ප්‍රධාන සම්මන්ත්‍රණය
සදාකාලික සත්‍යය
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


සදාකාලික සත්‍යය

සත්‍යය හඳුනාගැනීමේ අපගේ අවශ්‍යතාවය මෙතරම් කිසිදා වඩා වැදගත් නොවීය!

සහෝදර සහෝදරියනි, පියාණන් වන දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ පුත්‍රයා වන ජේසුස් ක්‍රිස්තුස්වහන්සේට ඔබ දක්වන භක්තියට ස්තුතිවන්ත වන අතර, ඔබ එකිනෙකාට දක්වන ප්‍රේමයට හා සේවයට ස්තූතියි. ඔබ ඇත්තෙන්ම විශිෂ්ටයි!

හැඳින්වීම

මගේ බිරිඳ ඈන්ට සහ මට පූර්ණ කාලීන ධර්මදූත නායකයන් ලෙස සේවය කිරීමට ඇමතුමක් ලැබුණු පසු, ක්ෂේත්‍රයට පැමිණීමට පෙර එක් එක් ධර්මදූතයන්ගේ නම් ඉගෙන ගැනීමට අපේ පවුලේ අය තීරණය කළා. අපි ඡායාරූප ලබාගෙන, කාඩ්පත් නිර්මාණය කර, මුහුණු අධ්‍යයනය කිරීමට සහ නම් කටපාඩම් කිරීමට පටන් ගත්තා.

අපි පැමිණි පසු ධර්මදූතයන් සමඟ එකිනෙකා හඳුන්වාදීමේ සම්මන්ත්‍රණක් පැවැත්වූවා. අපි කතාකරමින් සිටියදී මට ඇහුණා අපේ නව හැවිරිදි පුතා:“රේචල්, ඔයා කොහෙන්ද?”

“ඔබව හමුවීම සතුටක්, සෑම්!”

“රේචල්, ඔයා කොහෙන්ද?”

“වාව්, ඩේවිඩ්, ඔබ උසයි!” කියනවා ඇසුණා.

කලබල වූ මම අපේ පුතා ළඟට ගොස් මෙසේ පැවසුවා “අපි ධර්මදූතයන්ට වැඩිහිටි හෝ සහෝදරිය ලෙස හැඳින්වීමට මතක තබා ගනිමු.”

ඔහු ප්‍රහේලිකාත්මක බැල්මකින් මා දෙස බලමින්, “තාත්තේ, මම හිතුවේ අපි එයාලගේ නම් කටපාඩම් කරන්න ඕනේ කියලා” කියා පැවසුවා අපේ පුතා ඔහුගේ අවබෝධය පරිදි හරියි කියා සිතෙන දේ කළා.

ඉතින්, අද ලෝකයේ සත්‍යය පිළිබඳ අපගේ අවබෝධය කුමක්ද? දැඩි අදහස්, පක්ෂග්‍රාහී වාර්තාකරණය සහ අසම්පූර්ණ දත්ත වලින් අප නිරන්තරයෙන්ම ප්‍රහාරයට ලක්වනවා. ඒ සමගම, මෙම තොරතුරුවල පරිමාව සහ මූලාශ්‍ර බහුලව තිබෙනවා. සත්‍යය හඳුනාගැනීමේ අපගේ අවශ්‍යතාවය මෙතරම් කිසිදා වඩා වැදගත් නොවීය!

දෙවියන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය තහවුරු කර ගැනීමට සහ ශක්තිමත් කිරීමට, සාමය සහ ප්‍රීතිය සොයා ගැනීමට සහ අපගේ දිව්‍යමය හැකියාවන් කරා ළඟා වීමට සත්‍යය ඉතා වැදගත් වේ. අද අපි පහත ප්‍රශ්න සලකා බලමු:

  • සත්‍යය යනු කුමක්ද, එය වැදගත් වන්නේ ඇයි?

  • අපි එය සොයාගන්නේ කොහොමද?

  • අපි සත්‍යය සොයාගත් විට, අපට එය බෙදාගත හැක්කේ කෙසේද?

සත්‍යය සදාකාලිකයි

ස්වාමින්වහන්සේ ශුද්ධ ලියවිලි වල අපට මෙසේ උගන්වනවා, “සත්‍ය යනු ඒවා ඇති ආකාරයටම, තිබූ ආකාරය ගැන හා ඇතිවන ආකාරය ගැන දැනුමයි” (දහම සහ ගිවිසුම් 93:24). එය “නිර්මාණය කර හෝ සාදා නැත” (දහම සහ ගිවිසුම් 93:29) එයට අවසානයක් නොමැත (දහම සහ ගිවිසුම් 88:66) සත්‍යය නිරපේක්ෂ, ස්ථාවර සහ වෙනස් කළ නොහැකි ය.1 වෙනත් වචන වලින් නම් සත්‍ය සදාකාලිකයි.2

සත්‍යය අපට රැවටීමෙන් වැළකී සිටීමටත්,3 අයහපතෙන් යහපත හඳුනා ගැනීමටත්,4 ආරක්ෂාව ලබා ගැනීමටත් 5 සැනසීම සහ සුවය ලබා ගැනීමටත් උපකාර කරනවා.6 සත්‍යයට අපගේ ක්‍රියාවන්ට මඟ පෙන්විය හැකි අතර,7 අපව නිදහස් කර,8 අපව පවිත්‍ර කර,9 සදාකාල ජීවනයට අපව ගෙන යා හැකිය.10

දෙවියන්වහන්සේ සදාකාලික සත්‍යය හෙළි කරයි

දෙවියන්වහන්සේ අපට සදාකාලික සත්‍යය හෙළි කරන්නේ උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, ශුද්ධාත්මයාණන්, අනාගතවක්තෘවරුන් සහ අපද ඇතුලත් හෙළිදරව් කිරීමේ සම්බන්ධතා ජාලයක් හෙළිදරව් කිරීමේ සම්බන්ධතා ජාලයක් මගින්ය. මෙම ක්‍රියාවලියේදී එක් එක් සහභාගිවන්නා විසින් ඉටු කරනු ලබන එකිනෙකට වෙනස් වූ නමුත් අන්තර් සම්බන්ධිත භූමිකාවන් ගැන අපි සාකච්ඡා කරමු.

පළමුව, දෙවියන්වහන්සේ සදාකාලික සත්‍යයේ උල්පතයි.11 උන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ,12 සත්‍යය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ඇති අතර සෑම විටම සත්‍ය ප්‍රතිපත්ති සහ නීතිවලට අනුකූලව ක්‍රියා කරයි.13 මෙම බලය ඔවුන්ට ලෝක නිර්මාණය කිරීමට සහ පාලනය කිරීමට 14 මෙන්ම අප සෑම කෙනෙකුටම ආදරය කිරීමට, මඟ පෙන්වීමට සහ පෝෂණය කිරීමට ඉඩ සලසයි.15 ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන් ලබාදෙන ආශීර්වාද අපට භුක්ති විඳිය හැකිවීමට අප සත්‍යය තේරුම් ගෙන ඒවා ක්‍රියාවට නැංවීමයි.16 ඔවුන් පුද්ගලිකව හෝ, සාමාන්‍යයෙන්, ශුද්ධාත්මයාණන්, දේවදූතයන් හෝ ජීවමාන අනාගතවක්තෘවරුන් වැනි පණිවිඩකරුවන් හරහා සත්‍යය ලබා දිය හැක.

දෙවනුව ශුද්ධාත්මයාණන්වහන්සේ සියලු සත්‍යයන් ගැන සාක්ෂි දරයි.17 උන්වහන්සේ අපට සෘජුවම සත්‍ය හෙළි කරන අතර අන් අය විසින් උගන්වනු ලබන සත්‍යය පිළිබඳව සාක්ෂි දරනවා. ආත්මයාණන්ගෙන් ලැබෙන හැඟීම් සාමාන්‍යයෙන් අපගේ මනසට සිතුවිලි සහ හදවතට හැඟීම් ලෙස පැමිණෙනවා.18

තෙවනුව, අනාගතවක්තෘවරුන් දෙවියන්වහන්සේගෙන් සත්‍යය ලබාගෙන එම සත්‍යය අප සමඟ බෙදා ගන්නවා.19 ශුද්ධ ලියවිලි මඟින් අතීත අනාගතවක්තෘවරුන්ගෙන්20 සහ ප්‍රධාන සම්මන්ත්‍රණයෙන් සහ අනෙකුත් නිල මාර්ග හරහා ජීවමාන අනාගතවක්තෘවරුන්ගෙන් අපිට සත්‍යය ඉගෙනගත හැකියි.

අවසාන වශයෙන්, ඔබ සහ මම මෙම ක්‍රියාවලියේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. දෙවියන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වන්නේ සත්‍යය සොයා, හඳුනාගෙන සහ ක්‍රියා කිරීමයි. සත්‍යය පිළිගැනීමට සහ ක්‍රියාවට නැංවීමට අපට ඇති හැකියාව රඳා පවතින්නේ පියාණන් සහ පුත්‍රයාණන් සමඟ අපගේ සම්බන්ධතාවයේ ශක්තිය, ශුද්ධාත්මයාණන්ගේ බලපෑමට අපගේ ප්‍රතිචාරය සහ පසුකාලීන අනාගතවක්තෘවරුන් සමඟ අපගේ පෙළගැස්ම මතයි.

අපව සත්‍යයෙන් වැලැක්වීමට සාතන් ක්‍රියා කරන බව අප මතක තබාගත යුතුයි. සත්‍යය නොමැතිව අපට සදාකාල ජීවනය ලබාගත නොහැකි බව ඔහු දන්නවා. ඔහු අපව ව්‍යාකූල කිරීමට සහ දෙවියන්වහන්සේ විසින් සන්නිවේදනය කරන ලද දෙයින් අපව වෙනතකට යොමු කිරීමට ලෞකික දර්ශන සමඟ සත්‍ය පටලවයි.21

සදාකාලික සත්‍යය සෙවීම, හඳුනා ගැනීම සහ අදාළ කර ගැනීම.

අපි සදාකාලික සත්‍යය සොයන විට,22 සංකල්පයක් පැමිණෙන්නේ දෙවියන්ගෙන්ද නැතිනම් වෙනත් මූලාශ්‍රයකින්ද යන්න හඳුනාගැනීමට පහත ප්‍රශ්න දෙක අපට උපකාර කරයි.

  • මෙම සංකල්පය ශුද්ධ ලියවිලිවල සහ ජීවමාන අනාගතවක්තෘවරුන් විසින් අඛණ්ඩව උගන්වා තිබේද?

  • ශුද්ධාත්මයාණන්ගේ සාක්ෂිය මගින් සංකල්පය තහවුරු වේද?

දෙවියන්වහන්සේ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් ඉගැන්වීම් වල සත්‍යය හෙළි කරන අතර ශුද්ධාත්මයාණන්වහන්සේ එම සත්‍යයන් අපට තහවුරු කර ඒවා අදාළ කර ගැනීමට අපට උපකාර කරනවා.23 මෙම ආධ්‍යාත්මික හැඟීම් පැමිණෙන විට ඒවා සොයමින් ලබා ගැනීමට අප සූදානම් විය යුතුයි.24 අපි නිහතමානීව,25 අවංකව යාච්ඤා කර දෙවියන්වහන්සේගේ වචන අධ්‍යයනය කරන විට,26 සහ උන්වහන්සේගේ ආඥා පිළිපදින විට,27 ආත්මයාණන්ගේ සාක්ෂියට අපි වඩාත් වැඩියෙන් ප්‍රතිචාර දක්වනවා.

ශුද්ධාත්මයාණන්වහන්සේ අපට නිශ්චිත සත්‍යයක් තහවුරු කළ පසු, අප එම ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන විට අපගේ අවබෝධය ගැඹුරු වනවා. කාලයාගේ ඇවෑමෙන්, අපි නිරන්තරයෙන් මූලධර්මය අනුව ජීවත් වන විට, එම සත්‍යය පිළිබඳ ස්ථිර දැනුමක් අපට ලැබෙනවා.28

උදාහරණයක් ලෙස, මම වැරදි කර ඇති අතර දුර්වල තෝරාගැනීම් ගැන පසුතැවිලි වී තිබෙනවා. නමුත් යාච්ඤාවෙන්, අධ්‍යයනයෙන් සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් පසුතැවිලි වීමේ ප්‍රතිපත්තිය පිළිබඳ සාක්ෂියක් මට ලැබුණා.29 මම දිගින් දිගටම පසුතැවිලි වෙද්දී, පසුතැවිලි වීම පිළිබඳ මගේ අවබෝධය ශක්තිමත් වුනා. මට දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ පුත්‍රයාට සමීප බවක් දැනුණා. මම සෑම දිනකම පසුතැවිල්ලේ ආශීර්වාද අත්විඳි නිසා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් පාපයට සමාව ලබාදිය හැකිබව මම දන්නවා.30

සත්‍යය තවම හෙළිදරව් වී නොමැති විටත් දෙවියන්වහන්සේ ගැන විශ්වාස කිරීම.

එසේ නම්, තවමත් හෙළි නොකළ සත්‍යය අවංකව සොයන විට අප කුමක් කළ යුතුද? නොපැමිණෙන පිළිතුරු සඳහා බලාපොරොත්ත්වෙන් සිටින අප වැනි අය ගැන මට කණගාටුවක් තිබෙනවා.

ජෝසෆ් ස්මිත්ට, ස්වාමින්වහන්සේ උපදෙස් දුන්නේ, “සියල්ල ප්‍රකාශ කිරීමට සුදුසු බව මට පෙනෙන තෙක් සන්සුන්ව සිටින්න” කියයි.(දහම සහ ගිවිසුම් 10:37)

තවද එමා ස්මිත්ට උන්වහන්සේ පැහැදිලි කළේ, “නුඹ නොදුටු එම දේවල් නිසා නොකොඳුරන්න, මක්නිසාද නුඹ වෙතින් සහ ලෝකය වෙතින් ඒවා වසන් කර ඇත, එය මතු කාලයක් සඳහා මා තුළ ප්‍රඥාව වන්නේය.(Doctrine and Covenants 25:4)

මමත් හෘදයාංගම ප්‍රශ්නවලට පිළිතුරු සොයා තිබෙනවා. බොහෝ පිළිතුරු පැමිණ ඇතත්; සමහර පිළිතුරු පැමිණ නැහැ.31 දෙවියන්වහන්සේගේ ප්‍රඥාව සහ ප්‍රේමය විශ්වාස කරමින්, උන්වහන්සේගේ ආඥා පිළිපදිමින් සහ අප දන්නා දේ මත රඳා සිටීමින්—දිගටම සිටින විට, උන්වහන්සේ සෑම දෙයකම සත්‍යය හෙළි කරන තුරු සාමය සොයා ගැනීමට අපට උපකාර කරයි.32

ධර්මය සහ ප්‍රතිපත්ති අවබෝධ කර ගැනීම

සත්‍යය සෙවීමේදී එය ධර්මය සහ ප්‍රතිපත්ති අතර වෙනස වටහා ගැනීමට උපකාරී වනවා. දෙවියන්වහන්සේගේ ස්වභාවය, ගැලවීමේ සැලැස්ම සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ පූජාව වැනි සදාකාලික සත්‍යයන් දහම ලෙස හඳුන්වයි. ප්‍රතිපත්ති යනු වර්තමාන තත්වයන් මත පදනම් ව දහම අදාළ කර ගැනීමයි. සභාව පිළිවෙළකට පරිපාලනය කිරීමට ප්‍රතිපත්තිය අපට උපකාර කරනවා.

දහම කිසි විටෙකත් වෙනස් නොවන අතර, ප්‍රතිපත්ති කලින් කලට සකස් වනවා. ස්වාමින්වහන්සේ තම අනාගතවක්තෘවරුන් හරහා ක්‍රියා කරන්නේ උන්වහන්සේගේ දහම ආරක්ෂා කිරීමට සහ උන්වහන්සේගේ දරුවන්ගේ අවශ්‍යතා අනුව සභාව ප්‍රතිපත්ති වෙනස් කිරීමටයි.

අවාසනාවකට මෙන්, අපි සමහර විට ප්‍රතිපත්ති, දහම සමඟ පටලවා ගන්නවා. අපි වෙනස තේරුම් නොගන්නේ නම්, ප්‍රතිපත්ති වෙනස් වන විට අපි කලකිරීමට පත් වීමේ අවදානමක් ඇති අතර දෙවියන්වහන්සේගේ ප්‍රඥාව හෝ අනාගතවක්තෘවරුන්ගේ හෙළිදරව් කිරීමේ භූමිකාව ප්‍රශ්න කිරීමට පවා පටන් ගත හැකියි.33

සදාකාලික සත්‍යය ඉගැන්වීම

අපි දෙවියන්වහන්සේගෙන් සත්‍යය ලබා ගත් විට, එම දැනුම අන් අය සමඟ බෙදා ගැනීමට උන්වහන්සේ අපව දිරිමත් කරයි.34 අපි පන්තියක උගන්වන විට, දරුවෙකුට මඟ පෙන්වන විට හෝ මිතුරෙකු සමඟ ශුභාරංචි සත්‍යයන් සාකච්ඡා කරන විට මෙය ක්‍රියාවට නංවනවා.

අපගේ අරමුණ ශුද්ධාත්මයාණන්ගේ හැරීමේ බලයට ආරාධනා කරන ආකාරයෙන් සත්‍යය ඉගැන්වීමයි.35 ඔබට උපකාරයක් විය හැකි ස්වාමින්වහන්සේගෙන් සහ උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ගෙන් ලැබුණු සරල ආරාධනා කිහිපයක් බෙදා ගැනීමට මට ඉඩ දෙන්න.36

  1. යේසුස් ක්රිස්තුස් සහ උන්වහන්සේලාගේ මූලික ධර්මය කේන්ද්‍රය කරගන්න.37

  2. ශුද්ධ ලියවිලි සහ පසුකාලීන අනාගතවක්තෘවරුන්ගේ ඉගැන්වීම් මත පදනම් වී සිටින්න.38

  3. අදිකාරීත්වය සහිත සාක්ෂිකරුවන් කිහිපදෙනෙකු හරහා පිහිටුවා ඇති ධර්මය මත රඳා සිටින්න.39

  4. අනුමාන, පුද්ගලික අදහස් හෝ ලෞකික අදහස් වලින් වළකින්න.40

  5. අදාළ ශුභාරංචි සත්‍යයන් සම්බන්ධය තුළ දහමේ කරුණු උගන්වන්න.41

  6. ආත්මයාණන්ගේ බලපෑමට ආරාධනා කරන ඉගැන්වීම් ක්‍රම භාවිතා කරන්න.42

  7. වරදවා වටහා ගැනීම වළක්වා ගැනීම සඳහා පැහැදිලිව අදහස් හුවමාරු කරන්න.43

ආදරය තුළ සත්‍යය කතා කිරීම

අපි සත්‍යය උගන්වන ආකාරය ඇත්තෙන්ම වැදගත්. “ප්‍රේමයෙන් සත්‍යය” කථා කිරීමට පාවුල් අපව දිරිමත් කළා (බලන්න එපීස 4:14-15). ක්‍රිස්තුස්වහන්සේට සමාන ප්‍රේමයකින් ප්‍රකාශ කරන විට තවත් කෙනෙකුට ආශීර්වාද කිරීමට හොඳම අවස්ථාවන් සත්‍ය තුළින්ලැබෙනවා. 44

ආදරය නොමැතිව උගන්වන සත්‍යය, විනිශ්චය, අධෛර්යය සහ තනිකම වැනි හැඟීම් ඇති කරයි. එය බොහෝ විට අමනාපයට හා බෙදීම් වලට මෙන්ම—ගැටුම් පවා ඇති කරයි. අනෙක් අතට, සත්‍යයෙන් තොර ආදරය හිස් වන අතර එහි වර්ධනයේ පොරොන්දුවක් නොමැත.

අපගේ අධ්‍යාත්මික සංවර්ධනය සඳහා සත්‍යය සහ ආදරය යන දෙකම අත්‍යවශ්‍ය වනවා.45 සදාකාල ජීවනය ලබා ගැනීමට අවශ්‍ය ධර්මය, ප්‍රතිපත්ති සහ නීති සත්‍යය තුළින් සපයන අතර, සත්‍ය දේ වැළඳ ගැනීමට සහ ක්‍රියා කිරීමට අවශ්‍ය පෙළබැවීම ප්‍රේමය ඇතිකරයි.

ඉවසීමෙන් සහ ආදරයෙන් මට සදාකාලික සත්‍ය ඉගැන්වූ අන් අයට මම සදා කෘතඥ වනවා.

අවසානය

අවසාන වශයෙන්, මගේ ආත්මයට නැංගුරමක් වී ඇති සදාකාලික සත්‍යයන් බෙදා ගැනීමට මට ඉඩ දෙන්න. මම මේ සත්‍යයන් දැනගත්තේ අද සාකච්ඡා කළ ප්‍රතිපත්ති වලට අනුවයි.

දෙවියන්වහන්සේ අපගේ ස්වර්ගික පියා බව මම දන්නවා.46 උන්වහන්සේ සියල්ල දන්නාසේක,47 සියලු බලයන්ගෙන් සම්පන්නය,48 සහ පරිපූර්ණ ලෙස ආදරණීයය 49 අපට සදාකාල ජීවනය ලබාගෙන උන්වහන්සේ හා සමාන වීමට උන්වහන්සේ සැලැස්මක් නිර්මාණය කළා.50

එම සැලැස්මේ කොටසක් ලෙස උන්වහන්සේ අපට උපකාර කිරීමට තම පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එව්වා.51 යේසුස්වහන්සේ අපට ඉගැන්වූයේ පියාණන්ගේ කැමැත්ත කිරීමට 52 සහ එකිනෙකාට ප්‍රේම කිරීමටය.53 උන්වහන්සේ අපගේ පව්වලට සමාව දී 54 කුරුසිය මත තම ජීවිතය පූජා කළා.55 උන්වහන්සේ තෙදිනකට පසු මරණින් මතු උත්ථාන වූවා.56 ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ කරුණාව තුළින්, අපව නැවත නැඟිටුවනු ලබන අතර,67 අපට සමාව ලබා,58 පීඩාවලදී අපට ශක්තිය සොයාගත හැකිය.59

උන්වහන්සේගේ මෙළොව දේවසේවයේදී යේසුස්වහන්සේ උන්වහන්සේගේ සභාව පිහිටුවන ලැබුවා.60 කාලයාගේ ඇවෑමෙන් එම සභාව වෙනස් වූ අතර සත්‍යයන් නැති වී ගියා.61 ජේසුස් ක්‍රිස්තුන්වහන්සේ තම සභාව සහ ශුභාරංචියේ සත්‍යයන් අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් හරහා නැවත පිහිටෙවුවා.62 අද, ක්‍රිස්තුස්වහන්සේ ජීවමාන අනාගතවක්තෘවරුන් සහ අපෝස්තුළුවරුන් හරහා තම සභාව මෙහෙයවමින් සිටිනවා.63

අප ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන විට, අවසානයේදී අපට “උන්වහන්සේ තුළ සම්පූර්ණ වී” (මොරෝනි 10:32), “ප්‍රීතියෙන් පූර්ණ භාවයක්” ලබා (දහම සහ ගිවිසුම් 93:33), සහ “ඒ සියල්ල [පියාණන්] සතු සියල්ල ලබාගත හැකි” බවත් දන්නවා.(දහම සහ ගිවිසුම් 84:38) මේ ගැන මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. තවත් බලන්න ගීතාවලිය 117:2; දහම සහ ගිවිසුම් 1:39.

  2. ඇතැමුන්ගේ සැකයට පටහැනිව, හරි වැරැද්ද යනුවෙන් දෙයක් ඇත්තෙන්ම තිබෙනවා. ඇත්තෙන්ම පරම සත්‍යය—සදාකාලික සත්‍යය ලෙස දෙයක් තිබෙනවා. අපේ කාලයේ ඇති එක් වසංගතයක් නම්, සත්‍යය සඳහා හැරිය යුත්තේ කොතැනටද යන්න ස්වල්ප දෙනෙක් දැන සිටීමයි (රසල් එම්. නෙල්සන් “පිරිසිදු සත්‍යය, නිර්මල ධර්මය සහ පිරිසිදු එළිදරව්ව,” ලියහෝනා,, නොවැම්බර් 2021, 6)

  3. බලන්න ජෝසෆ් ස්මිත්- මතෙව් 1:31.

  4. බලන්න මොරෝනි 7:19.

  5. බලන්න 2 නෙපි 1:9; දහම සහ ගිවිසුම් 17:8.

  6. බලන්න යාකොබ් 2:8.

  7. බලන්න ගීතාවලිය 119:105; 2 නෙපි 32:3.

  8. බලන්න යොහාන් 8:32; දහම සහ ගිවිසුම් 98:8.

  9. බලන්න යොහාන් 17:17.

  10. බලන්න 2 නෙපි 31:20.

  11. බලන්න දහම සහ ගිවිසුම 88:11-13; 93:36.

  12. බලන්නයොහාන් 5:19–20 ; 7:16; 8:26; 18:37; මොසායා 1:6

  13. ඇල්මා 42:12-26; දහම සහ ගිවිසුම් 88:41 බලන්න.

  14. බලන්න මෝසෙස් 1:30-39

  15. බලන්න 2 නෙපි 26:24.

  16. බලන්න දහම සහ ගිවිසුම් 82:8-9.

  17. බලන්න යොහාන් 16:13; යාකොබ් 4:13; මොරෝනි 10:5දහම සහ ගිවිසුම් 50:14; 75:10; 76:12; 91:4; 124:97.

  18. බලන්න දහම සහ ගිවිසුම් 6:22:23; 8:2-3.

  19. බලන්න යෙරමියා 1:5, 7; ආමොස් 3:7; මතෙව් 28:16–20; මොරෝනි 7:31; දහම සහ ගිවිසුම් 1:38; 21:1–6; 43:1–7. අනාගතවක්තෘවරයෙකු යනු “දෙවියන්වහන්සේ විසින් කැඳවනු ලැබ දෙවියන්වහන්සේ වෙනුවෙන් කතා කරන පුද්ගලයෙකි. දෙවියන්වහන්සේගේ පණිවිඩකාරයෙකු ලෙස, අනාගතවක්තෘවරයෙකුට දෙවියන්වහන්සේගෙන් අණපනත්, අනාවැකි සහ හෙළිදරව් කිරීම් ලැබේ. ඔහුගේ වගකීම වන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්ත සහ සැබෑ චරිතය මනුෂ්‍ය වර්ගයාට ප්‍රකාශ කිරීම සහ ඔවුන් සමඟ උන්වහන්සේගේ ගනුදෙනුවල අර්ථය පෙන්වීමයි. අනාගතවක්තෘවරයෙක් පාපය හෙළා දකින අතර එහි ප්‍රතිවිපාක පුරෝකථනය කරයි. ඔහු දැහැමි දේශකයෙකි. සමහර අවස්ථාවලදී, අනාගතවක්තෘවරුන් මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රයෝජනය සඳහා අනාගතය ගැන එළිදරව් කිරීමට පෙලඹිය හැක. කෙසේවෙතත්, ඔහුගේ මූලික වගකීම වන්නේ ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දැරීමයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සභාපති අද මිහිපිට සිටින දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයායි. පළමු සභාපතිත්වයේ සාමාජිකයන් සහ අපොස්තුළුවරුන් දොළොස් දෙනා අනාගතවක්තෘවරුන්, දක්‍ෂයින් සහ එළිදරව් කරන්නන් ලෙස ස්ථීර කරනු ලැබේ” (Guide to the Scriptures, “Prophet,” Gospel Library). මෙම ප්‍රතිපත්තිවලට උදාහරණ මෙම ජීවිතවල දක්නට ලැබේ, ආදම් (බලන්න මොසෙස් 6:51–62), ඊනොක් (බලන්න මොසෙස් 6:26–36), නෝවා (බලන්න මොසෙස් 8:19, 23–24), ආබ්‍රහම් (බලන්න උප්පත්ති 12:1–3; ආබ්‍රහම් 2:8–9), මොසෙස් (බලන්න නික්මයාම 3:1–15; මොසෙස් 1:1–6, 25–26), පේත්‍රස් (බලන්න Matthew 16:13–19), සහ ජෝසෆ් ස්මිත් (බලන්න දහම සහ ගිවිසුම් 5:6–10; 20:2; 21:4–6).

  20. බලන්න 2 තිමොති 3:16.

  21. බලන්න යොහාන් 8:44; 2 නෙපී 2:18; දහම සහ ගිවිසුම් 93:39; මොසෙස් 4:4.

  22. බලන්න 1 නෙපී 10:19. සභාපති ඩැලින් එච්. ඕක්ස් මෙසේ උපදෙස් දුන්නා: “අපි [දෙවියන්වහන්සේගේ] සත්‍යය සොයන විට සහ එම සෙවීම සඳහා මූලාශ්‍ර තෝරා ගන්නා විට අපි ප්‍රවේශම් විය යුතුයි. අප ලෞකික ප්‍රමුඛත්වය හෝ අධිකාරිය සුදුසුකම් ලත් මූලාශ්‍ර ලෙස නොසැලකිය යුතුය. … අප ආගම පිළිබඳ සත්‍යය සොයන විට, එම සෙවීම සඳහා සුදුසු අධ්‍යාත්මික ක්‍රම භාවිතා කළ යුතුය: යාච්ඤාව, ශුද්ධාත්මයාණන්ගේ සාක්ෂිය, සහ ශුද්ධ ලියවිලි සහ නූතන අනාගතවක්තෘවරුන්ගේ වචන අධ්‍යයනය කිරීම” (“Truth and the Plan,” Liahona, Nov. 2018, 25).

  23. වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන් මෙසේ ඉගැන්වූවා: “ප්‍රේරිතයන් සහ අනාගතවක්තෘවරුන් … දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශ කරයි, නමුත් ඊට අමතරව, සාමාන්‍යයෙන් පිරිමින්ට සහ කාන්තාවන්ට සහ ළමයින්ට පවා යාච්ඤාවට සහ ශුද්ධ ලියවිලි අධ්‍යයනයට ප්‍රතිචාර වශයෙන් දිව්‍ය ආනුභාවයෙන් ඉගෙන ගෙන මඟ පෙන්වීම් ලැබිය හැකි යැයි අපි විශ්වාස කරමු. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සාමාජිකයින්ට ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය ලබා දී ඇති අතර, එය ඔවුන්ගේ ස්වර්ගික පියාණන් සමඟ අඛණ්ඩ සන්නිවේදනයකට පහසුකම් සපයයි. … මෙයින් අදහස් කරන්නේ සෑම සාමාජිකයෙකුටම සභාව වෙනුවෙන් කතාකිරීමට බව හෝ එහි මූලධර්ම නිර්වචනය කළ හැකි බව නොවේ, නමුත් සෑම කෙනෙකුටම ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ අභියෝග සහ අවස්ථාවන් සමඟ කටයුතු කිරීමේදී දිව්‍යමය මඟ පෙන්වීම් ලැබිය හැකිය.(“The Doctrine of Christ,” Liahona, May 2012, 89–90, note 2).

  24. බලන්න 2 නෙපි 33:1-2.

  25. බලන්න දහම සහ ගිවිසුම් 1:28.

  26. බලන්න මොරෝනි 10:3-5; දහම සහ ගිවිසුම් 9:7-9; 84:85.

  27. බලන්න දහම සහ ගිවිසුම් 5:35; 63:23; 93:27-28. අපගේ දැඩි උත්සාහයන් නොතකා, මානසික සෞඛ්‍ය අභියෝග හේතුවෙන් අපගෙන් සමහරෙකුට ආත්මය දැනීමට තවමත් අරගල කළ හැකිය. මානසික අවපීඩනය, කාංසාව සහ අනෙකුත් ස්නායු රෝග තත්ත්වයන් ශුද්ධාත්මයාණන්ව හඳුනාගැනීම සඳහා සංකීර්ණතාවයක් එක් කළ හැකිය. එවැනි අවස්ථාවලදී, ශුභාරංචිය දිගටම ජීවත් වන ලෙස ස්වාමින්වහන්සේ අපට ආරාධනා කරන අතර, උන්වහන්සේ අපට ආශීර්වාද කරයි (බලන්න මොසායා 2:41). ශුද්ධ වූ සංගීතයට සවන් දීම, සේවයේ යෙදීම හෝ ස්වභාවධර්මයේ කාලය ගත කිරීම වැනි—ආත්මයේ ඵල අපට දැනීමට උපකාරී වන අමතර ක්‍රියාකාරකම් අපට සොයා (බලන්න ගලාති 5:22-23) දෙවියන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය ශක්තිමත් කරගත හැක.

    වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් මෙසේ ප්‍රකාශ කළා: “එසේනම් ඔබට හෝ ඔබ ආදරය කරන අයට මානසික හෝ චිත්තවේගීය අභියෝගවලට මුහුණ දීමට සිදු වන විට ඔබ හොඳම ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? සියල්ලටම වඩා, ඔබට තේරුම් ගත හැකි ප්‍රමාණයට වඩා ඔබට ප්‍රේම කරන, ස්වර්ගයේ සිටින ඔබේ පියා කෙරෙහි කිසිදා විශ්වාසය නැති කර නොගන්න. … කාලයාගේ ඇවෑමෙන් පරීක්ෂා කරන නමස්කාර පිළිවෙත් ස්වාමින්වහන්සේගේ ආත්මය ඔබේ ජීවිතයට ගෙන ඒම සඳහා විශ්වාසවන්තව අනුගමනය කරන්න. ඔබේ අධ්‍යාත්මික යහපැවැත්ම සඳහා යතුරු උසුලන අයගේ උපදෙස් පතන්න. පූජකත්ව ආශීර්වාද ඉල්ලන්න සහ අගය කරන්න. සෑම සතියකම සක්‍රමේන්තුව ගෙන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ සම්පූර්ණ පොරොන්දුව තදින් අල්ලාගෙන සිටින්න. හාස්කම් ගැන විශ්වාස කරන්න. බලාපොරොත්තු සුන් වූ බව අනෙක් සෑම ඉඟියක්ම පවසන විට ඒවායෙන් බොහෝ දෙනෙක් පැමිණෙනු මම දැක තිබෙනවා. බලාපොරොත්තුව කිසිදා නැති නොවේ”(“Like a Broken Vessel,” Liahona, Nov. 2013, 40–41).

  28. බලන්න යොහාන් 7:17; ඇල්මා 32:26-34. (බලන්න හිතෝපදේශ 28:5; 2 නෙපි 28:30; දහම සහ ගිවිසුම 88:67; 93:28).

  29. බලන්න 1 යොහාන් 1:9-10; 2:1-2.

  30. සභාපති රසල් එම්. නෙල්සන් ඉගැන්වූ ලෙස, “පසුතැවීම සඳහා නිතිපතා, දිනපතා අවධානය දීම තරම් කිසිඳු දෙයක් අපගේ පෞද්ගලික වර්ධනය සඳහා වඩාත්ම මුදු මොළොක්, වඩාත් ප්‍රශංසනීය, හෝ වඩාත් තීරණාත්මක නෑ.” පසුතැවීම සිදුවීමක් නොවේ, එය ක්‍රියාවලියක්. සතුටට සහ මනසේ සාමයට යතුර එයයි. ඇදහිල්ල සමඟ සම්බන්ධ වූ විට, පසුතැවීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ බලය සඳහා අපගේ ප්‍රවේශය විවෘත කරයි.”(“අපට වඩා හොඳින් කරන්නට හා වඩා හොඳ වෙන්න පුළුවන්,” ලියහෝනා, මැයි 2019, 67).

  31. දෙවියන් වහන්සේ සමහර සදාකාලික සත්‍යයන් අපෙන් වළක්වන සියලු හේතු මම දන්නේ නෑ, නමුත් වැඩිහිටි ඕර්සන් එෆ්. විට්නි සිත්ගන්නාසුලු අවබෝධයක් ලබා දුන්නා: “නොදැක විශ්වාස කිරීම ආශීර්වාදයකි, මන්ද ඇදහිල්ල ක්‍රියාත්මක කිරීමෙන් මිනිසාගේ භූමික පැවැත්මේ ශ්රේෂ්ඨ වස්තූන්ගෙන් එකක් වන අධ්‍යාත්මික දියුණුවක් ඇති වේ. දැනුම, ඇදහිල්ල ගිල දැමීමෙන් එහි ව්‍යායාම වළක්වන අතර, එමගින් එම සංවර්ධනයට බාධා ඇති වේ. ‘දැනුම යනු බලයයි;’ සියලු දේ නියමිත කාලයෙහි දැනගත යුතුය. නමුත් නොමේරූ දැනුම—වැරදි වේලාවේදී දැනගැනීම—ප්‍රගතියට මෙන්ම සතුටටද මාරාන්තිකයි” (“The Divinity of Jesus Christ,” Improvement Era, Jan. 1926, 222; see also Liahona, Dec. 2003, 14–15).

  32. බලන්න දහම සහ ගිවිසුම් 76:5-10. ස්වාමින්වහන්සේ හයිරම් ස්මිත්ට මෙසේ උපදෙස් දුන්නා “මගේ වචනය ප්‍රකාශ කිරීමට උත්සාහ නොකරන්න, නමුත් පළමුව මගේ වචනය ලබා ගැනීමට උත්සාහ කරන්න. … සන්සුන්ව සිට මාගේ වචනය අධ්‍යයනය කරන්න”(දහම සහ ගිවිසුම් 11:21–22). අනාගතවක්තෘ ඇල්මා පිළිතුරු නැති ප්‍රශ්නවලට ආදර්ශයක් සපයයි: “මෙම අභරහස් මා හට සම්පූර්ණයෙන්ම දන්න්වා නොමැත්තේය; එසේ හෙයින් මම වැළකෙමි” (ඇල්මා 37:11). ඔහු තම පුත් කොරියන්ටන්ට ද මෙසේ පැහැදිලි කළා, “තවත් බොහෝ අභිරහස් තබා තිබෙන්නේය, එනම් දෙවියන්වහන්සේ තමන් වහන්සේම හැර ඒවා කිසිවෙකු නොදනිති” (ඇල්මා 40:3). නෙපිට පිළිතුරු දිය නොහැකි ප්‍රශ්නයක් ඉදිරිපත් කළ විට ඔහු දුන් ප්‍රතිචාරයෙන්ද මට ශක්තියක් ලැබී ඇත: “උන්වහන්සේ තමන්වහන්සේගේ දරුවන්ට ප්‍රේම කරන බව මම දනිමි; එසේ වුවත් මම සියලු දේම ගැන තේරුම නොදන්නෙමි” (නෙපි 11:17).

  33. ඒ හා සමානව, සංස්කෘතික සම්ප්‍රදායන් ධර්මය හෝ ප්‍රතිපත්ති නොවේ. ඒවා අපට ධර්මය සහ ප්‍රතිපත්ති අනුගමනය කිරීමට උදව් කරන්නේ නම් ඒවා ප්‍රයෝජනවත් විය හැකි නමුත් ඒවා සත්‍ය ප්‍රතිපත්ති මත පදනම් නොවන්නේ නම් අපගේ අධ්‍යාත්මික වර්ධනයට බාධාවක් විය හැකිය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල ගොඩනඟා නොගන්නා හෝ සදාකාල ජීවනය කරා ගමන් කිරීමට අපට උපකාර නොකරන සම්ප්‍රදායන්ගෙන් අප වැළකී සිටිය යුතුය.

  34. බලන්න දහම සහ ගිවිසුම් 15:5; 88:77-78.

  35. බලන්න දහම සහ ගිවිසුම් 50:21-23.

  36. 2023 පෙබරවාරියේ පළමු සභාපතිත්වය සහ අපෝස්තුළුවරුන් දොළොස් දෙනාගේ ගණපූර්ණය විසින් අනුමත කරන ලද “Principles for Ensuring Doctrinal Purity” ලේඛනයෙන් අනුවර්තනය කරන ලදී.

  37. බලන්න 1 නෙපී 15:14. තම ශුභාරංචියේ කේන්ද්‍රීය නොවන මූලධර්ම හෝ සංකල්ප කෙරෙහි අවධානය යොමු කිරීමෙන් වළකින ලෙස ස්වාමින්වහන්සේ තම සේවකයන්ට උපදෙස් දුන් සේක: “තවද නිවැසියන් ගැන නුඹ කතා නොකරන්නෙහිය, එහෙත් නුඹ පසුතැවිල්ල සහ ගැලවුම්කරුවාණන් කෙරෙහි ඇදහිල්ලද, බව්තීස්මය තුළින් සහ ගින්දරෙන් සහ ශුද්ධාත්මයාණන් තුළින් පව් කමාව වුවත් ප්‍රකාශ කරන්නෙහිය.”(දහම සහ ගිවිසුම් 19:31).

    වැඩිහිටි නීල් එල්. ඇන්ඩර්සන් මෙසේ පැහැදිළි කළා: “මස්කාර සේවා වලදී, අපි ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය කෙරෙහි අවධානය යොමුකරමු. මින් අදහස් කරන්නේ අපට අපගේම ජීවිතයෙන් අත්දැකීමක් පැවසීමට හෝ අන් අයගේ සිතුවිලි බෙදාගැනීමට නොහැකි බව නොවෙයි. අපගේ විෂය පවුල් හෝ සේවා හෝ දේවමාළිගා හෝ මෑතකාලීන ධර්මදූතයක් පිළිබඳ විය හැකි නමුත්, අපගේ නමස්කාරයේ සෑම දෙයක්ම ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට යොමුවිය යුතුයි” (“අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන කතා කරන්නෙමු ,” ලියහෝනා, නොවැ 2020, 89-90).

  38. බලන්න දහම සහ ගිවිසුම් 28:2-3, 8. අනාගතවක්තෘ ඇල්මා ශුභාරංචිය දේශනා කිරීමට පත් කරන ලද අයට අවවාද කරමින් මෙසේ පැවසුවා, “තවද ශුද්ධවූ අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් කතා කලාවු ඔහු ඉගැන්වූ දේවල් මිස ඔවුන් කිසිවක් ඉගැන්විය යුතු නොවේ” (මොසායා 18:19).

    සභාපති හෙන්රි බී අයරින් ප්‍රකාශ කළේ, “ධර්මය ප්‍රකාශ කිරීම ඔවුන්ගේ වගකීම වන අනාගතවක්තෘවරුන්ගේ සම්මත ක්‍රියාවල සහ ඉගැන්වීම්වල අඩංගු වන පරිදි අපි සභාවේ මූලික මූලධර්ම ඉගැන්විය යුතුය” (“The Lord Will Multiply the Harvest” [evening with a General Authority, Feb. 6, 1998], in Teaching Seminary: Preservice Readings [2004], 96).

    වැඩිහිටි ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන් සාක්‍ෂි දෙමින් කියා සිටියේ, “අදත් සභාවේ, පුරාණ කාලයේ මෙන්, ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මය ස්ථාපිත කිරීම හෝ මූලධර්ම අපගමනය නිවැරදි කිරීම ස්වාමින්වහන්සේ අපෝස්තුලික අධිකාරය ලබා දෙන අයට ඇති දිව්‍යමය හෙළිදරව් කිරීමේ කැඳවීමකි” (“The Doctrine of Christ,” 86).

  39. බලන්න 2 කොරින්ති 13:1; 2 නෙපි 11:3; ඊතර් 5:4; දහම සහ ගිවිසුම් 6:28. වැඩිහිටි නීල් එල්. ඇන්ඩර්සන් මෙසේ නිරීක්ෂණය කළේය: “දශක ගණනාවකට පෙර සභාවේ නායකයෙකු විසින් අපගේ මූලධර්මයට නොගැලපෙන ප්‍රකාශයක් කළවිට කිහිප දෙනෙකු ඔවුන්ගේ ඇදහිල්ල ප්‍රශ්න කලහ. සභාවේ මූලධර්මය පාලනය කරන වැදගත් මූලධර්මයක් තිබේ. දහමක් උගන්වනු ලබන්නේ පළමු සභාපතිත්වයේ සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ඝණපූර්ණයේ සියළුම සාමාජිකයින් 15 දෙනා විසින්ය. එය එක් කතාවක අපැහැදිලි ඡේදයක සැඟවී නැත.” සත්‍ය ප්‍රතිපත්ති නිතර සහ බොහෝ අය විසින් උගන්වනු ලැබේ. අපගේ ධර්මය සොයා ගැනීම අපහසු නැත” (“Trial of Your Faith,” Liahona, Nov. 2012, 41).

    වැඩිමහල් ක්‍රිස්ටෝෆර්සන් මෙසේ ඉගැන්වූවා “සභාවේ නායකයෙක් අතීතයේ හෝ වර්තමානයේ කරන සෑම ප්‍රකාශයක්ම අනිවාර්යයෙන්ම දහමම නොවන බව මතක තබාගත යුතුයි. එක් නායකයෙකු විසින් එක් අවස්ථාවකදී කරන ලද ප්‍රකාශයක් බොහෝ වෙලාවට පෞද්ගලික, හොඳින් සලකනු ලබන මතයක් නියෝජනය කරන බව සභාව පොදුවේ වටහාගෙන තිබෙනවා. (“The Doctrine of Christ,” 88).

  40. බලන්න 3 නෙපි 11:32,40. සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි මෙසේ පැවසීය: “සභාපති මූලධර්මය පවිත්‍රව තබා ගැනීමේ වැදගත්කම ගැන මම කලින් කතා කර ඇත්තෙමි. … මම මේ ගැන කරදර වෙනවා. මූලධර්ම ඉගැන්වීමේ කුඩා අපගමනයන් විශාල හා නපුරු අසත්‍යයන්ට තුඩු දිය හැකිය.(Teachings of Gordon B. Hinckley [1997], 620).

    “අනාගතවක්තෘවරයෙකුගේ ඉගැන්වීම්වලින් වාක්‍ය කිහිපයක් තෝරාගෙන ඒවා තම දේශපාලන න්‍යාය පත්‍රයට හෝ වෙනත් පුද්ගලික අරමුණුවලට සහාය දීම සඳහා භාවිතා කරන ඇතැමුන් සිටින බව සභාපති ඩැලින් එච්. ඕක්ස් අනතුරු ඇඟවීය. … දේශපාලනික හෝ මූල්‍යමය හෝ වෙනත් ආකාරයකින් පුද්ගලික න්‍යාය පත්‍රයකට සහය දැක්වීම සඳහා අනාගතවක්තෘවරයෙකුගේ වචන උදුරා ගැනීම යනු අනාගතවක්තෘවරයා හැසිරවීමට උත්සාහ කිරීම මිස ඔහුව අනුගමනය කිරීම නොවේ” (“Our Strengths Can Become Our Downfall” [Brigham Young University fireside, June 7, 1992], 7, speeches.byu.edu).

    සභාපති හෙන්රි බී අයිරිං මෙසේ අවවාද කළේය. “ධර්මයට එහි බලය ලැබෙන්නේ ශිද්ධාත්මයාණන් එහි සත්‍ය බව තහවුරු කරන විටය. … අපට ශුද්ධාත්මයාණන් අවශ්‍ය බැවින්, සත්‍ය ඉගැන්වීම්වලින් ඔබ්බට නොයෑමට අප ප්‍රවේශම් විය යුතු අතර ප්‍රවේශම් විය යුතුය. ශුද්ධාත්මයාණන් සත්‍යයේ ආත්මයයි. ඔහුගේ තහවුරු කිරීමට ආරාධනා කරනු ලබන්නේ අපගේ අනුමාන කිරීම් හෝ පුද්ගලික අර්ථකථන මග හැරීමෙනි. ඒක කරන්න අසීරු විය හැකියි. … අලුත් හෝ සංවේදී දෙයක් අත්හදාබැලීමට එය පොළඹවයි නමුත් අපි සත්‍ය ධර්මය පමණක් ඉගැන්වීමට පරිස්සම් වන විට අපගේ සහකරු ලෙස ශුද්ධාත්මයාණන්ට ආරාධනා කරමු. අසත්‍ය ඉගැන්වීම්වලට ළංවීම පවා වළක්වා ගත හැකි ස්ථිරම ක්‍රමයක් නම් අපගේ ඉගැන්වීමේදී සරල බව තෝරා ගැනීමයි. ඒ සරල බව නිසා ආරක්‍ෂාව ලැබෙනවා, නැති වෙන්නේ ටිකයි”(“The Power of Teaching Doctrine,” Liahona, July 1999, 86).

    වැඩිහිටි ඩේල් ජී රෙන්ලන්ඩ් මෙසේ ඉගැන්වූවා: “වැඩි අවබෝධයක් ලබාගැනීම අපගේ අධ්‍යාත්මික සංවර්ධනයේ වැදගත් අංගයක්, නමුත් කරුණාකර ප්‍රවේශම් වන්න. හේතුව මගින් එළිදරව්ව ප්‍රතිස්ථාපනය කරන්න බැහැ. සමපෙක්ෂණය වැඩි අධ්‍යාත්මික දැනුමක් කරා ගෙන යන්නේ නැති නමුත් එයට අපව රැවටීමට හෝ එළිදරව් වී ඇති දෙයින් අපගේ අවධානය වෙනතකට යොමුකරන්න පුළුවන්.(“Your Divine Nature and Eternal Destiny,” Liahona, May 2022, 70).

  41. බලන්න මතෙව් 9:25. සභාපති ජෝසෆ් එෆ්. ස්මිත් මෙසේ අනතුරු ඇඟවීය: “සත්‍යයේ කොටසක් ගෙන එය සමස්තයක් ලෙස සැලකීම නුවණට හුරු නැත. … ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ හෙළිදරව් කරන ලද සියලුම ප්‍රතිපත්ති ගැලවීමේ සැලැස්මෙහි අවශ්‍ය සහ අත්‍යවශ්‍ය වේ.” ඔහු තවදුරටත් මෙසේ පැහැදිලි කළේය: “මේ කිසිවක් ගෙන, ශුභාරංචිය සත්‍යයේ සම්පූර්ණ සැලැස්මෙන් වෙන් කොට, එය විශේෂ විනෝදාංශයක් බවට පත් කර, අපගේ ගැලවීම සහ ප්‍රගතිය සඳහා එය මත යැපීම හොඳ ප්‍රතිපත්තියක් හෝ හොඳ ධර්මයක් නොවේ. … ඒවා සියල්ල අවශ්‍යයි” (Gospel Doctrine, 5th ed. [1939], 122).

    වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් මෙසේ පැහැදිලි කළේය: “ශුභාරංචියේ මූලධර්ම … සමමුහුර්ත කිරීම අවශ්ය වේ. එකිනෙකාගෙන් ඈත් වූ විට හෝ හුදකලා වූ විට, මෙම මූලධර්මවල මිනිසුන්ගේ අර්ථකථන සහ ක්‍රියාත්මක කිරීම් අශිෂ්ඨ විය හැකිය. ආදරය, හත්වන ආඥාව මගින් පරීක්ෂා නොකළහොත්, ලෞකික විය හැකිය. පස්වන ආඥාවෙහි ප්‍රශංසනීය අවධාරනය දෙමාපියන්ට ගෞරව කිරීම, පළමු ආඥාව මගින් පරීක්ෂා නොකළහොත්, දෙවියන් වහන්සේට වඩා වැරදි දෙමාපියන්ට කොන්දේසි විරහිතව පක්ෂපාතී වීමට හේතු විය හැක. … ඉවසීම පවා සමතුලිත වන්නේ ‘ශුද්ධාත්මයාණන් විසින් ගෙන යන විට තියුණු ලෙස අවවාද කිරීමෙන්ය’[දහම සහ ගිවිසුම් 121:43]”(“Behold, the Enemy Is Combined,” Ensign, May 1993, 78–79).

    සහාපති මැරියන් ජී. රොම්නි උපදෙස් දුන්නේ, “යේසුස්වහන්සේ විසින් අණ කරන ලද පරිදි ඔවුන් උගන්වන දේ සොයා ගැනීමේ අරමුණින් [ශුද්ධ ලියවිලි] සෙවීම, කලින් තීරණය කළ නිගමනයකට සහාය වීම සඳහා සේවයට එබිය හැකි ඡේද සොයා ගැනීමේ අරමුණින් ඒවා හරහා දඩයම් කිරීමට වඩා බොහෝ දුරස් ය. ”(“Records of Great Worth,” Ensign, Sept. 1980, 3).

  42. බලන්න 1 කොරින්ති 2:4; මොරෝනි 6:9. ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ශුද්ධාත්මයාණන්ගේ බලය තුළින් අධ්‍යාත්මික දියුණුව කරා ගෙන යන ආකාරයෙන් සන්නිවේදනය කිරීමේ අවශ්‍යතාවය වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ් අවධාරනය කලේය.“සත්‍යය ඉගැන්වීමට එවන ලද සැනසිලිදායකයාණන් පවා, එනම් ආත්මයාණන් කරණකොටගෙන ශුභාරංචිය ඉගැන්වීමට වඩා වැඩි අවධාරණාත්මක උපදෙසක් ස්වාමීන්වහන්සේ සභාවට කිසිදාක දී නැත.’ අපි ශුභාරංචිය උගන්වන්නේ ‘සත්‍යයේ ආත්මයෙන්ද?’ ඔහු විමසා ඇත. නැත්නම් අපි එය ‘වෙනත් ආකාරයකින් උගන්වනවාද? එය වෙනත් ආකාරයකින් සිදු වුවහොත්, ‘එය දෙවියන් වහන්සේගෙන් නොවේ’ කියා ඔහු අනතුරු අඟවයි.[දහම සහ ගිවිසුම් 50:14, 17-18]. … ස්වර්ගයේ සිට ආත්මයේ එම ප්‍රබෝධයෙන් තොරව සදාකාලික ඉගෙනීමක් සිදු නොවේ. … අපේ සාමාජිකයින්ට ඇත්තටම අවශ්‍ය වන්නේ එයයි. … ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කර ඔවුන්ගේ බලාපොරොත්තුව අලුත් කර ගැනීමට ඔවුන්ට අවශ්‍යයි. කෙටියෙන් කිවහොත්, ඔවුන්ට අවශ්‍ය වන්නේ, දෙවියන්වහන්සේගේ යහපත් වචනයෙන් පෝෂණය වීමට, ස්වර්ගයේ බලයෙන් ශක්තිමත් වීමට” (“A Teacher Come from God,” Ensign, May 1998, 26).

  43. බලන්න ඇල්මා 13:23. අපගේ ස්වර්ගික පියාණන් ගැන කතා කරමින්, සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ සාක්ෂි දුන්නා, “උන්වහන්සේ සරලව, නිහඬව හා ඉතා පැහැදිලිව සන්නිවේදනය කරන්නේ අපට උන්වහන්සේව වරදවා වටහාගත නොහැකි ලෙසයි” (“උන්වහන්සේට සවන්දෙන්න ,” ලියහෝනා, මැයි 2020, 89).

  44. බලන්න ගීතාවලිය 26:3; රෝම 13:10; 1 කොරින්ති 13:1–8; 1 යොහාන් 3:18.

  45. බලන්න ගීතාවලිය 40:11.

  46. බලන්න රෝම 8:16.

  47. බලන්න 1 සාමුවෙල් 2:3; මතෙව් 6:8; 2 නෙපි 2:24; 9:20.

  48. බලන්න උප්පත්ති 17:1; යෙරමියා 32:17; 1 නෙපි 7:12; ඇල්මා 26:35.

  49. බලන්න යෙරමියා 31:3; 1 යොහාන් 4:7–10; ඇල්මා 26:37.

  50. බලන්න 2 නෙපි 9; දහම සහ ගිවිසුම් 20:17-31; මොසෙස් 6:52-62.

  51. බලන්න යොහාන් 3–16; 1 යොහාන් 4:9-10.

  52. බලන්න යොහාන් 8:29; 3 නෙපි 27:13.

  53. බලන්න යොහාන් 15:12; 1 යොහාන් 3:11.

  54. බලන්න ලූක් 22:39-46.

  55. යොහාන් 19:16-30 බලන්න.

  56. බලන්න යොහාන් 20:1-18.

  57. බලන්න 1 කොරින්ති 15:20–22; මොසායා 15:20–24; 16:7–9; දහම සහ ගිවිසුම් 76:16–17.

  58. බලන්න ක්‍රියා 11:17–18; 1 තිමොති 1:14–16; ඇල්මා 34:8–10; මොරෝනි 6:2–3, 8; දහම සහ ගිවිසුම් 19:13–19.

  59. බලන්න මතෙව් 11:28–30; 2 කොරින්ති 12:7–10; පිලිප්පි 4:13; ඇල්මා 26:11–13.

  60. බලන්න මතෙව් 11:28-19; එපීස 2:20.

  61. බලන්න මතෙව් 24–24; ක්‍රියා 20:28-30.

  62. බලන්න දහම සහ ගිවිසුම් 20:1–4; 21:1–7; 27:12; 110; 135:3; ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:1–20.

  63. බලන්න දහම සහ ගිවිසුම් 1:14-38; 43:1-7; 107:91-92.