ප්‍රධාන සම්මන්ත්‍රණය
සත්‍යය ප්‍රකාශ කිරීමට ධෛර්යය
2022 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


සත්‍යය ප්‍රකාශ කිරීමට ධෛර්යය

අපි සත්‍යය ඉගෙනගත් පසු, ස්වාමින්වහන්සේ අද මෙහි සිටියා නම් උන්වහන්සේ කරන දේ කිරීමට උන්වහන්සේ අපට අවස්ථාව ලබාදෙනවා.

1982 දී මම කාර්මික පාසලක භූ විෂමතාව පිළිබඳ මගේ ආශ්‍රිත උපාධිය අවසන් කරමින් සිටියා.

අවුරුද්ද අවසානයේදී පන්තියේ මිතුරෙක් මට සංවාදයක් සඳහා ආරාධනා කළා. මට මතකයි අපි පන්තියේ අනිත් සාමාජිකයින් පසෙක දමා ක්‍රීඩා පිටියක් අසල ප්‍රදේශයකට ගියා. අපි එහි ගිය විට, ඔහු ඔහුගේ ආගම පිළිබඳ මට කතා කර ඔහු පොතක් පෙන්නුවා විතරක් නොවෙයි ඒ පොත ඔහු මා හට ලබා දුන්නා. අවංකවම, ඔහු පැවසූ සියලුම වචන මට මතක නැහැ, නමුත් “මෙම පොත සත්‍ය බවත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවා ඇති බවටත් මාගේ සාක්ෂිය ඔබට දීමට මට අවශ්‍යයි” කියා ඔහු පැවසූ මොහොතේ මට දනුණු ආකාරය මට හොඳට මතකයි.

අපේ කතා බහෙන් පසු, මම ගෙදර ගිහින්, පොතේ පිටු කිහිපයක් පෙරලා රාක්කයක් මත තැබුවා. අප සිටියේ වසර අවසානයේ නිසාත්, එය මගේ භූ විෂමතා උපාධියේ අවසාන වසර වූ නිසාත්, මම ඇත්තටම ඒ පොත ගැනවත්, එය මා සමඟ බෙදාගත් මගේ පන්තියේ මිතුරා ගැනවත් වැඩි අවධානයක් යොමු කළේ නැහැ. ඔබට දැනටමත් පොතේ නම අනුමාන කරන්න පුළුවන්. ඔව්, ඒ තමයි මොර්මොන්ගේ පොත.

මාස පහකට පසු, ධර්මදූතයන් මාගේ නිවසට පැමිණියා; මා වැඩ අවසන් වී නිවසට පැමිණෙමින් සිටින විටම ඔවුන් නිවසින් පිටත්වෙමින් සිටියා. මම ඔවුන්ට නැවත ඇතුළට ආරාධනා කළා. අපි මගේ නිවස ඉදිරිපිට තිබූ වහලක් නොමැති කුඩා කොටසේ වාඩි වී සිටි අතර, ඔවුන් මට ඉගැන්නුවා.

සත්‍යය සෙවීමේදී මම ඔවුන්ගෙන් ඇසුවේ කුමන සභාව සත්‍යද සහ මට එය සොයාගත හැක්කේ කෙසේද කියායි. ඒ පිළිතුර මටම ලබාගත හැකි බව ධර්මදූතයන් ඉගැන්නුවා. මහත් අපේක්ෂාවෙන් සහ ආශාවෙන්, මොර්මොන්ගේ පොතේ පරිච්ඡේද කිහිපයක් කියවීමට ඔවුන් කළ අභියෝගය මම භාරගත්තා. මම අවංක හදවතකින් සහ සැබෑ චේතනාවෙන් යාච්ඤා කළා (බලන්න මොරෝනි 10:4–5). මගේ ප්‍රශ්ණයට පිළිතුර පැහැදිලි වූ අතර, දින කිහිපයකට පසු—වඩාත් නිවැරදිව 1983 මැයි 1 වන දින—මම බව්තීස්ම වී යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ සාමාජිකයෙකු ලෙස ස්ථීර කරනු ලැබුවා.

අද, මම සිදු වූ සිදුවීම් මාලාව ගැන සිතන විට, මගේ පන්තියේ මිතුරා නැවත පිහිටුවන ලද සත්‍යය පිළිබඳ ඔහුගේ සාක්ෂිය දරා සිටි විට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය නැවත පිහිටුවීම පිළිබඳ ප්‍රත්‍යක්ෂ සාක්ෂියක් වන, මොර්මොන්ගේ පොත පවා මට ඉදිරිපත් කළ විට, ඔහුගේ ධෛර්යය කෙතරම් වැදගත්ද කියා මට පැහැදිලිව පේනවා. මට ගැඹුරු වැදගත්කමක් දුන් එම සරල ක්‍රියාව මා හා ධර්මදූතයන් හමුවූ විට අපි අතර සම්බන්ධයක් ඇති කළා.

සත්‍යය මට ඉදිරිපත් කර තිබූ අතර, මගේ බව්තීස්මයෙන් පසුව, මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු බවට පත්වුණා. ඊළඟ වසරවලදී, නායකයින්, ගුරුවරුන්, මිතුරන් වැනි ඉතා සුවිශේෂී පුද්ගලයින්ගේ උපකාරයෙන් සහ මගේ පුද්ගලික අධ්‍යයනයෙන්, මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු වීමට තීරණය කළ විට, සත්‍යය ආරක්ෂා කිරීමේ කාර්යය පමණක් නොවේ නමුත් එය ප්‍රකාශ කිරීමේ කාර්යයද මම භාරගෙන තිබුණ බව මම ඉගෙනගත්තා.

අපි සත්‍යය විශ්වාස කිරීමට සහ එය අනුගමනය කිරීමට එකඟ වන විට, සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ ගෝලයන් වීමට උත්සාහ කරන විට, අපි වැරදි නොකරන බවට, අපි විවේචනයට ලක් නොවන බවට, සත්‍යයෙන් බැහැරව යාමට පෙලඹෙන්නේ නැති බවට හෝ අපි දුක් විඳින්නේ නැති බවට ඇප සහතිකයක් අපට ලැබෙන්නේ නෑ. නමුත් ස්වර්ගීය පියාණන්ගේ අභිමුඛයට අපව ආපසු ගෙන යන අසීරු හා පටු මාර්ගයට අපි ඇතුළු වූ විට, මෙම ගැටලුවලින් ගැලවීමට සැමවිටම මගක් ඇති බවත් (බලන්න 1 කොරින්ති 10:13); අපගේ ඇදහිල්ල සැක කිරීමට පෙර අපගේ සැකයන් සැක කිරීමේ හැකියාව සැමවිටම පවතින බවත්, (බලන්න ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ්, “Come, Join with Us,” Liahona, නොවැ. 2013, 21); සහ අවසාන වශයෙන්, තම සෙනඟ වෙතට ඔවුන්ගේ දුක් වේදනා මධ්‍යයේදී දෙවියන්වහන්සේ පැමිණෙන බැවින්, අප දුක් වේදනාවලට මුහුණ දෙන විට අප කිසි විටෙකත් තනි නොවනු ඇති බවට අපට සහතිකයක් ඇති බවත්, (බලන්න මොසායා 24:14) සත්‍යය පිළිබඳ දැනුම අපට උගන්වනවා.

අපි සත්‍යය ඉගෙනගත් පසු, ස්වාමින්වහන්සේ අද මෙහි සිටියා නම් උන්වහන්සේ කරන දේ කිරීමට උන්වහන්සේ අපට අවස්ථාව ලබාදෙනවා. සැබවින්ම, අප විසින් කළ යුතු දේ උන්වහන්සේගේ ඉගැන්වීම් මගින් උන්වහන්සේ අපට පෙන්වා දුන්නා “තවද නුඹලා මාගේ ආත්මයාණන්ගේ බලයෙන් පෙරට යනු ලබන්නෙහුය, මාගේ ශුභාරංචිය දේශනා කරමින්, දෙදෙනා දෙදෙනා බැගින්ම, මාගේ නාමයෙන්, නුඹලාගේ හඬවල් හොරනෑවක ශබ්දයක් සමඟ මෙන් ඔසවමින්, දෙවියන්වහන්සේගේ දේවදූතයන් මෙන් මාගේ වචන ප්‍රකාශ කළ යුතු වන්නෝය” (දහම සහ ගිවිසුම් 42:6). අපේ තරුණ කාලයේ ධර්මදූත සේවය සඳහා ඇති අවස්ථාව අද්විතීයයි!

කරුණාකර, තරුණයිනි, ධර්මදූතයෙකු ලෙස ස්වාමින්වහන්සේට සේවය කිරීමට ඔබගේ සූදානම් වීම කල් දමන්න එපා. ඔබේ අධ්‍යයන කටයුතු වලට ටික කලකට බාධා කිරීම, ඔබ නැවත කවදා හෝ පෙම්වතිය සමඟ පෙම් සබඳතාවක් පවත්වන බවට කිසිඳු සහතිකයක් නොමැතිව ඔබේ පෙම්වතියට සමුදීම, හෝ රැකියාවකින් ඉවත් වීමට සිදුවීම වැනි, ධර්මදූත සේවයක් කිරීමට තීරණය කිරීම දුෂ්කර එකක් බවට පත්කළ හැකි තත්වයන්ට ඔබ මුහුණදෙන විට, ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය මතක තබාගන්න. උන්වහන්සේගේ දේවසේවය අතරතුරදී, උන්වහන්සේත් විවේචන, හිංසා පීඩා සහ අවසානයේදී උන්වහන්සේගේ වන්දිගෙවීමේ කටුක කුසලානයට පවා උන්වහන්සේ මුහුණ දුන්නා. එහෙත් සෑම අවස්ථාවකදීම උන්වහන්සේ තම පියාණන්ගේ කැමැත්ත කිරීමටත් උන්වහන්සේට මහිමය දීමටත් උත්සාහ කළා. (බලන්න යොහන් 5:30; 6:38–39; 3 නෙපි 11:11; දහම සහ ගිවිසුම් 19:18–19.)

තරුණ ගැහැණු ළමුනි, ඔබ කැමති නම්, ස්වාමින්වහන්සේගේ මිදි වත්තේ වැඩ කිරීමට ඔබ ඉතා සාදරයෙන් පිළිගන්නවා, ඔබ පූර්ණ-කාලීන ධර්මදුතයන් ලෙස සේවය කිරීමට සූදානම් වන විට, එම අභියෝගවලින් ඔබද නිදහස් වන්නේ නැහැ.

ධර්මදූත ක්ෂේත්‍රය තුළ මාස 24 හෝ 18ක සේවා කාලය ඔබ නිවසේ නැවතී සිටින්නාක් මෙන් ගෙවී යන බවට මම උන්වහන්සේට සේවය කිරීමට තීරණය කරන සියල්ලන්ටම පොරොන්දු වෙනවා, නමුත් සභාවේ සුදුසු තරුණ ගැහැණු ළමුන් සහ තරුණ පිරිමි ළමුන් වෙනුවෙන් ධර්මදූත ක්ෂේත්‍රය තුළ රැඳී තිබෙන අවස්ථා අද්විතීයයි. ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව, සහ උන්වහන්සේගේ සභාව නියෝජනය කිරීමේ වරප්‍රසාදය නොසලකා හරින්නට බැහැ. ගණන් කළ නොහැකි තරම් යාච්ඤාවලට සහභාගි වීම, දිනකට කිහිප වතාවක් ඔබේ සාක්ෂිය වර්ධනය කරගැනීම සහ බෙදා ගැනීම, පැය ගණනාවක් ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීම, ඔබ නිවසේ නැවතී සිටියා නම් ඔබට කිසිදා මුණ නොගැසෙන මිනිසුන් හමුවීම විස්තර කළ නොහැකි තරමේ අත්දැකීම් වෙනවා. සේවා ධර්මදූත සේවය සඳහා සේවය කිරීමට ස්වාමින්වහන්සේ කැඳවන තරුණ තරුණියන් සඳහා ද එම මට්ටමේ අත්දැකීම් වෙන්කර තිබෙනවා. ඔබව ඉතා සාදරයෙන් පිළිගන්නවා සහ ඔබව ඉතා අවශ්‍යයි. කරුණාකර සේවා ධර්මදූතයක ඇති වැදගත්කම සුළුවෙන් හිතන්න එපා, මොකද සේවා ධර්මදූතත් විස්තර කළ නොහැකි අත්දැකීම් ලබා දෙනවා. ඔබගේ ප්‍රාණයේ වටිනාකම ඇතුළුව “ප්‍රාණයන්ගේ වටිනාකම දෙවියන්වහන්සේගේ දර්ශන ඉදිරියෙහි විශාලයි” (දහම සහ ගිවිසුම් 18:10).

ඔබගේ සේවයෙන් ඔබ ආපසු පැමිණෙන විට, සමහර විට ඔබේ පෙම්වතිය හෝ පෙම්වතා තවදුරටත් ඔබ එනතුරු බලා නොසිටිනවා වන්නට පුළුවන්, නමුත් ඵලදායී සම්බන්ධතා ඇති කරගන්නේ කෙසේදැයි ඔබ හොඳින් ඉගෙනගෙන තිබෙයි. රැකියා ස්ථානය සඳහා වඩාත් ප්‍රමාණවත් ලෙස සූදානම් වීම පිළිබඳ ඔබ ලබාගත් ඇත්දැකීම් නිසා ඔබේ අධ්‍යයන කටයුතු වඩාත් අර්ථවත් වෙයි, අවසාන වශයෙන්, සාමයේ ශුභාරංචිය නිර්භීතව ප්‍රකාශ කිරීමේ, නැවත පිහිටුවන ලද සත්‍යය ගැන සාක්ෂි දැරීමේ සම්පූර්ණ නියතභාවය ඔබට ලැබෙයි.

විවාහක අය සහ ජීවිතයේ විවිධ අවස්ථා වල සිටින අය, ස්වාමින්වහන්සේගේ කාර්යයේ දී ඔබත් ඉතා අවශ්‍යයි. ඔබව සූදානම් කරගන්න. ස්වාමින්වහන්සේ තම දරුවන් වෙනුවෙන් කරන දේ කිරීමට ඇති අවස්ථාවන් එක් වයස් කාණ්ඩයමකට සීමා නොවන නිසා, ලෞකික හා අධ්‍යාත්මික ස්වයං පෝශණයක් සොයමින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න. මෑත වසරවලදී මගේ බිරිඳට සහ මට ලැබුණු ප්‍රීතිමත්ම අත්දැකීම් ලැබුණේ විශේෂ යුවලයන් සමඟ, විශේෂ ස්ථානවල සහ ඉතා විශේෂ පුද්ගලයන්ට සේවය කරන අතරතුරේදීයි.

අප සෑමවිටම සත්‍යය ප්‍රකාශ කරන විට එය ආරක්ෂා කරන බවත්, සත්‍යය ආරක්ෂා කිරීම ක්‍රියාශීලී දෙයක් බවත් මගේ භූ විද්‍යා උපාධිය අවසානයේ මා ලැබූ අත්දැකීම මට කියා දුන්නා. සත්‍යය ආරක්ෂා කිරීම කිසි විටෙක ආක්‍රමණශීලී ලෙස සිදු නොකළ යුතු අතර, ඒ වෙනුවට අපි සත්‍යය ගැන සාක්ෂි දරන මිනිසුන්ට ආදරය කිරීමට, බෙදාහදා ගැනීමට සහ ආරාධනා කිරීමට අවංක උනන්දුවකින්, ආදරණීය ස්වර්ගීක පියාණන්ගේ දරුවන්ගේ ලෞකික හා අධ්‍යාත්මික සුබසාධනය ගැන පමණක් සිතමින් ක්‍රියා කළ යුතුයි (බලන්න මොසායා 2:41).

2021 ඔක්තෝම්බර් මාසයේ ප්‍රධාන සම්මන්ත්‍රණයේදී, අපේ ආදරණීය අනාගතවක්තෘ රසල් එම්. නෙල්සන්, අපගේ ආදරනීය අනාගතවක්තෘවරයා, සමහර අය සිතන දේට පටහැනිව, අපි හරි වැරැද්ද ලෙස හඳුන්වන දේ ඇත්ත වශයෙන්ම පවතින බව ඉගැන්වූවා. ඇත්තෙන්ම පරම සත්‍යයක් එනම්—සදාකාලික සත්‍යයක් පවතිනවා (බලන්න “පිවිතුරු සත්‍යය, පිවිතුරු දහම, සහ පිවිතුරු එළිදරව්ව,” ලියහෝනා, නොවැ. 2021, 6).

ශුද්ධලියවිලි අපට මෙසේ උගන්වනවා, “සත්‍ය යනු ඒවා ඇති ආකාරයටම, තිබූ ආකාරය ගැන හා ඇතිවන ආකාරය ගැන දැනුමයි” (දහම සහ ගිවිසුම් 93:24).

සත්‍යය පිළිබඳ දැනුම අපව අනෙක් මිනිසුන්ට වඩා යහපත් කරන්නේ නෑ, නමුත් දෙවියන්වහන්සේගේ අභිමුඛයට නැවත පැමිණීමට අප කළ යුතු දේ එය අපට උගන්වනවා.

ඔබ සත්‍යය ප්‍රකාශ කිරීමට පමණක් නොවේ, සත්‍යය අනුව ජීවත් වීමට ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථිරව හා ධෛර්යයෙන් ඉදිරියට යන විට, මේ දිනවල ඔබ මුහුණ දෙන කැලඹීම් තුළ ඔබට සැනසිල්ල සහ සාමය ලැබෙයි.

ජීවිතයේ අභියෝගවලට අපව පහළට ඇද දමන්න පුළුවන්, නමුත් අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කරන විට, සදාකාලිකත්වයේ මහා විෂය පථය තුළ “[අපගේ] දුක් වේදනා පවතින්නේ සුළු මොහොතක් සඳහා පමණයි” (දහම සහ ගිවිසුම් 121:7). කරුණාකර, ඔබගේ දුෂ්කරතා සහ අභියෝග අවසන් කිරීම සඳහා කාල සීමාවක් සාදන්න එපා. ස්වර්ගික පියාණන් විශ්වාස කරන්න, ඒවගේම අත් හරින්න එපා, මොකද අපි අත්හැරියොත්, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ අපගේ ගමනේ අවසානය කෙසේ වේද යන්න දැනගැනීමට අපට කිසිදා පුළුවන් වෙන්නේ නෑ.

සත්‍යයේ මූලාශ්‍රවලින් ඉගෙන ගනිමින් සත්‍යය අල්ලාගෙන සිටින්න:

යේසුස් ක්‍රිස්තුන්වහන්සේ ගැනත්, මෙය උන්වහන්සේගේ සභාව බවටත් මම මාගේ සාක්ෂිය දරනවා. අපට ජීවමාන අනාගතවක්තෘවරයෙක් සිටින අතර, අපි නිර්භීතව සත්‍යය ප්‍රකාශ කරන විට අපට සැමවිටම නිදහස් බවක් දැනෙයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.