ප්‍රධාන සම්මන්ත්‍රණය
දසයෙන් කොටස: ස්වර්ගයේ කවුළු විවෘත කිරීම
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


දසයෙන් කොටස: ස්වර්ගයේ කවුළු විවෘත කිරීම

ස්වර්ගයේ කවුළු බොහෝ ආකාරවලින් විවෘත වෙනවා. ස්වාමින්වහන්සේගේ කාලය තුළ විශ්වාස කරන්න; මේ ආශිර්වාද සෑම විටම පැමිණෙනවා.

මම මෑතකදී දකුණු අමෙරිකාවේ සිටියදී වෙනිසියුලාවේ සහෝදර රොජර් පාරා මා සමඟ පහත අත්දැකීම බෙදාගත්තා:

“2019 දී වෙනිසියුලාව දින පහක් විදුලිය ඇනහිටීමට හේතු වූ ගැටළු වලින් කම්පා වුණා.

“වියවුල් සහ අරාජිකත්වය වීදිවල රජ වුණා, ඒ වගේම බොහෝ මංමුලා සහගත මිනිසුන්ට ප්‍රමාණවත් ආහාර පවා තිබුණේ නෑ.

“සමහරු ඔවුන්ගේ මාවතේ ඇති සියලු දේවල් විනාශ කරමින්, ආහාර ව්‍යාපාර කොල්ලකෑමට පටන් ගත්තා.

“පුංචි බේකරියක අයිතිකාරයෙක් විදියට මම හිටියෙ අපේ ව්‍යාපාරය ගැන ගොඩක් කනස්සල්ලෙන්. අපේ බේකරියේ තියෙන සියලුම ආහාර, අවශ්‍යතා ඇති අයට දෙන්නට පවුලක් විදියට අපි තීරණය කළා.

“එක් අඳුරු රාත්‍රියක් තුළ සෑම තැනකම කැරලි කෝලාහල පැවතුණා. මගේ එකම සැලකිල්ල වුණේ මගේ ආදරණීය බිරිඳගේ සහ දරුවන්ගේ ආරක්ෂාවයි.

“හිමිදිරි උදෑසන මම අපේ බේකරියට ගියා. කණගාටුදායක ලෙස, අසල තිබූ සෑම ආහාර ව්‍යාපාරයක්ම කොල්ලකරුවන් විසින් විනාශ කර තිබුණත්, මම පුදුමයට පත් වූයේ, අපගේ බේකරිය එලෙසම පැවතීම ගැනයි. කිසිවක් විනාශ වී තිබුණේ නෑ. මම නිහතමානීව මගේ ස්වර්ගික පියාණන්වහන්සේට ස්තූති කළා.

“ගෙදරට ආපු ගමන්ම, දෙවියන්වහන්සේගේ ආශිර්වාදය සහ ආරක්ෂාව ගැන මම මගේ පවුලේ අයට කිව්වා.

“ඔවුන් සියල්ලෝම ඉතා කෘතඥ වූවා.

“වයස අවුරුදු දොළහක් පමණක් වුණු මගේ වැඩිමහල් පුතා, රොජෙලියෝ මෙහෙම කිව්වා, ‘තාත්තේ! අපේ කඩේ ආරක්ෂා කළේ ඇයි කියලා මම දන්නවා. ඔයයි අම්මයි නිතරම ඔයාලගෙ දසයෙන් කොටස ගෙවනවා.’”

සහෝදර පාරා මෙසේ අවසන් කළා: “මලාකිගේ වචන මගේ සිතට නැඟුණා. ‘නුඹලාගේ භූමියේ ඵල නාස්ති නොකරන ලෙස, ඒවා කාදමන්නාට නුඹලා උදෙසා තර්ජන කරන්නෙමි.’[මලාකි 3:11] අපි දණින් වැටී අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ ප්‍රාතිහාර්යය ගැන කෘතඥපූර්වකව ස්තූති කළා.”1

රූපය
පාරා පවුල

මා සෝදීසි කර බලන්න

අපට ඇති සියල්ල සහ අපේ සියල්ල පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන්. ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් වශයෙන්, අප අවට සිටින අය සමඟ අපි කැමැත්තෙන් බෙදාගන්නවා.

ස්වාමින්වහන්සේ අපට ලබා දෙන සියල්ල සමඟින්, අපගේ වර්ධනයෙන් සියයට 10 ක් උන්වහන්සේට සහ මිහිපිට උන්වහන්සේගේ රාජ්‍යය වෙත ආපසු දෙන ලෙස උන්වහන්සේ අපෙන් ඉල්ලා තිබෙනවා. අප අපගේ දසයෙන් කොටස අවංකව ලබා දෙන විට, උන්වහන්සේ “අහසේ කවුළු ඇර … ඉඩ මදිවෙන තරම් … ආශිර්වාදයක් වගුරුවා දෙන” බවට උන්වහන්සේ අපට පොරොන්දු වී තිබෙනවා.”2 නපුරෙන් අපව ආරක්ෂා කරන බවට උන්වහන්සේ අපට පොරොන්දු වී තිබෙනවා.3 මෙම පොරොන්දු ඉතා ස්ථිරයි,4 ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරනවා, “මා සෝදිසිකර බලාපල්ලා”5 යන වාක්‍ය ඛණ්ඩය ශුද්ධලියවිලි වල වෙනත් කිසිම තැනක දක්නට නොලැබෙන එකක්.

ස්වර්ගයේ කවුළු බොහෝ ආකාරවලින් විවෘත වෙනවා. සමහරක් ලෞකික යි, නමුත් බොහෝ ඒවා අධ්‍යාත්මික යි. සමහරක් සියුම් ඒවගේම නොසලකා හැරීමට පහසුයි. ස්වාමින්වහන්සේගේ කාලය තුළ විශ්වාස කරන්න; මේ ආශිර්වාද සෑම විටම පැමිණෙනවා.

ජීවිතයේ අවශ්‍යතා සපුරා ගැනීමට අරගල කරන අය ගැන අපි දුක් වෙනවා. ලොව පුරා සිටින අවදානමට ලක්විය හැකි දරුවන්ට සහ මව්වරුන්ට සහන සැලසීම සඳහා සභාව මෑතකදී ඩොලර් මිලියන 54 ක් පරිත්‍යාග කළා.6 ඔබේ මාසික නිරාහාර පිදුම් සමඟින්, අපගේ යහපත් සභානායකවරු සෑම සතියකම, ඔවුන්ගේ මේස මත ආහාර, ඔවුන්ගේ ශරීර මත ඇඳුම් සහ ඔවුන්ගේ හිසට ඉහළින් නවාතැන් තාවකාලිකව අවශ්‍ය‍ වන දහස් ගණනකට උපකාර කරනවා. මේ ලෝකයේ දුප්පත්කමට එකම ස්ථිර විසඳුම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියයි.7

ඇදහිල්ල පිළිබඳ කාරණයක්

මිනිසුන්ගේ ප්‍රඥාව මිනිසුන්ගේ දේවල් තේරුම් ගන්නා නමුත් දෙවියන්වහන්සේගේ දේවල් තේරුම් ගැනීමට අපහසුතාවයක් දක්වන බව ප්‍රේරිත පාවුල් අනතුරු ඇඟෙව්වා.8 ලෝකය දසයෙන් කොටස ගැන කතා කරන්නේ අපගේ මුදල් අනුවයි, නමුත් දසයෙන් කොටසේ පරිශුද්ධ නීතිය ප්‍රධාන වශයෙන් අපගේ ඇදහිල්ල පිළිබඳ කාරණයක්. අපගේ දසයෙන් කොටස ගෙවීමෙහි අවංක වීම, අපගේම සැලකිල්ල සහ උනන්දුව අභිබවා අපගේ ජීවිත තුළ ස්වාමින්වහන්සේට මුල් තැන දීමට අපගේ කැමැත්ත පෙන්වන එක් මාර්ගයක්. ඔබ ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාස කරන විට, ස්වර්ගයේ ආශීර්වාද අනුගමනය කරන බවට මම ඔබට පොරොන්දු වනවා.

“සීසර්ගේ දේ සීසර්ටත්; දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දීපල්ලා”9 කියා යේසුස්වහන්සේ කිව්වා. මලාකි පොතේ සොයාගත් උන්වහන්සේගේ පොරොන්දු ගැන ඔවුන්ගේ වාර්තාවේ ලියා තබන ලෙස මරණයෙන් නැවත නැගිටි ගැලවුම්කරුවාණන් නෙපීවරුන්ගෙන් ඉල්ලා සිටියා.10 අපේ කාලයේදී, ස්වාමින්වහන්සේ දසයෙන් කොටස දීමේ දිව්‍යමය නීතිය යලි තහවුරු කරමින් මෙසේ ප්‍රකාශ කරනවා: “මෙය මාගේ ජනතාවගේ දසයෙන් කොටසේ ආරම්භය වන්නේය. තවද [ඔවුන්] ඔවුන්ගේ සියලු ලාභයෙන් දසයෙන්-කොටසක් වාර්ෂිකව ගෙවිය යුතු වන්නෝය; මෙය ඔවුන්ට සදාකාලයටම ස්ථාවර නීතියක් වන්නේය.”11

ස්වාමින්වහන්සේ විසින් දසයෙන් කොටස ලබා දිය යුතු ආකාරය ගැන පැහැදිලිව පෙන්වා දී තිබෙනවා, “නුඹලා සියලු දසයෙන් කොටස ගබඩාවට ගෙන එන්න,”12 එයින් අදහස් කරන්නේ දසයෙන් කොටස උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද රාජ්‍යය වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවට ගෙන එන්න යන්නයි.13 මෙම පූජනීය දසයෙන් කොටස භාවිතා කිරීම සම්බන්ධව පළමු සභාපතිත්වයේ, ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ, මූලාසනය දරන සභානායකත්වයේ මන්ත්‍රණ සභාවක් මගින් යාච්ඤාපූර්වකව සොයා බැලිය යුතු බවට උන්වහන්සේ උපදෙස් ලබා දී තිබෙනවා, “මාගේම ස්වකීය හඬින් ඔවුන් වෙතට ලබා දී ඇත්තේ යැයි ස්වාමින්වහන්සේ පවසන සේක.”14

ස්වාමීන්වහන්සේගේ පූජනීය අරමුදල්

මෙම පූජනීය අරමුදල් සභාවේ නායකයින්ට අයිති වන්නේ නෑ. ඒවා අයිති ස්වාමින්වහන්සේටයි. උන්වහන්සේගේ සේවකයන් ඔවුන්ගේ භාරකාරත්වයේ පරිශුද්ධ ස්වභාවය ගැන දැඩි ලෙස දන්නවා.

සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි මෙම ළමා කාලයේ අත්දැකීම මෙසේ විස්තර කළා: “මම කුඩා පිරිමි ළමයෙක්ව සිටියදී මම මගේ පියාගෙන් … සභාවේ අරමුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇසුවා. මගේ දසයෙන් කොටස සහ පිදුම් ගෙවීම කියන්නෙ දෙවියන්වහන්සේ මට දුන් වගකීමක් බව ඔහු මට මතක් කළා. මම එහෙම කරද්දි, [මගේ පියා මෙහෙම කිව්වා,] මා දෙන දේ තවදුරටත් මගේ නොවේ. එය අයිති වෙන්නෙ මම එය කැප කර ලබාදෙන ස්වාමින්වහන්සේටයි. ඔහුගේ පියා තවදුරටත් මෙසේ කිව්වා: “සභාවේ බලධාරීන් එයට කරන දේ ගැන [ගෝර්ඩන්, ඔබ] සැලකිලිමත් විය යුතු නෑ. ඔවුන් පිළිතුරු දිය යුත්තේ, ඔවුන් අතින් ගණන් කිරීමක් අපේක්ෂා කරන ස්වාමින්වහන්සේටයි.”15

“ස්වාමින්වහන්සේට පිළිතුරු දිය යුතු” වීමේ බර අපට ගැඹුරින් දැනෙනවා.

ඔබේ ත්‍යාගශීලී දසයෙන් කොටස සහ පිදුම්

ඔබ ස්වාමින්වහන්සේට කැප කළ ත්‍යාගශීලී දසයෙන් කොටස සහ පිදුම් වලින්, අවශ්‍යතා ඇති අයට ආශිර්වාද කිරීම සඳහා පසුගිය වසරේ එක්සත් ජනපද ඩොලර් බිලියනයකට වඩා භාවිතා කර තිබෙනවා.16

නැවත පිහිට වූ ශුභාරංචිය ලොව පුරා ගෙන යාමේ අපගේ වැදගත් වගකීම තුළ, දූත මෙහෙයන් 414 ක සේවය කරන ධර්මදූතයින් 69,000ක් අප සතුව සිටිනවා.17 ඔබේ දසයෙන් කොටස සහ පිදුම් නිසා, ධර්මදූතවරුන්ට, ඔවුන්ගේ පවුලේ ආර්ථික තත්ත්වය කුමක් වුවත්, සේවය කිරීමට හැකි වෙනවා.

දේවමාළිගා ලොව පුරා පෙර නොවූ විරූ ලෙස ඉදිවෙමින් පවතිනවා. දැනට දේවමාළිගා 177 ක් ක්‍රියාත්මක වෙනවා, 59 ක් දැනට ඉදිවෙමින් හෝ ප්‍රතිසංස්කරණය වෙමින් පවතිනවා, ඒවගේම තවත් 79 ක් සැලසුම් කරමින් සහ සැලසුම් අඳිමින් පවතිනවා.18 ඔබේ දසයෙන් කොටස දේවමාළිගාවේ ආශිර්වාදවලට ඉඩ දෙන්නේ ස්වාමින්වහන්සේට පමණක් පුරෝකථනය කළ හැකි ස්ථානවලයි.

රටවල් සහ ප්‍රදේශ 195 ක් තුළ දේවස්ථාන සහ අනෙකුත් පහසුකම් දහස් ගණනක සභා 30,000කට වඩා තිබෙනවා.19 ඔබගේ ඇදහිලිවන්ත දසයෙන් කොටස නිසා, ඔබ කිසිදා නොහඳුනන ධර්මිෂ්ඨ ශුද්ධවන්තයින් අතර ඔබ කිසිදා නොපැමිණෙන දුර බැහැර ස්ථානවල සභාව ස්ථාපිත වෙමින් පවතිනවා.

සභාව දැනට උසස් අධ්‍යාපන ආයතන පහකට අනුග්‍රහය දක්වනවා.20 මේවා 145,000 කට වඩා සිසුන් ගණනකට සේවය කරනවා. අපගේ සෙමනේරි සහ ආයතනික පන්ති වල සෑම සතියකම පන්ති එක්ලක්ෂ දසදහසක් උගන්වමින් තිබෙනවා.21

මෙම ආශිර්වාද සහ තවත් බොහෝ දේ බොහෝ දුරට පැමිණෙන්නේ, අවංකව දසයෙන් කොටස ගෙවන සෑම ආර්ථික තත්වයකම තරුණ හා මහලු අයගෙනුයි.

දසයෙන් කොටස ලබාදීමේ දිව්‍යමය නීතියේ අධ්‍යාත්මික බලය මනිනු ලබන්නේ දායක වන මුදල් ප්‍රමාණයෙන් නොවේ, මොකද සමෘද්ධිමත් හා දුප්පතුන් යන දෙගොල්ලන්ටම ඔවුන්ගේ ආදායමෙන් සියයට 10 ක් ලබා දෙන ලෙස ස්වාමින්වහන්සේ ආඥා කර තිබෙනවා.22 මේ බලය ලැබෙන්නේ ස්වාමින්වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසය තැබීමෙනුයි.23

අප මෙතෙක් අත්විඳ ඇති ඕනෑම දෙයකින් ඔබ්බට ස්වාමින්වහන්සේගේ කාර්යය ඉදිරියට ගෙන යාමට අවස්ථාව සලසා දෙමින්, ඔබගේ ත්‍යාගශීලී දසයෙන් කොටස හරහා ප්‍රකාශ කරන ලද ස්වාමින්වහන්සේගේ අමතර බහුලත්වය සභාවේ සංචිත ශක්තිමත් කර තිබෙනවා. ස්වාමින්වහන්සේ සියල්ල දන්නා අතර, කාලයාගේ ඇවෑමෙන්, උන්වහන්සේගේ සියලු පරිශුද්ධ අරමුණු ඉටු වන බව අපට පෙනෙයි.24

ආශිර්වාද බොහෝ ආකාරවලින් පැමිණේ

දසයෙන් කොටසේ ආශිර්වාද බොහෝ ආකාරවලින් පැමිණෙනවා. 1998 දී, මම එවකට වැඩිහිටි හෙන්රි බී. අයිරින් සමඟ තාක්ෂණයේ විශිෂ්ට නවෝත්පාදන ප්‍රජාවක් වන යූටා ප්‍රදේශයේ දැන් සිලිකන් බෑවුම් ලෙස හඳුන්වන විශාල සභා රැස්වීමකට ගියා. එය සමෘද්ධිය වර්ධනය වන කාලයක් වූ අතර, ඔවුන් සතුව ඇති දේ අන් අය සමඟ සංසන්දනය කිරීම සහ තවත් අවශ්‍ය වීම ගැන වැඩිහිටි අයරින් එම ශුද්ධවන්තයන්ට අවවාද කළා. ඔවුන් අවංක දසයෙන් කොටසක් ගෙවන විට, තවත් ද්‍රව්‍යමය දේ සඳහා ඔවුන්ගේ ආශාව අඩු වන බවට ඔහුගේ පොරොන්දුව මට සැමවිටම මතක තිබෙයි. වසර දෙකක් ඇතුළත, තාක්ෂණික බුබුල පුපුරා ගියා. බොහෝ දෙනෙකුට රැකියා අහිමි වුණා, ඒවගේම මෙම මූල්‍ය ගැලපුම් කාලය තුළ සමාගම් අරගල කළා. සභාපති අයිරින්ගේ උපදෙස් අනුගමනය කළ අය ආශිර්වාද ලැබුවා.

ඔහුගේ පොරොන්දුව මට තවත් අත්දැකීමක් මතක් කර දුන්නා. 1990 දී ධර්මදූත සභාපතිවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී, මට ප්‍රංශයේ කාර්කැසෝන් අසලදී 12 හැවිරිදි චාලට් ලිම්ව මුණගැසුණා. ලිම් පවුල ඇදහිලිවන්ත නිහතමානී පවුලක් වූ අතර, දරුවන් අට දෙනෙකු සමඟ කුඩා මහල් නිවාසයක ජීවත් වුණා. ඔවුන්ගේ බිත්තියේ ගැලවුම්කරුවාණන්ගේ සහ අනාගතවක්තෘවරයාගේ පින්තූරයක් තිබුණා. ඇයගේ ආදිපීතෘ ආශිර්වාදය සඳහා සම්මුඛ සාකච්ඡාවේදී, ඇය අවංක දසයෙන් කොටසක් ගෙවනවාද කියා මම චාලට්ගෙන් ඇසුවා. ඇය මෙහෙම පිළිතුරු දුන්නා, “ඔව්, සභාපති ඇන්ඩර්සන්. අපගේ දසයෙන් කොටස ගෙවීමෙන් ලැබෙන ලෞකික හා අධ්‍යාත්මික ආශිර්වාද ගැන මගේ අම්මා මට උගන්වා තිබෙනවා. අපි හැමදාම දසයෙන් කොටස ගෙව්වොත් අපිට කිසි දෙයක් ඕන වෙන්නෙ නෑ කියලා මගේ අම්මා ඉගැන්නුවා. ඉතින් සභාපති ඇන්ඩර්සන්, අපට කිසිවක් ඕන නැහැ.”

රූපය
ලිම් පවුල

දැන් 45 හැවිරිදි සහ දේවමාළිගාවේ මුද්‍රා තබා සිටින චාලට් ඇගේ කතාව බෙදා ගැනීමට මට අවසර දෙමින් මෙසේ අදහස් දැක්වූවා: “දසයෙන් කොටස පිළිබඳ මගේ සාක්ෂිය එකල ශක්තිමත් වූ අතර දැන් එය තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. මෙම ආඥාව සඳහා මම බෙහෙවින් ස්තුතිවන්ත වනවා. මම එයට කීකරු වන විට මට බහුල ලෙස ආශීර්වාද ලබනවා .”25

එක් දවසක, අප සෑම කෙනෙකුම අපගේ ලෞකික ගමන අවසන් කරනවා. අවුරුදු විසිපහකට පෙර, මගේ නැන්දම්මා වන මාර්තා විලියම්ස් පිළිකාවකින් මිය යාමට දින කිහිපයකට පෙර, ඇයට තැපෑලෙන් කුඩා චෙක්පතක් ලැබුණා. දසයෙන් කොටස ගෙවීමට චෙක් පොත ගෙනත් දෙන ලෙස ඇය වහාම කැතීගෙන් ඉල්ලා සිටියා. ඇගේ මවට ලිවීමට නොහැකි තරමට ඇය දුර්වලව සිටි නිසා, කැතීට ඇය වෙනුවෙන් චෙක්පත ලියා දිය හැකිදැයි කැතී ඇසුවා. ඇගේ මව මෙසේ පිළිතුරු දුන්නා, “නැහැ කැතී. මට එය තනිවම කිරීමට අවශ්‍යයි.” ඉන්පසු ඇය සෙමින් මෙසේ කිව්වා, “මට ස්වාමින්වහන්සේ ඉදිරියෙහි නිවැරදි වීමට අවශ්‍යයි.” කැතී තම මව වෙනුවෙන් කළ අවසාන දෙය තමයි ඇගේ දසයෙන් කොටස සහිත ලියුම් කවරය ඇගේ සභානායකවරයාට භාරදීම.

දෙවියන්වහන්සේගේ වැදගත් කාර්යයන්

මගේ සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව “අප්‍රසිද්ධව”26 පොළොව පුරා කැපී පෙනෙන ආශිර්වාද ගෙන එනවා. ඉදිරියට යන්නට අපිව දිරිගන්වන අය වගේම එසේ නොකරන අයත් ඉන්නවා. ප්‍රේරිත පේත්‍රැස් සහ යොහන් කළ ප්‍රාතිහාර්යයන් දැක යෙරුසලමේ මන්ත්‍රණ සභාවට අනතුරු ඇඟවූ ප්‍රඥාවන්ත ගමාලියෙල්ගේ වදන් ගැන මම කල්පනා කළා.

“මේ මනුෂ්‍යයන්ගෙන් වැලකී ඔවුන්ට කිසිවක් නොකරන්න … මේ ක්‍රියාව මනුෂ්‍යයන්ගෙන් වී නම්, ඒක පෙරළාදමනු ලබන්නේය.

“නුමුත් ඒක දෙවියන්වහන්සේගෙන් වී නම්, ඔවුන් පරාජය කරන්ට නුඹලාට බැරිය; එසේ උත්සාහ කළොත් සමහරවිට නුඹලා දෙවියන්වහන්සේට විරුද්ධව පවා යුද්ධකරන්න වන්ට පුළුවන.”27

ඔබ සහ මම පොළොව මත දෙවියන්වහන්සේගේ වැදගත් කාර්යයේ කොටසක් වෙනවා. එය නිෂ්ඵල වෙන්නෙ නෑ, නමුත් ගැලවුම්කරුවාණන්ගේ නැවත පැමිණීම සඳහා මාර්ගය සූදානම් කරමින් ලෝකය පුරා දිගටම ගමන් කරනවා. සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ප්‍රකාශ කළා: “ඉදිරි දිනවලදී, ලෝකය මෙතෙක් දැක ඇති ගැලවුම්කරුවාණන්ගේ බලයේ ශ්‍රේෂ්ඨතම ප්‍රකාශනයන් අපි දකිනවා. උන්වහන්සේ නැවත පැමිණෙන කාලය සහ වර්තමාන කාලය අතර … , ඇදහිලිවන්තයින් මත අසංඛ්‍යාත වරප්‍රසාද, ආශිර්වාද සහ ප්‍රාතිහාර්යයන් උන්වහන්සේ විසින් ලබා දෙයි.”28

මේ මගේ සාක්ෂියයි. යේසුස් යනු ක්‍රිස්තුස්වහන්සේයි. මේ උන්වහන්සේගේ ශුද්ධ කාර්යයයි. උන්වහන්සේ නැවත පැමිණෙයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. 2023 අගෝස්තු 4 වන දින රොජර් පාරා වෙතින් ලැබුණු පුද්ගලික ලිපි හුවමාරුවකි.

  2. මලාකි 3:10.

  3. මලාකි 3:11. වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් මෙසේ පැවසුවා: “උදාහරණයක් ලෙස, මගේ ජීවිතයේදී, දෙවියන්වහන්සේ ‘[මා වෙනුවෙන්] කාදමන්නාට තරවටු කරන බවට’ වූ දෙවියන්වහන්සේගේ පොරොන්දුව ඉටු වූ බව මම දුටුවෙමි (මලාකි 3:11). නපුරෙන් ආරක්ෂා වීමේ එම ආශිර්වාදය මට ප්‍රකාශ කැල නොහැකි තරම් ධාරිතාවයකින් ඔබ්බට මා මතත් මාගේ ආදරණීයයන් මතත් වගුරුවා තිබෙනවා. මුත් තනි තනිව සහ පවුලක් වශයෙන් දසයෙන් කොටස ගෙවීමට අපගේ අධිෂ්ඨානය නිසා අඩුම තරමින් අර්ධ වශයෙන් හෝ දිව්‍ය ආරක්ෂාව පැමිණ ඇති බව මම විශ්වාස කරනවා” (“Like a Watered Garden,” Liahona, Jan. 2002, 38).

  4. උන්වහන්සේ ස්වර්ගයේ කවුළු විවෘත කරන්නේ අපගේ අවශ්‍යතාවයට අනුව මිස අපගේ කෑදරකමට අනුව නොවේ. අපි ධනවත් වීමට ආශාවෙන් දසයෙන් කොටසක් ගෙවනවා නම්, අපි එය කරන්නේ වැරදි හේතුවකටයි. … දෙන්නාට ලැබෙන ආශිර්වාදය සෑම විටම මූල්‍යමය හෝ ද්‍රව්‍යමය ප්‍රතිලාභයක් ලෙස නොතිබිය හැකිය” (Teachings of Gordon B. Hinckley [1997], 657).

  5. මලාකි 3:10; 3 නෙපී 24:10.

  6. බලන්න “The Church of Jesus Christ Is Helping Alleviate Global Malnutrition,” Aug. 11, 2023, newsroom.ChurchofJesusChrist.org; see also “How the Church of Jesus Christ and UNICEF Are Keeping Mothers and Children Healthy and Safe,” Aug. 17, 2023, newsroom.ChurchofJesusChrist.org.

  7. “තවද ස්වාමින්වහන්සේ ඔවුන්ව සයොනය ලෙස හැඳින්වූ සේක, මක්නිසාද ඔවුන් එක් හදවතක් සහ එක් මනසකින් යුත් අය වූහ, තවද ඔවුන් ධර්මිෂ්ඨකමින් වාසය කළ අතර; ඔවුන් අතර දුප්පතුන් කිසිවෙක් නොසිටියෝය” (මෝසෙස් 7:18).

  8. බලන්න 1 කොරින්ති 2:14. මිනිසාගේ තර්කය සැමවිටම දෙවියන්වහන්සේගේ ප්‍රඥාව සමඟ නොගැලපේ. මලාකිගේ දවසේදී බොහෝදෙනෙක් ස්වාමින්වහන්සේගෙන් දුරස් විය. ස්වාමින්වහන්සේ තම ගිවිසුමේ සෙනඟගෙන් මෙසේ අයැද සිටියේය, “මා වෙතට හැරී එන්න, මම ඔබ වෙතට හැරී එන්නෙමි.” මෙම මෘදු ආරාධනයෙන් පසුව එන දෙය අප සෑම කෙනෙකුටම ඉතා වැදගත් ප්‍රශ්නයකි: “නමුත් ඔබ කීවේ, අපි කොතැනින් ආපසු යා යුතුද?” (මලාකි 3:7). නැතහොත් වෙනත් වචන වලින් කිවහොත්, “මම වෙනස් කළ යුත්තේ කුමක්ද? මම ඔබට සමීප වන්නේ කෙසේද?” එය හුදෙක් මූල්‍ය නීතියක් ලෙස නොව, අපගේ හදවතේ ආශාවන් උන්වහන්සේ වෙතට හැරවීමට ප්‍රත්‍යක්ෂ මාර්ගයකි.

    අපි මෙය අපේ පවුල තුළම නිරීක්ෂණය කළෙමු. කැතීගේ මව වයස අවුරුදු 22 දී සභාවට සම්බන්ධ විය. මාර්තා සහ බර්නාඩ් විලියම්ස් කෙටි කාලයක් සභාවට ගිය නමුත් වෙනත් ප්‍රාන්තයකට ගිය පසු ඔවුන් ක්‍රියාශීලීව සහභාගී වීම අඩු විය. බර්නාඩ්ට විදේශයන්හි හමුදා යෙදවීමක් ලැබුණු අතර, මාර්තා ෆ්ලොරිඩාවේ ටැම්පා වෙත පදිංචියට ගියාය, එහිදී ඇය සභාවට විරුද්ධ වූ ඇගේ නැන්දා සහ මාමා සමඟ ජීවත් වීමට ඔවුන් කළ ත්‍යාගශීලී ආරාධනය පිළිගත්තාය. ඉතා නිහතමානී තත්වයන් යටතේ ජීවත් වුණු මාර්තා විලියම්ස්, ඇගේ පළමු දරුවා අපේක්ෂාවෙන් හා සභාවට සහභාගී නොවෙමින් සිටි අතර, ඇගේ සභානායකවරයාට දසයෙන් කොටසේ චෙක්පත යැවීමට තීරණය කළාය. ඇගේ ජීවිතයේ පසු කාලයකදී, එසේ කළේ ඇයි දැයි විමසූ විට, දසයෙන් කොටස සහ දෙවියන්වහන්සේගේ ආශිර්වාද ගැන ධර්මදූතවරුන් ඇයට ඉගැන්වූ යමක් ඇයට මතක් කළ බව ඇය පැවසුවාය: “අපට අපගේ ජීවිතවලට දෙවියන්වහන්සේගේ ආශිර්වාද දැඩි ලෙස අවශ්‍ය වූ අතර, එබැවින් මම අපගේ දසයෙන් කොටසේ චෙක්පත සභානායකවරයා වෙත යැවීමට පටන් ගත්තෙමි.” මාර්තා සහ බර්නාඩ් විලියම්ස් නැවත සභාවට පැමිණියහ. ඔවුන්ගේ විශාලතම ආශිර්වාදය වුණේ—ඇයට දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල සහ උන්වහන්සේගේ පොරොන්දු කෙරෙහි බලාපොරොත්තුවක් හැර වෙන කිසිවක් නොමැති වූ විට පවා ඇය ඇයගේ දසයෙන් කොටස ගෙවීමට ගත් තීරණය නිසා පරම්පරා හයක් ආශිර්වාද ලැබීය.

  9. මතෙව් 22:21.

  10. බලන්න 3 නෙපි 24.

  11. දහම සහ ගිවිසුම් 119:3-4. “දසයෙන් කොටස යනු දෙවියන්වහන්සේගේ සභාවට තම ආදායමෙන් දහයෙන් එකක් පරිත්‍යාග කිරීමයි (බලන්න දහම සහ ගිවිසුම් 119:3-4; පොලිය යනු ආදායම යන අර්ථයයි). ආදායම් ඇති සියලුම සාමාජිකයන් දසයෙන් කොටස ගෙවිය යුතුය” (සාමාන්‍ය අත්පොත: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස් වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සේවය කිරීම, 34.3.1, ශුභාරංචි පුස්තකාලය)

  12. මලාකි 3:10.

  13. “ගැලවුම්කරුවාණන් ඉගැන්වූ පරිදි අපි දසයෙන් කොටස ගෙවන්නේ ‘ගබඩාවට’ දසයෙන් කොටස ගෙන ඒමෙනි (මලාකි 3:10; 3 නෙපී 24:10). අපි මෙය කරන්නේ අපගේ සභානායකවරයාට හෝ ශාඛා සභාපතිවරයාට අපගේ දසයෙන් කොටස ගෙවීමෙනි. අපි කැමතිම පුණ්‍ය කටයුතුවලට දායක වීමෙන් අපි දසයෙන් කොටස ගෙවන්නේ නැත. පුණ්‍යායතනවලට අප විසින් කළ යුතු සම්මාදම් පැමිණෙන්නේ අපගේම අරමුදල්වලින් මිස ස්වාමින්වහන්සේගේ ගබඩාවට ගෙවීමට අපට ආඥා කර ඇති දසයෙන් කොටසෙන් නොවේ” (ඩැලන් එච්. ඕක්ස්, “Tithing,” Ensign, May 1994, 35).

  14. දහම සහ ගිවිසුම් 120:1.

  15. ගෝර්ඩන් බී. හින්ක්ලී , “Rise to a Larger Vision of the Work,” Ensign, May 1990, 96.

  16. බලන්න “The 2022 Report on How the Church of Jesus Christ Cared for Those in Need,” Mar. 22, 2023, newsroom.ChurchofJesusChrist.org.

  17. 2023 සැප් 14 දින ධර්මදූත දෙපාර්තමේන්තුවෙන් විද්‍යුත් තැපැල් පණිවිඩයක් මගින් ලැබුණි.

  18. බලන්න “Temple List,” ChurchofJesusChrist.org/temples/list.

  19. 2023 ජූලි 28 වන දින සාමාජික සහ සංඛ්‍යාන වාර්තා වෙතින් විද්‍යුත් තැපෑලෙන් ලැබුණි.

  20. මෙයට බ්‍රිගම් යන්ග් විශ්වවිද්‍යාලය, අයිඩහෝ බ්‍රිගම් යන්ග් විශ්වවිද්‍යාලය, හවායි බ්‍රිගම් යන්ග් විශ්වවිද්‍යාලය, එන්සයින් විද්‍යාලය, සහ ලොවපුරා BYU පාත්වේ ඇතුළත් වේ.

  21. 2023 ජූලි 28 වැනි දින සෙමනේරි සහ ආයතනික පන්ති වෙතින් විද්‍යුත් තැපෑලෙන් ලැබුණි.

  22. බලන්න General Handbook, 34.3.1.

  23. ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳ සභාපති ඩැලන් එච්. ඕක්ස් මෙම කතාව බෙදාගත්තේය: “මගේ වැන්දඹු මව ඇගේ කුඩා දරුවන් තිදෙනා [සොච්චම්] වැටුපකින් පෝෂණය කළා. … මම අම්මාගෙන් ඇහුවා ඇයි මෙච්චර පඩියෙන් දසයෙන් පංගුවක් දුන්නේ කියලා. ඇගේ පැහැදිලි කිරීම මට කිසිදා අමතක වෙන්නේ නෑ: ‘ඩැලන්, දසයෙන් කොටස නොගෙවා ජීවත් වෙන්න පුළුවන් සමහර අය සිටිය හැකි නමුත් අපට එය කරන්න බැහැ. ස්වාමින්වහන්සේ ඔබේ පියාව අරගෙන මගේ දරුවන්ව ඇති දැඩි කිරීමට මට ලබාදෙන්න තෝරාගෙන තිබෙනවා. ස්වාමින්වහන්සේගේ ආශිර්වාදය නොමැතිව මට එය කරන්නට බැහැ, ඒවගේම අවංක දසයෙන් කොටසක් ගෙවලා මම එම ආශිර්වාද ලබා ගන්නවා’ (“Tithing,” Liahona, May 33).

  24. “එනම් මාගේ සපයාදීම තුළින්, නුඹලා මත පතිත වන පීඩාවන් වලදී වුවත්, එනම් සෙලෙස්ටියල් ලෝකය යට අනෙක් සියලුම සත්වයන්ටත් වඩා ස්වාධීනව සභාව නැගී සිටින පිණිසය” (දහම සහ ගිවිසුම් 78:14).

  25. 2023 අගෝස්තු 30 වන දින චාලට් ලිම් මාර්ටින් පාරා වෙතින් ලැබුණු පුද්ගලික ලිපි හුවමාරුවකි.

  26. දහම සහ ගිවිසුම් 1:30.

  27. ක්‍රියා 5:38–39.

  28. රසල් එම්. නෙල්සන්, “ලෝකය ජයගෙන විවේකය සොයාගන්න,” ලියාහෝනා, නොවැම්බර් 2022, 95.