ප්‍රධාන සම්මන්ත්‍රණය
අපට උන්වහන්සේ තුළින් දුෂ්කර දේ කළ හැකිය
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


අපට උන්වහන්සේ තුළින් දුෂ්කර දේ කළ හැකිය

දුෂ්කර කාලවලදී අප ස්වාමින්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කරන විට අපි අපගේ අනුගාමිකත්වය තුළ වර්ධනය වනවා.

ගැලවුම්කරුවාණන්ගේ පොළොව මත දේවසේවය අතරතුර, උන්වහන්සේ අන්ධ මිනිසෙකු දුටුවා. යේසුස්වහන්සේගේ ගෝලයන් මෙහෙම ඇහුවා, “රබ්බී, මොහු අන්ධව ඉපදීමට පව් කළේ කවුද, මොහුද, මොහුගේ මව්පියන්ද?”

ගැලවුම්කරුවාණන්ගේ ස්ථිර, ප්‍රේමණීය සහ අවංක පිළිතුර උන්වහන්සේ අපගේ අරගල ගැන සිහියෙන් සිටින බව අපට සහතික කරනවා: “දෙවියන්වහන්සේගේ ක්‍රියා මොහු කෙරෙහි ප්‍රකාශවන පිණිස මිස මොහුවත්, මොහුගේ මවුපියන්වත්: පව්කළ නිසා නොවේ.”1

දැනුවත්ව කරන අකීකරුකම් නිසා සමහර අභියෝග පැමිණිය හැකි වුවත්, ජීවිතයේ බොහෝ අභියෝග පැමිණෙන්නේ වෙනත් හේතු නිසා බව අපි දන්නවා. අපගේ අභියෝගවල මූලාශ්‍රය කුමක් වුවත්, වර්ධනය වීමට ඒවා ස්වර්ණමය අවස්ථාවක් වෙන්න පුළුවන්.

ජීවිතයේ විපත්වලින් අපේ පවුල් ගැලවී නැහැ. වැඩෙන විට, මම විශාල පවුල් අගය කළා. විශේෂයෙන්ම මගේ නව යොවුන් වියේදී මගේ මාමා වන සර්ෆෝ සහ ඔහුගේ බිරිඳ හරහා ඝානාවේ ටකෝරාඩි හි සභාව සොයා ගත් විට එවැනි පවුල් වල ආකර්ශනීය බවක් මට දැනුණා.

හැනා සහ මම විවාහ වුණු විට, අපට බොහෝ දරුවන් සිටින බව කියවෙන අපේ පීතෘමූලික ආශිර්වාදවල ඉටුවීම අපි අපේක්ෂා කළා. කෙසේ වෙතත්, අපගේ තුන්වන පිරිමි දරුවා ඉපදීමට පෙර, හැනාට තවත් දරුවෙකු ලැබීමට නොහැකි බව වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි වුණා. කෘතඥපූර්වකව, කෙනෙත් ඔහුට සහ ඔහුගේ මවගේ ජීවිතයට තර්ජනයක් වන තත්වයක උපත ලැබුවත්, ඔහු ආරක්ෂිතව පැමිණි අතර, ඔහුගේ මව සුවය ලැබුවා. සභාවට පැමිණීම, දිනපතා පවුලේ යාච්ඤා, ශුද්ධලියවිලි අධ්‍යයනය, නිවාස සැඳෑව සහ යහපත් විනෝදාත්මක ක්‍රියාකාරකම්ද අතුළුව අපගේ පවුල් ජීවිතයට සම්පූර්ණයෙන්ම සහභාගී වීමට ඔහුට හැකිවුණා.

විශාල පවුලක් පිළිබඳ වූ අපගේ අපේක්ෂාවන් වෙනස්කර ගැනීමට අපට සිදු වුවත්, අපගේ ආදරණීය දරුවන් තිදෙනා සමඟ “පවුල: ලෝකයට ප්‍රකාශයක්” හි ඉගැන්වීම් ක්‍රියාවට නැංවීමට හැකිවීම සතුටට කරුණක්. එම ඉගැන්වීම් අනුගමනය කිරීම මගේ වර්ධනය වන ඇදහිල්ලට විශාල අර්ථයක් එක්කළා.

එම ප්‍රකාශනයේ සඳහන් වන පරිදි: “මිනිසෙකු සහ ගැහැණියක අතර විවාහය උන්වහන්සේගේ සදාකාලික සැලසුමේ අත්‍යවශ්‍ය අංගයක්. ළමුන් විවාහ බන්ධනයකින් පොරොන්දු ප්‍රාකර ඉපදීමට සහ සම්පූර්ණ විශ්වාසයකින් යුතුව විවාහ ගිවිසුම්වලට ගරුකරන පියකු සහ මවක විසින් ඇතිදැඩිවීමට සුදුසුකම් ලබනවා.” 2 අපි මෙම ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන විට අපට ආශිර්වාද ලැබුණා.

කෙසේ වෙතත්, ස්ටේක සභාපතිවරයෙකු ලෙස මා සේවය කරන අතරතුර එක් සති අන්තයක, සමහරවිට දෙමව්පියන් වශයෙන් මුහුණ දිය හැකි නරකම පරීක්ෂාව අපි අත්වින්දා. අපේ පවුල සභාවේ වැඩකටයුතුවලට සහභාගි වී දිවා ආහාරය සඳහා රැස් වුණා. පසුව අපේ පිරිමි දරුවන් තුන්දෙනාම අපේ ගෙවත්තේ සෙල්ලම් කරන්න ගියා.

යමක් වැරදී ඇති බව මගේ බිරිඳට නැවත නැවතත් දැනෙන්නට වුණා. අපි පිඟන් සෝදන අතරේ ළමයින් ගැන පරීක්ෂා කරන්න කියා ඇය මගෙන් ඉල්ලා සිටියා. ඔවුන්ගේ ක්‍රීඩාවේ ඔවුන්ගේ උද්වේගකර හඬ අපට ඇසෙන නිසා ඔවුන් ආරක්ෂිතයි කියා මට හැඟුණා.

අවසානයට අපි දෙන්නම පුතාලව බැලීමට ගිය විට, අපගේ බලාපොරොත්තු සුන් කරමින් මාස 18 ක් වයසැති කුඩා කෙනෙත් ඔහුගේ සහෝදරයන්ට නොපෙනී, වතුර බාල්දියක අසරණව සිටිනවා අපට දැකගත හැකි වුණා. අපි ඔහුව ඉක්මනින් රෝහලට ගෙන ගිය නමුත් ඔහුව පණ ගැන්වීමට ගත් සියලු උත්සාහයන් නිෂ්ඵල වුණා.

මේ ලෞකික ජීවිතයේදී අපේ වටිනා දරුවා හදාවඩා ගන්නට අවස්ථාවක් නොලැබීම ගැන අපි කම්පා වුණා. කෙනෙත් සදාකාලිකවම අපේ පවුලේ සාමාජිකයෙකු වන බව අපි දැන සිටියත්, මගේ කැඳවීම උපරිමයෙන් ඉටුකිරීමට මා කළ හැකි සෑම දෙයක්ම කරන විට දෙවියන්වහන්සේ මට මෙම ඛේදවාචකය සිදුවීමට ඉඩ දුන්නේ මන්දැයි මම ප්‍රශ්න කළා. මම ශුද්ධවන්තයන්ට දේවසේවය කර මගේ එක් රාජකාරියක් ඉටු කර නිවසට පැමිණියා පමණයි. ඇයි දෙවියන්වහන්සේට මගේ සේවය දෙස බලා අපේ පුතාව සහ අපේ පවුල මේ ඛේදවාචකයෙන් බේරගත හැකි නොවුනේ? ඒ පිළිබඳව සිතන සිතන හැම මොහෙතේම, මම කලකිරුණා.

ඇගේ පෙළඹවීම් වලට ප්‍රතිචාර නොදැක්වීම ගැන මගේ බිරිඳ කිසි විටෙකත් මට දොස් කීවේ නැහැ, නමුත් මම ජීවිතය වෙනස් කරන පාඩමක් ඉගෙන ගත් අතර කිසිදාක නොකැඩීමට නීති දෙකක් සෑදුවා.

1 වෙනි නීතිය: ඔබේ බිරිඳගේ පෙළඹවීම් වලට සවන් දෙන්න.

2 වෙනි නීතිය: කිසියම් හේතුවක් නිසා ඔබට විශ්වාස නැතිනම්, නීති අංක 1 වෙත යොමු වන්න.

මේ අත්දැකීම චිත්තවේගීව ඉතා අසීරු සහ දිගින් දිගටම ශෝකයට පත්කරවන එකක් වුවත්, ටිකින් ටික අපගේ අතිමහත් බර ලිහිල් වුණා.3 අපේ අහිමි වීමෙන්, මම සහ මගේ බිරිඳ නිශ්චිත පාඩම් ඉගෙන ගත්තා. අපගේ දේවමාළිගා ගිවිසුම් මගින් අපි එක්සත්ව බැඳී සිටින බව දැනුණා; කෙනෙත් ගිවිසුමේ ඉපදුණු නිසා ඊළඟ ලෝකයේදී අපට ඔහුව අපේ යැයි කිව හැකි බව අපි දන්නවා. අන් අයට සේවය කිරීමට සහ ඔවුන්ගේ වේදනාව සංවේදනය කිරීමට අවශ්‍ය අත්දැකීම් ද අපි ලබා ගත්තා. අපි ස්වාමින්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කළ බැවින් අපගේ තිත්තකම පහව ගොස් ඇති බවට මම සාක්ෂි දෙනවා. අපගේ අත්දැකීම දිගින් දිගටම දුෂ්කර වෙමින් තිබුණා, නමුත් අපි උන්වහන්සේ කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් “[අපව බලවත් කරන්නාවූ] ක්‍රිස්තුස්වහන්සේ තුළින් අපට සියල්ල කළ හැකි” බව ප්‍රේරිත පාවුල් සමඟ අපි ඉගෙනගෙන ගත්තා.4

සභාපති රසල් එම් නෙල්සන් මෙසේ ඉගැන්වූවා, “අපගේ ජීවිතයේ අවධානය යොමුවී ඇත්තේ දෙවියන්වහන්සේගේ ගැලවීමේ සැලැස්ම … හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචියට වන විට, අපගේ ජීවිතයේ සිදුවෙමින් පවතින දේ—හෝ සිදු නොවෙන දේ—කුමක් වුවත් අපට ප්‍රීතිය අත්විඳින්න පුළුවන්. ඔහු තවදුරටත් මෙහෙම කිව්වා, “ප්‍රීතිය පැමිණෙන්නේ උන්වහන්සේගෙන් සහ උන්වහන්සේ නිසායි.”5

අපගේ දුෂ්කර කාලවලදී අපට යහපත් ප්‍රීතියෙන් හා සාමයෙන් පිරී ඉන්න පුළුවන්. ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ වන්දිගෙවීම නිසා අපට දැනෙන ආදරය අපගේ දුෂ්කර අවස්ථාවන්හිදී අපට බලවත් සම්පතක් බවට පත්වෙනවා. “ජීවිතය පිළිබඳ අසාධාරණ [සහ දුෂ්කර] සියල්ල යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් නිවැරදි කරන්නට පුළුවන්.”6 උන්වහන්සේ මෙසේ ආඥා කළා, “ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ: නුමුත් ධෛර්‍යවන්ත වෙයල්ලා; මම ලෝකයෙන් ජයගතිමි.”7 මෙම මැරෙණ සුළු ජීවිතයේ අප මුහුණ දෙන සියළුම වේදනාවන්, ලෙඩදුක් සහ පරික්ශාවන් විඳදරාගනීමට අපට උපකාර කිරීමට උන්වහන්සේට පුළුවන්.

මනුෂ්‍යත්වයේ අරගල සහ අභියෝගවලින් ගැලවී නොගිය යෙරෙමියා, යෝබ්, ජෝසෆ් ස්මිත් සහ නෙපි වැනි ශ්‍රේෂ්ඨ සහ උතුම් නායකයින්ගේ බොහෝ ශුද්ධලියවිලිමය කථා අපට හමු වෙනවා. ඔවුන් කටුක අවස්ථවන්වලදී පවා ස්වාමින්වහන්සේට කීකරුවීමට ඉගෙනගත් මනුෂ්‍යයන්.8

ලිබර්ටි සිරගෙදර දුෂ්කර දවස්වලදී, ජෝසෆ් ස්මිත් මෙසේ මොර ගැසුවා: “අහෝ දෙවියන්වහන්ස ඔබවහන්සේ කොහිද? ඔබේ සැඟවුණු ස්ථානය ආවරණය කරන මණ්ඩපය කොහේද?”9 ස්වාමින්වහන්සේ ජෝසෆ් ස්මිත්ට “එය හොඳින් දරාගන්නා ආකාරය” ඉගැන්වූ අතර10 ඔහු එසේ කලහොත් ඒ සෑම දෙයක්ම ඔහුට අත්දැකීමක් වෙනවා මෙන්ම එය ඔහුගේ යහපත සඳහාද වන බවට පොරොන්දු වුණා.11

මාගේ අත්දැකීම් මෙනෙහි කර බලන විට, සමහරක් හොඳම පාඩම් මම ඉගෙනගෙන තිබෙන්නේ, මගේ හුරුපුරුදු අත්දැකීම්වලින් බැහැර මගේ දුෂ්කරම අවස්ථාවන් වලදී බව මට වැටහෙනවා. තරුණයෙකු වශයෙන්, සෙමනේරියේ දී සභාව පිළිබඳව ඉගෙනගන්නා විට, නව හැරී එන්නෙකු, සහ පූර්ණකාලීන ධර්මදූතයෙකු ලෙස මා මුහුණ දුන් අමාරුකම් සහ අධ්‍යාපනයේදී, මගේ කැඳවීම සපුරාලීමේදී සහ පවුලක් නඩත්තු කිරීමේදී මා මුහුණ දුන් අභියෝග අනාගතය සඳහා මාව සූදානම් කර තිබෙනවා. ස්වාමින්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතිව අමාරු අවස්ථාවන් වලට වඩාත් උද්යෝගයෙන් මම මුහුණ දෙන විට මම මගේ අනුගාමිකත්වයේ වඩ වඩාත් වර්ධනය වෙනවා.

අසීරු සහ පටු මාර්ගයට අපි ඇතුළු වූ පසු අපේ ජීවිතයේ අමාරුකම් පුදුමයකින් තොරව පැමිණිය යුතුයි.12 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “තමන් වින්ද දේවලින් කීකරුකම” ඉගෙනගත්තා.13 විශේෂයෙන්ම අපගේ දුෂ්කර කාලවලදී, අප උන්වහන්සේව අනුගමනය කරන්නේ නම් අපට වැඩි වැඩියෙන් උන්වහන්සේ මෙන් වර්ධනය වෙන්න පුළුවන්.

දේවමාළිගාවේදී ස්වාමින්වහන්සේ සමඟ අපි ඇතිකරගන්නා එක් ගිවිසුමක් තමයි පරිත්‍යාග කිරීමේ නීතිය අනුව ජීවත් වීම. පරිත්‍යාග කිරීම සෑම විටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ කොටසක් වී තිබෙනවා. එය මේතාක් පොළවේ ජීවත් වූ සහ ඉදිරියට ජීවත්වන සියලු දෙනා වෙනුවෙන් යේසුස් ක්‍රිස්තුවහන්සේ කළ මහත් වන්දිගෙවීමේ පරිත්‍යාගය මතක් කිරීමක්.

රූපය
වැඩිහිටි මොරිසන්ගේ ධර්මදූතවරු

ස්වාමින්වහන්සේ සැමවිටම අපගේ ධර්මිෂ්ඨ ආශාවන්ගේ අඩුව පුරවන බව මම දන්නවා. මාගේ පීතෘමූලික ආශිර්වාදයේ බොහෝ දරුවන් පිළිබඳ පොරොන්දු වී ඇති ආශිර්වාදය මතකද? එම ආශිර්වාදය ඉටුවෙමින් තිබෙනවා. මමත් මගේ බිරිඳත් ඝානා කේප් කෝස්ට් ධර්මදූත මෙහෙයුමේ රටවල් 25 කට වඩා වැඩි ගණනක ධර්මදූතයන් සිය ගණනක් සමඟ සේවය කළා. ඔවුන් වචනාර්ථයෙන් අපේම දරුවන් මෙන් අපට බොහෝ වටිනවා.

දුෂ්කර කාලවලදී අප ස්වාමින්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කරන විට අපි අපගේ අනුගාමිකත්වය තුළ වර්ධනය වන බව මම සාක්ෂි දරනවා. අප එසේ කරන විට, උන්වහන්සේ දයාවන්තව අපව ශක්තිමත් කර අපගේ බර උසුලන්නට උපකාර කරයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.