ප්‍රධාන සම්මන්ත්‍රණය
දිරිගැන්වීමේ උරුමය
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


දිරිගැන්වීමේ උරුමය

ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත නැවත පැමිණීමට සුදුසුකම් ලැබීමට දිගටම උත්සාහ කරන ලෙස මම ඔබව දිරිමත් කරනවා.

මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ මෙම ප්‍රධාන සම්මන්ත්‍රණයට ඔබ සමග එකතු වීමට ලැබීම ගැන මම කෘතඥ වෙනවා. ඔබ කොතැනක සිටියත් ඔබේ ඇදහිල්ල සහ ඔබේ ආදරය අපට දැනෙනවා. දේවානුභාවය ලත් ඉගැන්වීම්, බලගතු සාක්ෂි සහ විශ්මය ජනක සංගීතයෙන් අපි දැනුම ලබාගෙන තිබෙනවා.

ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත නැවත පැමිණීමට සුදුසුකම් ලැබීමට දිගටම උත්සාහ කරන ලෙස මම ඔබව දිරිමත් කරනවා. ඔබ ගිවිසුම් මාවතේ කොතැනක සිටියත්, ලෞකිකත්වයේ භෞතික පරීක්ෂාවන්ට සහ සාතන්ගේ විරුද්ධත්වයට එරෙහිව අරගලයක් ඔබ සොයා ගනියි.

යමක් කොතරම් දුෂ්කරදැයි මම පැමිණිලි කළ විට මගේ මව මට මෙසේ කියනවා, “අනේ, හැල්, ඇත්තෙන්ම එය අමාරුයි. එය එසේ විය යුතුයි. ජීවිතය කියන්නෙ පරීක්ෂණයක්.”

ඇයට සිනහවක් සමඟ එය සන්සුන්ව පැවසීමට හැකි වූයේ ඇය කාරණා දෙකක් දන්නා නිසයි. අරගලය කුමක් වුවත්, වඩාත්ම වැදගත් දෙය තමයි ඇගේ ස්වර්ගික පියාණන් සමඟ සිටීමට නිවසට පැමිණීම. ඒවගේම ඇයගේ ගැලවුම්කරුවාණන් කෙරෙහි ඇදහිල්ලෙන් එය කළ හැකි බව ඇය දැන සිටියා.

උන්වහන්සේ ඇයට සමීප බව ඇයට දැනුණා. ඇය මිය යාමට ආසන්න බව දැන සිටි දිනවලදී, ඇය තම නිදන කාමරයේ වැතිර සිටින විට ගැලවුම්කරුවාණන් ගැන මා සමඟ කතා කළා. ඇගේ ඇඳ අසල තවත් කාමරයකට දොරක් තිබුණා. ඉක්මනින් උන්වහන්සේව දැකීම ගැන ඇය සන්සුන්ව කතා කළ විට ඇය සිනාසෙමින් ඒ දොර දෙස බැලුවා. මට තාම මතකයි මම දොර දිහා බලාගෙන ඒ පිටිපස්සෙ තියෙන කාමරේ මවාගත්ත හැටි.

ඇය දැන් ඉන්නේ ආත්මික ලෝකයේ. වසර ගණනාවක ශාරීරික හා පෞද්ගලික අභියෝග ඔස්සේ වුවත් ඇයට අවශ්‍ය ත්‍යාගය කෙරෙහි ඇගේ දෑස් තබා ගැනීමට ඇයට හැකි වුණා.

ඇය අප වෙනුවෙන් ඉතිරි කළ දිරිගැන්වීමේ උරුමය වඩාත් හොඳින් මොරෝනි 7 හි විස්තර කර තිබෙනවා, එහිදී මොර්මොන් විසින් ඔහුගේ පුත් මොරෝනිව සහ ඔහුගේ ජනතාවව දිරිමත් කරනවා. මාගේ මවගෙන් ඇයගේ පවුලට ලැබුණා මෙන්, එයද පරම්පරාවකට ලැබුණු දිරිගැන්වීමේ දායාදයක්. සදාකාල ජීවනය සඳහා ඔවුන්ගේ සියලු ලෞකික පරීක්ෂණ හරහා සුදුසුකම් ලැබීමට අධිෂ්ඨානයක් ඇති සියල්ලන්ට මොර්මොන් විසින් එම දිරිගැන්වීමේ උරුමය ලබා දුන්නා.

මොරෝනි 7 හි පළමු පදය මොර්මොන් විසින් ආරම්භ කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන, දේවදූතයින් ගැන, ඒවගේම යහපත් දේ තෝරාගැනීමට හැකි වන පරිදි නපුරෙන් යහපත දැනගැනීමට අපට උදව් කරන, ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මය ගැන සාක්ෂි දැරීමෙන්.

තම ස්වර්ගීය නිවස කරා යන මාර්ගයේ ඉහළට යාමට අරගල කරන අයව දිරිගැන්වීමේ දී සාර්ථක වන සියල්ලන් මෙන් ඔහුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේට මුල් තැන දුන්නා:

“මක්නිසාද, ක්‍රිස්තුස්වහන්සේගේ වචනවලට අනුව, උන්වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිල්ල ඇත්නම් මිස, කිසි මනුෂ්‍යයෙකුට ගැලවිය නොහැක්කේය; එසේහෙයින් මෙම දේවල් නැතිවී ඇත්නම්, එසේනම් ඇදහිල්ලද නැතිවී ඇත්තේය; තවද මනුෂ්‍යයාගේ තත්වය භයංකාරය, මක්නිසාද එහි ඔවුන්ට මුදවාගැනීමක් සිදු නොවුනා මෙන්ය.

“නමුත් බලන්න, මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, මම නුඹලා ගැන යහපත් දේවල් විනිශ්චය කරන්නෙමි, මක්නිසාද නුඹලාගේ නිහතමානිකම නිසා ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල නුඹලාට ඇත්තේ යැයි මම විනිශ්චය කරන්නෙමි; එහෙත් උන්වහන්සේ තුළ නුඹලාට ඇදහිල්ල නොමැති නම්, එවිට නුඹලා උන්වහන්සේගේ සභාවේ ජනතාව අතර ගණන් ගනු ලැබීමට සුදුසු නොවන්නෝය.”1

නිහතමානී බව ඔවුන්ගේ ඇදහිල්ලේ ශක්තියේ සාක්ෂියක් ලෙස මොර්මොන් දුටුවා. ඔවුන් ගැලවුම්කරුවාණන් මත යැපෙන බව ඔහු දුටුවා. එම ඇදහිල්ල සටහන් කරමින් ඔහු ඔවුන්ව දිරිමත් කළා. ඔවුන්ගේ අභියෝග ජයගැනීමේදී ඔවුන්ගේ රැකවරණය සහ ඔවුන්ගේ ආත්ම-විශ්වාසය ගොඩනැගීමට ඇදහිල්ල සහ නිහතමානී බව අවශ්‍ය වන බව දැකීමට උදව් කරමින් මොර්මොන් දිගින් දිගටම ඔවුන්ට දිරිගැන්වීම් ලබාදුන්නා:

“තවද නැවතත්, මාගේ ප්‍රියාදර සහෝදරයිනි, මම නුඹලා හට බලාපොරොත්තුව සම්බන්ධව කතාකරන්නෙමි. නුඹලාට බාලපොරොත්තුව ඇත්නම් මිස, කෙසේ නුඹලා ඇදහිල්ල වෙතට ලඟා වන්නේද?

“තවද නුඹලා කුමක් උදෙසා බලාපොරොත්තු වන්නෙහුද? බලව, මම නුඹලාට කියන්නෙමි එනම් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් සහ උන්වහන්සේගේ නැවත නැගිටීමේ බලයෙන්, සදාතන ජීවනයට නැගිටීමට නුඹලාට බලාපොරොත්තුව ලැබෙන්නේය, තවද ඒ මෙම පොරොන්දුව අනුව උන්වහන්සේ කෙරෙහි ඇති නුඹලාගේ ඇදහිල්ල නිසාය.

“එසේහෙයින් මනුෂ්‍යයෙකුට ඇදහිල්ල ඇත්නම්, ඔහුට බලාපොරොත්තුව තිබීම අවශ්‍ය වන්නේය; මක්නිසාද ඇදහිල්ල නැතිව එහි කිසි බලාපොරොත්තුවක් නොවන්නේය.

“තවද නැවතත්, බලන්න මම නුඹලාට කියන්නෙමි ඔහුට නිහතමානිත්වය සහ හදවතේ යටහත්කමින් මිස ඔහුට ඇදහිල්ල සහ බලාපොරොත්තුව තිබිය නොහැකි වන්නේය.”2

ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේ නිර්මල ප්‍රේමයෙන් පිරුණු ඔවුන්ගේ හදවත් නමැති ත්‍යාගය ලැබීමේ මාවතේ සිටින බවට සාක්ෂි දීමෙන් පසුව මොර්මොන් ඔවුන්ව දිරිමත් කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල, යටහත්කම, නිහතමානීකම, ශුද්ධාත්මයාණන්, සහ සදාකාල ජීවනය ලැබීමේ ස්ථිර බලාපොරොත්තුව යන අන්තර්ක්‍රියා ඔහු ඔවුන් වෙනුවෙන් එකට ගෙතුවා. ඔහු ඔවුන්ව දිරිමත් කරන්නේ මේ ආකාරයටයි:

“මක්නිසාද නිහතමානිකමින් සහ හදවතේ යටහත්කමින් මිස කිසිවක් දෙවියන්වහන්සේ ඉදිරියේ පිළිනොගන්නේය; තවද මනුෂ්‍යයෙකු නිහතමානිකමින් සහ හදවතින් යටහත්ව සිට ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් යේසුස්වහන්සේ යනු ක්‍රිස්තුස් යැයි පවසන්නේ නම්, ඔහුට පිවිතුරු ප්‍රේමය තිබිය යුතුම වන්නේය; මක්නිසාද ඔහුට පිවිතුරු ප්‍රේමය නොමැතිනම් ඔහු නිෂ්ඵලය; එසේහෙයින් ඔහුට පිවිතුරු ප්‍රේමය තිබීම අත්‍යවශ්‍යම වන්නේය.”3

ආපසු හැරී බලන විට, එම පිවිතුරු ප්‍රේමය—ක්‍රිස්තුස්වහන්සේගේ පිවිතුරු ප්‍රේමය—මගේ මව නැවත නිවසට යන ගමනේ අරගලයේදී ඇය ශක්තිමත් වූ, මගපෙන්වනු ලැබූ, තිරසාර වූ සහ වෙනස් වූ ආකාරය මට දැන් පේනවා.

“තවද දයාව බොහෝ ඉවසිලිවන්තය, තවද කරුණාවන්තය, තවද ඊර්ශ්‍යා වන්නේ නැත, තවද පිම්බෙන්නේ නැත, තමාගේම කාරණා සොයන්නේ නැත, ලෙහෙසියෙන් කුපිත නොවන්නේය, දුෂ්ට දේ නොසිතන්නේය, තවද යුතුකම ගැන ප්‍රීති නොවී එහෙත් සත්‍ය තුළ ප්‍රීති වන්නේය, සියලු දේවල් උසුලන්නේය, සියලු දේවල් විශ්වාස කරන්නේය, සියලු දේවල් බලාපොරොත්තු වන්නේය, සියලු දේවල් දරාගන්නේය.

“එබැවින්, මාගේ ප්‍රියාදර සහෝදරයිනි, නුඹලාට පිවිතුරු ප්‍රේමය නොමැති නම්, නුඹලා නිෂ්ඵලය, මක්නිසාද පිවිතුරු ප්‍රේමය කිසිදිනෙක අසමත් නොවන්නේය. එසේහෙයින් පිවිතුරු ප්‍රේමයට ඇලී සිටින්න. එය සියල්ලට වඩා ශ්‍රේෂ්ඨය, මක්නිසාද සියලු දේ නිෂ්ඵල විය යුතු වන්නේය—

“එහෙත් පිවිතුරු ප්‍රේමය යනු ක්‍රිස්තුස්වහන්සේගේ පිවිතුරු ප්‍රේමයයි, තවද එය සදාකාලයට දරාගන්නේය; තවද අවසාන දවසේදී එය කවරෙකු මත තිබෙන්නේද, එය ඔහුට යහපත් වන්නේය.

“එසේහෙයින්, මාගේ ප්‍රියාදර සහෝදරයිනි, හදවතේ සියලු ශක්තිය සමඟ පියාණන්වහන්සේට යාච්ඤා කරන්න, ඒ කරණකොටගෙන නුඹලා මේ ප්‍රේමය සමඟ පූර්ණ වන පිණිසය, එය උන්වහන්සේ; යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වූ, උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ සැබෑ අනුගාමිකයින් මත ප්‍රදානය කර ඇති සේක; එනම් නුඹලා දෙවියන්වහන්සේගේ පුත්‍රයන් බවට පත්වීමටය; උන්වහන්සේ පෙනී සිටින විට අපි උන්වහන්සේ මෙන් වීම පිණිසය, උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේව දකින්නෙමු, ඒ කරණකොටගෙන අපි මේ බලාපොරොත්තුව ඇතිව එනම් උන්වහන්සේ පවිත්‍ර වන්නාක් මෙන් අපිද පවිත්‍ර වන පිණිසය.”4

මොර්මොන්ගේ ආදර්ශයේ සහ ඉගැන්වීමේ දිරිගැන්වීම ගැන මම කෘතඥ වෙනවා. මගේ මවගේ උරුමයෙනුත් මට ආශිර්වාද ලැබී තිබෙනවා. ආදම්ගේ සිට අද දක්වා අනාගතවක්තෘවරුන්, ඉගැන්වීම් වලින් සහ ආදර්ශයෙන් මාව ශක්තිමත් කර තිබෙනවා.

මා පෞද්ගලිකව හඳුනන අයට සහ ඔවුන්ගේ පවුල්වලට ගරු කිරීම නිසා, ඔවුන්ගේ අරගල පිළිබඳ තොරතුරු සත්‍යාපනය කිරීමට හෝ ඔවුන්ගේ විශිෂ්ට ත්‍යාග ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට උත්සාහ නොකිරීමට මම තීරණය කළා. එහෙත් මා දැක ඇති දේවල් මාව දිරිමත් කර මාව යහපත් ලෙස වෙනස් කර තිබෙනවා.

ඇගේ පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීමේ අවදානමක් ඇතිව, මම මගේ බිරිඳගේ දිරිගැන්වීම පිළිබඳ කෙටි වාර්තාවක් එකතු කරන්නම්. මම ඒක කරන්නෙ පරිස්සමෙන්. ඇය ප්‍රශංසාව අපේක්ෂා නොකරන හෝ අගය නොකරන පෞද්ගලික කෙනෙක්.

අපි විවාහ වෙලා අවුරුදු 60ක් වෙනවා. ඇදහිල්ල, බලාපොරොත්තුව, මුදු මොළොක් බව, විඳදරාගැනීම, අපේම නොවන දේ සෙවීම, සත්‍යයෙහි ප්‍රීතිවීම, නපුර නොසිතීම සහ සියල්ලටම වඩා පිවිතුරු ප්‍රේමය යන මේ ශුද්ධලියවිලි පදවල තේරුම මට දැන් වැටහෙන්නේ එම අත්දැකීම නිසයි.5 ඒ අත්දැකීමේ පදනම මත, සාමාන්‍ය මිනිසුන් ජීවිතයේ රළ පහර හරහා නැඟී සිටින විට එම අපූරු පරමාදර්ශ සියල්ල ඔවුන්ගේ දෛනික ජීවිතයට ගත හැකි බවට මට සාක්ෂි දරන්න පුළුවන්.

සවන් දෙන මිලියන ගණනක් ඔබ එවැනි අයව දන්නවා. ඔබගෙන් බොහෝ දෙනෙක් එවැනි අය වෙනවා. අපි හැමෝටම එවැනි දිරිගන්වන ආදර්ශයන් සහ ආදරණීය මිතුරන් අවශ්‍යයි.

ඔබ යමෙකු සමඟ ඔවුන්ගේ දේවසේවා සහෝදරිය හෝ සහෝදරයා ලෙස වාඩි වී සිටින විට, ඔබ නියෝජනය කරන්නේ ස්වාමින්වහන්සේවයි. උන්වහන්සේ කුමක් කරයිද කුමක් කියයිද කියා සිතන්න. උන්වහන්සේ වෙතට එන ලෙස උන්වහන්සේ ඔවුන්ට ආරාධනා කරයි. උන්වහන්සේ ඔවුන්ව දිරිමත් කරයි. ඔවුන් කළ යුතු වෙනස්කම්වල ආරම්භය දැක උන්වහන්සේ ප්‍රශංසා කරයි. ඒවගේම ඔවුන්ට අනුකරණය කිරීමට හොඳම ආදර්ශය උන්වහන්සේයි.

කිසිම කෙනෙක්ට තවමත් එය සම්පූර්ණයෙන්ම කරන්නට බැහැ, නමුත් මෙම සම්මන්ත්‍රණයට සවන් දීමෙන්, ඔබ ඒ මාර්ගයේ සිටින බව ඔබට දැනගන්නට පුළුවන්. ගැලවුම්කරුවාණන් ඔබගේ අරගල විස්තරාත්මකව දන්නවා. ඇදහිල්ල, බලාපොරොත්තුව සහ පිවිතුරු ප්‍රේමයේ වර්ධනය වීමට ඔබට ඇති විශාල හැකියාව උන්වහන්සේ දන්නවා.

උන්වහන්සේ ඔබට ලබා දෙන ආඥා සහ ගිවිසුම් ඔබව පාලනය කිරීමට පරීක්ෂණ නොවේ. ඒවා දෙවියන්වහන්සේගේ සියලු දීමනා ලබා ගැනීමට සහ ඔබට ප්‍රේම කරන ඔබගේ ස්වර්ගීය පියාණන් සහ ස්වාමින්වහන්සේ වෙත නැවත නිවසට යාමට ඔබව ඔසවා තැබීමට තෑගි යි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ පාපවල මිල ගෙව්වා. පසුතැවිලි වී කුඩා දරුවෙකු මෙන් පිරිසිඳුව හා දෙවියන්වහන්සේගේ සියලු දීමනා අතරින් උතුම්ම ත්‍යාගය ලැබීමට සුදානම් වීමට තරම් උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇත්නම් සදාකාල ජීවනයේ ආශිර්වාදය අපට ලබාගන්න පුළුවන්.

ඔබ උන්වහන්සේගේ ආරාධනය පිළිගෙන අපගේ ස්වර්ගික පියාණන්ගේ දරුවන්ට එය පිරිනමාවි යැයි මම යාච්ඤා කරනවා.

ලොව පුරා සිටින අපගේ ධර්මදූතවරුන් වෙනුවෙන් මම යාච්ඤා කරනවා. ඒ ආරාධනය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය තමන් වෙත ගත් උන්වහන්සේගේ සේවකයන් මාර්ගයෙන් පැමිණි බව සෑම පුද්ගලයෙකුටම විශ්වාස කිරීමට අවශ්‍ය වීමට සහ ඔවුන්ව දිරිගැන්වීමට ඔවුන් පෙලඹේවා.

උන්වහන්සේ ජීවත් වන බවත් උන්වහන්සේගේ සභාව මෙහෙයවන බවත් මම සාක්ෂි දරනවා. මම උන්වහන්සේගේ සාක්ෂිකරුවෙක්. සභාපති රසල් එම්. නෙල්සන් යනු මුළු පොළොවටම දෙවියන්වහන්සේගේ ජීවමාන අනාගතවක්තෘවරයායි. එය සත්‍යයි කියා මම දන්නවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.