ප්‍රධාන සම්මන්ත්‍රණය
දුප්පතුන්ට සහ පීඩාවට පත් වූවන්ට උපකාර කිරීම
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


දුප්පතුන්ට සහ පීඩාවට පත් වූවන්ට උපකාර කිරීම

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව අවශ්‍යතා ඇති අයට සේවය කිරීමට කැපවී සිටින අතර, එම ප්‍රයත්නයේදී අන් අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටද කැපවී සිටිනවා.

සහෝදර සහෝදරියනි, අපගේ ආදරණීය සභාපති රසල් එම්. නෙල්සන් මෙම සැසිය අතරවාරයේදී අපට කතා කරයි. මට පළමු කථිකයා වන ලෙස ඔහු මගෙන් ඉල්ලා තිබෙනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව සහ එහි සාමාජිකයන් දුප්පතුන් සහ පීඩාවට පත් වූවන් වෙනුවෙන් දෙන්නෙ සහ කරන්නේ මොනවාද යන කාරණය තමයි අද දවසේදී මම කතා කරන්න යන්නේ. අනෙකුත් යහපත් පුද්ගලයින් ලබාදෙන එබඳු දේවල් ගැනත් මම කතා කරන්න යනවා. අවශ්‍යතා ඇති අයට දීම සියලුම ආබ්‍රහමික ආගම්වල සහ අනෙකුත් ආගම්වල ද මූලධර්මයක්.

මාස කිහිපයකට පෙර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාව ලෝකය පුරා අපගේ මානුෂීය කටයුතුවල ප්‍රමාණය තීව්‍ර කළ ආකාරය ප්‍රථම වරට වාර්තා කළා.1 ලොව පුරා රටවල් 188 ක අවශ්‍යතා ඇති අය සඳහා අපගේ 2021 වියදම් වල එකතුව ඩොලර් මිලියන 906 ක්—ආසන්න වශයෙන් ඩොලර් බිලියනයක්. ඊට අමතරව, අපගේ සාමාජිකයින් එම කාර්යය සඳහාම පැය මිලියන 6කට අධික ශ්‍රමයක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කළා.

එම සංඛ්‍යා ඇත්ත වශයෙන්ම, අපගේ දීම සහ උපකාර පිළිබඳ අසම්පූර්ණ වාර්තාවක්. ඔවුන් එකිනෙකාට දේවසේවය කරන අතරතුර අපගේ සාමාජිකයින් විසින් තනි තනිව ලබා දෙන පුද්ගලික සේවාවන් සහ ස්වේච්ඡාවෙන් ලබාදෙන සාමාජික සේවාවන් එයට ඇතුළත් වෙන්නේ නෑ. අපගේ 2021 වාර්තාවේ, අපගේ සභාව සමඟ විධිමත් ලෙස සම්බන්ධ නොවූ අසංඛ්‍යාත පුණ්‍යායතන හරහා අපගේ සාමාජිකයින් තනි තනිව කරන දේ ගැන සඳහනක් කරන්නේ නෑ. මම මේවායින් පටන් ගන්නම්.

1831 දී, නැවත පිහිට වූ සභාව සංවිධානය කර වසර දෙකකටත් අඩු කාලයකට පසු, ස්වාමින්වහන්සේ මෙම එළිදරව්ව ලබාදුන්නේ එහි සාමාජිකයින්ට සහ ලොව පුරා සිටින උන්වහන්සේගේ සියලුම දරුවන්ට මගපෙන්වීම සඳහායි:

“මක්නිසාද බලන්න, මා සියලු දේවල් වලදී ආඥා කිරීම සුදුසු නොවන්නේය; මක්නිසාද සියලු කාරණා වලදී බලකරනු ලබන එවැන්නා, ප්‍රඥාවන්ත සේවකයකු නොව අලසයෙකු වන්නේය. …

“සැබවක් මම පවසන්නෙමි, මනුෂ්‍යයන් යහපත් කාරණා වල උද්‍යෝගයෙන් යෙදිය යුතුවේ, තවද ඔවුන්ගේ ස්වකීය නිදහස් කැමැත්තෙන් බොහෝ දේවල් කළ යුතුවේ, තවද බොහෝ ධර්මිෂ්ඨ කාරණා සිද්ධ කළ යුතුවේ;

“මක්නිසාද බලය ඔවුන් තුළ ඇත්තේය, එතුළින් ඔවුහු ඔවුන් වෙතටම නියෝජිතයන් වෙති. තවද මනුෂ්‍යයන් යහපත කරන තාක් ඔවුහු කිසිවිටකත් ඔවුන්ගේ විපාකය නැතිකර නොගන්නෝය.”2

ප්‍රේරිතවරයෙකු ලෙස වසර 38කට වැඩි කාලයක් සහ වසර 30කට වැඩි වෘත්තීය රැකියාවක් තුළ, මෙම එළිදරව්වේ “යහපත් කාරණා” සහ “බොහෝ ධර්මිෂ්ඨ කාරණා සිද්ධ කරන” ලෙස විස්තර කරන ආකාරයේ නොමසුරු උත්සාහයන් බොහෝ සංවිධාන සහ පුද්ගලයන් විසින් දරන ආකාරය මම දැකලා තියෙනවා. අපගේම දේශසීමාවෙන් ඔබ්බට සහ අපගේ සාමාන්‍ය දැනුමෙන් ඔබ්බට ලොව පුරා එවැනි මානුෂීය සේවාවන් පිළිබඳ ගණන් කළ නොහැකි උදාහරණ තිබෙනවා. මෙය මෙනෙහි කරන විට, මම මොර්මොන්ගේ පොතේ අනාගතවක්තෘවරයෙක් වන බෙන්යමින් රජු ගැන හිතනවා, ඔහුගේ දේශනාවේ මෙම සදාකාලික සත්‍යය ඇතුළත් වුණා: “නුඹලා නුඹලාගේ සහෝදර මනුෂ්‍යන්ගේ සේවයෙහි යෙදී සිටින විට නුඹලා සත්‍යයෙන්ම යෙදී සිටින්නේ දෙවියන්වහන්සේගේ සේවයේය.”3

අපගේ සෙසු පුද්ගලයන් සඳහා බොහෝ සුභසාධනය සහ මානුෂීය සේවය උගන්වනු ලබන්නේ සහ ක්‍රියාත්මක කරනු ලබන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාව සහ එහි සාමාජිකයන් වන අප විසිනුයි. නිදසුනක් වශයෙන්, අපි සෑම මසකම පළමු දින නිරාහාරව සිටින අතර අපගේම සභාවල අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම සඳහා අවම වශයෙන් නොකෑ ආහාර වේලට සමාන ප්‍රමාණයක දායකත්වයක් අපි ලබාදෙනවා. ලොව පුරා මානුෂීය සහ අනෙකුත් සේවාවන් සඳහා ද සභාව විශාල දායකත්වයක් සපයනවා.

අපගේ සභාව සෘජුවම කරන සියල්ල තිබියදීත්, ලොව පුරා දෙවියන්වහන්සේගේ දරුවන්ට බොහෝ මානුෂීය සේවාවන් සිදු කරනු ලබන්නේ අපගේ සභාව සමඟ විධිමත් සම්බන්ධයක් නොමැති පුද්ගලයින් සහ සංවිධාන විසිනුයි. අපගේ ප්‍රේරිතවරුන්ගෙන් කෙනෙක් නිරීක්ෂණය කළ පරිදි: “දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ හා පුදුමාකාර ක්‍රියාවන් ඉටු කිරීම සඳහා එක් පුද්ගලයෙකුට වඩා වැඩි ගණනක් යොදාගන්නවා. … එය ඕනෑම එක් පුද්ගලයෙකුට විශාල වැඩියි, ඉතා දුෂ්කරයි.”4 නැවත පිහිටුවන ලද සභාවේ සාමාජිකයන් වශයෙන්, අපි අන් අයගේ සේවය පිළිබඳව වඩාත් දැනුවත් වී ඒවා තවත් අගය කළ යුතුයි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව අවශ්‍යතා ඇති අයට සේවය කිරීමට කැපවී සිටින අතර, එම ප්‍රයත්නයේදී අන් අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටද කැපවී සිටිනවා. අපි මෑතකදී එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනට විශාල ත්‍යාගයක් ලබාදුන්නා. අපගේ මානුෂීය කාර්යයේ දශක ගණනාවක් පුරා, සංවිධාන දෙකක් ප්‍රධාන සහයෝගිතාකරුවන් ලෙස කැපී පෙනෙනවා: රටවල් දුසිම් ගණනක පවතින රතු කුරුස සහ රෙඩ් ක්‍රෙසන්ට් නියෝජිතායතන සමඟ ව්‍යාපෘති හරහා ස්වභාවික විපත් සහ ගැටුම් වලදී දෙවියන්වහන්සේගේ දරුවන්ට අවශ්‍යම සහන ලබා දී තිබෙනවා. ඒ හා සමානව, කතෝලික සහන සේවා සමඟ අපට දිගුකාලීන ආධාර වාර්තාවක් තිබෙනවා. මෙම සංවිධාන මගින් අපට ලෝක මට්ටමේ සහන ගැන බොහෝ දේ උගන්වා තිබෙනවා.

මුස්ලිම් ඒඩ්, වෝටර් ෆෝ පීපල්, සහ ඉස්රාඒඩ් ඇතුළු අනෙකුත් සංවිධාන සමඟ ද අපි ඵලදායී සහයෝගිතා ඇති කර ගෙන තිබෙනවා. සෑම මානුෂීය සංවිධානයකටම තමන්ගේම විශේෂීකරණයක් ඇති අතර, අපි දෙවියන්වහන්සේගේ දරුවන් අතර දුක් වේදනා සමනය කිරීමේ පොදු ඉලක්කය ඔවුන් සමඟ බෙදාගන්නවා. මේ සියල්ල දෙවියන්වහන්සේගේ දරුවන් වෙනුවෙන් කරන උන්වහන්සේගේ කාර්යයේ කොටසක්.

අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “ලෝකයට පැමිණෙන සෑම මනුෂ්‍යයෙකුම ආලෝකවත් කරන සැබෑ ආලෝකය” බව නවීන එළිදරව් උගන්වනවා.5 ඒ හේතුවෙන්, දෙවියන්වහන්සේගේ සියලුම දරුවන් තම දැනුමෙන් හා හැකියාවෙන් උපරිමයෙන් උන්වහන්සේට සහ එකිනෙකාට සේවය කිරීමට අවබෝධය ලබාගන්නවා.

“යහපත් දේ කිරීමටත්, තවද දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමටත්, තවද උන්වහන්සේට සේවය කිරීමටත්, ආරාධනා කරන්නාවූද පොළඹවන්නාවූද සියලු දේ පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන්”6 බව මොර්මොන්ගේ පොත උගන්වනවා.

තවදුරටත්:

“මක්නිසාද බලන්න, සියලු මනුෂ්‍යයන් හට ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මය දී ඇත්තේය, එනම් එය කරණකොටගෙන ඔහු දුෂ්ටකම වෙතින් යහපත දැනගැනීම පිණිසය; එසේහෙයින් මම නුඹලාට විනිශ්චය කිරීමට මාර්ගය පෙන්වන්නෙමි; මක්නිසාද යහපත කිරීමට ආරාධනා කරන්නාවූ සියලු දේද ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කිරීමට පෙළඹවීම්ද එවන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ බලය හා දීමනාව මගින්ය. …

“තවද දැන් මාගේ සහෝදරයිනි, නුඹලා විනිශ්චය කළ යුතු ආලෝකය නුඹලා දන්නෙහුය, එම ආලෝකය ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකයයි.”7

ආහාර, වෛද්‍ය ප්‍රතිකාර සහ ඉගැන්වීම යන ඔවුන්ගේ ප්‍රධාන අවශ්‍යතා වලදී, දෙවියන්වහන්සේගේ දරුවන්, දෙවියන්වහන්සේගේ අනෙකුත් දරුවන්ට උපකාර කිරීම පිළිබඳ උදාහරණ කිහිපයක් මෙන්න.

මීට වසර දහයකට පෙර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සික් ජාතික ස්වාමිපුරුෂයෙක් සහ භාර්යාවක් වන කන්දාරි යුවළ, කුසගින්නෙන් පෙළෙන අයට ආහාර සැපයීම සඳහා පෞද්ගලිකව විශිෂ්ට උත්සාහයක් දියත් කළා. ගුරු නානක් දර්බාර් සික් කෝවිල හරහා, ඔවුන් දැනට සෑම සති අන්තයකම නිර්මාංශ ආහාර වේල් 30,000කට අධික ප්‍රමාණයක්, ආගම හෝ ජාතිය නොසලකා ඔවුන්ගේ දොරට ඇතුළු වන ඕනෑම කෙනෙකුට පිරිනමමින් සිටිනවා. ආචාර්ය කන්දාරි මෙසේ පැහැදිලි කළා, “සියල්ලන්ම එකා මෙන් බව අපි විශ්වාස කරනවා; අපි එකම දෙවි කෙනෙකුගේ දරුවන් වන අතර අපි මෙහි පැමිණ සිටින්නේ මනුෂ්‍යත්වයට සේවය කිරීමටයි.”8

අවශ්‍යතා ඇති අයට වෛද්‍ය සහ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම තවත් උදාහරණයක්. චිකාගෝහිදී, මට සිරියානු-අමෙරිකානු විශේෂ සත්කාර වෛද්‍යවරයකු වන වෛද්‍ය සහර් සහ්ලූල් හමුවුණා. ඔහු MedGlobal හි නිර්මාතෘවරුන්ගෙන් එක්කෙනෙක්, එම ආයතනය, වෛද්‍ය සහ්ලූල් සිවිල් වැසියන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේදී සිය ජීවිතය පරදුවට තැබූ සිරියානු යුද්ධය වැනි අර්බුදවලදී අන් අයට උපකාර කිරීම සඳහා ඔවුන්ගේ කාලය, කුසලතා, දැනුම සහ නායකත්වය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කිරීමට වෛද්‍ය වෘත්තිකයන්ව සංවිධානය කරනවා. MedGlobal සහ ඒ හා සමාන සංවිධාන (බොහෝ පසුදවස් වල ශුද්ධවන්ත වෘත්තිකයන් ඇතුළුව) පෙන්නුම් කරන්නේ, ලොව පුරා දුප්පතුන්ට අවශ්‍ය සහන ගෙන ඒම සඳහා දෙවියන්වහන්සේ ඇදහිල්ලේ වෘත්තිකයන්ව පොළඹවන බවයි.9

දෙවියන්වහන්සේගේ පරාර්ථකාමී දරුවන් බොහෝ දෙනෙක් ලොව පුරා ඉගැන්වීමේ ප්‍රයත්නවලත් නියැලී සිටිනවා. අපගේ මානුෂීය ප්‍රයත්නයන් තුළින් අප දැනගත් හොඳ උදාහරණයක් තමයි, අවස්ථා කිහිපයකදී විවිධ ගැටුම්වලින් සරණාගතයෙකු වූ ගේබ්‍රියෙල් මහතා නමින් හැඳින්වෙන මිනිසෙකුගේ ක්‍රියාකාරකම්. නැගෙනහිර අප්‍රිකාවේ සිටින ලක්ෂ සංඛ්‍යාත සරණාගත දරුවන්ට ඔවුන්ගේ බලාපොරොත්තු සජීවීව තබා ගැනීමට සහ ඔවුන්ගේ මනස ක්‍රියාශීලීව තබා ගැනීමට උපකාර අවශ්‍ය බව ඔහු මෑතකදී නිරීක්ෂණය කළා. ඔහු සරණාගත ජනගහනයේ අනෙකුත් ගුරුවරුන්ව සංවිධානය කළේ, ඔවුන්ට “ගස් පාසල්” ලෙස හැඳින්වූ දෙයක් කිරීමටයි. ඔහු අන් අය සංවිධානය කරන තෙක් හෝ මෙහෙයවන තෙක් බලා සිටියේ නෑ, නමුත් ඔහු විසින් ආතති සහගත වසරවලදී ප්‍රාථමික පාසල් සිසුන් දහස් ගණනකට ඉගෙනීමේ අවස්ථා සලසා දී ඇති උත්සාහයන් පෞද්ගලිකව මෙහෙයවුවා.

ඇත්ත වශයෙන්ම, මෙම උදාහරණ තුනෙන් අදහස් කරන්නේ යහපත් හෝ දෙවියන්ගේ යැයි කියාගන්නා සංවිධාන හෝ පුද්ගලයන් විසින් පවසන හෝ කරන ලද සෑම දෙයක්ම සැබවින්ම එය බව නොවෙයි. මෙම උදාහරණවලින් පෙන්නුම් කරන්නේ දෙවියන්වහන්සේ විසින් බොහෝ සංවිධාන සහ පුද්ගලයන්ව බොහෝ යහපත් දේ කිරීමට පොලඹවන බවයි. අපි තව තවත්, අන් අය විසින් කරන ලද යහපත හඳුනාගෙන එයට සහාය විය යුතු බව ද එය පෙන්නුම් කරනවා.

සභාව සහාය දක්වන සහ අපගේ සාමාජිකයින් සහ අනෙකුත් යහපත් පුද්ගලයින් සහ සංවිධාන ද තනි තනිව කාලය සහ මුදල් පරිත්‍යාග කරමින් සහාය දෙන සේවා පිළිබඳ උදාහරණ කිහිපයක් මෙන්න:

මම ආගමික නිදහස සමඟ ආරම්භ කරන්නම්. ඒ සඳහා සහයෝගය දැක්වීමේදී අපි අපේම අවශ්‍යතා පමණක් නොව අනෙකුත් ආගම්වල අවශ්‍යතා ද ඉටුකරනවා. අපගේ පළමු සභාපති වන ජෝසෆ් ස්මිත් ඉගැන්වූ පරිදි, “අපගේ හෘදසාක්ෂියේ අණකිරීම අනුව සර්වබලධාරී දෙවියන්වහන්සේව නමස්කාර කිරීමේ වරප්‍රසාදය අපටද, එසේම කෙබඳු ආකාරකින්, කොතැනකදී හෝ කිනම් දෙයක් හෝ නමස්කාර කිරීම, සියලු මනුෂ්‍යයන් සතු වරප්‍රසාදයක් බවටද අපි හිමිකම් කියන්නෙමු.”10

නැවත පිහිටුවන ලද සභාවේ මානුෂීය සහ අනෙකුත් සේවාවන් සඳහා අපගේ සාමාජිකයින් විසින් ස්වේච්ඡාවෙන් සහය දක්වන අපගේ සුප්‍රසිද්ධ පාසල්, විද්‍යාල සහ විශ්ව විද්‍යාල සහ අපගේ එතරම් ප්‍රසිද්ධ නැති නමුත් දැන් ප්‍රකාශයට පත් කරන ලද විශාල පරිත්‍යාග, ටොනේඩෝ සහ භූමිකම්පා වැනි ස්වභාවික විපත් වල විනාශයන් සහ අවතැන්වීම්වලින් පීඩා විඳින අයගේ සහන සඳහා වෙනවා.

අපගේ සාමාජිකයින් ස්වේච්ඡාවෙන් කරන පරිත්‍යාග සහ ප්‍රයත්න මගින් සහාය දක්වන අනෙකුත් පුණ්‍ය ක්‍රියාකාරකම් ලැයිස්තුගත කිරීමට බැරි තරම් බොහෝ ප්‍රමාණයක් තිබෙනවා, නමුත් මෙම කිහිප දෙනා සඳහන් කිරීමෙන් ඔවුන්ගේ විවිධත්වය සහ වැදගත්කම දැනගන්න පුළුවන්: වර්ගවාදය සහ වෙනත් අගතීන්ට එරෙහිව සටන් කිරීම, රෝග වැළැක්වීම සහ සුව කරන ආකාරය පිළිබඳ පර්යේෂණ කිරීම, ආබාධිතයින්ට උපකාර කිරීම, සහාය ලබාදෙන සංගීත සංවිධාන; සහ සැමට සදාචාරාත්මක හා භෞතික පරිසරය වැඩිදියුණු කිරීම ඒවාට ඇතුළත්.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ මානුෂීය ප්‍රයත්නයන් සියල්ලම මොර්මොන්ගේ පොතේ විස්තර කර ඇති ධර්මිෂ්ඨ මිනිසුන්ගේ ආදර්ශය අනුගමනය කිරීමට උත්සාහ කරනවා: “තවද මෙසේ, ඔවුන්ගේ සෞභාග්‍යමත් අවස්ථාවෙහිදී, ඔවුන් නිර්වස්ත්‍රව සිටියාවූ හෝ එනම් බඩගිනි වූ හෝ පිපාසිත වූ හෝ රෝගී වූ හෝ පෝෂණය නොලැබූ කිසිවෙකු හරවා යැවුවේ නැත, … තවද ඔවුන් සියලුම වයසක සහ තරුණ දෙගොල්ලන්ටම, වහලුන් සහ නිවහලුන් යන දෙගොල්ලන්ටම, පිරිමි සහ කාන්තා දෙගොල්ලන්ටම සභාවෙන් පිට හෝ සභාව තුළ, … ත්‍යාගශීලි වූහ.”11

ලොව පුරා සිටින දුප්පතුන්ට සහ පීඩාවට පත් වූවන්ට උපකාර කිරීමේදී දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට ආලෝකයක් වන සහ උන්වහන්සේගේ ආත්මයෙන් මග පෙන්වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.