ප්‍රධාන සම්මන්ත්‍රණය
ඔබේ සාක්ෂිය පෝෂණය කිරීම සහ බෙදාගැනීම
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඔබේ සාක්ෂිය පෝෂණය කිරීම සහ බෙදාගැනීම

වචනයෙන් සහ ක්‍රියාවෙන් ඔබේ සාක්ෂිය දැරීමට අවස්ථා සොයන ලෙස මම ඔබට ආරාධනා කරනවා.

හැඳින්වීම

ජීවිතයේ නිර්වචන අවස්ථා, ඔබ තවමත් තරුණ වියේදී පවා, නිතර නිතර සහ අනපේක්ෂිත ලෙස පැමිණෙනවා. ශිෂ්‍ය නායක ඉසව්වක් සඳහා ප්‍රාන්තයෙන් බැහැරට යාමට තෝරාගත් උසස් පාසල් සිසුවෙකු වන කෙවින් ඔහුගේම වචන වලින් කියූ කතාවක් බෙදා ගැනීමට මට ඉඩ දෙන්න.

“පෝලිමේ මගේ වාරය පැමිණි අතර, නිල පෙනුමක් ඇති ලියාපදිංචි ලිපිකාරිනිය මගේ නම ඉල්ලා සිටියා. ඇය ඇගේ ලැයිස්තුව දෙස බලලා, ‘ආහ් ඔබ යූටා හි තරුණයා නේද’ කියලා ඇහුවා.

“‘ඔයා කියන්නේ මම විතරද එකම එක්කෙනා?’ මම ඇහුවා.

“‘ඔව්, එකම එක්කෙනා.’ ඇය මගේ නමට පහළින් ‘යූටා’ ලෙස මුද්‍රණය කර ඇති මගේ නාම ටැගය මට දුන්නා. මම ඒක ක්ලිප් කරනකොට මට දැනුනේ මට සන්නාමයක් දුන්නා වගේ.

“මගේ නම වැනි නාම ටැග සහිත තවත් උසස් පාසල් සිසුන් පස් දෙනෙකු සමඟ මම හෝටල් සෝපානයට ගොඩ වුණා. ‘ඒයි, ඔයා යූටා වලින්ද. ඔයා මොර්මොන් කෙනෙක්ද?’ එක් සිසුවෙක් ඇහුවා.

“රට පුරා සිටින මේ සියලුම ශිෂ්‍ය නායකයින් සමඟ මට තැනක් නැති බවක් හැඟුණා. ‘ඔව්’ මම දෙගිඩියාවෙන් යුතුව කිව්වා.

“‘දේවදූතයන් දැක්කා කියපු ජෝසෆ් ස්මිත්ව විශ්වාස කරන අය ඔයාලා නේද. ඔබ ඇත්තටම එය විශ්වාස කරන්නේ නැහැ නේද?’

“මම මොනවා කියන්නද කියා දැන සිටියේ නෑ. විදුලි සෝපානයේ සිටි සිසුන් සියල්ලෝම මා දෙස බලාගෙන සිටියා. මම එතනට ආවා විතරයි, හැමෝම හිතුවේ මම වෙනස් කියලා. මම ටිකක් ආරක්ශිත වුණා, ඒත් පස්සේ මම මෙහෙම කිව්වා, “ජෝසෆ් ස්මිත් කියන්නේ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙකු බව මම දන්නවා.’

“ඒක ආවේ කොහෙන්ද? මම කල්පනා කළා. එය මා තුළ ඇති බව මම දැනගෙන හිටියේ නෑ. ඒත් ඒ වචන ටික ඇත්ත වගේ දැනුණා.

“‘ඔව්, මට කට්ටිය කියලා තියනවා ඔයාලා ඔක්කොම අමුතු ආගම් භක්තිකයන් කියලා.

“ඒ සමඟම, විදුලි සෝපානයේ දොර විවෘත වීමත් සමඟම අපහසු විරාමයක් ඇති වුණා. අපි අපේ ගමන් මලු එකතු කරන විට ඔහු සිනාසෙමින් ශාලාව දිගේ ගියා.

“එවිට, මට පිටුපසින් හඬක් මෙහෙම ඇහුවා, ‘ඒයි, මොර්මොන්වරුන්ට තවත් බයිබලයක් තියෙනවා නේද?

“නෑ. ආයෙත් එපා. විදුලි සෝපානයේ පිටුපස හැරුණු විට මා සමඟ තවත් සිසුවෙකු වන ක්‍රිස්ටෝෆර් එතන හිටියා.

“‘ඒකට කියන්නේ මොර්මොන්ගේ පොත කියලා,’ මම එහෙම කිව්වේ මේ කාරණය ගැන කතා කිරීම අත්හරින්නට හිතාගෙන. මම බෑග් එකත් උස්සගෙන ශාලාව දිගේ යන්න පටන් ගත්තා.

“‘ඒ ජෝසෆ් ස්මිත් පරිවර්තනය කළ පොතද?’ ඔහු ඇහුවා.

“‘ඔව්, ඒක තමයි,’ මම පිළිතුරු දුන්නා. ලැජ්ජාවෙන් බේරෙන්න හිතාගෙන මම දිගටම ඇවිදගෙන ගියා.

“‘හොඳයි, ඔයා දන්නවද මම එකක් ගන්නෙ කොහොමද කියලා?”

“මම සෙමනේරියේදී ඉගෙන ගත් ශුද්ධලියවිල්ලක් හදිසියේම මා වෙත පැමිණියා. ‘යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ගැන මම ලැජ්ජා නොවෙමි.’1 මෙය මගේ සිතට ඇතුළු වූ විට, මම එතරම් ලැජ්ජාවට පත් වීම ගැන මට ලැජ්ජාවක් දැනුණා.

“ඒ සතිය පුරාම ඒ ශුද්ධලියවිල්ල මගෙන් ඈත් වුණේ නෑ. මම සභාව ගැන ප්‍රශ්නවලට මට හැකි තරම් පිළිතුරු දුන් අතර මම බොහෝ මිතුරන් ඇති කරගත්තා.

“මම මගේ ආගම ගැන ආඩම්බර වෙනවා කියලා මට තේරුණා.

“මම ක්‍රිස්ටෝෆර්ට මොර්මොන්ගේ පොතක් දුන්නා. ඔහු ධර්මදූතවරුන්ට ඔහුගේ නිවසට ආරාධනා කළ බව පවසමින්, පසුව ඔහු මට ලිව්වා.

“මගේ සාක්ෂිය බෙදාගන්න ලැජ්ජා නොවී ඉන්න මම ඉගෙනගත්තා.2

ඔහුගේ සාක්ෂිය බෙදාගැනීමේදී කෙවින්ගේ ධෛර්යය මට ආශ්වාදයක් වුණා. එය ලොව පුරා සිටින සභාවේ විශ්වාසවන්ත සාමාජිකයන් විසින් දිනපතා නැවත නැවතත් පෙන්වන ධෛර්යයක්. මම මගේ අදහස් බෙදා ගන්නා විට, මෙම ප්‍රශ්න හතර ගැන මෙනෙහි කිරීමට මම ඔබට ආරාධනා කරනවා:

  1. සාක්ෂියක් යනු කුමක්දැයි මම දන්නවාද සහ මම තේරුම් ගන්නවාද?

  2. මගේ සාක්ෂිය බෙදාගන්නේ කෙසේදැයි මම දන්නවාද?

  3. මගේ සාක්ෂිය බෙදාගැනීමට ඇති බාධා මොනවාද?

  4. මම මගේ සාක්ෂිය තබා ගන්නේ කොහොමද?

සාක්ෂියක් යනු කුමක්දැයි මම දන්නවාද සහ මම තේරුම් ගන්නවාද?

ඔබේ සාක්ෂිය බොහෝ විට ගැඹුරු අධ්‍යාත්මික හැඟීම් සමඟ සම්බන්ධ වූ වටිනාම වස්තුවක්. මෙම හැඟීම් සාමාන්‍යයෙන් නිශ්ශබ්දව සන්නිවේදනය වන අතර “නිශ්චල කුඩා හඬක්” ලෙස විස්තර කෙරෙනවා.3 එය ශුද්ධාත්මයාණන්ගේ බලපෑම තුළින් ආත්මික සාක්ෂියක් ලෙස ලබා දී ඇති, ඔබගේ විශ්වාසය හෝ සත්‍යය පිළිබඳ දැනුමයි. මෙම සාක්ෂිය ලබාගැනීමෙන් ඔබ පවසන දේ සහ ඔබ ක්‍රියා කරන ආකාරය වෙනස් වෙනවා. ශුද්ධාත්මයාණන් විසින් සනාථ කරන, ඔබේ සාක්ෂියේ ප්‍රධාන අංග තමයි:

  • දෙවියන්වහන්සේ කියන්නේ ඔබේ ස්වර්ගික පියාණන්; ඔබ උන්වහන්සේගේ දරුවෙක්. උන්වහන්සේ ඔබට ආදරෙයි.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයා සහ ඔබගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන්.

  • ජෝසෆ් ස්මිත් යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව නැවත පිහිටුවීම සඳහා කැඳවනු ලැබූ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙක්.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව කියන්නේ පොළොව මත නැවත පිහිටුවා ඇති දෙවියන්වහන්සේගේ සභාවයි.

  • නැවත පිහිටුවන ලද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව අද මෙහෙයවනු ලබන්නේ ජීවමාන අනාගතවක්තෘවරයෙකු විසින්.

මගේ සාක්ෂිය බෙදාගන්නේ කෙසේදැයි මම දන්නවාද?

ඔබ අන් අය සමඟ අධ්‍යාත්මික හැඟීම් බෙදා ගන්නා විට ඔබ ඔබේ සාක්ෂිය දරනවා. සභාවේ සාමාජිකයෙකු ලෙස, විධිමත් සභා රැස්වීම්වලදී හෝ විධිමත් බවින් අඩු පවුලේ අය, මිතුරන් සහ වෙනත් අය සමඟ තනි සංවාද වලදී ඔබගේ කථන සාක්ෂි දැරීමට ඔබට අවස්ථාව ලැබෙනවා.

ඔබේ සාක්ෂිය ඔබ බෙදාගන්නා තවත් ක්‍රමයක් තමයි ධර්මිෂ්ඨ හැසිරීම්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබේ සාක්ෂිය ඔබ කියන දේ පමණක් නොවේ—එයට ඔබ කව්ද කියාත් අදාළ වෙනවා.

ඔබ වාචික සාක්ෂි දරන සෑම අවස්ථාවකම හෝ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට ඔබේ කැපවීම ඔබේ ක්‍රියාවන් තුළින් පෙන්නුම් කරන සෑම අවස්ථාවකම, ඔබ අන් අයට “ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන්න”4 කියා ආරාධනා කරනවා.

සභාවේ සාමාජිකයින් සෑම විටම, සෑම දෙයෙහිම, සහ සෑම ස්ථානයකම දෙවියන්වහන්සේගේ සාක්ෂිකරුවන් ලෙස නැගී සිටිනවා.5 ඩිජිටල් විශ්වය තුළ අපගේම ආශ්වාදජනක අන්තර්ගතයන් හෝ අන් අය විසින් සකස් කරන ලද උසස් අන්තර්ගතයන් බෙදාගැනීම මගින් මෙය කිරීමට ඇති අවස්ථා අනන්තයි. අපි අන්තර්ජාලය හරහා වුවත්, ආදරය කරන විට, බෙදාගන්නා විට සහ ආරාධනා කරන විට අපි සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ඔබේ ජීවිතය හැඩගස්වන ආකාරය පෙන්වීමට ඔබේ ට්වීට්, සෘජු පණිවිඩ සහ පෝස්ටු යන සමාජ මාධ්‍ය භාවිතයේදී ඒවා ශුද්ධ වූ කාර්යයක් ඉටු කරනවා.

මගේ සාක්ෂිය බෙදාගැනීමට ඇති බාධා මොනවාද?

ඔබේ සාක්ෂිය බෙදා ගැනීමට ඇති බාධාවලට කුමක් කිව යුතුද යන්න පිළිබඳ අවිනිශ්චිතභාවය ඇතුළත් වෙන්න පුළුවන්. මුල් ප්‍රේරිතවරයෙකු වූ මැතිව් කව්ලි, වයස අවුරුදු 17 දී නවසීලන්තයට පස් අවුරුදු ධර්මදූතයක් සඳහා පිටත්ව යන විට ලැබූ මෙම අත්දැකීම බෙදාගත්තා:

“මම පිටත්ව ගිය දවසේ මගේ තාත්තාගේ යාච්ඤා මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. … මීට වඩා ලස්සන ආශිර්වාදයක් මම මගේ මුළු ජීවිත කාලයටම අසා තිබුණේ නෑ. ඊට පස්සේ දුම්රිය නැවතුම්පළේදී එයා මට කියපු අන්තිම වචන ටික තමයි, ‘මගේ කොල්ලො, ඔයා ඒ ධර්මදූත සේවයට යනවා; ඔයා අධ්‍යනය කරයි; ඔයා ඔයාගේ දේශනා සූදානම් කරන්න උත්සහ කරයි; ඒවගේම සමහර වෙලාවට ඔයාට කැඳවීම ලැබුනම, ඔයා පුදුම විදිහට සූදානම් වෙලා කියලා ඔයාට හිතෙයි, ඒත් ඔයා නැගිටිනකොට, ඔයාගේ මනස සම්පූර්ණයෙන්ම හිස් වෙන්න පුළුවන්.’ මම එක පාරකට වඩා ඒ අත්දැකීම විඳලා තියෙනවා.

“ඔබේ මනස හිස් වූ විට ඔබ කරන්නේ මොකක්ද?” මම ඇහුවා.

“ඔහු මෙහෙම පැවසුවා, ‘ඔබ එහි නැඟී සිටින අතර, ඔබගේ ප්‍රාණයේ සියලු උද්යෝගයෙන්, ජෝසෆ් ස්මිත් කියන්නේ ජීවමාන දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙකු බව ඔබ සාක්ෂි දරනවා, එතකොට සිතුවිලි ඔබේ මනසට සහ වචන ඔබේ මුඛයට ගලා එයි … ඒවගේම සවන් දෙන සෑම කෙනෙකුගේම හදවතට ඒවා ගලා එයි.’ ඉතින් මගේ … ධර්මදූත සේවය අතරතුර බොහෝ දුරට හිස්ව තිබූ මගේ මනස, ස්වාමියාණන්ගේ කුරුසියේ ඇණ ගැසීමෙන් පසු ලෝක ඉතිහාසයේ සිදු වූ ශ්‍රේෂ්ඨතම සිදුවීමට සාක්ෂි දැරීමට මට අවස්ථාව ලබා දුන්නා. යාලුවනේ, කාන්තාවනි ඒක උත්සහ කරලා බලන්න. ඔබට කීමට වෙනත් කිසිවක් නොමැති නම්, ජෝසෆ් ස්මිත් කියන්නේ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයා බව සාක්ෂි දරන්න, එවිට සභාවේ මුළු ඉතිහාසයම ඔබේ මනසට ගලාගෙන එයි.6

ඒ හා සමානව, සභාපති ඩැලන් එච්. ඕක්ස් මෙහෙම බෙදාගත්තා, “සමහර සාක්ෂි දණින් වැටී ඒවා වෙනුවෙන් යාච්ඤා කරනවාට වඩා ඒවා දරා සිටින පාද මත වඩා යහපත් වෙනවා.”7 ආත්මයාණන් කථිකයාට සහ සවන්දෙන්නාට එකසේ සාක්ෂි දරනවා.

කෙවින්ගේ කථාව අවධාරණය කළ පරිදි තවත් බාධාවක් තමයි බිය. පාවුල් තිමෝතිට මෙසේ ලිව්වා:

“දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයේත් ප්‍රේමයෙත් … ආත්මයක්. …

“එබැවින් නුඹලා අපගේ ස්වාමින්වහන්සේගේ සාක්ෂිය පිළිබඳ ලජ්ජා නොවෙල්ලා.”8

භීතියේ හැඟීම් පැමිණෙන්නේ ස්වාමින්වහන්සේගෙන් නොවේ බොහෝ වෙලාවට ඒවා පැමිණෙන්නේ විරුද්ධවාදියාගෙන්. කෙවින් කළාක් මෙන් ඇදහිල්ල තිබීම ඔබට මෙම හැඟීම්වලින් මිදීමට සහ ඔබේ හදවතේ ඇති දේ නිදහසේ බෙදා ගැනීමට ඔබට ඉඩ සලසනවා.

මම මගේ සාක්ෂිය තබා ගන්නේ කොහොමද?

සාක්ෂියක් අප තුළ සහජයෙන්ම ඇති බව මම විශ්වාස කරනවා, නමුත් එය තබා ගැනීමට සහ එය වඩාත් සම්පූර්ණයෙන් වර්ධනය කරගැනීමට නම්, අපි “[අපගේ සාක්ෂිය] බොහෝ සැලකිල්ලෙන් පෝෂණය කළ යුතු” බව ඇල්මා ඉගැන්වුවා.”9 අප එසේ කරන විට, “එය මුල් බැස, වර්ධනය වී, ඵල දරයි.”10 මෙය නොමැතිව “එය වියළී යයි.”11

පළමු සභාපතිත්වයේ සෑම ආදරණීය සාමාජිකයෙක්ම සාක්ෂියක් තබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අපට මඟ පෙන්වීම් ලබා දී තිබෙනවා.

සභාපති හෙන්රි බී. අයිරින් අපට ආදරයෙන් මෙසේ ඉගැන්වූවා “ඔබගේ සාක්ෂිය වර්ධනය වීමට සහ සමෘද්ධිමත් වීමට නම්, දෙවියන්වහන්සේගේ වචනය භුක්ති විඳීම, එමෙන්ම හෘදයාංගමව යාච්ඤා කිරීම, සහ ස්වාමින්වහන්සේගේ ආඥාවලට කීකරු වීම, යන දේවල් ඒකාකාරව සහ අඛණ්ඩව ඔබ අදාළ කරගත යුතුයි.”12

සභාපති ඩැලන් එච්. ඕක්ස් අපට මෙසේ මතක් කරදෙනවා, අපගේ සාක්ෂිය රඳවා ගැනීමට නම්, “උන්වහන්සේගේ ආත්මය සෑම විටම [අප] සමඟ සිටින බවට’ වටිනා පොරොන්දුව සඳහා සුදුසුකම් ලැබීමට නම්, (ද.ස.ගි. 20:77) අපි සෑම සතියකම සක්‍රමේන්තුවට සහභාගි විය යුතුයි (ද.ස.ගි. 59:9 බලන්න).13

ඒවගේම සභාපති රසල් එම්. නෙල්සන් මෑතකදී කාරුණිකව මෙසේ උපදෙස් දුන්නා:

“[ඔබේ සාක්ෂිය] සත්‍යයයෙන් පෝෂණය කරන්න. …

“… පැරණි හා නූතන අනාගතවක්තෘවරුන්ගේ වචනයෙන් ඔබ පෝෂණය වන්න. උන්වහන්සේට වඩා හොඳින් සවන් දෙන ආකාරය ඔබට උගන්වන ලෙස ස්වාමින්වහන්සේගෙන් ඉල්ලා සිටින්න. දේවමාළිගාවේ සහ පවුලේ ඉතිහාස කටයුතුවල වැඩි කාලයක් ගත කරන්න.

“… ඔබගේ සාක්ෂිය ඔබගේ ඉහලම ප්‍රමුඛතාවය කර ගන්න.”14

අවසානය

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබ සාක්ෂියක් යනු කුමක්දැයි වඩාත් හොඳින් අවබෝධ කරගන්නා විට, සහ ඔබ එය බෙදා ගන්නා විට, ඔබ අවිනිශ්චිතභාවයේ සහ භීතියේ බාධක ජයගෙන, මෙම වටිනාම වස්තුව වන ඔබේ සාක්ෂිය පෝෂණය කර තබා ගැනීමට ඔබට හැකි වන බවට මම පොරොන්දු වෙනවා.

නිර්භීතව තම සාක්ෂි දැරූ පුරාණ හා නූතන අනාගතවක්තෘවරුන්ගේ අසංඛ්‍යාත උදාහරණ තිබීම අපට ආශිර්වාදයක්.

ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් පසු පේත්‍රැස් නැගී සිට සාක්ෂි දුන්නා:

“නුඹලා විසින් කුරුසියෙහි ඇණ ගසන ලද්දාවූද දෙවියන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගුටුවන ලද්දාවූද නාසරිය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්ම මේ මනුෂ්‍යයා නුඹලා ඉදිරියෙහි සුවපත්ව සිටීයයි නුඹලා සියල්ලෝද සියලුම ඉශ්‍රායෙල් සෙනඟද දැනගනිත්වා.

“… මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේය.”15

ඇල්මාගේ ඇදහිල්ල පිළිබඳ දේශනය අනුගමනය කරමින් අමුලෙක් ප්‍රබල ලෙස මෙසේ ප්‍රකාශ කළා: “මේ දේවල් සත්‍ය බව මම ඔබට මා විසින්ම සාක්ෂි දරන්නෙමි. බලන්න, මම නුඹලා හට පවසන්නෙමි, එනම් ක්‍රිස්තුස්වහන්සේ මනුෂ්‍ය දරුවන් අතරට පැමිණෙන බවත්, … උන්වහන්සේ ලෝකයේ පව් උදෙසා වන්දිගෙවන බවත් මම දන්නෙමි; මක්නිසාද ස්වාමින් වූ දෙවියන්වහන්සේ විසින් එය වදාළ සේක.”16

ජෝසෆ් ස්මිත් සහ සිඩ්නි රිග්ඩන්, නැවත නැඟිටුවනු ලැබූ ගැලවුම්කරුවාණන්ගේ තේජාන්විත දර්ශනයක් දුටු විට, මෙසේ සාක්ෂි දුන්නා:

“තවද දැන්, උන්වහන්සේ ගැන දෙනු ලැබූ බොහෝ සාක්ෂි වලින් පසු, සියල්ලේම අවසානයට, අප උන්වහන්සේ ගැන දෙන සාක්ෂිය මෙය වන්නේය: එනම් උන්වහන්සේ ජීවත් වන සේක!

“මක්නිසාද දෙවියන්වහන්සේගේ දකුණුපස අපි උන්වහන්සේව දුටුවෙමු; තවද උන්වහන්සේ පියාණන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් බව සාක්ෂි දරන හඬ අපි ඇසුවෙමු.”17

සහෝදර සහෝදරියනි, වචනයෙන් සහ ක්‍රියාවෙන් ඔබේ සාක්ෂිය දැරීමට අවස්ථා සොයන ලෙස මම ඔබට ආරාධනා කරනවා. දකුණු අමෙරිකාවේ අගනුවරක නගරාධිපතිවරයා සමඟ ඔහුගේ කැබිනට් මණ්ඩලයේ නිලධාරීන් ගණනාවක් සමඟ ඔහුගේ කුටියේ පැවති රැස්වීමක් අවසානයේ, එවැනි අවස්ථාවක් මට මෑතකදී පැමිණියා. අපි ඉතා සුහද හැඟීම් සමඟ අවසන් කරන විට, මගේ සාක්ෂිය බෙදා ගත යුතු යැයි මම දෙගිඩියාවෙන් සිටියා. ඒ පෙළඹවීම අනුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයා සහ ලෝකයේ ගැලවුම්කරුවාණන් බවට සාක්ෂියක් මම ඉදිරිපත් කළා. ඒ මොහොතේ සියල්ල වෙනස් වුණා. කාමරයේ පිරුණු ආත්මය ප්‍රතික්ෂේප කළ නොහැකි වුණා. සෑම කෙනෙකුටම එය ඉතා තදින් දැනුණු බවක් පෙනෙන්නට තිබුණා. “සැනසිලිදායකයාණන් … පියාණන්වහන්සේ සහ පුත්‍රයාණන්වහන්සේ පිළිබඳ සාක්ෂි දරනවා.”18 මගේ සාක්ෂිය දැරීමට මා ගත් ධෛර්යය ගැන මම ඉතා කෘතඥ වෙනවා.

මෙවන් මොහොතක් පැමිණි විට එය අල්ලා වැළඳ ගන්න. ඔබ එසේ කරන විට ඔබ තුළ සිටින සැනසිලිදායකයාණන්ගේ උණුසුම ඔබට දැනෙයි.

දෙවියන්වහන්සේ අපගේ ස්වර්ගීය පියාණන් බවත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවමාන බවත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව අද අපගේ ආදරණීය අනාගතවක්තෘ, සභාපති රසල් එම්. නෙල්සන් විසින් මෙහෙයවනු ලබන මිහිපිට පිහිටි දෙවියන්වහන්සේගේ සභාව බවත්—මම ඔබට මගේ සාක්ෂිය ඉදිරිපත් කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.