ප්‍රධාන සම්මන්ත්‍රණය
සන්තෝෂයේ ලක්ෂණ
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


සන්තෝෂයේ ලක්ෂණ

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අත්තිවාරම මත ගොඩනැගෙන එක අපගේ සතුටට අත්‍යවශ්‍යයි.

මම මීට වසර කිහිපයකට පෙර ව්‍යාපාරික ගුවන් ගමනක යමින් ඉද්දි, මගේ යාබද අසුනෙ ඉන්නෙ නෙදර්ලන්ත ජාතිකයෙක් කියලා මම දැනගත්තා. මම තරුණ ධර්මදූතවරයෙකු ලෙස බෙල්ජියමේ සහ නෙදර්ලන්තයේ සේවය කර තිබෙන නිසා මම ඔහුව බැහැදැකීමට ආශාවෙන් සිටියා.

අපි දැන හඳුනා ගත්තට පස්සෙ, ඔහු මට ඔහුගේ ව්‍යාපාරික කාඩ්පත ලබාදුන්නා, එහි “සතුට පිළිබඳ මහාචාර්ය” යන අද්විතීය රැකියා මාතෘකාව ලියවිලා තිබුණා.  මම ඔහුගේ මේ විස්මිත වෘත්තිය ගැන අදහස් දක්වමින් සතුට පිළිබඳ මහාචාර්යවරයෙක් කරන්නේ මොනවාද කියා ඔහුගෙන් ඇහුවා. අර්ථාන්විත සබඳතා සහ ඉලක්ක ඇතිකර ගනිමින් සතුටින් ජීවිතයක් ගත කරන්නේ කෙසේදැයි ඔහු මිනිසුන්ට කියා දෙන බව ඔහු පැවසුවා. මම මෙහෙම පිළිතුරු දුන්නා, “ඒක හරිම අපූරුයි, නමුත් ඔබට එම සබඳතා සොහොනෙන් ඔබ්බට ගෙන යා හැකි ආකාරය සහ ජීවිතයේ අරමුණ කුමක්ද, අපගේ දුර්වලතා ජය ගන්නේ කෙසේද සහ අප මරණයෙන් පස්සෙ යන්නෙ කොහෙද වගේ ප්‍රාණයේ වෙනත් ප්‍රශ්නවලට පිළිතුරු දිය හැකි ආකාරය ඔබට ඉගැන්විය හැකි වෙනවා නම් ඒක කොහොම වෙයිද?” එම ප්‍රශ්නවලට පිළිතුරු අප සතුව ඇත්නම් එය පුදුම සහගත බව ඔහු පිළිගත් අතර, අපට ඒවාට පිළිතුරු ඇති බව ඔහු සමඟ බෙදා ගැනීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා.

බොහෝ දේවල් රසවත් වුණත් ඇත්තෙන්ම වැදගත් වන්නේ ඉතා ස්වල්ප දේවල් ප්‍රමාණයක් වන මේ ව්‍යාකූල ලෝකයේ බොහෝ දෙනෙකුට මගහැරී ඇති සැබෑ සන්තෝශය සඳහා අත්‍යවශ්‍ය මූලධර්ම කීපයක් සමාලෝචනය කරන්න අද මම කැමතියි.

ඇල්මා ඔහුගේ කාලයේ සිටි මිනිසුන්ට මෙසේ ඉගැන්වූවා, “මක්නිසාද බලන්න, මම නුඹලා හට පවසන්නෙමි, එහි බොහෝ දේවල් පැමිණීමට ඇත්තේය; තවද බලන්න එහි අනිත් දේවල් වලට වඩා වැදගත් එක් දෙයක් ඇත්තේය—මක්නිසාද බලන්න, එනම් මිදුම්කරුවාණන් ජීවත් වී තවද උන්වහන්සේගේ ජනතාව අතරට පැමිණීමේ කාලය ඉතා දුර නොවන්නේය.”1

අපි ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම අපේක්ෂාවෙන් සූදානම් වන විට මෙම ප්‍රකාශය අදත් අපට එකසේ වැදගත් වෙනවා!

එමනිසා, මගේ පළමු නිරීක්ෂණය තමයි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අත්තිවාරම මත ගොඩනැගෙන එක අපගේ සතුටට අත්‍යවශ්‍යයි. මෙය ස්ථිර පදනමක්, “මිනිසුන් ඒ මත ගොඩ නැගෙන්නේ නම් ඔවුන් අසමත් නොවන පදනමක්.”2 එසේ කිරීමෙන්, අපේ ජීවිතයට එන අභියෝග මොනවා වුණත් ඒවාට මුහුණ දීමට අපව සූදානම් කරනවා.

මීට වසර ගණනාවකට පෙර, මම අපේ පුතා ජස්ටින් සමඟ ගිම්හාන බාලදක්ෂ කඳවුරකට ගියා. එහි ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වෙද්දි, ඔහුට සහ ඔහුගේ මිතුරන්ට දුනු විදීමේ කුසලතා ලාංඡනය ලබා ගැනීමට අවශ්‍ය බව ඔහු උද්යෝගයෙන් ප්‍රකාශ කළා. එසේ කිරීමට මේ පිරිමි ළමයින්ට කෙටි ලිඛිත පරීක්ෂණයකින් සමත් වී ඔවුන්ගේ ඊතලවලින් ඉලක්කයකට විඳීමට සිදු වුණා.

මගේ හදවත ගැහුණා. ඒ වන විට ජස්ටින් උපතේ සිට සටන් කරමින් සිටි සිස්ටික් ෆයිබ්‍රෝසිස් රෝගය හේතුවෙන් තරමක් දුර්වල වෙලා හිටියා. ඔහුට ඊතලය ඉලක්කයට යැවීමට තරම් ඈතට දුන්න ආපසු ඇද ගත හැකිදැයි මම කල්පනා කළා.

ඔහු සහ ඔහුගේ මිතුරන් දුනු විදීමේ පන්තියට පිටත්ව යද්දී, මම නිහඬව යාච්ඤා කළේ ඔහුට එම අත්දැකීමෙන් නින්දාවක් නොවේවා කියායි. කනස්සල්ලෙන් ගෙවුණු පැය කිහිපයකට පසු, ඔහු විශාල සිනහවකින් මා දෙසට ඒ මාවත දිගේ ඇවිදගෙන එනවා මම දැක්කා. “තාත්තේ!” ඔහු කෑගැසුවා. “මට කුසලතා ලාංඡනය ලැබුණා! මම හරියටම ඉලක්කයේ මැද්දට විද්දා; ඒක මගේ එකට එහා පැත්තෙ තිබුණු එක, ඒත් මම ඉලක්කයට විද්දා!” ඔහු තම මුළු ශක්තියෙන් දුන්න ආපසු ඇද දමා ඊතලය පියාසර කිරීමට ඉඩ දුන්නත් එහි ගමන් පථය පාලනය කර ගන්නට නොහැකි වෙලා තිබුණා. “කණගාටුයි, වැරදි ඉලක්කයක්!” යැයි කිසිවිටෙක නොපැවසූ, එම අවබෝධය ඇති දුනු විදීමේ උපදේශකයාට මම කෙතරම් නම් කෘතඥ වෙනවාද? ඒ වෙනුවට, ජස්ටින්ගේ සීමාවන් සහ අවංක උත්සාහය දුටු ඔහු, “හොඳ වැඩක්!” කියලා පිළිතුරු දී තිබුණා.

අපගේ සීමාවන් නොතකා ක්‍රිස්තුස්වහන්සේව සහ උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ව අනුගමනය කිරීමට අපි අපගේ උපරිමය කරන්නේ නම් අපට ඒක වෙන්නෙ එහෙමයි. අපි අපේ ගිවිසුම් පවත්වාගෙන ඒවගේම අපගේ පව් ගැන පසුතැවිලි වීමෙන් අපි උන්වහන්සේ වෙතට පැමිණියහොත්, අපගේ ගැලවුම්කරුවාණන්ගේ “ගොඩක් හොඳයි, යහපත් සහ ඇදහිලිවන්ත සේවකයා.”3 යන ප්‍රශංසාවට අපි ප්‍රීතියෙන් සවන් දිය හැකියි.

ලෝකයේ ගැලවුම්කරුවාණන්ගේ දිව්‍යමයභාවය සහ උන්හන්සේ වෙතට පැමිණීමට අප උනන්දුවෙන් වෑයම් කරන විට අපව සුව කිරීමට, ශක්තිමත් කිරීමට සහ ඔසවා තැබීමට උන්වහන්සේගේ මිදීමේ ප්‍රේමය සහ බලය පිළිබඳව මම ඔබට සාක්ෂි දරනවා. අනෙක් අතට, අපට සමූහයා සමඟ ඉදිරියට යන ගමන් අපට යේසුස්වහන්සේ දෙසට ගමන් කළ හැකි ක්‍රමයක් නෑ. ගැලවුම්කරුවාණන් මරණය, රෝග සහ පාපය පරාජය කර තිබෙනවා ඒවගේම අපි අපේ මුළු හදවතින්ම උන්වහන්සේව අනුගමනය කරනවා නම් අපගේ අවසාන පරිපූර්ණත්වය සඳහා මාර්ගයක් සපයා දී තිබෙනවා.4

මගේ දෙවන නිරීක්ෂණය තමයි, අප ආදරණීය ස්වර්ගික පියෙකුගේ දූ පුතුන් බව මතක තබා ගැනීම අපගේ සතුටට ඉතා වැදගත් වෙනවා. මෙම යථාර්ථය දැන ගැනීම සහ විශ්වාස කිරීම සියල්ල වෙනස් කරනවා.

මීට වසර කිහිපයකට පෙර, සභාවේ පැවරුමකින් පස්සෙ නිවසට යන ගුවන් යානයකදී, සබින් සහෝදරිය සහ මම, සිරුරෙන් විශාල මිනිසෙකු දුටුවා, ඔහුගේ හිසකෙස් නැති හිස පිටුපස කෝපයෙන් යුත් මිනිසෙකුගේ මුහුණක් සහ අංක 439 සහිත විශාල පච්චයක් තිබුණා.

අපි ගොඩබැස්සට පස්සෙ, මම මෙහෙම ඇහුවා, “සමාවෙන්න සර්. ඔබේ හිස පිටුපස පච්ච කොටා ඇති අංකයේ වැදගත්කම මම ඇසුවොත් ඔබට කමක් නැද්ද? කේන්තියෙන් පිරුණු මුහුණ ගැන අසන්නට මට ධෛර්යයක් තිබුනේ නෑ.

ඔහු කිව්වා, “ඒ මම. ඒකෙන් පෙන්නන්නෙ මම කවුද කියලා. මට එම භූමිය අයිති: 219!”

ඔහුගේ හිසෙහි තිබුණු අංකය ඇත්තටම හාරසිය තිස් නමය , ඒ නිසා එය ඔහුට ඉතා වැදගත් වුණත් ඔහුට එය වැරදීම ගැන මම පුදුමයට පත්වුණා.

මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය සහ ආත්ම අභිමානය කල්ලියක් හරහා හා සම්බන්ධ අංකයක් මත පදනම් වීම කෙතරම් කණගාටුදායක දැයි මට සිතුණා. මම මටම මෙහෙම හිතා ගත්තා, කලක් යමෙකුගේ පුතෙකු වූ මෙම හැඩිදැඩි පෙනුමැති මිනිසා, තවමත් වටිනාකමක් සහ අයිතියක් තිබෙන බව හැඟිය යුතුයි. ඔහු ඇත්තටම කවුද සහ ඔහු ඇත්තටම අයිති කාටදැයි ඔහු දැන සිටිය නම්, අප සියල්ලන්ම “මිලක් ගෙවා පැමිණ” ඇති බව ඔහු දැන සිටියනම්.5

The Prince of Egypt [ඊජිප්තුවේ කුමාරයා] චිත්‍රපටයේ ගීතයක “ස්වර්ගයේ ඇස්වලින් ඔබේ ජීවිතය දෙස බලන්න” යනුවෙන් ප්‍රඥාවන්ත පද පේළියක් තිබෙනවා.6 අපගේ දිව්‍ය පරම්පරාව සහ සදාකාලික විභවය පිළිබඳ දැනුම අපගේ ප්‍රාණයන් තුළට ගැඹුරට කිඳා බැසීමත් සමඟම, කෙටි කාලයකට “වීදුරුවකින් අඳුරු ලෙස අපි දකිනවාක් මෙන්”7 මේ ජීවිතය ඉගෙනීමට සහ වර්ධනය වීමට අරමුණු සහිත, දිග හැරෙන වික්‍රමාන්විතයක් ලෙස අපට දැකීමට හැකි වෙනවා.

සන්තෝෂය සඳහා තුන්වන ලක්ෂණය තමයි සැමවිටම ප්‍රාණයක වටිනාකම මතක තබා ගැනීම. අපි මෙය හොඳටම කරන්නේ “මම ඔබට ප්‍රේම කළාක් මෙන්, එකිනෙකාට ප්‍රේම කරන්න” යන ගැලවුම්කරුවාණන්ගේ අවවාදය අනුගමනය කිරීමෙන් 8

උන්වහන්සේ මෙහෙමත් ඉගැන්වුවා, “මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් ඔබ සැම ඒක කළහුද ඒක කළේ මටය.”9

හිතෝපදේශ පොත ඥානවන්තව මෙහෙම උපදෙස් දෙනවා, “කරුණාව පෙන්වන්ට නුඹේ අතෙහි බලය තිබියදී, ඕනෑකරන අයගෙන් එය වලක්වා නොගනින්න.”10

ඕනෑවට වඩා කරුණාවන්ත වීම ගැන අපි කිසි විටෙකත් පසුතැවෙන්නේ නෑ. දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ කරුණාව යනු ශ්‍රේෂ්ඨත්වයට සමාන පදයක්. සමාව දීම සහ විනිශ්චය නොකිරීම කාරුණික වීමේ කොටසක්.

මීට වසර ගණනාවකට පෙර අපේ තරුණ පවුල පවුල් නිවාස සන්ධ්‍යාවක් සඳහා චිත්‍රපටයක් නැරඹීමට යමින් සිටියා. අපේ එක පුතෙක් සහ මගේ බිරිඳ වැලරි හැර අපි හැමෝම වෑන් එකේ හිටියා. ඒ වන විටත් අඳුර වැටී තිබුණා, අපේ පුතා දොර ඇරගෙන මෝටර් රථය දෙසට දුවද්දී, ඔහු අහම්බෙන් ඉස්තෝප්පුවේ සිටි අපේ පූසා යැයි සිතූ දෙයකට පයින් ගැසුවා. අපේ පුතාට සහ ඔහුගේ පිටුපසින් සිටි මගේ බිරිඳගේ අවාසනාවට, ඒ හිටියෙ අපේ පූසා නෙවේ නමුත් ඉතා අසතුටට පත්වුණු උරුලෑවෙක්, ඌ උගේ අසතුට ඔවුන්ට පෙන්නුවා! අපි සියල්ලෝම නිවස ඇතුළට ආයෙ ගියා, ඊටපස්සෙ ඔවුන් දෙදෙනාම ස්නානය කර තක්කාලි යුෂවලින් හිසකෙස් සෝදාගත් අතර, එය ඒ උරුලෑවාගේ දුර්ගන්ධය නැති කිරීමට විශ්වාසදායක පිළියමක් වුණා. ඔවුන් පිරිසිඳු වී ඇඳුම් මාරුකර අවසන් වූ පසු, අපිට කිසිම දුර්ගන්ධයක් දැනුණෙ නැති නිසා, සියල්ලට පසු අපි චිත්‍රපටිය බලන්න යන්න තීරණය කළා. 

අපි රඟහලේ පිටුපස වාඩි වුණාට පසු, අප අවට සිටි අය එකින් එක්කෙනා හදිසියේම පොරි මිලදී ගැනීමට පිටතට යාමට තීරණය කළා. කොහොම වුණත්, ඔවුන් ආපසු ආවම, ඒ කිසිම කෙනෙක් ඔවුන් කලින් වාඩි වෙලා හිටිය ආසන වෙත ගියෙ නෑ.

ඒ අත්දැකීම මතක් වෙද්දිත් අපිට හිනා යනවා, නමුත් අපේ හැම පවකටම ගඳක් තිබ්බොත් මොකද කරන්නේ? වංකකම, ආශාව, ඊර්ෂ්‍යාව හෝ උඩඟුකම අපට දුර්ගන්ධයක් විදියට දැනුනොත් මොකද කරන්නෙ? අපගේම දුර්වලතා හෙළිදරව් වීමත් සමඟම, අපි අපේ ජීවිතයේ අවශ්‍ය වෙනස්කම් කරන විට අන් අය ගැනත්, ඒ හා සමානව, ඔවුන් අප සමඟත් ටිකක් කාරුණික සහ සැලකිලිමත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙයි. සභාවේදී හමන දුම්කොළ සුවඳට මම කැමතියි, මොකද එයින් ඇඟවෙන්නෙ යමෙකු වෙනස් වීමට උත්සාහ කරන බවයි. ඔවුන් වටා අපගේ පිළිගැනීමේ දෑත් ඔවුන්ට අවශ්‍යයි.

සභාපති රසල් එම්. නෙල්සන් නැණවත් ලෙස මෙසේ කියා තිබෙනවා, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයෙකු හඳුනා ගැනීමට ඇති පහසුම ක්‍රමයක් තමයි, එම පුද්ගලයා අනෙක් මිනිසුන්ට කෙතරම් දයානුකම්පිතව සලකනවාද කියා බැලීම.”11

පාවුල් එපීසවරුන්ට මෙහෙම ලිව්වා, “නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමාවෙයල්ලා.”12

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වශයෙන්, ස්වර්ගික පියාණන්වහන්සේව සහ අපගේ ගැලවුම්කරුවාණන්ව විශ්වාස කරන ලෙසත් උන්වහන්සේලා වෙනුවට වෙනත් දේවල් ආදේශ කිරීමට උත්සාහ නොකරන ලෙසත් අපෙන් ඉල්ලා තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සෑම කෙනෙකුගේම අසම්පූර්ණකම හොඳින් දන්නවා ඒවගේම ඔවුන්ව පරිපූර්ණ ලෙස විනිශ්චය කරයි.

සන්තෝෂයේ මගේ සිව්වන ලක්ෂණය තමයි සදාකාලික ඉදිරිදර්ශනයක් පවත්වා ගැනීම. අපගේ පියාණන්වහන්සේගේ සැලැස්ම සදාකාලිකත්වය දක්වා විහිද යනවා; මෙතැන සහ දැන් ගැන අවධානය යොමු කර ඉදිරි ජීවිතය අමතක කිරීම පහසුයි.

මීට වසර ගණනාවකට පෙර මට මෙම පාඩම ප්‍රබල ලෙස ඉගැන්වූයේ අපගේ එවකට 16 හැවිරිදි දියණිය වන ජෙනිෆර් විසින්. ඇයට ද්විත්ව පෙනහළු බද්ධ කිරීමක් සිදු කිරීමට නියමිතව තිබුණා, එහිදී ඇගේ පෙණහලුවල රෝගී පෙති පහක් සම්පූර්ණයෙන් ඉවත් කර ඒ වෙනුවට පුදුම සහගත ක්‍රිස්තුස්වහන්සේ වැනි මිතුරන් දෙදෙනෙකු විසින් පරිත්‍යාග කරන ලද නිරෝගී කුඩා පෙති දෙකක් බද්ධ කිරීමට සිදුවුණා. එය ඉතා ඉහළ අවදානම් ක්‍රියා පටිපාටියක් වූ නමුත්, ඇගේ සැත්කමට පෙර දින රාත්‍රියේ, රාත්තල් 90 ක් (41Kg) වුණු ජෙනිෆර් ඇගේ මුළු ශක්තියෙන් “කරදර වෙන්න එපා තාත්තේ! කියා මට දේශනා කළා, හෙට මම අලුත් පෙනහළු එක්ක අවදි වෙයි, නැත්නම් මම මීට වඩා හොඳ ස්ථානයක අවදි වෙයි. ඒ මොන දේ වුණත් ඒක ශ්‍රේෂ්ඨ වෙයි.” ඒ තමයි ඇදහිල්ල; ඒ තමයි සදාකාලික ඉදිරිදර්ශනය! ජීවිතය දිහා සදාකාලික දෘෂ්ටි කෝණයකින් දැකීමෙන් පැහැදිලිකම, සැනසීම, ධෛර්යය සහ බලාපොරොත්තුව සපයනවා.

හුස්ම ගැනීමේ බටය ගලවා ජෙනිෆර්ට හුස්ම ගැනීමට උපකාර කළ වාතාශ්‍රය ලබාදෙන යන්ත්‍රය ක්‍රියා විරහිත කරන දිනය උදා වූ විට, අපි ඇගේ කුඩා පෙති දෙක ක්‍රියා කරයිදැයි නොඉවසිල්ලෙන් බලා සිටියා. ඇය ඇගේ පළමු හුස්ම ගත්තහම, ඇය වහාම අඬන්න පටන් ගත්තා. අපගේ කනස්සල්ල දුටු ඇය ඉක්මනින්ම මෙහෙම කෑගැසුවා, “හුස්ම ගැනීම ඇත්තටම දැන් පහසුයි.” 

එදා ඉඳන් මගේ හුස්ම ගැනීමේ හැකියාව ගැන මම උදේ හවස ස්වර්ගීය පියාණන්වහන්සේට ස්තූති කළා. අප සිහියෙන් නොසිටීම නිසා අපට පහසුවෙන් නොතකන අප්‍රමාණ ආශිර්වාදයන් අප වටා තිබෙනවා. අනෙක් අතට, කිසිවක් අපේක්ෂා නොකරන විට සහ සියල්ල අගය කරන විට, ජීවිතය අරුම පුදුම දෙයක් බවට පත්වෙනවා.

සභාපති නෙල්සන් මෙහෙම කියලා තියෙනවා: “සෑම අලුත් උදෑසනක්ම දෙවියන්ගෙන් ලද තෑග්ගක්. අප හුස්ම ගන්නා වාතය පවා උන්වහන්සේගෙන් ලද ආදරණීය ණයක්. උන්වහන්සේ දිනෙන් දින අපව ආරක්ෂා කරන අතර එක මොහොතකින් තවත් මොහොතකට අපට උපකාර කරනවා. එබැවින් උදෑසන අපගේ පළමු උතුම් කාර්යය වෙන්න ඕනෙ නිහතමානීව ස්තූති කරන යාච්ඤාවක්.”13

එය මගේ පස්වන සහ අවසාන නිරීක්ෂණයට මාව ගෙන එනවා, ඒ තමයි ඔබ කිසිදාකවත් කෘතඥ වෙනවාට වඩා වැඩියෙන් සතුටට පත් වෙන්නෙ නෑ.

ස්වාමින්වහන්සේ මෙහෙම කිව්වා, “තවද සියලු දේවල් ස්තූතිවන්තව ලබාගන්නා ඔහුව මහිමවත් කරනු ලබන්නේය.”14 සමහර විට මෙයට හේතුව තමයි කෘතවේදීත්වය වෙනත් ගුණධර්ම රාශියක් බිහි කිරීම.

සෑම උදෑසනකම අපි පෙරදා රාත්‍රියට කෘතඥ වූ ආශිර්වාදයන් සමඟ පමණක් අවදි වුවහොත් අපගේ දැනුවත්භාවය කොච්චර නම් වෙනස් වෙයිද? අපේ ආශිර්වාද අගය කිරීමට අපොහොසත් වීමෙන් අතෘප්තිමත් හැඟීමක් ඇති විය හැකි අතර, කෘතඥතාවෙන් ජනිත වන ප්‍රීතිය හා සතුට අපෙන් උදුරා ගැනෙන්න පුළුවන්. විශාල හා ඉඩකඩ සහිත ගොඩනැගිල්ලේ සිටින අය ලකුණෙන් ඔබ්බට බැලීමට අපව පොළඹවයි, එමඟින් ලකුණ සම්පූර්ණයෙන්ම මග හැරී යයි.

අපි දෙවියන්වහන්සේ සමඟ ඇතිකර ගන්නා සහ සාදාගන්නා ශුද්ධ වූ ගිවිසුම් නිසා අපට ලැබෙන උන්වහන්සේගේ කරුණාව තුළින් අප පත්වෙන අය තුළ ඇත්තටම අපට මේ ලෞකිකත්වයේ ශ්‍රේෂ්ඨතම සන්තෝෂය සහ ආශිර්වාද හමුවෙනවා. අපගේ ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගයේ දීමනා තුළින් අපව ඔපවත් කර ශෝධනය කරනවා, ඒවගේම උන්වහන්සේව කැමැත්තෙන්ම අනුගමනය කරන අයට මෙහෙම කියනවා, “තවද මම මාගේ ආභරණ සෑදීමට පැමිණෙන එම දිනයේදී ඔවුන් මාගේ වන්නෝය.”15

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අත්තිවාරම මත අපි අපේ ජීවිත ගොඩනගා ගන්නේ නම්; දෙවියන්වහන්සේගේ පුතුන් සහ දූවරුන් ලෙස අපගේ සැබෑ අනන්‍යතාවය අගය කරනවා නම්; ප්‍රාණයක වටිනාකම මතක තබා ගන්නවා නම්; සදාකාලික ඉදිරිදර්ශනයක් පවත්වා ගන්නවා නම්; ඒවගේම විශේෂයෙන්ම ක්‍රිස්තුස්වහන්සේ වෙතට එන්නට උන්වහන්සේ කරන ආරාධනය ඇතුළු අපගේ බොහෝ ආශිර්වාද ගැන කෘතඥපූර්වකව අගය කරනවා නම්; මෙම ලෞකික වික්‍රමය තුළ අප සොයන සැබෑ සන්තෝෂය අපට සොයාගන්න පුළුවන් බව මම ඔබට පොරොන්දු වෙනවා. ජීවිතයයේ තවමත් ඒ අභියෝග පවතියි, නමුත් අප තේරුම් ගෙන ජීවත් වන සදාකාලික සත්‍යයන් නිසා අපට අරමුණක් සහ සාමය පිළිබඳ හැඟීමකින් යුතුව එකිනෙකාට වඩා හොඳින් මුහුණ දීමට හැකි වෙයි.

අපගේ ප්‍රේමණීය පියාණන් වන දෙවියන්වහන්සේගේ සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ යථාර්ථය පිළිබඳ මාගේ සාක්ෂිය මම ඔබ සමඟ බෙදා ගන්නවා. ජීවමාන අනාගතවක්තෘවරුන්, අනාගතය දකින්නන් සහ එළිදරව් කරන්නන් ගැනද මම සාක්ෂි දරනවා. ඔවුන් තුළින් ස්වර්ගයේ උපදෙස් ලැබීම මොනතරම් ආශිර්වාදයක්ද. ස්වාමින්වහන්සේ ඉතා පැහැදිලිව මෙහෙම කිව්වා, “මාගේම හඬින් වුවද මාගේ සේවකයින්ගේ හඬින් වුවද, එය සමානය.”16 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.