ප්‍රධාන සම්මන්ත්‍රණය
පිළිතුර යේසුස්වහන්සේයි
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


පිළිතුර යේසුස්වහන්සේයි

අභියෝග කොතරම් දුෂ්කර හෝ ව්‍යාකූල වුවත්, පිළිතුර සරල බව ඔබට සැමවිටම මතක තබාගන්න ඔබට පුළුවන්; එය සැමවිටම යේසුස් වහන්සේයි.

මෙම සම්මන්ත්‍රණ සැසියේදී ඔබට කතා කිරීමට ලැබීම මොනතරම් ගෞරවයක්ද. අද මම ඔබට මිතුරන් ලෙස ආමන්ත්‍රණය කරන්නම්. ගැලවුම්කරුවාණන් අපෙන් ඉල්ලා සිටින දේ අපි කරනවා නම් අපි උන්වහන්සේගේ මිතුරන් බව යොහාන්ගේ ශුභාරංචියේ උන්වහන්සේ ඉගැන්වුවා.1

අපව එකට බැඳ තබන්නේ ගැලවුම්කරුවාණන් කෙරෙහි අපගේ පුද්ගලික සහ සාමූහික ප්‍රේමය සහ උන්වහන්සේ සමඟ ඇති අපගේ ගිවිසුම්. සභාපති හෙන්රි බී. අයිරින් මෙසේ ඉගැන්වුවා: “ස්වාමින්වහන්සේ ඔබට කොතරම් ප්‍රේම කරනවාද සහ ඔබව විශ්වාස කරනවාද කියා ඔබට පැවසීමට මම කැමතියි. ඒවගේම, ඊටත් වඩා, උන්වහන්සේ ඔබ මත කොපමණ රඳා පවතීදැයි මම ඔබට පැවසීමට කැමතියි.”2

සභාපති රසල් එම්. නෙල්සන් විසින් මාව ප්‍රධාන අධිකාරිවරයෙකු ලෙස කැඳවූ විට, මම හැඟීම්වලින් පිරී ගියා. එය අතිමහත් දෙයක් වුණා. මගේ බිරිඳ ජූලී සහ මම සෙනසුරාදා දහවල් ප්‍රධාන සම්මන්ත්‍රණ සැසිවාරය එනතෙක් නොඉවසිල්ලෙන් බලා සිටියා. ඒ ස්ථිර වීම ගැන මම නිහතමානීව සතුටු වෙනවා. මගේ පළමු පැවරුමේදී නොවැටෙන ලෙස මම මගේ නියමිත අසුනට යන පියවර ප්‍රවේශමෙන් යුතුව තැබුවා.

එම සැසිවාරය අවසානයේ මට දැඩි ලෙස බලපෑ දෙයක් සිදු වුණා. ගණපූරණ සාමාජිකයන් පෝලිමක් සාදා අලුත් ප්‍රධාන අධිකාරිවරුන්ට එකින් එක්කෙනා බැගින් ආචාර කළා. ඒ හැමකෙනෙක්ම තම ආදරය සහ සහයෝගය බෙදාගත්තා. හෘදයාංගම හඬකින් ඔවුන් මෙසේ පැවසුවා, “කරදර වෙන්න එපා—ඔබ මෙයට අයිතියි.”

ගැලවුම්කරුවාණන් සමඟ අපගේ සම්බන්ධතාවයේදී, “උන්වහන්සේ බලන්නේ හදවත දෙස මිස පුද්ගලයා දෙස නොවේ.”3 උන්වහන්සේ තම ප්‍රේරිතයන්ව තෝරාගත් ආකාරය සලකා බලන්න. උන්වහන්සේ ඔවුන්ගේ තත්වය හෝ ධනය ගැන අවධානය යොමු කළේ නෑ. උන්වහන්සේව අනුගමනය කිරීමට උන්වහන්සේ අපට ආරාධනා කරනවා, ඒවගේම අපි උන්වහන්සේ සමඟ අයිති වන බව උන්වහන්සේ අපට සහතික කරන බව මම විශ්වාස කරනවා.

මෙම පණිවිඩය විශේෂයෙන්ම අදාළ වෙන්නේ සභාවේ යෞවනයන්ට. සභාපති නෙල්සන් ඔබ තුළ දකින දේ මම ඔබ තුළින් දකිනවා. ඔහු මෙසේ පැවසුවා “මෙම තරුණ පරම්පරාවේ ප්‍රතික්ෂේප කළ නොහැකි විශේෂ දෙයක් තිබෙනවා. මේ අවස්ථාවේදී ඔබව මෙලොවට එවීමට ඔබගේ ස්වර්ගීය පියාණන්වහන්සේට ඔබ කෙරෙහි දැඩි විශ්වාසයක් තිබිය යුතුයි. ඔබ ඉපදුණේ ශ්‍රේෂ්ඨත්වය සඳහායි!”4

මම යෞවනයින්ගෙන් ඉගෙන ගන්නා දේවල් ගැන මම කෘතඥ වෙනවා. මගේ දරුවන් මට උගන්වන දේ ගැනත්, අපේ ධර්මදූතයින් මට උගන්වන දේ ගැනත්, මගේ සහෝදරයින්ගේ දරුවන් මට උගන්වන දේ ගැනත් මම කෘතඥ වෙනවා.

ටික දවසකට කලින් මම මගේ සහෝදරයාගේ පුතා වන නෑෂ් සමඟ අපේ ගොවිපලේ වැඩ කරමින් සිටියා. ඔහුගේ වයස හයයි, ඔහුට පිරිසිඳු හදවතක් තිබෙනවා. නෑෂ් යන නම තියන මගේ ප්‍රියතම බෑණනුවන් ඔහුයි, ඒවගේම අද සම්මන්ත්‍රණයේදී කතා කරන ඔහුගේ ප්‍රියතම මාමා මම කියලා මම විශ්වාස කරනවා.

අපේ ව්‍යාපෘතියක් සඳහා විසඳුමක් ඉදිරිපත් කිරීමට ඔහු මට උදව් කළ විට, මම ඔහුට මෙහෙම කිව්වා, “නෑෂ්, ඒක හොඳ අදහසක්. ඔබ මෙතරම් බුද්ධිමත් වුණේ කොහොමද?” “රයන් මාමේ මේ ප්‍රශ්නෙට උත්තරේ ඔයා දන්නෙ නැත්තෙ කොහොමද” කියන හැඟීමකින් ඔහු මා දෙස බලාගෙන සිටියා.

ඔහු ඔහුගේ උරහිස් හකුලලා, සිනාසෙමින්, විශ්වාසයෙන් යුතුව, “යේසුස්වහන්සේ” කියලා කිව්වා.

මේ සරල හා ගැඹුරු ඉගැන්වීම ගැන නෑෂ් මට එදා මතක් කර දුන්නා. සරලම ප්‍රශ්නවලටත් සංකීර්ණම ප්‍රශ්නවලටත් උත්තර හැමදාම එකමයි. පිළිතුර තමයි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ. සෑම විසඳුමක්ම උන්වහන්සේ තුළ සොයාගන්න පුළුවන්.

යොහාන්ගේ ශුභාරංචියේ ගැලවුම්කරුවාණන් තම ගෝලයන්ට පැවසුවේ උන්වහන්සේ ඔවුන් සඳහා ස්ථානයක් සූදානම් කරන බවයි. තෝමස් ව්‍යාකූල වී ගැලවුම්කරුවාට මෙසේ කිව්වා:

“ස්වාමීනි, ඔබ කොතැනට යන්නේදැයි අපි නොදනිමු; එබැවින් අපට මාර්ගය දැනගත හැක්කේ කෙසේද?

“යේසුස්වහන්සේ ඔහුට කියන සේක: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරුණුකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත.”5

“මාර්ගය, සත්‍යය සහ ජීවනය” උන්වහන්සේ බව ගැලවුම්කරුවාණන් තම ගෝලයන්ට ඉගැන්වුවා. ස්වර්ගික පියාණන් වෙතට පැමිණෙන්නේ කෙසේද යන ප්‍රශ්නයට පිළිතුර උන්වහන්සේයි. අපගේ ජීවිත තුළ උන්වහන්සේගේ දිව්‍යමය භූමිකාව පිළිබඳ සාක්ෂියක් ලබා ගැනීම තරුණ වියේදී මා ඉගෙන ගත් දෙයක්.

මම ආර්ජන්ටිනාවේ ධර්මදූතවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී, සභාපති හොවාර්ඩ් ඩබ්. හන්ටර් විසින් මගේ ජීවිතයට ප්‍රබල බලපෑමක් ඇති කරන දෙයක් කිරීමට අපට ආරාධනා කළා. ඔහු මෙහෙම කිව්වා, “අපි ක්‍රිස්තුස්වහන්සේව හඳුනනවාට වඩා හොඳින් උන්වහන්සේව දැන සිටිය යුතුයි; අපි උන්වහන්සේව සිහිපත් කරනවාට වඩා වැඩි වාර ගණනක් උන්වහන්සේව සිහිපත් කළ යුතුයි; අපි උන්වහන්සේට සේවය කරනවාට වඩා තවත් උවමනාවෙන් උන්වහන්සේට සේවය කළ යුතුයි.”6

වඩා හොඳ ධර්මදූතවරයෙක් වෙන්නේ කොහොමද කියලා ඒ වෙලාවේ මම හිතමින් සිටියා. මේ තමයි පිළිතුර: ක්‍රිස්තුස්වහන්සේව දැන ගැනීම, උන්වහන්සේ සිහි කිරීම සහ උන්වහන්සේට සේවය කිරීම. ලොව පුරා සිටින ධර්මදූතවරුන් මෙම අරමුණ සඳහා එක්සත් වී සිටිනවා: ඒ තමයි “ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල සහ උන්වහන්සේගේ වන්දිගෙවීම තුළින්ද, පසුතැවිලි වීම, බව්තිස්මය, ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව ලැබීම, සහ අවසානය දක්වා විඳ දරාගැනීම තුළින්ද නැවත පිහිට වූ ශුභාරංචිය ලබාගැනීමට උපකාර කිරීම තුළින්, අනෙක් අයට ක්‍රිස්තුස්වහන්සේ වෙත පැමිණෙන ලෙස ආරාධනා කිරීම.”7 ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන ලෙස, ඒ ධර්මදූතයින්ට සවන්දෙන අපගේ මිතුරන්ට මම මගේ ආරාධනය එකතු කරනවා. අපි එක්ව උන්වහන්සේව දැන හඳුනා ගැනීමටත්, උන්වහන්සේව සිහිපත් කිරීමටත්, උන්වහන්සේට සේවය කිරීමටත් උත්සාහ කරමු.

ධර්මදූතයක සේවය කිරීම මගේ ජීවිතයේ පූජනීය කාලයක් වුණා. පූර්ණ කාලීන ධර්මදූතවරයෙකු ලෙස මම ඔහු සමඟ කළ අවසාන සම්මුඛ සාකච්ඡාවේදී, සභාපති බ්ලෙයාර් පින්කොක්, ඔහු සහ ඔහුගේ බිරිඳ ඔවුන්ගේ සේවය අවසන් වීමට ආසන්නව සිටි බැවින්, ධර්මදූත නායකයින් සඳහා ඉදිරියේදී සිදුවන වෙනස්කම් ගැන කතා කළා. අපි දෙදෙනාම ගොඩක් ආදරේ කරපු දෙයක් දාලා යන එක ගැන අපි දෙන්නටම දුක හිතුනා. පූර්ණ කාලීන ධර්මදූතයෙකු නොවීම ගැන සිතීම නිසා මා කැළඹී ඇති බව ඔහු දුටුවා. ඔහු දැඩි ඇදහිල්ලක් ඇති මිනිසෙක්, ඒවගේම පෙර වසර දෙකේදී මෙන්ම ආදරයෙන් ඔහු මට මෙහෙම ඉගැන්නුවා. ඔහු තම මේසයට උඩින් තිබූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පින්තූරය පෙන්වමින් මෙහෙම කිව්වා, “වැඩිහිටි ඕල්සන්, මේ උන්වහන්සේගේ කාර්යය බැවින් සියල්ල හොඳින් සිදුවෙයි.” ගැලවුම්කරුවාණන් අප සේවය කරන අතරතුර පමණක් නොවේ නමුත් අප උන්වහන්සේට ඉඩ දෙනවා නම්—සෑම විටම උන්වහන්සේ අපට උපකාර කරන බව දැනගත් විට මට සැනසීමක් දැනුණා.

එහෙත් පින්කොක් සහෝදරිය ඇගේ හදවතේ ගැඹුරින් සරල ස්පාඤ්ඤ වාක්‍ය ඛණ්ඩවලින් අපට ඉගැන්නුවා. “හේසුක්‍රිස්ටෝ විවෙ” කියා ඇය පැවසූ විට එය සත්‍ය බවත් උන්වහන්සේ ජීවමාන බවත් මම දැනගෙන හිටියා. “එල්ඩර්ස් යෙ හර්මනාස්, ලෙස් අමෝ” යැයි ඇය පැවසූ විට, ඇය අපට ආදරය කරන බවත්, අප සැමවිටම ගැලවුම්කරුවාණන්ව අනුගමනය කරනවාට ඇය කැමති බවත් මම දැනගෙන හිටියා.

උරුගුවේ හි සිටින කැපී පෙනෙන ධර්මදූතවරුන් සමඟ වැඩ කිරීමට ධර්මදූත නායකයන් ලෙස සේවය කිරීමට මම සහ මගේ බිරිඳ මෑතකදී ආශිර්වාදිත වුණා. ඔවුන් ලෝකයේ හොඳම ධර්මදූතවරුන් බව මම කියනවා, සෑම ධර්මදූත නායකයෙකුටම එසේ හැඟෙන බව මම විශ්වාස කරනවා. මෙම ගෝලයන් ගැලවුම්කරුවාණන්ව අනුගමනය කිරීම ගැන සෑම දිනකම අපට ඉගැන්නුවා.

නිතිපතා සම්මුඛ සාකච්ඡා අතරතුර, අපගේ ශ්‍රේෂ්ඨ ධර්මදූත සහෝදරියන්ගෙන් කෙනෙක් කාර්යාලයට ආවා. ඇය සාර්ථක ධර්මදූතවරියක්, විශිෂ්ට පුහුණුකාරිණියක් සහ කැපවූ නායිකාවක්. ඇයගේ සහායිකාවන් විසින් ඇයව උසස් කොට සැලකූ අතර මිනිසුන් විසින් ඇය ආදරය ලැබුවා. ඇය කීකරුයි, නිහතමානී සහ විශ්වාසවන්තයි. අපගේ පෙර හමුවීම් වලදී අපි ඇයගේ ප්‍රදේශය සහ ඇය උගන්වමින් සිටි පුද්ගලයින් කෙරෙහි අවධානය යොමු කළා. මෙම හමුවීම ඊට වඩා වෙනස් වුණා. ඇයට කොහොමද කියලා මම ඇයගෙන් ඇහුවාම ඇය කණස්සල්ලෙන් ඉන්න බව මට තේරුණා. ඇය මෙහෙම කිව්වා, “සභාපති ඕල්සන්, මට මේක කරන්න පුලුවන්ද කියලා මම දන්නේ නෑ. මම කවදා හොඳ කෙනෙක් වෙයිද දන්නේ නැහැ. ස්වාමින්වහන්සේට අවශ්‍ය විදිහේ ධර්මදූතවරියක් වෙන්න මට පුලුවන්ද කියලා මම දන්නේ නෑ.”

ඇය කැපී පෙනෙන ධර්මදූතවරියක්. සෑම ආකාරයකින්ම විශිෂ්ටයි. ධර්මදූත සභාපතිවරයෙකුගේ සිහිනයක්. ධර්මදූතවරියක් ලෙස ඇයගේ හැකියාවන් ගැන මම කවදාවත් කනස්සල්ලට පත්වුණේ නෑ.

මම ඇයට ඇහුම්කන් දෙද්දී, මම කුමක් කියන්නද කියා අරගල කළා. මම නිහඬව යාච්ඤා කළා: “ස්වර්ගයේ පියාණෙනි, ඇය විශිෂ්ට ධර්මදූතවරියක්. ඇය ඔබේ යි. ඇය සෑම දෙයක්ම නිවැරදිව කරනවා. මට මේක අවුල් කරන්න ඕන නෑ. කරුණාකර මට කිව යුතු දේ දැන ගැනීමට උදව් කරන්න.”

මට වචන ආවා. මම කිව්වා, “හර්මනා, මට දුකයි ඔයාට මෙහෙම දැනුණ එක ගැන. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. මේ ආකාරයෙන් හැඟෙන මිතුරෙකුට ඔබ උගන්වමින් සිටියා නම්, ඔබ කුමක් කියයිද?

ඇය මා දෙස බලා සිනාසුනා. එම නොවරදින ධර්මදූත ආත්මය සහ ඒත්තු ගැන්වීමෙන් ඇය මෙහෙම කිව්වා, “සභාතිතුමනි, එය පහසුයි. ගැලවුම්කරුවාණන් ඇයව හොඳින් දන්නා බව මම ඇයට කියනවා. උන්වහන්සේ ජීවමාන බව මම ඇයට කියනවා. උන්වහන්සේ ඔබට ආදරෙයි. ඔබ හොඳටම ප්‍රමාණවත් ඒවගේම ඔබට මේක කරන්න පුළුවන්!”

මඳ සිනහවකින් ඇය මෙහෙම කිව්වා, “මම හිතන්නේ ඒක අපේ යාළුවන්ටත් අදාළ නම් මටත් ඒක අදාළයි.”

අපට ප්‍රශ්න හෝ සැකයක් ඇති වූ විට, විසඳුම් ඉතා සංකීර්ණ බව හෝ පිළිතුරු සෙවීම අවුල් සහගත බව අපට හැඟෙන්නට පුළුවන්. විරුද්ධවාදියා, සියලු බොරු වල පියා ව්‍යාකූලත්වයේ ගෘහ නිර්මාණ ශිල්පියා බව අපි මතක තබා ගනිමු.8

ගැලවුම්කරුවාණන් සරලත්වයේ ස්වාමියා යි.

සභාපති නෙල්සන් මෙසේ උගන්වා තිබෙනවා:

“සතුරා දක්ෂයි. සහස්‍ර ගණනාවක් තිස්සේ ඔහු හොඳ නපුර ලෙස පෙනෙන්නටත් නපුර හොඳ ලෙස පෙනෙන්නටත් සලස්වා තිබෙනවා. ඔහුගේ පණිවිඩ ඝෝෂාකාරී, නිර්භීත හා පුරසාරම් දෙඩීමට නැඹුරු වෙනවා.

“කෙසේවෙතත්, අපගේ ස්වර්ගික පියාණන්ගේ පණිවිඩ කැපීපෙනෙන ලෙස වෙනස්. උන්වහන්සේ සරලව, නිහඬව හා ඉතා පැහැදිලිව සන්නිවේදනය කරන්නේ අපට උන්වහන්සේව වරදවා වටහාගත නොහැකි ලෙසයි.”9

දෙවියන්වහන්සේ තම පුත්‍රයාව එවීමට තරම් අපට ප්‍රේම කිරීම ගැන අපි කොතරම් ස්තූතිවන්ත වෙනවාද? පිළිතුර උන්වහන්සේයි.

සභාපති නෙල්සන් මෑතකදී මෙසේ පැවසුවා:

“යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අදට වඩා වෙන කවරදාකවත් අවශ්‍ය වී නෑ.

“නුඹලා ‘ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට ශුභාරංචිය ප්‍රකාශ කරන්න’ ලෙස තම ගෝලයන්ට ස්වාමින්වහන්සේගේ උපදෙස් අනුගමනය කිරීමේ හදිසි අවශ්‍යතාවය මෙය අවධාරණය කරනවා.”10

සේවය කිරීමට තෝරා ගන්නා අයට, ඔබ අනාගතවක්තෘවරයෙකුගේ කැඳවීමට අවනත වන විට ලැබෙන ආශිර්වාද ගැන මට සහතික වෙන්න පුළුවන්. සේවය කිරීම ඔබ ගැන නොවේ; එය ගැලවුම්කරුවාණන් ගැන යි. ඔබව යම් ස්ථානයකට කැඳවනු ලැබෙයි, නමුත් වඩා වැදගත් ලෙස ඔබව සෙනඟක් සඳහා කැඳවනු ලැබෙයි. පිළිතුර යේසුස්වහන්සේ බව තේරුම් ගැනීමට නව මිතුරන්ට උපකාර කිරීමේ විශාල වගකීමක් සහ ආශිර්වාදයක් ඔබට ලැබෙයි.

මේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාව වන අතර අප අයත් වන්නේ මෙහියි. සභාපති නෙල්සන් අපට කරන්නට අපව ආදරයෙන් දිරිමත් කරන සෑම දෙයක්ම ගැලවුම්කරුවාණන් වෙතට අපව ළං කරනවා.

මගේ ඥාති පුත්‍රයා වන නැෂ් ඇතුළුව—අපගේ මනරම් තාරුණ්‍යයට—ඔබේ ජීවිත කාලය පුරාම, අභියෝග කොතරම් දුෂ්කර හෝ ව්‍යාකූල වුවත්, පිළිතුර සරල බව ඔබට සැමවිටම මතක තබාගන්න ඔබට පුළුවන්: එය සැමවිටම යේසුස් වහන්සේයි.

අනාගතවක්තෘවරුන්, දිවැසිවරුන් සහ එළිදරව් කරන්නන් ලෙස අප ස්ථිර කරන අය බොහෝ අවස්ථාවලදී පවසන පරිදි සහ මම අසා ඇති පරිදි, අපි ඔබට ආදරය කරන බවත්, අපි ඔබට ස්තූතිවන්ත වන බවත්, අපට ඔබව අවශ්‍ය බවත් මමත් කියනවා. ඔබ අයිති ස්ථානය මෙයයි.

මම ගැලවුම්කරුවාණන්ට ආදරෙයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන උන්වහන්සේගේ නාමය ගැන වුවත් මම සාක්ෂි දරනවා. උන්වහන්සේ “අපගේ ඇදහිල්ලේ කතුවරයා සහ අවසන් කරන්නා”11 බවත්, සරලත්වයේ ස්වාමියා බවත් මම සාක්ෂි දරනවා. පිළිතුර යේසුස් වහන්සේයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.