ප්‍රධාන සම්මන්ත්‍රණය
විරුද්ධවාදියාට ප්‍රතිරෝධී ජීවිතයක් ගොඩනැගීම
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


විරුද්ධවාදියාට ප්‍රතිරෝධී ජීවිතයක් ගොඩනැගීම

අපගේ පියාණන් විසින් නිර්මාණය කරන ලද දිව්‍යමය නිර්මාණයේ සැලසුම් සහ තාක්ෂණික පිරිවිතරයන් අනුගමනය කරමින් අපගේ ජීවිත දිගටම ගොඩනගා ගැනීමට හැකි වේවායි මම යාච්ඤා කරනවා.

වසර ගණනාවක් පුරා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ මෙම සුන්දර දේශනා කූඩුවෙන් අපට විශිෂ්ට අනුශාසනා, ආනුභාවයන්, උපදෙස් සහ එළිදරව් ලැබී තිබෙනවා. සමහර අවස්ථාවලදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ මූලධර්මයක් පැහැදිලිව හා බලවත් ලෙස නිදර්ශනය කිරීමට කථිකයන් ඔවුන්ගේ දැනුම හා අත්දැකීම් ක්ෂේත්‍රයන් හා සම්බන්ධ සැසඳීම් භාවිතා කර තිබෙනවා.

මේ ආකාරයට ඉගෙනීමේදී, උදාහරණයක් ලෙස, ආරම්භයේදී සිදුවන ඉතා සුළු වෙනස්කමක් හේතුවෙන් අපගේ මුල් ගමනාන්තයෙන් දුරස්ථ ස්ථානයකට අපව ගෙන යා හැකි ගුවන් යානා සහ ගුවන් ගමන් ගැන අපි ඉගෙන ගෙන තිබෙනවා.1 මේ ආකාරයෙන්ම උන්වහන්සේව අනුගමනය කරන ලෙස ස්වාමින්වහන්සේගේ ආරාධනයට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය හදවතේ බලවත් වෙනස සමඟ අපගේ භෞතික හදවතේ ක්‍රියාකාරිත්වය සංසන්දනය කිරීමෙන් අපි ඉගෙනගෙන තිබෙනවා.2

මෙම අවස්ථාවේදී, මාගේ වෘත්තිය සඳහා මා ඉගෙනගත් ක්ශේත්‍රයේ කොටසක් මගින් ආනුභාව ලත් සැසඳීමක් එක් කිරීමට මම නිහතමානීව කැමතියි. මම කතා කරන්නේ සිවිල් ඉන්ජිනේරු ලෝකය ගැනයි. මගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ආරම්භයේ සිටම, “භූ කම්පන විරෝධී” ලෙස සැලකිය හැකි ගොඩනැගිලි සහ අනෙකුත් ව්‍යුහයන් සැලසුම් කරන්නේ කෙසේදැයි මට උගන්වන පන්තියට යාමට සුදුසුකම් ලැබීමට අවශ්‍යතා සම්පූර්ණ කරන දිනය ගැන මම සිහින මැව්වා.

අවසානයේ මෙම විෂය පිළිබඳ මගේ පළමු පන්තියට සහභාගී වන දිනය පැමිණියා. “ඔබ නිසැකවම මෙම පාඨමාලාව ආරම්භ කිරීමටත් භූ කම්පන විරෝධී ව්‍යුහයන් සැලසුම් කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමටත් බොහෝ උනන්දුවෙන් සිටිනවා ඇති,” යන මහාචාර්යවරයාගේ පළමු වචන වලට අපගෙන් බොහෝ දෙනෙක් උනන්දුවෙන් හිස සැලුවා. එවිට මහාචාර්යවරයා මෙසේ පැවසුවා: “මෙය කිරීමට නොහැකි බව ඔබට කීමට වීම ගැන මට කණගාටුයි, මොකද, භූ කම්පන විරෝධී ගොඩනැගිල්ලක් සැලසුම් කරන්නේ කොහොමද කියා මට ඔබට උගන්වන්නට පුළුවන් කමක් නැහැ. අපි කැමති වුණත් නැතත් භූමිකම්පා කොහොමත් ඇතිවෙන නිසා මේක තේරුමක් නෑ” කියා ඔහු පැවසුවා.

ඉන්පසුව ඔහු තවදුරටත් මෙසේ කියා සිටියා, “මට ඔබට ඉගැන්විය හැක්කේ භූ කම්පනවලට ප්‍රතිරෝධී ව්‍යුහයන් සැලසුම් කරන්නේ කෙසේද කියායි, භූමිකම්පාවකින් එන බලවේගවලට ඔරොත්තු දිය හැකි ව්යුහයන් ගැනයි, එවිට එම ව්‍යුහය කිසිඳු බරපතල හානියකින් තොරව ස්ථාවරව පවතින අතර පසුව එය නිර්මාණය කිරීමේදී බලාපොරොත්තු වූ සේවාව දිගටම ලබා දීමට පුළුවන් වෙනවා.

නිර්මාණය කරනු ලබන අත්තිවාරම්, තීරු, බාල්ක, කොන්ක්‍රීට් ස්ලැබ් සහ අනෙකුත් ව්යුහාත්මක මූලද්‍රව්‍ය වල මානයන්, ගුණාංග සහ ලක්ෂණ පෙන්නුම් කරන ගණනය කිරීම් ඉංජිනේරුවරයා විසින් සිදු කරනවා. මෙම ප්‍රතිඵල සැලසුම් සහ තාක්ෂණික පිරිවිතරවලට පරිවර්තනය කළ පසු, එය නිර්මාණය කර ගොඩනගන අරමුණ ඉටු වීමට නම් ඉදිකරන්නා විසින් එම තොරතුරු දැඩි ලෙස අනුගමනය කළ යුතුයි.

භූකම්පන ප්‍රතිරෝධ ඉංජිනේරු විද්‍යාවේ එම පළමු පන්තියේ සිට වසර 40 කට වැඩි කාලයක් ගත වී තිබුණත්, මගේ අනාගත වෘත්තීය ජීවිතයේ මා විසින් නිර්මාණය කරන ව්‍යුහයන් තුළ මෙම සංකල්පය තිබීමේ වැදගත්කම පිළිබඳ ගැඹුරු, සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට පටන් ගත් මොහොත මට හොඳින් මතකයි. එපමණක් නොවේ, එය මගේ ජීවිතයේ ඉගැන්වීම් තුළ සහ මා විසින් ධනාත්මක බලපෑමක් කළ හැකි අය තුළ ස්ථිරවම පැවතීම—ඊටත් වඩා වැදගත්.

අපගේ ස්වර්ගීය පියාණන් විසින් නිර්මාණය කරන ලද ගැලවීමේ සැලැස්ම පිළිබඳ දැනුම මත, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටවූ වූ ශුභාරංචිය ලබා ගැනීම සහ ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ ආනුභාව ලත් මගපෙන්වීම මත රඳා පැවතීමට තරම් අප කොතරම් ආශිර්වාද ලත්ද! පාපයට ප්‍රතිරෝධී, පරීක්ෂාවට ප්‍රතිරෝධී, අපගේ ස්වර්ගීය පියාණන් සමඟ සහ අපගේ ආදරණීය පවුල් සමඟ එක්වීම සඳහා අපගේ සදාකාලික ඉරණම නිශ්ඵල කිරීමට මංමුලා සහගතව උත්සාහ කරන සාතන්ගේ ප්‍රහාරවලට ප්‍රතිරෝධී ජීවිත—එවැනි ප්‍රීරීතිමත් ජීවිත ගොඩනගා ගන්නේ කෙසේද කියා අපට පැහැදිලිව උගන්වන පෙර සඳහන් කළ සියල්ල දිව්‍යමය වශයෙන් නිර්මාණය කරන ලද “සැලසුම්” සහ “තාක්ෂණික පිරිවිතර” වෙනවා.

ගැලවුම්කරුවාණන්ව, උන්වහන්සේගේ දේවසේවයේ ආරම්භයේ දී, ”යක්ෂයා විසින් පරීක්ෂාවට ලක් කෙරුණා.”3 නමුත් යේසුස්වහන්සේ එම මහත් පරීක්ෂාවෙන් සාර්ථක ලෙස ගොඩට පැමිණියා. සාතන් විරෝධී හෝ පරීක්ෂාවට එරෙහි ආකල්පයක් තිබීම උන්වහන්සේට උපකාර වූයේ කොහොමද? එම දුෂ්කර අවස්ථාවන්ගෙන් යේසුස්වහන්සේ ජයග්‍රාහී ලෙස මතුවීමට සැලැස්වූයේ එදිරිවාදියාගේ පරීක්ෂාවන්ට එරෙහි වීමට හැකි තත්වයක සිටීමට උන්වහන්සේට ඉඩ සලසන උන්වහන්සේගේ අධ්‍යාත්මික සූදානමයි.

එම තීරණාත්මක මොහොත සඳහා ගැලවුම්කරුවාණන්ට සූදානම් වීමට උපකාර වූ සමහර සාධක මොනවාද?

පළමුව, උන්වහන්සේ දින 40 ක් සහ රාත්‍රී 40 ක් නිරාහාරව සිටි අතර, එය නිරන්තර යාච්ඤාවකින් සමන්විත වූ උපවාසයක් විය යුතු වුණා. එබැවින්, උන්වහන්සේ ශාරීරිකව දුර්වල වුවද, උන්වහන්සේගේ ආත්මය ඉතා ශක්තිමත් වුණා. වාසනාවකට මෙන්, එවැනි කාල සීමාවක් සඳහා නිරාහාරව සිටීමට අපෙන් ඉල්ලා නොසිටින නමුත්—ඒ වෙනුවට පැය 24 ක් සහ මසකට වරක් එය කළ යුතු වෙනවා—නිරාහාරව සිටීම අපට අධ්‍යාත්මික ශක්තිය ගෙන දෙන අතර මේ ජීවිතයේ පරීක්ෂාවන්ට ප්‍රතිරෝධී වීමට අපව සූදානම් කරනවා.

දෙවනුවට, ගැලවුම්කරුවාණන් ඉදිරිපත් කරන ලද පරීක්ෂාවන් පිළිබඳ වාර්තාවේ අපට පෙනෙන්නේ උන්වහන්සේ සෑම විටම සාතන්ට පිළිතුරු දුන්නේ ශුද්ධලියවිලි පද මනසේ තබාගෙන, ඒවා නියම මොහොතේ උපුටා දක්වමින් සහ නියම මොහොතේ ඒවා අදාළ කරගනිමින් බව පේනවා.

සාතන් උන්වහන්සේගේ දිගු නිරාහාරයෙන් කුසගින්න නිවා ගැනීමට ගල් රොටි බවට පත්කිරීමට උන්වහන්සේව පොළඹවන විට, උන්වහන්සේ උත්තර දෙමින් මෙසේ කිව්වා, “මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේ”.4 එවිට, ස්වාමින්වහන්සේ දේවමාළිගාවේ මුදුනේ සිටින විට, උන්වහන්සේගේ බලය පෙන්වීමට උන්වහන්සේව පොළඹවා ගැනීමට යක්ෂයා උත්සාහ කළ අතර, එයට ස්වාමින්වහන්සේ අධිකාරී බලයෙන් මෙසේ පිළිතුරු දුන්නා, “තාගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේව පරීක්ෂා නොකරව කියාත් ලියා තිබේ”.5 සාතන්ගේ තුන්වන උත්සාහයට ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින් මෙසේ කීවා, “තාගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේට නමස්කාර කරව, උන්වහන්සේට පමණක් සේවය කරවයි ලියා තිබේ.”6

භූමිකම්පාවක් සිදුවීම මගින්, නිවැරදිව සැලසුම් කර ගොඩනගා ඇති ව්‍යුහයන් මත පවා එහි සලකුණ තබනවා—සමහර විට සමහර ඉරිතැලීම්, වැටුණු ගෘහ භාණ්ඩ හෝ සිවිලිම්, කැඩුණු ජනේල යනාදිය වැනි ප්‍රතිවිපාක එයට ඇතුළත්. නමුත් මනාව සැලසුම් කර හොඳින් ගොඩනගා ඇති මෙම මන්දිරය එහි පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණ ඉටු කරන අතර සමහර අලුත්වැඩියාවන් සමඟ එය එහි මුල් තත්ත්වය යථා තත්ත්වයට පත්කරනවා.

ඒ හා සමාන ආකාරයකින්, පරිපූර්ණ දිව්‍යමය සැලැස්මට අනුව අපගේ ජීවිත ගොඩනගා ගැනීමට අප දරන උත්සාහයන් නොතකා, විරුද්ධවාදියාගේ පහරදීම් අපගේ ජීවිතවලට “ඉරිතැලීම්” හෝ යම් යම් හානි ඇති කරන්න පුළුවන්. යම් යම් වැරදි සිදු කර ඇති නිසා සහ සෑම දෙයක්ම හොඳින් සිදු නොකිරීම නිසා දුක හෝ පසුතැවිල්ල වැනි හැඟීම් හරහා, එහෙමත් නැතිනම් අපිට අවශ්‍ය තරම් අපි හොඳ නෑ කියන හැඟීම් මෙම “ඉරිතැලීම්” ලෙස ප්‍රකාශ වෙන්න පුළුවන්.

නමුත් ඇත්තටම අදාළ වන්නේ දිව්‍යමය වශයෙන් සැලසුම් කරන ලද සැලසුම් සහ පිරිවිතරයන්, ඒ තමයි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අනුගමනය කිරීම නිසා අප තවමත් සිටගෙන සිටීම. විරුද්ධවාදියාගේ උත්සාහයන් නිසා හෝ අපට මුහුණ දීමට සිදු වූ දුෂ්කර තත්වයන් නිසා අපගේ ජීවිතයේ ව්‍යුහය කඩා වැටී නෑ; ඒ වෙනුවට අපි ඉදිරියට යාමට සූදානම්.

අපගේ පැවැත්මේ අරමුණ ලෙස ශුද්ධලියවිලිවල පොරොන්දු වී ඇති ප්‍රීතිය,7 අපට දුෂ්කරතා හෝ දුකක් නොමැති වීම, විපත්තිවල ප්‍රතිවිපාක ලෙස නැතහොත් අපගේ පොළවේ ජීවිතයේ සැබෑ පරීක්ෂාවන්ගෙන් අපට “ඉරිතැලීම්” ඇති නොවීම ලෙස තේරුම් නොගත යුතුයි.

මෙම ප්‍රීතිය, ජීවිතය පිළිබඳ නෙපි පැවසූ ලෙස ඔහුගේ ඉදිරිදර්ශනය සමඟ සම්බන්ධ විය යුතුයි, ඔහු මෙසේ පැවසුවා, “තවද මාගේ දවස් වලදී බොහෝ පීඩාවන් දැක ඇත, එසේවුවත් ස්වාමින්වහන්සේගේ ප්‍රසාදය උසස් ලෙස මාගේ සියලු දවස් වල ලදිමි.”8 ඔහුගේ සියලු දවස් වල! ඔහුගේම සහෝදරයන්ගේ අනවබෝධය සහ ප්‍රතික්ෂේප කිරීම්වලදී නෙපි දුක් වින්ද දින පවා, ඔවුන් නැවේදී ඔහුව බැඳ තැබූ විට පවා, ඔහුගේ පියා වන ලෙහි මිය ගිය දවස පවා, ලාමන් සහ ලාමුවෙල් ඔහුගේ සෙනඟගේ මාරාන්තික සතුරන් බවට පත් වූ විට පවා. ඒ දුෂ්කර දවස්වලදී පවා නෙපිට ස්වාමින්වහන්සේගේ උසස් ප්‍රසාදය ලැබුණා.

අපට ඔරොත්තු දිය නොහැකි සීමාවෙන් ඔබ්බට පරීක්ෂාවට ලක් වීමට ස්වාමින්වහන්සේ කිසි විටෙකත් ඉඩ නොදෙන බව දැනගැනීමේ සන්සුන් භාවය අපට ලබාගන්න පුළුවන්. [අපට] දරාගත හැකි දෙයට වඩා [අපි] පරීක්ෂාවට ලක් නොවන පිණිස, සහ නිහතමානී, යටහත් පහත්, ඉවසිලිවන්ත, බොහෝ ප්‍රේමයෙන් සහ දරාගැනීමේ ශක්තියෙන් පිරී සිටීමට ශුද්ධාත්මයාණන් විසින් මෙහෙයවනු ලබන පිණිස “නොකඩවා බලා යාච්ඤා කරන” ලෙස ඇල්මා අපට ආරාධනා කරනවා.9

ජීවිතයේ පරීක්ෂාවන් සඳහා ද එය අදාළ කරගන්න පුළුවන්. අම්මොන් ස්වාමින්වහන්සේගේ වචන අපට මෙසේ මතක් කර දෙනවා: “යන්න … නුඹගේ පීඩාවන් ඉවසිල්ලෙන් දරාගන්න, තවද මම නුඹලාට සාර්ථකත්වය දෙන්නෙමි.”10

අප විපත්ති, පරීක්ෂාවන්, නොතේරුම්කම, දුර්වලතා සහ මරණයට පවා මුහුණ දෙන විට ස්වාමින්වහන්සේ සැමවිටම අපට සැමවිටම අවශ්‍ය දේවල් සපයනවා. උන්වහන්සේ මෙසේ පවසනවා, “තවද, දැන් සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, තවද එක් අයෙකුට කියන්නේ කුමක්ද මම සියල්ලන්ටම පවසන්නෙමි, කුඩා දරුවෙනි; ධෛර්යමත්ව සිටින්න, මක්නිසද මම නුඹලා මධ්‍යයේ වන්නෙමි, තවද මම නුඹලාව අත්හැර දමා නොමැත්තෙමි.”11 උන්වහන්සේ කිසිදා අපව අත් හරින්නේ නෑ!

අපගේ පියාණන් විසින් නිර්මාණය කරන ලද සහ අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් සාක්ෂාත් කර ගත් දිව්‍යමය නිර්මාණයේ සැලසුම් සහ තාක්ෂණික පිරිවිතරයන් අනුගමනය කරමින් අපගේ ජීවිත දිගටම ගොඩනගා ගැනීමට හැකි වේවායි මම යාච්ඤා කරනවා. මේ අනුව, අපගේ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම තුළින් අප වෙත ළඟා වන කරුණාව නිසා, පාපයට ප්‍රතිරෝධී, පරීක්ෂාවට ප්‍රතිරෝධී සහ අපගේ ජීවිතයේ දුක්ඛිත, දුෂ්කර කාලවලදී විඳදරාගැනීමට ශක්තිමත් ජීවිතයක් ගොඩනගා ගැනීමෙන් අපි සාර්ථක වෙයි. තවදුරටත්, අපගේ පියාණන්වහන්සේගේ සහ අපගේ ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය තුළින් පොරොන්දු වූ සියලු ආශිර්වාදවලට ප්‍රවේශ වීමට සුදුසු තත්වයක් යටතේ අපි සිටියි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.