ප්‍රධාන සම්මන්ත්‍රණය
ඔවුන්ගේ යුතුකමේ මාවතේ
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඔවුන්ගේ යුතුකමේ මාවතේ

ඔබගේ වගකීමේ මාවතේ ඉදිරියට ඇදෙන ඔබ අද ගැලවුම්කරුවාණන්ගේ නැවත පිහිටුවන ලද සභාවේ ශක්තියයි.

ලොව පුරා සිටින යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන්ට මගේ ආදරය, ප්‍රශංසාව සහ කෘතඥතාව ප්‍රකාශ කරන විට ශුද්ධාත්මයාණන්ගේ උපකාරය සඳහා ඉතා ඕනෑකමින් මම යාච්ඤා කරනවා.

අන්තිම කරත්තයේ ඔවුන්

සෝල්ට් ලේක් නිම්නයට පැමිණි පළමු පසුදවස් වල ශුද්ධවන්ත පුරෝගාමීන්ගේ 100 වැනි සංවත්සරය 1947 වර්ෂයේදී සනිටුහන් වුණා. එම වසර තුළ බොහෝ අනුස්මරණ සැමරුම් පවත්වනු ලැබුවා, මංපෙත් නිර්මාණය කර, ගෙවල් ගොඩනගා, නිසරු කාන්තාරයේ බෝග වගා කළ සහ සමාජයන් සෑදූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කැප වූ ගෝලයන් වෙනුවෙන් ගණන් කළ නොහැකි කෘතඥතා ප්‍රකාශයන් ඉදිරිපත් කෙරුණා.

පළමු සභාපතිත්වයේ පළමු උපදේශකවරයා වන, සභාපති ජේ. රූබන් ක්ලාක් 1947 ඔක්තෝම්බර් මාසයේ පැවති ප්‍රධාන සම්මන්ත්‍රණයේදී මෙම ඇදහිලිවන්ත පුරෝගාමීන්ට අමතක නොවන සහ සංවේදී උපහාරයක් ලබා දුන්නා.

බ්‍රිගම් යන්ග්, හෙබර් සී. කිම්බල්, විල්ෆර්ඩ් වුඩ්‍රෆ්, පාර්ලි පී. ප්‍රැට් සහ තවත් බොහෝ අය වන බටහිර දෙසට සංක්‍රමණයට මගපෙන්වූ සුප්‍රසිද්ධ නායකයන්ව සභාපති ක්ලාක් ඔහුගේ පණිවිඩයේදී කෙටියෙන් මතක් කළා. කෙසේ වෙතත්, ඔහුගේ මූලික අරමුණ වුණේ මෙම කැපී පෙනෙන පුද්ගලයන්ගේ ජයග්‍රහණ විස්තර කිරීම නොවේ. ඒ වෙනුවට, ඔවුන්ගේ නම් නොදන්නා සහ සභා ඉතිහාසයේ නිල වශයෙන් වාර්තා වී නොමැති බලවත් ආත්මයන් කෙරෙහි ඔහු තම ප්‍රකාශය යොමු කළා. ඔහුගේ පණිවිඩයේ උපදේශාත්මක මාතෘකාව තමයි, “අන්තිම කරත්තයේ ඔවුන්.”1

එම තැනිතලාව තරණය කළ දිගු කරත්ත පෙළේ අවසාන කරත්තයේ ගමන් කළ සංක්‍රමණිකයන් මුහුණ දුන් අභියෝග වල ආකාරය ගැන සභාපති ක්ලාක් ඉතා විස්තරාත්මක ලෙස විස්තර කළා. දිනෙන් දින, සතියෙන් සතිය, මාසෙන් මාසෙට, ඔවුන්ගේ ඉදිරියෙන් ගමන් කරන කරත්ත වලින් නැගෙන දූවිල්ලෙන් හුස්ම හිර කරගත්, එමෙන්ම ඒ ගමන මගදී ඔවුන් මුහුණ දුන් නොනවතින බාධක ජයගත් ඒ නිර්නාමික කීර්තිමත් වීරයන්ව ඔහු අගය කළා.

සභාපති ක්ලාක් මෙහෙම කිව්වා, “අවසාන කරත්තයේ ගිය ඔවුන්, මහන්සියෙන් සහ වෙහෙසින්, සමහර අවස්ථා වල අධෛර්යට පත්වෙමින්, දෙවියන්වහන්සේ ඔවුන්ට ප්‍රේම කරන බවටත්, එමෙන්ම නැවත පිහිටුවන ලද ශුභාරංචිය සත්‍ය බවටත්, එමෙන්ම ඉදිරියෙන් යන සහෝදරයින්ට ස්වාමින්වහන්සේ මගපෙන්වා මෙහෙයවන බවටත්, වූ ඔවුන්ගේ ඇදහිල්ල බෙදා ගනිමින්, ඉදිරියටම ගියා.”2

“ඇදහිල්ලෙන් ශ්‍රේෂ්ඨ වූ, ක්‍රියාවේ ශ්‍රේෂ්ඨ වූ, ධර්මිෂ්ඨව ජීවත් වීමේ ශ්‍රේෂ්ඨ වූ, අපගේ මිල කළ නොහැකි උරුමය හැඩගැස්වීමේ ශ්‍රේෂ්ඨ වූ එම නිහතමානී ප්‍රාණයන් හට, මම නිහතමානීව මගේ ප්‍රේමයත්, මගේ ගෞරවයත්, මගේ භක්තිමත් ප්‍රණාමයත් පිරිනමනවා.”3

සේවය කිරීමේ අවමයක් නැත

1990 දී, එවකට ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සභාපති වූ, සභාපති හවර්ඩ් ඩබ්. හන්ටර් විසින්, උද්යෝගයෙන් සහ ඇදහිල්ලෙන් සේවය කළ, එමෙන්ම සුළු හෝ මහජන පිළිගැනීමක් හෝ ගෞරවයක් නොලැබුණු ගණන් කළ නොහැකි තරම් සභා සාමාජිකයින්ගේ අත්හළ නොහැකි දායකත්වය ගැන පණිවිඩයක් බෙදා ගත්තා.

සභාපති හන්ටර් මෙසේ පැහැදිලි කළා:

“[තරුණ සහ ධෛර්යසම්පන්න කපිතාන් මොරෝනි] ගැන මෙසේ සඳහන් වෙනවා:

“‘සියලුම මනුෂ්‍යයන් මොරෝනි මෙන්ව සිටියේද, සිටිත්ද, සැමදා සිටින්නේද, බලන්න, එම නිරයේ බලය සදාකාලයටම සොලවනු ලබන්නේය; එසේය, යක්ෂයාට කිසිදාක මනුෂ්‍ය දරුවන්ගේ හදවත් මත බලය නොවන්නේය’ (ඇල්මා 48:17).

“ප්‍රසිද්ධ හා බලවත් මිනිසෙකුට එය මොනතරම් ප්‍රශංසාවක්ද? … ඉන් පද දෙකකට පසුව මොරෝනිට වඩා කැපී පෙනෙන බවින් අඩු භූමිකාවක් ඉටු කළ හිලමන් සහ ඔහුගේ සහෝදරයන් පිළිබඳ ප්‍රකාශයක් තිබෙනවා, එහි මෙහෙම කියනවා:

“‘දැන් බලන්න, හිලමන් සහ ඔහුගේ සහෝදරයන් මොරෝනිට වඩා ජනතාව වෙතට වැඩදායක නොවූවා නොවේ.’(ඇල්මා 48:19).”

සභාපති හන්ටර් තවදුරටත් මෙසේ කිව්වා: “වෙනත් වචන වලින් කියනවා නම්, හිලමන් කියන්නෙ මොරෝනි තරම් කැපී පෙනෙන හෝ ප්‍රකට කෙනෙක් නොවුනත්, ඔහු සේවය කළ අයෙක් වුණා; ඒ කියන්නෙ ඔහු මොරෝනි තරම්ම ප්‍රයෝජනවත් හෝ උපකාරයක් වුණා.”4

ඉන්පසු අප සියලු දෙනාටම අඩුවෙන් සේවය කරන්නෙකු නොවන ලෙස උපදෙස් දුන්නා. ඔහු මෙහෙම කිව්වා, “මේ වසරේ හෝ ඉදිරි වසරවලදී ඔබ කරන බොහෝ දේ ඔබව ප්‍රසිද්ධියට පත් නොකරන බව ඔබට හැඟනවා නම්, මේක සිතට ගන්න. මෙතෙක් ජීවත් වූ හොඳම මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් එතරම් ප්‍රසිද්ධ නෑ. ඇදහිලිවන්තව සහ නිහඬව සේවය කර වර්ධනය වෙන්න.”5

ඔවුන්ගේ යුතුකමේ මාවතේ

අද දින ගැලවුම්කරුවාණන් වෙත පැමිණෙන6, එමෙන්ම අපගේ නූතන කරත්ත පේළියේ අවසාන කරත්ත වල ගිවිසුම් මාවත කරා ඉදිරියට ඇදෙන, එමෙන්ම සැබවින්ම අඩු ලෙස සේවය කරන අය නොවන, මිලියන සංඛ්‍යාත සභා සාමාජිකයින් වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙනවා. ස්වර්ගීය පියාණන්වහන්සේ සහ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබගේ දැඩි ඇදහිල්ල සහ ඔබේ නිර්ව්‍යාජ, කැප වූ ජීවිත මට තව තවත් හොඳ පුද්ගලයෙක් ඒවගේම ගෝලයෙක් වන්නට මා තුළ පෙළඹවීමක් ඇති කරනවා.

මම ඔබට ආදරෙයි. මම ඔබව වර්ණනා කරනවා. මම ඔබට ස්තූතිවන්ත වෙනවා. ඒවගේම මම ඔබට ප්‍රශංසා කරනවා.

ඔබ වෙනුවෙන් මට ඇති හැඟීම් ලාමන්වරයෙකු වූ සාමුවෙල් විසින් මොර්මොන්ගේ පොතේ හොඳින් සාරාංශ කරනවා.

“බලන්න ඔවුන්ගෙන් බොහෝ කොටසක් ඔවුන්ගේ වගකීමේ මාවතෙහි සිටින්නෝය, තවද ඔවුන් දෙවියන්වහන්සේ ඉදිරියේ සුපරික්ෂාවෙන් ගමන් කරන්නෝය, තවද ඔවුන් උන්වහන්සේගේ ආඥා සහ උන්වහන්සේගේ ව්‍යවස්ථා පිළිපදින්නෝය.

“එසේය, මම නුඹලා හට පවසන්නෙමි, එනම් ඔවුන්ගෙන් වැඩි කොටසක් මෙය කරන්නෝය, තවද එනම් ඔවුන් ඔවුන්ගේ ඉතිරි වූ සහෝදරයන්ව සත්‍යයේ දැනගැනීමට ගෙන එන පිණිස වෙහෙස නොවන්නාවූ උද්‍යෝගයක් සමඟ පරිශ්‍රම දරන්නෝය.”7

“ඔවුන්ගේ වගකීමේ මාවතෙහි” යන වාක්‍ය ඛණ්ඩය මගින් සභාවේ රැස්වීම් වලදී සහ වෙනත් විවිධ රැස්වීම් අවස්ථා වලදී තනිව සිටින පුද්ගලයින් අසල වාඩි වී සිටින සැලකිලිමත් සහෝදර සහෝදරියන්ව විස්තර කරනවා. පිළිගැනීමක් හෝ ප්‍රශංසාවක් අපේක්ෂා නොකර සැනසිල්ල අවශ්‍ය අයව සනසන්නට8 ඔවුහු නිරතුරුව වෙහෙසෙනවා.

“ඔවුන්ගේ වගකීමේ මාවතෙහි” යන වාක්‍ය ඛණ්ඩය මගින් ස්වාමින්වහන්සේගේ නැවත පිහිටුවන ලද සභාවේ නායකත්ව තනතුරක සේවය කරන සහකාරියකට, දෙමව්පියෙකුට හෝ දරුවෙකුට සහයෝගය දක්වන කලත්‍රයන් සහ දරුවන්ව විස්තර කරනවා. ඔවුන්ගේ ස්ථාවර, නිශ්ශබ්ද සහ සාමාන්‍යයෙන් හඳුනා නොගත් තිරසාර බලපෑම නිසා අපට සදාකාලයේදී පමණක් සම්පූර්ණයෙන්ම දැනගත හැකි වන බොහෝ පුද්ගලයන්ට සහ පවුල්වලට ආශිර්වාද කරනවා.

“ඔවුන්ගේ වගකීමේ මාවතෙහි” යන වාක්‍ය ඛණ්ඩය මගින් දෙවියන්වහන්සේගෙන් ඈත් වී, නිහතමානීව උන්වහන්සේ වෙත නැවත හැරී,9 තම පව් ගැන පසුතැවිලි වන, සහ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ පවිත්‍ර කිරීමේ සහ සුව කිරීමේ බලය සොයන පුද්ගලයන්ව විස්තර කරනවා. සියලු අභක්තියෙන් වැලකී “තහනම් මාවත්”11 වලින් නැවත ගිවිසුම් මාර්ගයට පැමිණීමෙන් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීම10, අධ්‍යාත්මිකව අත්‍යවශ්‍ය වෙනවා ඒවගේම ධර්මිෂ්ඨ ලෙස බරපතල වෙනවා. ඔවුන් ඇදහිල්ලෙන් ඉදිරියට ගමන් කරමින් එමෙන්ම හොඳින් ක්‍රියා කිරීමෙන් වෙහෙසට පත්වන විට, ඔවුන් තම පෞද්ගලික ජීවිතය තුළ,12 සෑම පරම්පරාවකටම සහ සදාකාලයටම විශාල කාර්යයක පදනම එලනවා.13

“ඔවුන්ගේ වගකීමේ මාවතෙහි” යන වාක්‍ය ඛණ්ඩය මගින් ගැලවුම්කරුවාණන්ගේ ශුභාරංචියේ අධිකාරිත්වය ලත් ගිවිසුම් සහ නියෝග හරහා උන්වහන්සේට එක් වීමට ඉතා උවමනාවෙන් බලා සිටියත්, ඔවුන්ගේ පාලනයෙන් ඔබ්බට ඇති සාධක මගින් එසේ කිරීම වැළැක්වෙන ධර්මිෂ්ඨ පුද්ගලයින්ව විස්තර කරනවා. ඔබගේ පෞද්ගලික වේදනාව සමනය වනු ඇති බවත්, එමෙන්ම ඉවසිලිවන්තව දෙවියන්වහන්සේට ඔබගේ කැමැත්ත ඉදිරිපත් කිරීම සඳහා ඔබට ඇති ඔබගේ කීකරුකම සහ ඇදහිලිවන්තකමට “ස්වාමින්වහන්සේගේ නියමිත කාලයේදී” විපාක ලැබෙන බවත් මම පොරොන්දු වෙනවා.14 “රාත්‍රියේ හැඬීම පවතින නුමුත්, උදයේදී ප්‍රීතිය පැමිණෙන්නේය.”15

“ඔවුන්ගේ වගකීමේ මාවතෙහි” යන වාක්‍ය ඛණ්ඩය මගින් තම මිතුරන්ට සහ සාමාජිකයින්ට “[ඔවුන්ගේ] මව් භාෂාවෙන් සහ [ඔවුන්ගේම] භාෂාවෙන් ශුභාරංචියේ පූර්ණත්වය ඇසීමට” උපකාර කිරීම මගින් ස්වාමින්වහන්සේට සේවය කරන ලොවපුරා සිටින දේවානුභාවය ලත් පරිවර්තකයින් සහ අර්ථකතකයින්ව විස්තර කරනවා.16 ඔවුන්ගේ කටහඬ, සංඥා සහ පරිවර්තනය කරන ලද ලේඛන සදාකාලික සත්‍යයන් ප්‍රකාශ කරනවා, නමුත් ඔවුන්ගේ නම් දන්නේ හෝ කිසිවිටක ඔවුන්ව අගය කරන්නේ අපෙන් ස්වල්ප දෙනෙක් පමණයි. ඔවුන්ට ආශිර්වාද කර ඇති භාෂා දීමනාව තුළින්, පරිවර්තකයින් සහ අර්ථකතකයින් විසින්, දෙවියන්වහන්සේගේ වචනය කියවීමෙන් සහ ඇසීමෙන් ඇදහිල්ලේ අධ්‍යාත්මික දීමනාව ලබා ගැනීමට මිනිසුන්ට උපකාර කිරීම සඳහා උනන්දුවෙන්, පරාර්ථකාමීව සහ බොහෝ විට නිර්නාමිකව සේවය කරනවා.17

“ඔවුන්ගේ වගකීමේ මාවතෙහි” යන වාක්‍ය ඛණ්ඩය මගින් පොළොව වර්ධනය කර බෝ කිරීම සඳහා වූ තම ගිවිසුමේ වගකීමට ගරු කරන විශ්වාසවන්ත විවාහක පුරුෂයන් සහ ස්ත්‍රීන්, සහ සක්‍රමේන්තු රැස්වීම්වලදී තම දරුවන් සමඟ පොරබැදීමට ශක්තිය හා සවි බලයෙන් ආශිර්වාද ලත් අයව විස්තර කරනවා. විපත්ති සහ අස්ථානගත වූ ප්‍රමුඛතාවලින් පිරී ඉතිරී යන ව්‍යාකූල ලෝකයක, මෙම ධෛර්ය සම්පන්න ප්‍රාණයන් ආත්මාර්ථකාමීත්වය ප්‍රශංසා කරන ලෞකික හඬට අවනත වෙන්නෙ නෑ; ඔවුන් තම දරුවන් සඳහා ස්වර්ගික පියාණන්වහන්සේගේ සන්තෝෂයේ සැලැස්ම තුළ ජීවිතයේ පරිශුද්ධභාවයට හා වැදගත්කමට ගරු කරනවා.

බොහෝ විවාහක යුවලයන් ඔවුන්ගේ හදවතේ ඇති ධර්මිෂ්ඨ ආශාවන් ඔවුන්ගේ බලාපොරොත්තු සහ සිහින ඔවුන් දුටු ලෙස සහ කාල වකවානු වල සාක්ෂාත් නොවන විට දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබනවා. ඔවුන් “ස්වාමින්වහන්සේ කෙරෙහි බලා සිටින”12 අතර ඔවුන්ගේ ලෞකික කාල සීමාවන් සපුරාලන ලෙස උන්වහන්සේට බල කරන්නේ නෑ. “මක්නිසාද ඔබවහන්සේ උදෙසා බලා සිටින [ඔවුන්] වෙනුවෙන් ක්‍රියා කරන්නාවූ, ඔබවහන්සේ හැර වෙන දෙවිකෙනෙක් ඇති බවක්, අහෝ දෙවියන්වහන්ස, ලෝකයේ ආරම්භයේ පටන් අසන්නට යෙදුණේවත් කනට වැටුණේවත්, හෝ ඇසින් දකින්නට යෙදුණේවත් නැත.”19

“ඔවුන්ගේ වගකීමේ මාවතෙහි” යන වාක්‍ය ඛණ්ඩය මගින් සෑම සබත් දිනකම සභාවේ දරුවන්ට ආදරය කරන සහ උපදෙස් දෙන දහස් ගණන් බාලාංශ නායකයින් සහ ප්‍රාථමික ගුරුවරුන්ව විස්තර කරනවා.

මෙම කැප වූ ගෝලයන් විසින් කරන ලද සේවයේ සදාකාලික බලපෑම ගැන සහ දරුවන්ට සේවය කරන අයට පොරොන්දු වූ පුදුමාකාර ආශිර්වාද ගැන සලකා බලන්න.

“තවද [යේසුස්වහන්සේ] කුඩා දරුවෙකු ගෙන ඔවුන් මැද සිටුවා, ඔහු වඩාගෙන: ඔවුන්ට මෙසේ පැවසුවා,

“මෙබඳු කුඩා දරුවන්ගෙන් එක්කෙනෙකු මාගේ නාමයෙන් පිළිගන්නාවු කවරෙක් නුමුත් මා පිළිගන්නේය. මා පිළිගන්න කවරෙක් නුමුත් මා පිළිගන්නවා නොව මා එවූ තැනන්වහන්සේ පිළිගන්නේයයි ඔවුන්ට කී සේක.”20

“ඔවුන්ගේ වගකීමේ මාවතෙහි” යන වාක්‍ය ඛණ්ඩය මගින් මහලු දෙමාපියන්ව මුදු මොළොක් ලෙස රැකබලා ගන්නා කැපවූ දරුවන්ව ද, බියට පත් දරුවෙකු සනසමින් තම නිවසේ “ගේට්ටුවේ සිංහයෙකු”21 ලෙස මුර කරමින් සිටින නින්ද නොයන මවක්ව ද, වේලාසනින් පැමිණ ප්‍රමාද වී යන පුටු හසුරුවන සභාවේ සාමාජිකයින්ව ද, එමෙන්ම පවුලේ අයට, මිතුරන්ට සහ ආශ්‍රිතයන්ට පැමිණ බැලීමට, පැමිණ උදව් කිරීමට සහ පැමිණ නැවතී සිටින ලෙස ආරාධනා කරන ආනුභාව ලත් පුද්ගලයන්ව ද විස්තර කරනවා.22

මම විස්තර කර ඇත්තේ “[ඔබේ] වගකීමේ මාවතේ” ඉදිරියට ගමන් කරන ඔබ වැනි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගිවිසුම් පවත්වන සහ කැපවූ ගෝලයන් පිළිබඳ තෝරාගත් උදාහරණ කිහිපයක් පමණයි. දෙවියන්වහන්සේට තම “මුළු ප්‍රාණයම”23 පූජා කරන පසුදවස්වල ශුද්ධවන්තයින් ගැන අතිරේක උදාහරණ මිලියන ගණනක් ක්‍රිස්තුස්වහන්සේව කේන්ද්‍ර කරගත් නිවාසවල සහ ලොව පුරා සභා ඒකකවල දක්නට ලැබෙනවා.

ඔබ ආදරය කරනවා, සේවය කරනවා, සවන් දෙනවා සහ ඉගෙන ගන්නවා, සැලකිල්ල දක්වනවා සහ සැනසීම ලබාදෙනවා, ඒවගේම ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් උගන්වනවා සහ සාක්ෂි දරනවා. ඔබ නිරාහාරව සිට නිතර යාච්ඤා කරනවා, නිහතමානීකමේ තව තවත් ශක්තිමත් වෙනවා, ඒවගේම “[ඔබගේ] ප්‍රාණයන් ප්‍රීතියෙන් සහ සහනයෙන්ද, එසේය [ඔබගේ] හදවත් පවිත්‍රකමින් සහ [ඔබගේ] හදවත් දෙවියන්වහන්සේ වෙතට භාරදුන් නිසා පැමිණෙන ශුද්ධවන්තකමින්ද” තව තවත් වැඩී ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිල්ල මත ස්ථීර වෙනවා.24

පොරොන්දුව සහ සාක්ශිය

අවසාන කරත්තයේ සිටි ඔවුන්, අවම ලෙස සේවා නොකළ ඒ සියල්ලන්, සහ ඔබගේ වගකීමේ මාවතේ ඉදිරියට ඇදෙන ඔබ අද ගැලවුම්කරුවාණන්ගේ නැවත පිහිටුවන ලද සභාවේ ශක්තියයි. එමෙන්ම ස්වාමින්වහන්සේ මෙසේ පොරොන්දු වී තිබෙනවා, “සියලු සිංහාසනයන් සහ ආධිපත්‍යයන්, රාජ්‍යයන් සහ බලයන්, එළිදරව් කරනු ලැබ තවද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය උදෙසා නිර්භීතව දරාගත්තවුන් සියල්ලන් මත ඒවා පත්කරනු ලබන්නේය.”25

ස්වර්ගික පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන් ජීවමාන බවත්, ඔවුන්ගේ පොරොන්දු ස්ථීර බවත් මම ප්‍රීතියෙන් යුතුව සාක්ෂි දරන්නේ, ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.