ප්‍රධාන සම්මන්ත්‍රණය
ඔබට සතුටින් සිටීමට අවශ්‍යද?
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ඔබට සතුටින් සිටීමට අවශ්‍යද?

එසේ නම් ගිවිසුම් මාර්ගයෙහි සිටින්න. ඔබේ ජීවිතය පහසු, ප්‍රීතිමත් සහ ප්‍රීතියෙන් පිරී යනු ඇත.

ඔබට ඉදිරියට යාමට අවශ්‍යද? ඔබව අසතුටට පත් කරන්නේ කුමක්ද? සභාපති නෙල්සන් පැවසුවේ: “ඔබට දුකින් සිටීමට අවශ්‍ය නම්, අණපනත් කඩ කර—කිසි විටෙකත් පසුතැවිලි නොවන්න කියායි. ඔබට ප්‍රීතිය අවශ්‍ය නම් ගිවිසුම් මාර්ගයේ සිටින්න කියායි.1 සතුටින් සිටීම සරල දෙයක් නොවේද? ගිවිසුම් ඇති කර ඒවා ඔබේ ජීවිතය තුළ තබා ගන්න. ගිවිසුම් මාර්ගයේ රැඳී සිටීමටත් අපව සතුටු කිරීමටත් උපකාර වන සමහර දේවල් අපි සොයාබලමු.

1. ගිවිසුම් මාවත යනු කුමක්ද?

වැඩිහිටි ඩේල් ජී. රෙන්ලන්ඩ්ට අනූව ගිවිසුම් මාවත යන්නෙන් අදහස් කරන්නේ අප ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේ හා සම්බන්ධ වන ගිවිසුම් මාලාවක් ගැනයි. මෙම ගිවිසුම් බැඳීම තුළින් අපට උන්වහන්සේගේ සදාකාලික බලයට ප්‍රවේශය තිබෙනවා. මෙම මාවත ආරම්භ වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් හා පසුතැවිලි වීමෙන් පසුව බව්තීස්මය හා ශුද්ධාත්මයාණන් ලබා ගැනීමෙනුයි.”2 අපි සක්‍රමේන්තුවට සහභාගී වන සෑම අවස්ථාවකම මෙම ගිවිසුම් අලුත් කරනවා.

බව්තීස්ම ගිවිසුමෙන් ආරම්භ කර, අපි අපගේ ජීවිත කාලය පුරාම බොහෝ ගිවිසුම් ඇති කර ගන්නවා. නැවතත් වැඩිහිටි රෙන්ලන්ඩ් පැවසූ ආකාරයට: “ගිවිසුම් මාවත දේවමාළිගාවේ බලයෙන් සැරසීම වැනි දේවමාළිගාවේ නියෝග වලට මග පාදනවා. බලයෙන් සැරසීම යනු දෙවියන්වහන්සේගේ පරිශුද්ධ ගිවිසුම් සඳහා ත්‍යාගය වන අතර එය අපව උන්වහන්සේට සම්පූර්ණයෙන්ම සම්බන්ධ කරනවා.”3

2. ඔබ ගිවිසුම් මාවතේ සිටිනවාද?

සමහර විට අපි ගිවිසුම් ඇති කර ගන්නා විට, ඒවා පවත්වා ගැනීමට අපි අසමත් වෙනවා. මෙසේ සිඳුවන විට ඔබ නැවත ගිවිසුම් මාර්ගයට පැමිණෙන්නේ කෙසේද? ගිවිසුම් මාර්ගයට නැවත පැමිණීමේ ආදර්ශ කිහිපයක් ගැන බෙදාගැනීමට මට ඉඩදෙන්න.

මාසයකට පමණ පෙර අප සමඟ සේවය කළ නිවස කරා ගිය ධර්මදූතයෙකුගෙන් මට පණිවිඩයක් ලැබුණා. ඔහු මෙසේ පවසා තිබුණා, “පසුගිය කාලය බොහොම අමාරු කාලයක් වුනා. සෑම දිනකම කාංසාව සහ මානසික අවපීඩනය සමඟ සටන් කිරීමට වීම මට බරක් වී තිබුණා වගේම එය බොහොම අසීරුයි. මට තනිකමක් දැනෙනවා වගේම දුකක් දැනෙනවා. මෙම දුෂ්කරතාව සමඟ සටන් කිරීමට මට කළ හැකි දේ තුළ සාමය සහ සැනසීම ලැබීමට අපගේ ස්වර්ගීය පියාණන්ගේ මඟ පෙන්වීම සඳහා මම යාච්ඤා කරමින් සිටිනවා. මම යාච්ඤා කරමින් සහ මඟ පෙන්වීම් සොයමින් සිටිනවිට, මගේ දසයෙන් කොටස සම්පූර්ණයෙන් ගෙවිය යුතු බව ආත්මයාණන්ගේ පෙලඹවීම මට පවසන බව මට දැනුණා. මට ආත්මයයාණන්ව ඉතා තදින් දැනුණු අතර මට එසේ කිරීමට තද උවමනාවක් ඇති වුනා. එසේ කිරීමට ඇති ආශාවත් සමඟ ‘ඔබේ දසයෙන් කොටස ගෙවුවහොත් සියල්ල හොඳින් සිදුවනු ඇත’ කියන පෙළඹවීම මට දැනුණා. මම තවමත් සාමය සොයා ගැනීමට අරගල කරමින් සිටින, නමුත්, මගේ කීකරුකම තුළින් මගේ හදවතේ සහ මනසෙහි මා සොයන සාමය මට දැනෙන්නට සහ සොයා ගැනීමට හැකි වේ යන සාක්ෂිය අපගේ ගැලවුම්කරුවාණන් තුළ මට තිබෙනවා. මම මෑතකදී නැවත සභාවට පැමිණ මා කරන සෑම දෙයකදීම ආත්මයාණන් සෙවීමට තීරණය කර සිටිනවා.”

දැන් ඔහු ඉතා හොඳින් කටයුතු කරමින් සිටිනවා. ඔබට ස්වර්ගිය පියාණන්ගෙන් සාමය ඉල්ලා සිටිය හැක, නමුත් පිළිතුර ඔබ අපේක්ෂා කරන දෙයට වඩා වෙනස් විය හැකියි. ඔබ ගැළවුම්කාරයාණන් ගැන දැනගැනීමට සහ ස්වර්ගික පියාණන්ට යාච්ඤා කරන තාක් කල්, උන්වහන්සේ ඔබට ඔබ වෙනුවෙන්ම සකස් කරන ලද පිළිතුරක් දෙනු ඇත.

සභාපති තෝමස් එස්. මොන්සන් මෙසේ ඉගැන්වූවා:

“මෙම මරණීය ජීවිතයෙන් අපට ඉගෙන ගත හැකි ලොකුම පාඩම නම් දෙවියන්වහන්සේ කතා කරන විට සහ අප කීකරු වන විට, අපි සැමවිටම නිවැරදි වනු ඇත” යන්නයි.4

අපි ආඥා පිළිපදින විට, අපගේ ජීවිතය වඩාත් ප්‍රීතිමත්, වඩාත් තෘප්තිමත් සහ සංකීර්ණ බවින් අඩු වනු ඇත. අපගේ අභියෝග සහ ගැටලු විඳදරාගැනීමට පහසු වන අතර, [දෙවියන්වහන්සේගේ] පොරොන්දු වූ ආශීර්වාද අපට ලැබෙනු ඇත.”5

මට සභානායකවරයෙකු වීමට ආරාධනා ලැබුණේ, මගේ ජීවිතයේ දුෂ්කරම කාලයේදීයි. එවිට මම මගේ වයස අවුරුදු 30 ගණන්වල තරුණ පියෙක් වූ නමුත් පවුලේ අභියෝග නිසා මම ආර්ථික වශයෙන් දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. මට කිසිම විසඳුමක් සොයාගත නොහැකි වූ අතර, අභියෝග කිසිදා අවසන් නොවනු ඇතැයි මම සිතුවා. මම මූල්‍යමය වශයෙන් සහ චිත්තවේගීය වශයෙන් වෙහෙසට පත්වී සිටියා. මම මගේ අධ්‍යාත්මික ශක්තිය ගැනත් සැක කිරීමට පටන් ගත්තා. එවැනි අසීරු අවස්ථාවකදී මාගේ ස්ටේක සභාපතිතුමා මට මෙම කැඳවීම ලබා දුන්නා. මට අපහසු වුවත් මම කැඳවීම පිළිගත්තා.

මගේ බිරිඳටත් ස්ටේක සභාපති සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුණා, නමුත් ඇයට ඔව් යැයි පැවසීමට නොහැකි වූ අතර ඇය නැතැයි යනුවෙන්ද නොකියා කඳුළු සලමින් සිටියා. ඇය මුළු සතියම පුරාවටම හඬා වැලපෙමින් ස්වර්ගික පියාගෙණන්ගෙන් “ඇයි දැන්?”, “ඔබ ඇත්තටම එක් එක් පුද්ගලයාව හඳුනනවාද?” කියා ප්‍රශ්ණ කළා. ඇයට පිළිතුරක් නොලැබුණත්, ඊළඟ ඉරිදා මම සභානායක ලෙස කැඳවනු ලැබුවා. ඇය තවදුරටත් ස්වර්ගික පියාණන්ගෙන් එවැනි ප්‍රශ්න නොඅසා වසර හයක් පුරා මගේ කැඳවීමට මට සහාය දුන්නා.

කැඳවීමෙන් මා නිදහස් කල ඉරිදා දින සක්‍රමෙන්තුව ලබාගන්නා විට මගේ බිරිඳට හඬක් ඇසී තිබෙනවා. “ඔබට ඇවිදීමට අපහසු නිසා මම ඔහුව සභානායකවරයෙකු ලෙස කැඳවූයේ ඔබව අල්ලාගෙන ඔබ වෙනුවෙන් ඇවිදීමටයි” කියා එම කටහඬ ඇයට මිමිණුවා. පසුගිය වසර හය දෙස ආපසු හැරී බලන විට, නිමක් නැති බව පෙනුණු බොහෝ අභියෝග සියල්ල දැන් මඟදී විසඳී ඇති බව ඇයට වැටහුණා.

අපට කැඳවීමක් ලැබීමට එය හොඳ කාලයක් නොවේ යැයි අප සිතන විට, එම කැඳවීම ලැබීමට වඩාත්ම අවශ්‍ය වේලාව එය විය හැකි බව අපි ඉගෙන ගත්තා. ස්වාමින්වහන්සේ අපට ඕනෑම කැඳවීමක සේවය කරන ලෙස ඉල්ලා සිටින විට, එය සැහැල්ලු හෝ බර කැඳවීමක් වේවා, උන්වහන්සේ අපගේ අවශ්‍යතා දකිනවා. උන්වහන්සේ අපට අවශ්‍ය ශක්තිය සපයන අතර අප ඇදහිලිවන්තව සේවය කරන විට අප මත වැගිරීමට ආශීර්වාද සූදානම් කර තිබෙනවා.

ගිවිසුම් මාර්ගයේ රැඳී සිටීමෙන් අපගේ අවධානය වෙනතකට යොමු කරන තවත් බොහෝ දේවල් තිබෙනවා. එය කුමක් වුවත්, උපකාරය සඳහා අපගේ හදවත් ස්වර්ගික පියාණන්ට හැරවීමට කිසිදා ප්‍රමාද නැහැ. වැඩිහිටි පෝල් වී. ජොන්සන් අපට ඉගැන්වූයේ: “අපි සාතන් අනුගමනය කරන විට, අපි ඔහුට බලය ලබා දෙනවා. අපි දෙවියන්වහන්සේව අනුගමනය කරන විට, උන්වහන්සේ අපට බලය ලබා දෙනවා”6 කියායි.

මොර්මොන්ගේ පොතේ බෙන්යමින් රජ මෙසේ සාක්ෂි දරනවා “තවද, දෙවියන්වහන්සේගේ ආඥා පිළිපදින අයගේ ආශිර්වාදිත හා ප්‍රීතිමත් රාජ්‍යය පිළිබඳව සලකා බැලිය යුතු යැයි මම කැමැත්තෙමි. මක්නිසාද ඔව්හු සියල්ලෙහි දී, අධ්‍යාත්මික හා ආත්මික වශයෙන් ආශීර්වාද ලද්දෝය; ඔවුන් අවසානය දක්වා විශ්වාසවන්තව සිටින්නේ නම්, ඔවුන් ස්වර්ගයට පිළිගනු ලබන අතර, එමගින් ඔවුන් සදාකාල ප්‍රීතියෙන් දෙවියන්වහන්සේ සමඟ වාසය කරති.”7

දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇතිකර ගැනීමෙන් අපි සතුටට පත්වන්නේ කෙසේද?

මගේ බිරිඳ පවසන්නේ අපේ විවාහය අපිව එකට බැඳ තබන බවත්, ඒ නිසා ඇයට කලින් කළ නොහැකි දේවල් කළ හැකි බවත්ය. උදාහරණයක් ලෙස, ඇය කුඩා කල සිටම, අඳුරේ ගමන් කිරීම අපහසු වූ නමුත්, දැන් මම ඇය සමඟ යන නිසා ඇයට එය තවදුරටත් අපහසු නැහැ. ඇය මිටි නිසා පුටුවක් හෝ ඉනිමගක් භාවිතා කලොත් මිස ඇයට උස රාක්ක වලට ලඟා විය නොහැක, නමුත් මම උස නිසා ඇය වෙනුවෙන් උස රාක්කවල ඇති භාණ්ඩ වලට ලඟා විය හැකියි. අපගේ ගැලවුම්කරුවාණන්ගේ වියගහ අප පිටට ගැනීම එවැන්නක්. අපි උන්වහන්සේ වෙත අපව බැඳ තබන විට, අපට තනිවම කළ නොහැකි දේවල් අපට කළ හැකි වනවා, මන්ද අපට අප වෙනුවෙන් කළ නොහැකි දේ උන්වහන්සේට කළ හැකි නිසා.

වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නාර් මෙසේ පැවසුවා: “ශුද්ධවූ ගිවිසුම් ඇති කර ගැනීම සහ තබා ගැනීම අපව ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත සහ උන්වහන්සේගේ සමඟ අපව බැඳ තබනවා. සාරාංශයක් ලෙස, අපගේ උපරිම උත්සාහයන් සමාන නොවූවත්, උන්වහන්සේ සමඟ සැසඳිය නොහැකි වූවත්, ගැලවුම්කරුවාණන් අපට උන්වහන්සේ මත විශ්වාසය තැබීමට හා එකට ඇදගෙන යන ලෙසට ආරාධනා කරනවා. මරණීය ජූවිතයේදී අපි උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා අපගේ බර උසුලන විට, සැබවින්ම උන්වහන්සේගේ වියගහ පහසුය, උන්වහන්සේගේ බර සැහැල්ලුය.”8

සභාපති නෙල්සන් මෙසේ ඉගැන්වූවා:

“නමුත් ගැලවුම්කරුවාණන් සමඟ ඔබව වියගහකින් සම්බන්ධ කරගැනීම යන්නෙන් අදහස් වන්නේ ඔබට උන්වහන්සේගේ ශක්තියට සහ මිදීමේ බලයට ප්‍රවේශය ඇති බවයි.”9

“දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් පැවැත්වීමේ විපාකය ස්වර්ගීය බලයයි—ඒ බලය අපගේ අභියෝග, පරීක්ෂාවන් සහ සිත් වේදනාවන්ට අපට තවත් හොඳින් ඔරොත්තු දීමට හැකිවන ලෙස අපව ශක්තිමත් කරන බලයයි. මෙම බලය අපගේ මාර්ගය පහසු කරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උසස් නීති අනුව ජීවත්වන අයට උන්වහන්සේගේ උසස් බලයට ප්‍රවේශය තිබෙනවා.”10

“ගිවිසුම් පැවැත්වීම ඇත්ත වශයෙන්ම ජීවිතය පහසු කරයි! බව්තීස්ම තටාක වල සහ දේවමාළිගාවල ගිවිසුම් ඇති කරගෙන—ඒවා තබා ගන්නා—සෑම පුද්ගලයෙකුටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලයට ප්‍රවේශය වැඩියෙන් තිබෙනවා.”11

මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබට සතුටින් සිටීමට අවශ්‍යද? එසේ නම් ගිවිසුම් මාර්ගයෙහි සිටින්න. ඔබේ ජීවිතය පහසු, ප්‍රීතිමත් සහ සතුටින් පිරී යනු ඇත. යේසුස්වහන්සේ මෙසේ අපව සනසනවා, “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබ සැමට සහනය දෙමි”12 උන්වහන්සේ ජීවමාන ක්‍රිස්තුස්වහන්සේයි. උන්වහන්සේ අපගේ බර උසුලන අතර අපගේ ජීවිතය පහසු කරයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.