ප්‍රධාන සම්මන්ත්‍රණය
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යෞවනයේ ශක්තියයි
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යෞවනයේ ශක්තියයි

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. උන්වහන්සේ ඔබව නිවැරදි මාර්ගයට ගෙන යයි. උන්වහන්සේ ඔබේ ශක්තියයි.

අද මෙම පණිවිඩය සඳහා සූදානම් වීමේදී, තරුණ ගැහැණු ළමුන් සහ තරුණ පිරිමි ළමුන්ට ඇමතීමට මට දැඩි පෙළඹවීමක් දැනුණා.

මම කතා කරන්නේ ඒ තරුණ වියේ සිටි අයට, තවදුරටත් ඔවුන්ට ඒ කාලය මතක නැති අයට පවා මේ කතාව අදාළයි.

ඒ වගේම මම කතා කරන්නේ අපේ යෞවනයින්ට ආදරය කරන, ඔවුන් ජීවිතය සාර්ථක කරගන්නවාට කැමති හැමෝටමයි.

නැගී එන පරම්පරාව සඳහා, අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් ඔබට විශේෂයෙන් පණිවිඩයක් මා සතුව තිබෙනවා.

ඔබ වෙනුවෙන් වූ ගැලවුම්කරුවාණන්ගේ පණිවිඩය

මගේ හිතවත් කුඩා මිත්‍රවරුනි, ගැලවුම්කරුවාණන් මේ මොහොතේ මෙහි සිටියා නම්, උන්වහන්සේ ඔබට කුමක් කියයිද?

ඔබ කෙරෙහි ඇති උන්වහන්සේගේ ගැඹුරු ආදරය ප්‍රකාශ කිරීමෙන් උන්වහන්සේ ආරම්භ කරනු ඇතැයි මම විශ්වාස කරනවා. උන්වහන්සේ එය වචන වලින් කියයි, නමුත් උන්වහන්සේගේ අභිමුඛයෙන්—එය නොවැරදීම, ඔබේ හදවතේ ගැඹුරට ළඟා වී, ඔබේ මුළු ආත්මයම පුරවමින්—එය ඉතා ශක්තිමත් ලෙස ගලා යයි!

ඒත් එහෙම වුණත්, අපි හැමෝම දුර්වල හා අසම්පූර්ණ නිසා, සමහර ගැටළු ඔබේ මනසට රිංගන්න පුළුවන්. ඔබ කළ වැරදි, ඔබ පරීක්ෂාවට ලක් වූ අවස්ථා, ඔබ නොකළා යැයි ඔබ සිතන දේවල්—හෝ ඔබ වඩා හොඳින් කළා නම් යැයි ඔබ ප්‍රාර්ථනා කරන දේවල් ඔබේ මතකයට එයි.

ගැලවුම්කරුවාණන්ට එය දැනෙයි, ඒවගේම “බිය නොවන්න” කියා උන්වහන්සේ ශුද්ධලියවිලිවල සඳහන් කර ඇති වචන වලින් උන්වහන්සේ ඔබට සහතික වෙයි කියලා මම විශ්වාස කරනවා.

“බිය නොවන්න.”1

“සැක නොසිතන්න.”2

“ධෛර්යවන්තව සිටින්න.”3

“නුඹලාගේ සිත් කැලඹෙන්ට නොදෙන්න.”4

මම හිතන්නේ නැහැ උන්වහන්සේ ඔබේ වැරදි සඳහා කමක් නැහැ කියයි කියලා. උන්වහන්සේ ඒවා කුඩා කරන එකක් නැහැ. නෑ, උන්වහන්සේට ඔබට සමාව දිය හැකි වන ලෙස, ඔබේ පව් අත්හැර, වෙනස් වී—පසුතැවෙන ලෙස උන්වහන්සේ ඔබෙන් ඉල්ලා සිටියි. ඔබට පසුතැවිලි වීමට හැකි වන පරිදි, මීට වසර 2,000 කට පෙර උන්වහන්සේ එම පාපයන් තමා මතට ගත් බව උන්වහන්සේ ඔබට මතක් කරදෙයි. එය අපගේ ප්‍රේමණීය ස්වර්ගීය පියාණන්වහන්සේ අපට තෑගි කළ ප්‍රීතියේ සැලැස්මේ කොටසක්.

ඔබ බව්තීස්ම වූ විට සහ ඔබ සක්‍රමේන්තුවට සහභාගී වන සෑම අවස්ථාවකම අලුත් කරන—ඔබ උන්වහන්සේ සමඟ ඇති කරගත් ගිවිසුම්—උන්වහන්සේ සමඟ ඔබට විශේෂ සම්බන්ධයක් ලබා දෙන බව යේසුස්වහන්සේ පෙන්වා දෙයි. එය උන්වහන්සේගේ උපකාරයෙන් ඔබට ඕනෑම බරක් උසුලාගෙන යා හැකි වන පරිදි ශුද්ධලියවිලි විස්තර කරන ආකාරයට එකට බැඳී ඇති සම්බන්ධයක්.5

උන්වහන්සේ ඔබගේ ශක්තිය බව ඔබ දකිනවාට, ඔබට දැනෙනවාට, සහ ඔබ දැනගන්නවාට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කැමති බව මම විශ්වාස කරනවා. උන්වහන්සේගේ උපකාරය ඇතුව, ඔබට කළ හැකි දේවල් වලට සීමාවක් නෑ. ඒ කියන්නේ ඔබේ හැකියාවන් අසීමිතයි. උන්වහන්සේ ඔබව දකින ආකාරයටම ඔබ ඔබව දැකීම උන්වහන්සේට අවශ්‍යයි. ඒවගේම ලෝකය ඔබව දකින ආකාරයට වඩා එය බෙහෙවින්ම වෙනස්.

ඔබ සර්වබලධාරී දෙවියන්වහන්සේගේ දියණියක් හෝ පුත්‍රයෙක් බව ගැලවුම්කරුවාණන් නිශ්චිත ලෙසම ප්‍රකාශ කරයි. ඔබගේ ස්වර්ගීය පියාණන්වහන්සේ මේ විශ්වයේ වඩාත්ම තේජාන්විත ජීවියා වන අතර, උන්වහන්සේ ආදරයෙන්, ප්‍රීතියෙන්, නිර්මලකමින්, ශුද්ධ බවින්, ආලෝකයෙන්, කරුණාවෙන් සහ සත්‍යයෙන් පූර්ණයි. ඒ වගේම යම් දවසක උන්වහන්සේ සතු සියල්ල ඔබ උරුම කරගන්නවාට උන්වහන්සේ කැමතියි.6

ඔබ මේ පොළොවේ සිටීමට හේතුව එයයි—ඒ තමයි ඉගෙනීමට, වර්ධනය වීමට සහ දියුණු වීමට සහ ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්වහන්සේ ඔබව නිර්මාණය කර ඇති සියල්ල බවට පත්වීමට.

මෙය යතාර්ථයක් කිරීම සඳහා, ඔබේ ගැලවුම්කරුවාණන් වීමට උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එව්වා. උන්වහන්සේගේ ප්‍රීතියේ මහා සැලැස්ම, උන්වහන්සේගේ සභාව, උන්වහන්සේගේ පූජකත්වය, ශුද්ධලියවිලි—මේ සියල්ල පිටුපස ඇති අරමුණ තමයි ඒ.

තමයි ඔබගේ ඉරණම. තමයි ඔබේ අනාගතය. ඒ තමයි ඔබේ තේරීම!

සත්‍යය සහ තේරීම්

ඔබගේ සන්තෝෂය සඳහා දෙවියන්වහන්සේගේ සැලැස්මේ හදවත තමයි ඔබේ තෝරාගැනීමේ බලය.7 ඇත්ත වශයෙන්ම, ඔබගේ ස්වර්ගීය පියාණන්ට අවශ්‍ය වන්නේ ඔබ උන්වහන්සේ සමඟ සදාකාලික ප්‍රීතිය තෝරා ගැනීමයි, එය සාක්ෂාත් කර ගැනීමට උන්වහන්සේ ඔබට උපකාර කරයි, ඒත් උන්වහන්සේ කිසිවිටෙකත් ඒ සඳහා ඔබට බල කරන්නේ නෑ.

එමනිසා උන්වහන්සේ ඔබට තෝරාගැනීමට ඉඩ සලසනවා: ආලෝකය හෝ අන්ධකාරය? යහපත හෝ නපුර? ප්‍රීතිය හෝ දුක? සදාකාලික ජීවිතය හෝ ආත්මික මරණය?8

එය පහසු තේරීමක් ලෙස පේනවා, නේද? නමුත් කෙසේ හෝ, මේ පොළොව මත, එය පෙනෙන්න තිබෙනවාට වඩා සංකීර්ණයි.

ප්‍රශ්නය තමයි අපි කැමති තරම් පැහැදිලිව හැමවෙලේම අපිට දේවල් පෙනෙන්නට නෑ. ප්‍රේරිත පාවුල් එය සංසන්දනය කළේ “වීදුරුවකින් අඳුරු ලෙස” බැලීමකටයි.9 හරි දේ සහ වැරදි දේ ගැන ලෝකයේ බොහෝ ව්‍යාකූලත්වයන් තිබෙනවා. අයහපත හොඳ ලෙසත් යහපත අයහපත් ලෙසත් පෙනෙමින් සත්‍යය විකෘති වෙනවා.10

නමුත් ඔබ උනන්දුවෙන්—එම සදාකාලික, නොවෙනස්වන සත්‍යය සොයන විට—ඔබේ තේරීම් වඩාත් පැහැදිලි වෙනවා. ඔව්, ඔබට තවමත් පරීක්ෂාවන් සහ අභියෝග තියෙයි. නරක දේවල් තවමත් සිදුවෙයි. ප්‍රහේලිකා සහිත දේවල්, ඛේදජනක දේවල් සිදුවෙයි. නමුත් ඔබ කවුද, ඔබ මෙහි සිටින්නේ ඇයි සහ ඔබ දෙවියන්වහන්සේව විශ්වාස කළ යුත්තේ කෙලෙසද කියා ඔබ දැනගත් විට ඔබට ඒවා දරාගන්න පුළුවන්.

ඉතින් ඔබ සත්‍යය සොයා ගන්නේ කොහෙන්ද?

එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ ඇතුළත් වෙනවා. ශුභාරංචියේ ඒ පූර්ණත්වය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ උගන්වනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙහෙම කිව්වා: “මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරුණුකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත.”11

ඔබට වැදගත් තේරීම් කිරීමට ඇති විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය තමයි හොඳම තේරීම. ඔබට ප්‍රශ්න ඇති විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහ උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය තමයි හොඳම පිළිතුර. ඔබට දුර්වල බවක් දැනෙන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තමයි ඔබේ ශක්තිය.

උන්වහන්සේ වෙහෙසට පත් වූවන්ට බලය ලබා දෙනවා; ඒවගේම බල රහිත යැයි හැඟෙන අයට, උන්වහන්සේ ශක්තිය වැඩි කර දෙනවා.

ස්වාමින්වහන්සේ කෙරෙහි බලා සිටින අය උන්වහන්සේගේ ශක්තියෙන් අලුත් වෙනවා.12

යෞවනයින්ගේ ශක්තිය සඳහා

ඔබට මාර්ගය සොයා ගැනීමට උදව් වීමට සහ ක්‍රිස්තුස්වහන්සේගේ දහම ඔබේ ජීවිතයට මගපෙන්වන බලපෑම බවට පත්කිරීමට ඔබට උපකාර කිරීම සඳහා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාව විසින් නව සම්පතක් සූදානම් කර තිබෙනවා, එය යෞවනයින්ගේ ශක්තිය සඳහා සංශෝධිත අනුවාදයක්.

රූපය
යෞවනයින්ගේ ශක්තිය සඳහා 2011 අනුවාදය

වසර 50 කට වැඩි කාලයක්, යෞවනයින්ගේ ශක්තිය සඳහා සම්පත පසුදවස් වල ශුද්ධවන්තයින්ගේ පරම්පරා ගණනාවකට මාර්ගෝපදේශයක් වී තිබෙනවා. මම සෑම විටම මගේ සාක්කුවේ පිටපතක් තබා ගන්නවා, ඒවගේම අපගේ ප්‍රමිතීන් ගැන කුතුහලයෙන් සිටින අය සමඟ මම එය බෙදාගන්නවා. අපේ අද දවසේ අභියෝග සහ පරීක්ෂාවන්ට, වඩා හොඳින් මුහුණ දීම සඳහා එය යාවත්කාලීන කර ප්‍රබෝධමත් කර තිබෙනවා. යෞවනයින්ගේ ශක්තිය සඳහා හි නව අනුවාදය විවිධ භාෂා 50 කින් අන්තර්ජාලයෙන් ලබා ගත හැකි අතර මුද්‍රණයෙන් ද ලබා ගන්න පුළුවන්. ඔබේ ජීවිතයේ තේරීම් කිරීමට එය සැලකිය යුතු උපකාරයක් වෙයි. කරුණාකර එය ඔබේම දෙයක් ලෙස වැළඳගෙන ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න.

රූපය
යෞවනයින්ගේ ශක්තිය සඳහා 2022 අනුවාදය

යෞවනයින්ගේ ශක්තිය සඳහා සම්පතේ මෙම නව අනුවාදයේ තෝරාගැනීම් සඳහා මාර්ගෝපදේශයක් ඇතුළත් කර තිබෙනවා.

ඉතා පැහැදිලිව කිවහොත්, තේරීම් කිරීම සඳහා ඔබට තිබිය හැකි හොඳම මාර්ගෝපදේශකය තමයි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තමයි යෞවනයේ ශක්තිය.

එබැවින් යෞවනයින්ගේ ශක්තිය සඳහා සම්පතේ අරමුණ ඔබව උන්වහන්සේ වෙතට යොමු කිරීමයි. එය උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචියේ සදාකාලික සත්‍යයන් ඔබට උගන්වනවා—ඔබ කවුද, උන්වහන්සේ කවුද සහ උන්වහන්සේගේ ශක්තියෙන් ඔබට ඉටු කළ හැකි දේ පිළිබඳ සත්‍යයන් උගන්වනවා. එම සදාකාලික සත්‍යයන් මත පදනම්ව ධර්මිෂ්ඨ තේරීම් කරන්නේ කෙසේදැයි එය ඔබට උගන්වනවා.13

යෞවනයින්ගේ ශක්තිය සඳහා සම්පත විසින් නොකරන්නේ කුමක්දැයි දැන ගැනීමත් වැදගත්. එය ඔබ වෙනුවෙන් තීරණ ගන්නේ නෑ. ඔබ කවදා හෝ මුහුණ දිය හැකි සෑම තේරීමක් ගැනම එය ඔබට “ඔව්” හෝ “නැත” යන පිළිතුරු ලබාදෙන්නේ නෑ. යෞවනයින්ගේ ශක්තිය සඳහා සම්පත ඔබේ තේරීම් සඳහා පදනම කෙරෙහි අවධානය යොමු කරනවා. එය සෑම නිශ්චිත හැසිරීමක් වෙනුවට සාරධර්ම, මූලධර්ම සහ දහම කෙරෙහි අවධානය යොමු කරනවා.

ස්වාමින්වහන්සේ, උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් හරහා, සෑම විටම අපව එම දිශාවට යොමුකර තිබෙනවා. “එළිදරව්ව ලබාගැනීමට [අපගේ] අධ්‍යාත්මික හැකියාව වැඩි කරගන්නා” ලෙස උන්වහන්සේ අපෙන් ආයාචනා කරනවා.14 “උන්වහන්සේට සවන් දෙන්න”15 කියා උන්වහන්සේ අපට ආරාධනා කරනවා. උසස් හා පරිශුද්ධ මාර්ග වලින් උන්වහන්සේව අනුගමනය කරන ලෙස උන්වහන්සේ අපව කැඳවනවා.16 එන්න, මා අනුගමනය කරන්න තුළින් අපි සෑම සතියකම ඒ හා සමාන ආකාරයකින් ඉගෙනගන්නවා.

ඔබ නොඇඳිය යුතු ඇඳුම්, ඔබ නොකිව යුතු වචන සහ ඔබ නැරඹිය යුතු නැති චිත්‍රපටවල දිගු ලැයිස්තු එම මාර්ගෝපදේශකයට ඔබට ලබා දිය හැකි බව මම හිතනවා. නමුත් එය ගෝලීය සභාවකට ඇත්තෙන්ම ප්‍රයෝජනවත් වේවිද? එවන් ප්‍රවේශයක් ක්‍රිස්තුස්වහන්සේ මෙන් ජීවත් වීමට ජීවිත කාලය පුරාවටම ඔබව සූදානම් කරයිද?

ජෝසෆ් ස්මිත් මෙසේ කිව්වා, “මම ඔවුන්ට නිවැරදි මූලධර්ම උගන්වනවා, ඒවගේම ඔවුන් තමන්වම පාලනය කරගන්නවා.”17

බෙන්යමින් රජු මොර්මොන්ගේ පොතේ තම සෙනඟට මෙසේ පැවසුවා, “නුඹලා විසින් පාපයන් සිදුකළ හැකි සියලු දේවල් කීමට මට නොහැකිය; මක්නිසාද එහි බොහෝ මාර්ග සහ ක්‍රම ඇත, ඒවා බොහෝය, මට ඒවා ගණන් කළ නොහැක.”18

බෙන්යමින් රජු තවදුරටත් මෙසේ පැවසුවා: “එහෙත් මෙපමණක් මට නුඹලාට කිව හැක, … නුඹලා ගැනත්, තවද නුඹලාගේ සිතුවිලි ගැනත්, තවද නුඹලාගේ වචන ගැනත්, තවද නුඹලාගේ ක්‍රියාවන් ගැනත් බලාගනින්න, තවද දෙවියන්වහන්සේගේ ආඥාවන් පවත්වන්න, තවද නුඹලාගේ ජීවිතයේ අවසානය දක්වා වුවද … අපගේ ස්වාමින්වහන්සේ කෙරෙහි, ඇදහිල්ලෙන් නොකඩවා පවතින්න.”19

රූපය
ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

නීති තිබීම වැරදිද? ඇත්තවශයෙන්ම නෑ. අපි හැමෝටම හැමදාම ඒවා අවශ්‍යයි. නමුත් ගැලවුම්කරුවාණන් කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවට නීති ගැන පමණක් අවධානය යොමු කිරීම වැරදියි. ඇයි සහ කෙසේද යන්න ඔබ දැනගත යුතු අතර, ඔබේ තේරීම්වල ප්‍රතිවිපාක ඔබ සලකා බැලිය යුතුයි. ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය යුතුයි. උන්වහන්සේ ඔබව නිවැරදි මාර්ගයට ගෙන යයි. උන්වහන්සේ ඔබේ ශක්තියයි.20

සැබෑ දහමේ බලය

යෞවනයින්ගේ ශක්තිය සඳහා සම්පත යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දහම ඉතා සෘජුව ප්‍රකාශ කරනවා. ක්‍රිස්තුස්වහන්සේගේ දහම මත පදනම්ව තේරීම් කිරීමට එය ඔබට සෘජුවම ආරාධනා කරනවා. ඒවගේම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මාර්ගය අනුගමනය කරන අයට උන්වහන්සේ පොරොන්දු වන ආශිර්වාදද එය සෘජුව විස්තර කරනවා.21

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්වූවා: “ඔබේ ලොකුම ආශාව වන්නේ [ඔබේ ජීවිතය තුළ] දෙවියන්වහන්සේට ජය ගැනීමට ඉඩ දීම නම්, බොහෝ තීරණ පහසු වෙනවා. … බොහෝ ගැටළු ගැටළු නොවන ඒවා බවට පත්වෙනවා! ඔබම ලස්සනට සැරසෙන්නේ කෙසේදැයි ඔබ දැනගන්නවා. නැරඹිය යුතු හා කියවිය යුතු දේ, ඔබේ කාලය ගතකළ යුත්තේ කොතැනද, සහ ඇසුරු කළ යුත්තේ කා සමඟද යන්න ඔබ දැනගන්නවා. ඔබට ඉටුකරගැනීමට අවශ්‍ය දේ ඔබ දැනගන්නවා. ඔබ වීමට කැමති පුද්ගලයා … කවුරුද කියා ඔබ දැනගන්නවා.”22

උසස් ප්‍රමිතියක්

යේසුස් ක්‍රිස්තුස්වහන්සේට උන්වහන්සේගේ අනුගාමිකයන් සඳහා ඉතා උසස් ප්‍රමිතීන් තිබෙනවා. එමෙන්ම උන්වහන්සේගේ කැමැත්ත ඕනෑකමින් සොයා බලා උන්වහන්සේගේ සත්‍යයන් අනුව ජීවත් වීමට කරන ආරාධනය තමයි උසස්ම ප්‍රමිතිය!

වැදගත් ලෞකික සහ අධ්‍යාත්මික තේරීම් පුද්ගලික මනාපයන් හෝ පහසු හෝ ජනප්‍රිය දේ මත පමණක් පදනම් නොවිය යුතුයි.23 “ඔබ කැමති ඕනෑම දෙයක් කරන්න” කියා ස්වාමින්වහන්සේ කියන්නේ නෑ.

උන්වහන්සේ කියන්නේ “දෙවියන්වහන්සේට ජයගන්න ඉඩදෙන්න” කියායි.

උන්වහන්සේ කියන්නේ, “එන්න, මා අනුගමනය කරන්න” කියායි.24

උන්වහන්සේ කියන්නේ “පරිශුද්ධ, උසස්, පරිණත ආකාරයකින් ජීවත් වන්න” කියායි.

උන්වහන්සේ කියන්නේ “මාගේ ආඥා පවත්වන්න” කියායි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ පරිපූර්ණ ආදර්ශය වන අතර, අපගේ ප්‍රාණයේ මුළු ශක්තියෙන්ම උන්වහන්සේව අනුගමනය කිරීමට අපි උත්සාහ කරමු.

මගේ ආදරණීය මිත්‍රවරුනි, මට නැවත කියන්නට ඉඩ දෙන්න, ගැලවුම්කරුවාණන් අද මෙහි සිටගෙන සිටියේ නම්, උන්වහන්සේ ඔබ කෙරෙහි උන්වහන්සේ තුළ ඇති අසීමිත ආදරය, ඔබ කෙරෙහි ඇති උන්වහන්සේගේ සම්පූර්ණ ආත්ම-විශ්වාසය ප්‍රකාශ කරයි. ඔබට මෙය කළ හැකි බව උන්වහන්සේ ඔබට කියයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබේ ශක්තිය නිසා ඔබට ප්‍රීතිමත්, සන්තෝෂවත් ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන්. ඔබට ආත්ම-විශ්වාසය, සාමය, ආරක්ෂාව, සතුට, දැන් සහ සදාකාලයට අයිති බව සොයා ගන්න පුළුවන්, මොකද ඔබ ඒ සියල්ල යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ, උන්වහන්සේගේ ශුභාරංචිය තුළ සහ උන්වහන්සේගේ සභාව තුළ සොයා ගනියි.

මේ පිළිබඳව මම ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතවරයෙකු ලෙස මාගේ බැරෑරුම් සාක්ෂි දරන අතර ඔබ කෙරෙහි ගැඹුරු කෘතඥතාවයෙන් හා ආදරයෙන් යුතුව මාගේ හෘදයාංගම ආශිර්වාදය ඔබට තබන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. ලූක් 5:10; 8:50; 12:7; දහම සහ ගිවිසුම් 38:15; 50:41; 98:1.

  2. දහම සහ ගිවිසුම් 6:36.

  3. මතෙව් 14:27; යොහාන් 16:33; දහම සහ ගිවිසුම් 61:36; 68:6; 78:18.

  4. යොහාන් 14:1, 27.

  5. බලන්න මතෙව් 11:28–30.

  6. බලන්න දහම සහ ගිවිසුම් 84:38.

  7. ඔබ කැමති දේවල සම්පූර්ණ ප්‍රතිඵල ඔබට ලැබෙනු පිණිස, පියාණන්වහන්සේගේ සැලැස්ම සැලසුම් කර ඇත්තේ ඔබේ තේරීම් හරහා ඔබේ ආශාවන් ප්‍රකාශ කිරීමට ඉඩ සලසා දීම සඳහා බව ඔබට පැවසිය හැකිය. වැඩිහිටි ඩේල් ජී. රෙන්ලන්ඩ් ඉගැන්වූ පරිදි, “දෙමාපියෙක් ලෙස ක්‍රියා කිරීමේදී අපගේ ස්වර්ගික පියාණන්ගේ ඉලක්කය වන්නේ උන්වහන්සේගේ දරුවන් ලවා හරි දේ කරවීම නොවේ; ඒ උන්වහන්සේගේ දරුවන් හරි දේ කිරීමට තෝරාගෙන අවසානයේ උන්වහන්සේ හා සමාන වීමටයි” (“Choose You This Day,” Liahona, Nov. 2018, 104).

  8. බලන්න 2 නෙපි 2:26–27.

  9. 1 කොරින්ති 13:12.

  10. බලන්න යෙසායා 5:20.

  11. යොහාන් 14:6.

  12. බලන්න යෙසායා 40:29–31.

  13. පසුදවස් වල ශුද්ධවන්තයන් ලෙස, අප බොහෝ විට අප කරන සහ නොකරන දේ—අපගේ හැසිරීම් සඳහා ප්‍රසිද්ධය. මෙය හොඳ විය හැකි නමුත්, අප දන්නා දේ (අපගේ හැසිරීම් මෙහෙයවන සත්‍යයන්) සහ අප දන්නා කෙනා (ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය අපගේ හැසිරීම් පොළඹවන ආකාරය) පිළිබඳව දැන සිටීම වඩා හොඳය.

  14. රසල් එම්. නෙල්සන්, “සභාව සඳහා එළිදරව්, අපගේ ජීවිත සඳහා එළිදරව්,” ලියහෝනා මැයි 2018, 96.

  15. රසල් එම්. නෙල්සන්, “උන්වහන්සේට සවන්දෙන්න,” ලියහෝනා, 2020 මැයි, 88–92.

  16. යෞවනයේ ශක්තිය සඳහා නව මාර්ගෝපදේශයේ මූලධර්ම මත පදනම් වූ ප්‍රවේශය ගැලවුම්කරුවාණන්ගේ සභාව විසින් හඳුන්වා දුන් අනෙකුත් මෑත මුල පිරීම්වලට අනුකූල වේ, ඒවා නම් මාගේ ශුභාරංචිය දේශනා කිරීම, දේවසේවය, නිවස කේන්ද්‍ර කරගත් එන්න, මා අනුගමනය කරන්න විෂය මාලාව, ළමා හා තරුණ වැඩසටහන, ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම, සහ නව ප්‍රධාන අත්පොත. පැහැදිලිවම, ස්වාමින්වහන්සේ අපගේ අධ්‍යාත්මික හැකියාව ගොඩනඟමින් සිටියි. අවසාන දිනවලදී උන්වහන්සේ තම ගිවිසුමේ සෙනඟ කෙරෙහි වැඩි විශ්වාසයක් පෙන්නුම් කරයි.

  17. Teachings of Presidents of the Church: Joseph Smith (2007), 284.

  18. මොසායා 4:29. එක් ආකාරයකින්, යේසුස්වහන්සේගේ කාලයේ සිටි පරිසිවරුන් කිරීමට උත්සාහ කළේ මෙයයි. මිනිසුන් නීතිය කඩ කිරීම නැවැත්වීමට ඔවුන් තුළ තිබූ උද්‍යෝගයෙන්, ඔවුන් ශුද්ධලියවිලි පිළිබඳ ඔවුන්ගේ අවබෝධය මත පදනම්ව නීති සිය ගණනක් සම්පාදනය කළහ. පරිසිවරුන්ට වැරදුන දෙය නම්, ඔවුන්ගේ නීති ඔවුන්ව ගලවා ගනු ඇතැයි ඔවුන් සිතීමයි. ඉන්පසු, ගැලවුම්කරුවාණන් පෙනී සිටි විට, ඔවුන් උන්වහන්සේව හඳුනා ගත්තේ නැත.

  19. මොසායා 4:30; අවධාරණය කිරීම් සහිතයි.

  20. අද දින ප්‍රතිපත්ති මත පදනම් වූ ප්‍රවේශයක් අවශ්‍ය වන තවත් හේතුවක් වන්නේ ස්වාමින්වහන්සේගේ සභාවේ සංස්කෘතික විවිධත්වය වැඩි වීමයි. මූලධර්ම සදාකාලික හා විශ්වීය යි. නිශ්චිත රීති හෝ එම මූලධර්මවල යෙදීම් සමහර ස්ථානවල හොඳින් ක්‍රියාත්මක වන නමුත් අනෙක් ස්ථාන වල එසේ නොවේ. යම් නිශ්චිත යෙදුම් කාලයත් සමඟ සහ සංස්කෘතීන් හරහා වෙනස් වුවද, අපව එක්සත් කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේ ඉගැන්වූ සදාකාලික සත්‍යයන්. එබැවින් කළ හැකි සහ නොකළ හැකි සෑම දෙයක්ම ලැයිස්තුගත කිරීමේ ගැටලුව එය ප්‍රායෝගික නොවන බව සහ තිරසාර නොවන බව පමණක් නොවේ. ගැටලුව වන්නේ එය අපගේ ශක්තියේ සැබෑ මූලාශ්‍රය වන අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් අපගේ අවධානය වෙනතකට යොමු කිරීමයි.

  21. වසර ගණනාවකට පෙර, සභාපති බොයිඩ් කේ. පැකර් මෙම ප්‍රබල වචන කථා කළේය: “තේරුම් ගත්, සැබෑ දහම, ආකල්ප සහ හැසිරීම වෙනස් කරයි. චර්යාව පිළිබඳ අධ්‍යයනයක් හැසිරීම් වැඩිදියුණු කරනවාට වඩා ශුභාරංචියේ මූලධර්ම අධ්‍යයනය කිරීමෙන් හැසිරීම ඉක්මනින් දියුණු වේ” (“Do Not Fear,” Liahona, May 2004, 79).

    සභාපති එස්රා ටෆ්ට් බෙන්සන් ද එවැනිම සත්‍යයක් ඉගැන්වීය: “ස්වාමින්වහන්සේ ක්‍රියා කරන්නේ ඇතුළත සිට පිටතටය. ලෝකය ක්‍රියා කරන්නේ පිටත සිට ඇතුළතටය. … ලෝකය මිනිස් හැසිරීම් හැඩගස්වනු ඇත, නමුත් ක්‍රිස්තුස්වහන්සේට මිනිස් ස්වභාවය වෙනස් කළ හැකිය” (“Born of God,” Ensign, Nov. 1985, 6).

    මොර්මොන්ගේ පොතේ අනාගතවක්තෘ ඇල්මා තමා අවට ලෝකයේ නපුර දුටු විට, ඔහු දෙවියන්වහන්සේගේ වචනය වෙත යොමු වූයේ එය “කඩුවට හෝ වෙනත් ඕනෑම දෙයකට වඩා මිනිසුන්ගේ මනසට බලවත් බලපෑමක් ඇති කරන බව ඔහු දැන සිටි බැවිනි—එසේහෙයින් දෙවියන්වහන්සේගේ වචනයේ ගුණය අත්හදා බැලීම සුදුසු යැයි ඇල්මා සිතුවේය” (ඇල්මා 31:5).

  22. රසල් එම් නෙල්සන් “දෙවියන්වහන්සේට ජයගන්නට ඉඩදෙන්න,” ලියහෝනා, නොවැ. 2020, 94. මගේ තරුණ අවධියේදී, සබත් දවසේදී කළ යුතු දේ සහ නොකළ යුතු දේවල් ලැයිස්තුවක් සකස් කරගත් අනෙක් අයගේ වැඩ මම අධ්‍යයනය කළා. මගේ හැසිරීම සහ සබත් දවස පිළිබඳ මගේ ආකල්පය, මා සහ මගේ ස්වර්ගික පියාණන්වහන්සේ අතර සලකුණක් බව මම ශුද්ධලියවිලි වලින් දැනගත්තේ ඊට පසුවයි. එම අවබෝධයත් සමඟ, මට තවදුරටත් කළ යුතු හා නොකළ යුතු දේ ලැයිස්තුවක් අවශ්‍ය වුණේ නෑ. යම් ක්‍රියාකාරකමක් සබත් දවසට සුදුසුද නැද්ද යන්න පිළිබඳව මට තීරණයක් ගැනීමට සිදුවූ විට, මම සරලවම මගෙන්ම මෙසේ ඇසුවා, ‘මට දෙවියන්වහන්සේට දිය යුතු සලකුණ කුමක්ද?’ ඒ ප්‍රශ්නය සබත් දවස ගැන මගේ තේරීම් පැහැදිලි කළා” (“The Sabbath Is a Delight,” Liahona, May 2015, 130).

  23. වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෙසේ ඉගැන්වූවේය “ධර්මිෂ්ඨකමේ මූලධර්ම … අපගේ පුද්ගලික මනාපයන් සහ ආත්ම කේන්ද්‍රීය ආශාවන්ගෙන් ඔබ්බට බැලීමට අපට උපකාර වන අතර, අප විවිධ තත්වයන්, අභියෝග, තීරණ සහ මරණ අත්දැකීම් වෙත ගමන් කරන විට සදාකාලික සත්‍යයේ අගනා ඉදිරිදර්ශනය ලබා දෙයි” (“The Principles of My Gospel,” Liahona, May 2021, 123–24).

  24. ලූක් 18:22.