2010–2019
සභාවේ නිවැරදි නම
ඔක්තෝම්බර් 2018


සභාවේ නිවැරදි නම

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, උන්වහන්සෙගේ සභාව උන්වහන්සෙගේ නමින් හඳුන්වන ලෙස අප මෙහෙයවනවා, මන්ද ඒ උන්වහන්සේගේ බලයෙන් පිරි උන්වහන්සේගේ සභාවයි.

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, මේ සුන්දර සබත් දවසේ ස්වාමින්වහන්සේ අපට දුන්නාවූ සියලුම ආශිර්වාද වෙනුවෙන් අපි එක්ව සතුටු වෙනවා. නැවත පිහිටවනු ලැබූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව පිළිබඳව ඔබට ඇති සාක්ෂිය වෙනුවෙන්, උන්වහන්සේගේ ගිවිසුම්ගත මාර්ගයට නැවත පැමිණෙන්ටත් එහි රැඳී සිටීමටත් ඔබ කරන සියලුම කැපවීම් වෙනුවෙන්, සහ උන්වහන්සේගේ සභාව තුල ඔබ කරනු ලබන අභිශේකලත් සේවය වෙනුවෙනුත් අපි ස්තුතිවන්ත වෙනවා.

අද දවසේ ඔබ සමඟ වැදගත් දෙයක් පිළිබඳව කතාකිරීමට මාව පොළඹවනවා වැනි හැගීමක් දැනෙනවා. සති කිහිපයකට පෙර, මා විසින් සභාවේ නම භාවිතා කරන ආකාරයේ නිවැරදි කිරීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළා.1 මම එසේ කලේ උන්වහන්සේගේ සභාව වෙනුවෙන් උන්වහන්සේ නියම කල නාමය වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයිනගෙන් යුත් සභාව යන්නෙහි ඇති වැදගත්කම උන්වහන්සේ විසින් මගේ සිතට කාවැද්දු නිසයි.2

ඔබ අපේක්ෂා කරන පරිදි, මෙම ප්‍රකාශයට සහ සංශෝධිත ශෛලිය3 සඳහා බොහෝ ධනාත්මක සහ සෘණාත්මක පිළිතුරු ලැබී තිබෙනවා. බොහෝ සාමාජිකයන් එසැනින්ම ඔවුන්ගේ බ්ලොග් වල සහ සමාජ මාධ්‍යන් වල සභාවේ නම වෙනස්කර ගත්තා. සමහර අය කල්පනා කළා ඇයි, ලෝකයේ මෙතරම් දේවල් වනකොට, මෙවැනි “වැදගත්කමක් නැති” දෙයක් ගැන අවධාරණය කිරීම අවශ්‍යද කියලා. සමහර අය කිවුවා, ඒක කරන්න බැරි දෙයක්, ඉතින් මොකටද උත්සහ කරන්නේ? කියලා. මෙම කාරණය පිළිබඳව අපි මෙතරම් සැලකිලිමත් වෙන්නේ ඇයි කියලා මම පැහැදිලි කරන්නම්. නමුත් මුලින්ම මම සඳහන් කරන්නම් මෙයින් අපි උත්සහ නොකරන්නේ මොනවාද කියලා:

  • එය නම වෙනස් කිරීමක් නොවේ.

  • එය වෙළඳ නාමකරණයක් වැනි නැවත නම් කිරීමක් නොවේ.

  • එය භාහිර අලංකරණයක් නොවේ.

  • එය හදිසියේ ඇතිවූ කල්පනාවක් නොවේ.

  • එය වැදගත්කමකට නැති දෙයක් නොවේ.

ඒ වෙනුවට, එය නිවැරදි කිරීමක්. එය ස්වාමින්වහන්සේගේ අණක්. ජෝසෆ් ස්මිත් ඔහු තුලින් පිහිටවපු සභාව නම් කලේ නෑ; ඒ වගෙමයි මෝර්මන්. ගැලවුම්කාරයාණන් උන්වහන්සේ විසින්ම පැවසුවා, “ පසු-දවස්වලදී මගේ සභාව අමතනු ලබන්නේ “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාව ලෙසයි.” යනුවෙන්.4

මීට පෙරදීත්, ක්‍රි.පූ. 34 දී, අපගේ උත්තානවූ ස්වාමින්වහන්සේ මේ හා සමානම උපදෙසක් සභාවේ සාමාජිකයන්ව බැහැදැකීමට පුරාන ඇමරිකාවට පැමිණි විට කිවුවා. ඒ වේලාවෙදී උන්වහන්සේ කිවුවා:

“නුඹලා සභාව මාගේ නාමයෙන් නම් කරන්නහුය. …

“තවද එය මාගේ නාමයෙන් නම් කරන්නේ නම් මිස, එය මාගේ සභාව වන්නේ කෙසේද? මන්ද මෝසෙස්ගේ නාමයෙන් සභාවක් නම් කරන්නේ නම් එවිට එය මෝසෙස්ගේ සභාව වන්නේය; නැතහොත් එය මනුශ්‍යකුගේ නාමයෙන් නම් කරන්නේද එවිට එය මනුශ්‍යකුගේ සභාවක් වන්නේය; එහෙත් එය මගේ නාමයෙන් නම් කරන්නේද එවිට එය මාගේ සභාව වන්නේය.”5

මේ අනුව, සභාවේ නම වෙනස්කල නොහැකියි. ගැලවුම්කාරයාණන් පැහැදිලිවම පවසනවා නම් උන්වහන්සේගේ සභාව නම කුමක් විය යුතුද කියලා, ඒ වගේම උන්වහන්සේ “මාගේ සභාව ආමන්ත්‍රණය කලයුත්තේ මෙලෙසයි,” වැනි ප්‍රකාශ කරනවා නම්, එයින් අදහස් වන්නේ එය බොහෝම බැරෑරුම් යන්නයි. එනිසා අපි කෙටි නම් භාවිතා කිරීමට ඉඩ දෙනවානම්, හෝ අපි විසින්ම එම නම් වලට අනුබල දෙනවානම්, එයින් උන්වහන්සේගේ සිත රිදෙනවා.

නමක ඇත්තේ කුමක්ද නැතිනම් මෙහිදී, කෙටි නමක ඇත්තේ කුමක්ද? සභාවේ කෙටි නමක් පිළිබඳව සඳහන් කරනවානම්, “එල්.ඩී.එස්. සභාව, “මෝර්මන් සභාව,” හෝ “පසු-දවස්වල ශුද්ධවන්තයන්ගේ සභාව” වැනි, මෙහිදී එම නම් වල වැදගත්ම මඟහැරීම වන්නේ ගැලවුම්කාරයාණන්වහන්සේගේ නාමය නොමැති වීමයි. ස්වාමින්වහන්සේගේ නාමය ස්වාමින්වහන්සේගේ සභාවෙන් ඉවත් කිරීම සාතන් ලබන විශාල ජයක්. අපි ගැලවුම්කාරයාණන්ගේ නාමය බැහැර කරනවා නම්, අපි යේසුස්වහන්සේ අපට කල සෑම දෙයක්ම - උන්වහන්සේගේ වන්දිගෙවීම පවා ඉතා පහසුවෙන් නොසලකා හරිනවා.

උන්වහන්සේ බලන ආකාරයට මේ ගැන සිතන්න, මනුෂ්‍ය ජීවිතයට පෙර ජීවිතයේදී, යෙහෝවා, පරණ ගිවිසුමේ දෙවියන්වහන්සේ උන්වහන්සේයි. උන්වහන්සේගේ පියාණන්ගේ මඟපෙන්වීම ඇතිව, මෙම ලෝකයේ සහ අනිකුත් සියලුම ලෝකවල මැවුම්කාරයාණන් උන්වහන්සේයි.6 උන්වහන්සේ උන්වහන්සේගේ පියාණන්ගේ කැමැත්තට යටත්වී වෙන කිසිම කෙනෙකුට කල නොහැකි දෙයක් දෙවියන්වහන්සේගේ සියලුම දරුවන් වෙනුවෙන් කිරීමට තෝරාගත්තා! පියාණන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයා ලෙස මාංශයෙන් මේ ලෝකයට ඒමට නිහතමානී වූ, උන්වහන්සේව අමානුෂික ලෙස නින්දා කර, අපහාස කර, කෙලගසා, සහ කස පහර දුන්නා. ගෙත්සෙමනි උයනේදී, අපගේ ගැලවුම්කාරයාණන්වහන්සේ ඔබ සහ මම, සහ මේතාක් ජීවත් වූ සහ ජීවත්වන සෑම කෙනෙකුම අත්දුටු සෑම වේදනාවක්ම, සෑම පාපයක්ම, සහ සියලුම දුකක් සහ වේදනාවක්ම උන්වහන්සේ මතට ගත්තා. එම අතිවිශාල වේදනාත්මක බරත් සමඟම, ඔහුගේ සෑම රෝම කූපයකින්ම ලේ ගැලුවා.7 උන්වහන්සේව කෲර ලෙස කල්වාරියේ කුරුසියේ අනගැසූ විට මේ සෑම වේදනාවක්ම තවත් වැඩිවුනා.

මෙම අතිශය වේදනාකාරී අත්දැකීම් තුලින් සහ පසුකාලීනව උන්වහන්සේගේ උත්තානය තුලින් - උන්වහන්සේගේ අපිරිමිත වන්දිගෙවීම තුලින් - අපගේ පසුතැවිලි වීමේ කොන්දේසිය මත, උන්වහන්සේ අමරණීයත්වය ලබා දුන්නා සහ පාපයේ බලපෑම් වලින් සෑම කෙනෙකුටම නිදහස ලබා දුන්නා.

ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමෙන් පසු සහ උන්වහන්සේගේ අපොස්තුලුවරුන්ගේ මරණින් පසු, ලෝකය අවුරුදු ගණනාවක අඳුරු කාලයකට මුහුණ දුන්නා. පසුව 1820 වන අවුරුද්දේදී, දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍ර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, ස්වාමින්වහන්සේගේ සභාව නැවත පිහිටුවීම සඳහා දිවැසිවර ජෝසෆ් ස්මිත් හට දර්ශනය වුනා.

උන්වහන්සේ මේ සෑම දෙයක්ම විඳදරාගත් පසු - සහ උන්වහන්සේ මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් මේ සෑම දෙයක්ම කල පසු, ගැඹුරු පසුතැවීමක් සමඟ මට තේරුම් ගියා ස්වාමින්වහන්සේගේ නැවත පිහිටුවන ලද සභාව අනෙකුත් නම් වලින් අමතන්න නොදැනුවත්වම අවසර දී ඇති බවත්, ඒ සෑම එකකින්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිශුද්ධ නාමය ඉවත් කර ඇති බවත්.

සෑම ඉරිදාවකම අපි සුදුස්සන් ලෙස සක්‍රමේන්තුවට සහභාගී වන විට, අපි ස්වර්ගයේ පියාණන්වහන්සේට වූ උතුම් පොරොන්දුව වන උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප තුලට ගැනීමට කැමති බව අප අලුත් කරනවා.8 උන්වහන්සේව අනුගමනය කිරීමට, පසුතැවිලි වීමට, උන්වහන්සේගේ අණපනත් වලට කීකරු වීමට, සහ සෑමවිටම උන්වහන්සේව මතක තබා ගැනීමට අප පොරොන්දු වනවා.

අපි උන්වහන්සේගේ නාමය උන්වහන්සේගේ සභාව තුලින් ඉවත් කල විට, අපි නොදැනුවත්වම උන්වහන්සේව අපේ ජීවිත වල කේන්ද්‍රීය අවධානයෙන් ඉවත් කරනවාද?

ස්වාමින්වහන්සේගේ නාමය අපතුලට ගැනීමේදී- යේසුස් නම් ක්‍රිස්තුස්වහන්සේ බව - අප ක්‍රියාවන්ගෙන් සහ වචන වලින් - ප්‍රකාශ කිරීම සහ සාක්ෂි දැරීමද ඇතුලත් වෙනවා. අපට “මොර්මන්වරු” කියා ආමන්ත්‍රණය කරන කෙනෙකුගේ සිත රිදවීමට අපි භය වීමෙන්, උන්වහන්සේගේ සභාව අමතන නමින් පවා උන්වහන්සේ වෙනුවෙන් නැගී සිට අප ගැලවුම්කාරයාණන්වහන්සේව ආරක්ෂා කිරීමට අපි අසමත් වුනාද?

අපිට මනුෂ්‍යයන් ලෙස සහ පුද්ගලයන් ලෙස අපව පිරිසිඳු කර සුවපත් කිරීමට, අපව ශක්තිමත් කර වර්ධනය කිරීමටත්, සහ අවසානයේදී උත්කර්ෂය ලබා ගැනීමටත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ බලයට අවතීර්ණ වීමට නම් - එම බලයට හේතුව උන්වහන්සේ බව අපි පැහැදිලිවම පිළිගැනීමට අවශ්‍යයි. උන්වහන්සේගේ සභාව උන්වහන්සේ නියම කල නාමයෙන් ආමත්‍රණය කිරීමෙන් අපිට ආරම්භ කරන්න පුළුවන්.

ලෝකය පුරා, වර්තමානයේ ස්වාමින්වහන්සේගේ සභාව වෙස්වලාගෙන සිටින්නේ “මෝර්මන් සභාව නමින්.” නමුත් අපි ස්වාමින්වහන්සේගේ සභාවේ සාමාජිකයන් හැටියට දන්නවා එහි හිස ලෙස නැගී සිටින්නේ කවුද කියලා: යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔහු විසින්ම. අවාසනාවකට, මෝර්මන් කියන නම අසන බොහෝ දෙනෙක් සිතන්නේ අපි අදහන්නේ මොර්මන්ව කියලයි. එසේ නැත! අපි ඒ උතුම් පුරන ඇමරිකානු දිවසිවරයාට බොහෝ ගරුකරනවා.9 නමුත් අපි මොර්මන්ගේ අනුගාමිකයන් නොවේ. අපි ස්වාමින්වහන්සේගේ අනුගාමිකයන්.

නැවත පිහිටවූ සභාවේ මුල් කාලයේදී, “මෝර්මන් සභාව” සහ “මෝර්මන්වරු10” වශයෙන් නම් වර්ග 10ක් පමණ බොහෝ විට අනුවර්ත නාමයන් ලෙස - සැඩපරුෂ නාමයන් ලෙස, අපවාදාත්මක නාමයන් ලෙස භාවිතා කළ- මේවා නිර්මාණය කර තිබුනේ මෙම පසු-දවස්වලදී යේසුස් වහන්සේගේ සභාව නැවත පිහිටුවීමෙදී දෙවියන්වහන්සේගේ හස්තය එයින් මකා දමන පිණිසයි. 11

සහෝදර සහෝදරියනි, සභාවේ නිවැරදි නාමය නැවත පිහිටුවීමට විරුද්ධව බොහෝ ලෞකික වාද තිබෙනවා. අප ජීවත්වන සංඛ්‍යාංක ලෝකයේ හේතුවෙන්, සහ එසැනින්ම ඕනෑම තොරතුරක් සොයාගැනීමට ඇති හැකියාව හේතුවෙන් - ස්වාමින්වහන්සේගේ සභාවේ තොරතුරුද ඇතුලත්ව - විචාරකයන් පවසනවා මේ වෙලාවේ නිවැරදි කිරීමක් කිරීම නුවනට හුරුනැති බව. අනිත් අය හිතනවා අපිව බොහෝ අය දන්නේ “මොර්මන්ගේ සභාව” සහ “මොර්මන්වරු” ලෙස නිසා එයින් උපරිම ප්‍රයෝජන ගැනීමට අවශ්‍යයි කියලා.

මෙය මිනිසා-නිර්මාණය කල සංවිධානයක් පිළිබඳ සාකච්ඡාවක් නම්, සමහරවිට එම තර්කයන් දිනයි. නමුත් මෙම තීරණාත්මක කාරණයේදී, අපි බලන්නේ මෙම සභාවේ අයිතිකරු දෙසයි ඒ වගේම ස්වාමින්වහන්සේගේ ක්‍රම කිසි දවසක මනුෂ්‍යාගේ ක්‍රම නොවන බවට පිලිගන්නවා. අපි ඉවසිලිවන්ත වී අපගේ කොටස හරියාකාරව කල විට, මෙම වැදගත් කාර්යය තුලින් ස්වාමින්වහන්සේ අපට මඟපෙන්වයි. ඒ එසේ වුවත්, හරියට මුහුද තරණය කිරීමට නැවක් සෑදීමට උන්වහන්සේ නෙපිට උදවු කළාක් මෙන්, උන්වහන්සේගේ කැමැත්ත කිරීමට වෙහෙසෙන සියල්ලන්ටම ස්වාමින්වහන්සේ උදවු කරන බව අපි දන්නවා.12

මෙම දෝෂ නිවැරදි කිරීමේ අපේ උත්සාහයන් වලදී ආචාරශීලී සහ ඉවසිලිවන්ත වෙන්න අවශ්‍යයි. අපගේ ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීමේදී වගකිවයුතු මාධ්‍යන් ඒ පිළිබඳව දයාව දක්වාවී.

කලින් පැවති ප්‍රධාන සම්මන්ත්‍රණයකදී, වැඩිහිටි බෙන්ජමින් ඩ හොයෝස් එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් කතා කළා. ඔහු පැවසුවා:

“අවුරුදු කිහිපයකට කලින් මෙක්සිකෝවේ සභාවේ මහජන කටයුතු කාර්යාලයේ සේවය කරන විට, [මගේ සහකරුවෙකු සහ මට] ආරාධනා කළා ගුවන්විදුලි වැඩසටහනකට. ... [එක් වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙකු] ඇසුවා [අපෙන්], ‘ඇයි සභාවට මෙතරම් දිග නමක් තිබෙන්නේ?’ කියා...

“මගේ සහකරු සහ මම එවැනි විශිෂ්ට ප්‍රශ්නයක් දෙස සිනහ වී පසුව තේරුම්කර දුන්නා, සභාවේ නාමය තෝරාගෙන තිබෙන්නේ මනුෂ්‍යයන් විසින් නොවේ. එය ලබා දී තිබෙන්නේ ගැලවුම්කාරයාණන් විසින්. ... වැඩසටහන් අධ්‍යක්ෂක එසැනින්ම සහ ගෞරවාන්විතව පිළිතුරු දුන්නා, ‘අපිත් එයම සතුටින් යුතුව කරමු.”’ 13

එම වාර්ථාව රටාවක් සපයයි. අවුරුදු ගණනාවක සිටම ඇතුල් වී ඇති දෝෂ නිවැරදි කිරීමට පුද්ගලයන් වශයෙන් එකින් එක උපරිම උත්සාහයන් අවශ්‍යයි.14 අපව නිවැරදි නාමයෙන් හැඳින්වීම සඳහා කරනු ලබන මඟපෙන්වීම් ලෝකයා සමහර විට අනුගමනය කරයි නැතිනම් නොකරයි. නමුත් ලෝකයේ බොහෝ දෙනා සභාව සහ එහි සාමාජිකයන්ව අමතන්නේ වැරදි නම් වලින් නම්, ඒ පිළිබඳව කලකිරී අපිත් එයම කරනවානම්, එයට අපට අවසරයක් නැත.

අපගේ සංශෝධිත ශෛල්‍ය මාර්ගෝපදේශකය උපකාරී වෙනවා. එහි තිබෙනවා: “පළමුවන නිර්දේශයේ, සභාවේ සම්පූර්ණ නාමයට වඩා කැමතියි: ‘යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව.’ කෙටිකාල [දෙවන] නිර්දේශයක් අවශ්‍ය නම්, “සභාව” නැතිනම් “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව” යන නම් භාවිතා කිරීමට දිරිමත් කරනවා. ‘යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටවූ සභාව’ යන නාමයත් නිවැරදියි.”15

කෙනෙකු ඇසුවොත්, “ඔබ මොර්මන්වරයෙක්ද?” කියා, ඔබට පිළිතුරු දෙන්න පුළුවන්, “ඔබ අසන්නේ මම යේසුස් ක්‍රිරිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයෙක්ද කියලද, ඔව් මම සාමාජිකයෙක්!”යනුවෙන්.

කෙනෙකු ඇසුවොත්, “ඔබ පසුදවස්වල සාන්තුවරයෙක්ද කියල?”16 කියා ඔබට පිළිතුරු දෙන්න පුළුවන්, “ඔව්, මම යේසුස් ක්‍රිස්තුස්වාහන්සේව විශ්වාස කරනවා සහ මම උන්වහන්සේගේ නැවත පිහිටවූ සභාවේ සාමාජිකයෙක්” ලෙස.

මගේ ආදර සහෝදර සහෝදරියනි, මම පොරොන්දු වෙනවා ස්වාමින්වහන්සේගේ සභාවේ නිවැරදි නාමය නැවත පිහිටුවීමට අපි අපේ පුළුවන් උපරිමය කලොත්, මෙම සභාවේ අයිතිකරු වන උන්වහන්සේ අපි කවදාවත් දැක නැති ආකාරයට උන්වහන්සේගේ බලය සහ ආශිර්වාද පසු-දවස්වල ශුද්ධවන්තයන්ට17 ලබා දෙන බව. නැවත පිහිටවූ සුභාරන්චියේ ආශිර්වාද සෑම රටකටම, ජාතියකටම, භාෂාවකටම, සහ මනුශ්‍යකුටම ගෙන ගොස් දෙවන පැමිණීම සඳහා ලෝකය සුදානම් කිරීමට අපට අවශ්‍ය දැනුම සහ දෙවියන්වහන්සේගේ බලය ලබාදෙයි.

ඉතින්, නමක් ඇත්තේ කුමක්ද? එය ස්වාමින්වහන්සේගේ සභාවේ නාමය පිළිබඳව නම්, පිළිතුර වන්නේ “සෑමදේම!” යි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සභාව උන්වහන්සේගේ නාමයෙන් අමතන ලෙස අපිට මඟපෙන්වන්නේ එය උන්වහන්සේගේ බලයෙන් පිරි උන්වහන්සේගේ සභාව නිසයි.

මම දන්නවා දෙවියන්වහන්සේ ජීවමානයි කියලා. යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයි. උන්වහන්සේ අද උන්වහන්සේගේ සභාවට මඟපෙන්වනවා. මම මෙසේ සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උතුම්වූ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. “උන්වහන්සේගේ සභාවට එලිදරවූ කල නාමය වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසු-දවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව යන නමේ වැදගත්කම ස්වාමින්වහන්සේ මගේ මනසට දැනෙන්න සැලැස්වුවා. උන්වහන්සේගේ කැමැත්තට එකඟව කිරීමට අප ඉදිරියේ වැඩ කොටසක් තිබෙනවා. මෑත සති වලදී, විවිධ සභා නායකයන් සහ දෙපාර්තමේන්තු එසේ කිරීමට අවශ්‍ය පියවරයන් ආරම්භ කර තිබෙනවා. මෙම වැදගත් කාරණය පිළිබඳව අමතර තොරතුරු ඉදිරි මාස වලදී ලබා දීමට නියමිතයි.” (Russell M. Nelson, “The Name of the Church” [official statement, Aug. 16, 2018], mormonnewsroom.org).

  2. සභාවේ මුලසුන දරන සභාපතිවරුන් ඒ හා සමාන ඉල්ලීම් කර තිබෙනවා. උදාහරණයක් ලෙස, සභාපති ජෝර්ජ් ඇල්බර්ට් ස්මිත් පවසනවා: “මෙම සභාව මොර්මන්ගේ සභාව ලෙස අමතා ස්වාමින්වහන්සේව දුකට පත්කරන්න එපා. උන්වහන්සේ එය මොර්මන්ගේ සභාව ලෙස නම් කලේ නෑ. (in Conference Report, Apr. 1948, 160).

  3. See “Style Guide—The Name of the Church,” mormonnewsroom.org.

  4. දහම සහ ගිවිසුම 115:4.

  5. 3 නෙපි 27:7–8.

  6. මෝසෙස් 1:33.

  7. දහම සහ ගිවිසුම 19:18.

  8. මොරෝනි 4:3; දහම සහ ගිවිසුම 20:37, 77.

  9. මෝර්මන් යනු අපගේ මෝර්මන් පොතේ සිටි එක ප්‍රධාන කතෘවරයෙක්, අනික් අය නෙපි, යාකොබ්, සහ මොරෝනියි. සියලුදෙනාම ස්වාමින්වහන්සේව ඇසින් දුටු සාක්ෂිකරුවන්, ඒ වගේම එහි දේවානුභාවයෙන් යුත් පරිවර්තකයා, දිවැසිවර ජෝසෆ් ස්මිත්.

  10. මොර්මනයිට්ස්” යන වචනය පවා අපහාසයක් ලෙස අන්වර්ත නාමයක් ලෙස තිබුණි. (see History of the Church, 2:62–63, 126).

  11. නව ගිවිසුම කාලයේදීත් වෙනත් අන්වර්ථයන් ඇති වූ බව පෙනෙන්ට තිබෙනවා. අපොස්තුලුවර පාවුලුගේ හිරිහැර කාලයේදී පවා, ඔහුට “නසරීයන්ගේ නිකායේ නායකයා” ලෙස හදුන්වා ඇත (ක්‍රියා 24:5). “නාසරීයේ” යන වචනය සම්බන්ධයෙන් එක් විස්තර කරන්නෙකු ලියා තිබුනා: “අවමානය කිරීමක් වශයෙන් ක්‍රිස්තියානුවන්ට භාවිතා කල නම මෙයයි. ඔවුන්ට එසේ අමතා ඇත්තේ යේසුස්වහන්සේ නාසරෙත් නුවරින් නිසා බව පවසනවා” (Albert Barnes, Notes, Explanatory and Practical, on the Acts of the Apostles [1937], 313).

    ඒ හා සමානව, තවත් එක් විස්තර කරන්නෙකු පවසනවා: “අපගේ ස්වාමින්වහන්සේට අවමානාත්මක ලෙස “නසරිනයා” ලෙස හඳුන්වන නිසා (මතෙව් 26:71), ජුදෙවුවරුන් උන්වහන්සේගේ අනුගාමිකයන්ව “නාසරීනයන්” ලෙස අමතනවා. ඔවුන් පිළිගන්නේ නෑ ඔවුන් ක්‍රිස්තියානුවන් බව. උදා: මෙසිස්යස්වහන්සේගේ අනුගාමිකයන් බව.” (The Pulpit Commentary: Acts of the Apostles, ed. H. D. M. Spence and Joseph S. Exell [1884], 2:231).

    ඒ හා සම්බන්ධ යමක්, වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් නිරීක්ෂණය කර තිබුනා: “ශුද්ධලියවිලි වල ඉතිහාසය මුළුල්ලේම, අපට පෙනෙන්නට තිබෙනවා දිවසිවරුන්ව පහ කිරීමේ අරමුණින් ඔවුන්ට අවමන් කිරීමට නැවත නැවතත් දරන උත්සාහයන්- ඔවුන්ව විනාශකිරීමේ අරමුණින් විවිධ නම් පටබදිනවා. බොහෝ විට, කෙසේ වෙතත්, ඔවුන්ගේ සමකාලීනයන් සහ ලෞකික ඉතිහාසය ඒවා ලෙහෙසියෙන් නොසලකා හැර තිබෙනවා. ඒ එසේ වුවත්, මුල් කාලීන ක්‍රිස්තියානුවන්ව “නාසරීනයන්ගේ නිකායන්” ලෙස හඳුන්වා තිබෙනවා. (ක්‍රියා 24:5.)” (“Out of Obscurity,” Ensign, Nov. 1984, 10).

  12. 1 නෙපි 18:1–2.

  13. Benjamín De Hoyos, “Called to Be Saints,” Liahona, May 2011, 106.

  14. අනිත් මිනිසුන් අප අමතන දේ පිළිබඳව අපට පාලනයක් නැති වුනත්, අපි අපව අමතා විදිහ පිළිබඳව අපට සම්පූර්ණ පාලනය තිබෙනවා. අපි කොහොමද අනිත් අයගෙන් බලාපොරොත්තුවන්නේ සභාවේ නිවැරදි නමට ගරුකරන ලෙස, අපි එසේ නොකරනවානම්.

  15. Style Guide—The Name of the Church,” mormonnewsroom.org.

  16. සාන්තුවරයින් යන වචනය බයිබලයේ බොහෝ විට භාවිතා කර තිබෙනවා. උදාහරණයක් වශයෙන්, පවුලුගේ සංදේශයේ එපීසවරුන්ට, සාන්තුවරුන් යන වචනය අවම වශයෙන් එක පරිච්ඡේදයකට වරක් හෝ භාවිතා කර තිබෙනවා. සාන්තුවරයෙක් යනු යේසුස් ක්‍රිස්තුස්වාහන්සේව විශ්වාසකරන සහ උන්වහන්සේව අනුගමනය කරන පුද්ගලයෙක්.

  17. දහම සහ ගිවිසුම 121:33 බලන්න.