ප්‍රධාන සම්මන්ත්‍රණය
ඔබ තවමත් කැමැත්තෙන් සිටිනවාද?
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඔබ තවමත් කැමැත්තෙන් සිටිනවාද?

යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට අපගේ කැමැත්ත ශුද්ධ ස්ථානවල සිටීමට අප කැප කරන කාලයට සෘජුවම සමානුපාතික වෙනවා.

සති කිහිපයක ස්ටේක සම්මන්ත්‍රණ පැවරුම් වලින් පසු එක් ඉරිදා දිනක සක්‍රමේන්තුවට සහභාගී වීමට මම සූදානම් වෙමින් සිටියදී, මගේ මනස හරහා සිත්ගන්නාසුලු සහ බලවත් සිතුවිල්ලක් ගමන් කළා.

පූජකයා පාන් මත ආශිර්වාද කිරීමට පටන් ගත් විට, මම මීට පෙර බොහෝ වාරයක් අසා ඇති ඒ වචන මගේ මනස සහ හදවතට බලහත්කාරයෙන් මෙන් තදින්ම දැනුණා. “තවද ඔබවහන්සේ වෙතට සාක්ෂි දරනු පිණිසය, අහෝ දෙවි වූ, සදාතනික පියාණන්වහන්ස, එනම් ඔවුන් ඔබවහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමය ඔවුන් මත ගැනීමට කැමතිව, උන්වහන්සේව සැමවිට සිහිකරමින්, උන්වහන්සේ ඔවුන්ට දුන්නා වූ එම උන්වහන්සේගේ ආඥාවන් තැබීමටය; එනම් ඔවුන්ට සැමවිට උන්වහන්සේගේ ආත්මය ඔවුන් සමඟ පවතින පිණිසය.”1 අපි කැමැත්තෙන් සිටින බව අපි කී වතාවක් දෙවියන්වහන්සේට සාක්ෂි දරා තිබෙනවාද?

ඒ පූජනීය වචනවල වැදගත්කම ගැන මම කල්පනා කරද්දී, කැමැත්ත කියන වචනය වෙන කවරදාටත් වඩා මගේ සිත් ගත්තා. ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය සඳහා ආදරයකින් සහ කෘතඥතාවයෙන් යුතුවත්, පියාණන්වහන්සේගේ මිදීමේ සැලැස්ම තුළ මගේ පවුල සහ මා වෙනුවෙන් උන්වහන්සේගේ තීරණාත්මක කාර්යභාරය ගැනත් ආදරයකින් සහ කෘතඥතාවයකින් මගේ මනස සහ හදවත පිරී ගියා. ඉන්පසු ජලය මත යාච්ඤාවේ විනිවිද යන වචන මට ඇසුණා සහ දැනුණා: “තවද ඔබවහන්සේ වෙතට ඔවුන් සාක්ෂි දැරීමටය, … එනම් ඔවුන් සැමවිට උන්වහන්සේව සිහිකිරීමටය.”2 මගේ ගිවිසුම් තබා ගැනීම හොඳ චේතනාවකට වඩා වැඩි දෙයක් විය යුතු බව මම ඒ මොහොතේ පැහැදිලිව තේරුම් ගත්තා.

සක්‍රමේන්තුවට සහභාගී වීම අපගේ හුදු කැමැත්තෙන් සිදුවෙන නිෂ්ක්‍රීය ආගමික චාරිත්‍රයක් නොවේ. එය ගැලවුම්කරුවාණන්ගේ අසීමිත වන්දිගෙවීමේ යථාර්ථය සහ කේන්ද්‍රීයත්වය පිළිබඳ බලවත් සිහිගැන්වීමක් වන අතර සෑම විටම උන්වහන්සේව සිහිපත් කර උන්වහන්සේගේ ආඥා පිළිපැදීමේ අවශ්‍යතාවයයි. ගැලවුම්කරුවාණන් කෙරෙහි අවධානය යොමු කිරීමට ඇති කැමැත්ත ඉතා තීරණාත්මකයි මොකද ඒ තමයි සභාවේ වැඩිපුරම උපුටා දක්වන ලද ශුද්ධලියවිලි පද දෙක වන සක්‍රමේන්තු යාච්ඤාවේ කේන්ද්‍රීය පණිවිඩය. ස්වර්ගීය පියාණන්වහන්සේ තම ඒකජාතක පුත්‍රයාණන් තුළින් අප සෑම කෙනෙකුටම ඉතා කැමැත්තෙන් පිරිනමන දේ පිළිබඳ සත්‍යය අවබෝධ කරගැනීමටත්, ඒ සඳහා සැමවිටම කැමැත්තෙන් සිටීමටත් අපි අපගේ උපරිම උත්සාහය අවදි කළ යුතුයි.

අපගේම අධ්‍යාත්මික පදනම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත ස්ථිරව ගොඩනගා තිබෙනවාද?

අපගේ අධ්‍යාත්මික පදනම නොගැඹුරු හෝ අවිචක්ෂණ නම්, සමාජ පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණයක් හෝ පුද්ගලික අපහසුතා දර්ශකයක් මත අපගේ කැමැත්ත පදනම් කිරීමට අප නැඹුරු වෙන්න පුළුවන්. සභාව මූලික වශයෙන් යල් පැන ගිය හෝ දේශපාලනික වශයෙන් වැරදි සමාජ ප්‍රතිපත්ති, යථාර්ථවාදී නොවන පුද්ගලික සීමා කිරීම් සහ කාලය කැපකළ යුතු දේවල් වලින් සමන්විත වේ යන ආඛ්‍යානය අප වැළඳ ගන්නවා නම්, කැමැත්ත පිළිබඳ අපගේ නිගමන දෝෂ සහිත වෙනවා. කැමැත්තේ මූලධර්මය, සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන් හෝ TikTok ලෝලීන් සමඟ ප්‍රසිද්ධ වනු ඇතැයි අප බලාපොරොත්තු නොවිය යුතුයි. මිනිසුන්ගේ ක්‍රම දිව්‍යමය සත්‍යය සමග ගැලපෙන්නේ කලාතුරකින්.

සභාව යනු දෙවියන්වහන්සේට ප්‍රේම කරන සහ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට කැමති අසම්පූර්ණ පුද්ගලයන් සඳහා එක්රැස් වන ස්ථානයක්. එම කැමැත්ත මුල් බැස ඇත්තේ යේසුස්වහන්සේ ක්‍රිස්තුස් බවත්, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයා බවත් යන යථාර්ථය තුළයි. මෙම දිව්‍යමය සත්‍යය දැනගත හැක්කේ ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් පමණයි. එමනිසා, අපගේ කැමැත්ත ශුද්ධාත්මයාණන්ගේ බලපෑම පවතින ශුද්ධ ස්ථානවල සිටීමට අප කැපවන කාලයට සෘජුව සමානුපාතික වෙනවා.

ස්වර්ගයේ සිටින ආදරණීය පියෙකු සමඟ අපගේ ගැටළු සාකච්ඡා කරමින් අර්ථවත් සංවාදයක වැඩි කාලයක් ගත කිරීම සහ වෙනත් හඬවල්වල අදහස් සෙවීමට අඩු කාලයක් ගත කිරීම අපි හොඳින් කරයි. අපගේ දෛනික ප්‍රවෘත්ති සංග්‍රහය ශුද්ධලියවිලි වල ක්‍රිස්තුස්වහන්සේගේ වචනවලට සහ උන්වහන්සේගේ ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ අනාවැකිමය වචනවලට වෙනස් කිරීමට ද අපට තෝරා ගන්න පුළුවන්.

අපගේ සබත් දින සැමරීම, අවංකව දසයෙන් කොටස ගෙවීම, වත්මන් දේවමාළිගා නිර්දේශයක් තිබීම, දේවමාළිගාවට පැමිණීම, සහ අපගේ පූජනීය දේවමාළිගා ගිවිසුම්වලට ගරු කිරීම යන සියල්ලට අපි ලබාදෙන වැදගත්කම අපගේ කැපවීමට අප ලබාදෙන අපගේ කැමැත්ත පිළිබඳ ප්‍රබල දර්ශක වෙනවා. ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ශක්තිමත් කිරීම සඳහා මතුපිටින් පෙනෙන උත්සාහයකට වඩා වැඩි යමක් කිරීමට අප කැමතිද?

ස්වර්ගීය පියාණන්වහන්සේ අපට පරිපූර්ණ ලෙස ප්‍රේම කරන නමුත් එම ප්‍රේමය විශාල අපේක්ෂාවන් සමඟ පැමිණෙනවා. ගැලවුම්කරුවාණන්ව අපගේ ජීවිතයේ කේන්ද්‍රස්ථානයේ කැමැත්තෙන්ම තැබීම උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. සෑම දෙයකදීම පියාණන්වහන්සේට යටත් වීමට ඇති කැමැත්ත ගැන අපගේ පරිපූර්ණ ආදර්ශය ගැලවුම්කරුවාණන්. “මාර්ගය, සත්‍යය සහ ජීවනය” උන්වහන්සේ යි.3 උන්වහන්සේ කැමැත්තෙන්ම අපේ පව්වලට වන්දිගෙව්වා. උන්වහන්සේ කැමැත්තෙන්ම අපගේ බර ලිහිල් කරනවා, අපගේ බිය සමනය කරනවා, අපට ශක්තිය ලබා දෙනවා, ඒවගේම විපත්ති සහ ශෝක කාලවලදී අපගේ හදවත්වලට සාමය සහ අවබෝධය ගෙන දෙනවා.

නමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තවමත් තෝරා ගැනීමක් පමණයි. උන්වහන්සේගේ වචන “විශ්වාස කිරීමට [අපට] ඇති ආශාවට වඩා වැඩි යමක් කළ නොහැකි නම්,”4 අපගේ ඇදහිල්ලේ ගමන ආරම්භ කිරීමට හෝ යළි පිහිටුවීමට අපට ආරම්භක ලක්ෂ්‍යයක් තිබෙනවා. උන්වහන්සේගේ වචන, බීජයක් මෙන් අපගේ හදවත් තුළ රෝපණය කර ඉතා පරිස්සමින් පෝෂණය කළ හොත්, අපගේ ඇදහිල්ල මුල් බැස ගන්නා අතර, එය සුරැකුමක් දක්වා වර්ධනය වී ක්‍රියාවේ සහ බලයේ මූලධර්මයක් බවට පත්වෙනවා. මොර්මොන්ගේ පොත ඇදහිල්ල වර්ධනය කිරීම සඳහා සහ එය නැවත ගොඩනැගීම අපගේ බලවත්ම සම්පතයි. කැමැත්ත යනු ඇදහිල්ලේ උත්ප්‍රේරකයක්.

දිව්‍යමය සැලැස්මට අනුව ලෞකිකත්වය පහසු නොවන අතර සමහර අවස්ථාවලදී දරගාන්නට බැරි තරම් දෙයක් වෙන්න පුළුවන්. කෙසේ වෙතත්, “[අපි] සිටින්නේ, [අපට] ප්‍රීතිය ඇති වන පිණිසයි”!5 ගැලවුම්කරුවාණන් සහ අපගේ ගිවිසුම් කෙරෙහි අවධානය යොමු කිරීම සදාකාලික ප්‍රීතිය ගෙන දෙනවා! ලෞකිකත්වයේ අරමුණ තමයි අපගේ කැමැත්ත ඔප්පු කිරීම. “ජීවිතයේ ශ්‍රේෂ්ඨ කර්තව්‍යය [සහ අනුගාමිකත්වයේ මිල වන්නේ,] ස්වාමින්වහන්සේගේ කැමැත්ත ඉගෙනගෙන එය ඉටුකිරීම යි.”6 සැබෑ අනුගාමිකත්වය ප්‍රීතියේ පූර්ණත්වයකට මගපාදනවා. අනුගාමිකත්වයේ මිල ගෙවීමට අපි සූදානම්ද?

ගිවිසුම් මාර්ගය සරල පිරික්සුම් ලැයිස්තුවක් නොවේ; එය අධ්‍යාත්මික වර්ධනයේ ක්‍රියාවලියක් වන අතර ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ගැඹුරු කැපවීමක්. සෑම ආඥාවකම, මූලධර්මයක, ගිවිසුමක සහ නියෝගයක කේන්ද්‍රීය අරමුණ වන්නේ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල සහ විශ්වාසය ගොඩනැගීමයි. එබැවින්, අපගේ ජීවිතය ක්‍රිස්තුස්වහන්සේ මත කේන්ද්‍රගත කිරීමට අපගේ අධිෂ්ඨානය ස්ථාවර විය යුතුයි—එය කොන්දේසි සහිත, අවස්ථාවාදී හෝ අවිචක්ෂණ දෙයක් නොවිය යුතුයි. “සෑම වෙලාවකදීම, සෑම දෙයකදීම, සෑම ස්ථානයකදීම දෙවියන්වහන්සේගේ සාක්ෂිකරුවන් ලෙස නැගී සිටීමට”7 අපගේ කැමැත්තෙන් අපට නිවාඩු දින හෝ පෞද්ගලික කාලය ගත කිරීමට වෙලාව වෙන් කරගන්නට අපට හැකියාවක් නෑ. අනුගාමිකත්වය ලාභ දෙයක් නොවේ, මොකද ශුද්ධාත්මයාණන්වහන්සේගේ සහකාරත්වය මිල කරන්න බැහැ.

ස්වාමින්වහන්සේ කන්‍යාවන් දස දෙනාගේ උපමාව උගන්වද්දී අපේ දවස ගැන සිතමින් සිටි බව නිසැකයි. ප්‍රඥාවන්තයන් පස්දෙනා ගැන ඔහු මෙහෙම කිව්වා, අඥානයන්ගේ පහන් තෙල් හිඟකම නිසා “නිවී ගිය”9 නමුත්, ඔවුන් “ඔවුන්ගේ මගපෙන්වුම්කරු ලෙස ශුද්ධාත්මයන්වහන්සේව ලබාගත්තා, තවද [ඔවුන්] රැවටීමට ලක්වුණේ නෑ.”8 සභාවේ කලක් විශ්වාසවන්තව සිටි මෙම සාමාජිකයන් ගැන නෙපිගේ වදන් හොඳින්ම විස්තර කරනවා: “තවද ඔහු අනෙක් තැනැත්තන්ව සනසමින්, තවද ඔවුන්ව රවටමින් මාංශික ආරක්ශාවකට ගෙන යන්නේය, ඔවුන් මෙසේ කියන්නෝය: සයොනයේ සියල්ල යහපත්ය.”10

ලෞකික ආරක්ෂාව යනු ක්‍රිස්තුස්වහන්සේ වෙනුවට ලෞකික දේවල් සෙවීම සහ විශ්වාස කිරීමයි—වෙනත් වචන වලින් කිවහොත්, අධ්‍යාත්මික කාචයක් වෙනුවට ලෞකික කාචයක් තුළින් බැලීමයි. ශුද්ධාත්මයාණන්වහන්සේ අපට “දේවල් ඇත්ත වශයෙන්ම පවතින පරිදි, සහ … ඇත්ත වශයෙන්ම පවතිනු ඇති පරිදි”11 දැකීමේ හැකියාව ලබා දෙනවා. “සියල්ලෙහි සත්‍යය [අපට] දැනගත හැක්කේ සහ [මුළා නොවී සිටිය හැක්කේ] ශුද්ධාත්මයාණන්ගේ බලයෙන්”12 පමණයි. අපි ක්‍රිස්තුස්වහන්සේව අපගේ ජීවිතයේ කේන්ද්‍රස්ථානයේ තබාගෙන උන්වහන්සේගේ ආඥාවලට කීකරු වීමට අපගේ කැමැත්ත ප්‍රතිඥා දෙන්නේ අප අන්ධ නිසා නොව අපට පෙනීම ඇති නිසායි.13

අඥාන කන්‍යාවන් ගැන කුමක් කිව හැකිද? ආත්මික තෙල් බඳුනක් රැගෙන යාමට ඔවුන් අකමැති වූයේ ඇයි? ඔවුන් හුදෙක් කල් දැමුවාද? ඔවුන් සමහර විට එය අපහසු නිසා හෝ අනවශ්‍ය ලෙස පෙනුණු නිසා සරල ලෙස හිතුවද? හේතුව කුමක් වුවත්, ක්‍රිස්තුස්වහන්සේගේ තීරණාත්මක කාර්යභාරය පිළිබඳ නොදැන ඔවුන් රැවටී සිටියා. මෙය සාතන්ගේ මූලික රැවටීම වූ අතර, ආත්මික තෙල් හිඟකම නිසා ඔවුන්ගේ සාක්ෂියේ පහන් අවසානයේ නිවී ගියේ ඒ නිසයි. මෙම උපමාව අපේ කාලය සඳහා රූපකයක්. බොහෝ දෙනෙක් ගැලවුම්කරුවාණන්ව සහ ඔවුන්ගේ ගිවිසුම් අත්හැර යන්නේ ඔවුන් ඔහුගේ සභාවෙන් පිටවීමට බොහෝ කලකට පෙරයි.

අපි ජීවත් වන්නේ පුරාණ අනාගතවක්තෘවරුන් විසින් පුරෝකථනය කරන ලද පෙර නොවූ විරූ කාලයකයි, සාතන් “මනුෂ්‍ය දරුවන්ගේ හදවත් වියරු කරන තවද යහපත් දෙයට විරුද්ධව ඔවුන් තුළ කෝපය කළඹවන”14 දිනයක යි. අපෙන් බොහෝ දෙනෙක්, දිව්‍ය අනන්‍යතාවයට සහ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලට සතුරු වෙන, විනෝදාස්වාදයේ සහ පණිවිඩ යැවීමේ අන්තර්ජාල ලෝකයක ජීවත් වෙනවා.

දරුවෙකුගේ ජීවිතයේ වඩාත්ම බලගතු අධ්‍යාත්මික බලපෑම තමයි තමන්ගේම පරිශුද්ධ ගිවිසුම් විශ්වාසවන්තව තබා ගන්නා ආදරණීය දෙමාපියන් සහ ආච්චිලා සීයලාගේ ධර්මිෂ්ඨ ආදර්ශය. චේතනාන්විත මාපියන් තම දරුවන්ට ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල උගන්වයි, එවිට ඔවුන්ද “තමන්ගේ පව්වලට සමාවක් සොයන්නේ කුමන මූලාශ්‍රයෙන් දැයි දැනගන්නවා”15 සරලව සිතන සහ කැඩි කැඩී ගිවිසුම් පැවැත්වීම අධ්‍යාත්මික බව ගැන ඕනාවට එපාවට සිතන්නට මග පාදනවා. අධ්‍යාත්මික හානිය බොහෝ විට අපේ දරුවන්ට සහ මුණුබුරන්ට සිදු වෙනවා. දෙමාපියනි සහ ආච්චිලා සීයලා, අපි තවමත් කැමැත්තෙන් සිටිනවද?

සභාපති රසල් එම්. නෙල්සන් අපට මෙසේ අවවාද කළා, “එලඹෙන දිනයන්හිදී, මගපෙන්වීම, මෙහෙයවීම, සැනසීම සහ ශුද්ධාත්මයාණන්ගේ නිසැක ආනුභාවයෙන් තොරව ආත්මිකව බේරෙන්නට අපහසු වනු ඇත.16 මෙය අපගේ පහන් භාවිතයට සුදුසු ලෙස තබාගැනීමට සහ අපගේ අධ්‍යාත්මික තෙල් සංචිත වැඩි කරගැනීමට පැහැදිලි සහ නොවරදින අනතුරු ඇඟවීමක්. ජීවමාන අනාගතවක්තෘවරුන්ව අනුගමනය කිරීමට අප තවමත් කැමැත්තෙන් සිටිනවාද? ඔබේ පහනෙහි ඇති අධ්‍යාත්මික තෙල් මට්ටම කුමක්ද? ශුද්ධාත්මයාණන්ගේ බලපෑම නිරන්තරයෙන් ලබා ගැනීමට ඔබගේ පෞද්ගලික ජීවිතයේ සිදු විය යුතු වෙනස්කම් මොනවාද?

අද, යේසුස් වහන්සේගේ කාලයේ මෙන්, අනුගාමිකත්වයේ මිල පිළිගැනීමට අකමැති, ආපසු හැරී යන අය සිටියි. ගැලවුම්කරුවාණන්ගේ සභාවට සහ උන්වහන්සේව අනුගමනය කරන අයට දැඩි හා ද්වේෂ සහගත විවේචන වැඩි වැඩියෙන් එල්ල වන බැවින්, අපගේ අධ්‍යාත්මික කොඳු ඇට පෙළ කෙළින් කිරීමට සහ ශක්තිමත් කිරීමට සහ ඒවාට අවනත නොවී සිටීමට අපගේ අනුගාමිකත්වයට විශාල කැමැත්තක් අවශ්‍ය වෙනවා.17

අපගේ අධ්‍යාත්මික අත්තිවාරම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත ස්ථිරව ගොඩනගා ඇත්නම්, අප වැටෙන්නේ නෑ, ඒවගේම අප බිය විය යුතු නෑ.

“බලන්න, තවද ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ හදවත සහ කැමත්ත ඇති මනසක්ය; තවද කැමතිවන්නා සහ කීකරුවන්නා මෙම අවසන් දවස්හිදී සයොන දේශයේ යහපත අනුභව කරන්නේය.”18

අපි සැමවිටම කැමැත්තෙන් සිටිමු. ගැලවීම ලබාදෙන්නාවූ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.