ප්‍රධාන සම්මන්ත්‍රණය
ඇදහිල්ලේ පියවර සමඟ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන්න
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඇදහිල්ලේ පියවර සමඟ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන්න

ක්‍රිස්තුස්වහන්සේට අද අපව දුෂ්කර කාලවලදී ඔසවාගෙන යන්න පුළුවන්. උන්වහන්සේ එය මුල් පුරෝගාමීන් වෙනුවෙන් කළා, ඒවගේම දැන් අප සෑම කෙනෙකු වෙනුවෙන්මත් එසේ කරනවා.

ගීතිකා කණ්ඩායම, “Faith in Every Footstep” ගීතිකාව ගායනා කිරීම ගැන ඔබට ස්තූතියි. 1847 දී සෝල්ට් ලේක් නිම්නයට මුල් පුරෝගාමීන් පැමිණීමේ 150 වැනි සංවත්සරය සැමරීම සඳහා 1996 දී සහෝදර නෙවෙල් ඩේයිලි1 විසින් එම ගීතයේ සංගීතය සහ වචන ලියා තිබෙනවා.

ඒ සැමරුමට පෙර සූදානමක් ලෙස මේ ගීතය ලියැවුණත් එහි පණිවිඩය මුළු ලෝකයටම අදාළයි.

මම සැමවිටම එහි ගායක වෘන්දයට ඇලුම් කළා:

සෑම පියවරකම ඇදහිල්ල ඇතිව, අපි ස්වාමින් වන ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරනවා;

උන්වහන්සේගේ නිර්මල ප්‍රේමය තුළින් බලාපොරොත්තුවෙන් පිරී, අපි එක සිතින් ගායනා කරනවා.2

සහෝදර සහෝදරියනි, අප ඇදහිල්ලේ පියවර සමඟ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන විට එහි බලාපොරොත්තුවක් ඇති බවට මම සාක්ෂි දරනවා. ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ බලාපොරොත්තුවක් තිබෙනවා. මේ ජීවිතයේ සෑම කෙනෙකුටම බලාපොරොත්තුවක් තිබෙනවා. අපගේ වැරදි, අපගේ ශෝකය සහ අපගේ අරගල සහ අපගේ පරීක්ෂාවන් සහ අපගේ අභියෝග ජය ගැනීම සඳහා බලාපොරොත්තුවක් තිබෙනවා. පසුතැවිලි වීම සහ සමාව ලැබීම සහ අන් අයට සමාව දීම ගැන බලාපොරොත්තුවක් තිබෙනවා. ක්‍රිස්තුස්වහන්සේ තුළ බලාපොරොත්තුව හා සමාදානය ඇති බවට මම සාක්ෂි දරනවා. උන්වහන්සේට අද අපව දුෂ්කර කාලවලදී ඔසවාගෙන යන්න පුළුවන්. උන්වහන්සේ එය මුල් පුරෝගාමීන් වෙනුවෙන් කළා, ඒවගේම දැන් අප සෑම කෙනෙකු වෙනුවෙන්මත් එසේ කරයි.

මුල් පුරෝගාමීන් සෝල්ට් ලේක් නිම්නය වෙත පැමිණීමේ 175 වන සංවත්සරය මෙම වසරේදී සනිටුහන් වෙනවා, එය මගේ මුතුන් මිත්තන් ගැන මෙනෙහි කිරීමට මාව යොමුකරනවා, මොකද ඔවුන්ගෙන් සමහරක් අය නාවූ සිට සෝල්ට් ලේක් නිම්නය දක්වා ඇවිදගෙන ගිහින් තියෙනවා. තරුණ කාලයේ ඒ තැනිතලාවේ ඇවිදගෙන ගිය ආච්චිලා සීයලා මට ඉන්නවා. හෙන්රි බැලර්ඩ් වයස අවුරුදු 20 යි;3 මාගරට් මැක්නීල් වයස අවුරුදු 13 යි;4 ඒවගේම පසුව සභාවේ හයවන සභාපති බවට පත් වූ ජෝසෆ් එෆ්. ස්මිත් සෝල්ට් ලේක් නිම්නයට පැමිණෙන විට ඔහුගේ වයස යන්තම් 9 ක් පමණයි.5

ශීත ඍතු, අසනීප සහ ප්‍රමාණවත් ආහාර සහ ඇඳුම් නොමැතිකම වැනි මංපෙත් දිගේ සෑම ආකාරයකම අහිමිවීම්වලට ඔවුන් මුහුණ දුන්නා. නිදසුනක් වශයෙන්, හෙන්රි බැලර්ඩ් සෝල්ට් ලේක් නිම්නයට ඇතුළු වූ විට, ඔහු “පොරොන්දු වූ දේශය” දැකීමෙන් ප්‍රීති වූ නමුත්, ඔහු ඇඳ සිටි ඇඳුම ඔහුගේ ශරීරය සම්පූර්ණයෙන් ආවරණය නොවන තරමට පරණ වී තිබූ නිසා යමෙකු තමාව දකිනු ඇතැයි බියෙන් ජීවත් වුණා. ඔහු අඳුර වැටෙන තුරු මුළු දවසම පඳුරු පිටුපස සැඟවී සිටියා. තම ගමන දිගටම කරගෙන යමින් තම දෙමාපියන් සොයා ගැනීමට අවශ්‍ය වූ නිසා, ඉන්පසු ඔහු නිවසකට ගොස් ඇඳුම් ඉල්ලා සිටියා. ඔහු තම අනාගත නිවසට ආරක්ෂිතව ළඟා වීම ගැන ඔහු දෙවියන්වහන්සේට ස්තූති කළා.6

ඔවුන්ගේ සෑම පරීක්ෂාවකදීම ඇදහිල්ලේ අඩිපාරේ යමින්, මගේ ආච්චිලා සීයලා යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කළා. කවදාවත් අත් නොහැරීම ගැන මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. ඔවුන්ගේ ඇදහිල්ලේ පියවර මට සහ පසු පරම්පරාවන්ට ආශිර්වාද කර තිබෙනවා, ඒවගේම අද ඔබේ ඇදහිල්ලේ පියවර ඔබේ අනාගත පරපුරට ආශිර්වාද කරනවා.

පුරෝගාමියා යන වචනය නාම පදයක් සහ ක්‍රියා පදයක් කියන දෙවර්ගයටම අදාළයි. නාම පදයක් විදිහට ඒක නව ප්‍රදේශයක් ගවේෂණය කිරීමට හෝ එහි පදිංචි වීමට ඉදිරියෙන්ම සිටින පළමු පුද්ගලයෙකු ගැන අදහස් වෙනවා. ක්‍රියා පදයක් විදිහට ඒක අන් අයට අනුගමනය කිරීමට මාර්ගය විවෘත කිරීම හෝ සකස් කිරීම යන දේ අදහස් කරනවා.7

අන් අය සඳහා මග සලසා දුන් පුරෝගාමීන් ගැන මම සිතන විට, මම මුලින්ම සිතන්නේ අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් ගැනයි. ජෝසෆ් පුරෝගාමියෙකු වූයේ මේ නිසයි, ඔහුගේ ඇදහිල්ලේ පියවර ඔහුව ගස් වලින් පිරුණු වනයකට ගෙන ගියා, ඔහු එහි යාච්ඤාවෙන් දණින් වැටී යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය ලබා ගැනීමට අපට මාර්ගය විවෘත කළා. 1820 දී ඒ වසන්ත උදෑසන “දෙවියන්වහන්සේගෙන් ඉල්ලීමට”8 ජෝසෆ්ට තිබූ ඇදහිල්ල නිසා, නැවත වරක් පොළොවේ සේවය කිරීමට කැඳවනු ලැබූ අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් ඇතුළත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය නැවත පිහිටුවීම සඳහා මාර්ගය විවෘත වුණා.9 ජෝසෆ් ස්මිත් දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙකු බව මම දන්නවා. ඔහුගේ ඇදහිල්ලෙන් පිරුණු පියවර විසින් ඔහුව පියාණන් වන දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියෙහි දණින් වැටීමට පෙළඹවූ බව මම දන්නවා.

ජෝසෆ් අනාගතවක්තෘවරයාගේ ඇදහිල්ලේ පියවර මගින් ඔහුට මොර්මොන්ගේ පොත ඉදිරියට ගෙන එන්නට ස්වාමින්වහන්සේගේ මෙවලම වීමට හැකි වුණා, එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ වන්දිගෙවීම ගැන තවත් ගිවිසුමක්.

ඇදහිය නොහැකි දුෂ්කරතා සහ විරුද්ධවාදිකම් මධ්‍යයේ ජෝසෆ් ස්මිත්ගේ ඇදහිල්ල සහ නොපසුබට උත්සාහය තුළින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව නැවත වරක් පොළොවේ පිහිටුවීම සඳහා ස්වාමින්වහන්සේගේ දෑතේ මෙවලමක් වීමට ඔහුට හැකි වුණා.

මම මගේ පූර්ණ කාලීන ධර්මදූත සේවය මට ආශිර්වාද කළ ආකාරය ගැන පසුගිය ප්‍රධාන සම්මන්ත්‍රණයෙදී කතා කළා. අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේගේ ගැලවීමේ තේජාන්විත සැලැස්ම, ජෝසෆ් ස්මිත්ගේ පළමු දර්ශනය සහ ඔහු මොර්මොන්ගේ පොත පරිවර්තනය කිරීම ගැන ඉගැන්වූ විට මම ආශිර්වාද ලැබුවා. ශුභාරංචිය නැවත පිහිටුවීමේ පණිවිඩයට සවන් දීමට කැමති අයට ඉගැන්වීමේ දී, මෙම නැවත පිහිටුවන ලද ඉගැන්වීම් සහ දහම මගින්, මගේ ඇදහිල්ලේ පියවරට මගපෙන්වීමක් ලැබුණා.

අද අපගේ ධර්මදූතවරුන් වර්තමාන කාලයේ පුරෝගාමීන් වන්නේ, අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ දරුවන්ට උන්වහන්සේව සහ උන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැන ගැනීමට මාර්ගය විවෘත කරන, මෙම මහිමාන්විත පණිවිඩය ලොව පුරා සිටින මිනිසුන් සමඟ ඔවුන් බෙදා ගන්නා නිසයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පිළිගැනීමෙන් සෑම කෙනෙකුටම සභාවේ සහ දේවමාළිගාවේ නියෝග සහ ආශිර්වාද සඳහා සූදානම් වීමට සහ ඒවා ලබා ගැනීමට මාර්ගය විවෘත වෙනවා.

“සුදුසු, එමෙන්ම හැකියාව ඇති සෑම තරුණයෙකුගෙන්ම ධර්මදූත සේවයක් සඳහා සූදානම් වීමට සහ සේවය කිරීමට ස්වාමින්වහන්සේ ඉල්ලා ඇති බවත්” එමෙන්ම “තරුණ සහ හැකියාව ඇති තරුණ කාන්තාවන්ට, ධර්මදූතයක් යනු බලවත් නමුත් විකල්ප අවස්ථාවක්” බවත් පසුගිය ප්‍රධාන සම්මන්ත්‍රණයේදී, සභාපති රසල් එම්. නෙල්සන් නැවතත් තහවුරු කළා.10

ආදරණීය යෞවන යෞවනියනි, දෙවියන්වහන්සේගේ දරුවන්ට උන්වහන්සේගේ තේජාන්විතභාවය කරා ආපසු යන ගිවිසුම් මාර්ගය සොයාගැනීමට සහ එහි රැඳී සිටීමට මාර්ගය විවෘත කිරීම මගින්, ධර්මදූත සේවයක් කිරීමටත්—නූතන පුරෝගාමීන් වීමටත්—ස්වාමින්වහන්සේගේ ආරාධනය අනුගමනය කිරීමටත්, ඔබට ඔබගේ ඇදහිල්ලේ පියවර උපකාර කරයි.

සභාපති නෙල්සන් සභාවේ පුරෝගාමියෙක් වී තිබෙනවා. ප්‍රේරිතවරයෙකු ලෙස ඔහු ශුභාරංචිය දේශනා කිරීම සඳහා විවෘත කිරීමට, බොහෝ රටවල සංචාරය කර විවෘත කර තිබෙනවා. සභාවේ අනාගතවක්තෘවරයා සහ සභාපති බවට පත්වීමෙන් ටික කලකට පසු, එළිදරව් ලබාගැනීම සඳහා අපගේ අධ්‍යාත්මික හැකියාව වැඩි කරගන්නා ලෙස ඔහු අපෙන් අයැද සිටියා.”11 අපගේ සාක්ෂි ශක්තිමත් කරගැනීම සඳහා ඔහු අපට නැවත නැවතත් උගන්වමින් සිටිනවා. තරුණ වැඩිහිටියන් සඳහා වූ දේශනාවකදී ඔහු මෙසේ කිව්වා:

“ඔබේ සාක්ෂියේ වගකීම භාර ගන්නා ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ඒ වෙනුවෙන් වැඩ කරන්න. එය අයිති කරගන්න. ඒ ගැන සැලකිලිමත් වෙන්න. එය වර්ධනය වන පරිදි එය පෝෂණය කරන්න. …

“[ඉන්පසු] ඔබේ ජීවිතයේ ප්‍රාතිහාර්යයන් සිදු වන ආකාරය දෙස බලා සිටින්න.”12

ඔහු අපට තව තවත් අධ්‍යාත්මිකව ස්වයංපෝෂිත වන ආකාරය උගන්වනවා. ඔහු මෙහෙම කිව්වා, “එලඹෙන දිනයන්හිදී, මගපෙන්වීම, මෙහෙයවීම, සැනසීම සහ ශුද්ධාත්මයාණන්ගේ නිසැක ආනුභාවයෙන් තොරව ආත්මිකව බේරෙන්නට අපහසු වනු ඇත.”13

සභාපති රසල් එම්. නෙල්සන් අද පොළොවේ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයා බව මම සාක්ෂි දරනවා.

මාර්ගය සකස් කිරීමේ මූලික පුරෝගාමියා අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි. සැබවින්ම, අපට පසුතැවිලි වී, උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ වෙතට ආපසු යාමට හැකි වන පරිදි, ගැලවීමේ සැලැස්ම ඉෂ්ට කළ යුතු “මාර්ගය”14 උන්වහන්සේයි.

යේසුස්වහන්සේ මෙහෙම කිව්වා: “මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරුණුකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත.”15 උන්වහන්සේ අපව අපහසුතාවයට පත් නොකරන බවට පොරොන්දු වී තිබෙනවා; අපගේ අභියෝග වලදී උන්වහන්සේ අප වෙත පැමිණෙනවා.16 උන්වහන්සේ අපට ආරාධනා කර ඇත්තේ “මුළු හදවතින්ම [උන්වහන්සේ වෙතට එන ලෙසයි, ඒවගේම [උන්වහන්සේ] [අපව] සුව කරන බවයි.”17

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් බවත්, පියාණන්වහන්සේ සමඟ අපගේ මැදහත්කරුවාණන් බවත් මම සාක්ෂි දරනවා. අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ විසින්, සෑම පියවරක්ම ඇදහිල්ලෙන් යුතුව උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමෙන් උන්වහන්සේ වෙත නැවත පැමිණීමට මාර්ගය විවෘත කර තිබෙනවා.

මගේ ආච්චිලා සීයලා සහ අනෙකුත් මුල් පුරෝගාමීන් ගැල්වලින්, අත් කරත්තවලින් සහ සෝල්ට් ලේක් නිම්නයට ඇවිදගෙන යද්දී බොහෝ බාධකවලට මුහුණ දුන්නා. අපිත් අපේ ජීවිත හරහා අපේ පුද්ගලික ගමන්වලදී අභියෝගවලට මුහුණ දෙනවා. අපි අත් කරත්ත තල්ලු කරන්නේ හෝ තද කඳු මතින් සහ ගැඹුරු හිම පතනයන් හරහා ආවරණය කර ඇති රෝද හතරේ කරත්ත පදවන්නේ හෝ නෑ; නමුත් අපේ කාලයේ පරීක්ෂාවන් සහ අභියෝග ආත්මිකව ජයගැනීමට ඔවුන් කළාක් මෙන් අපිත් උත්සාහ කරනවා. අපට ඇවිදීමට මංපෙත් තිබෙනවා; අපට නැගීමට කඳු—සමහර විට කඳු පන්ති—තිබෙනවා. මුල් පුරෝගාමීන්ට තිබුනාට වඩා අද පරීක්ෂාවන් වෙනස් වුවත්, ඒවා අපට ඊට වඩා පහසු අභියෝග නොවේ.

මුල් පුරෝගාමීන් සඳහා වූවාක් මෙන් අනාගතවක්තෘවරයාව අනුගමනය කිරීම සහ ඇදහිල්ලේ ගිවිසුම් මාවතේ අපගේ පාද ස්ථිරව තබා ගැනීම වැදගත්.

අපි සෑම පියවරකදීම ඇදහිල්ලෙන් යුතුව යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරමු. අපි ස්වාමින්වහන්සේටත් සේවය කර එකිනෙකාටත් සේවය කළ යුතුයි. අපගේ ගිවිසුම් පිළිපැදීමෙන් හා ඒවාට ගෞරව කිරීමෙන් අප ආත්මිකව ශක්තිමත් විය යුතුයි. ආඥා පිළිපැදීමේ අවශ්‍යතාවයේ හදිසි හැඟීම අපි නැති කර නොගත යුතුයි. සාතන් උත්සාහ කරන්නේ දෙවියන්වහන්සේට සහ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අපගේ කැපවීම සහ අපගේ ප්‍රේමය මොට කිරීමටයි. යමෙකුට ඔවුන්ගේ මාර්ගය අහිමි වුවහොත්, අපගේ ගැලවුම්කරුවාණන්ට අපව කිසි විටෙකත් අහිමි නොවන බව කරුණාකර මතක තබා ගන්න. පසුතැවිලි වීමේ ආශිර්වාදයෙන් අපට උන්වහන්සේ වෙත හැරෙන්න පුළුවන්. අපි ගිවිසුම් මාර්ගයේ රැඳී සිටීමට උත්සාහ කරන විට ඉගෙනීමට, වර්ධනය වීමට සහ වෙනස් වීමට උන්වහන්සේ අපට උපකාර කරයි.

අපගේ සෑම පියවරක්ම ඇදහිල්ල ඇතිව, ගිවිසුම් මාවතේ අපගේ පාද ස්ථිරව තබාගෙන උන්වහන්සේ කෙරෙහි අවධානය යොමු කරමින්, අපි හැමදාමත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවර අනුගමනය කිරීම මාගේ නිහතමානී යාච්ඤාවයි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.