ප්‍රධාන සම්මන්ත්‍රණය
සත්‍යය කුමක්ද?
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


සත්‍යය කුමක්ද?

සියලු සත්‍යයේ උල්පත දෙවියන්වහන්සේ යි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාව දෙවියන්වහන්සේ තම දරුවන්ට පවසන සියලු සත්‍යයන් වැලඳ ගනී.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මෙම ප්‍රබෝධමත් සැසිය සඳහා සැමට ස්තූතියි! පසුගිය අප්‍රියෙල් මාසයේ අපගේ සම්මන්ත්‍රණයේ සිට, හද කම්පා කරවන සුළු සිදුවීම්වල සිට උත්තරීතර සිදුවීම් දක්වා ලෝකයේ බොහෝ සිදුවීම් අපි දැක තිබෙනවා.

ලොව පුරා පැවැත්වෙන විශාල යෞවන සම්මන්ත්‍රණ පිළිබඳ වාර්තා කරන්නට ලැබීම ගැන අපි සතුටු වෙනවා.1 මෙම සම්මන්ත්‍රණවලදී, ඔවුන්ගේ ජීවිතයේ කුමක් සිදු වුවද, ඔවුන්ගේ විශාලතම ශක්තිය ලැබෙන්නේ ස්වාමින්වහන්සේගෙන් බව අපගේ උතුම් යෞවන යෞවනියන් ඉගෙන ගනිමින් සිටිනවා.2

ලොව පුරා තවත් දේවමාළිගා ඉදිවෙමින් තිබීම ගැන අපි සතුටු වෙනවා. සෑම නව දේවමාළිගාවක්ම කැප කිරීමත් සමඟම, අපව ශක්තිමත් කිරීමට සහ විරුද්ධවාදියාගේ තීව්‍ර වන ප්‍රයත්නයන් නිෂ්ඵල කිරීම සඳහා අමතර දේව බලයක් ලෝකයට පැමිණෙනවා.

අපයෝජනය මගින් සතුරාගේ බලපෑම නිර්මාණය කරනවා. එය දරුණු පාපයක්.3 සභාවේ සභාපතිවරයා වශයෙන්, මෙම ගැටලුව සම්බන්ධයෙන් ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් මම මෙසේ තහවුරු කරනවා. මට පැහැදිලිව කියන්නට ඉඩ දෙන්න: ස්ත්‍රීන්ට, ළමයින්ට හෝ ඕනෑම කෙනෙකුට කිසිඳු ආකාරයකින් හිරිහැර කිරීම ස්වාමින්වහන්සේට පිළිකුලක්. කාට හෝ හානියක් වුණොත් උන්වහන්සේ දුක් වෙනවා වගේම මමත් දුක් වෙනවා. ඕනෑම ආකාරයක අපයෝජනයකට ගොදුරු වූ එක් එක් පුද්ගලයා වෙනුවෙන් උන්වහන්සේ වැලපෙනවා, අපි සැවොමත් වැලපෙනවා. මෙම පිළිකුල් සහගත ක්‍රියාවන් සිදු කරන්නන් මනුෂ්‍යයාගේ නීතිවලට ගණන් දෙනවා පමණක් නොවේ සර්වබලධාරී දෙවියන්වහන්සේගේ කෝපයටද මුහුණ දෙනවා.

දශක ගණනාවක් පුරා, සභාව විසින්, විශේෂයෙන්ම ළමයින්ව අපයෝජනයෙන් ආරක්ෂා කිරීමට පුළුල් පියවර ගෙන තිබෙනවා. සභා වෙබ් අඩවියේ බොහෝ ආධාරක තිබෙනවා. ඒවා අධ්‍යයනය කරන්න කියලා මම ඔබට ආරාධනා කරනවා.4 අහිංසකයන් ආරක්ෂා කිරීම සඳහා මෙම මාර්ගෝපදේශ ක්‍රියාත්මක වෙනවා. අපයෝජනයට ලක්වීමේ අවදානමට ලක්විය හැකි ඕනෑම අයෙකු ගැන අවදියෙන් සිටින ලෙසත් ඔවුන් ආරක්ෂා කිරීමට කඩිනමින් ක්‍රියා කරන ලෙසත් මම අප සෑම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. ගැලවුම්කරුවාණන් අපයෝජනය නොඉවසන අතර, උන්වහන්සේගේ ගෝලයන් වශයෙන්, අපටද එය ඉවසිය නොහැකියි.

විරුද්ධවාදියාට වෙනත් කරදරකාරී උපක්‍රමද තිබෙනවා. සත්‍යය සහ අසත්‍ය දේ අතර රේඛාව බොඳ කිරීමට ඔහු ගන්නා උත්සාහයන් ඒ අතර වෙනවා. අපගේ ඇඟිලි තුඩු අසල ඇති තොරතුරු ගලායාම, උත්ප්‍රාසාත්මක ලෙස, සත්‍ය කුමක්දැයි තීරණය කිරීම වඩ වඩාත් දුෂ්කර කරනවා.

සාපේක්ෂ වශයෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අසා ඇති ස්වල්ප දෙනෙක් සිටින රටක ප්‍රභූවරයකු හමුවීමට ගිය විට මම සහ නෙල්සන් සහෝදරිය ලැබූ අත්දැකීමක් මෙම අභියෝගය ගැන මට මතක් කරනවා. මේ දයාබර වියපත් මිතුරා මෑතක සිට තරමක් අසනීප වී සිටියා. ඇඳේ සිටි දින ගණනාව තුළ ඔහු බොහෝ විට සිවිලිම දෙස බලාගෙන “සත්‍යය කුමක්ද?” යනුවෙන් විමසූ බව ඔහු අපට පැවසුවා.

අද මිහිපිට සිටින බොහෝදෙනෙකු “සත්‍යයෙන් වැළකී සිටින්නේ එය කොහෙන් සොයාගත යුතු දැයි ඔවුන් නොදන්නා නිසායි.”5 සත්‍යය සාපේක්ෂ බවත්, එනම් සත්‍යය කුමක්දැයි එක් එක් පුද්ගලයා තමා විසින්ම තීරණය කළ යුතු බව සමහරුන් විශ්වාස කරනවා. තමන් දෙවියන්වහන්සේට ගණන් නොදිය යුතු යැයි වැරදියට සිතන අයට එවැනි විශ්වාසයක් ප්‍රාර්ථනා කිරීමක් වගෙයි.

ආදරණීය සහෝදර සහෝදරියනි, සියලු සත්‍යයේ උල්පත දෙවියන්වහන්සේයි. එය විද්‍යාත්මක රසායනාගාරයකින් උගත් දෙයක් හෝ උන්වහන්සේගෙන් ඍජු එළිදරව්වකින් ලද දෙයක් වුවත්, දෙවියන්වහන්සේ තම දරුවන්ට පවසන සියලුම සත්‍යයන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව විසින් වැළඳ ගන්නවා.

මේ දේශනා වේදිකාවෙන් අදත් හෙටත්, ඔබට සත්‍ය අසන්නට ලැබේවි. කරුණාකර ඔබේ අවධානයට ලක්වන සහ ඔබේ මනසට එන සහ ඔබේ හදවතේ රැඳෙන සිතුවිලි සටහන් කරගන්න. ඔබ අසා ඇති දේ සත්‍ය බව තහවුරු කරන ලෙස ස්වාමින්වහන්සේගෙන් යාච්ඤාවෙන් යුතුව ඉල්ලා සිටින්න.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මම ඔබට ආදරෙයි. මෙම සම්මන්ත්‍රණය ඔබ සොයන අධ්‍යාත්මික භුක්ති විඳීම ඔබට ලබා දෙනු ඇතැයි මම යාච්ඤා කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.