ප්‍රධාන සම්මන්ත්‍රණය
ගැලවුම්කරුවාණන්ට සමීප වීම
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ගැලවුම්කරුවාණන්ට සමීප වීම

වෙනස් ලෙස විශ්වාස කරන අනෙක් අයගෙන් අපව හුදකලා කර නොගෙන, අපි සුවිශේෂී, අසාමාන්‍ය, සහ විශේෂ පුද්ගලයන් වෙමින්, ගැලවුම්කරුවාණන්ව දැනගැනීමටත් උන්වහන්සේට ප්‍රේම කිරීමට සොයමින්, දෙවියන්වහන්සේ සමඟ ඇතිකරගන්නා ගිවිසුම් හරහා අපි අපව ලෝකයෙන් වෙන් කරගමු.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අද සවස මම කතා කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නිහතමානී හා කැපවූ අනුගාමිකයන් හටයි. මේ දේශයේ සහ ලෝකය පුරා ජාතීන් තුළ, ඔබේ ජීවිතයේ යහපත්කම සහ අපගේ ගැලවුම්කරුවාණන් කෙරෙහි ඇති ඔබේ ඇදහිල්ල මම දකින විට, මම ඔබට තව තවත් ආදරය කරනවා.

උන්වහන්සේගේ දේවසේවයේ අවසානය දක්වාම, යේසුස්වහන්සේගේ ගෝලයන් විසින් “[උන්වහන්සේගේ දෙවැනි පැමිණීමේ] සහ ලෝකයේ අවසානයේ සලකුණ”1 ගැන ඔවුන්ට පවසන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටියා.

නැවත පැමිණීමට පෙර, නැවත පැමිණෙන කොන්දේසි ගැන යේසුස්වහන්සේ ඔවුන්ට මෙසේ පැවසුවා, “නුඹලා මේ සියල්ල දකින විට, [එම කාලය] ළඟ බව [නුඹලා] දැනගනු ඇත.”2

අවසාන ප්‍රධාන සම්මන්ත්‍රණයෙදී මම සභාපති හෙන්රි බී. අයිරින්ගේ වචන වලට ඉතා සමීපව ඇහුම්කන් දුන්නා: “අප සෑම කෙනෙකුම, අප කොතැනක සිටියත්, අප වඩ වඩාත් අනතුරුදායක කාලයක ජීවත් වන බව අපි දන්නවා. … කාලවල ලකුණු දැකීමට ඇස් ඇති ඕනෑම කෙනෙකු සහ අනාගතවක්තෘවරුන්ගේ වචන ඇසීමට කන් ඇති ඕනෑම කෙනෙකු එය සත්‍ය බව දන්නවා.”3

ගැලවුම්කරුවාණන් තම ධෛර්ය සම්පන්න ගෝලයන්ට මෙසේ ආඥා කළා: “නුඹලා දකින ඇස් භාග්‍යවන්තය, මක්නිසාද ඒවා දකින්නේය: තවද නුඹලාගේ කන් ද එසේමය, මක්නිසාද ඒවා අසන්නේය.”4 මෙම සම්මන්ත්‍රණයේදී ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරුන් සහ අනෙක් අය මාර්ගයෙන් උන්වහන්සේගේ වචනවලට අපි සමීපව සවන් දෙන විට මෙම ආශිර්වාදය අපට ලැබේවා.

තිරිඟු සහ කිරිඳි

උන්වහන්සේගේ නැවත පැමිණීමට පෙර, “රාජ්‍යයේ දරුවන්”5 ලෙස උන්වහන්සේ විස්තර කරන “තිරිඟු” “කිරිඳි” සමඟ එසේත් නැතිනම් දෙවියන්වහන්සේට ප්‍රේම නොකරන සහ උන්වහන්සේගේ ආඥා පවත්වන්නේ නැති අය සමඟ ලඟින් ලඟින් වැඩෙන බව ස්වාමින්වහන්සේ පැහැදිලි කළා. ඒවා එක එක ලඟ “දෙවර්ගයම එකට වැඩෙනවා”6.

ගැලවුම්කරුවාණන් නැවත පැමිණෙන තෙක් මෙය අපේ ලෝකය වන අතර, එහි සෑම පැත්තකින්ම හොඳ සහ නරක බොහෝ දේ තිබෙනවා.7

ඔබට සමහර විට ශක්තිමත්, පරිණත තිරිඟු මිටියක් මෙන් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔබ සමඟ ඉවසිලිවන්ත වන්න! ඉහළට මතුවෙන මෘදු තල තිරිඟු වල ඇතුළත් වන බව ස්වාමින්වහන්සේ පැවසුවා.8 අපි සැවොම උන්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයින්, ඒවගේම අප වීමට කැමති ආකාරයටම තවම අපි එසේ නොවුනත්, උන්වහන්සේගේ සැබෑ ගෝලයන් වීමට ඇති අපේ ආශාව ගැන අපි බරපතලව සිතනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ ඇදහිල්ල ශක්තිමත් කරගන්න

ලෝකය තුළ නපුර වැඩිවීම හේතුවෙන්, අපේ අධ්‍යාත්මික පැවැත්ම සහ අප ආදරය කරන අයගේ අධ්‍යාත්මික පැවැත්ම සඳහා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ලේ මුල් වඩාත් හොඳින් පෝෂණය කිරීම, බලවත් කිරීම සහ ශක්තිමත් කිරීම අවශ්‍ය බව අපි තේරුම් ගන්නවා. ගැලවුම්කරුවාණන් කෙරෙහි අපට ඇති ප්‍රේමයෙහි සහ උන්වහන්සේව අනුගමනය කිරීමට අපේ අධිෂ්ඨානයෙහි මුල් බැසගෙන,9 ස්ථිර වී, වාසය කරන10 ලෙස ප්‍රේරිත පාවුල් අපට උපදෙස් දෙනවා. අද දවසේ සහ ඉදිරි දිනවලදී විවිධත්වයට සහ නොසැලකිල්ලට එරෙහිව ආරක්ෂා වීමට, වැඩි අවධානයක් සහ අවධානය යොමුකළ ප්‍රයත්න අවශ්‍ය වෙනවා.11

නමුත් අප වටා ඇති ලෞකික බලපෑම් පවා වැඩි වීමත් සමඟ අප බිය විය යුතු නෑ. ස්වාමින්වහන්සේ කිසි විටෙකත් උන්වහන්සේගේ ගිවිසුම් ජනයාව අත්හරින්නේ නෑ. ධර්මිෂ්ඨ අය සඳහා අධ්‍යාත්මික දීමනා සහ දිව්‍යමය මගපෙන්වීම් සඳහා සංසන්දනය කළ නොහැකි බලයක් තිබෙනවා.12 කෙසේවෙතත්, මෙම අධ්‍යාත්මික බලයේ එකතු වූ ආශිර්වාද අප මත ලැබෙන්නේ අපි මේ පරම්පරාවේ කොටසක් නිසා නොවේ. එය පැමිණෙන්නේ, අපි ස්වාමින්වහන්සේව දැනගැනීමට සහ උන්වහන්සේට ප්‍රේම කිරීමට පැමිණීමේදී, අපි ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ ඇදහිල්ල ශක්තිමත් කරන විට සහ උන්වහන්සේගේ ආඥා පිළිපදින විටයි. “සදාකාල ජීවනය නම් මෙයයි” යේසුස්වහන්සේ මෙසේ යාච්ඤා කළා “එකම සැබෑ වූ දෙවියන්වහන්සේ වන ඔබවහන්සේව සහ ඔබවහන්සේ විසින් එවන ලද තනැන්වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව ඔවුන් විසින් ඇඳින ගනීවා.”13

අපි හැමෝම හොඳින් දන්නා ලෙස, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල තබාගැනීම සහ සැබෑ අනුගාමිකයෙකු බවට පත්වීම එක් වරක් ගන්නා තීරණයකට වඩා වැඩි දෙයක්—එක් වරක් වෙන සිදුවීමකට වඩා වැඩි දෙයක්. එය අපගේ ජීවිතයේ සෘතු අතරින් වර්ධනය වන හා පුළුල් වන සිදුවෙමින් පවතින පරිශුද්ධ ක්‍රියාවලියක් වන අතර, අපි උන්වහන්සේගේ පාමුල දණ ගසන තෙක් එය සිදුවෙනවා.

ලෝකයේ ඇති කිරිඳි අතරින් වුවද තිරිඟු වර්ධනය වන විට, ඉදිරි දිනවලදී ගැලවුම්කරුවාණන් කෙරෙහි අපගේ කැපවීම ගැඹුරු කරගන්නේ සහ ශක්තිමත් කරන්නේ කොහොමද?

මෙන්න සිතුවිලි තුනක්:

යේසුස්වහන්සේගේ ජීවිතය තුළ අපව ගිල්වා ගන්න

පළමුව, අපට යේසුස්වහන්සේගේ ජීවිතයට, උන්වහන්සේගේ ඉගැන්වීම් වලට, උන්වහන්සේගේ මහිමත්වයට, උන්වහන්සේගේ බලයට සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගයට අපව සම්පූර්ණයෙන්ම නැඹුරු කරන්න පුළුවන්. ස්වාමින්වහන්සේ මෙසේ කිව්වා, “සෑම සිතුවිල්ලකදීම මා වෙත බලන්න.”14 ප්‍රේරිත යොහාන් අපට මෙසේ මතක් කරනවා, “උන්වහන්සේ පළමුව අපට ප්‍රේම කළ නිසා, අපි උන්වහන්සේට ප්‍රේම කරමු.”15 අප උන්වහන්සේගේ ප්‍රේමය හොඳින් අත්විඳින විට, අපි උන්වහන්සේට තව තවත් ප්‍රේම කරන අතර, ඉතා ස්වභාවිකවම, අප අවට සිටින අයට ප්‍රේම කිරීම සහ සැලකිල්ල දැක්වීම පිළිබඳ උන්වහන්සේගේ ආදර්ශය වඩා හොඳින් අනුගමනය කරනවා. උන්වහන්සේ දෙසට දක්වන සෑම ධර්මිෂ්ඨ චලනයකින්ම, අපි උන්වහන්සේව වඩාත් පැහැදිලිව දකිනවා.16 අපි උන්වහන්සේට ප්‍රේම කරනවා, ඒවගේම, අපි අපගේ කුඩා ආකාරවලින් උන්වහන්සේව අනුකරණය කිරීමට උත්සාහ කරනවා.17

ස්වාමින්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කරගන්න

ඊළඟට, අපි ගැලවුම්කරුවාණන්ව වඩා හොඳින් දැනගෙන ආදරය කරන විට, අපගේ පක්ෂපාතීත්වය හා විශ්වාසය උන්වහන්සේට පොරොන්දු වීමට අපි තව තවත් කැමති වෙනවා. අපි උන්වහන්සේ සමඟ ගිවිසුම් ඇතිකරගන්නවා. බව්තීස්මයේ අපගේ පොරොන්දුවලින් අපි පටන් ගන්නවා, ඉන්පසු අපි දිනපතා පසුතැවිලි වන විට, සමාව ඉල්ලන විට, සහ සෑම සතියකදීම සක්‍රමේන්තුව ලබාගැනීමට ඉතා උවමනාවෙන් බලා සිටින විට අපි මේ පොරොන්දු සහ තවත් ඒවා ස්ථිර කරගන්නවා. “සැමවිටම උන්වහන්සේව සිහි කරගනිමින් උන්වහන්සේගේ ආඥා පිළිපැදීමට”18 අපි ප්‍රතිඥා දෙනවා.

අප සූදානම්ව සිටින විට, දේවමාළිගාවේ නියෝග සහ ගිවිසුම්ද අපි වැලඳ ගන්නවා. ස්වාමින්වහන්සේගේ ගෘහයේ අපගේ පාරිශුද්ධ නිහඬ අවස්ථා වල සදාකාලිකත්වයේ බලපෑම දැනෙමින්, අපි ඉතා සතුටින් යුතුව දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇතිකරගෙන ඒවා තබාගැනීමට වූ අපේ අධිෂ්ඨානය ශක්තිමත් කරගන්නවා.

ගිවිසුම් ඇතිකරගැනීම සහ ඒවා තබාගැනීම තුළින් ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය අපගේ හදවතට ගැඹුරින් ගිලීමට ඉඩ සලසනවා. මේ මාසයේ ලියහෝනා සඟරාවේ සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ පැවසුවා “[අපගේ] ගිවිසුම් අපව උන්වහන්සේ වෙතට තව තවත් සමීප කරවනවා. … දෙවියන්වහන්සේ සමඟ එවැනි බැඳීමක් ඇති කරගත් අය සමඟ උන්වහන්සේ එම සම්බන්ධතාවය අත් හරින්නේ නෑ.”19 ඒවගේම සභාපති නෙල්සන් අද උදෑසන ඉතා අලංකාර ලෙස පැවසූ පරිදි, “සෑම නව දේවමාළිගාවක්ම කැප කිරීමත් සමඟම, අපව ශක්තිමත් කිරීමට සහ විරුද්ධවාදියාගේ තීව්‍ර වන ප්‍රයත්නයන් නිෂ්ඵල කිරීම සඳහා අමතර දේව බලයක් ලෝකයට පැමිණෙනවා.”20

ශුද්ධ වූ දේවමාළිගා අප වෙතට ගෙනෙන්නට සහ අපට වැඩි වෙලාවක් උන්වහන්සේගේ ගෘහයේ රැඳෙන්නට සැලැස්වීමට ස්වාමින්වහන්සේ විසින් උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් මෙහෙයවන්නේ ඇයි කියා අපිට පේනවද?

අපි දේවමාළිගාවට ඇතුළු වන විට, අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් අපට ලැබුණු අපගේ ජීවිතයේ අරමුණ සහ සදාකාලික දීමනා ගැන අපි ඉගෙන ගන්නා විට, අපට විරුද්ධව නැගී සිටින ලෝකයේ බලපෑම්වලින් අපි මොහොතකට නිදහස් වෙනවා.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව ආරක්ෂා කරගන්න

අවසාන වශයෙන්, මගේ තුන්වන සිතුවිල්ල: මෙම පරිශුද්ධ ගවේෂණයේදී, අපි ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව අගය කරනවා, සුරකිනවා ඒවගේම ආරක්ෂා කරනවා. සභාපති එම්. රසල් බැලර්ඩ් සහ වැඩිහිටි කෙවින් ඩබ්. පියර්සන් යන දෙදෙනාම මීට මොහොතකට පෙර සභාපති නෙල්සන්ගේ අනාවැකිමය අනතුරු ඇඟවීම ගැන කතා කළා: “මඟපෙන්වීම, මෙහෙයවීම, සැනසීම සහ ශුද්ධාත්මයාණන්ගේ නිරන්තර බලපෑම නොමැතිව අධ්‍යාත්මිකව ජීවත් වීම පහසු වෙන්නේ නෑ.”21 එය මිලෙන් එහා ගිය තෑග්ගක්. ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලපෑම අප සමඟ පවත්වා ගැනීමට, අපගේ එදිනෙදා අත්දැකීම් ආරක්ෂා කිරීම සඳහා අපි අපේ උපරිමය කරමු. අපි ලෝකයට ආලෝකයෙක් වන අතර අවශ්‍ය වූ විට, අපි කැමැත්තෙන්ම අන් අයට වඩා වෙනස් වීමට තෝරා ගනිමු. සභාපති ඩැලන් එච්. ඕක්ස් මෑතකදී තරුණ වැඩිහිටියන්ගෙන් මෙසේ ඇසුවා: “[ඔබ] වෙනස් වීමට එඩිතර වෙනවාද? … [විශේෂයෙන්] … ඔබේ පෞද්ගලික ජීවිතයේ ඔබ කරන තේරීම් වැදගත්. … ඔබ ලෝකයේ විරුද්ධවාදිකම් වලට එරෙහිව ඉදිරියට යනවාද?”22

ලෝකයෙන් වෙනස් වීමට තෝරාගන්න

මෑත සමාජ මාධ්‍ය පෝස්ටුවකදී, ඔවුන් ලෝකයට වඩා වෙනස් වීම සඳහා තෝරාගත් ක්‍රියාමාර්ග මොනවා දැයි මම අපේ අනෙකුත් අනුගාමිකයින්ගෙන් ඇසුවා. මට ප්‍රතිචාර සිය ගණනක් ලැබුණා.23 මෙන්න ඒවායින් කීපයක්:

ඇමන්ඩා: මම ප්‍රාදේශීය බන්ධනාගාරයේ සේවය කරන හෙදියක්. මම ඒ රැඳවියන්ට ක්‍රිස්තුස්වහන්සේ සිටියානම් කරනවාක් මෙන් සැලකීමට උත්සහ කරනවා.

රේචල්: මම ඔපෙරා ගායිකාවක් වන අතර, සංවර කම නොසලකා, මට ලබා දී ඇති ඕනෑම ඇඳුමක් පැළඳිය හැකි බව බොහෝ විට සුළු කොට සලකනු ලැබෙනවා. [මම බලයෙන් සැරසී සිටින නිසා,] ඇඳුම [සංවර] විය යුතු යැයි මම [නිෂ්පාදකයින්ට] පැවසුවා. ඔවුන් සතුටු වුණේ නෑ … නමුත් අකමැත්තෙන් වුණත් ඒ වෙනස් කිරීම් සිදු කළා. සෑමවිටම ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිකරුවෙකු ලෙස සිටීමෙන් ලැබෙන සාමය මම වෙනත් දෙයකට හුවමාරු කරන්නේ නෑ.

ක්‍රිස්: මම, බීමත්කමින් සුවය ලබන, දේවමාළිගා සුදුසුකම් ලත්, සභා සාමාජිකයෙක්. ඇබ්බැහි වීම සහ [යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ] වන්දිගෙවීම පිළිබඳ සාක්ෂියක් ලබා ගැනීමේ මගේ අත්දැකීම් ගැන මම නිහඬව ඉන්නේ නෑ.

ලෝරන්: මම උසස් පාසලේදී මගේ පංතියේ ළමයින් සමඟ උපහාස රචනාවක් ලියමින් හිටියා. ඔවුන්ට අවශ්‍ය වූයේ මගේ නිහඬ, වෙන් කළ චරිතය හදිසියේම නුසුදුසු ලෙස දිව්රන ආන්දෝලනාත්මක එකක් කරන්නයි. ඔවුන් දිගටම මට බලපෑම් කළා, නමුත් මම එය ප්‍රතික්ෂේප කර මගේ මතයේම හිටියා.

ඇඩම්: මම නිර්මලකම පිළිබඳ නීතිය තබාගෙන කාමුක දර්ශන වලින් වැළකී සිටීමට තෝරා ගන්නා බව කියද්දී බොහෝ දෙනෙක් මාව විශ්වාස කරන්නේ නෑ. එය මට ලබාදෙන ප්‍රීතිය සහ මානසික සාමයේ වාසිය ඔවුන් තේරුම්ගන්නේ නෑ.

එලා: මගේ පියා LGBTQ ප්‍රජාවේ සාමාජිකයෙකි. ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිකරුවෙකු ලෙස සිටගෙන මා විශ්වාස කරන දෙයට සත්‍යවාදීව සිටිමින්, අන් අයගේ හැඟීම් සැලකිල්ලට ගැනීමට මම නිතරම උත්සාහ කරනවා.

ඇන්ද්‍රෙඩ්: මගේ පවුලේ අය තවදුරටත් සභාවට නොයා සිටීමට තීරණය කළත් දිගටම සභාවට යන්න මම තීරණය කළා.

අවසාන වශයෙන් ෂෙරීගෙන්: අපි ආණ්ඩුකාරවරයාගේ මන්දිරයේ උත්සවයකට සහභාගි වෙමින් සිටියා. “සව්දිය පිරීම” සඳහා ඔවුන් මුද්‍රික පානයක් බෙදීමට පටන්ගත්තා. එය හිත රිදෙන දෙයක් විය හැකි බව කාර්ය මණ්ඩලය විසින් පැවසුවත්, මම ජලය ඉල්ලා සිටියා. අපි ආණ්ඩුකාරවරයා වෙනුවෙන් සව්දිය පිරුවා, ඒවගේම මම මගේ වතුර වීදුරුව ඉහළටම ඔසවා සිටියා. ආණ්ඩුකාරවරයා අමනාප වුණේ නෑ.

සභාපති නෙල්සන් මෙහෙම කිව්වා, “ඔව්, ඔබ ජීවත් වන්නේ ලෝකයේ, නමුත් ලෝකයේ පැල්ලම වළක්වා ගැනීමට ඔබට ලෝකයට වඩා බෙහෙවින් වෙනස් ප්‍රමිතීන් තිබෙනවා.”24

ඇනස්ටේෂියා නම් යුක්රේනයේ තරුණ මවක් පසුගිය පෙබරවාරි මාසයේ කීව් හි ආරම්භ වූ බෝම්බ ගැසීම අතරතුර රෝහලේදී පිරිමි දරුවෙකුට උපත ලබාදුන්නා. හෙදියක් රෝහල් කාමර දොර විවෘත කර හදිසි හඬකින් මෙසේ පැවසුවා, “ඔබේ දරුවා රැගෙන ඔහුව බ්ලැන්කට්ටුවකින් ඔතාගෙන ශාලාවට යන්න—දැන්ම යන්න!”

පසුව ඇනස්ටේෂියා මෙසේ අදහස් දැක්වුවා:

“මගේ මාතෘත්වයේ පළමු දවස් එතරම් අපහසු වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ, නමුත් මම මා දුටු ආශිර්වාද හා ප්‍රාතිහාර්යයන් කෙරෙහි අවධානය යොමු කරනවා. …

“මේ මොහොතේ, මෙතරම් විනාශයක් හා හානියක් කළ අයට කවදා හෝ සමාව දිය හැකි දැයි මට හිතාගන්නවත් බැහැ … නමුත් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු ලෙස මට [සමාව] දීමට හැකි වනු ඇතැයි මට ඇදහිල්ලක් තිබෙනවා. …

“අනාගතයේදී සිදුවන සියල්ල මම දන්නේ නෑ, නමුත් අපගේ ගිවිසුම් තබා ගැනීමෙන්, … දුෂ්කර කාල වලදී පවා අපට ප්‍රීතිය, බලාපොරොත්තුව ඇතිකර ගැනීමට ඉඩ සලසමින්, ආත්මයාණන්ට අප සමඟ නිරන්තරයෙන් සිටීමට ඉඩ සලසන බව මම දන්නවා.”25

සදාකාල ජීවනය සහ සෙලෙස්ටියල් මහිමය පිළිබඳ පොරොන්දුව

මගේ සහෝදර සහෝදරියනි, අපගේ ආදරණීය ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආදරය බහුල ලෙස ලැබීමට මම ආශිර්වාද ලබා තිබෙනවා. උන්වහන්සේ ජීවත් වන බවත් උන්වහන්සේගේ ශුද්ධ කාර්යයට මගපෙන්වන බවත් මම දන්නවා. උන්වහන්සේ කෙරෙහි මගේ ආදරය ප්‍රකාශ කිරීමට මට ඇති තරම් වචන නෑ.

අපගේ ස්වාමින්වහන්සේ සහ ගැලවුම්කරුවාණන්ගේ තේජාන්විත නැවත පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින සෑම මහාද්වීපයකම ජාතීන් සහ සංස්කෘතීන් තුළ පොළොව පුරා විහිදී සිටින “ගිවිසුමේ දරුවන්” අපියි. අප අවට සිටින අයට ආලෝකයක් ලෙස බැබළෙන අතර, අපි දනුවත්වම අපගේ ආශාවන්, සිතුවිලි, තේරීම් සහ ක්‍රියාවන් හැඩගස්වා ගන්නවා. වෙනස් ලෙස විශ්වාස කරන අනෙක් අයගෙන් අපව හුදකලා කර නොගෙන, අපි උන්වහන්සේට සහ උන්වහන්සේගේ ඉගැන්වීම් වලට ගරු කරන විට සුවිශේෂී, අසාමාන්‍ය, සහ විශේෂ පුද්ගලයන් වෙමින්, ගැලවුම්කරුවාණන්ව දැනගැනීමටත් උන්වහන්සේට ප්‍රේම කිරීමටත් අපේ මුළු හදවතින්ම සොයමින්, දෙවියන්වහන්සේ සමඟ ඇතිකරගන්නා ගිවිසුම් හරහා අපි අපව ලෝකයෙන් වෙන් කරගමු.

කිරිඳි අතර තිරිඟු වීම, සමහර විට සිත් වේදනා ගෙනදෙන්නක් වූ නමුත් එය අපගේ ඇදහිල්ලේ පරිණත වීම සහ සහතික කිරීම මගින් සැමවිටම සන්සුන් වන ආශ්චර්යමත් ගමනක්. ගැලවුම්කරුවාණන් කෙරෙහි ඔබේ ප්‍රේමය සහ ඔබ කෙරෙහි ඇති උන්වහන්සේගේ ප්‍රේමය ඔබේ හදවතේ ගැඹුරට බැසීමට ඔබ ඉඩ දෙන විට, ඔබේ ජීවිතයේ අභියෝගයන් සපුරාලීම සඳහා ඔබට තව තවත් ආත්ම-විශ්වාසය, සාමය සහ ප්‍රීතිය ලැබෙන බවට මම පොරොන්දු වෙනවා. ගැලවුම්කරුවාණන් අපට මෙසේ පොරොන්දු වුණා: “තිරිඟු සහ කිරිඳි උපමාවට අනුව, මම මාගේ ජනතාව රැස්කරගත යුතුම වන්නේය, එනම් තිරිඟු සදාකාල ජීවනය ලබාගැනීමේ ගබඩාව තුළ සුරක්ෂිත වී, තවද සෙලෙස්ටියල් මහිමයෙන් කිරුළු පළඳින පිණිසය.”26 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. මතෙව් 24:3

  2. මතෙව් 24:33.

  3. හෙන්රි බී. අයිරින්, “කුණාටුවේ ශක්තිමත්ව සිටින්න,” ලියහෝනා, මැයි 2022, 27.

  4. මතෙව් 13:16; අවධාරණය කිරීම් සහිතයි.

  5. මතෙව් 13:38.

  6. මතෙව් 13:30.

  7. වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් මෙසේ පැවසීය: “සභාවේ සාමාජිකයන් සහස්‍ර යුගය දක්වා මෙම තිරිඟු සහ කිරිඳි තත්වයේ ජීවත් වනු ඇත. සමහර සැබෑ කිරිඳි පවා තිරිඟු ලෙස පවා වෙස්වලා ගන්නවා ඇත” (“Becometh as a Child,” Ensign, May 1996, 68).

  8. බලන්න දහම සහ ගිවිසුම් 86:4, 6.

  9. බලන්න කොලොස්සි 2:7.

  10. බලන්න කොලොස්සි 1:23; තවත් බලන්න එපීස 3:17; Neal A. Maxwell, “Grounded, Rooted, Established, and Settled” (Brigham Young University devotional, Sept. 15, 1981), speeches.byu.edu.

  11. මතෙව් 13:22 හි, යේසුස්වහන්සේ තම ගෝලයන්ට අවවාද කළේ ලෝකයේ සැලකිල්ල සහ ධනයේ වංචාවට “වචනය යටපත් කිරීමට” සහ ඔවුන්ගේ අධ්‍යාත්මික දියුණුව නැවැත්වීමට ඉඩ නොදෙන ලෙසයි. “වචනය හුස්ම හිර කරන්න” යන වාක්‍ය ඛණ්ඩය යොහාන් පොතේ පළමු පරිච්ඡේදයට සම්බන්ධ කිරීමට මම කැමතියි, එහිදී යොහාන් එම වචනය යේසුස් ලෙස ප්‍රකාශ කරයි: “ආරම්භයේ දී වාක්‍යාණෝ එහි විය, වාක්‍යාණෝ දෙවියන්වහන්සේ සමඟ විය. … “උන්වහන්සේ කරණකොටගෙන සියල්ල සාදන ලද්දේය; සාදන ලද කිසිවක් උන්වහන්සේ නැතුව සාදනු නොලද්දේය” (යොහාන් 1:1, 3). එය අධ්‍යාත්මික ආලෝකය සහ පෝෂණය අහිමි කරන බැවින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල, උන්වහන්සේව අනුගමනය කිරීමට ඇති අපගේ අධිෂ්ඨානය, ගැලවුම්කරුවාණන් කෙරෙහි අපගේ ප්‍රේමය, ආත්මික ආලෝකය සහ පෝෂණය යටපත් කර වර්ධනය අඩාල කළ හැකිය.(බලන්න ඇල්මා 32:37–41).

  12. බලන්න Neil L. Andersen, “A Compensatory Spiritual Power for the Righteous” (Brigham Young University devotional, Aug. 18, 2015), speeches.byu.edu.

  13. යොහාන් 17:3.

  14. දහම සහ ගිවිසුම් 6:36.

  15. 1 යොහාන් 4:19.

  16. වැඩිහිටි ඩේවිඩ් බී. හයිට් මෙසේ පැවසීය:

    “ඇතැමුන් ගැලවුම්කරුවාණන්ව සැබවින්ම දැක ඇති බව සත්‍යයකි, නමුත් යමෙකු ශබ්දකෝෂය පරිශීලනය කරන විට, දැකීම යන වචනයේ තවත් බොහෝ අර්ථයන් ඇති බව ඔහු ඉගෙන ගනී, එනම් උන්වහන්සේව දැන හඳුනා ගැනීම, උන්වහන්සේව වටහා ගැනීම, උන්වහන්සේව සහ උන්වහන්සේගේ ක්‍රියාවන් හඳුනා ගැනීම, උන්වහන්සේගේ ක්‍රියාවන් වටහා ගැනීම, උන්වහන්සේගේ වැදගත්කම දැනගැනීම, හෝ උන්වහන්සේව තේරුම් ගැනීමට පැමිණීම යනාදිය එයට ඇතුළත් වේ.

    “එවැනි ස්වර්ගීය අවබෝධයක් සහ ආශිර්වාද අප සෑම කෙනෙකුටම ලබා ගත හැකියි” (“Temples and Work Therein,” Ensign, Nov. 1990, 61).

  17. බලන්න මොසායා 5:13.

  18. දහම සහ ගිවිසුම් 20:77.

  19. රසල් එම් නෙල්සන්, “සදාකාලික ගිවිසුම,” ලියහෝනා, ඔක්. 2022, 5.

  20. රසල් එම් නෙල්සන්, “සත්‍යය කුමක්ද?,” ලියහෝනා, නොවැ. 2022, 29.

  21. රසල් එම්. නෙල්සන්, “සභාව සඳහා එළිදරව්, අපගේ ජීවිත සඳහා එළිදරව්,” ලියහෝනා මැයි 2018, 96.

  22. Dallin H. Oaks, “Going Forward in the Second Century” (Brigham Young University devotional, Sept. 13, 2022), speeches.byu.edu. උසස් අධ්‍යාපනයේ ආගමික අනන්‍යතාවය රැක ගැනීම සම්බන්ධයෙන් සභා අධ්‍යාපන පද්ධති කොමසාරිස් වැඩිහිටි ක්ලාක් ජී. ගිල්බට් විසින් ඩෙසරට් සඟරාවේ මෑත කාලීන ලිපියක “වෙනස් වීමට නිර්භීත වන්න” යන වාක්‍ය ඛණ්ඩය සභාපති ඕක්ස් ඔහුට පිළිගැන්විය (බලන්න “Dare to Be Different,” Deseret Magazine, Sept. 2022, deseret.com).

  23. ඔවුන් ලෝකයට වඩා වෙනස් වූ ආකාරය ගැන අදහස් දැක්වූ වෙනත් අයගෙන් ඉගෙන ගැනීමට ඔබ කැමති නම්, ඔබට ඔවුන්ගේ අදහස් ෆේස්බුක් හි කියවිය හැකිය (see Neil L. Andersen, Facebook, Aug. 18, 2022, facebook.com/neill.andersen) හෝ ඉන්ස්ටග්‍රෑම් හි කියවිය හැකිය (see Neil L. Andersen, Instagram, Aug. 18, 2022, instagram.com/neillandersen).

  24. Russell M. Nelson, “Hope of Israel” (worldwide youth devotional, June 3, 2018), HopeofIsrael.ChurchofJesusChrist.org.

  25. Anastasia Kocheva, “Facing the Conflict in Ukraine, Healing the Conflict in My Heart,” YA Weekly, May 2022.

  26. දහම සහ ගිවිසුම් 101:65.