ප්‍රධාන සම්මන්ත්‍රණය
ක්‍රිස්තුස්වහන්සේගේ සාමකාමී අනුගාමිකයන් වන්න
2023 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


ක්‍රිස්තුස්වහන්සේගේ සාමකාමී අනුගාමිකයන් වන්න

“ක්‍රිස්තුස්වහන්සේගේ සාමකාමී අනුගාමිකයින්ට” මේ ජීවිතයේ පුද්ගලික සාමයක් සහ මහිමාන්විත ස්වර්ගීය නැවත එක්වීමක් ලැබෙනු ඇති බවට මම සාක්ෂි දරනවා.

අප ජීවත් වන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ සාමකාමී අනුගාමිකයන්”1 අද්විතීය අභියෝගවලට මුහුණ දෙන කාලයකයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන, උන්වහන්සේට නිහතමානීව නමස්කාර කරන සහ උන්වහන්සේ ගැන සාක්ෂි දරන අය සෑම විටම අභියෝග, පීඩා සහ විපත්ති අත්විඳලා තියනවා.2 මටත් මගෙ බිරිඳ මේරිටත් ඒක එහෙමමයි. පසුගිය අවසාන වසර කිහිපය තුළ අපගේ සමීපතම උසස් පාසැල් මිතුරන් සහ ධර්මදූත සගයන්, ඔවුන් සමහරකගේ බිරිඳෑවරුන් සහ එකට වැඩකළ පිරිස් බොහෝ දෙනෙක් අභාවප්‍රාප්ත වුණා. එහෙම නැත්නම් සභාපති රසල් එම්. නෙල්සන් පවසා ඇති පරිදි, තිරයේ අනෙක් පැත්තට සුදුසුකම් ලබා ගැනීම අපි දැක්කා. ඇදහිල්ල සහ විශ්වාසය තුළ හැදී වැඩුණු සමහරු ගිවිසුම් මාර්ගයෙන් ඉවත්ව සිටිනු අපි දැක තිබෙනවා.

කණගාටුදායක ලෙස, ඛේදජනක මෝටර් රථ අනතුරකින් 23 හැවිරිදි අපේ මුණුබුරෙකුව අපට අහිමි වුණා. සමහර හිතවත් මිතුරන්, පවුලේ සාමාජිකයන් සහ සගයන් ද සැලකිය යුතු සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දී තිබෙනවා.

අභියෝග එන සෑම විටම, අපි වැලපෙමින් එකිනෙකාගේ බර දරා ගැනීමට උත්සාහ කරනවා.3 ඉටු නොවන දේවල් සහ නොගැයෙන ගීත ගැන අපි දුක් වෙනවා.4 මේ ලෞකික ගමනේදී හොඳ මිනිසුන්ට අයහපත් දේවල් වෙනවා. හවායි මාවු හි, දකුණු චිලී සහ නැගෙනහිර කැනඩාවේ විනාශකාරී ලැව්ගිනි, හොඳ මිනිසුන් සමහර විට මුහුණ දෙන බිහිසුණු සිදුවීම් සඳහා තිබෙන උදාහරණ කිහිපයක්.

ස්වාමින්වහන්සේ ආබ්‍රහම්ට ආත්මයන්ගේ සදාකාලික ස්වභාවය හෙළි කළ බව අපි අගනා මුතු ඇටයේ කියවනවා. ආබ්‍රහම් අපගේ මෙලොවට පෙර ජීවිතය, පෙර නියම කිරීම, මැවීම, මිදුම්කරුවෙකු තෝරා ගැනීම සහ මනුෂ්‍යයාගේ දෙවන තත්වය වන මෙම ලෞකික ජීවිතය ගැන ඉගෙන ගත්තා.5 මිදුම්කරුවාණන් මෙසේ පැවසුවා:

“මොවුන්ට වාසය කළ හැකි පොළොවක් අපි එහි සාදමු;”

“තවද ඔවුන් ස්වාමින් වූ ඔවුන්ගේ දෙවියන්වහන්සේ ඔවුන්ට ආඥා කරන සියලු දේවල් ඒවා කුමක් වුවත් ඔවුන් ඒවා කරන්නේ දැයි බැලීම සඳහා, අපි මෙමගින් ඔවුන්ව පරීක්ෂා කරමු.”6

දැන් අප සියල්ලන්ම සිටින්නේ දෙවියන්වහන්සේගේ ගැලවීමේ මහා සැලැස්මේ කොටසක් ලෙස තේජාන්විත රාජ්‍යයක් කරා යන අපගේ ප්‍රගතියේ ගමනේ දෙවන තත්වයේයි. අපි තෝරාගැනීමේ නිදහසින් ආශිර්වාද ලබන අතරම ලෞකිකත්වයේ අභියෝග වලටද යටත්ව සිටිනවා. දෙවියන්වහන්සේව හමුවීමට සූදානම් වීමට අපට වෙන් කර ඇති කාලය මෙයයි.7 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ මේ සැලැස්ම තුළ උන්වහන්සේගේ භූමිකාව ගැන දැනගැනීමට ලැබීම අපට භාග්‍යයක්. උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද සභාවේ—යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන් වීමේ වරප්‍රසාදය අපට තිබෙනවා. ක්‍රිස්තුස්වහන්සේගේ සාමකාමී අනුගාමිකයින් වශයෙන්, අපි උන්වහන්සේගේ ආඥාවන් අනුව ජීවත් වීමට උත්සාහ කරනවා. එය උන්වහන්සේගේ අනුගාමිකයන්ට කිසිදා පහසු වෙලා නැහැ. ඒවගේම ගැලවුම්කරුවාණන්ට ඇදහිලිවන්තව උන්වහන්සේගේ ලෞකික මෙහෙවර ඉටු කිරීම පහසු වුණේ නෑ.

ශුද්ධලියවිලි පැහැදිලියි, බොහෝ දෙනෙක් “කන්න, බොන්න, සහ ප්‍රීතියෙන් සිටින්න, මක්නිසාද හෙට අපි නැසෙන්නෙමු” යන ප්‍රවේශයකට යටත් වෙලා ඉන්නවා.8 අනෙකුත් නොඇදහිලිවන්තයන් “ඊළඟ අලුත් දේ”9 සහ මිනිසුන්ගේ දර්ශන වෙනුවෙන් පෙනී සිටින ඒ හා සමාන අදහස් ඇති අය සිටින අඳුරු ප්‍රාන්ත වෙත පසු බසිනවා.10 සත්‍යය සොයා ගන්නේ කොහෙන්ද කියලා ඔවුන් දන්නේ නෑ.11

ක්‍රිස්තුස්වහන්සේගේ සාමකාමී අනුගාමිකයින් ඒ කිසිම මාර්ගයක් අනුගමනය කරන්නේ නෑ. අපි අප ජීවත් වන ප්‍රජාවන්හි උණුසුම්, සොයා බලා ක්‍රියා කරන සාමාජිකයන්. අපි ආදරය කරනවා, බෙදාගන්නවා, ඒවගේම ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීමට අපි දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට ආරාධනා කරනවා.12 අපි අපේ ආදරණීය අනාගතවක්තෘවරයා වන සභාපති නෙල්සන්ගේ උපදෙස් පිළිපදිනවා; අපි දැන් සහ සෑම විටම සාමය ඇති කරන්නෙකුගේ භූමිකාව තෝරා ගන්නවා.13 මෙම ආනුභාව ලත් ප්‍රවේශය ශුද්ධලියවිලි වලට සහ අනාවැකිමය මගපෙන්වීම් යන දෙකටම අනුකූල වෙනවා.

1829 දී නැවත පිහිටුවන ලද සභාව තවමත් සංවිධානය කර නොතිබූ අතර, මොර්මොන්ගේ පොත වුවත් ප්‍රකාශයට පත් කර තිබුණේ නෑ. දෙවියන්වහන්සේගේ ආත්මයෙන් පොළඹවනු ලැබූ අරගල කරමින් සිටි කුඩා පිරිසක්, අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ව අනුගමනය කළා. දුෂ්කර කාලවලදී ස්වාමින්වහන්සේ ජෝසෆ්ට උපදෙස් දුන්නේ මෙහෙමයි: “කුඩා රැළ, බියනොවන්න; යහපත කරන්න; නුඹලාට විරුද්ධව පොළොව හෝ නිරය එක්වුවත්; මක්නිසාද නුඹලා මාගේ පර්වතය මත ගොඩනැගී ඇත්නම්, ඔවුන්ට ජයග්‍රහණය කළ නොහැක්කේය.”14 ඔහු ඔවුන්ට මෙසේද උපදෙස් දුන්නා:

“සෑම සිතුවිල්ල්කදීම මා දෙස බලන්න; සැක නොකරන්න, බිය නොවන්න.

“ඇදහිලිවන්ත වන්න, මාගේ ආඥාවන් පිළිපදින්න, තවද නුඹලා ස්වර්ග රාජ්‍යය උරුම කරගන්නෙහුය.”15

පැහැදිලිවම, අප දුෂ්කරතාවන්ට මුහුණ දෙන විට අපගේ ස්වර්ගික ඉරණම වෙනස් වෙන්නේ නෑ. හෙබ්‍රෙව් තුළ අපට මෙසේ උපදෙස් දී තිබෙනවා “එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමු.”16 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තමයි “සදාකාල ගැළවීමේ කර්තෘ.”17

“මනුෂ්‍ය දරුවන් සමඟ නුඹලාගේ සාමකාමී ගමන නිසා … ක්‍රිස්තුස්වහන්සේගේ සාමකාමී අනුගාමිකයින්” ලෙස කියමින් මොරෝනි විසින් ඔහුගේ පියා වූ මොර්මොන්ගේ වචන වලින් ඒ කළ උපුටා දැක්වීමට මම කැමතියි.18

“ක්‍රිස්තුස්වහන්සේගේ සාමකාමී අනුගාමිකයින්” වීමට උත්සාහ කරන සභාවේ සිටින අපි අපගේ ස්වාමින්වහන්සේ සහ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමු කරන විට දීප්තිමත් දවසක් අප වෙනුවෙන් බලා සිටිනවා. අභියෝග කියන්නෙ ලෞකිකත්වයේ කොටසක්, එය ලොව පුරා සිටින සෑම කෙනෙකුගේම ජීවිතයේ සිදු වෙනවා. මෙයට රටවල් සහ පුද්ගලයන් අතර ඇති විශාල ගැටුම් වුවත් ඇතුළත්.

සභා නායකයන්ගෙන් නිතරම මෙහෙම අහනවා, “සාධාරණ දෙවි කෙනෙක් නරක දේවල් වෙන්න ඉඩ දෙන්නේ ඇයි, විශේෂයෙන්ම හොඳ මිනිසුන්ට?” ඒවගේම “ධර්මිෂ්ඨ සහ ස්වාමින්වහන්සේගේ සේවයේ යෙදී සිටින අය එවැනි ඛේදවාචකයන්ගෙන් නිදහස් නොවන්නේ ඇයි?”

අපි සියලු පිළිතුරු දන්නේ නැහැ; කෙසේ වෙතත්, ඇදහිල්ල සමඟ සහ අප සෑම කෙනෙකු වෙනුවෙන්ම බලා සිටින දීප්තිමත් අනාගතයක් කෙරෙහි විශ්වාසය සමඟ අභියෝග වලට, පීඩා, සහ විපත්ති වලට අපට මුහුණ දීමට ඉඩ සලසන වැදගත් මූලධර්ම ගැන අපි දන්නවා. පීඩා පසුකර යාම ගැන, ලිබර්ටි සිරගෙදර සිරකරුවෙකුව සිටියදී අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ට ස්වාමින්වහන්සේ ලබාදුන් වචන වලට වඩා හොඳ ආදර්ශයක් ශුද්ධලියවිලි වල නැති තරම්.

ස්වාමින්වහන්සේ විශේෂයෙන් මෙසේ පැවසුවා:

“නිරයේ එම හකු නුඹ පසුපසින් එම මුඛය විවෘත කර අයාගෙන සිටින්නේ නම්, මාගේ පුත්‍රය, නුඹ දැනගන්න, එනම් මේ සියලු දේවල් නුඹට අත්දැකීම් දෙන්නේය, තවද නුඹගේ යහපත උදෙසා වන්නේය.

“මනුෂ්‍යය පුත්‍රයාණන් ඒ සියල්ලටම වඩා දේවල් අත්විඳ ඇත්තේය. නුඹ උන්වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ වන්නේද?

“… මනුෂ්‍යයන්ට කළ හැකි දේ ගැන බිය නොවන්න, මක්නිසාද දෙවියන්වහන්සේ සදාකාලයෙන් සදාකාලයට නුඹ සමඟ වන්නේය.”19

අපව දන්නා, අපට පෞද්ගලිකව ආදරය කරන සහ අපගේ දුක් වේදනා හොඳින් වටහා ගන්නා ස්වර්ගයේ පියාණන් කෙනෙක් අපට සිටින බව පැහැදිලියි. උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන්.

අද උදෑසන සභාපති රසල් එම්. නෙල්සන් සහ සභාපති එම්. රසල් බැලර්ඩ් දෙදෙනාම Preach My Gospel හි නව දෙවන සංස්කරණයේ වැදගත්කම දැඩි ලෙස අවධාරණය කළා. 20 මම ඔවුන්ගේ උද්යෝගය බෙදා ගන්නවා. මෙම නව සංස්කරණය, පූජනීය ශුද්ධලියවිලි ගැන, බලවත් ලෙස ප්‍රකාශ කරනවා:

“යේසුස්වහන්සේගේ වන්දිගෙවීමේ පූජාවේදී, උන්වහන්සේ අපගේ වේදනාවන්, පීඩාවන් සහ දුර්වලතා උන්වහන්සේ මතම භාර ගත්තේය. මේ නිසා මාංශයට අනුව උන්වහන්සේගේ ජනතාවට ඔවුන්ගේ දුර්වලකම් වලට අනුව උපකාර කිරීමට උන්වහන්සේ දන්නා සේක.(ඇල්මා 7:12; තවත් බලන්න පදය 11). මා වෙතට එන්න, කියා උන්වහන්සේ ආරාධනා කරන සේක, අපි එසේ කරන විට, උන්වහන්සේ අපට විවේකය, බලාපොරොත්තුව, ශක්තිය, ඉදිරිදර්ශනය සහ සුවය ලබාදෙන සේක.(මතෙව් 11:28; තවත් බලන්න පද 29–30).

“අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත සහ උන්වහන්සේගේ වන්දිගෙවීම මත රඳා සිටින විට, අපගේ අභියෝග, අසනීප සහ වේදනාවන් විඳදරාගැනීමට උන්වහන්සේට අපට උපකාර කළ හැකිය. අපට ප්‍රීතිය, සාමය, සහ සැනසීමෙන් පූර්ණ වෙන්නට හැකිය. ජීවිතය පිළිබඳ අසාධාරණ සියල්ල යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් නිවැරදි කරන්නට හැකිය.”21

අපට ප්‍රීතියෙන් ක්‍රිස්තුස්වහන්සේගේ සාමකාමී අනුගාමිකයන් වෙන්න පුළුවන්.

අපගේ පියාණන්වහන්සේගේ දරුවන් සඳහා වන සන්තෝෂයේ සැලැස්මට අයත් වෙන්නේ මේ පෙර ආත්මික ජීවිතය සහ ලෞකික ජීවිතය පමණක් නොවේ, නමුත් අපට අහිමි වූවන් සමඟ මහත් හා තේජාන්විත නැවත එක්වීමක් ද ඇතුළුව, සදාකාල ජීවනය සඳහා හැකියාවකුත් එයට ඇතුළත් වෙනවා. සියලු වැරදි නිවැරදි කරනු ලැබෙයි, ඒවගේම අපි පරිපූර්ණ පැහැදිලිකමකින් සහ දෝෂ රහිත ඉදිරිදර්ශනයකින් සහ අවබෝධයකින් දකියි.

තුන් ඉරියව් නාට්‍යයක් මැදට ගමන් කරන කෙනෙකු විදියට සභා නායකයන් මෙම ඉදිරිදර්ශනය සංසන්දනය කර තිබෙනවා.22 පියාණන්වහන්සේගේ සැලැස්ම ගැන දැනුමක් නැති අයට පළමු ක්‍රියාවෙන් සිදුවූයේ කුමක්ද යන්න හෝ පෙර ආත්මික පැවැත්ම සහ එහි පිහිටුවා ඇති අරමුණු ගැන අවබෝධයක් නෑ; ඒවගේම පියාණන්වහන්සේගේ සැලැස්මේ තේජාන්විත ඉටුවීම වන තුන්වන ක්‍රියාවේ එන පැහැදිලි කිරීම සහ විභේදනය ඔවුන්ට තේරෙන්නෙ නෑ.

උන්වහන්සේගේ ප්‍රේමණීය සහ විස්තීර්ණ සැලැස්ම යටතේ, තමන්ගේම වරදකින් තොරව අවාසි සහගත බව පෙනෙන අයට අවසානයේ බලපෑමක් සිදු නොවන බව බොහෝ දෙනා අගය කරන්නේ නෑ.23

ශුද්ධලියවිලි පැහැදිලියි: ධර්මිෂ්ඨ, ගැලවුම්කරුවාණන්ව අනුගමනය කරන සහ උන්වහන්සේගේ ආඥා පිළිපදින ක්‍රිස්තුස්වහන්සේගේ සාමකාමී අනුගාමිකයින් ආශිර්වාදිතයි. ඔවුන්ගේ ජීවිතයේ තත්වය කුමක් වුවත්, ධර්මිෂ්ඨ අය සඳහා වඩාත් වැදගත් ශුද්ධලියවිලි පදවලින් එකක් වන්නේ බෙන්ජමින් රජු තම සෙනඟට කළ ආමන්ත්‍රණයේ කොටසයි. ඇදහිලිවන්තව ආඥා පිළිපදින අය මේ ජීවිතයේ සෑම දෙයකදීම ආශිර්වාද ලබන බවත්, “ස්වර්ගයට පිළිගනු ලබන බවත් … [සහ] නිමක් නැති සතුටකින් දෙවියන්වහන්සේ සමඟ වාසය කරන බවත්” ඔහු පොරොන්දු වෙනවා.24

අප සියල්ලන්ම පාහේ අපගේ ජීවිතයේ භෞතික හා අධ්‍යාත්මික කුණාටු අත්විඳ ඇති බව අපි හඳුනා ගන්නවා, ඒවායින් සමහරක් විනාශකාරීයි. ස්වර්ගයේ සිටින ප්‍රේමණීය පියෙකු සහ උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද සභාවේ ප්‍රධානියා වන උන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, අපව සූදානම් කිරීමට, අන්තරායන් ගැන අනතුරු ඇඟවීමට සහ අපව සූදානම් කිරීමට සහ ආරක්ෂා කිරීමට මගපෙන්වීම ලබා දීමට අපට ශුද්ධලියවිලි සහ අනාගතවක්තෘවරුන්ව ලබා දී තිබෙනවා. සමහර මගපෙන්වීම් වලට ක්ෂණික ක්‍රියාමාර්ග අවශ්‍ය වන අතර සමහර ඒවා අනාගතයේදී වසර ගණනාවක් පුරාවට ආරක්ෂාව සපයනවා. දහම සහ ගිවිසුම් සඳහා ස්වාමින්වහන්සේගේ පෙරවදන, 1 වෙනි කොටස, “අනාගතවක්තෘවරුන්ගේ වචනවලට අවනත වෙන්න” කියා අපට අවවාද කරනවා.25

1 වෙනි කොටස අපට මෙහෙමත් අනතුරු අඟවනවා, “නුඹලා සූදානම් වෙයල්ලා, පැමිණෙන්නා වූ දේ උදෙසා නුඹලා සූදානම් වෙයල්ලා.”26 ස්වාමින්වහන්සේ තම සෙනඟට ඉදිරියේදී සිදුවන්නට යන දේවල් සඳහා සූදානම් වීමට අවස්ථාවක් ලබා දෙනවා.

ස්වාමින්වහන්සේ 1847 ජනවාරි 14 වැනි දින ශීත කාර්තුවේදී සභාපති බ්‍රිගම් යන්ග් වෙත බලවත් හෙළිදරව්වක් ලබා දුන්නා.27 මෙම හෙළිදරව්ව ස්වාමින්වහන්සේ ඉදිරි කාලය සඳහා මනුෂ්‍යයින්ව සූදානම් කිරීම පිළිබඳ සම්භාව්‍ය උදාහරණයක්. ඇදහිලිවන්ත ශුද්ධවන්තයින් සෝල්ට් ලේක් නිම්නයේ කඳුකර අභයභූමියට ඔවුන්ගේ නික්මයාම ආරම්භ කර තිබුණා. ඔවුන් නාවූ දේවමාළිගාව සාර්ථකව ගොඩනඟා පූජනීය ගැලවීමේ නියෝග ලබාගෙන තිබුණා. ඔවුන්ව මිසුරි වලින් පලවා හැර තිබූ අතර, ඔවුන්ට පීඩා කරන්නන් දරුණු ශීත කාලයකදී නාවූ වෙතිනුත් ඔවුන්ව පලවා හැර තිබුණා. බ්‍රිගම් වෙත හෙළිදරව් කිරීම මගින් ඒ පළා යාම සඳහා සූදානම් විය යුතු ආකාරය පිළිබඳ ප්‍රායෝගික උපදෙස් ලබා දුන්නා. දුප්පතුන්, වැන්දඹුවන්, පියා නොමැති අය සහ ශුද්ධවන්තයින්ගේ ප්‍රධාන කණ්ඩායම ඔවුන්ගේ අනතුරුදායක ගමනේ යෙදෙන විට මොර්මොන් බලඇණියේ සේවය කරන අයගේ පවුල් රැකබලා ගැනීම කෙරෙහි ස්වාමින්වහන්සේ විශේෂ අවධානයක් යොමු කළා.

ධර්මිෂ්ඨව ජීවත් වීමට ලබාදුන් වෙනත් උපදෙස් වලට අමතරව, අදටත් අදාළ වන තවත් මූලධර්ම දෙකක් ස්වාමින්වහන්සේ අවධාරණය කළා.

පළමුව, උන්වහන්සේ ඔවුන්ව මෙසේ දිරිමත් කළා “නුඹ ප්‍රීතියෙන් සිටිත් නම්, සංගීතය සමඟින්, නර්තනය සමඟින්, තවද ප්‍රසංශාවේ සහ ස්තූතිවන්තකමේ යාච්ඤාවෙන් ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.”28

දෙවනුව, “නුඹ දුකෙන් සිටිත් නම්, නුඹලාගේ ප්‍රාණයන් ප්‍රීතිමත් වන පිණිස, නුඹගේ ස්වාමින් වූ දෙවියන්වහන්සේගෙන් කණ්ණලව්වෙන් ඉල්ලන්න” කියා ස්වාමින්වහන්සේ උපදෙස් ලබා දී තිබුණා.29

මෙම අවවාද දෙකම අපගේ දවස සඳහා විශිෂ්ට උපදෙස්. ප්‍රශංසාව, සංගීතය සහ ස්තූති දීමෙන් පිරුණු ජීවිත අද්විතීය ලෙස ආශිර්වාදිතයි. ප්‍රීතියෙන් සිටීම සහ යාච්ඤාව තුළින් ස්වර්ගීය උපකාරය මත රඳා සිටීම ක්‍රිස්තුස්වහන්සේගේ සාමකාමී අනුගාමිකයන් වීමට ප්‍රබල මාර්ගයක්. සැමවිටම ප්‍රීතිමත්ව සිටීමට උත්සාහ කිරීම ආත්මයෙන් පහත වැටීමෙන් වැළකී සිටීමට උපකාරී වෙනවා.

ප්‍රත්‍යක්ෂ ගීතිකාවක අවසාන පේළිය සුන්දර ආකාරයෙන් අවසාන පිළිතුර ලබා දෙයි: “පෘථිවියට සුව කළ නොහැකි දුකක් නැත.”30

ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වශයෙන්, “ක්‍රිස්තුස්වහන්සේගේ සාමකාමී අනුගාමිකයින්ට” මේ ජීවිතයේ පුද්ගලික සාමයක් සහ මහිමාන්විත ස්වර්ගීය නැවත එක්වීමක් ලැබෙනු ඇති බවට මම සාක්ෂි දරනවා. මම ගැලවුම්කරුවාණන්ගේ දේවත්වය ගැන සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ යථාර්ථය පිළිබඳ ස්ථිර සාක්ෂියක් දරනවා. උන්වහන්සේ අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්:

  1. මොරෝනි 7:3.

  2. බලන්න යොහාන් 16:33.

  3. බලන්න මොසායා 18:8–9; තවත් බලන්න 2 නෙපී 32:7.

  4. බලන්න Quentin L. Cook, “The Songs They Could Not Sing,” Liahona, Nov. 2011, 104–7.

  5. ආබ්‍රහම් 3​හි පරිච්ඡේද ශීර්ෂය බලන්න.

  6. ආබ්‍රහම් 3:24–25.

  7. බලන්න ඇල්මා 12:24.

  8. බලන්න 2 නෙපී 28:7-9.

  9. ක්‍රියා 17:21.

  10. බලන්න රසල් එම්. නෙල්සන්, “ලෝකය ජයගෙන විවේකය සොයාගන්න,” ලියාහෝනා, නොවැම්බර් 2022, 96.

  11. බලන්න දහම සහ ගිවිසුම් 123:12.

  12. “ධර්මදූතවරුන් ආපසු නිවසට පැමිණෙන්නේ තමන් සේවය කළ සහ ඉගැන්වූ මිනිසුන් කෙරෙහි ඇති ආදරයෙනි. ඔවුන් ජීවත් වූ සහ වැඩ කළ රටවල ජනතාව සඳහා හොඳ හිත පතුරවන සැබෑ තානාපතිවරු වෙති. ඔවුන් ආදායම් මට්ටම් ගැන සැලකිලිමත් නොවන අතර ඔවුන්ට වාර්ගික පක්ෂග්‍රාහීත්වයක් නොමැත. ඔවුන් කිසිම ලෞකික රාජ්‍යයක් ගොඩනඟා ගැනීමට ඉදිරිපත් නොවේ. ඔවුන් මෝර්මන්ගේ වචනවලින් කියනවා නම්, ‘ක්‍රිස්තුස්වහන්සේගේ සාමකාමී අනුගාමිකයෝය’ [මොරෝනි 7:3]” (එල්. ටොම් පෙරී, “The Peaceable Followers of Christ,” Ensign Nov. 1989, 71).

  13. රසල් එම්. නෙල්සන්, “සාමය ඇතිකරන්නන් අවශ්‍යයි,” ලියහෝනා. 2023 මැයි, 100.

  14. දහම සහ ගිවිසුම් 6:34.

  15. දහම සහ ගිවිසුම 6:36–37.

  16. හෙබ්‍රෙව් 4:16.

  17. හෙබ්‍රෙව් 5:9; පරිච්ඡේදයේ ශීර්ෂය ද බලන්න.

  18. මොරෝනි 7:3-4.

  19. දහම සහ ගිවිසුම 122:7-9.

  20. බලන්න ස්කොට් ටයිලර්, “‘Preach My Gospel: A Guide to Sharing the Gospel of Jesus Christ,’හි නව අනුවාදයක් සභාපති නෙල්සන් විසින් හඳුන්වා දී තිබෙනවා” Church News, ජූනි 22, 2023, thechurchnews.com; තවත් බලන්න සාරා ජේන් වීවර්, “Video: 3 Apostles Talk about the Impact of ‘Preach My Gospel,’” Church News, අගෝ. 10, 2023, thechurchnews.com.

  21. Preach My Gospel: A Guide to Sharing the Gospel of Jesus Christ (2023), 56.

  22. බලන්න බොයිඩ් කේ. පැකර්, “The Play and the Plan” (Church Educational System fireside for young adults, May 7, 1995 [printed 1997]), 2: “මරණයේදී, අපි දෙවන ක්‍රියාවේ තිරය ඉහළ යන ආකාරයටම රඟහලට ඇතුළු වන නළුවන් හා සමානයි. අපට පළමු කොටස මග හැරී ඇත.… ‘එසේම ඔවුන් සියල්ලෝම සතුටින් සදාකාලිකව ජීවත් වූවෝය’ යන්න කිසිවිටෙකත් දෙවන කොටසේ ලියා නැත. එම කියමන අයත් වන්නේ අභිරහස් විසඳා සියල්ල නිවැරදි වූ විට තුන්වන කොටසටය.” තවත් බලන්න Neal A. Maxwell, All These Things Shall Give Thee Experience, 37, “God sees the beginning from the end. … අංක ගණිතය … මනුෂ්‍යයන් වන අපට තේරුම් ගත නොහැකි දෙයකි. සියලුම ඉලක්කම් අප සතුව නොමැති නිසා අපට එකතු කිරීම් කළ නොහැක. අපි කාලයේ මානය තුළ සිරවී සිටින අතර මෙම දෙවන තත්වයේ දැඩි ඉදිරිදර්ශනය තුළ අන්තර්ගතව සිටිමු.”

  23. වගවීමේ වයසට පැමිණීමට පෙර මිය යන අය ස්වර්ග රාජ්‍යයේ ගැලවීම ලබයි (බලන්න දහම සහ ගිවිසුම් 137:10). මෙම ශුභාරංචිය නොදැන මරණයට පත්වූ සියල්ලන්, ඔවුන්ට නැවතී සිටින්නට අවසර තිබුනානම් ඔවුන් එය ලබාගැනීමට ඉඩ තිබුණේ නම්, ඔවුන් දෙවියන්වහන්සේගේ සෙලෙස්ටියල් රාජ්‍යයේ උරුමක්කරුවන් වන්නෝය (බලන්න දහම සහ ගිවිසුම් 137: 7).

  24. මොසායා 2:41

  25. දහම සහ ගිවිසුම් 1:14.

  26. දහම සහ ගිවිසුම් 1:12.

  27. බලන්න දහම සහ ගිවිසුම් 136.

  28. දහම සහ ගිවිසුම් 136:28.

  29. දහම සහ ගිවිසුම් 136:29.

  30. “Come, Ye Disconsolate,” Hymns, no. 115.