ප්‍රධාන සම්මන්ත්‍රණය
ලෝකය ජයගෙන සහනය සොයා ගන්න
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ලෝකය ජයගෙන සහනය සොයා ගන්න

දෙවියන්වහන්සේ සමඟ ඇති ඔබේ ගිවිසුම් තුළින් ලෝකය ජයගැනීමෙන් මේ ලෝකයේ තීව්‍රතාවයෙන්, අවිනිශ්චිතතාවයෙන් සහ වේදනාවෙන් සහනයක් සොයා ගන්න.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මෙම උතුම් සබත් උදෑසන ඔබට සුබ පැතීමට ලැබීම ගැන මම ස්තූතිවන්ත වෙනවා. ඔබ නිරතුරුවම මගේ මනසෙහි සිටිනවා. ඔබ අවශ්‍යතා ඇති අයව දකින සෑම විටම ක්‍රියා කිරීමට පෙළඹෙන ආකාරය ගැන මම පුදුම වෙනවා. ඔබ නැවත නැවතත් පෙන්වන ඇදහිල්ල සහ සාක්ෂිය ගැන මම පුදුම වෙනවා. ඔබේ සිත් රිදවීම්, බලාපොරොත්තු සුන්වීම් සහ කනස්සල්ල ගැන මම අඬනවා. මම ඔබට ආදරෙයි. අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට ප්‍රේම කරන බව මම ඔබට සහතික වෙනවා. උන්වහන්සේලා ඔබේ තත්වයන්, ඔබේ යහපත්කම, ඔබේ අවශ්‍යතා සහ උපකාර ඉල්ලා ඔබ කරන ඔබේ යාච්ඤාවන් ගැන හොඳින් දන්නවා. උන්වහන්සේලාගේ ආදරය ඔබට දැනේවායි මම නැවත නැවතත් යාච්ඤා කරනවා.

කැළඹිලිකාරී ප්‍රවෘත්ති අපව දිනපතා අභියෝගයට ලක්කරන බවක් පෙනෙන්නට තිබෙන නිසා, උන්වහන්සේලාගේ ආදරය අත්විඳීම අත්‍යවශ්‍යයි. ඔබේ පිජාමා ඇඳගෙන, බෝලයක් මෙන් ගුලි වී, මේ කැළඹිලි අවසන් වූ විට ඔබව අවදි කරන ලෙස යමෙකුගෙන් ඉල්ලා සිටිය හැකි යැයි ඔබ ප්‍රාර්ථනා කළ දින ඔබට තිබෙන්න පුළුවන්.

නමුත්, මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, බොහෝ පුදුම දේවල් ඉදිරියේදී තිබෙනවා. ඉදිරි දිනවලදී, ලෝකය මෙතෙක් දැක ඇති ගැලවුම්කරුවාණන්ගේ බලයේ ශ්‍රේෂ්ඨතම ප්‍රකාශනයන් අපි දකිනවා. උන්වහන්සේ “බලයෙන් හා මහත් තේජසින් යුතුව”1 නැවත පැමිණෙන කාලය සහ වර්තමාන කාලය අතර, ඇදහිලිවන්තයින් මත අසංඛ්‍යාත වරප්‍රසාද, ආශිර්වාද සහ ප්‍රාතිහාර්යයන් උන්වහන්සේ විසින් ලබා දෙයි.

එසේ වුවද, අප දැනට ජීවත් වන්නේ ලෝක ඉතිහාසයේ වඩාත්ම සංකීර්ණ කාලයකයි. සංකීර්ණතා සහ අභියෝග බොහෝ දෙනෙකුව අධික ලෙස යටපත් කර වෙහෙසට පත් කරනවා. කෙසේ වෙතත්, ඔබට සහ මට සහනයක් ලබා ගත හැකි ආකාරය පිළිබඳ ආලෝකය විහිදුවන මෑතකාලීන අත්දැකීමක් සලකා බලන්න.

පසුගියදා වොෂින්ටන් ඩීසී දේවමාළිගාව බැලීම සඳහා අවසර දී ඇති විටදී, එය භාරව සිටි කමිටු සාමාජිකයෙකු විසින් ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුව දේවමාළිගාව හරහා කැඳවාගෙන යන විට ඔහු ඉතා නැණවත් හුවමාරුවක් අත්දුටුවා. කොහොම හරි තරුණ පවුලක් මේ මාධ්‍ය චාරිකාවට සම්බන්ධ වී තිබුණා. එක් වාර්තාකරුවෙක් දේවමාළිගාව මැදින් යන විට දේවමාළිගාවේ අනුශාසකයෙකුගේ ඔහුගේ හෝ ඇයගේ “ගමන” කෙසේද කියා දිගින් දිගටම විමසුවා. දේවමාළිගා ගමන පුද්ගලයෙකුගේ ජීවන ගමනේ ඇති අභියෝග සංකේතවත් කරන්නේ දැයි දැන ගැනීමට ඔහුට අවශ්‍ය වුණා.

ඒ පවුලේ තරුණ පිරිමි ළමයෙක් සංවාදයට සම්බන්ධ වුණා. මේ සංචාරක කණ්ඩායම බලයෙන් සැරසීමේ කාමරයකට ඇතුළු වූ විට, මේ පිරිමි ළමයා, මිනිසුන් දණින් වැටී දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කරගන්නා පූජාසනය පෙන්වා, මෙහෙම කිව්වා, “අනේ ඒක ලස්සනයි. දේවමාළිගා ගමනේදී මිනිසුන්ට විවේක ගැනීමට තැනක් මෙන්න.

ඔහුගේ නිරීක්ෂණය කෙතරම් ගැඹුරු දැයි පිරිමි ළමයා දැන සිටියාදැයි මට සැකයි. දේවමාළිගාවේදී දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇති කර ගැනීම සහ ගැලවුම්කරුවාණන්ගේ විස්මිත පොරොන්දුව අතර සෘජු සම්බන්ධය ගැන ඔහුට අවබෝධයක් නොතිබෙන්නට ඇති:

“වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබ සැමට සහනය දෙමි”.

“මාගේ වියගහ ඔබ පිටට ගෙන මා ගැන ඉගෙනගන්න; … තවද නුඹලාගේ ආත්ම වලට සහනය ලැබෙන්නේය.

“මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය.”2

හිතවත් සහෝදර සහෝදරියනි, සභා සාමාජිකත්වය සඳහා ඔවුන්ගෙන් ඕනෑවට වඩා බලාපොරරොත්තු වෙනවා යැයි හැඟෙන නිසා, සභාව හැර යන අය ගැන මම දුක්වෙනවා. ගිවිසුම් ඇති කර ගැනීම සහ තබා ගැනීම ඇත්ත වශයෙන්ම ජීවිතය පහසු කරන බව ඔවුන් තවමත් සොයාගෙන නෑ! බව්තීස්ම තටාක වල සහ දේවමාළිගාවල ගිවිසුම් ඇති කරගෙන—ඒවා තබා ගන්නා—සෑම පුද්ගලයෙකුටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලයට ප්‍රවේශය වැඩියෙන් තිබෙනවා. කරුණාකර ඒ විශ්මිත සත්‍යය මෙනෙහි කරන්න!

දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් පැවැත්වීමේ විපාකය ස්වර්ගීය බලයයි—ඒ බලය අපගේ අභියෝග, පරීක්ෂාවන් සහ සිත් වේදනාවන්ට අපට තවත් හොඳින් ඔරොත්තු දීමට හැකිවන ලෙස අපව ශක්තිමත් කරන බලයයි. මෙම බලය අපගේ මාර්ගය පහසු කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උසස් නීති අනුව ජීවත්වන අයට උන්වහන්සේගේ උසස් බලයට ප්‍රවේශය තිබෙනවා. මේ අනුව, ගිවිසුම්-රකින්නන් දෙවියන්වහන්සේ සමඟ ඇතිකරගන්නා ඔවුන්ගේ ගිවිසුම් සම්බන්ධතාවය තුළින් ඔවුන් වෙත පැමිණෙන විශේෂ ආකාරයේ සහනයක් සඳහා හිමිකම් ලබනවා.

ගැලවුම්කරුවාණන් ගෙත්සෙමන හා කල්වාරියේ වේදනාවට යටත් වීමට පෙර, උන්වහන්සේ තම ප්‍රේරිතවරුන්ට මෙසේ ප්‍රකාශ කළා, “ලෝකයේ ඔබට පීඩා තිබේ: නමුත් සතුටු සිතින් සිටින්න; මම ලෝකය ජයගත්තෙමි.”3 ඉන්පසුව, “ඔබ ලෝකය ජයගන්නවාට මම කැමැත්තෙමි4 කියා පැවසූ විට යේසුස්වහන්සේ අප සෑම කෙනෙකුටමත් එසේ කරන ලෙස ඉල්ලා සිටියා.

ආදරණීය සහෝදර සහෝදරියනි, අද මම ඔබට දෙන පණිවිඩය තමයි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙම වැටුණු ලෝකය ජයගත් නිසාත්, උන්වහන්සේ අප සෑම කෙනෙකුම වෙනුවෙන් වන්දි ගෙවූ නිසාත්, ඔබටත් මෙම පාපයෙන් සංතෘප්ත, ආත්මාර්ථකාමී සහ බොහෝ විට වෙහෙසකර ලෝකය ජයගන්න පුළුවන්.

ගැලවුම්කරුවාණන්, උන්වහන්සේගේ අසීමිත වන්දිගෙවීම තුළින් අප සෑම කෙනෙකුවම දුර්වලකමෙන්, වැරදිවලින් සහ පාපයෙන් මුදවාගත් නිසාත්, ඔබ මෙතෙක් විඳි සෑම වේදනාවක්ම, කනස්සල්ලක්ම සහ බරක්ම5 උන්වහන්සේත් අත්විඳ ඇති නිසාත්, ඔබ සැබවින්ම පසුතැවිලි වී උන්වහන්සේගේ උපකාරය පතන විට, මෙම වර්තමාන අවිනිශ්චිත ලෝකයට ඉහළින් නැගී සිටින්නට ඔබට පුළුවන් වෙනවා.

අධිමානය, උඩඟුකම, ක්‍රෝධය, දුරාචාරය, වෛරය, තණ්හාව, ඊර්ෂ්‍යාව සහ බිය ඇතුළු ලෝකයේ අධ්‍යාත්මිකව හා චිත්තවේගීයව වෙහෙසට පත් කරන වසංගතවලින් ඔබට ජයගන්න පුළුවන් වෙනවා. අප වටා කැරකෙන අවධානය වෙනතකට යොමු කිරීම් සහ විකෘති කිරීම් තිබියදීත්, ඔබට සැබෑ සහනය—එනම් විවේකය සහ සාමය—ඔබේ වඩාත්ම කරදරකාරී ගැටලු මධ්‍යයේ පවා සොයාගන්න පුළුවන් වෙනවා.

මෙම වැදගත් සත්‍යය මූලික ප්‍රශ්න තුනක් සඳහා පොළඹවනවා:

පළමුව, ලෝකය ජය ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

දෙවනුව, අපි එය කරන්නේ කොහොමද?

තෙවනුව, ලෝකය ජය ගැනීම අපගේ ජීවිතයට ආශිර්වාද කරන්නේ කොහොමද?

ලෝකය ජයගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එයින් අදහස් කරන්නේ දෙවියන්වහන්සේගේ දේවලට වඩා මේ ලෝකයේ දේවල් ගැන සැලකිලිමත් වීමට ඇති පරීක්ෂාව ජයගැනීමයි. එයින් අදහස් කරන්නේ මිනිසුන්ගේ දර්ශනවලට වඩා ක්‍රිස්තුස්වහන්සේගේ දහම කෙරෙහි විශ්වාස කිරීමයි. එයින් අදහස් කරන්නේ සත්‍යය තුළ ප්‍රීතිවීම, රැවටීම හෙළා දැකීම සහ “ක්‍රිස්තුස්වහන්සේගේ නිහතමානී අනුගාමිකයන්”6 බවට පත්වීමයි. එයින් අදහස් කරන්නේ ආත්මයාණන්ව දුරු කරන ඕනෑම දෙයකින් වැළකී සිටීමයි. එයින් අදහස් කරන්නේ අපගේ ප්‍රියතම පව් පවා “ඉවත දැමීමට” කැමැත්තෙන් සිටීමයි.7

දැන්, ලෝකය ජයගැනීම යන්නෙන් අදහස් කරන්නේ මේ ජීවිතයේ පරිපූර්ණ වීම නොවේ, නැතහොත් ඔබේ ගැටළු ඉන්ද්‍රජාලික ලෙස වාෂ්ප වී යනු ඇතැයි අදහස් කිරීමක්ද නොවේ—මොකද ඒවා එහෙම වෙන්නේ නෑ. ඒවගේම එයින් අදහස් කරන්නේ ඔබ වැරදි නොකර සිටින බවත් නොවේ. නමුත් ලෝකය ජයගැනීම යන්නෙන් අදහස් වන්නේ පාපයට ඔබේ ප්‍රතිරෝධය වැඩි වන බවයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ල වැඩි වන විට ඔබේ හදවත මෘදු වෙයි.8 ලෝකය ජයගැනීම යනු ඔබ කිසිවෙකුට හෝ වෙනත් ඕනෑම දෙයකට වඩා දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන්ට ප්‍රේම කිරීම කෙරෙහි වර්ධනය වීමයි.

එසේ නම්, අපි ලෝකය ජයගන්නේ කොහොමද? ඒ කොහොමද කියලා බෙන්යමින් රජතුමා අපිට ඉගැන්වුවා. “ස්වාභාවික මනුෂ්‍යයා දෙවියන්වහන්සේට සතුරෙක්” බවත්, “තවද ස්වභාවික මිනිසා පසෙක දමා ස්වාමින් වූ ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් ශුද්ධවන්තයෙකු බවට පැමිණ, ශුද්ධාත්මයාණන්ගේ පෙළඹවීම් වලට අවනත වුනොත් මිස” සදහටම එසේ වන බවත් ඔහු කිව්වා.9 ඔබ ආත්මයාණන්ගේ පෙළඹවීම් සොයන සහ අනුගමනය කරන සෑම අවස්ථාවකම, ඔබ ඕනෑම යහපත් දෙයක්—“ස්වභාවික මිනිසා” නොකරන දේවල්—කරන සෑම අවස්ථාවකම ඔබ ලෝකය ජයගනිමින් සිටිනවා.

ලෝකය ජය ගැනීම දවසකින් දෙකකින් සිදුවන සිදුවීමක් නොවේ. අප නැවත නැවතත් ක්‍රිස්තුස්වහන්සේගේ දහම වැළඳ ගන්නා විට එය ජීවිත කාලය පුරාම සිදු වෙනවා. දිනපතා පසුතැවිලි වීමෙන් සහ අපට බලය ලබා දෙන ගිවිසුම් පවත්වා ගැනීමෙන් අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල වර්ධනය කරගන්නවා. අපි ගිවිසුම් මාර්ගයේ රැඳී සිටින අතර ආත්මික ශක්තිය, පෞද්ගලික එළිදරව්, වර්ධනය වන ඇදහිල්ලක් සහ දේවදූතයන්ගේ සේවයෙන් ආශිර්වාද ලබනවා. ක්‍රිස්තුස්වහන්සේගේ දහමට අනුව ජීවත් වීමෙන් අපගේ ජීවිත තුළ අධ්‍යාත්මික ගම්‍යතාවක් ඇති කරගනිමින් බලවත්ම, ගුණවත් චක්‍රයක් නිපදවා ගන්න පුළුවන්.10

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උසස් නීතිවලට අනුව ජීවත් වීමට අප උත්සාහ කරන විට, අපගේ හදවත් සහ අපගේ ස්වභාවයන් වෙනස් වීමට පටන් ගන්නවා. ගැලවුම්කරුවාණන් අපව වඩා පිවිතුරු ප්‍රේමය, නිහතමානිකම, ත්‍යාගශීලී බව, කරුණාව, ස්වයං විනය, සාමය සහ සහනය යන දේවල් වලින් ආශිර්වාද කිරීමෙන් මෙම වැටුණු ලෝකයේ ඇදීමෙන් අපව ඉහළට ඔසවනවා.

දැන්, මෙය සහනයට වඩා වෙහෙස මහන්සි වී කළ යුතු අධ්‍යාත්මික වැඩක් ලෙස ඔබ සිතනවා වෙන්නට පුළුවන්. නමුත් මෙහි ඇති ශ්‍රේෂ්ඨ සත්‍යය මෙයයි: බලය, දේපළ, ජනප්‍රියත්වය සහ මාංශයේ සැප සම්පත්, සන්තෝෂය ගෙන දෙන බව ලෝකය අවධාරණය කළත්, ඒවා එසේ කරන්නේ නෑ! ඒවාට එසේ කරන්න බැහැ! ඒවා විසින් නිෂ්පාදනය කරන්නේ අන් කිසිවක් නොව, “දෙවියන්වහන්සේගේ ආඥා පිළිපදින අයගේ ආශිර්වාද ලත් හා ප්‍රීතිමත් තත්වයට හිස් ආදේශකයක් පමණයි.”11

සත්‍යය තමයි ඔබට කිසිදා සොයාගත නොහැකි තැනක සතුට සෙවීම වඩා වෙහෙසකර බවක් ගෙන දෙන්න පුළුවන්! කෙසේ වෙතත්, ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත වියගහකින් සම්බන්ධ වී, ලෝකය ජය ගැනීමට අවශ්‍ය අධ්‍යාත්මික කාර්යය කරන විට, මේ ලෝකයේ ඇදීමෙන් ඔබව ඔසවා තැබීමට බලය ඇත්තේ උන්වහන්සේට, ඇත්තෙන්ම උන්වහන්සේටම පමණයි.

දැන්, ලෝකය ජයගැනීම අපගේ ජීවිතයට ආශිර්වාද කරන්නේ කොහොමද? පිළිතුර පැහැදිලියි: දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් සම්බන්ධතාවයකට ඇතුල් වීම ජීවිතය පිළිබඳ සෑම දෙයක්ම පහසු කරවන ආකාරයෙන් අපව උන්වහන්සේට බැඳ තබනවා. කරුණාකර මාව වරදවා වටහා ගන්න එපා: ගිවිසුම් ඇති කරගැනීමෙන් ජීවිතය පහසු වන බව මම කිව්වේ නෑ. ඇත්ත වශයෙන්ම, විරුද්ධවාදියෙකු බලාපොරොත්තු වන්න, මොකද ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලය සොයා ගන්නවාට නපුරා අකමැතියි. නමුත් ගැලවුම්කරුවාණන් සමඟ ඔබව වියගහකින් සම්බන්ධ කරගැනීම යන්නෙන් අදහස් වන්නේ ඔබට උන්වහන්සේගේ ශක්තියට සහ මිදීමේ බලයට ප්‍රවේශය ඇති බවයි.

රූපය
සභාපති එස්රා ටෆ්ට් බෙන්සන්

සභාපති එස්රා ටෆ්ට් බෙන්සන්ගේ ගැඹුරු ඉගැන්වීමක් මම යළිත් තහවුරු කරන්නම්: “දෙවියන්වහන්සේ වෙත තම ජීවිතය හරවා ගන්නා පිරිමින් සහ කාන්තාවන් ඔවුන්ට කළ හැකි ප්‍රමාණයට වඩා බොහෝ දේ තම ජීවිතයෙන් උපයා ගත හැකි බව සොයා ගන්නවා. උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රීතිය ගැඹුරු කරයි, ඔවුන්ගේ දැක්ම පුළුල් කරයි, ඔවුන්ගේ මනස වේගවත් කරයි, … ඔවුන්ගේ ආත්මය ඔසවයි, ඔවුන්ගේ ආශිර්වාද වැඩි කරයි, ඔවුන්ගේ අවස්ථාවන් වැඩි කරයි, ඔවුන්ගේ ප්‍රාණයන් සනසයි, මිතුරන් ඇති කරවයි, එමෙන්ම සාමය වගුරුවයි.”12

ලෝකය ජයගැනීම සඳහා ස්වර්ගයේ උපකාරය පතන අය සඳහා මෙම අසමසම වරප්‍රසාදයන් පැමිණෙනවා. මේ සඳහා, මම පසුගිය මැයි මාසයේදී අපගේ තරුණ වැඩිහිටියන්ට දුන් අනුශාසනාවම සමස්ත සභාවේ සාමාජිකයන් වෙත ද ලබා දෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ ඔබේම සාක්ෂියේ වගකීම භාරගන්නා ලෙස මම එදා ඔවුන්ගෙන් ඉල්ලා සිටියා—දැන් එසේ කිරීමට මම ඔබෙන්ද අයැද සිටිනවා. ඒ වෙනුවෙන් වැඩ කරන්න. එය වර්ධනය වන පරිදි එය පෝෂණය කරන්න. එය සත්‍යයෙන් පෝෂණය කරන්න. නොඇදහිලිවන්ත පිරිමින් සහ ගැහැණුන්ගේ බොරු දර්ශනවලින් එය දූෂණය කරන්න එපා. ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ඔබගේ සාක්ෂිය අඛණ්ඩව ශක්තිමත් කිරීම ඔබේ ඉහළම ප්‍රමුඛතාවය ලෙස සලකන විට, ඔබේ ජීවිතයේ ප්‍රාතිහාර්යයන් සිදුවන දෙස බලා සිටින්න.13

අද උදෑසන මම ඔබෙන් කරන ආයාචනය තමයි, දෙවියන්වහන්සේ සමඟ ඇති ඔබේ ගිවිසුම් තුළින් ලෝකය ජයගැනීමෙන් මේ ලෝකයේ තීව්‍රතාවයෙන්, අවිනිශ්චිතතාවයෙන් සහ වේදනාවෙන් සහනයක් සොයා ගන්න. ඔබ ලෝකය ජයගැනීමට බැරෑරුම් ලෙස කටයුතු කරන බව ඔබේ යාච්ඤා සහ ක්‍රියාවන් තුළින් උන්වහන්සේට දන්වන්න. ඔබේ මනස ආලෝකමත් කර ඔබට අවශ්‍ය උපකාර එවන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටින්න. සෑම දිනකම, ඔබ යාච්ඤා කරන විට ඔබ වෙත පැමිණෙන සිතුවිලි සටහන් කරන්න; පසුව උනන්දුවෙන් ඒවා අනුගමනය කරන්න. දේවමාළිගාවේ වැඩි කාලයක් ගත කර මෙම වැටුණු ලෝකයෙන් ඉහළට යාමට දේවමාළිගාව ඔබට උගන්වන ආකාරය තේරුම් ගැනීමට උත්සාහ කරන්න.14

මම කලින් පැවසූ පරිදි, ඊශ්‍රායලය එක් රැස්කිරීම අද දිනයේදී ලෝකයේ සිදුවන වඩා වැදගත්ම කාර්යය යි. මෙම එක් රැස්වීමේ එක් තීරණාත්මක අංගයක් වන්නේ ස්වාමින්වහන්සේ නැවත පැමිණෙන විට උන්වහන්සේව පිළිගැනීමට හැකි, සූදානම් සහ සුදුසු ජනතාවක්; මේ වැටුණු ලෝකයට වඩා දැනටමත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව තෝරාගෙන ඇති ජනතාවක්; යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උසස්, ශුද්ධ වූ නීති අනුව ජීවත් වීමට ඔවුන්ගේ තෝරාගැනීමේ නිදහස ගැන ප්‍රීති වන ජනතාවක් සූදානම් කිරීමයි.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මේ ධර්මිෂ්ඨ මිනිසුන් බවට පත් වන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. අනෙකුත් සියලුම කැපවීම් වලට වඩා ඔබේ ගිවිසුම් අගය කරන්න. ඔබේ ජීවිතය තුළ දෙවියන්වහන්සේට ජය ගැනීමට ඔබ ඉඩ දෙන විට, මම ඔබට වැඩි සාමයක්, විශ්වාසයක්, ප්‍රීතියක් සහ ඔව්, සහනයක් පොරොන්දු වෙනවා.

මා වෙත පැවරී ඇති ශුද්ධ වූ ප්‍රේරිතවර බලයෙන්, මේ ලෝකය ජයගැනීමට ඔබ දරන උත්සාහයට මම ඔබට ආශිර්වාද කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබගේ ඇදහිල්ල වැඩි කරගැනීමටත්, උන්වහන්සේගේ බලය ලබා ගැනීමට වඩා හොඳින් ඉගෙන ගැනීමටත් මම ඔබට ආශිර්වාද කරනවා. වරදින් සත්‍යය අවබෝධ කර ගැනීමට හැකිවන ලෙස මම ඔබට ආශිර්වාද කරනවා. මේ ලෝකයේ දේවලට වඩා දෙවියන්වහන්සේගේ දේවල් ගැන සැලකිලිමත් වීමට මම ඔබට ආශිර්වාද කරනවා. ඔබ අවට සිටින අයගේ අවශ්‍යතා දැකීමට සහ ඔබ ආදරය කරන අයව ශක්තිමත් කිරීමට මම ඔබට ආශිර්වාද කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මේ ලෝකය ජයගත් නිසා ඔබටත් පුළුවන්. මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.