගි වූ සියලු දෙනාම පැළඳ සිටි සරල, විස්තර කළ නොහැකි ලද සළු වුණා. මේ ආකාරයට, තරාතිරම සහ තත්වය ඉවත් කරන ලද අතර, මංගල්‍යයේ සිටින සෑම කෙනෙකුටම සමාන ලෙස මිශ්‍ර විය හැකි වුණා.12

මංගල උත්සවයට සහභාගි වීමට මහාමාර්ගවලින් ආරාධනා කරන පුද්ගලයන්ට උත්සවයට සූදානම් වීම සඳහා සුදුසු ඇඳුමක් ලබා ගැනීමට කාලය හෝ විධික්‍රම නොතිබෙන්නට ඇති. එහි ප්‍රතිඵලයක් වශයෙන්, රජු අමුත්තන්ට ඔහුගේම ඇඳුම් ආයිත්තම් කට්ටලයේ ඇඳුම් ලබා දුන්නා වෙන්න පුළුවන්. සෑම කෙනෙකුටම රාජකීය ඇඳුම්වලින් සැරසී සිටීමට අවස්ථාව ලබා දී තිබුණා.13

රජතුමා මඟුල් මඩුවට ඇතුළු වන විට රැස්ව සිටි පිරිස විමසා බැලූ අතර එක් කැපී පෙනෙන ආගන්තුකයෙකු මංගල ඇඳුමක් ඇඳ නොසිටි බව වහාම දුටුවා. එම මිනිසාව ඉදිරියට ගෙනැවිත් රජු මෙහෙම ඇහුවා, “මිත්‍රය, ඔබ මඟුල් ඇඳුමක් නොමැතිව මෙහි පැමිණියේ කෙසේද? ඔහු ගොළු වුණා.”14 සරල ලෙස, රජතුමා ඇසුවේ, “ඔබට මංගල ඇඳුමක් ලබා දී තිබියදීත්, ඔබ එය පැළඳ නොසිටින්නේ මන්ද?”15 කියායි.

මෙම විශේෂ අවස්ථාව සඳහා මිනිසා පැහැදිලිවම නිසි ලෙස ඇඳ පැළඳ නොසිටි අතර, “ඔහු ගොළු විය” යන වාක්‍ය ඛණ්ඩයෙන් ඇඟවෙන්නේ මිනිසා නිදහසට කරුණක් නොමැතිව සිටි බවයි.16

වැඩිහිටි ජේම්ස් ඊ. තල්මේජ් මේ මිනිසාගේ ක්‍රියාවන්හි වැදගත්කම පිළිබඳව මෙම උපදේශාත්මක විවරණ සපයනවා: “වස්ත්‍ර පැළඳ නොසිටි අමුත්තා ඒ ගැන නොසලකා හැරීම, හිතාමතාම අගෞරව කිරීම හෝ තවත් බරපතළ වරදක් සම්බන්ධයෙන් වැරදිකරු වූ බව මෙහි අන්තර්ගතයෙන් පැහැදිලියි. රජතුමා මුලදී කරුණාවෙන් සැලකිල්ලක් දැක්වූ අතර, විමසා සිටියේ එම පුද්ගලයා මංගල ඇඳුමක් නොමැතිව ඇතුළු වූයේ කෙසේද යන්න ගැන පමණයි. ඒ අමුත්තාට ඔහුගේ සුවිශේෂී පෙනුම පැහැදිලි කිරීමට හැකි වූවා නම් හෝ ඔහුට ඉදිරිපත් කිරීමට සාධාරණ නිදහසට කරුණක් තිබුනේ නම්, ඔහු නිසැකවම කතා කරන්නට තිබුණා; නමුත් ඔහු නිහඬව සිටි බව අපට එහි කියවෙනවා. රජුගේ කැඳවීම ඔහුගේ සේවකයන් සොයාගත් සියල්ලන්ට නිදහසේ යොමුකර තිබුණා; නමුත් ඔවුන් එක් එක්කෙනාට රජ මාලිගාවට ඇතුල් වීමට සිදු වූයේ එහි දොරෙන්; ඒවගේම රජු පෞද්ගලිකව පෙනී සිටින භෝජන සංග්‍රහ කාමරයට පැමිණීමට පෙර, සෑම කෙනෙකුම නිසි ලෙස ඇඳ පැළඳ සිටිය යුතු වුණා; එහෙත් ඌන වූ තැනැත්තා, යම් ආකාරයකින් වෙනත් මාර්ගයකින් ඇතුළු වී තිබුණා; ඒවගේම ඔහු ද්වාරයෙහි උපස්ථායක මුරකරුවන් පසුකර නොගිය අතර, ඔහු අනවසරයෙන් ඇතුළු වූවෙක් වුණා.”17

ක්‍රිස්තියානි කතුවරයකු වන ජෝන් ඕ. රීඩ් සඳහන් කළේ, ඒ මිනිසා මංගල ඇඳුම ඇඳීම ප්‍රතික්ෂේප කිරීම “රජුට සහ ඔහුගේ පුත්‍රයාට සිදුකළ අමූලික අගෞරවයක්” බවයි. ඔහුට මඟුල් ඇඳුමක හිඟයක් තිබුණේ නැහැ; ඒ වෙනුවට, ඔහු එකක් පැළඳ නොගැනීමට තීරණය කළා. එම අවස්ථාවට ගැලපෙන ලෙස ඇඳුම් ඇඳීම ඔහු කැරලිකාර ලෙස ප්‍රතික්ෂේප කළා. රජුගේ ප්‍රතිචාරය වේගවත් හා තීරණාත්මක වුණා: “මොහුගේ අත්පා බැඳ, මොහු පිටත අන්ධකාරයෙහි දමාපල්ලා; එහිදී හැඬීමත් දත්මිටිකෑමත් වන්නේය.”18

මේ මිනිසා පිළිබඳ රජුගේ විනිශ්චය මූලික වශයෙන් පදනම් වී ඇත්තේ මංගල ඇඳුමක් නොමැතිකම මත නොවේ—නමුත් “ඇත්ත වශයෙන්ම ඔහු එය පැළඳ නොසිටීමට අධිෂ්ඨාන කරගෙන සිටියා. මෙම පුද්ගලයා මංගල භෝජන සංග්‍රහයට සහභාගී වීමේ ගෞරවය අපේක්ෂා කළ නමුත් රජුගේ චාරිත්‍රය අනුගමනය කිරීමට ඔහුට අවශ්‍ය වුණේ නෑ. ඔහුට අවශ්‍ය වූයේ ඔහුගේම ආකාරයෙන් දේවල් කිරීමටයි. ඔහු නිසි ලෙස වස්ත්‍ර නොඇඳීම රජුට සහ ඔහුගේ උපදෙස්වලට එරෙහිව ඔහුගේ අභ්‍යන්තර කැරැල්ල හෙළි කළා.”19

කැඳවනු ලැබුවෝ බොහෝය, තෝරාගනු ලැබුවෝ ස්වල්පයකි

මේ උපමාව පසුව මෙම විනිවිද පෙනෙන ශුද්ධලියවිල්ලෙන් අවසන් වෙනවා: “මක්නිසාද කැඳවනු ලැබුවෝ බොහෝය, තෝරාගනු ලැබුවෝ ස්වල්පයකි.”20

ජෝසෆ් ස්මිත් ඔහුගේ දේවානුභාවයෙන් පරිවර්තනය කරන ලද බයිබලයේ මතෙව් හි මෙම පදය පහත ලෙස සකස් කිරීම සිත්ගන්නා කරුණක්: “මක්නිසාද කැඳවනු ලැබුවෝ බොහෝය, තෝරාගනු ලැබුවෝ ස්වල්පයකි; එසේහෙයින් සියල්ලෝම මංගල වස්ත්‍රය ඇඳ නොසිටින්නෝය.”21

මංගල භෝජන සංග්‍රහයට ආරාධනා කිරීම සහ එම මංගල්‍යයට සහභාගී වීමට තෝරාගැනීම එකිනෙකට සම්බන්ධ නමුත් වෙනස්. ආරාධනය කාන්තා පිරිමි සැමටමයි. පුද්ගලයෙකු මේ ආරාධනය පිළිගෙන මංගල්‍යයේ වාඩි වීමට පවා පුළුවන්—නමුත් ඔහුට හෝ ඇයට ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහ උන්වහන්සේගේ දිව්‍ය කරුණාව කෙරෙහි ඇදහිල්ල පරිවර්තනය කිරීම සඳහා සුදුසු මංගල ඇඳුමක් නොමැති නිසා එම පුද්ගලයාව සහභාගී වීමට තෝරා නොගෙන තිබෙන්නට පුළුවන්. මේ අනුව, අපට දෙවියන්වහන්සේගේ කැඳවීම සහ එම කැඳවීමට අපගේ පුද්ගල ප්‍රතිචාරය යන දෙකම ඇති අතර, බොහෝ දෙනෙකුව කැඳවනු ලැබිය හැකි නමුත් තෝරාගනු ලබන්නේ ස්වල්ප දෙනෙක් පමණයි.22

තෝරාගෙන තිබීම හෝ තෝරා ගැනීමට ලක්වීම අපට ලබා දී ඇති සුවිශේෂී තත්වයක් නොවේ. ඒ වෙනුවට, ඔබටත් මටත් අවසානයේ අපගේ ලෞකික තෝරාගැනීමේ නිදහස ධර්මිෂ්ඨව භාවිතා කිරීම තුළින් තෝරාගත් කෙනෙක් වෙන්න පුළුවන්.

දහම සහ ගිවිසුම් හි පහත හුරුපුරුදු පදවල තෝරාගත් යන වචනය භාවිතා කිරීම කරුණාවෙන් සලකා බලන්න:

“බලන්න, කැඳවනු ලැබූ බොහෝ දෙනෙක් ඇත, නමුත් තෝරාගත් අය ඇත්තේ ස්වල්ප දෙනෙක් ය. තවද ඔවුන්ව තෝරාගෙන නොමැත්තේ ඇයි?

“මක්නිසාද ඔවුන්ගේ හදවත් මෙම ලෝකයේ දේවල් මත ඉතා මහත්ව රැඳී ඇත්තේය, තවද මනුෂ්‍යයන්ගේ ගෞරවය අපේක්ෂා කරන්නේය.”23

මෙම වාක්‍යවල අරුත ඉතා සරල බව මම විශ්වාස කරනවා. අපගේ නම් කවදා හෝ එකතු වනු ඇතැයි අප බලාපොරොත්තු විය යුතු වන, ප්‍රියතම ලැයිස්තුවක් දෙවියන්වහන්සේට නැහැ. “තෝරාගත් අය” සීමිත කිහිප දෙනෙකුට පමණක් උන්වහන්සේ සීමා කරන්නේ නෑ. ඒ වෙනුවට, අපගේ හදවත්, අපගේ ආශාවන්, ශුද්ධ වූ ශුභාරංචි ගිවිසුම් සහ නියෝගවලට අපගේ ගරුත්වය, ආඥාවලට අපගේ කීකරුකම, ඒවගේම වඩාත්ම වැදගත් ලෙස ගැලවුම්කරුවාණන්ගේ මිදීමේ කරුණාව සහ දයාව යන දේවල් වලින් අපව දෙවියන්වහන්සේගේ තෝරාගත් අයගෙන් කෙනෙකු ලෙස ගණන් ගන්නේද යන්න තීරණය කරනවා.24

“මක්නිසාද අප අපගේ දරුවන්වද,එසේම අපගේ සහෝදරයන්වද, ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන පිණිසත් දෙවියන්වහන්සේ සමඟ සමගිවන පිණිසත් පොළඹවන පිණිස උද්යෝගීමත්ව ලියන්නේය; අපට කළ හැකි සියල්ල කිරීමෙන් පසු, අපි ගැලවී සිටින්නේ අනුග්‍රහය නිසා බව අප දන්නෙමු.”25

අපගේ දෛනික ජීවිතයේ කාර්යබහුලත්වය තුළ සහ අප ජීවත් වන සමකාලීන ලෝකයේ කලබලය තුළ, සතුට, සමෘද්ධිය, ජනප්‍රියත්වය සහ ප්‍රමුඛත්වය අපගේ මූලික ප්‍රමුඛතා කර ගැනීමෙන් වඩාත් වැදගත් වන සදාකාලික දේවලින් අප අවධානය වෙනතකට යොමු කරන්න පුළුවන්. “මේ ලෝකයේ දේවල්” සහ “මනුෂ්‍යයන්ගේ ගෞරව” ගැන අපගේ කෙටිකාලීන උනන්දුව නිසා, අපේ ආත්මික ජන්ම අයිතිය ඊටත් වඩා අඩු වටිනාකමින් යුත් දේවල් නිසා යටපත් කිරීමට අපි පෙළඹෙන්න පුළුවන්.26

පොරොන්දුව සහ සාක්ශිය

පරණ ගිවිසුමේ අනාගතවක්තෘ හග්ගයි හරහා තම සෙනඟට ලබා දුන් ස්වාමින්වහන්සේගේ අවවාදය මම නැවත නැවතත් කියනවා: “එබැවින් සේනාවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: නුඹලාගේ මාර්ග සිතට ගනිල්ලා.”27

ස්වර්ගීය පියාණන්වහන්සේ සහ ගැලවුම්කරුවාණන් අපට ලබා දීමට කැමැත්තෙන් සිටින ත්‍යාගශීලී ආශිර්වාදවලට බාධාවක් විය හැකි අපගේ ජීවිතයේ දේවල් හඳුනා ගැනීම සඳහා අප සෑම කෙනෙකුම අපගේ තාවකාලික හා අධ්‍යාත්මික ප්‍රමුඛතා අවංකව හා යාච්ඤාවෙන් ඇගයීමට ලක් කළ යුතුයි. එමෙන්ම සැබවින්ම අපට අපව සැබෑ ලෙසම දැකීමට ශුද්ධාත්මයාණන් අපට උපකාර කරයි.28

දැකීමට ඇස් සහ ඇසීමට කන්29 යන අධ්‍යාත්මික ත්‍යාගය සඳහා අප සුදුසු ලෙස සොයන විට, ජීවමාන ස්වාමින්වහන්සේ සමඟ අපගේ ගිවිසුම් සම්බන්ධය ශක්තිමත් කිරීමේ හැකියාව සහ විනිශ්චය සමඟින් අපට ආශිර්වාද ලැබෙන බවට මම පොරොන්දු වෙනවා. අපගේ ජීවිත තුළ දේව භක්තියේ බලය ද අපට ලැබෙයි30—ඒවගේම අවසානයේදී අපිව ස්වාමින්වහන්සේගේ මංගල්‍යයට කැඳවනු ලැබ තෝරා ගනු ලැබෙයි.

“සයොනය, පිබිදියන්න, පිබිදියන්න, නුඹේ බලය පැළඳගනින්න.”31

“මක්නිසාද සයොනය අලංකාරයෙන්ද, තවද ශුද්ධත්වයෙන්ද වර්ධනය විය යුතුය, ඇයගේ සීමාවන් විශාල විය යුතු වන්නේය; ඇයගේ කූඥයන් සවිමත් විය යුතු වන්නේය; එසේය සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, සයොනය නැගී සිටිමින් ඇයගේ අලංකාර වස්ත්‍ර පැලඳගත යුතුම වන්නේය.”32

අපගේ සදාකාලික පියාණන් වන දෙවියන්වහන්සේගේ සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දේවත්වය සහ ජීවමාන යථාර්ථය පිළිබඳ මගේ සාක්ෂිය මම ප්‍රීතියෙන් ප්‍රකාශ කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් බවත්, උන්වහන්සේ ජීවමාන බවත් මම සාක්ෂි දරනවා. එමෙන්ම, පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ ජෝසෆ් ස්මිත් පිරිමි ළමයාට පෙනී සිටි බවත්, එමගින් ගැලවුම්කරුවාණන්ගේ පසුදවස් වල ශුභාරංචිය නැවත පිහිටුවීම කිරීම ආරම්භ කළ බවත් මම සාක්ෂි දරනවා. අප සෑම කෙනෙකුම දැකීමට ඇස්ද, ඇසීමට කන්ද සොයා ඒවායින් ආශිර්වාදිත වේවා, මම මෙසේ යාච්ඤා කරන්නේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.