ප්‍රධාන සම්මන්ත්‍රණය
මුළු හදවතින්ම
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


මුළු හදවතින්ම

අනුගාමිකත්වයේ අපගේ පුද්ගලික ගමන තුළ අපි ප්‍රීතිමත්ව සහ මුළු හදවතින්ම යේසුස්වහන්සේගේ අනුගාමිකයින් විය යුතුයි.

සමහර වෙලාවට, අපේක්ෂා කළ යුතු දේ දැනගෙන සිටීම උදව්වක් වෙනවා.

තම දේවසේවයේ අවසානයට ආසන්නව යේසුස්වහන්සේ තම ප්‍රේරිතයන්ට පැවසුවේ දුෂ්කර කාලවල් පැමිණෙන බවයි. නුමුත් උන්වහන්සේ මෙහෙමත් කිව්වා, “නුඹලා කලබල නොවන්නට බලාගන්න.”1 ඔව්, උන්වහන්සේ පිටව යන්නට තිබුණා, නමුත් උන්වහන්සේ ඔවුන්ව තනි කළේ නෑ.2 මතක තබා ගැනීමට, ස්ථිරව සිටීමට සහ සාමය සොයා ගැනීමට උපකාර කිරීමට උන්වහන්සේ තම ආත්මයාණන්ව එවනවා. ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ ගෝලයන් වන අප සමඟ සිටින බවට වූ උන්වහන්සේගේ පොරොන්දුව ඉටු කරනවා, නමුත් උන්වහන්සේගේ පැමිණීම හඳුනා ගැනීමට සහ භුක්ති විඳීමට අපට උපකාර කිරීමට අප නිරන්තරයෙන් උන්වහන්සේ දෙස බැලිය යුතුයි.

ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් සැමවිටම දුෂ්කර කාලවලට මුහුණ දී තිබෙනවා.

මගේ හිතවත් මිතුරෙක් 1857 ජුලි 9 දින එක්සත් ජනපදයේ මධ්‍යම බටහිර පුවත්පතක් වන Nebraska Advertiser (නෙබ්‍රාස්කා ඇඩ්වටයිසර්) වෙතින් පැරණි ලිපියක් මට එවලා තියෙනවා. එහි මෙසේ සඳහන් වෙනවා “අද උදෑසන මොර්මොන්වරුන් පිරිසක් සෝල්ට් ලේක් වෙත ඔවුන්ගේ ගමන ගියහ. (ස්ථිර ලෙස සියුම් නොවන) කාන්තාවන් සතුන් මෙන් අත් කරත්ත ඇදගෙන ගමන් කළා, එක් [කාන්තාවක්] කළු පැහැති මඩ මත ඇදගෙන වැටුණු නිසා ඒ පෙරහැර මදකට නතර වුණා, කුඩා දරුවන් ඔවුන්ගේ මව්වරුන් තීරණය කර ඇති ආකාරයට මෙන් ඔවුන්ගේ [අමුතු] විදේශීය ඇඳුම් වලින් සැරසී ඉදිරියට ඇදුණා.”3

මම මේ මඩේ වැටුණු කාන්තාව ගැන බොහෝ දේ සිතුවා. ඇය තනිවම ඇදගෙන ගියේ ඇයි? ඇය තනිකඩ මවක් ද? සමහර අවස්ථාවලදී නිරීක්ෂකයන්ගේ සමච්චලයට ලක් වෙමින්, නාඳුනන කාන්තාර නිවසකට ඇගේ සියලු දේපළ අත් කරත්තයක නංවාගෙන මඩ මැදින් මෙතරම් දුෂ්කර ගමනක් යාමට ඇයට අභ්‍යන්තර ශක්තිය, ධෛර්යය, නොපසුබට උත්සාහය ලබා දුන්නේ කුමක් ද?4

මෙම පුරෝගාමී කාන්තාවන්ගේ අභ්‍යන්තර ශක්තිය ගැන කතා කරමින් සභාපති ජෝසෆ් එෆ්. ස්මිත් මෙසේ පැවසුවා: “ඔබට මෙම කාන්තාවන්ගෙන් එක් කෙනෙකුව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාව කෙරෙහි ඔවුන්ගේ විශ්වාසයන්ගෙන් ඈත් කරන්න පුලුවන්ද? අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ගේ මෙහෙවර ගැන ඔබට ඔවුන්ගේ මනස අඳුරු කරන්න පුළුවන්ද? දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දිව්‍යමය මෙහෙවර සම්බන්ධව ඔබට ඔවුන්ව අන්ධ කරන්න පුළුවන්ද? නැහැ, ලෝකයේ කවමදාවත් ඔබට එය කරන්න බැහැ. ඒ ඇයි? මොකද ඔවුන් එය දැන සිටියා. දෙවියන්වහන්සේ එය ඔවුන්ට එළිදරව් කරලා තිබුණා, ඒවගේම ඔවුන් එය තේරුම් අරන් තිබුණා, එම සත්‍යය බව ඔවුන් දැන සිටි දෙයින් ඔවුන්ව හරවා ගැනීමට පොළොවේ කිසිම බලවේගයකට පුළුවන් වුණේ නෑ.”5

සහෝදර සහෝදරියනි, කාන්තාරය හරහා ගමන් කිරීමට කැඳවන විට ඇදගෙන යාමට ශක්තිය සොයා ගැනීමට ගැඹුරට හාරන ගෝලයන්, දෙවියන්වහන්සේ විසින් අපට එළිදරව් කළ දේ කෙරෙහි විශ්වාසය ඇති ගෝලයන්, අපගේම පෞද්ගලික අනුගාමිකත්ව ගමනේදී ප්‍රීතියෙන් හා මුළු හදවතින්ම සිටින යේසුස්වහන්සේගේ අනුගාමිකයන් ලෙස—එවැනි පිරිමින් සහ කාන්තාවන් වීම අපගේ දවසේ කැඳවීමයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වශයෙන්, අපට වැදගත් සත්‍යයන් තුනක් මත විශ්වාස කර ඒ මත වර්ධනය වෙන්න පුළුවන්.

පළමුව, අපට පහසු නොවන විට පවා අපගේ ගිවිසුම් තබා ගන්න පුළුවන්

ඔබේ ඇදහිල්ල, ඔබේ පවුල හෝ ඔබේ අනාගතය අභියෝගයට ලක් වූ විට—ඔබ ශුභාරංචිය අනුව ජීවත් වීමට ඔබේ උපරිමය කරන විටත් ජීවිතය මෙතරම් දුෂ්කර වන්නේ මන්දැයි ඔබ කල්පනා කරන විට—කරදර බලාපොරොත්තු වන ලෙස ස්වාමින්වහන්සේ අපට පැවසූ බව මතක තබා ගන්න. අභියෝග මේ සැලැස්මේ කොටසක් වන අතර එයින් අදහස් කරන්නේ ඔබව අතහැර දමා ඇති බව නොවේ; ඒවා උන්වහන්සේට අයත් වීම යන්නෙන් අදහස් කරන කොටසක්.6 ඒ හැමදෙයක්ම අතරේ, උන්වහන්සේ “වේදනා ඇත්තාවූ දුක දන්නාවූ මනුෂ්‍යයෙක් [වුණා].”7

ස්වර්ගික පියාණන්වහන්සේ මගේ සැනසිල්ලට වඩා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු ලෙස මගේ වර්ධනය ගැන උනන්දු වන බව මම ඉගෙන ගනිමින් සිටිනවා. මට හැම විටම එය එසේ වීමට අවශ්‍ය නොවෙන්න පුළුවන්—නමුත් එය එහෙමයි!

පහසුවෙන් ජීවත් වීමෙන් බලය ලැබෙන්නේ නෑ. අපගේ දවසේ උණුසුමට ඔරොත්තු දීමට අපට අවශ්‍ය බලය ස්වාමින්වහන්සේගේ බලය වන අතර, උන්වහන්සේ සමඟ ඇති අපගේ ගිවිසුම් හරහා උන්වහන්සේගේ බලය ගලා යනවා.8 තද සුළං වලට මුහුණ දෙන විට අපගේ ඇදහිල්ලට නැඹුරු වීම—ඒවගේම විශේෂයෙන් අපි වෙහෙසට පත් වූ විට, කනස්සල්ලට පත්වූ විට, කරදරකාරී ප්‍රශ්න සහ ප්‍රශ්න සමඟ පොරබදමින් සිටින විටත්, අපි කරනවා යැයි ගැලවුම්කරුවාණන් සමඟ ගිවිසුම් කර ඇති දේ කිරීමට සෑම දිනකම අවංකව උත්සාහ කිරීම—තුළින් අපට උන්වහන්සේගේ ආලෝකය, උන්වහන්සේගේ ශක්තිය, උන්වහන්සේගේ ආදරය, උන්වහන්සේගේ ආත්මය, උන්වහන්සේගේ සාමය ටිකින් ටික ලබාදෙනවා.

ගිවිසුම් මාවතේ ගමන් කිරීමේ අරමුණ ගැලවුම්කරුවාණන් වෙත ළඟා වීමයි. අවසාන ඉලක්කය අපේ පරිපූර්ණ ප්‍රගතිය නොවේ, නමුත් ඒ උන්වහන්සේයි. එය තරඟයක් නොවන අතර අපගේ ගමන අන් අය සමඟ අපි සංසන්දනය නොකළ යුතුයි. අපි පැකිළෙන විට පවා උන්වහන්සේ එහි සිටිනවා.

දෙවනුව, අපට ඇදහිල්ලෙන් ක්‍රියා කරන්න පුළුවන්

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වශයෙන්, උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල සඳහා ක්‍රියාවන් අවශ්‍ය බව අපි තේරුම් ගන්නවා—විශේෂයෙන්ම දුෂ්කර කාලවලදී.9

මීට වසර ගණනාවකට පෙර මගේ දෙමාපියන් නිවස නැවත කාපට් කිරීමට තීරණය කළා. නව කාපට් පැමිණීමට පෙර දින රාත්‍රියේ, ගෘහ භාණ්ඩ ඉවත් කර නව කාපට් සවි කිරීමට හැකි වන පරිදි නිදන කාමරයේ ඇති පරණ කාපට් ඉරා දමන ලෙස මගේ අම්මා මගේ සහෝදරයන්ගෙන් ඉල්ලා සිටියා. එවකට හත්-හැවිරිදි මගේ සහෝදරිය වන එමිලි ඒ වන විටත් නිදාගෙන සිටියා. ඉතින්, ඇය නිදා සිටියදී, ඔවුන් නිහඬව ඇගේ කාමරයෙන් ඇඳ හැර අනෙකුත් සියලුම ගෘහ භාණ්ඩ ඉවත් කර, පසුව කාපට් ඉරා දැමුවා. ඉතින්, සමහර විට වැඩිමහල් සහෝදරයන් කරන්නාක් මෙන්, ඔවුන් විහිළුවක් කිරීමට තීරණය කළා. ඔවුන් ඇගේ ඉතිරි බඩු බාහිරාදිය අල්මාරියෙන් සහ බිත්තිවලින් ඉවත් කළේ කාමරය හිස්ව තබමිනුයි. ඉන්පසු ඔවුන් සටහනක් ලියා බිත්තියට එය ඇලෙව්වා: “ආදරණීය එමිලි, අපි ගියා. තව ටික දවසකින් අපි ඉන්නේ කොහෙද කියලා දන්වා ලිපියක් එවන්නම්. ආදරෙන්, ඔබේ පවුල.”

පසුදා උදෑසන එමිලි උදේ ආහාරය ගැනීමට නොපැමිණි විට, මගේ සහෝදරයන් ඇයව සොයා ගියා—වසා දැමූ දොරක් පිටුපස එහි ඇය දුකෙන් හා තනිව සිටියා. එමිලි මෙම අත්දැකීම ගැන පසුව මෙසේ කිව්වා: “මාව බිඳිලා ගියා වගේ දැනුණා. නමුත් මම දොර ඇරියා නම් කුමක් වෙන්න තිබුණද? මට මොනවා ඇහෙන්නට තිබුණද? මට මොන සුවඳක් දැනෙන්නට තිබුණද? එහෙනම් මම තනියම නොවන බව මම දැනගන්නවා. එහෙනම් මම ආදරය ලබනවා කියලා මම දැනගන්නවා. මගේ ඒ තත්වය ගැන යමක් කිරීමටවත් සිතුවිල්ල මගේ සිතට ආවේ නෑ. මම එහෙම කරන එක අතහැරලා මගේ කාමරයට වෙලා අඬමින් හිටියා. ඒත් මට සරලවම දොර අරින්න තිබුණා.”10

මගේ සහෝදරිය ඇය දුටු දේ මත පදනම්ව උපකල්පනයක් කළා, නමුත් එය ඇත්ත වශයෙන්ම දේවල් සිදු වූ ආකාරය පිළිබිඹු කිරීමක් නොවේ. එමිලි මෙන් අපිත් දුකෙන් හෝ රිදවීමෙන් හෝ අධෛර්යයට පත් වීමෙන් හෝ කනස්සල්ලෙන් හෝ තනිකමෙන් හෝ කෝපයෙන් හෝ කලකිරීමෙන් බර වී, සරලව යමක් කිරීමට, දොර විවර කිරීමට හෝ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ක්‍රියා කිරීම මගහරින අවස්ථා ඇතිවීම සිත්ගන්නා කරුණක් නොවේද?

ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වූ, කළ නොහැකි දේට මුහුණ දුන්, සරලව ක්‍රියා කළ—ඇදහිල්ලෙන් නැඟිට ඇවිද ගිය පුරුෂයන් හා ස්ත්‍රීන් පිළිබඳ උදාහරණවලින් ශුද්ධලියවිලි පිරී තිබෙනවා.11

සුවය සොයමින් සිටි ලාදුරු රෝගීන්ට ක්‍රිස්තුස්වහන්සේ මෙසේ පැවසුවා: “ නුඹලා ගොස් පූජකයන්ට පෙනී සිටින්න. තවද එය මෙසේ සිදුවිය එනම් ඔව්හු යද්දී පවිත්‍ර වූවෝය.”12

ඔවුන් දැනටමත් සුව වූවාක් මෙන් ඔවුන් පූජකයන්ට පෙනී සිටීමට ගිය අතර, එම ක්‍රියාව කළ නිසා ඔවුන් සැබවින්ම සුව වී සිටියා.

ඔබේ වේදනාව මධ්‍යයේ ක්‍රියාවක් කිරීමට සිතීම කළ නොහැකි යැයි හැඟේ නම්, කරුණාකර ඔබේ ක්‍රියාව මිතුරෙකුගෙන්, පවුලේ සාමාජිකයෙකුගෙන්, සභා නායකයෙකුගෙන්, වෘත්තිකයෙකුගෙන් උපකාර ලබා ගැනීමක් කරගන්න. මෙය බලාපොරොත්තුවේ පළමු පියවර වෙන්න පුළුවන්.

තෙවනුව, අපට අපගේ භක්තිය තුළ මුළු හදවතින්ම හා ප්‍රීතියෙන් ඉන්න පුළුවන්13

දුෂ්කර කාලවලදී, මම පොළොවට පැමිණීමට පෙර මම ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට තෝරා ගත් බවත් මගේ ඇදහිල්ලට, මගේ සෞඛ්‍යයට සහ මගේ විඳදරාගැනීමට ඇති අභියෝග මා මෙහි සිටීමට හේතුවේ කොටසක් බවත් මතක තබා ගැනීමට උත්සාහ කරනවා. අද දින අභියෝග නිසා දෙවියන්වහන්සේ මා කෙරෙහි දක්වන ප්‍රේමය ප්‍රශ්න කිරීමට හෝ ඒ නිසා උන්වහන්සේ කෙරෙහි මගේ ඇදහිල්ල සැකයක් බවට පත් කිරීමට ඉඩ සලසන බව මම කිසි විටෙකත් නොසිතිය යුතුයි. අභියෝග වලින් අදහස් වන්නේ සැලැස්ම අසාර්ථක වන බවක් නොවේ; ඒවා මට දෙවියන්වහන්සේව සෙවීමට උපකාර කිරීමට අදහස් කරන සැලැස්මේ කොටසක්. මම ඉවසිලිවන්තව විඳදරාගත් විට සහ බලාපොරොත්තු වන විට, උන්වහන්සේ මෙන්, වේදනාවෙන් සිටින විට, මම වඩාත් ඕනෑකමින් යාච්ඤා කරන විට, මම උන්වහන්සේට සමාන වෙනවා.14

අපගේ පියාණන්වහන්සේට මුළු හදවතින්ම ප්‍රේම කිරීම—ඒ සඳහා කරන්නට වන දේ නොතකා උන්වහන්සේගේ කැමැත්ත කිරීම පිළිබඳ පරිපූර්ණ ආදර්ශය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යි.15 මට අවශ්‍ය වන්නේ එලෙස කරමින් උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීමටයි.

දේවමාළිගාවේ භාණ්ඩාගාරයට කාසි දෙකක් විසි කළ වැන්දඹුවගේ මුළු හදවතේම, මුළු ආත්මයේම තිබූ අනුගාමිකත්වය තුළින් මට ආශ්වාදයක් ලැබෙනවා. ඇය දුන්නේ ඇගේ සියල්ලම යි.16

අන් අය ඇගේ අඩුවක් ලෙස පමණක් දුටු ඒ දේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දුටුවේ ඇගේ බහුලත්වය ලෙසයි. අප එක් එක්කෙනා සම්බන්ධයෙන්ද එය එසේමයි. උන්වහන්සේ අපගේ අඩුව දකින්නේ අසාර්ථකත්වයක් ලෙස නොවේ, නමුත් ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමට සහ වර්ධනය වීමට අවස්ථාවක් ලෙසයි.

අවසාන වශයෙන්

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මාගේ සෙසු ගෝලයනි, මාගේ මුළු හදවතින්ම, මම ස්වාමින්වහන්සේ සමඟ සිටීමට තීරණය කරනවා. මම උන්වහන්සේගේ තෝරාගත් සේවකයන් සමඟ සිට ගැනීමට තෝරාගන්නවා—සභාපති රසල් එම්. නෙල්සන් සහ ඔහුගේ සෙසු ප්‍රේරිතවරුන් සමඟ—මොකද ඔවුන් උන්වහන්සේ වෙනුවෙන් කතා කරන අතර ඔවුන් මාව ගැලවුම්කරුවාණන් වෙත බැඳ තබන නියෝග සහ ගිවිසුම්වල භාරකරුවන්.

මම පැකිළෙන විට, මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව සහ බලය කෙරෙහි විශ්වාසය තබමින් හැමවෙලේම නැගිටිනවා. මම උන්වහන්සේ සමඟ ඇති මගේ ගිවිසුමේ රැඳී සිටින අතර දෙවියන්වහන්සේගේ වචනය අධ්‍යයනය කිරීමෙන්, ඇදහිල්ලෙන් සහ මා විශ්වාස කරන මගපෙන්වීම් ලබා දෙන ශුද්ධාත්මයාණන්ගේ උපකාරයෙන් මගේ ප්‍රශ්න හරහා වැඩ කරනවා. කුඩා හා සරල දේවල් කිරීමෙන් මම සෑම දිනකම උන්වහන්සේගේ ආත්මය සොයනවා.

මේ මගේ අනුගාමිකත්ව මාර්ගයයි

ලෞකික තුවාල සුව වන දවස දක්වා, මම ස්වාමින්වහන්සේ කෙරෙහි බලා සිටින අතර උන්වහන්සේගේ කාලය, උන්වහන්සේගේ ප්‍රඥාව, උන්වහන්සේගේ සැලැස්ම කෙරෙහි විශ්වාස කරනවා.17

ඔබ සමඟ අත්වැල් බැඳගෙන, මට උන්වහන්සේ සමඟ සදහටම සිටීමට අවශ්‍යයි. මුළු හදවතින්ම. අප අපගේ මුළු හදවතින්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ප්‍රේම කරන බව උන්වහන්සේ දන්නා විට, උන්වහන්සේ අපට ඒ වෙනුවෙන් සියල්ල ලබා දෙනවා.18 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.