ප්‍රධාන සම්මන්ත්‍රණය
ස්වාමින්වහන්සේ සමඟ හවුල් වීම
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ස්වාමින්වහන්සේ සමඟ හවුල් වීම

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය ලෞකික ජීවිතයේදී සහ සදාකාලිකත්වය තුළ ස්ත්‍රිය සහ පුරුෂයා අතර පූර්ණ හවුල්කාරිත්වයේ මූලධර්මය ගැන ප්‍රකාශ කරනවා.

අපි විවාහ වෙලා මුල් මාස කිහිපය තුළදී, මගේ ආදරණීය බිරිඳ සංගීතය හැදෑරීමට කැමැත්ත පළ කළා. ඇයව සතුටු කිරීමට අදහස් කරමින්, මගේ පෙම්වතිය වෙනුවෙන් විශාල, හෘදයාංගම පුදුමයක් සංවිධානය කිරීමට මම තීරණය කළා. මම සංගීත භාණ්ඩ සාප්පුවකට ගිහින් ඇයට තෑග්ගක් ලෙස පියානෝවක් මිලදී ගත්තා. මම ඉතා උද්යෝගයෙන් ඒ මිලදී ගත් කුවිතාන්සිය ලස්සන බෝ එකක් සහිත පෙට්ටියක දාලා ඇයට දුන්නේ, ඇගේ අතිශයින්ම ආදරණීය සහ අවධානයෙන් සිටින ස්වාමිපුරුෂයාට කෘතවේදී ප්‍රතිචාරයක් අපේක්ෂා කරමින්.

ඇය එම කුඩා පෙට්ටිය විවෘත කර එහි අන්තර්ගතය දුටු විට, ඇය ආදරයෙන් මා දෙස බලලා මෙහෙම කිව්වා, “අනේ, මගේ ආදරය ඔබ අපූරුයි! ඒත් මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්: මේක තෑග්ගක්ද ණයක්ද?” මේ පුදුම කිරීම ගැන එකට එක්ව සාකච්ඡා කිරීමෙන් පසුව, අපි ඒ මිලදී ගැනීම අවලංගු කිරීමට තීරණය කළා. බොහෝ තරුණ අලුත විවාහ වූවන් මෙන් අපි ජීවත් වුණේ ශිෂ්‍ය අයවැයක් මත. විවාහ සබඳතාවයක පූර්ණ හවුල්කාරිත්වයේ මූලධර්මයේ වැදගත්කම සහ එහි යොදාගැනීම මගේ බිරිඳට සහ මට එක හදවතකින් සහ එක මනසකින් සිටීමට උපකාර වන ආකාරය හඳුනා ගැනීමට මෙම අත්දැකීම මට උපකාර වුණා.1

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය ලෞකික ජීවිතයේදී සහ සදාකාලිකත්වය තුළ ස්ත්‍රිය සහ පුරුෂයා අතර පූර්ණ හවුල්කාරිත්වයේ මූලධර්මය ගැන ප්‍රකාශ කරනවා. සෑම කෙනෙකුටම නිශ්චිත ගුණාංග සහ දිව්‍යමය ලෙස පැවරූ වගකීම් තිබුණද, තම දරුවන් සඳහා දෙවියන්වහන්සේගේ ප්‍රීතියේ සැලැස්ම තුළ ස්ත්‍රිය සහ පුරුෂයා එක සමානව අදාළ සහ අත්‍යවශ්‍ය භූමිකාවන් පුරවනවා.2 “මනුෂ්‍යයා තනියම සිටීම හොඳ නැත; එසේහෙයින්, මම ඔහුට සුදුසු සහකාරියක් සාදා දෙන්නෙමි”3 ලෙස ස්වාමින්වහන්සේ ප්‍රකාශ කළ විට ආරම්භයේ සිටම මෙය පැහැදිලි වුණා.

ස්වාමින්වහන්සේගේ සැලැස්ම තුළ, “සුදුසු සහකාරියක්” යනු පූර්ණ හවුල්කාරිත්වයෙන් ආදම් සමඟ උරෙන් උර ගැටී ගමන් කරන සහකාරියක්.4 ඇත්තවශයෙන්ම, ඒව ආදම්ගේ ජීවිතයේ ස්වර්ගීය ආශිර්වාදයක් වුණා. ඇයගේ දිව්‍යමය ස්වභාවය සහ අධ්‍යාත්මික ගුණාංග තුළින්, ඇය ආදම්ව සියලු මනුෂ්‍ය වර්ගයා සඳහා වූ ප්‍රීතිය පිළිබඳ දෙවියන්වහන්සේගේ සැලැස්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ඇය සමඟ හවුල් වී වැඩ කිරීමට පෙළඹෙව්වා.5

පුරුෂයා සහ ස්ත්‍රිය අතර ඇති හවුල්කාරිත්වය ශක්තිමත් කරන මූලික මූලධර්ම දෙකක් අපි සලකා බලමු. පළමු මූලධර්මය තමයි “දෙවියන්වහන්සේට අපි සියල්ලෝම එක හා සමානයි.”6 ශුභාරංචි දහමට අනුව, ස්ත්‍රිය සහ පුරුෂයා අතර ඇති වෙනස දෙවියන්වහන්සේ තම පුතුන් සහ දූවරුන් සඳහා ඇති සදාකාලික පොරොන්දු අභිබවා යන්නේ නෑ. සදාකාලික කීර්තිය සඳහා එක් කෙනෙකුට අනෙකාට වඩා විශාල හැකියාවන් තිබෙන්නේ නෑ.7 ගැලවුම්කරුවාණන් විසින්ම දෙවියන්වහන්සේගේ දරුවන් වන අප සියල්ලන්ටම “උන්වහන්සේ වෙතට පැමිණෙන ලෙසත්, උන්වහන්සේගේ යහපත්කමට පංගුකාරයන් වන ලෙසත් ආරාධනා කරන අතර, උන්වහන්සේ වෙත පැමිණෙන කිසිවෙක්ව උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නෑ.”8 එබැවින්, මෙම සන්දර්භය තුළ, අප සියල්ලන්ම උන්වහන්සේ ඉදිරියෙහි එක සමාන ලෙස සලකනු ලැබෙනවා.

කලත්‍රයන් මෙම මූලධර්මය තේරුම් ගෙන ඒවා අදාළ කරගද්දී, ඔවුන් තම පවුලේ සභාපති හෝ උප සභාපති ලෙස ඔවුන්ව ස්ථානගත කරන්නේ නෑ. විවාහ සබඳතාවයේ උසස් පහත් බවක් නෑ ඒවගේම අනෙකාට වඩා ඉදිරියෙන් හෝ පසුපසින් යාමක් නෑ. ඔවුන් දෙවියන්ගේ දිව්‍ය දරුවන් ලෙස සමාන ලෙස එක ලඟින් ගමන් කරනවා. ඔවුන් අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ සිතුවිල්ලෙන්, ආශාවෙන් සහ අරමුණෙන් එක්කෙනෙක් බවට පත්වෙනවා,9 ඒ තුළින් එකට එක්ව පවුල් ඒකකයට නායකත්වය දෙමින් මගපෙන්වනවා.

මේ සමාන හවුල්කාරිත්වයක් තුළ, “ආදරය යනු අයිති කර ගැනීම නොව සහභාගීත්වයයි … එය අපගේ මානව කැඳවීම වන එම සම-නිර්මාණයේ කොටසක්.”10 “සැබෑ සහභාගීත්වය ඇතිව, ස්වාමිපුරුෂයා සහ භාර්යාව ‘සදාකාලික ආධිපත්‍යයක’ සහයෝගීතාවයට ඒකාබද්ධ වන අතර එය ‘අනිවාර්ය මාර්ගයකින් තොරව’ ඔවුන්ට සහ ඔවුන්ගේ පසු පරම්පරාවට ‘සදාකාලයෙන් සදාකාලයටම’ අධ්‍යාත්මික ජීවිතය සමඟ ගලා එනවා.”11

අදාළ වන දෙවන මූලධර්මය තමයි, ගැලවුම්කරුවාණන් විසින් කන්ද උඩ දේශනාවේ ඉගැන්වූ ස්වර්ණමය රීතිය: “මිනිසුන් ඔබට කරනවාට ඔබ කැමති ලෙසම, ඔබත් ඔවුන්ට කරන්න.”12 මෙම මූලධර්මය එකඟත්වය, අන්‍යෝන්‍ය බව, එකමුතුකම සහ අන්‍යෝන්‍ය වශයෙන් රඳා පවතින ආකල්පයක් පෙන්නුම් කරන අතර එය පදනම් වෙන්නේ “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” යන දෙවන ශ්‍රේෂ්ඨ ආඥාව මතයි.13 එය බොහෝ ඉවසිලිවන්තකම, මෘදුකම, නිහතමානී බව සහ කරුණාව වැනි අනෙකුත් ක්‍රිස්තියානි ගුණාංග සමඟ ඒකාබද්ධ වෙනවා.

මෙම මූලධර්මයේ යෙදීම වඩාත් හොඳින් අවබෝධ කරගැනීම සඳහා, අපගේ පළමු දෙමාපියන් වන ආදම් සහ ඒව අතර දෙවියන්වහන්සේ විසින් පිහිටුවන ලද ඒ පරිශුද්ධ හා සදාකාලික බැඳීම දෙස අපට බලන්න පුළුවන්. ඔවුන් සදාකාලිකත්වය කරා යන ගමනේදී තමන් ගැන අමතක කර එකිනෙකාගේ යහපැවැත්ම සොයමින් ගෞරවයෙන්, කෘතවේදීත්වයෙන් සහ ආදරයෙන් එකට ගමන් කිරීමට ඉඩ සලසන එකමුතු මානයක් නිර්මාණය කළ ඔවුන් එක මාංශයක් බවට පත්වුණා.14

අද අපි එකමුතු වූ විවාහයක් තුළ තබාගැනීමට උත්සාහ කරන්නේ එම ලක්ෂණමයි. දේවමාළිගාවේ මුද්‍රා තැබීම හරහා, නව සහ සදාකාලික ගිවිසුමේ ශුද්ධ වූ විවාහ පිළිවෙලට කාන්තාවක් සහ පිරිමියෙකු ඇතුළු වෙනවා. පූජකවරයේ මෙම අනුපිළිවෙල අනුව, ඔවුන් විසින් ඇති කර ගත් ගිවිසුම්වලට අනුව ජීවත් වන විට ඔවුන්ගේ පවුල් කටයුතු මෙහෙයවීමට ඔවුන්ට සදාකාලික ආශිර්වාද සහ දිව්‍යමය බලය ලබා දී තිබෙනවා. එතැන් සිට, ඔවුන් එකිනෙකා මත යැපෙමින් සහ විශේෂයෙන් ඔවුන්ගේ පවුල තුළ පෝෂණය කිරීම සහ මූලිකත්වය පිළිබඳ දිව්‍යමය වශයෙන් පත් කර ඇති එක් එක් වගකීම් සම්බන්ධයෙන් ස්වාමින්වහන්සේ සමඟ පූර්ණ හවුල්කාරිත්වයකින් යුතුව ඉදිරියට යනවා.15 පෝෂණය කිරීම සහ මුලසුන දැරීම අන්තර් සම්බන්ධිත සහ අතිච්ඡාදනය වන වගකීම්, එයින් අදහස් කරන්නේ මව්වරුන් සහ පියවරුන් “සමාන හවුල්කරුවන් ලෙස එකිනෙකාට උපකාර කිරීමට බැඳී සිටින බව”16 සහ ඔවුන්ගේ නිවසේ සමබර නායකත්වයක් බෙදාහදා ගන්නා බවයි.

පෝෂණය කිරීම යනු ප්‍රේමයේ පරිසරයක් තුළ “ශුභාරංචි සත්‍යයන් ඉගෙන ගැනීමට සහ ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල වර්ධනය කිරීමට” උපකාර කිරීමෙන් පවුලේ සාමාජිකයන්ව “පෝෂණය කිරීම, ඉගැන්වීම සහ ඔවුන්ට සහයෝගය දැක්වීමයි.” මුලසුන දැරීම යන්නෙන් අදහස් කරන්නේ “පවුලේ සාමාජිකයන්ට නැවත දෙවියන්වහන්සේගේ අභිමුඛයේ වාසය කිරීමට” උපකාර කිරීමයි. මෙය සිදු කරනු ලබන්නේ මෘදුකමින්, නිහතමානීව සහ නිර්මල ප්‍රේමයෙන් සේවය කිරීම සහ ඉගැන්වීම තුළිනුයි. එයට “නිරන්තර යාච්ඤාව, ශුභාරංචිය අධ්‍යයනය සහ නමස්කාරයේ වෙනත් අංශවල පවුලේ සාමාජිකයන්ව මෙහෙයවීම” ඇතුළත් වෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරමින්, “මෙම [ශ්‍රේෂ්ඨ] වගකීම් දෙක ඉටු කිරීමට” දෙමාපියන් සමගියෙන් ක්‍රියා කරනවා.17

සභාවේ පූජක නායකත්වයට වඩා සමහර පැතිවලින් වෙනස් වන පවුල තුළ මෙහෙයවීම පීතෘමූලික රටාව අනුගමනය කරන බව නිරීක්ෂණය කිරීම වැදගත්.18 ආදිපීතෘ මූලික රටාවෙන් අදහස් කරන්නේ පවුල තුළ තම ශුද්ධ වූ වගකීම් ඉටුකිරීම සඳහා භාර්යාවන් සහ ස්වාමිපුරුෂයන් සෘජුවම දෙවියන්වහන්සේට වගකිව යුතු බවයි. එය පූර්ණ හවුල්කාරිත්වයක් සහ ධර්මිෂ්ඨ බව සහ වගවීම පිළිබඳ සෑම මූලධර්මයකටම කැමැත්තෙන්ම අනුකූල වීම ඉල්ලා සිටිනවා ඒවගේම ආදරය සහ අන්‍යෝන්‍ය උපකාරක පරිසරයක් තුළ සංවර්ධනය සඳහා අවස්ථා සපයනවා.19 මෙම විශේෂ වගකීම්, ධූරාවලියක් පෙන්වන්නේ නෑ ඒවගේම අධිකාරී බලය අනිසි ලෙස භාවිතය පිළිබඳ කිසියම් ආකාරයක අපයෝජනයක් හෝ සංජානනයක් එය සම්පූර්ණයෙන්ම බැහැර කරනවා.

ආදම් සහ ඒව, ඔවුන් ඒදන් උයනෙන් පිටව ගිය පසු, තම පවුල පෝෂණය කිරීමේදී සහ මූලිකත්වය ගෙන කටයුතු කිරීමේදී මව සහ පියා අතර ඇති අන්‍යෝන්‍ය රඳා පැවැත්ම පිළිබඳ සංකල්පය මනාව නිරූපණය කරනවා. මෝසෙස්ගේ පොතේ උගන්වා ඇති පරිදි, ඔවුන් තම පවුලේ ශාරීරික යහපැවැත්ම සැපයීම සඳහා ඔවුන්ගේ නළලේ දහඩියෙන් පොළොව වගා කිරීමට එකට වැඩ කළා;20 ඔවුන් දරුවන් ලෝකයට ගෙනාවා;21 ඔවුන් එක්ව ස්වාමින්වහන්සේගේ නාමයට හඬගසා, “ඒදන් උයන දෙසට යන මාර්ගයෙන්”22 උන්වහන්සේගේ හඬට සවන් දුන්නා; ඔවුන් ස්වාමින්වහන්සේ ඔවුන්ට දුන් ආඥා පිළිගෙන ඒවාට කීකරු වීමට එකට එක්ව වෙහෙසුණා.23 ඉන්පසු ඔවුන් “[මේ] දේවල් තම දූ පුතුන්ට උගන්වා”24 ඔවුන්ගේ අවශ්‍යතා අනුව එකට එක්ව “දෙවියන්වහන්සේට කන්නලව් කිරීම නතර කළේ නෑ”.25

මගේ දයාබර සහෝදර සහෝදරියනි, පෝෂණය කිරීම සහ මුලසුන දැරීම අවස්ථා මිස සීමා මායිම් නොවේ. එක් පුද්ගලයෙකුට යම් දෙයක් සම්බන්ධයෙන් වගකීමක් තිබිය හැකි නමුත් එය කරන එකම පුද්ගලයා ඔහු හෝ ඇය නොවිය හැකියි. ආදරණීය දෙමාපියන් මෙම ප්‍රධාන වගකීම් දෙක හොඳින් තේරුම් ගත් විට, ඔවුන් තම දරුවන්ගේ ශාරීරික හා චිත්තවේගීය යහපැවැත්ම ආරක්ෂා කිරීමට සහ රැකබලා ගැනීමට එක්ව උත්සහ කරනවා. ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ට එළිදරව් කරන ලද උන්වහන්සේගේ යහපත් වචනයෙන් ඔවුන්ව පෝෂණය කිරීමෙන් අපගේ දවසේ අධ්‍යාත්මික අන්තරායන්ට මුහුණ දීමටද ඔවුන් ඔවුන්ට උපකාර කරනවා.

ස්වාමිපුරුෂයා සහ භාර්යාව ඔවුන්ගේ දිව්‍යමය වශයෙන් පත් කරන ලද වගකීම් වලදී එකිනෙකාට සහයෝගය දක්වන නමුත්, “ආබාධිතභාවය, මරණය හෝ වෙනත් තත්වයන් නිසා තනි තනිව ඒ සඳහා අනුවර්තනය වීමට අවශ්‍ය වෙන්න පුළුවන්.”26 සමහර විට එක් කලත්‍රයෙකුට හෝ අනෙකාට තාවකාලිකව හෝ ස්ථිරව හෝ එකවර චරිත දෙකෙහිම ක්‍රියා කිරීමේ වගකීම පැවරෙන්න පුළුවන්.

මට මෑතකදී මෙම තත්වයේ ජීවත් වන සහෝදරියක් සහ සහෝදරයෙක් හමුවුණා. තනි මාපියන් වශයෙන්, ඔවුන් එක් එක්කෙනා, තම පවුල් ක්ෂේත්‍රය තුළ සහ ස්වාමින්වහන්සේ සමඟ හවුල්ව, තම දරුවන්ගේ අධ්‍යාත්මික හා ලෞකික රැකවරණය සඳහා තම ජීවිතය කැප කිරීමට තීරණය කර තිබුණා. දික්කසාදයන් තිබියදීත්, ස්වාමින්වහන්සේ සමඟ ඇති කරගත් ඔවුන්ගේ දේවමාළිගා ගිවිසුම් සහ උන්වහන්සේගේ සදාකාලික පොරොන්දු ඔවුන් අමතක කර තිබුණේ නෑ. ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ අභියෝග විඳදරාගැනීමට සහ ගිවිසුම් මාවතේ ගමන් කිරීමට අඛණ්ඩව උත්සාහ කර තිබූ නිසා සෑම දෙයකදීම ස්වාමින්වහන්සේගේ උපකාරය සොයා තිබුණා. ස්වාමින්වහන්සේ මේ ජීවිතයේ පමණක් නොව සදාකාලිකවම ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරන බව ඔවුන් විශ්වාස කරනවා. ජීවිතයේ දුෂ්කර තත්වයන් අත්විඳින අතරතුර පවා මේ දෙදෙනාම තම දරුවන්ට මෘදුකම, නිහතමානී බව සහ පිරිසිඳු ආදරය ගැන ඉගැන්වීමෙන් ඔවුන්ව පෝෂණය කර තිබෙනවා. මම දන්න විදියට මේ තනිකඩ දෙමව්පියෝ දෙන්නා තමන්ගෙ අවාසනාවන්ත ඉරණමට දෙවියන්වහන්සේට බනින්නෙ නෑ. ඒ වෙනුවට, ඔවුන් බලාපොරොත්තුවේ පරිපූර්ණ දීප්තියක් ඇතිව එමෙන්ම ඔවුන් වෙනුවෙන් ස්වාමින්වහන්සේ ගබඩා කර ඇති ආශිර්වාද කෙරෙහි විශ්වාසයකින් යුතුව ඉදිරිය දෙස බලනවා.27

සහෝදර සහෝදරියනි, ගැලවුම්කරුවාණන් විසින් ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේ සමඟ අරමුණෙහි සහ දහමෙහි එකමුතුකම සහ සමගිය පිළිබඳ පරිපූර්ණ ආදර්ශය තැබුවා. උන්වහන්සේ තම ගෝලයන් වෙනුවෙන් යාච්ඤා කරමින්, මෙසේ කිව්වා “ඔවුන් සියල්ලන් ඒකත්වයක් වන පිණිස, පියවූ ඔබ මා තුළෙහිද මා ඔබ තුළෙහිද සිටින්නාක් මෙන්ම … අප තුළ ඔවුන් ඒකත්වයක් වන පිණිසත් යාච්ඤා කරමි; අප ඒකත්වයක්ව සිටින්නා සේම ඔවුනුත් ඒකත්වයක් වන පිණිසය.”28

කාන්තාවන් සහ පිරිමින්—වන අපි සැබෑ සහ සමාන හවුල්කාරිත්වයකින් එකට වැඩ කරන විට, අපගේ විවාහ සබඳතාවලදී දිව්‍යමය වගකීම් ඉටු කරන විට ගැලවුම්කරුවාණන් විසින් උගන්වනු ලබන එකමුතුකම අපි භුක්ති විඳින බවට මම ඔබට සාක්ෂි දරනවා. හදවත් “එකමුතුවෙන් හා එකිනෙකා කෙරෙහි ප්‍රේමයෙන් එකට බැඳෙන”29 බවටත් සදාකාල ජීවනය කරා යන අපගේ ගමනේදී අපට වැඩි ප්‍රීතියක් ලැබෙනු ඇති බවටත්, ඒවගේම එකිනෙකාට සහ එකිනෙකා සමඟ සේවය කිරීමට ඇති හැකියාව ඉතා විශාල ලෙස වැඩි වර්ධනය වන බවටත්, ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් මම ඔබට පොරොන්දු වෙනවා.30 මෙම සත්‍යන් පිළිබඳ මම මගේ සාක්ශිය දරන්නේ ගැලවුම්කරුවාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.