ප්‍රධාන සම්මන්ත්‍රණය
අයිති වීමේ දහම
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


අයිති වීමේ දහම

අප සෑම කෙනෙකු වෙනුවෙන්ම අයිති වීමේ මූලධර්මය මෙයින් පැහැදිලි කරනවා: මම ශුභාරංචි ගිවිසුම තුළ ක්‍රිස්තුස්වහන්සේ සමඟ එකෙකු වෙමි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවට අයිති වීමේ දහම ලෙස මා හඳුන්වන දේ ගැන කතා කිරීමට මම කැමතියි. මේ දහමට කොටස් තුනක් තිබෙනවා: (1) ස්වාමින්වහන්සේගේ ගිවිසුම් සෙනඟ එක්රැස් කිරීමේදී අයිති වීමේ කාර්යභාරය, (2) අයිති වීමේදී සේවය සහ කැපකිරීමේ වැදගත්කම, සහ (3) අයිති වීමේදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කේන්ද්‍රීයත්වය.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව එහි මුල් ආරම්භයේ දී බොහෝ පිරිසක් සුදු උතුරු අමෙරිකානු සහ උතුරු යුරෝපීය ශුද්ධවන්තයින්ගෙනුත්, අතලොස්සක් ස්වදේශික අමෙරිකානුවන්, අප්‍රිකානු අමෙරිකානුවන් සහ පැසිෆික් දූපත් වැසියන්ගෙනුත් සමන්විත වුණා. දැන්, එහි ආරම්භයේ 200 වැනි සංවත්සරයෙන් වසර අටකට පසු, සභාව උතුරු අමෙරිකාවේ සහ ඊටත් වඩා ලෝකයේ සෙසු රටවල සංඛ්‍යාවෙන් සහ විවිධත්වයෙන් විශාල ලෙස වැඩි වී තිබෙනවා.

ස්වාමින්වහන්සේගේ ගිවිසුම් සෙනඟගේ දිගුකාලීන පුරෝකථනය කරන ලද පසුදින රැස්වීම වේගවත් වන විට, සභාව සැබවින්ම සෑම ජාතියකින්ම, වර්ගයකින්ම, භාෂාවකින්ම සහ සෑම මිනිසුන් කොට්ඨාශයකින්ම සමන්විත වෙනවා.1 මෙය ගණනය කළ හෝ බලහත්කාරයෙන් සිදු වූ විවිධත්වයක් නොවේ, නමුත් එය සෑම ජාතියක්ම සහ සෑම ජනතාවක්ම ශුභාරංචියට එකතු වන බව පිළිගනිමින් අප අපේක්ෂා කරන ස්වභාවිකව සිදුවන සංසිද්ධියක්.

සෑම මහාද්වීපයකම සහ අපගේම අසල්වැසි ප්‍රදේශයකම සයොනය සමගාමීව පිහිටුවන දිනය දැකීමට අප කොතරම් ආශිර්වාද ලබා තිබෙනවාද? අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් පැවසූ පරිදි, සෑම යුගයකම දෙවියන්වහන්සේගේ සෙනඟ අද කාලය දක්වා ප්‍රීතිමත් අපේක්ෂාවෙන් බලා සිටිනවා, “පසු දින මහිමය ගෙන ඒම සඳහා දෙවියන්වහන්සේ තෝරාගෙන ඇති අනුග්‍රහය ලත් ජනතාව අපි යි.”2

මෙම වරප්‍රසාදය ලබා දී ඇති බැවින්, ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල සභාව තුළ කිසිඳු ජාතිවාදයක්, ගෝත්‍රික අගතියක් හෝ වෙනත් බෙදීම් පැවතීමට අපට ඉඩ දෙන්නට බැහැ. යේසුස්වහන්සේ අපට මෙසේ ආඥා කළා: “ඒකත්වයක් වන්න; තවද නුඹලා ඒකත්වයක් නොවන්නේ නම්, නුඹලා මාගෙන් නොවන්නෝය.”3 සභාවෙන්, අපගේ නිවෙස්වලින් සහ විශේෂයෙන් අපගේ හදවත්වලින් අගතිය සහ වෙනස්කම් කිරීම් මුල් බැස ගැනීම ගැන උනන්දුවෙන් සිටිය යුතුයි. අපේ සභාවේ ජනගහනය දිනෙන් දින විවිධාකාරයෙන් වර්ධනය වන විට, අපගේ පිළිගැනීම වඩාත් ස්වයංසිද්ධව හා උණුසුම් ලෙස වර්ධනය විය යුතුයි. අපට එකිනෙකා අවශ්‍යයි.4

කොරින්තිවරුන්ට ලියූ ඔහුගේ පළමු ලිපියේ, සභාව තුළට බව්තීස්ම වූ සියල්ලන්ම ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය තුළ ඒකත්වයක් බව පාවුල් ප්‍රකාශ කරනවා:

“මක්නිසාද ශරීරය එකක්ව බොහෝ අවයව ඇතුවාක් මෙන්ද, ශරීරයේ අවයව සියල්ල බොහෝ වූවත් එක ශරීරයක්ව තිබෙන්නාක් මෙන්ද, ක්‍රිස්තුස්වහන්සෙත් එසේව සිටින සේක.

“මක්නිසාද යුදෙව්වරු නොහොත් ග්‍රීක්වරු වෙත්වා, දාසයෝ නොහොත් නිර්දාසයෝ වෙත්වා, අපි සියල්ලෝ එකම ආත්මයාණන්වහන්සේ තුළ එකම ශරීරයට බව්තීස්ම කරනු ලැබ, සියල්ලෝ එකම ආත්මයාණන්ගෙන් පොවනු ලැබීමුව. …

“නුමුත් ශරීරයෙහි කිසි භේදයක් නොව අවයව එකිනෙක ගැන එකාකාර සලකන පිණිස; ශරීරයේ භේදයක් නොතිබිය යුතුය.

“මෙසේ එක අවයවයක් වේදනා විඳී නම්, ඒ සමග සියලු අවයවයෝම වේදනා විඳිති; නොහොත් එක අවයවයක් නම්බු ලබයි නම්, ඒ සමග සියලු අවයවයෝ ප්‍රීති වෙති.”5

අපගේ කායික, මානසික සහ අධ්‍යාත්මික යහපැවැත්මට අයිති වීමේ හැඟීම වැදගත්. එහෙත්, සමහර අවස්ථාවලදී අප සෑම කෙනෙකුටම අප නොගැලපෙන බව හැඟෙන්නට පුළුවන්. එවැනි අධෛර්යමත් බැවින් යුත් අවස්ථා වලදී, අප කිසිවිටෙකත් ස්වාමින්වහන්සේගේ උසස් ප්‍රමිතිවලට හෝ අන් අයගේ අපේක්ෂාවන්ට නොගැලපෙන බව අපට හැඟෙන්නට පුළුවන්.6 අපි නොදැනුවත්වම අන් අය මත—හෝ අප මත පවා—ස්වාමින්වහන්සේගේ අපේක්ෂාවන් නොවන, බලාපොරොත්තු පටවන්න පුළුවන්. ප්‍රාණයක වටිනාකම යම් යම් ජයග්‍රහණ හෝ කැඳවීම් මත පදනම් වී ඇති බව අපට සියුම් ආකාර වලින් සන්නිවේදනය වෙන්නට ඉඩ තිබෙනවා, නමුත් මේවා ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ අපගේ ස්ථාවරයේ මිම්ම නෙවෙයි. “ස්වාමින්වහන්සේ සිත බලන සේක.”7 උන්වහන්සේ සැලකිලිමත් වෙන්නේ අපගේ ආශාවන් හා බලාපොරොත්තු සහ අප පත්වෙමින් සිටින කෙනා කවුද යන්න ගැනයි.8

ජෝඩි කිං සොහොයුරිය පසුගිය වසරවල ඇගේම අත්දැකීම් ගැන මෙසේ ලිවවා:

“මගේ ස්වාමිපුරුෂයා වන කැමරන් සහ මම දරුවන් වැදීමේ අපහසුතාවය සමඟ කරදර වීමට පටන්ගන්නා තුරු මම සභාවට අයිති නොවන බවක් මට කවදාවත් දැනුණේ නෑ. සාමාන්‍යයෙන් සභාවේදී දැකීමෙන් මට ප්‍රීතිය ගෙන දුන් දරුවන් සහ පවුල් දැන් මට දුකක් හා වේදනාවක් ඇති කිරීමට පටන් ගත්තා.

“මගේ අතේ දරුවෙක්වත් අතේ ඩයපර් බෑගයක්වත් නැතිව මට වඳ බවක් දැනුණා.

“අමාරුම ඉරිදා තමයි අපි අලුත් කොට්ඨාශයකට ගිය පළවෙනි දවස. අපට දරුවන් නොසිටි නිසා, අපි අලුත විවාහ වූවන්ද සහ අපි පවුලක් ආරම්භ කිරීමට සැලසුම් කරන්නේ කවදාදැයි අපෙන් ඇහුවා. මෙම ප්‍රශ්නවලට මට බලපෑම් කිරීමට ඉඩ නොදී පිළිතුරු දීමට මම ඉතා දක්ෂ වී හිටියා—ඒවා මට රිදවීමට අදහස් නොකරන බව මම දැන සිටියා.

“කෙසේ වෙතත්, ඒ ඉරිදා, එම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම විශේෂයෙන් දුෂ්කර වුණා. බොහෝ බලාපොරොත්තු තබා ගැනීමකින් පසුව—අපි නැවත වරක්—ගැබ්ගෙන නැති බව, අපි දැනගෙන වැඩි දවසක් නැහැ.

“මම සක්‍රමේන්තු රැස්වීමට ගියේ මානසික අවපීඩනයෙන්, එම සාමාන්‍ය ‘ඔබව දැන හඳුනා ගැනීමේ’ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම මට අපහසු වුණා. …

“හැබැයි ඇත්තටම මගේ හිත බිඳ දැමුවේ ඉරිදා පාසලයි. මව්වරුන්ගේ දිව්‍යමය භූමිකාව පිළිබඳ පාඩම—ඉක්මනින් ගියර් මාරු කර වාතාශ්‍රය ගෙන නොඑන සැසියක් බවට පත් වුණා. මම ඕනෑම දෙයක් කැපකර ලබාගන්නා ආශිර්වාදයක් ගැන කාන්තාවන් මැසිවිලි නඟන බව මට ඇසුණු විට මගේ හදවත රිදී ගොස් කඳුළු නිහඬවම මගේ කම්මුල් දිගේ ගලා ගියා.

“මම සභාවෙන් එළියට ගියා. මුලදී මට ආපහු යන්න ඕන වුණේ නැහැ. මට ඒ හුදකලා හැඟීම ආයෙ විඳින්න ඕන වුණේ නෑ. නමුත් එදින රාත්‍රියේ, මගේ ස්වාමිපුරුෂයා සමඟ කතා කිරීමෙන් පසු, අපි දිගටම සභාවට යන බව අපි දැන සිටියා, ඒ ස්වාමින්වහන්සේ අපෙන් ඉල්ලා ඇති නිසා පමණක් නොවේ, නමුත් ගිවිසුම් අලුත් කිරීමෙන් සහ සභාවේදී ආත්මයාණන්වහන්සේව දැනෙන ප්‍රීතිය එදා මට දැනුණු දුක ඉක්මවා යන බව අපි දෙදෙනාම දැන සිටියා. …

“සභාවේ වැන්දඹුවන්, දික්කසාද වූවන් සහ තනිකඩ සාමාජිකයන් සිටිනවා; ශුභාරංචියෙන් ඈත් වූ පවුලේ සාමාජිකයන් සිටින අය; නිදන්ගත රෝග හෝ මූල්‍ය අරගල ඇති පුද්ගලයින්; සමලිංගික ආකර්ෂණය අත්විඳින සාමාජිකයින්; ඇබ්බැහිවීම් හෝ සැකයන් මඟහරවා ගැනීමට ක්‍රියා කරන සාමාජිකයින්, මෑතදී පරිවර්තනය වූවන්; අලුතින් ගෙවල් මාරු කළ අය; තනිව ජීවත් වන අය; මේ වගේ ලැයිස්තුව දිගයි. …

“අපගේ තත්වයන් කුමක් වුවත්—උන්වහන්සේ වෙතට පැමිණෙන ලෙස ගැලවුම්කරුවාණන් අපට ආරාධනා කරනවා. අපි සභාවට පැමිණෙන්නේ අපගේ ගිවිසුම් අලුත් කිරීමට, අපගේ ඇදහිල්ල වැඩි කරගැනීමට, සාමය සොයා ගැනීමට සහ උන්වහන්සේ තම ජීවිතය තුළ පරිපූර්ණ ලෙස කළ ආකාරයටම—තමන් අයිති නැති බව හැඟෙන අන් අයට දේවසේවය කිරීමටයි.”9

“ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණවීම සඳහාත්, දේවසේවය කිරීමේ කාර්යය පිණිසත්, ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ වර්ධනය වීම පිණිසත්” සභාව සහ එහි නායකයින්ව දෙවියන්වහන්සේ විසින් ලබා දී ඇති බව පාවුල් පැහැදිලි කළා.

“එසේ දුන්නේ ඇදහීමේද දෙවියන්වහන්සේගේ පුත්‍රයා දැනගැනීමේද එකමුතුකමටත්, පරිපූර්ණ මනුශ්‍යයන් වී ක්‍රිස්තුස්වහන්සේගේ සම්පූර්ණවූ උස මහතේ ප්‍රමාණයටත් අප සියල්ලන් පැමිණෙන තෙක්ය.”10

එසේ නම්, යමෙකුට ජීවිතයේ සෑම අංශයකින්ම ඔහු හෝ ඇය එම පරමාදර්ශය සපුරාලන්නේ නැතැයි හැඟෙන විට, එම පරමාදර්ශය කරා යාමට අපට උපකාර කිරීම සඳහා දෙවියන්වහන්සේ විසින් නිර්මාණය කරන ලද සංවිධානයට ඔහු හෝ ඇය අයිති නොවන බව නිගමනය කිරීම කණගාටුදායක උත්ප්‍රාසයක්.

අපි විනිශ්චය ස්වාමින්වහන්සේගේ අතේ සහ උන්වහන්සේ පත් කළ අය අතේ තබා අපට හැකි උපරිමයෙන් එකිනෙකාට ප්‍රේම කිරීමට හා සැලකීමට පුරුදු වෙමු. ස්වාමින්වහන්සේගේ මහා මංගල්‍යයට “දිළිඳුන්ද, අබ්බාගාතයන්ද, අන්ධයන්ද, කොරුන්ද [එනම්, සියල්ලන්ම] ගෙන ඒමට”11 දිනෙන් දින අපට මාර්ගය පෙන්වා දෙන ලෙස අපි උන්වහන්සේගෙන් ඉල්ලා සිටිමු.

අයිති වීමේ දහමේ දෙවන පැතිකඩක් අපගේම දායකත්වයන් සමඟ සම්බන්ධ වෙනවා. අප ඒ ගැන සිතන්නේ කලාතුරකින් වුණත්, අපගේ බොහෝ අයිති වීම් පැමිණෙන්නේ අපගේ සේවයෙන් සහ අන් අය වෙනුවෙන් සහ ස්වාමින්වහන්සේ වෙනුවෙන් අප කරන කැපකිරීම් තුළිනුයි. අපගේ පුද්ගලික අවශ්‍යතා හෝ අපගේම සුවපහසුව කෙරෙහි අධික අවධානයක් යොමු කිරීම මගින් එම අයිති වීම පිළිබඳ හැඟීම අවුල් කරන්න පුළුවන්.

අපි ගැලවුම්කරුවාණන්ගේ දහම අනුගමනය කිරීමට උත්සාහ කරනවා:

“නුඹලා අතරේ උතුම්වෙන්ට කැමති කවරෙක් නුමුත් නුඹලාගේ දේවසේවකයා වන්නේය. …

“මක්නිසාද සැබවින් මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවය කරන්ටද බොහෝ දෙනෙකු උදෙසා මිදීමේ මිලයක් කොට තමාගේ ජීවිතය දෙන්ටද ආවේය.”12

අයිති වීම පැමිණෙන්නේ අපි ඒ කෙරෙහි බලා සිටින විට නොවේ නමුත් අපි එකිනෙකාට උදව් කරන්නට ලඟා වන විටයි.

අද, අවාසනාවකට, අරමුණක් සඳහා කැපවීම හෝ වෙනත් කෙනෙකු වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කිරීම ප්‍රති-සංස්කෘතික වෙමින් පවතිනවා. මෙම පසුගිය වසරේදී Deseret Magazine (ඩෙසරට් සඟරාවේ) කොටසක, රොඩ් ඩ්‍රේහර් කතුවරයා බුඩාපෙස්ට්හි තරුණ මවක් සමඟ සංවාදයක් විස්තර කළා:

“ඇගේ නැසීගිය සැමියා සමඟ කොමියුනිස්ට් රාජ්‍යයේ තාඩන පීඩනවලට මුහුණ දුන් වැඩිහිටි [ක්‍රිස්තියානි] කාන්තාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් සඳහා යමින් සිටියදී හමුවුණ්U, බුඩාපෙස්ට් ට්‍රෑම් රථයක ඇගේ 30 ගණන්වල මුල් භාගයේ සිටින … මිතුරියක් සමඟයි මම දැන් සිටින්නේ—අපි ඇයට ක්‍රිස්ටිනා කියමු. අපි නගරයේ වීදි දිගේ යන විට, ක්‍රිස්ටිනා බිරිඳක් සහ කුඩා දරුවන්ගේ මවක් ලෙස මුහුණ දුන් අරගල ගැන ඇගේ වයසේ මිතුරන් සමඟ අවංක වීම කොතරම් දුෂ්කරද යන්න ගැන කතා කළා.

“අම්මා කෙනෙක් සහ බිරිඳක් වන්නේ කෙසේදැයි ඉගෙන ගන්නා තරුණියකට ක්‍රිස්ටිනාගේ දුෂ්කරතා සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දෙයක්—නමුත් ඇගේ පරම්පරාවේ පවතින ආකල්පය තමයි ජීවිතයේ දුෂ්කරතා කෙනෙකුගේ යහපැවැත්මට තර්ජනයක් නම් එය ප්‍රතික්ෂේප කළ යුතු බව. ඇය සහ ඇගේ ස්වාමිපුරුෂයා සමහර අවස්ථාවලදී රණ්ඩු වෙනවාද? එවිට ඇය ඔහු හැර යා යුතු බව ඔවුහු පවසනවා. ඇගේ දරුවන් ඇයට කරදර කරනවාද? එවිට ඇය ඔවුන් දිවා සුරැකුම් වෙත යැවිය යුතුයි.

“පීඩාවන් සහ දුක් වේදනා පවා ජීවිතයේ සාමාන්‍ය කොටසක් බව සහ සමහර විට—ඒවගේම ඒ දුක් වේදනා අපට ඉවසිලිවන්ත, කරුණාවන්ත සහ ප්‍රේමණීය විය යුතු ආකාරය උගන්වයි නම් එය යහපත් ජීවිතයක කොටසක් බව ඇගේ මිතුරන් වටහා නොගැනීම ගැන ක්‍රිස්ටිනා කනස්සල්ලට පත්ව සිටිනවා. …

“… නොට්‍රේ ඩේම් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාඥ ක්‍රිස්ටියන් ස්මිත් වයස අවුරුදු 18 සිට 23 දක්වා වැඩිහිටියන් පිළිබඳ ඔහුගේ අධ්‍යයනයේ දී සොයා ගත්තේ, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සමාජය යනු ‘ජීවිතය භුක්ති විඳීමට ස්වාධීන පුද්ගලයන්ගේ එකතුවක්’13 මිස අන් කිසිවක් නොවන බව විශ්වාස කරන බවයි.

මෙම දර්ශනයට අනුව, කෙනෙකුට අපහසු යැයි හැඟෙන ඕනෑම දෙයක් “පීඩාවේ ආකාරයක් වෙනවා”.14

ඊට හාත්පසින්ම වෙනස්ව, අපගේ පුරෝගාමී මුතුන් මිත්තන් සයොනය ගොඩනැගීම සඳහා ධර්මදූතයක සේවය කිරීමට, දේවමාළිගා ගොඩනැගීමට, බලහත්කාරයන් නිසා සුවපහසු නිවාස අත්හැරීමට සහ නැවත ආරම්භ කිරීමට, සහ වෙනත් බොහෝ ආකාරවලින් තමන්ව කැප කිරීමට කරන ලද පරිත්‍යාගයන් මගින් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ගැඹුරු අයිති වීමේ හැඟීමක්, එකමුතුකමක් සහ ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරගත්තා. අවශ්‍ය නම් තම ජීවිතය පවා පූජා කිරීමට ඔවුහු සූදානම් වුණා. එමෙන්ම අපි සියල්ලෝම ඔවුන්ගේ විඳදරාගැනීමේ ප්‍රතිලාභීන්. බව්තීස්ම වීමේ ප්‍රතිඵලයක් ලෙස පවුලේ අය සහ මිතුරන් අහිමි විය හැකි, රැකියා අවස්ථා අහිමි විය හැකි, හෝ වෙනත් ආකාරයකින් වෙනස් කොට සැලකීමට හෝ අසහනයට ලක් විය හැකි අය බොහෝ දෙනෙකුටත් අද එය එසේම සිදුවෙනවා. කෙසේවෙතත්, ඔවුන්ගේ විපාකය, ගිවිසුම්ගත ජනයා අතරට අයිති වීමේ බලවත් හැඟීමක්. ස්වාමින්වහන්සේගේ මාර්ගයෙහි අප කරන ඕනෑම පරිත්‍යාගයක්, බොහෝ දෙනෙකුගේ මිදීමේ මිලයක් ලෙස උන්වහන්සේගේ ජීවිතය දුන් උන්වහන්සේ සමඟ අපගේ ස්ථානය තහවුරු කිරීමට උපකාරී වෙනවා.

අයිති වීමේ මූලධර්මයේ අවසාන හා වැදගත්ම අංගය වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රධාන භූමිකාවයි. අපි සභාවට එක් වන්නේ හවුල් වීම සඳහා පමණක් නොවේ, එයත් වැදගත්. අපි එක් වෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය හා කරුණාව තුළින් මිදීම සඳහායි. අපටත් ඒවගේම තිරය දෙපස සිටින අප ආදරය කරන අයටත් ගැලවීමේ සහ උත්කර්ෂයේ නියෝග සුරක්ෂිත කිරීම සඳහා අපි එක් වෙනවා. ස්වාමින්වහන්සේගේ නැවත පැමිණීම සඳහා සූදානම් වීමේ දී සයොනය පිහිටුවීමේ මහා ව්‍යාපෘතියකට සහභාගී වීමට අපි එක් වෙනවා.

ශුද්ධ වූ පූජකවරයේ නියෝග තුළින් දෙවියන්වහන්සේ අපට පිරිනමන ගැලවීමේ සහ උත්කර්ෂයේ ගිවිසුම්වල භාරකරු වන්නේ සභාවයි.15 මෙම ගිවිසුම් තබා ගැනීමෙන් තමයි අපි ඉහළම සහ ගැඹුරුම අයිති වීමේ හැඟීම ලබා ගන්නේ. සභාපති රසල් එම්. නෙල්සන් මෑතකදී මෙසේ ලිව්වා:

“ඔබ සහ මම දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇති කරගත් පසු, උන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය අපගේ ගිවිසුමට පෙර තිබුනාට වඩා සමීප එකක් වේ. දැන් අපි එකට බැඳී සිටිමු. දෙවියන්වහන්සේ සමඟ ඇති අපගේ ගිවිසුම නිසා, අපට උපකාර කිරීමට උන්වහන්සේ දරන වෑයමේදී උන්වහන්සේ කිසිදා වෙහෙසට පත් නොවනු ඇති අතර, අප සමඟ උන්වහන්සේගේ දයාවන්ත ඉවසීම කිසිවිටෙකත් ඉක්මවා යන්නට අපි හේතුවක් වෙන්නේ නෑ. අප සෑම කෙනෙකු වෙනුවෙන්ම දෙවියන්වහන්සේගේ හදවතේ විශේෂ ස්ථානයක් තිබෙනවා. …

“… එම ගිවිසුම්වල ඇපකරු වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ය (බලන්න හෙබ්‍රෙව් 7:22; 8:6).”16

අප මෙය මතක තබාගන්නේ නම්, ස්වාමින්වහන්සේට අප කෙරෙහි ඇති උසස් බලාපොරොත්තු අපව ප්‍රබෝධමත් කරනවා මිස අධෛර්යමත් කරන්නේ නෑ.

අපි තනි තනිව සහ සාමූහිකව “ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ වර්ධනය වීම පිණිසත්”17 ලුහුබඳින විට අපට ප්‍රීතියක් දැනෙන්න පුළුවන්. මඟදී හමුවන බලාපොරොත්තු සුන්වීම් සහ පසුබෑම් තිබියදීත්, එය විශාල ගවේෂණයක්. පීඩාව කුමක් වුවත්, පොරොන්දු වූ ආශිර්වාද කෙතරම් ප්‍රමාද වුවත්, අපට “[ක්‍රිස්තුස්වහන්සේ] ලෝකය ජයගත් නිසා, ප්‍රීතිමත්ව සිටිය හැකි”18 බව දැනගෙන, ඉහළට යන මාවත ලුහුබැඳීමේදී අපි එකිනෙකාව ඔසවමින් දිරිගන්වනවා. පියාණන්වහන්සේ, පුත්‍රයාණන්වහන්සේ සහ ශුද්ධාත්මයාණන්වහන්සේ සමඟ එක් වීම නිසැකවම අයිති වීමේ වැදගත්ම දෙයයි.19

මේ අනුව, අයිති වීමේ මූලධර්මය මේ ආකාරයට පැමිණෙන බව—අප සෑම කෙනෙකුටම තහවුරු කරන්න පුළුවන්: යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මා වෙනුවෙන් මිය ගියා; මා උන්වහන්සේගේ රුධිරයට සුදුසු බව උන්වහන්සේ සිතුවා. උන්වහන්සේ මට ආදරය කරන අතර මගේ ජීවිතයේ සියලු වෙනස්කම් උන්වහන්සේට කරන්න පුළුවන්. මම පසුතැවිලි වන විට, උන්වහන්සේගේ කරුණාව මාව වෙනස් කරයි. මම ශුභාරංචිය ගිවිසුමේ උන්වහන්සේ සමඟ එක් වෙනවා; මම උන්වහන්සේගේ සභාවට සහ රාජ්‍යයට අයිති වෙනවා; ඒවගේම දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට මිදීම ගෙන ඒමට වන උන්වහන්සේගේ අරමුණට මම අයිති වෙනවා.

ඔබ අයිති වන බව මම සාක්ෂි දරනවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. බලන්න එළිදරව් 5:9; තවත් බලන්න 1 නෙපි 19:17; මොසායා 15:28; දහම සහ ගිවිසුම් 10:51; 77:8, 11.

  2. Teachings of Presidents of the Church: Joseph Smith (2007), 186.

  3. දහම සහ ගිවිසුම් 38:27.

  4. එක් සංවේදී නිරීක්ෂකයෙක් මෙසේ සඳහන් කළේය:

    “හුදෙක් පුද්ගලික කටයුත්තක් වන ආගම, අපේ කාලය වන තුරු, මනුෂ්‍ය වර්ගයාගේ වංශකථාවේ නොදනී—සහ ඒ හොඳ හේතුවක් සඳහායි. එවැනි ආගමක් ඉක්මනින් ගෘහස්ථ සතුටක්, පොතක් කියවීම හෝ රූපවාහිනිය නැරඹීම වැනි පුද්ගලයන් එක් අයෙකු හෝ කිහිප දෙනෙකුගේ විනෝදාංශයක් බවට පත් වේ. එබැවින් අධ්‍යාත්මික සෙවීම මෙතරම් විලාසිතාවක් වී තිබීම පුදුමයට කරුණක් නොවේ. ආගමෙන් නිදහස් වූ පුද්ගලයන් ආදේශකයක් ලෙස මංමුලා සහගත ලෙස සොයන්නේ එයයි.

    “ඇත්ත වශයෙන්ම අධ්‍යාත්මිකත්වය සියලු ආගම්වල අනිවාර්ය අංගයක් වන නමුත්—සුළු කොටසක් එහි සමස්තය සඳහා ආදේශකයක් විය නොහැක. ආගම යනු ඉඳහිට ලෝකෝත්තර අත්දැකීමක් ලබා දෙන යම් ආකාරයක මානසික ව්‍යායාමයක් නොවේ. එය එක්කෝ කෙනෙකුගේ ජීවිතය—ඔහුගේ මුළු ජීවිතයම හැඩගස්වයි, නැතහොත් එය අතුරුදහන් වී, කිසිදු මනෝචිකිත්සාවකට ළඟා විය නොහැකි කනස්සල්ලෙන් පිරුණු හිස් ආත්මයන් ඉතිරි කරයි. ආගම කෙනෙකුගේ ජීවිතය හැඩගැස්වීමට නම්, එය පොදු සහ වාර්ගික විය යුතුය; එය මළවුන්ට සහ නූපන් අයට සම්බන්ධ කළ යුතුය” (Irving Kristol, “The Welfare State’s Spiritual Crisis,” Wall Street Journal, Feb. 3, 1997, A14).

  5. 1 කොරින්ති 12:12–13, 25–26.

  6. බලන්න Russell M. Nelson, “Perfection Pending,” Ensign, Nov. 1995, 86–88; Jeffrey R. Holland, “Be Ye Therefore Perfect—Eventually,” Liahona, Nov. 2017, 40–42.

  7. 1 සාමුවෙල් 16:7.

  8. As expressed by Elder Jeffrey R. Holland, “‘Come as you are,’ a loving Father says to each of us, but He adds, ‘Don’t plan to stay as you are.’ We smile and remember that God is determined to make of us more than we thought we could be” (“Songs Sung and Unsung,” Liahona, May 2017, 51).

  9. Jodi King, “Belonging in the Church through the Lens of Infertility,” Liahona, Mar. 2020, 46, 48–49.

  10. එපීස 4:12–13.

  11. ලූක් 14:21.

  12. මාර්ක් 10:43, 45; අවධාරණය කිරීම් සහිතයි.

  13. Rod Dreher, “A Christian Survival Guide for a Secular Age,” Deseret Magazine, Apr. 2021, 68.

  14. Dreher, “A Christian Survival Guide for a Secular Age,” 68.

  15. බලන්න දහම සහ ගිවිසුම් 84:19–22.

  16. රසල් එම්. නෙල්සන්, “සදාකාලික ගිවිසුම,” ලියහෝනා, ඔක්. 2022, 6, 10.

  17. එපීස 4:13.

  18. යොහාන් 16:33

  19. බලන්න යොහාන් 17:20–23. ඔබ “අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතයන් ලියනු ලැබුවාවූ මෙම යේසුස්වහන්සේව සොයන්න, ඒ කරණකොටගෙන ඒවා ගැන සාක්ෂි දරන පියවූ දෙවියන්වහන්සේගේද, ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේද, ශුද්ධාත්මයාණන්වහන්සේගේද අනුග්‍රහය නුඹලා සමඟ සදාකාලයටම පවතින පිණිස, ඔබේ ජීවිතයේ ස්වර්ගයෙන් පැමිණි මෙම ආශිර්වාද සඳහා සොයන්න” (ඊතර් 12:41).